» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/02/2019 - දේශය
පස් වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය

‘‘නොකියා’’ වෙළඳ නාමය ලෝක ප‍්‍රකටය. තොරතුරු තාක්ෂණ, විදුලිය සංදේශ හා ගෘහ විදුලිය උපකරණ නිපදවීමේ නිරත බහු ජාතික සමාගමකි. ලෝකයේ රටවල් සිය ගණනක නිෂ්පාදන කම්හල් පවත්වාගෙන යන නොකියා ආයතනයේ සේවය කරන පිරිස ලක්ෂ ගණනකි. නොකියා සමාගම, පින්ලන්ත යේ පිහිටි සිය නවතම නිෂ්පාදන අංශය ගැන මෑතක දී අනාවරණය වූ තොරතුරු අනුව එහි මෙහෙයුම් වලින් සියයට අනූනමයක් ස්වයංකී‍්‍රයව සිදුකෙරේ. මිනිස් ශ‍්‍රමය භාවිතා කිරීම සියයට එකකි. සියළුම යන්ත‍්‍ර රොබෝ තාක්ෂණයෙන් යුක්තය. රොබෝ යන්ත‍්‍ර වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන වාතයේ ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය පවා ස්වයංක‍්‍රීවය පාලනය කෙරේ. ඉතාම ඉහළ ගුණාත්මක භාවයක් සහිත පස්වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය මෙහි දී උපයෝගී කර ගැනේ.

රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණය වේගවත් දියුණුවක් කරා පැමිණ තිබේ. හතරවැනි පරම්පරාවේ සිට පස්වැනි පරම්පරාවට එන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එය වේගවත්ය. හතරවැනි පරම්පරාවට වඩා වේගයෙන් දත්ත සම්පේ‍්‍රශණය කරයි. වයර් ඇද නිවාස හා කම්හල් යා කර සන්නිවේදන කරන ලද කාලය අවසන් කරමින් රැහැන් රහිත සන්නිවේදනය වේගයෙන් දියුණු වූ අතර පස් වැනි පරම්පරාව වියදම අඩු, බලශක්ති පිරිවැය සීමා කරන හා ඉතාම කාර්යක්ෂම විභවයක් ඇති කර තිබේ. ඇමරිකාව හා කොරියාව දැනට එය භාවිතා කරයි. චීනය, ජපානය, පින්ලන්තය හා ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් ගණනාවක් එම තාක්ෂණයට ඇතුළුවීමට ප‍්‍රයත්න දරමින් සිටී. පින්ලන්තයේ විශ්ව විද්‍යාලයක රැහැන් රහිත සන්නිවේදනයේ පස් වැනි පරම්පරාව ක‍්‍රියාත්මක අතර නොකියා සමාගම මෙහෙයැවෙන්නේ ඒ ආශ‍්‍රිතවය.

රැහැන් රහිත සන්නිවේදනයේ පස්වැනි පරම්පරාව සතු සුවිශේෂීතා හදුනා ගැනීම වැදගත්ය. දැන් භාවිතා වන හතරවැනි පරම්පරාවේ සන්නිවේදනයට වඩා දහ ගුණයක් වේගවත්ය. වර්ග කිලෝමීටරයක් තුළ එකිනෙකට වෙනස් මෙවලම් මිලියනයක් එකිනෙකට සම්බන්ධ කළ හැකි වනු ඇත. දැනට භාවිතාවන සියළුම ගණන් ගැනීම් පරාජය කර ඉතා වේගයෙන් හා නිවැරදිව සන්නිවේදනයෙහි නිරත වනු ඇත. මෙය අද පවතින ජනතාව අතර සන්නිවේදනය අභිබවා සමස්ථ සංහතිකය සමග කරන සන්නිවේදනයෙහි සමත්වන ගුණාත්මක පරිවර්තනයකි. එමගින් යන්ත‍්‍ර හා යන්ත‍්‍ර අතර කරන සන්නිවේදන ව්‍යුහයක් බිහි කර ඇත. අවසානයේ දී එය ඉතාම බුද්ධිමත් රොබෝ තාක්ෂණ යුගයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. පස් වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය සමග කෘතීම බුද්ධි පරිනාමනය අතිශය සංකීර්ණ ක‍්‍රියාවලියක් වනු ඇති අතර එය පාලනය කරන්නේ කෙසේ ද යන්න ගැන ද ජාත්‍යන්තරය තුළ සෑහෙන බරපතල විවාදයක් තිබේ. මානව පැවැත්ම තර්ජනයක් වන තත්ත්වයට පත් විය හැකි ද යන ප‍්‍රශ්නය ද ගැඹුරෙන් සාකච්ඡා කරමින් සිටී. අතිශය විනාශකාරී යුගයක් ඇතිකරන්නට සමත් විය හැකි නමුත් පස්වන පරම්පරාවේ සන්නිවේදනයේ ගමන නතර කිරීමට ලෝකයේ කිසිම රටක් සූදානම් නැත. තත්ත්වය කොපමණ වාසිදායක හා අනෙක් පැත්තෙන් බරපතල නමුත් වසර 2020 වන විට ලෝකය පුරා පස් වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය භාවිතා වනු ඇතැයි සැලකේ.

කම්හල් නවීකරණය වනු ඇති අතර, මානව අවශ්‍යතා හා සේවා වල සෑම අංශයක්ම අති විශාල පරිවර්තනයකට ලක් වනු ඇත. එන්ජිමක් හෝ රියැදුරෙකු නැති ප‍්‍රවාහන සේවා භාවිතාවට පැමිණීම අනිවාර්ය කාරණයකි. අහස පුරා ඩ්‍රෝනා සැරි සරන අතර ඒවායේ මගීන් හෝ භාණ්ඩ ප‍්‍රවාහනය කෙරේ. නිවසට ඇනවුම් කරන ආහාර ද්‍රව්‍ය ඩ්‍රෝන තාක්ෂණයෙන් නිවසට ප‍්‍රවාහනය කරන අතර එයට අවශ්‍ය සන්නිවේදන යටිතලය පස් වන පරම්පරාවේ රැහැන් රහිත සේවාව වලින් සැපයෙනු ඇත. මුද්‍රණ යන්ත‍්‍රයේ සොයා ගැනීම මෙම පස්වන පරම්පරාව ගැන උදාහරණයක් වශයෙන් සමාජ විද්‍යාඥයෝ දක්වති. සන්නිවේදනයේ දී කතාවෙන් හා අතින් ලියමින් සිටි සමාජයක් මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීමෙන් ඉනික්බිතිව සෑහෙන පරිවර්තනයකට ලක් විය. එය නූතන සන්නිවේදන ව්‍යුහයේ ලෝක ව්‍යාප්ත භාවයට දායක වී ඇත. මිනිසා මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීමෙන් සිදුවූ විප්ලවය හා සමාන මෙහෙවරක් පස් වැනි පරම්පරවේ රැුහැන් රහිත සන්නිවේදනයෙන් සිදුවන බව සැලකේ.

ඉදිරි වසර පහ තුළ පස් වැනි පරම්පරාවේ රැහැන් රහිත තාක්ෂණය ලෝක ව්‍යාප්ත වුවහොත් පවතින සෑම දෙයක්ම එකිනෙක හා සම්බන්ධ වනු ඇත. අන්තර් ජාල සම්බන්ධතාවයේ නතරවීමක් නැත. එය සුළඟ මෙන් ස්වභාවිකව පවතින අතර පරිගණක ජාලා හා රොබෝ තාක්ෂණය එකට එකතු වී, තීන්දු ගැනීමේ දී කාලය ගතවීම ඉතාම අවම මට්ටමකට පත් විය හැකිය. මේවා අද පවතින ස්වභාවය අනුව හිතා ගැනීමට හෝ නොහැකි වේගයකි. එකිනෙක තැන් වල ඇති දත්ත සම්පූර්ණයෙන් එකට සම්බන්ධ වන අතර ව්‍යාපාර, කර්මාන්ත හා සේවා අංශ විශ්වාසවන්ත, සීමාවක් රහිත ඉතාම කාර්යක්ෂම තැනකට හැරවෙනු ඇත. යම් භාණ්ඩයක් හිඟ වෙළඳ පොලකට භාණ්ඩ ඇති තැනකින් සැපයෙන තීරණය ක්ෂණයකින් ගැනෙන අතර ඒවා වෙන්කර ප‍්‍රමාදයකින් තොරව සැපයෙන අඩුම කාලයකින් ප‍්‍රවාහනය කරන ආකාරය යෝජනා කරන්නට ප‍්‍රමාදයක් නොවේ. සෞඛ්‍ය, ප‍්‍රවාහන හා ගොවිපොල නිෂ්පාදන ප‍්‍රවාහනය වැනි කාරණා වල දී මෙම තාක්ෂණය යහමින් භාවිතා කරන්නට ඉඩ තිබේ. එමගින් පැවැත්ම පරිවර්තනය වන අතර හදිසි කාරණා වල දී බාධාවකින් තොර තීරණ ගැනීමේ අවකාශයක් නිර්මාණය කරනු ඇත. හදිසි කාලගුණ විපතක් එනම් ගංවතුර හෝ කුණාටු තත්ත්වයක දී මගී ප‍්‍රවාහනය සුරක්ෂිත කරනු සඳහා සම්පූර්ණයෙන් එකවර අක‍්‍රිය කරන්නට හැකිය. විපතට පත් වූවන් ගලවා ගැනීමට එකවර මෙහෙයුම් ඇරඹෙනු ඇත. නොයෙක් තැන් වලින් එන හදිසි පණිවුඩ කිසිම බාධාවකින් තොරව වෙන් වෙන් වශයෙන් අවශ්‍ය කරන පාලන මධ්‍යස්ථාන වලට භාර කෙරෙන අතර අත්‍යවශ්‍ය සේවා වලට ස්වයංකී‍්‍රයව නියෝග නිකුත් කරන්නට ඉඩ ලැබේ.

පස් වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය මගින් අනාවරණය කරන පැතිවලින් ඇති විය හැකි අනතුර ගැන ලෝකයේ අවදානමක් ඇත. තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කරන්නට සිදුවන අති විශාල ප‍්‍රාග්ධනය සම්බන්ධව අවධානය යොමු වී තිබේ. රාජ්‍ය, පුද්ගලික අංශය හා පුද්ගලයන් එකිනෙකා හා සම්බන්ධ වන යුගයක ඇති විය හැකි අභියෝග මොනවාදැයි විද්වතුන් අලූතින් තක්සේරු කරමින් සිටී.