» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/06/2019 - දේශය
ඉන්ධන භාවිතය තහනම් රටක්

ප‍්‍රධාන බලශක්තිය වශයෙන් පොසිල ඉන්ධන භාවිතා කිරීම ඉතා සුලබ වකවානුවක් තිබුණි. බොරතෙල් නිපදවන රටවල් ඔපෙක් සංවිධානය වශයෙන්න එකතු වී සිටි අතර එම සංවිධානයේ තීරණ ලෝක ආර්ථිකය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් විය. මැද පෙරදිග කලාපයේ රටවල ක‍්‍රියාකාරීත්වය ලෝක බලවතුන් සසල කරන්නට සමත්විය. ඉදිරි දශකය හෝ දෙක අවසන් වන විට මෙම තත්ත්වය ඉදුරා වෙනස් වනු ඇත. පොසිල ඉන්ධන තව දුරටත් ඉතාම අත්‍යවශ්‍ය බලශක්ති ප‍්‍රභවයක් නොවේ.

ඇමැස්ටර්ඩෑම් නගරය ඉන්ධන බාවිතා කරන වාහන නගරයට ඇතුළු කිරීම තහනම් කිරීමට යයි. වසර 2030 සිට සම්පූර්ණයෙන්ම ඞීසල් හෝ පෙට‍්‍රල් භාවිතය නතර කරන අදහසක් ඇතිව කටයුතු කරමින් සිටී. නෙදර්ලන්යේ අගනුවර ඇමැස්ටර්ඩෑම් නගරයයි. එය පරිසර හිතකාමී සේ පවත්වාගෙ යන්නට නාගරික පරිපාලනය කටයුතු යොදමින් සිටී. වාහන වලින් පිටවන දුම එහි වායුගෝලයේ අපිරිසිදු බවට සියයට විසි පහකින් බලපාන බව ගණන් බලා ඇත. බොහෝ තැනිතලා ඇති නෙදර්ලන්තයේ පා පැදිය ඉතාම ජනප‍්‍රිය බව දැක්විය යුතුය. එරට වැසියන්ගේ දෛනික ප‍්‍රවාහනයෙන් සියයට තිස් හයක් පමණ පාපැදිය උපයෝගී වෙයි. පුද්ගලික ප‍්‍රවාහන භාවිතය සියයට 45 ක් පමණ වන අතර පොදු ප‍්‍රවාහන සේවා සියයට 11 පමණ ප‍්‍රතිශතයකින් උපයෝගී කර ගනිති. මෙම පුද්ගලික වාහන හා පොදු ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඉන්ධන භාවිතයෙන් තොර තත්ත්වයකට පත් කිරීමෙන් ඉතාම පිරිසිදු වාතය සහිත පරිසරයක් නිර්මාණය කර ගැනීම අපේක්ෂාවයි. වසර 2020 සිට සියළුම ඞීසල් වාහන තහනම් කරන අතර වසර 2022 සිට සියළුම බස් රථ ඉන්ධන වලින් තොර විදුලිය බලයෙන් ධාවනය වන ඒවා බවට හරවන නීති ගෙනැවිත් තිබේ. වාහන වලින් පිටවන දුම දිනකට දුම්වැටි හයක් උරන පුද්ගලයෙකු ගේ තත්ත්වයට සමාන බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත. එය ඉතා අහිතකර අතර ආයු අපේක්ෂාව සීමා කරයි. වාහන වලට අමතරව කර්මාන්ත වලින් වායු ගෝලයට වන හානිය බරපතල නමුත් අසල්වැසි කාර්මික රටවල් වලින් හමා එන වාතය එයට වගකිව යුතු බව දක්වයි.

ඇමැස්ටඩෑන් හි ජීවත්වන වැසියන් මෙම තීරණයට ඉතාමත් කැමැති වී තිබේ. නගරය අවට බැටරි බලයෙන් ධාවනය වන වාහන ආරෝපනය කරන ස්ථාන බහුල කරන්නට තීරණය වී ඇති අතර දැනට පුද්ගලික වාහන භාවිතා කරන සෑම පුරවැසියෙකුම විදුලිය බලයෙන් ධාවනය කළ හැකි මෝටර් රථ මිල දී ගැනීමට නැඹුරු වී සිටී. ජනතාව හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර පරිසරය ආරක්ෂා කරගෙන සුවපත් ජීවිතයකට ඉඩකඩ සලසා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඇමැස්ටර්ඩෑම් නගරය ලෝක අවධානයට ලක් වී ඇත.

පොසිල ඉන්ධන භාවිතය අත්හරින රටවල් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඉන්ධන දැවීමෙන් සිදුවන පාරිසරික හානිය තක්සේරු කරන අතර හිරු එළියෙන් නිපදවන පිරිසිදු විදුලිය ජන ජීවිතයට ආශීර්වාදයක් බව පිලිගෙන ඇත. විශේෂයෙන් පොදු ප‍්‍රවාහනයට භාවිතා කරන බස් රථ විදුලියෙන් ධාවනය කරන ඒවා බවටට හැරවීම නොයෙක් රටවල බලවත් ප‍්‍රයත්නයකි. මෑත කාලය තුළ චීනයේ විදුලියෙන් ධාවනය වන බස් රථ හාර ලක්ෂ විස් එක් දහසක් සේවයට යොදවා ඇත. යුරෝපයේ එය තරමක් අඩු නමුත් 2250 ක් බව අනාවරණය වෙයි. ඇමරිකාව, ජපානය හා ඔස්ටේ‍්‍රලියාව ඒ අතරින් ඉදිරියෙන් සිටී’. සෑම රටක්මම පොදු ප‍්‍රවාහනයට කරන අලූත් ආයෝජනයේ දී විදුලිය බලයෙන් ධාවනය වන බස් රථයක් යෙදවීමට සූදානම්ය. මූලික වියදම තරමක් ඉහළ නමුත් නඩත්තුව හා පරිසරයට සිදුවන හානිය ඉතාම අවම හෙයින් එය පොදු ජනතාවගේ කැමැත්ත දිනා ගෙන තිබේ.

වායු ගෝලය පිරිසිදු කරන උවමනාවෙන් විදුලිය වාහන හදුන්වා දෙන රටවල් ජනතාව වෙනුවෙන් විවිධ සහන හදුන්වා දෙන බව ද පෙන්වා දිය යුතුය. එස්ටෝනියාව එයින් එකකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ ධාවනය කරන පොදු ප‍්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ගාස්තු වලින් තොරය. එයින් කොටසක් විදුලියෙන් ධාවනය වන අතර අනෙක් අතට පුද්ගලික වාහන පරිහරණය ඉතාම අවම කරන තීන්දුවකි. එස්තෝනියාව උතුරු යුරෝපීය රටකි. කාලයක් සෝවියට් දේශය යටත් කරගෙන සිටියේය. මිලියන 1.5 ක පමණ ජනගහනයක් ජීවත්වන අතර 1991 වසරේ දී ස්වාධීනත්වය ලැබීය. එස්තොනියාව ඉ ආණ්ඩුකරනට ආරම්භ කළේ රට නිදහස ලබා අවුරුදු හයක් වන විට දීය. අද වන විට පුරවැසියන්ට සිය උවමනා එපාකම් වලින් සියයට අනූනමයක්ම අන්තර් ජාලය සම්බන්ධ කරගෙන කරගත හැකි තරමට දියුණුය. එහි පුරවැසියන්ගේන් බස් ගාස්තු රහිත ප‍්‍රවාහන සේවයක් ගැන ජනමත විමසුමක් කළ අතර එයට විශාල එකගතාවයක් ලැබුණි. යුරෝ දෙකක් ගෙවා හරිත ලියාපදිංචියක් වන සියළුම නගර වැසියන්ට ප‍්‍රවාහනය නොමිලේ සැපයේ. පිටපලාත්වලින් එන අයවලූන් හා සංචාරකයන් පමණක් ගාස්තුවක් ගෙවා පොදු පහසුකම් භුක්ති විඳීන්නට අවශ්‍යය.

ලක්සම්බර්ග් රාජ්‍ය ද ලෝකයේ ඉසුරුමත් රටවල් අතරින් එකකි. යුරෝපයේ ස්වාධීන කුඩාම රාජ්‍යයක් සේ සැලකේ. ලක්සම්බර්ග් පාලකයෝ විශේෂ නිවේදනයක් අනුව 2018 ග‍්‍රීස්ම සෘතුවේ සිට එරට පොදු ප‍්‍රවාහන සේවා නොමිලේ සපයනු ලැබීය. පොදු ජනතාවට නොමිලේ ප‍්‍රවාහන සේවා සපයන ලෝකයේ පළමු රට වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය එම තීරණය හදුන්වා තිබුණි. බස් රථ හා දුම්රිය පොදු ප‍්‍රවාහන සේවා ගාස්තු ඉතාම අඩු ගාස්තු ක‍්‍රමයක් අය කළේය. ඇතැම් මාර්ග වල මිල දී ගන්නා ටිකට් පතකින් පැය ගණනක් ගමන් කළ හැකි වූ අතර තවත් මාර්ගවල අවුරුදු විස්සට අඩු පුරවැසියන්ට ගාස්තු අය කළේ නැත. අලූත් යෝජනාව තවත් පියවරක් ඉදිරියට තැබීමකි. දිනකට ලක්ෂ පහක පමණ පිරිසක් ප‍්‍රධාන නගරවල එහා මෙහා ගමන් කරති. අධික වාහන තදබදය ඵලදායීතාවයට බාධා කරන බව එරට අධ්‍යයන වාර්තා අනුව නිරීක්ෂණය කර තිබේ. 2016 වසර වන විට එය ඉතාම හිරිහැරදායක විය. අසාමාන්‍ය වාහන තදබදයට හේතුව අධික වාහන භාවිතාව බව සැලකේ. පැය ගණන් මහා මාර්ගයේ ගත කිරීම වෙනුවට පුද්ගලික වාහන භාවිතය අඩු කිරීම යම් ප‍්‍රතිඵලයක් සපයනු ඇතැයි සලකන ලද අතර එය ඉහළ ප‍්‍රතිඵල අත්පත් කරදුන්නේය.

ඉන්ධන භාවිතාව අත් හැරීම, විදුලිය බලයෙන් ධාවනය වන වාහන සහ බස් ගාස්තු නැති නගර යනාදි වශයෙන් ජගත් ප‍්‍රජාව ප‍්‍රවාහනයේ අලූත් රාමු හදුන්වා දෙමින් සිටී. මේවායෙන් අත්පත් කරගන්නා අවස්ථා ජන සමාජයේ පැවැත්මට ඉතා යහපත්ය. අලූතින් හිතන්නට අවශ්‍යය. පරිසරයේ සුරක්ෂිතතාව ජන ජීවිතයේ ඉතා ප‍්‍රබල සාධකයක් බවට පත් වෙමින් තිබේ