අභියෝගයක් එල්ලවන අවස්ථාවක එයින් ගැලවෙන උපාය ගැන අවධානය යොමු කළ යුතුය. කොවිඞ් -19 වසංගතය මුළු ලෝකයටම ඉතාම ප‍්‍රබල අභියෝගයකි. අවසානයක් පෙනෙන තෙක් මානයේ නැත. ලක්ෂ එකසිය දෙකකට වැඩි පිරිසක් ආසාදනය වී ඇත. ලක්ෂ පහකට වඩා ජීවිත ප‍්‍රමාණයක් අහිමි වී තිබේ. එවැනි පසුබිමක් ඉදිරියේ දෙවැනි රැල්ලක් ඇති විය හැකි අවදානමක් ද ඇත. ලෝකයේ ප‍්‍රකට විද්වතුන් එවැනි තත්ත්වයකට යොමුවුවහාත් ඇතිවිය හැකි විපත ගැන සාකච්ඡා කරමින් සිටී.
ශ‍්‍රී ලංකාව ඉතා කල්පනාකාරීව, අවධානයෙන් තීරණ ගත් අතර රටට ඇතුළුවීම වලක්වා රට තුළ ආසාදන අවස්ථා පාලනය කළේය. ශ‍්‍රී ලංකාවේ දෛනික කටයුතු සීමා කළ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශ බපලවත් ප‍්‍රශ්නයකට මුහුණ පා ඇති බවපෙනේ. ආදායම සීමා වී තිබේ. වියදම ඉහළ නැග ඇත. රැකියා අවස්ථා සෑහෙන බලපෑමකට ලක්ව ඇත. වැඩ කරන ජනතාවගේ පවා ආදායම සීමා වී තිබේ. මෙවැනි කාල වකවානුවක දී නැවතත් නැගී සිටිනු සදහා බලවත් ප‍්‍රයත්නයක් අවශ්‍යය. පවතින රාමුවට ඔබ්බෙන් ගත හැකි ක‍්‍රියා මාර්ග වලට අවතීර්ණ විය යුතුය. සම්ප‍්‍රදායික පැවැත්ම වෙනුවට අලූත් ව්‍යුහ වලට ඇතුළුවීම සුදුසු ක‍්‍රියාමාර්ගයකි.
පුනර්ජණනීය අවකාශයක පසුවන ශ‍්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු පැති ගණනාවක් තිබේ. ඒ අතරින් මුලික අංශ තුනක් ගැන සදහන් කළ හැකිය. කෘෂි අංශය එයින් එකකි. එය වෙනස් කළ යුතුය. මෙරට කෘෂිකර්මය ලාභදායක එකක් නොවේ. රජය සහන සපයයි. කෘෂිකර්මයෙහි නිරත පිරිස් ආදායමක් නැති බවට මැසිවිලි නගති. පොහොර නොමිලේ දෙන රජය වී මිල දී ගන්නට ද වැඩ පිලිවෙල ක්‍රියාවට නංවන අතර අනෙක් පැත්තෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීම සදහා සහල් මිල පාලනය කරන උත්සාහයක ද නිරතය. මෙම සියළු දේ අඛණ්ඩව කරගෙන යන්නට පුලූවන්කමක් නැත. තේ වගාකරන අය ශ‍්‍රම හිගය ගැන දුක්වෙති. එලවලූ වවන්නේ ඒවා විකුණා ගත නොහැකි බව කියයි. ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වලට හොද මිලක් නැති බවකියැවේ. මෙම සියළු කරුණු සම්පින්ඩනය කරන විට ප‍්‍රශ්නය තේරුම් ගත හැකිය. ආර්ථික කෝණයකින් සලකන විට මෙරට සමස්ථ ශ‍්‍රම බලකායෙන් සියයට විසි පහක් කෘෂි අංශයෙහි නිරත අතර එහෙත් එමගින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. කිසිසේත් ප‍්‍රමාණවත් නැත.
රජයේ සේවයෙහි නිරත පිරිස අනෙක් කාරණයකි. සම්පූර්ණ ශ‍්‍රම බලකායෙන් සියයට පහලොවක් බව දැක්වෙයි. එම පිරිස ඉටුකරන සේවය ගැන සතුටක් ජනතාවට නැත. රා්‍ය සේවය අකාර්යක්ෂම බව ප‍්‍රකට කරුණකි. විශාල සේවක පිරිසක් සිටින අතර ජනතාවගෙන් අය කරන බදු වැටුප් හා සේවා පහසුකම් වෙනුවෙන් වැය කෙරේ. රටට රාජ්‍ය සේවයෙන් ලැබෙන ආර්ථික උත්පාදනය ගැන ගැටළු තිබේ.
මෙම අංශ ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ගොවිතැන ඉතා වැදගත්ය. වී වගාව මෙරට සංස්කෘතියෙහි බැදී ඇති කොටසකි. රට සහල් වලින් ස්වයංපෝෂිත කර තිබේ. තේ, රබර්, පොල් සහ අනෙක් වැවිලි බෝගවලින් ද සෑහෙන ආර්ථික දායකත්වයක් ඇත. නවීකරණයෙන් මෙම දායකත්වය තවත් වැඩි කරගත හැකිය. ලෝකයේ අනෙක් රටවල් කෘෂිකර්මයට දියුණු තාක්ෂණය භාවිතා කරයි. පස් රහිත වගාව, මිනිස් ශ්‍රමය ඉතාම අඩුවෙන් භාවිතය. ජලය යෙදවීම පාලනය හා වැඩි අස්වනු තාක්ෂණය ප‍්‍රයෝජනයට ගැනේ. මෙම තීරණාත්මක අවස්ථාවේදී කෘෂිකර්මය පවතින සම්ප‍්‍රදායෙන් වෙනස් කළ යුතුය. ශ‍්‍රම බලකායෙන් සියයට විසි පහක් නිරත වී සමස්ථ දළ දේශීය නිෂ්පාදනයට දෙන දායකත්වය දෙගුණ තෙගුණ කළ හැකි වැඩ පිලිවෙල ගැන වහා අවධානයට ගත යුතුය.
එයට සමාන්තරව රජයේ සේවය සවිබල ගැන්විය යුතු අතර පිරිස අඩු කර වැඩියෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකි අංශ ගැන සොයා බැලීම වැදගත්ය. තොරතුරු තාක්ෂණය මෙහි දී වහල් කරගත හැකිය. එයට අවධානය යොමු කරන්නේ නැති තරම්ය. වාර්තා දක්වන පරිදි එහි සාක්ෂරතාවය සියයට විසි හතකට පමණ සීමා වී තිබේ. ශ‍්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් නමුත් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සීමාසහිතවීම ප‍්‍රශ්නයකි. වාර්තා වල දක්වන පරිදි සියයට විසි හතක් නමුත් ඒවා ගැඹුරට අධ්‍ය්‍යනය කරන විට මෙම සාක්ෂරතාව කාර්යාලයේ දී ය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවය කරන පිරිස කාර්යාලයේ දී තොරතුරු තාක්ෂණයට නැඹුරු නමුත් නිවසේ දී භාවිතා කරන්නේ අවම වශයෙනි. එයට ගෙවනන්නට සිදුවී ඇති වියදම එක හේතුවක් විය හැකිය.
කොවිඞ් -19 වසංගතයෙන් ගැලවී උද්දාමක සිටින අප සියළු දෙනා අප කරා හඹා එමින් සිටින ආර්ථික අනතුර දකින්නට සමත්විය යුතුය. මහ මැතිවරණ වේදිකාවේ දී දේශපාලනඥයන් කෑගසා කියන නමුත් පරිවර්තනයක් නොවේ. ඡන්දය දිනාගත් පසු නැවතත් පුරුදු ගුහාවලට රිංගා ගනිති. ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ස්වභාවය සාකච්ඡා කරන්නේ නැත. නිෂ්පාදන අංශ දුර්වල වී ඇති අතර ඉදිරියෙන් තිබුණ සේවා අංශය අර්බුදයකය. ජන සමාජය නගා සිටුවනු සදහා බලවත් ප‍්‍රයත්නයක නිරත විය යුතුව තිබේ. මෙහි දී මෙම පැති වල ඇති කළ හැකි වෙනස්කම් ඉතා වැදගත්ය.
|