මිලින්ද මොරගොඩ ඔස්ලෝ සම්මන්ත්‍රණය අමතයි (1)
 

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයේ දී , නෝර්වීජියානු කාර්යභාරය සම්බන්ධ අගැයීම් වාර්තාව එළිදැක්වීම සඳහා ඔස්ලෝහිදී පැවැති සම්මන්ත්‍රණයේ වීඩියෝ ආවරණයෙන් උපුටාගත් කොටස් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමු. මිලින්ද මොරගොඩ මහතා ද මෙයට සහභාගිවූ අතර එහිදී ඔහු යුද්ධය නිසා ඇතිවූ සමාජ කම්පනය සහ රට නැවත සාමාන්‍ය තත්වය කරා එළැඹීමේදී මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව කතා කරයි:

වසර 25 ක් පමණ කාලයක් තිස්සේ පැවතුනු යුද්ධය නිමාවට පත්වී දෙවසරක් ගතවී ඇති මේ අවස්ථාවේදී මා සිතන්නේ යුද්ධය විසින් නිර්මාණය කරන ලද කම්පනය දෙමළ, සිංහල මුස්ලිම් ප්‍රජාවන් සියල්ලම ඇතුළුව අපේ සමාජ ක්‍රමය තුළ තවමත් රැඳී පවතින බවයි.

අප යළිත් සාමාන්‍ය තත්වය කරා පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳව හා ඒ සඳහා අප අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව මෙන්ම, විවිධ ආකල්ප දරන කොටස්වලින් සමන්විත සිංහල සන්ධාන රජය ද, වෙනස් ආකල්ප දරන කණ්ඩායම්වලින් යුත් ද්‍රවිඩ සහ මුස්ලිම් ජන කොට්ඨාශද, මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳව තර්ක මතුවිය හැක.

මා දකින අයුරින් අප මේ ගතකරන කාල පරිච්ඡේදය අතිශය අභියෝගාත්මකය. සියල්ල යහපත් අයුරින් සිදුවන්නේ යයි මා කියන්නේ නැත. අපේ රට මුහුණදුන් ආකාරයේ අමිහිරි අත්දැකීම්වලින් පසුව සියල්ලම යහපත් අයුරින් සිදුවේයයි බලාපොරොත්තු වියහැකිද?

නමුත්, මුහුණට මුහුණලා වාඩිවී මේ ගැටළුව අප අපේ රට තුළදීම විසඳාගත යුතුය. පාර්ශව දෙකෙහිම දැඩි මතධාරීන් සිටින බව සත්‍යයකි. ඒ සමග දෙපක්ෂයේම මධ්‍යස්ථ මතධාරීන් ද, සාමය ඇතිකිරීම සඳහා කැපවූ අයද සිටින බව අමතක නොකළ යුතුය. ශ්‍රී ලංකාවේ දකුණේ පන්ති භේදය මෙන්ම දේශපාලන භින්නවීම් ද දක්නට ලැබේ. දේශපාලන භේද සංසිඳී නැත. මේ සියල්ලකම බලපෑම් සමාජය තුළ පවතී.

මා කියන මේ කරුණු නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් ලෙස පෙනෙන්නට පිළිවන. නමුත් පවතින යථාර්ථය මෙයයි. අභියෝගය වන්නේ ගැටළුව විසඳා ගැනීම සඳහා එක්ව ක්‍රියාකිරීමයි.

පිටතින් සිට බලනවිට ඕනෑම ගැටළුවකට පහසුවෙන් විසඳුම් සොයා ගතහැකි බව සමහරවිට පෙනෙන්නට පිළිවන. නමුත් මා සිතන්නේ එසේ දකින විසඳුම් බොහෝවිට වැරදි සහගත බවයි.

මන්ද සැබෑ ගැටළුව තිබෙන තැනට ඔබ ගියහොත්, දේශපාලනඥයකු වශයෙන් මට කරන්නට සිදුවී ඇති පරිදි, දිනපතා මේ ගැටළුවලට මුහුණදෙමින් ඒ ඒ දුෂ්කර ස්ථානවල ක්‍රියාකරන්නට ඔබට සිදුවුවහොත් එය කෙතරම් අසීරු කරුණක්දැයි ඔබට වැටහෙනු ඇත. එය රැකියාවක් නැතිකමින් පෙලෙන සිංහලයකුගේ ප්‍රශ්නයක් වන්නට පුළුවන; නිවසක් නොමැතිව තැවෙන ද්‍රවිඩ පුද්ගලයකුගේ ගැටළුවක් වන්නට ද පුළුවන; එසේත් නැතිනම් තමන්ගේ වෙළඳසැල කඩාදැමීයයි පැමිණිලිකරන මුස්ලිම් ජාතිකයකු වන්නට ද පුළුවන.

මට මුහුණදෙන්නට වී ඇති ගැටළු මෙබඳුවන අතර අප මේවාට විසඳුම් සොයාගත යුතුය. එක් අතකට අද මෙතැන සිදුවන ආකාරයේ සාකච්ඡාවලට මා තුළ ඇත්තේ කැමැත්තකි. මන්ද එවැනි අවස්ථාවලදී දිනපතා විසඳීමට සිදුවන ගැටළුවලින් දුරස්වූ හැඟීමක් මට දැනෙන හෙයිනි.

නමුත් අප ආපසු යනවිට ද ගැටළු එසේම පවතිනු ඇත. මවුබිමට නැවතත් ගිය මොහොතේ සිට ඒවා විසඳීම සඳහා අපට හැකි උපරිම ශක්තිය යොදා උත්සාහ කිරීම ‍අපේ යුතුකමයි.