» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/07/2021 - දේශය
කාර්යාල සේවා ප‍්‍රවාහනය අවශ්‍ය නොවන දවසක්

කාර්යාල ප‍්‍රවාහන සේවය පසුගිය කාලයේ ජනප‍්‍රියව තිබුණි. වැඩට එන යන අය පහසුවෙන් ගමන් බිමන් සලසා ගත් බව මතකය. අමතර වාහන ප‍්‍රමාණයක් මහා මාර්යට එකතු වූ අතර එය තරමක තදබදයක් නිර්මාණය කළේය. රට තුළ සංචරණ සීමා බලපවත්වන කාලයේ කාර්යාල විවෘත කළේ නැත. කොවිඞ් වසංගතය සෑම තැනකම, සෑම අංශයකටම සෑහෙන බලපෑමක් එල්ල කර තිබේ. රජයේ හා පුද්ගලික අංශයේ කාර්ය මණ්ඩල රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධව සීමා පැනවීය. අත්‍යවශ්‍ය නොවන කාර්යාල තාවකාලිකව වසන ලද අතර සමහර ආයතනවල සේවා කටයුතු අන්තර් ජාලයෙන් කරගෙන යන තැනට පරිවර්තනය විය. කාර්යාල ප‍්‍රවාහන සේවයෙහි යෙදුන ව්‍යවසායකයන් ද අපහසුතාවට පත් පිරිස අතරින් කොටසකි.

කොවිඞ් එන්නත්කරණය වේගයෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. නමුත් වෛරසය අලූත් ප‍්‍රබේධවලට වැඩි දියුණු වන බව විශේෂඥ වාර්තා දක්වයි. පවතින බාධා තුරන්කර නැවත සුපුරුදු ජීවිතය අරඹන දිනයක් ගැන ජනී ජනයා ඇගිලි ගනිති. සමහරවිට වසරකින් දෙකකින් හෝ පැරණි තත්ත්වයට යා හැකි වනු ඇතැයි උපකල්පනය කෙරේ. කෙසේ නමුත් අලූත් අත්දැකීම් ලබා ඇති ව්‍යාපාර හා සේවා අංශ කාර්යාල විවෘත කරන සූදානමක නැත. අත්දැකීීම් අනුව වෙනස් වී තිබේ. කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම සේවයට කැදවීම අවශ්‍ය නැති බව කල්පනා කරති. කාර්ය මණ්ඩලය වැඩට එන්නේ නැති අවස්ථාවක කාර්යාල ප‍්‍රවාහන සේවා අවශ්‍ය නැත. කොවිඞ් වසංගතයේ බලපෑම සමග නිතිපතා පැවැති ආර්ථික කටයුතු අතරින් ශේෂ වී යන අංශයක් විය හැකිය.

ලෝකයේ තැනින් තැන කියැවෙන තොරතුරු අනුව දිනපතා සේවා අවශ්‍යතාවලින් සෑහෙන කොටසක් තොරතුරු තාක්ෂණයට නැඹුරුවෙමින් පවතී. නෙබෝදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ පරිදි යූ.බී.එස්. බැංකුව සිය කාර්ය මණ්ඩයෙන් තුනෙන් දෙකක් ස්ථිර වශයෙන්ම දුරස්ථව තබාගන්නට තීරණය කර තිබේ. ස්විස් බහුජාතික ආයෝජන බැංකුව යූ.බී.එස්. ලෙස කෙටියෙන් හදුන්වයි. ස්විට්සරලන්තයේ මුලස්ථානය පිහිටි එහි ප‍්‍රධාන කාර්යාල දෙකක් සුරිච් හා බ‍්‍රසල්ස් හි ස්ථාපිත කර තිබේ. ලෝකයේ විශාලතම වානිජ බැංකු වලින් ඉහළම පෙලේ එකක් වන යූ.බී.එස්. හි විශ්වාසනීයත්වය හා ඉහළම කාර්යක්ෂමතාවයකින් කරන සේවා ජාත්‍යන්තරයේ ප‍්‍රසාදයට පත් ව තිබේ.

මෙම බැංකුව ආරම්භ කරන්නේ 1862 දී ය. ඇමරිකානු මුල්‍ය අර්බුදය මෙම බැංකුවේ පැවැත්මට අයහපත් සේ බලපෑවේය. විශාල අලාභ වාර්තා කරන ලද බව සදහන්ය. කෙසේ නමුත් ප‍්‍රතිසංස්කරණ ගණනාවකට පසු නැවතත් පැරණි ශක්තිමත් මුල්‍ය වපරිසය අත්පත් කරගෙන තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය සමග තාවකාලිකව කාර්යාල වසා දමන ලද නමුත් පසුව දෛනික ගනුදෙනු දුරස්ථව කරගෙන යන පහසුව ඇති කරන ලද බව කියැවේ. තොරතුරු තාක්ෂණය එයට ඉවහල් වී ඇත. කාර්ය මණ්ඩල නිවසේ සිට බැංකු කටයුතු මෙහෙයවා ඇති අතර එය ගනුදෙනුකරුවන්ට මහත් අස්වැසිල්ලක් විය. අවහිර ඉවත්ව නැවතත් නගර සාමාන්‍ය තත්ත්වයට පත්වන විට බැංකු කටයුතු කාර්ය බහුල වනු නිසැකය. මෙහි දී යූ.බී.එස්. බැංකුව සිය කාර්ය මණ්ඩලයට හයිබී‍්‍රඞ් රාජකාරි ක‍්‍රමයක් යෝජනා කර තිබේ. එම සැලසුම අනුව හැත්තෑ දෙදහසකට වැඩි සේවක පිරිසකගෙන් තුනෙන් දෙකකට අතරමැදි සේවා වාර්තා කිරීමක් තෝරා ගත හැකිය. අවශ්‍යනම් නිවසේ සිට බැංකුවේ රාජකාරි කරන්නට අවසර තිබේ. එහෙත් ගනුදෙනුකරුවන් සමග ගැටෙන කවුන්ටරවල කටයුතු කරන පිරිස සහ අධීක්ෂක අංශවලට මෙය එපමණකට බලපාන්නේ නැත. ඉහළ නිලධාරීන් ගේ පෙළැඹවීමකින් තොරව, නිතිපතා වගකීම ඉටු කරන පිරිස තෝරා ගෙදර සිටින්නට යෝජනා කරන බව දැක්වෙයි. එය අලූත් පිලිවෙලකි. වැඩට එන යන වේලාව ද සේවක කැමැත්ත අනුව තීරණ ගත හැකි පරිදි රාජකාරි කාලය සංශෝධනය වනු ඇතැයි සැලකේ.

අලූත් වාර්තා දක්වන පරිදි සමහර බැංකු මෙම පිලිවෙලට කැමැති නැත. වෝල්ස්ටී‍්‍රට් හි ගෝල්ඩන් ස්කේච් බැංකුව වහාම සේවයට වාර්තා කරන සේ සියළුම කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ජේ.පී. මෝර්ගන් ද සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර්වල සිට සම්පූර්ණ කාර්ය මණ්ඩලය කැදවන තීරණයකය. සමහර වානිජ බැංකු හා මුල්‍ය ආයතන ප‍්‍රධානීන් දක්වන පරිදි නිව්යෝක් නගරයේ අවන්හල්වලට යන ඕනෑම කෙනෙකුට තමන්ගේ රජකාරි ස්ථානයට වාර්තා කරන්නට බැරිකමක් නැත. වාතාවරණය වෙනස් වූ වහාම සේවයට එන සේ නියම කර තිබේ.

දිනපතා රජකාරි සදහා වැඩට පැමිණීම සමහර අංශවල කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍යම නැති බව කොවිඞ් වසංගතය සමග ඒත්තු ගිය කරුණකි. විශාල ගොඩනැගිලිවල, සෑහෙන ඉඩක් වෙන් කරගෙන සේවය කළ පිරිස නිවසේ සිට වැඩකරන විට අවකාශය ඉතිරි වී තිබේ. විදුලිය පංකා හෝ වායුසමීකරණ නිහඩය. බලශක්ති පිරිවැය අඩු වී ඇති අතර කාර්යාල නඩත්තු වියදම් සෑහෙන ප‍්‍රතිශතයකින් පහල වැටී ඇත. වැඩ කරන ජනතාවට පවා ජේත්තුවට හැඩ වී කාර්යාලයට එන්නට අවශ්‍ය නැත. ඇදුම් පැලදුම්, සපත්තු හා ඇතැම් ආහාර වර්ග වල අවශ්‍යතාව සීමා සහිතය. හාම්පුතුන්ට හා සේවක සේවිකාවන් යන දෙපැත්තටම නොයෙක් වාසි අත්පත් වී ඇත. තොරතුරු තාක්ෂණය වඩාත් භාවිතා කරන අතර නිසි පරිදි රාජකාරි කරන සැලැස්මකින් නොකඩවා ‘‘ඔන්ලයින් වැඩට එන්නට’’ හැකියාව ලැබී තිබේ. මෙම අවස්ථාව වටහා ගෙන ඇති ඇතැම් සේවා හෝ ව්‍යාපාරික අංශ සිය කාර්ය මණ්ඩලයට නිවසේ සිට සේවය කරන සේ යෝජනා කරන අතර කරන කාර්ය අනුව වැටුප් ගෙවන්නට තීරණය කර ඇත. නිල රථ, ප‍්‍රවාහන දීමනා, සාකච්ඡා සැසිවාර වල දී සංග‍්‍රහ වියදම් සියල්ල සීමා කර ඇත. එම පිරිවැය වෙනුවට අන්තර් ජාල පරිහරණ වියදම් පමණක් වැටුපට අමතරව ගෙවන්නට යෝජනා කර තිබේ.

නිවසින් පිටත්ව රාජකාරියට යන අතර ආපසු හවසට හෙම්බත් වී නිවසට සේන්දුවන යුගය අවසන්වීමට ඉඩ තිබේ. අලූත් මානයකින් හිතන සමහර සමාගම් විප්ලවීය තීරණ ගනිමින් සිටිති. සම්ප‍්‍රදායික ව්‍යුහය අනුව ආයතන ප‍්‍රධානියා ගේ පෙනෙන මානයේ සිට රාජකාරි කළ යුතු නමුත් දැන් එවැනි පසුගාමී අදහස් වලංගු නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. යූ.බී.එස්. බැංකුව ලෝකයේ එවැනි පරිවර්තනීය ආයතන අතර ඉදිරියෙන් සිටින ප‍්‍රබල සමාගමකි.