30/05/2023 - ලංකාදීප
විප්ලවීය වෙනසක් අවශ්‍ය ඇයි

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා සමාජ වාතාවරණය නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තරම ගැන ජන සමාජයට පැහැදිලි අවබෝධයක් නැත. වසරකට කලින් ඉතාම දුෂ්කර තත්ත්වයක් හට ගැණින. ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය ඇතිකරන ලෙස ඉල්ලා බලකරන ලද ජන කොටස් මහ පාරට බැස අරගල කළහ. දේශපාලන පක්ෂ, ආගමික පසුබිම හෝ ජාතිය පසෙක තැබූ ඔවුහු නිවැරදි පිලිවෙලකට රට දියුණුකරන සේ බලකළහ. දොලොස් මාසයක් අවසානයේ දී අරගලය ඉල්ලා සිටි පැවැත්ම ළ`ගාකරගෙන තිබේද?

තෙල්, විදුලිය, අත්‍යවශ්‍ය භාණ්ඩ තරමක් මිල අඩු වී ඇත. උද්ධමනය පාලනය කරගෙන තිබේ. රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතී. අලූත් අවුරුදු, වෙසක් සමරන ලද හා පොසොන් උත්සවයට සූදානම්වන අන්දම අනුව රටට බරපතල ප‍්‍රශ්නයක් නැත. ගැඹුරින් නිරීක්ෂණය කළහොත් මෙය තාවකාලික අස්වැසිල්ලකි. පිටරටින් ගත් ණය ගෙවන්නේ නැත. රටට අවශ්‍ය තරමට, විනිමය උපයන කර්මාන්ත හෝ ව්‍යාපාර ආරම්භ කරන අලූත් සැලැස්මක් නොපෙනේ. එදා වේල ගත කිරීම උත්තරයක් නොවේ. අරගලයේ අවසාන ඉලක්කය, දැනට පවතින ආර්ථික වාතාවරණය නම් රට දියුණු කරන අලූත් දර්ශනයක්, සංවර්ධනය හා දරුවන්ගේ අනාගතය උසස් කරන වැඩ පිලිවෙල ගැන සාකච්ඡා කිරීම පලක් නැත. දියුණු රටවල ජනතාව අත්විදින ප‍්‍රතිලාභ දකින, හැකියාවක් ඇති පවුල් සියළු වත්කම් වැය කර, තම දරුවන්, විදේශ රටවලට යවති. එවැනි පියවරකට යා නොහැකි විශාල පිරිසක් සමාජ ක‍්‍රමයට වෛර කරමින් වෙසෙන අතර උසස් ජීවන තත්ත්වයක්, අපගේ ජීවිත කාලය තුළදීම ළගා කරගත හැකි සංවර්ධනයක් වෙනුවෙන් සටන් නොකිරීම වරදකි.

ධනය වැය කරන සමාජය සීමාවීම

පසුගිය වසරේ සියයට හත ඉක්මවන සෘණ ආර්ථිකයක පසු වූ ශ‍්‍රී ලංකාව මෙම වසරේ තවත් සියයට තුන ඉක්මවන අගයකින් රින තත්ත්වයකට පත්වනු ඇති බව පුරෝකථනය වී තිබේ. 2024 වසර ගැන පවා විශාල අපේක්ෂා කළ නොහැක. මෙම කඩාවැටීම තුළ දුප්පත් ජනකොටස තවත් දුප්පත් වී ඇති අතර මැදි ආදායමක් ලබමින් සිටි පිරිසගේ ද ජීවන මටට්ම පහත වැටී තිබේ. දුප්පත් පොහොසත් පරතරය පුලූල් වී ඇත. ඉහළ සමාජයට ද අපහසුතා දැනේ. එදිනෙදා මිල දී ගැනීම්, අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා කරන වියදම පාලනය කරගන්නට සිදුවී ඇත.

ගැටළු ඇති නමුත්, දැන් ගත කරන ජීවිතය දිගටම පවත්වාගෙන යෑම ද පහසු නැත. අවුරුදු ගණනක් තිස්සේ රටට අවශ්‍ය ආනයන නතර කර තිබේ. කර්මාන්ත ශාලාවල සිට යතුරු පැදිය නඩත්තු කිරීම දක්වා විශාල පරාසයක අමුද්‍රව්‍ය, කාර්මික උපකරණ සහ අමතර කොටස් නැත. මේවා ඇනැවුම් කිරීම ආරම්භ කළහොත් විනිමය ප‍්‍රශ්න නැවත ඇතිවේ. ආනයන නතර කිරීමෙන් රජයට ලැබෙන ආනයන බදු අඩු වී ඇති අතර එම පරතරය පියැවීම සදහා වෙනත් බදු නංවා ඇත. උපයනවිට බදු තවත් වැඩි කිරීම හෝ වත්කම් බදු නංවන්නට ඉදිරියේ දී සිදුවිය හැකිය.

ශ‍්‍රී ලංකාවට ණය සපයන ලද ජාත්‍යන්තර ප‍්‍රජාව අවුරුද්දකට වැඩි කාලයක් පොලිය හෝ වාරික ලබාගත නොහැකිව සිටී. එම ණය ගෙවන්නට අලූත් ධනය උත්පාදය කළ යුතුව ඇත. විදේශගත පිරිස එවන විනිමය හා සංචාරක කටයුතුවලින් ලැබෙන ආදායම ක‍්‍රමයෙන් ඉහළ යන නමුත් එය කිසිසේත් ප‍්‍රමාණවත් නැත. මැතිවරණ පවත්වන්නට වත්කමක් නැති තැනට පත්ව ඇති අවස්ථාවක දේශීය හා විදේශීය ණය ද ගෙවමින් අලූතින් ආනයන ආරම්භ කළහොත් උද්ගතවිය හැකි අවදානම ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. දැනට ඇති අතරමැදි කාලය තුළ ගැඹුරු හුස්මක් ගෙන ඉක්මනින් වැඩ කළහොත් පරිවර්තන යුගයකට අවස්ථාව පවතී.

චකී‍්‍රය උගුලකට අභ්‍යන්තරව හසු වූ අවස්ථාවක්

ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් ධනය උපයන ක‍්‍රමෝපාය අවශ්‍යය. ආණ්ඩුවකට කළ නොහැක. ආණ්ඩුවේ ආයතන පවා අකාර්යක්ෂම, අධික පාඩු ලබන තත්ත්වයක තිබිය දී තවත් ව්‍යාපාර හෝ කර්මාන්ත කළ නොහැක. පුද්ගලික අංශයට ඉඩ දීම හෝ විදේශ ආයෝජන කැදවිය යුතුව තිබේ. රජයේ ව්‍යාපාර පුද්ගලීකරණය කර ඒවායේ කාර්යක්ෂමතාව, තාක්ෂණය, හා ආදායම් ඉලක්ක වැඩිකරගත යුතු නමුත් සමාජයේ ඇතැම් කොටස් ඒ ගැන වැඩි පිලිගැනීමක නැත. ආණ්ඩුවේ සහන අපේක්ෂා කරන අතර අවසානයේ ආර්ථිකයට ප‍්‍රශ්න ඇති කර තිබේ.

කෙසේ නමුත් පවතින සංකීර්ණ ව්‍යුහය ආයෝජන හිතකර නැත. ඉහළ බැංකු පොලිය ප‍්‍රාග්ධනය සපයා ගැනීමේ දී ගැටළු ඇති කරයි. අධික පොලියකට ණය ගත් පසු නිපදවන භාණ්ඩවලට එම පොලී වියදම ද ඇතුලත්ය. විදුලිය, ඛණිජ තෙල් ඇතුළු බලශක්තිය සදහා වෙනත් රටවලට වඩා වියදමක් දරන්නට සිදුවේ. ඉන්ධන ආනයනය අඩු වී ඇති අතර එය කර්මාන්ත අංශයේ ක‍්‍රියාකාරීත්වය පාලනය වී ඇති බවට සාක්ෂියකි’. රජයේ බදු තවත් තවත් ප‍්‍රශ්නයකි. සුළු ව්‍යාපාරයකට හෝ ඉඩමක් මිල දී ගැනීම, රජයේ අනුමැතිය සහ ඉදිරිකීම් කටයුතු පහසු නැත. දේශීය කුඩා ව්‍යාපාර ඇති කරන අවකාශය නිර්මාණය කිරීම ද කළ යුතු නමුත් පවතින රාමුව තුළ එම අංශය ට ද බාධා පවතී. දේශපාලන අංශ නිතර සදහන් කරන දූෂණ හා වංචා ද මෙහි කොටසකි. මේවා පුලූල්ව සලකා බලා අවශ්‍ය වෙනස්කම් කරන්නට බල නොකළහොත් වාතාවරණය වෙනස් කළ නොහැක.

අලූතින් යමක් නොකිරීම තුළ ඉගෙනගන්නා දරුවන්ට රක්ෂා සැපයෙන්නේ නැත. විශ්ව විද්‍යාලවලින් උපාධිය අවසන් කළ පසු රැකියා නොලැබුණහොත් යළිත් වර්ජන හා විරෝධතා බහුලවිය හැකි අතර උපාධිධාරීන් රජයේ රැකියාවලට බදවා ගැනීම, රජයේ සේවය කරන පිරිස තවත් ඉහළයෑමට හේතුවකි. දැනටත් රජයේ ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරන පසුබිම තුළ රජයේ බදවා ගැනීම් ඇරඹුවහොත් නැවත වටයකින් බදු වලින් වන්දි ගෙවන්නට මහජනතාවට සිදුවිය හැකිය.

රැකියා සීමාවන පසුබිම තුළ තරුණ පිරිස් රට හැර යෑම තවත් ඉක්මන් කරන අවදානමක් තිබේ. ඕනෑම ක‍්‍රමයකින් රටින් පිටවීමට බලා සිටින පිරිස සැලකිය යුතු ප‍්‍රතිශතයකි. ශ‍්‍රී ලංකාවේ තරුණ ශ‍්‍රම බලකාය ජනගහනයේ වැඩිම ප‍්‍රතිශතය වශයෙන් තිබුණු කාලයේ දී යුද්ධයක් පැවැතිණ. තරුණ ශ‍්‍රමය වැය කළේ යුද්ධයකටය. උතුරේ සහ දකුණේ ගැටුම් පසුව ත‍්‍රස්තවාදය දක්වා පැතිරෙන්නට බල පෑ හේතුවලට පිලියම් යොදා නැත. ආර්ථිකය ගොඩනගන්නට අලූත් කර්මාන්ත හෝ ව්‍යාපාර අරඹනවිට, තරුණ ශ‍්‍රම හිගය ද රටට ප‍්‍රශ්නයක් විය හැකිය. මේවා එකිනෙකට ගැට ගැසුණු සංකීර්ණ තත්ත්වයන්ය.

සම්ප‍්‍රදායික රාමුව පුලූල්කරන සැලැස්මක්

සම්ප‍්‍රදායික රාමුව තුළ පවතින ගැටළුවලට උත්තර නැත. ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් අවුරුදු හැත්තෑ පහකට පසු පවා සුපුරුදු වචනවලින් එපිටට ගමන් නොකිරීම පවතින අර්බුදයේ එක කොටසකි. ලෝකය වෙනස් වී ඇත. කොවිඞ් වසංගත කාලයට කලින් තිබුණ තාක්ෂණික, කාර්මික හා සේවා අංශ අද යල්පැනගිය තත්ත්වයට පත්ව ඇත. පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය, ඩ්‍රෝන තාක්ෂණය සහ කෘතීම බුද්ධිය වැනි අංශ පෙරමුණ ගෙන තිබේ. පැරණි ව්‍යුහයේ කෘෂිකර්මාන්තය හෝ කර්මාන්ත ශ‍්‍රී ලංකාවට ගැලපෙන්නේ නැත. විශාලම ඉඩම් ප‍්‍රමාණයක් ලක්ෂ අටක පමණ යැපෙන පිරිසක් යොදවා කරන තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට මදක් වැඩි ප‍්‍රමාණයක් සැපයේ. තොරතුරු තාක්ෂණය හා මෘදුකාංග කර්මාන්තයේ දී විශාල ඉඩම් හෝ ශ‍්‍රම බලකායක් නැත. එහෙත් තොරතුරු තාක්ෂණ අංශයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්නය. තාක්ෂණය, බලශක්තිය, සේවා සැපයීම වැනි ක්ෂේත‍්‍ර කෙරෙහි අලූත් අවධානයක් අවශ්‍යය. නීති ලිහිල්කර පහසුකම් වැඩි කලහොත් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සෑහෙන පිබිදීමක් අපේක්ෂා කළ හැක. ඇගළුම් කර්මාන්තය පවා තරගකාරීත්වයට ගොදුරු වී ඇති අතර එහි ඉපැයීම් ද සියයට විස්සකින් පමණ පහත වැටී ඇත. ඒවා ද නවීකරණයක් අවශ්‍යය.

දුරකථන සේවා, ගුවන් තොටුපොල, ගුවන් ගමන් සේවා, ඛනිජ තෙල්, විදුලිය සහ වරාය සැපයුම් වැනි අංශවල අලූත් ආයෝජනවලට ඉඩ තිබේ. ආහාර හා ධීවර කටයුතු ද අවස්ථා ඇති අංශයන්ය. අභ්‍යවකාශ තාක්ෂණය අලූතින් විහිදිය හැකි ක්ෂේත‍්‍රයකි. ලෝකයේ විශාලතම ජනගහනයක් ජීවත්වන ඉන්දියාව ආසන්නයේම පිහිටා ඇත. අනෙක් පැත්තෙන් චීනය සමග දීර්ඝ කාලීන සම්බන්ධතා පවතී. මැදපෙරදිග, යුරෝපා හා බටහිර රටවලට වඩා දිගු කළ හැකි නව අපනයන අවස්ථා සොයා ගත හැකිවේ.

ඉන්දියාව බලශක්ති අවශ්‍යතා සදහා වෙළද පොල පුලූල් කරමින් සිටී. කල්තබා තීරණගැනීමෙන් වාසිය ශ‍්‍රී ලංකාව පැත්තට හරවා ගැනීම පහසුය. මන්නාරම අවට ගොඩබිම හා නොගැඹුරු මුහුදු සූර්ය තාප විදුලිය මෙගාවොට් තිස්දහසක් දක්වා උත්පාදනය කළ හැක. සූර්ය තාප විදුලිය ද නිපදවීමට වසරා පුරා හැකියාව ඇත. හයිඩ‍්‍රජන් නිපදවීම හා විදුලිය උත්පාදනය සදහා අපනයනයට ත‍්‍රිකුණාමලය වරාය වැඩිදියුණු කළ හැකිව තිබේ. ඉන්දීයාවට විදුලිය අපනයනය කළ හැක. දැනටමත් මැද පෙරදිග හා සිංගප්පූරුව සමග ග‍්‍රිඞ් සම්බන්ධකරන ඉන්දියාව සමග එකතුවුවහොත් විශාල වාසියක් ඇතිවේ. අභ්‍යවකාශ යානා ගුවන් ගත කරන පහසුම මාර්ගය ශ‍්‍රී ලංකාව ඔස්සේ වැටී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දේශීය හෝ විදේශීය ආයෝජනවලට ඉඩ නොදෙන අතර රජයේ සම්පත් වශයෙන් ආරක්ෂා කරතැබීමෙන් අත් පත්කරගත හැකි ඉරණම කුමක්ද? මෙම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සදහා අලූත් ආකල්ප සහිත මහජන එකගතාවයක් අවශ්‍ය අතර දේශපාලන නායකයන්ට අලූත් තීරණ ගැනීමට බලකරන සමාජ ව්‍යාපාරයක් අවශ්‍යය.

මැජික් විසදුම් අනාගතය තීරණය කරන්නේ නැත

ආණ්ඩුමාරු කරන අතර පාලකයන්ගේ මුහුණු වෙනස්කිරීමෙන් පමණක් ස්වර්ණමය යුගයක් බිහිවෙන්නේ නැත. ඉකුත් හැත්තෑ පස්වසර තිස්සේ, දේශපාලන පක්ෂ තට්ටු මාරු ක‍්‍රමයට බලයට පත් කර ඇති අතර ඡන්ද කාලයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන, දේශපාලනඥයන්ගේ පොරොන්දු වලට පමණක් රට සංවර්ධනය කරන්නට නොහැකි වු බවව අප වටහා ගත යුතුය. ආණ්ඩුවක් පත් කළ දා සිට එය පෙරලා බලය ගන්නට උත්සාහ කරන විපක්ෂ දේශපාලනය, පටු වාසි තකා ක‍්‍රියාකරන වෘත්තීය සමිති හා ආර්ථිකයක හැසිරීම නොදන්නා ආගමික හා ජාතිවාදී කණ්ඩායම් අද පවතින තැනට රට තල්ලූකර හමාරය. ජනතාව දැනුම්වත් කරන ජාතික සංවාදයකට, අලූත් මතවාදවලට පහසුකම් සැලසිය යුතු මාධ්‍ය පවා ගැටුම් නිර්මාණයට හැර විකල්ප ව්‍යුහයකට උනන්දු නොවේ. සමාජ මාධ්‍ය එම පසුබිම තවත් බිහිසුණු කර ඇත.

ලෝකයේ දියුණු රටවල්, ඉදිරියට ගමන් කළේ පහසු තීන්දුවලින් නොවේ. එම රටවල නායකයෝ තම ප‍්‍රතිපත්ති නිර්භීතව ඉදිරිපත්කර, රටවැසියන් දිනාගත් අතර ජනතාව නායකයන්ගේ ගමන කෙරෙහි විශ්වාසය තැබූහ. විශ්වාසය සමග ඒකරාශී වූ සියළු ජන කොටස් විශාල කැපවීමකින් පසු එම රටවල් අද පසුවන තැනට ළගා වී තිබේ. කනට මිහිරි වචන, වහාම උද්දීපනයක් කෙරෙන මැජික් විසදුම් වලින් රටවල් ගොඩනැගී නැත. සෑම රටකම මිනිසුන් විශාල කැක්කුමකින්, නොනැවතී ගමන් කිරීමෙන් ජයග‍්‍රහණය කරා පැමිණ ඇත.

අවදානමකට මුහුණ දී ආර්ථික අර්බුදයක පසුවන ශ‍්‍රී ලංකාව, දැනට ලබා ඇති තාවකාලික අස්වැසිල්ල ජයග‍්‍රහණයක් නොවේ. රට ගොඩනගන්නට ගත යුතු ක‍්‍රියාමාර්ග ගත යුතුය. ධනය උත්පාදනය කළ යුතු අතර කර්මාන්ත හා ව්‍යාපාර අරඹා ආර්ථිකය සක‍්‍රීය කරන්නට අවශ්‍ය කෙරේ. දේශපාලනඥයින්, දේශපාලන පක්ෂ එය තමන්ට කළ හැකි බව ප‍්‍රකාශ කරමින් සිටී. තනි ගමන් සදහා උත්සාහ කරන ඔවුන්ගේ ආත්ම ශක්තියට ගරු කළ යුතු නමුත් අවාසනාවකට එම ශක්තියෙන් කොටසක් ප‍්‍රතිවාදී මත පරාජය කරන්නටත්, සටකපට ප‍්‍රතිප‍්‍රහාරවලටත් වැය කළ පසු රට වෙනුවෙන් කළ හැකි කාර්යය සීමා වී ඇත. එකට එකතු වී ආර්ථිකය ගොඩනැගීමෙන් පසු රටේ පාලන අයිතිය ලබාගැනීමට තරග කිරීම සුදුසු බව පෙන්වාදීම සුදුසුය. ආගමික නායකයන්, බුද්ධිමත් පිරිස, තරුණ පිරිස, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති පවතින අතීරණාත්මක අවකාශය හදුනාගත යුතු අතර, පොදු තීරණ අනුව රට ඉදිරියට ගෙන යන පුලූල් සැලැස්මක් සදහා පියවරගත යුතු තීරණාත්මක මොහොතට අභිමුවෙහි සිටින බව තේරුම් ගත යුතුව ඇත.