» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/08/2021 - දේශය
පාවෙලා ගිහින් විදුලිය නිපදවන ලෝකය

ජගත් ප‍්‍රජාව බලශක්ති උත්පාදනය කෙරෙහි අලූත් පැති වලින් අත්හදා බැලීම් කරමින් සිටී. ප‍්‍රාථමික යුගයේ දී ගින්දර, සුළග සහ වාතය කෙරෙහි නැඹුරුව තිබුණ ප‍්‍රවණතා දැන් නැවත දියුණු තාක්ෂණය සමග ඉදිරියට ගමන් කිරීමක් සිදුවෙයි. නිතිපතා අලූත්වන අදහස් අනුව එකිනෙකට වෙනස් ක‍්‍රම වලින් බලය, බලශක්තිය නිපදවන ක‍්‍රම හදුනාගනිමින් තිබේ. ලෝකයේ කරන අත්හදා බැලීම් ගැන අනාවරණය වන තොරතුරු අලූතින් හිතන්නට පොළඹවයි.

පොසිල ඉන්ධන මිල දී ගැනීම ඒවායෙන් හෝ ගල් අගුරු වලින් විදුලිය නිපදවීම යල් පැන ගිය පිලිවෙලකි. ජලය, සුලග සහ සූර්ය තාපය මගින් විදුලිය උත්පාදනය කරන තැනට පත්ව තිබේ. සුළග එන දිසාව බලා එහි පෙති කරකැවෙන්නට සලස්වා විදුලිය නිපදවමින් සිටි නමුත් තවත් ඔබබ්ට හිතන්නට නැඹුරුවී ඇත. සුළග එන දිසාව මාරු වෙමින් තිබේ. මෝසම් සුළං කාලයට ඊසාන දිග හෝ නිරිත දිග වශයෙන් සදහන් කරන පරිදිය. එයට අනුකූලවන පරිදි කුළුණ මත කරකැවෙන පෙති පමණක් නොව අක්ෂය ද භ‍්‍රමණය වෙමින් සුළග එන දිසාවට යොමුවන තාක්ෂණය ද දියුණු කළේය. පර්යේෂකයෝ එයින් නතර වී නැත. පාවෙන සුළං බලාගාර ඉදිකර තිබේ. නිෂ්චිත දුරක් පාවී එහා මෙහා යන අතර සුළග එන තැනට ගොස් විදුලිය නිපදවනු ඇත. සමහරවිට ගොඩබිම ඉතිරි කරනග්නා අතර සාගරයේ හෝ ගංගාවල පාවෙමින් කරන විදුලිය උත්පාදනයකි.

අලූත් ක‍්‍රම ගැන සොයන්නේ ඇයි? අඩුම පිරිවැයකින් විදුලිය නිපදවාගතහොත් පාරිභෝගිකයාට වාසියක් ලැබේ. නිෂ්පාදනයට බලශක්තිය අවශ්‍යය. එයට ගෙවන මිල නිපදවන දෙයට වැයකරන මුදල තීරණය කරනු ඇත. වැඩිමිලක් විදුලියට අයකරන විට එතැනින් නිපදවන දේ මහජනතාවට දරාගත නොහැකි තැනකට පත්වෙන්නට ඉඩ තිබේ. අඩුම බිලක් විදුලියට ගෙවන්නට අඩුම වියදමක් දරා විදුලිය නිපදවිය යුතුය. නිදහසේ හමන පවන සොයාගෙන ගොස් විදුලිය නිපදවා බෙදාහරින්නට කරන වෑයම තුළ ආර්ථිකයට බරක් නොවන අදහසක් ද ඇත.

නෙදර්ලන්තයේ තෙල් හා ගෑස් සමාගමක් හා ස්කොට්ලන්තයේ විදුලිය සමාගමක් එකතු වී බි‍්‍රතාන්‍ය බලධාරීන්ට පාවෙන සුළං බලාගාරයක් හදන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙගා වොට් පනහක විදුලියන් නිපදවනු ඇති අතර මෙය ලෝකයේ දැනට ඇති පාවෙන විශාලතම බලාගාරය වනු ඇත. සම්පූර්ණ සංකල්පය සාර්ථක වුවහොත් වැඩි කාලයකට කලින් එහි උත්පාදනය ලබා ගත හැකිය. පාවෙන සුළං බලාගාර පළමුවෙන් හැදෙන්නේ ජපානයේ බව දැක්වෙයි. මුහුදේ පාවෙමින් නැව් හා බෝට්ටු වලට ඉඩ දිය හැකි පරිදි මුලින් සුළු වශයෙන් නිර්මාණය වූ අතර දැන් එය වානිජ මටට්මට පැමිණ තිබේ. ස්කොට්ලන්තය 2016 දී එහි වෙරළට කිලෝ මීටර් විසි හයක් ඈතින් පාවෙන සුළං බලාගාරයක් ඉදි කළේය. එයින් කිලෝ වොට් හයක් ජනනය කර තිබේ. සාර්ථකත්වය අනුව තවත් පාවෙන බලාගාර ඇති කිරීම සංකල්පය බව පෙනේ.

නෝර්වේ රාජ්‍යය පවා වසර තුන හතරක් අත්හදා බැලීමෙන් පසු මෙයින් වසර හතරකට කලින් පාවෙන සුළං බලාගාරයක් සාර්ථකව ක‍්‍රියාත්මක කර ඇත. බි‍්‍රතාන්‍යයෙන් අවසර ඉල්ලන සමාගම් එහි නැඹුරුවට ද හේතුවක් තිබේ. ලෝකයේ දැනට බලගැන්වෙන සුළං බලාගාර වලින් සෑහෙන ප‍්‍රමාණයක් බි‍්‍රතාන්‍ය සතුය. ඔවුන් සතු සුළං බල කුළුණු ගණන එකොලොස් දහසකට ආසන්නය. මේවායේ උත්පාදනය බි‍්‍රතාන්‍යයේ නිපදවන විදුලියෙන් සියයට විසි හතරක ප‍්‍රතිශතය ඉක්මවන බව දැක්වෙයි. පාවෙන බලාගාරවලින් ඇති අවස්ථා ගැන දන්නා බි‍්‍රතාන්‍ය මෙම ඒකාබද්ධ ව්‍යාපෘතියට අනුමැතිය පළ කළහොත් එය අලූත් ව්‍යුහයකට අවතීර්ණ වීමකි. අනෙක තෙල් සමාගම්, ගෑස් සමාගම් හා විදුලිය සමාගම් එකතු වී සිය ව්‍යාපාර වෙනුවෙන් සුළං බලාගාර තනන තැනට පත්වීම ද අවධානයට ගත යුතු වැදගත් කරුණකි. තෙල් සමාගම්වලට තෙල් ගැන හිතන්නට පමණක් හැකියාව තිබේ. ගෑස් හිගයක් ගැන අනාවරණය නොවන හෙයින් එවැනි සමාගම් වලට අලූත් පැති වලට හැරෙන්නට විශාල උවමනාවක් නැත. නමුත් අද පවතින තරගකාරී රාමුව අනුව තමන්ගේ ව්‍යුහය පමණක් ආරක්ෂා කරගෙන ප‍්‍රමාණවත් නැත. ඛනිජ තෙල් වලින් විදුලිය නිපදවන අතර එයට වඩා ලාබදායී අංශවලට ද යොමුවීම වැදගත් බව තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකාවේ බලධාරීන් පවා අලූතින් හිතන්නට අවශ්‍යය. සම්ප‍්‍රදායික ක‍්‍රම අනුව ඒවායේම එල්බ සිටිය යුතු ඇයි? විදුලිය සමාගම විදුලිය නිපදවීම සදහා විවිධාංගීකරණ ප‍්‍රතිපත්ති අනුගමනය කළහොත් වාසිය පාරිභෝගිකයාටය.

අනෙක් පැත්තක් ද තිබේ. ලෝකයේ සෑම රටක්ම පරිසරය ගැන උනන්දුවක් දක්වති. මිහිතලය ආරක්ෂා කරගැනීම ගැන අවධානයකය. ගෝලීය උණුසුම ඉහළ නැගීම අවදානමක් වන අතර එයින් වන විපත් ගැන අවබෝධයකින් තීරණ ගනිමින් සිටිති. තව දුරටත් පොසිල ඉන්ධන දහනය සුදුසු නැත. එයින් එකතුවන අහිතකර වායු ඕසෝන ස්ථරයට හානි කරන අතර එය හිරුගෙන් ලැබෙන උණුසුම වැඩි කරන හේතුවකි. සෝලා විදුලිය නිපදවන්නට වාසි විය හැකි නමුත් අර්ධගෝලවල හිම දියැවී මුහුදු ජල මට්ටම ඉහළ යන අනතුරක් ද තිබේ. අනෙක වැඩිවන දාහය සමග ජීවත්වන්නේ කෙසේද? සෑම රටක්ම කාලගුණ විපත් අවදානමකය. කල්තබා තීරණ නොගතහොත් අනාගතය අදුරු වන බව ඉතාම පැහැදිලිය. ජලය, සුළග හෝ සූර්ය තාපය වැනි ස්වභාවික ක‍්‍රම මගින් දැනට වැඩිවන බලශක්ති ඉල්ලූමට උත්තර සොයා ගැනීමට යුහුසුළු වී සිටිති. තව තවත් අලූත් දේ ඉදිරියේ දී සොයා ගන්නට ඉඩ තිබේ. දශක කිහිපයකට කලින් සුළු බලාගාරයක් උසම කදු මුදුනක සිටුවා එයින් විදුලිය උත්පාදනයට සුළග හමා එන තෙක් බලා සිටි මිනිසුන් දැන් සුළග එන දෙස බලා එහි කෝණය අනුව පා වී ගොස් විදුලිය බලය නිපදවන තරමට පැවැත්ම දියුණු කරගෙන තිබේ.