» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/01/2021 - දේශය
සිංගප්පූරුව කොවිඞ් එන්නත් පෝලිමේ ඉදිරියෙන්

නව වසරක් උදා වී තිබේ. පසුගිය අවුරුද්දෙන් රැගෙන ආ කොවිඞ් භීතිය තවමත් සමාජය කළඹවමින් සිටී. බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන නව ප‍්‍රභේධය තවත් නොසන්සුන් තත්ත්වයක් ගැන පෙර නිමිත්තක් විය හැකිය. කොවිඞ් වසංගතය බිහිසුණුව පැතිරෙන විට ලෝකය පුරා සිදුවුන සිදුවීම් වැදගත් පාඩමක් උගන්වයි. රටක පැවැත්මට ගත යුතු තීරණ ඉදිරියේ සිංගප්පූරුව නිතර සිය නිර්භීත හා දූරදර්ශී භාවය පෙන්වා තිබේ. ලෝකයේ අනෙක් රටවල් අහන, දකින තොරතුරු වලින් විස්මිතව සිටිය දී සිංගප්පූරුව නිහඩවම තිරය පිටුපස සිට කාර්ය භාරයක් කරගෙන ගියේය. එය එරට ජනතාව බියෙන් අත්මුදවා ජීවිත බේරාගැනීමේ අරමුණ ඇතිවය. එය පහසු කාර්යයක් වූයේ නැත. ජනතාව හමුවට පැමිණි එරට අගමැති ලී හුසෙයින් පසුගිය දිනක ඉතා පැහැදිලිව හා ක‍්‍රමානුකූලව සිය අභිලාශය හා වැඩ පිලිවෙල සවිස්තරාත්මකව ජනතාව හමුවේ තැබීය.

අගමැතිවරයාට අනුව ලෝකයේ ප‍්‍රධාන පෙලේ සමාගම් දෙසියකට වඩා ප‍්‍රමාණයක් කොවිඞ් එන්නතක් සදහා පර්යේෂණ අරඹන ලද බව ඔවුහු දැන සිටියහ. සියල්ල සාර්ථක නොවන බව වටහාගෙන සිටි තවත් කරුණකි. එරට බලධාරීහු එම එන්නත හැදෙන ආකාරය නිරීක්ෂණය කළේය. සමාගම් සමග සාකච්ඡා කරමින් විද්‍යාවෙන් කෙරෙන නවතම සොයා ගැනීම් තේරුම් ගැනිමට උත්සාහ කර ඇත. සාර්ථක විය හැකි නිෂ්පාදකයන් ගැන පසුබිම විමර්ෂණය කළේය. ලෝකයේ කොතැනකින් හෝ ඉතාම ඉක්මනින් එන්නතක් නිපදවනු ඇති බව හොදාකාරව දැනගෙන සිටියේය. ඉදිරියෙන් මතුවන අවස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් සූදානම් කළේය. එය ඔට්ටු ඇල්ලීමක් වැනිය. බෙහෙතක් නිපදවනු හැකි යැයි අනුමාන කළ සමාගම් කිහිපයක් සමග ඒවා නිපදවා අවසන් වන්නටත් කළින් සාකච්ඡා ඇරඹීය. පූර්ව මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරන තීන්දුවක් ගත්තේය. වඩාත් ප‍්‍රතිඵල ලැබෙනු ඇතැයි මුලින්ම තොරතුරු ලැබුණ මොඩෙර්නා, ෆයිසර් එන් බයෝ ටෙක් සහ සයිනෝවැක් යන සමාගම්වලට අත්තිකාරම් ගෙවා ඇත. එන්නතක් නිපදවනු ඇතැයි මතයක් පමණක් තිබුණ පසුබිම තුළ රජයේ මුදල් අවදානම් තැනක යෙදවීම ගැටළු ඇති කරන තීරණයක් විය හැකිය. එහෙත් සිංගප්පූරු රජය එම තීරණය ගෙන තිබේ. පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නායකත්වය ගෙන ඇත. මිල දී ගැනිමට අත්තිකාරම් වෙන් කළා පමණක් නොව සායනික අත්හදා බැලීම් සදහා රට තුළ අවස්ථාව දුන්නේය. එන්නත නිපදවන සමාගම් වලට සිංගප්පුරුවට පැමිණ ආයෝජනය කර රසායනික නිපදවන කම්හල් අරඹන සේ ආරාධනා කර තිබේ. එය අලූත් වටයකින් ආයෝජකයන්ට සපයන ලද අවස්ථාවකි.

පිටරටවල කරන කොවිඞ් එන්නත සම්බන්ධ පර්යේෂණ ගැන එවැනි ක‍්‍රියාත්මක බවකින් නතර නොවූ සිංගප්පූරු රජය දේශීය වශයෙන් බෙහෙතක් නිපදවන ප‍්‍රයත්නයක ද නිරත විය. එරට රසායනික විද්‍යාඥයින් හා පර්යේෂකයන්ට අවස්ථාව සම්පාදනය කළේය. රට තුළ කරන විද්‍යාත්මක අත්හදාබැලීම් වලට ඇතිවිය හැකි බාධා ඉවත් කර ඉක්මනින් වැඩ කරන්නට හැකි වාතාවරණයක් ද පාදා දුන්නේය. එය ජන ජීවිතයේ සුරක්ෂිතතාව නැවත නැවතත් තහවුරු කරගන්නට අනුගමනය කළ දෙවැනි ආවරණයක් වශයෙන් සැලකිය හැකිය. යම් අවස්ථාවක ලෝකයේ කෙරෙමින් තිබුණ පර්යේෂණ අසාර්ථක වුවහොත් රට තුලින් යමි ප‍්‍රතිඵලයක් අත්පත් කරගැනීමට හැකි වෙතැයි අනුමාන කරන්නේය. එය වයිරසයට එරෙහිව ගෙන යන සටන පැති කිහිපයකින් සන්නද්ධ කිරීමක් වන අතර අවසාන අරමුණ පුරවැසියන්ගේ ආරක්ෂාව හැර අනෙකක් නොවේ. සිංගප්පූරඇ අගමැතිවරයා ජාතිය අමතා කළ විශේෂ ප‍්‍රකාශයක දී ‘‘ලෝකයේ එන්නතක් නිපදවන විට එය මිල දී ගැනීමේ පොලිමක් හැදුනොත් සිංගප්පූරුව එහි පළමුවැනියා වීම අරමුණ’’ බව දැක්වීය. ‘‘පෝලිමේ අන්තිමයා වීමට කිසිම අභිලාශයක් නැති බව’’ හෙතෙම ජනතාවට අවධාරණය කළේය.

එන්නත ලබා ගෙන සිංගප්පූරුව ආරක්ෂිත දේශයක් කිරීම එකම සටන විය. රජයේ දෙපාර්තමේන්තු, සමහර පුද්ගලික සමාගම් සහ රජයේ ප‍්‍රධානීහු මෙම තීරණාත්මක මෙහෙයුම සමග එකිනෙක සම්බන්ධ වී සිටියේය. විශිෂ්ඨ ප‍්‍රතිඵලයක් සදහා ආණ්ඩුව එම කණ්ඩායම උපරිම ශක්තියෙන් මෙහෙයවා තිබේ. ජාතිය මුහුණ පා ඇති ඉරණම වෙනස්කරන අරමුණට මුල්වී ඇති සහ මෙම ව්‍යවසනයෙන් රට ගලවා ගන්නා පිරිස වීරයන් සේ නම් කරන්නට පසුබට වී නැත.

කොවිඞ් සදහා පළමු එන්නත සාර්ථකව නිපදවන ලද වත ලෝකය ඉදිරියේ වාර්තා වන විට වඩාත්ම සතුටට පත්වූයේ සිංගප්පූරුවයි. රසායනාගාර වාර්තා, තත්ත්ව පරීක්ෂණ හා සායනික පර්යේෂණ සමග ඉක්මනින් ඉදිරියට එන්නේ ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතය. එය ඇමරිකාවේ නිපදවා අවසන් වන විට පළමු එන්නත් තොගය සිංගප්පූරුවට එන්නේ ලෝකයේ එන්නත් මිල දී ගත් පළමු රටවල ලේඛණයේ ඉදිරියෙන්ම නම සනිටුහන් කරමින්ය. එතැනින් නතර වූයේ නැත. ගිවිසුම් අත්සන් කළ අනෙක් සමාගම්වල නිෂ්පාදන ද කෙලින්ම සිය රටට ලැබෙන බවට තහවුරු කරගෙනන සිටියේය. සැලසුම අනුව 2021 තුන්වැනි කාර්තුව වන විට එරට සියළුම පුරවැසියන්ට ප‍්‍රමාණවත් එන්නත් සම්පූර්ණයෙන්ම ලැබෙන බවට ස්ථිර තහවුරුවක් තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කමිටුවක් එන්නත දෙන පියවර වෙනුවෙන් පිලිවෙත් සම්පාදනය කර අවසන්ය. සියළුම වැඩිහිටියන්ට ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී එන්නත ලබා ගැනීමට ඉඩ පහසුකම් සැපයීම පළමු කාර්යය වශයෙන් නිර්දේශ වී තිබේ. වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය අංශයේ සේවයේ නිරතවූවන්ට සහ අත්‍යවශ්‍ය සේවා මෙහෙයවන ආසාදන අවදානම සහිත පළමු පෙළ කාර්ය මණ්ඩලවලට ද පළමු වටයේ දී එන්නත ලබාදෙන්නට නියමිතය. ඉනික්බිතිව එහි ප‍්‍රගතිය අනුව ඉතිරි සියළුම දෙනාට එන්නත දෙන අතර එම නිර්දේශ රජය පිලිගෙන තිබේ. සිංගප්පූරු අගමැතිවරයා දක්වන පරිදි හෙතෙම තම කමිටු නිර්දේශ විශ්වාස කර ඇත. කැබිනට් මණ්ඩලය එම විශේෂඥයන්ගේ නිර්දේශ වලට එකග වී තිබේ. අගමැති ලී හුසෙයින් සදහන් කරන පරිදි ඔහු ඇතුළු ජ්‍යෙශ්ඨ පුරවැසියන් ජාත්‍යන්තරයේ නිපදවන එන්නත සුරක්ෂිත බව විවාදයකින් තොරව පිලිගෙන ඇත. සියළුම පුරවැසියන්ට පමණක් නොව දිග කාලයක් එරට රැදී සිටින විදේශිකයන්ට ද නොමිලේ එන්නත ලබා දෙන්නට තීරණයකට පැමිණ තිබේ. සිංගප්පූරුවේ ජීවත්වන ජනගහනය මිලියන 5.7 කි. පුරවැසියන් එයින් සියයට හැට එකක් එනම් මිලියන 3.4 ක් පමණකි. සෙසු අයවලූන් එරට ජීවත්වෙන වෙනත් රටවල වැසියෝය.

එන්නත ලබා දුන් පසු එය ගන්න. එය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව ඔබ වාහකයෙක් විය හැකි නිසා ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කරනු සදහා ගන්නා පියවරක් බව ද අගමැතිවරයා ජාතිය අමතමින් ප‍්‍රකාශ කර සිටියේය. තමන් ආරක්ෂාවන පමණක් නොව සිංගප්පූරු ජන සමාජය ආරක්ෂා කරන හේතවක් වන අතර එන්නත ලබා ගැනීමට වගකීම ජනතාව සතු බව තදින් අවධාරණය කර තිබේ. අප සියළු දේ දැනගෙන උපත ලබන්නේ නැත. ඉගෙනගනිමින් වැඩෙන අතර වැරදීම් වලින් ලබන්නේ අමතක නොවන පාඩමකි. ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ අත්හදාබැලීම් වල සමහර දෝෂ සහ නිෂ්පාදනය ප‍්‍රමාදයක් වාර්තා වෙන බව ද දැක්විය යුතුය. එහෙත් තාක්ෂණික කාරණා පමණකි. දිග පෝලිමක අන්තිමයා වෙන්නට අප කැමැති නැත. පළමුවෙන් තීරණ ගතහොත් උදෑසනින් ජීවිතයේ මිහිර අත්වි`දින්නට හැකියාව තිබේ.