» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/09/2019 - දේශය
බලශක්තිය උත්පාදනය අලූත් මුහුණුවරක්

බ්‍රිතාන්‍ය බලශක්ති උත්පාදන සමාගමක් නවීන තාක්ෂණය භාවිතා කර දුගී ජනතාවගේ ජීවිත සැපවත් කරන්නට පියවර ගෙන තිබේ. අප‍්‍රිකාවේ රටවල විදුලිය භාවිතාව ඉතාම අඩුය. මෙම සමාගම එයට විකල්පයක් හදා තිබේ. එම අදහස අනුමත කරන ලෝකයේ නොයෙක් රටවල විද්වතුන් එකී අදහසට සෑහෙන පිලිගැනීමක් ඇති කරන ලද බව සඳහන්ය. රාත‍්‍රිය ඝන අන්ධකාරය් ගත කරන දරු පවුලකට ආලෝකය සැපයීමට පියවර ගැනීම කොපමණ මහාර්ඝ අදහසක්ද? සංකල්පය උසස් නමුත් එයට ආයෝජනය කළ යුතු ධනය සෑහෙන ප‍්‍රමාණයකි. විදුලිය උත්පාදනාගාරයක සිට දිග රැහැන් යෙදීම ප‍්‍රශ්නයකි. අනෙක ලෝකයේ යහපත ගැන සිතන සියළුම දෙනා විදුලිය නිපදවීම පමණක් නොව උත්පාදනය කරන ආකාරය ගැන ද සැලකිලිමත් වෙති. නිපදවීමේ දී යෙදෙන ප‍්‍රභවය අනුව පරිසරයට සිදුවන හානිය ගැන පූර්ව තක්සේරුවකට පැමිණෙති. කාබන් විමෝචනය ගැන පුලූල් අවධානයක් යොමු කරයි. පොසිල ඉන්ධන දහනය කරමින් විදුලිය නිපදවන අවස්ථා අවම වෙමින් තිබේ. එවැනි පසුබිමක දී බ්‍රිතාන්‍ය සමාගමේ ආයෝජනය ගැන හොඳ ප‍්‍රතිචාර ලැබීම පුදුමයක් නොවේ.

බ්‍රිතාන්‍ය සමාගම දෙස යොමු වන හේතුව විදුලිය නිපදවීමට අනුගමනය කරන ක‍්‍රමයයි. සූර්ය බලය උපයෝගී කරගැනීමට එහි දී පියවර ගෙන තිබේ. ජපානයේ සමාගමක් තාක්ෂණික සහාය දී ඇති අතර සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් දැනට ආයෝජනය කරන මුදල පවුම් මිලියන හතලිස් පහක් බව වාර්තා වෙයි.

අප‍්‍රිකානු රටවල ජනාවාස පිහිටා ඇති ආකාරය අනුව විදුලිය සැපයීම පහසු නැත. විශාල දුරකින් පිහිටා ඇති ගම්මාන කරා විදුලිය කණු යොදා යටිතල පහසුකම් සම්පාදනය ගැන හිතන්නට අවශ්‍ය තරමට ධනය නැත. අප‍්‍රිකානු මහාද්වීපයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක විදුලිය හිඟය. වාර්තාවන කරුණු අනුව සෑම තුන්දෙනෙකුගෙන් අයෙකුට විදුලිය පහසුව නැත. රුවන්ඩා, කෙන්යාව, ටෝගෝ සහ කොන්ගෝ යන රටවල පොදු ජනතාවගේ නිවෙස් වලට විදුලිය ලබා දීමට මෙම අරමුදල සූදානම්ව ඇත. ක‍්‍රමය අනුව තෝරාගත් ගම්මානවල පිහිටි නිවාස වලට කෙලින්ම සූර්ය කෝෂ සවිකර විදුලිය සම්බන්ධතා ලබා දෙයි. ඒවා ජාතික පද්ධතියට සම්බන්ධ කරන්නේ නැත. වෙන වෙනම ප‍්‍රජාව මගින් පාලනය කරන ක‍්‍රමයක් සකස් කර තිබේ. දැනට ප‍්‍රකාශ වන තොරතුරු අනුව ඒකක දෙලක්ෂ හැත්තෑ දහසක පමණ සම්බන්ධතා පරිගණක ගත කර ඇති අතර ඒවායේ විදුලිය උත්පාදනය හා භාවිතාව ගැන සොයා බැලීමට සුදුසු මෘදුකාංග සවිකර ඇත. සමහර ප‍්‍රදේශවල විදුලිය වෙනුවෙන් ගාස්තුවක් අය කර නඩත්තුවට මුදලක් උපයා ගන්නා බව ද වාර්තා වෙයි. අප‍්‍රිකානු රටවල දහවල් කාලයේ ඇති සූර්ය තාපය විදුලිය බවට හරවන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සෑහෙන හොඳ ප‍්‍රතිචාර ලැබී ඇත.

දියුණු රටවල් ස්මාට් යුගයක් කරා අවතීර්ණ වන අතරවාරයේ අප‍්‍රිකාවේ දුගී පැල්පත් වල වෙසෙන ජනතාවට එකී අවකාශය හා සමීප වෙන්නට විදුලිය ප‍්‍රමාණවත් අනුබලයක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ. විදුලිය සමග ලැබෙන දුරකතනය ජීවිත වල පරිවර්තනයක් ඇති කරනු ඇතැයි සැලකේ. විශේෂයෙන් කෙන්යාව බහුලව නවීන තාක්ෂණය භාවිතා කරන රටකි. ස්මාට් දුරකතන වලින් වැඩි වශයෙන් මුදල් හුවමාරුව කරන තරමට දියුණු වී ඇත. අවට ලෝකය ගැන ඇති අවබෝධය හා බැංකු ක‍්‍රමය ගැන ප‍්‍රමාණවත් දැනුමක් නැති නමුත් කෙන්යානු වැසියෝ ස්මාට් දුරකතන බාවිතයෙන් කරන ගනුදෙනු ලෝකය පුරා විමතියක් ඇති කර තිබේ. අප‍්‍රිකානු කලාපයේ රටවල ජන ජීවිතය වෙනස් කරන්නට ප‍්‍රයත්න දරන සංවිධාන උත්සාහ කරන්නේ එකී අවස්ථා සෑම නොදියුණු කලාපයකටම ව්‍යාප්ත කිරීමටය. විදුලිය එයට අත්‍යවශ්‍ය මෙවලමක් වී තිබේ.

තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ලෝකයේ ප‍්‍රබල වෙනස්කම් ඇති කරන ලද බව පැහැදිලිය. එකිනෙකා සමග සම්බන්ධවීමේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය හා අදහස් හුවමාරු කරගැනීම දක්වා විශාල පරාසයකට එහි අවස්ථා විහිදී ඇත. නූතන සමාජය තුළ අවම සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථාන වල පවා තාක්ෂණය භාවිතාකර දියුණු වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය ඉතාම අඩු කරන්නට පරිගනක සම්බන්ධතා ඉවහල් වී ඇත. අප‍්‍රිකානු කලාපයේ රටවල ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටළු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකි වනු ඇති අතර විදුලිය සැපයීම එහි ලා ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සඳහන්ය.

තවමත් ලෝකයේ නොයෙක් රටවල සූර්ය විදුලියබලය ගැන ප‍්‍රශ්න තිබේ. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු ඒකාධිකාරයක් විය යුතු යැයි සැලකේ. පොදු ජනතාව අතට බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය හිමිවීම අලූත් යුගයක් බව මතධාරීහු විශ්වාස කරති. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා ස්වාධීනව සැපයීමට හැකි මාර්ගයක් වශයෙන් විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරක් බව කල්පනා කරති. විදුලිය බලය ගැනපවතින රාමුගත අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලූත් සංකල්ප බිහි වී තිබේ. බ්‍රිතාන්‍යයේ පියවර ද අලූතින් ක‍්‍රියාවට නැගුණ දෙයකි. ඉදිරි දශකය තුළ ලෝකයේ අන්ධකාරයේ පවතින කලාප විශාල සංවර්ධනයක් අත්පත් කරගනු ඇති අතර විදුලිය හා ජංගම දුරකතනය එහි ලා ඉවහල් වනු ඇතැයි සැලකේ.