» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/11/2020 - දේශය
ඉන්දියාවේ සූර්ය බලශක්ති විප්ලවය

ඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රටට විශාල ආර්ථීකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසීල ඉන්ධන දහනයකර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ. සූර්ය තාපය එහි පදනමයි. හිරු එළිය උපයෝගීකරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති හෙයින් අලූත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වී තිබේ. එම රක්ෂා පරිසර හිතකාමී බව විශේෂයෙන් වාර්තා කරන කරුණකි. මහා පරිමාන ආයෝජන අංශ ගණනාවක් ද ඉන්දියාවට ලැබී ඇති අතර ඒවා සියල්ල සූර්ය තාපය උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන ව්‍යාපෘති බව සදහන් කරන්නට අවශ්‍යය.

ඉන්දීය වාර්තා දක්වන අන්දමට 2018 වසරේ සිට 2019 කාලය තුළ සූර්ය තාපයෙන් විදුලිය නිපදවීමට වැයවන මුදල සියයට විසි හතකින් අඩු වී තිබේ. එය ලෝකයේ අඩුම වියදමකින් කරන නිෂ්පාදනයකි. ඉන්දියාවේ ඉඩම් මිල ඉහළය. ශ්‍රමයට ගෙවන මුදල ද සාපේක්ෂව වැඩිබව ප්‍රකාශ වෙයි. එහෙත් සූර්ය තාපයෙන් විදුලිය නිපදවන තාක්ෂණය මිල අඩුවෙමින් තිබේ. එහි වාසිය ඉන්දියාව ලබා ගෙන ඇත. බැටරි මගින් විදුලිය ගබඩා කරන අවස්ථා ද වේගයෙන් නිර්මාණය වනු ඇතැයි සැලකේ.

තොරතුරු දක්වන අන්දමට ලෝකයේ සූර්ය බලය භාවිතාවට නැඹුරුව වැඩිම කලාපය ආසියාවයි. චීනය, ජපානය හා ඉන්දියාව එහි පෙරමුණ ගෙන තිබේ. 2019 වසරේ මෙම කලාපයේ සූර්ය බලය භාවිතාව පමණක් සියයට විසි හතරකින් වර්ධනය වී ඇත. එය ආසියාව පරිසරයට දක්වන කාරුණික භාවය සම්බන්ධයෙන් සංකේතයකි.

ඉන්දියාවේ බලශක්ති භාවිතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අධික ජනගහනය හා එරට ආර්ථීක වර්ධනය සමග විශාල ජන කොටසක ගේ ආර්ථීකය ඉහළට එසැවීම හෙයින් විදුලි පරිභෝජනය වැඩි වී ඇත. ඇස්තමේන්තු අනුව වාර්ෂික ඉල්ලූම සියයට එකොලහකින්ය. එරට ප්‍රාථමික බලශක්ති භාවිතාව දැනට පවතිනතත්ත්වයට වඩා සියයට 156 කින් වසර 2040 වන විට වැඩිවීමක් අපේක්ෂා කර තිබේ.

මෙම උවමනාවන්ට අවශ්‍ය තරමට විදුලිය නිපදවීම ගැටළු සහගතය. දැවිතෙල්, ගල්අගුරු හෝ වෙනත් ක්‍රම මගින් විදුලිය නිපදවීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. සූර්ය තාපය වෙනුවෙන් කරන ආයෝජනය දිනෙන් දිනඅඩුවෙන කාරණය එරට අවශ්‍යතාවයන්ට ගැලපෙන එකක් වී ඇත. ඉන්දියාවේ අඩානි හරිත බලශක්ති ආයතනය වසර 2025 වන විට සූර්ය තාපයෙන් විදුලිය නිපදවන දැවැන්ත බලාගාරයක් ඉදිකරන කොන්ත්‍රාතුවකට අත්සන් කර ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවයි. ලෝකයේ දැනට වාර්තා වන දැවැන්ත ආයෝජනයකි. බලශක්තියට ගෙවන වියදම අඩුවීම විශාල පරිවර්තනයක පළමු පියවර වනු ඇත. විදුලිය මිල අඩුවන විට සෑම කර්මාන්ත හා සේවා අංශයකම පිරිවැය පහත වැටේ. නිෂ්පාදන වල මිල අඩුවෙයි. පාරිභෝගිකයන්ට වාසියකි. අපනයනයට ඉතා වාසිදායක තත්ත්වයකි. අනාගතයේ දී ජාත්‍යන්තර වෙළද පොල ජය ගැනීමට ඉන්දියාවට හේතුවක් වනු නිසැකය.

ලෝකයේ සිදුවන මෙවැනි පරිවර්තන ශ්‍රී ලංකාවට බලපාන අන්දම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සූර්ය තාපයෙන් විදුලිය බලය නිපදවීමට රටට සෑහෙන අවස්ථා තිබේ. යෝජනා විශාල ප්‍රමාණයක් සාකච්ඡාවෙමින් පවතී. රජයට පමණක් කරන්නට නොහැකි මෙම ආයෝජන වලට දේශීය ආයෝජන වලට කළ හැකිය. තාක්ෂණය හා හවුල්කාරීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් සමග එකතුවීමට මෙරට ව්‍යවසායකයන්ට අවකාශයක් ඇත. නිසි ප්‍රතිපත්ති තීරණ ගැනීම පළමු අවශ්‍යතාවයයි. සාමාන්‍ය ජනතාවට පවා සිය නිවාස වල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් අඩු පොලියට දෙන ණය තවත් අඩු කරන්නට අවස්ථාව තිබේ. ලක්ෂ ගණනින් නිවාස දිවා කාලයේ දී විදුලියට හැරවෙන විට අලූත් විදුලිය බලාගාර අවශ්‍ය නැත. රාත්‍රී කාලයට ජල විදුලිය භාවිතා කළ හැකිය. ජාත්‍යන්තර ප්‍රජාව කොපමණ අවදියෙන් ද යත් සමහර රටවල් දිවා කාලයේ දී ජල විදුලි බලාගාර නතර කරනු පමණක් නොව ජලය සූර්ය විදුලියෙන් නැවත ඉහළට පොම්ප කරන ව්‍යාපෘති අරඹා තිබේ. නිදහසේ ගලා යන ජල මාර්ග වලින් ආපසු ඉහළට යැවෙන ජලය නැවතත් රාත්‍රී කාලයේ දී විදුලිය නිපදවන ටර්බයින් කරකවමින් පහලට ගමන් කරයි. මේවා විස්මිත දේ නොවන බව අද ලෝක ප්‍රජාව තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවට ද මෙම අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමට බැරිකමක් නැත.

තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ලෝකයේ ප්‍රබල වෙනස්කම් ඇති කරන ලද බව පැහැදිලිය. එකිනෙකා සමග සම්බන්ධවීමේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය හා තාක්ෂණික දියුණුව දක්වා විශාල පරාසයකට එහි අවස්ථා විහිදී ඇත.

නූතන සමාජය තුළ අවම සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථාන වල පවා තාක්ෂණය භාවිතාකර දියුණු වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය ඉතාම අඩු කරන්නට පරිගනක සම්බන්ධතා ඉවහල් වී ඇත. මේවාට විදුලිය බලය අවශ්‍යය. අඩු මිලට විදුලිය හා අඩු වියදමකින් දුරකතන සම්බන්ධතා සහිත සමාජ වේගයෙන් දියුණු වන බව සනාථ වී තිබේ. නොදියුණු රටවල් සහිත අප්‍රිකානු කලාපයේ ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටළු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකි වනු ඇති අතර නොබෝදා බ්‍රිතාන්‍ය සමාගමක් සූර්ය බලයෙන් එම රටවල දුර බැහැර ගම්මාන වලට ආලෝකය දෙන ප්‍රජා ව්‍යාපෘතියක් අරඹා තිබේ. ජපානය ද එයට හවුල් වී ඇත. එය වෙනත් අමතර කතාවකි. ලෝකය ලස්සන තැනක් කරන්නට කැපවන පිරිස් අලූත් අදහස් ඇතිව කැපවෙති. බලය තමන් අත පමණක් තිබිය යුතු යැයි කල්පනා කරන්නේ නැත. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු ඒකාධිකාරයක් විය යුතු යැයි සලකන්නේ ද නැත. පොදු ජනතාව අතට බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය හිමිවීම අලූත් යුගයක් බව මෙම නවීන මතධාරීහු විශ්වාස කරති. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා ස්වාධීනව සැපයීමට හැකි මාර්ගයක් වශයෙන් විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරකි. විදුලිය බලය ගැන පවතින රාමුගත අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලූත් සංකල්ප බිහි වී තිබේ. ඉන්දියාව ක්‍රියා කරන අන්දම හිතන්නට හොඳ පසුබිමක් බව දැක්විය යුතුය.