» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/11/2019 - දේශය
නැවුම් ආහාර ගොවිපොලෙන් පාරිභෝගිකයා වෙත

ක්ෂණිකව පිලියෙල කරගත හැකි ආහාර ගැන පසුගිය කාලය තුළ විශාල ප‍්‍රචාරයක් තිබුණි. දැවැන්ත බහුජාතික සමාගම්, මහා පරිමාන කම්හල් වල නිපදවන ලද ආහාර වර්ග ලෝකය පුරා අළෙවි කරමින් තිබුණ අතර ඇත්ත වශයෙන්ම මේවා කෘතීමව නිපදවන ලද, රසකාරක සහ කල්තබාගත හැකි දේ මිශ‍්‍ර කරන ලද ආහාර වර්ග විය. බහුලව අලෙවි වන අතරවාරයේ ජන සමාජ තුළ ප‍්‍රබල විරෝධතා ක්ෂණික ආහාර වලට එරෙහිව පැන නැගී තිබේ.

ජනගහනය වැඩිවන පසුබිම තුළ ආහාර හිගයක් ගැන එක පැත්තකින් ලෝකය පුරා මත පැන නැගෙන අතරවාරයේ සැපයෙන ආහාර වල අන්තර්ගතය ගැන ගැටළු මතු වෙමින් පවතී. ආහාර වශයෙන් ගත හැකි බව භෝග පමණක් නොව කෘමි සතුන් ගැන ද අවධානය යොමු වී ඇත. මහා පරිමානයෙන් කරන ආහාර නිෂ්පාදනය, ඒවා බෙදා හැරීමහා අලෙවිය අතර සිදුවන සංකීර්ණ කි‍්‍රයාවලිය ගැන ද ඇතැම් පිරිස් අතර නොකැමැත්තක් පවතී. ගොවිපොලෙන් නෙලා ගන්නා අස්වැන්න පාරිභෝගිකයා අතට එන විට දවස් දෙක තුනක් කල් ගත වී තිබේ. නාස්තිය සෑහෙන කොටසකි. පරිභෝජනය කරන ආහාර නැවුම් ඒවා නොවේ. භාණ්ඩ එහා මෙහා යවන අලූත් ව්‍යුහයක් තැනූ ඇමේසන් සමාගම නැවුම් ආහාර වෙනුවෙන් ද නවතම සංකල්පයක් ලෝකය වෙත නිකුත් කර ඇත. ඇමේසන් ෆෙෂ් යනුවෙන් ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරය සෑහෙන ජන අවාධානයක් දිනා ගැනීමට සමත්ව ඇති බව අනාවරණය වෙයි.

ඇමේසන් සමාගම දක්වන ආකාරයට තෝරා ගත් නගර වල දී පැයක් හෝ දෙකක් වැනි කාල පරාස දෙකක් තුළ ඕනෑම ආහාර වර්ගයක් ඉතා නැවුම් ස්වභාවයෙන් ගෙන්වා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ඇත. වියලි හෝ අධි ශීතකළ ක‍්‍රම වලින් ආහාර වර්ග නරක් නොවී තමන්ගේ ප‍්‍රයෝජනයට ගැනීමට හුරු වී සිටි පරම්පරාවට මෙම අධි තාක්ෂණික සැපයුම් ඉතා සිත්ගන්නා සුළු සේවයක් වී තිබේ.

ඇමේසන් සමාගම ජෙෆ් බිසෝස් ගේ නවෝත්පාදන සංකල්පයකි. 1995 වසරේ මැද වොෂින්ටන් හි සියැටල් නගරයේ ස්ථාපිත කරන ලද සමාගම මුලින් පොත් අලෙවි කළේය. ලෝකයේ ඕනෑම පොතක් ඕනෑම තැනක සිට පරිගණකයෙන් ඇනවුම් කළ හැකි අතර එය නිවසටම එවන ජාලගත ව්‍යාපාරයක් විය. පසුව විදුලි උපකරණ, පරිගණක මෘදුකාංග, වීඩියෝ ක‍්‍රීඩා, ඇගළුම්, සෙල්ලම්බඩු හා ස්වර්ණාභරන යනාදිය කෙලින්ම අලෙවි කිරීම දක්වා ව්‍යාප්ත වූ අතර පසුව ආහාර වර්ග සැපයීම දක්වා ව්‍යාප්ත වී තිබේ. 2015 වසර වන විට ඇමරිකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලය වන වොල්මාට් හි පිරිවැටුම අභිබවා යන්නට සමත් වූ ඇමේසන් ව්‍යාපාරය දිනක් හෝ දෙකක් ඇතුලත නැවුම් ආහාර වර්ග සපයන ක‍්‍රමය හ`දුන්වා දුන් පසු ලෝකය පුරා පාරිභෝගිකයන් මිලියන සියයක් 2018 වසර වන විට සම්බන්ධ කරගත හැකි තරමට දියුණු විය. අද එය වඩාත් දියුණු කර පැයක් හෝ දෙකක් ඇතුලත නැවුම් ආහාර නිවසටම ගෙන දෙන බවට පොරොන්දු වී තිබේ.

තාක්ෂණයේ පිටිවහල මෙම භාණ්ඩ එහා මෙහා යැවීමේ සේවාවට මැනැවින් උපයෝගි කරගෙනන ඇත. ඊ කොමස්, ක්ලෝඞ් පරිගණක, ඩිජිටල් ස්කී‍්‍රමිං සහ කෘතීම බුද්ධිය යන අංශ සතරක පැතිරුණ තාක්ෂණය මෙහි ලා භාවිතා කෙරේ. ගූගල්, ඇපල් සහ ෆේස් බුක් ඇතුළු තාක්ෂණික සමාගම් හවුල් කරගෙන ඇති බව දැක්වේ.

ඇමේසන් සමාගම පෙන්වා දෙන අන්දමට මාසයකට ඇමරිකානු ඩොලර් පහලොවකට ආසන්න මුදලක් ගෙවා ඇමේසන් ෆෙෂ් ජාලයේ සාමාජිකත්වය ගත හැකිය. නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, චිකාගෝ ඇතුළු ලොව පුරා ප‍්‍රධාන නගර 2000 ක මෙම සේවාව දැනට පවතී. ඉදිරියේ දී තවත් ව්‍යාප්ත වන බව එහි බලධාරීහු නිවේදනය කරති. ඇනවුම් කර පැයක් හෝ පැය දෙකක් ඇතුලත නැවුම් එලවලූ හෝ පලතුරු නිවසටම සැපයෙන අතර ගොවිපොලෙන් ලබා ගත් අලූත්ම අස්වැන්න බවට සහතික කෙරේ. සාමාන්‍යයෙන් සුපිරි වෙළද සැලක භාන්ඩ තෝරාගෙන ඒවාට මිල ගෙවා අතට ගන්නට පැය භාගයක් හෝ යන පසුබිමක මෙවැනි වේගවත් අලූත් පියවර ඉතාම ජනප‍්‍රිය වී ඇත. ඇමේසන් ෆෙෂ් ක‍්‍රමයේ සාමාජික වන පිරිසට තමන් ජීවත්වන රට තුළ, එම ප‍්‍රදේශයේ නිපදවන දේ ස`දහා පමණක් මෙම සේවාව විවෘත අතර අනෙක් දේ වෙනුවෙන් දිනක සිට දින දෙකක දක්වා ප‍්‍රවාහන කාලසීමාවක් ප‍්‍රකාශයට පත් කර ඇත.

දිනපතා පරිභෝජනය කරන ආහාර අතරින් සෑහෙන කොටසක් කෘතීමව නිපදවූ සහ කල් තබා ගත හැකි ද්‍රව්‍ය යෙද වූ හෙයින් නැවුම් ආහාර වෙනුවෙන් වෙළද පොලක් දියුණු කිරීම ලෝක වාසීන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සදහා ද වැදගත් මෙහෙවරක් බව මෙම ක‍්‍රමය ගැන අදහස් දක්වන විචාරක මතයයි. එලවලූ, පලතුරු ඇතුළු ආහාර වගා කරන ගොවියන්ට ද හෙයින් ලැබී ඇති පිටිවහල සුළු පටු නොවේ. ගොවිපොලෙන් ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නා තොග ගැනුම්කරුවෝ ඒවා සිල්ලර වෙළද සැල් දක්වා යොමු කිරීමේ දී අතරමැදි ආදායමක් උපයා ගන්නා අතර එම ආහාර වර්ග පාරිභෝගිකයා දක්වා ප‍්‍රවාහනය කරන අතර තුළ ආහාර වර්ගවල විශාල නාස්තියක් ද සිදුවන බව පෙන්වා දී තිබේ. අනාගතයේ දී බිහිවන කාර්ය බහුල ස්වභාවය තුළ ඇමේසන් ෆෙෂ් සෑහෙන ඉදිරි මෙහෙවරක නිරත අතර සමාගමේ තවත් කොටසකට අනුව කාබනික ආහාර වර්ග පවා මිල දී ගැනීමට අවස්ථාව දී තිබේ.

ජනගහන වර්ධනය සමග ආහාර නිපදවීම වැඩි කරන අතර තුර නිපදවන ආහාර සුරක්ෂිතව කෙලින්ම පාරිභෝගිකයා වෙත ඉක්මනින් යවන වැඩ පිලිවෙලක් මගින් නාස්තිය අවස වන බව ද පෙන්වා දිය හැකිය. එය අනාගත ආහාර වෙළ`ද පොල තුළ දැකගත හැකි තවත් ඵලදායී පැත්තකි.