» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/03/2019 - දේශය
ප‍්‍රවාහනයේ වෙනස්වෙන හැඩතල

නොබෝදා නෙදර්ලන්තයේ ජීවත්වන විද්වත් ශී‍්‍ර ලාංකිකයෙකු ගේ එරට භාවිතා කළ හැකි රියැදුරු බලපත‍්‍රය වසර දහයකින් දීර්ඝ කළේය. එරට නීතිය අනුව වයස්ගත වන විට බලපත‍්‍රය අලූත් කරගත යුතුය. වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දුන් හෙතෙම රිය ධාවනයට සුදුසු කායික හා මානසික මට්ටමක සිටින බව තහවුරු විය. හෙතෙම ජීවිතයේ අනූ වැනි වයසට සේන්දු වී සිටී. එවැනි වයසක දී තවත් අවුරුදු දහයකට බලපත‍්‍රය අලූත් කරගැනීම හෙතෙම අත්පත් කරගත් වරප‍්‍රසාදයකි. නෙදර්ලන්තයේ සමාජ මටට්ම ඉහළය. වයස අවුරුදු සියය සම්පූර්ණ වන ජනතාවගේ සිහිනය වාහන බලපත‍්‍රය ආරක්ෂා කර ගැනීමය. එය නෙදර්ලන්තයේ ජ්‍යෙශ්ඨ පුරවැසියන්ගේ ආඩම්බරයට එක හේතුවකි.

අවුරුදු සියයක දී පවා රියැදුරු බලපත‍්‍රය වලංගු කිරීම පුදුම ආරංචියක් නමුත් අනෙක් පැත්තක් ද තිබේ. ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව රියැදුරු බලපත‍්‍රය වටිනාකමක් නැති කඩදාසියකි. අනාගතයේ දී බලපත‍්‍ර අවශ්‍ය නැත. නුදුරු කාලයේ දී රියැදුරු වෘත්තිය අහෝසි වෙන්නට ද ඉඩ තිබේ. නොසිතන පැති යතාර්ථයක් වී ඇති වකවානුවක පරම්පරාවක් දෙකක් කාලය ගත වන විට වාහනයකට රියැදුරෙකු අනවශ්‍යය. එවැනි පරිවර්තනයක් හමුවේ බලපත‍්‍රයක් ළඟ තබා ගැනීම අවශ්‍ය නැත. එය ඔප්පු වෙමින් තිබේ. වසර 2020 දී ජපානය ඔලිම්පික් තරගාවලිය එයට එක උදාහාරණයකි. ජපාන ඔලිම්පික් තරඟයට කලින් කලින් රියැදුරු රහිත වාහන තෝකියෝ නගරයේ ධාවනය කිරීම ජපන් රජයේ ඉලක්කය වී තිබේ. පසුගිය දා රියැදුරු රහිත වාහන අත්හදා බැලීය. තාක්ෂණය තවම පළමු අදියරේ පවතී. එය වර්ධනය කර ගත හැකිය. මගීන් පහලොස් දෙනෙක් සමග පැයට කිලෝ මීටර් හතලිස් පහක වේගයෙන් ගමන් කරන්නට පහසුව ලැබී තිබේ. රියැදුරු රහිත වාහන ගමන් කිරීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. යටිතල පහසුකම් දියුණු කළ යුතුය. විශේෂයෙන් පස්වන පරම්පරාවේ රැහැන් රහිත දුරකථන තාක්ෂණය අත්‍යවශ්‍යය. මාර්ග පද්ධතිය වෙනස් කළ යුතු අතර යාන්ත‍්‍රික බුද්ධිය සහිත පරිගණක වලින් අන්තර් ජාලයේ මාර්ග සිතියම් කියවා එයට අනුරූප වන සුපිරි හැකියාව තිබිය යුතුය. මගියෙකු දෙන සංඥාව අනුව ඉතාම නිවරුදිව ගමන් මග තෝරා ගෙන ඉලක්කයකට ගමන් කළ හැකි බව රියැදුරු රහිත වාහන දැනට ඔප්පු කර තිබේ. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය හා ඔස්ටේ‍්‍රලියාව මෙම පර්යේෂණය ගැන ඉදිරි කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් ඇත. සාර්ථක වන දිනයේ දී වාහන බලපත‍්‍රය ආරක්ෂා කරගැනීම වැදගත් නැත. රියැදුරු තනතුර වෘත්තියක් නොවේ. තමන්ට කැමැති ගමන වාහනයේ බොත්තමක් එබීමෙන් සාක්ෂාත් කරගත හැකිය.

ඉන්ධන නැති, ඉන්ධන යෙදවීමක් රහිත හෙයින් එන්ජිමක් නැති වාහන වලින් රියැදුරෙකු ගේ මෙහෙයැවීමක් රහිත ගමන ලෝකයේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සිදුවන අනෙක් විශාල විප්ලවයකි. එන්ජිමක් නැති රෝද හතර වෙනුවෙන් විදුලියෙන් බලගැන්වෙන මෝටර් යෙදවූ වාහන අද ප‍්‍රායෝගිකව භාවිතා කෙරේ. ප‍්‍රකට වාහන නිෂ්පාදන සමාගම් එන්ජින් සහිත වාහන නිපදවීම නතර කර ඇත. ලෝකයේ ප‍්‍රධාන නගර ගණනාවක් ඉදිරි වසර විස්ස තුළ විදුලියෙන් ධාවනය වන වාහන පමණක් භාවිතා කරන සැලැස්මකට ගමන් කරමින් තිබේ. එය පරිසර හිතකාමී වන අතර නඩත්තු වියදමක් නැත. ආර්ථිකයට විශාල වාසි අත්පත්කර දෙයි.

ප‍්‍රවාහනයේ අලූත් අත්හදා බැලීම් එතැනින් නතර වන්නේ නැත. මහා පරිමාන මගී ප‍්‍රවාහන දුම්රිය වල ද සෑහෙන වෙනස්කම් සිදුවිය හැකිය. මැදිරි තුනක් එකතු කරගත් පීලි රහිත දුම්රියක් චීනයේ හුනෑන් ප‍්‍රාන්තයේ ධාවනය කර තිබේ. එය විදුලි දුම්රියකි. වැදගත්ම කාරණය ස්වයං පාලනය සහිත දුම්රියකි. වරක් ආරෝපනය කළ විට පැයට කිලෝ මීටර් හැත්තෑවක වේගයෙන් කිලෝ මීටර් විසි පහක් ධාවනය කරන්නට එම දුම්රියට සමත් කමක් ඇත. ගමනට ගත වූ කාලය විනාඩි දහයකි. එය මැදිරි පහක් දක්වා දියුණු කරන්නට දැන් සූදානම්ය. අත්හදා බැලීමේ දි මැදිරි තුනකින් සමන්විත ස්වයං පාලිත විදුලි දුම්රිය මගීහු පන්සියයක් සමග සෑහෙන වේගයකින් ගමන් කර ඇත. සාමාන්‍ය මහා මාර්ගයේ මැදිරි එල්ලාගත් මගී දුම්රියක් ධාවනය වනු දැක ගන්නට හුනෑන් ප‍්‍රාන්තයේ වැසියෝ එකතු වූහ. පී‍්‍රති ඝෝෂා නැගූ අතර මාර්ගයේ ඇති වංගු අතරින් පරෙස්සමෙන් ගමන් කළ දුම්රිය මෙතෙක් පීලි වල ධාවනය කරන ලද යුගය අවසන් කරන ලද බවට සංකේතයක් වී තිබේ.

හුනෑන් හි කිලෝ මීටර් තුනකට මදක් වැඩි දුරක දිනපතා ධාවනය වන මෙම ස්වයං පාලිත, විදුලිය දුම්රිය පීලි රහිත ගමනක් අරඹා ඇති අතර සාමාන්‍ය දුම්රියක් ධාවනය කරන්නට වැය වන මුදලින් පහෙන් එකක් වියදම් කර ධාවනයට එක් කරන්නට සමත් වීම විශේෂ තත්ත්වයකි. ධනය ඉතිරි කරන, අලූතින් මාර්ග පද්ධති හදන්නට අනවශ්‍ය මෙම මගී දුම්රිය ලෝකයේ වෙනත් රටවලට ද පැතිරෙන දිනය වැඩි ඈතක නොවේ.

ලෝකය බිහි වූ දා සිට කාර්යක්ෂම ගමන් බිමන් ගැන අත්හදා බලා තිබේ. පැරණි ආකල්ප වෙනස් වී ඇත. රෝදයට වඩා වඩා වේගයෙන් කැරපොත්තාගේ කකුල් වලට ඇවිදින්නට පුලූවන්කමක් ඇති බව පර්යේෂණ වලින් තහවුරු කරගෙන ඇත. රෝදය සොයා ගැනීම අහම්බෙන් සිදුවූ නමුත් එය සමාජයේ ඉදිරි ගමනට සිදුවූ බාධාවක් සේ දැනෙන දිනය වැඩි ඈතක නොවේ. රෝදය භාවිතා කිරීම ද අතීතයට එකතුවුවහොත් ප‍්‍රවාහනයේ අද පවතින පැවැත්ම සම්පූර්ණයෙන්ම හිතා ගත නොහැකි තැනකට පත්වීම වැලැක්විය නොහැකිය.