28/09/2021 - ලංකාදීප
විශ්වාසය ගොඩනැගීමේ අභියෝගය

ආර්ථික ව්‍යුහය පිලිබදව අලුත් කතිකාවතක් ආරම්භ වී ඇත. රට තුළ ප‍්‍රශ්න පැන නැගී තිබේ. සාමාන්‍ය ජනතාවට බලපාන කරුණු ගණනාවකි. එදිනෙදා ආදායම් මාර්ග අවහිර වී ඇත. ආහාර ද්‍රව්‍යවල පවා මිල ඉහළ ගොස් තිබේ. ජීවත්වීම අපහසු බවට මැසිවිලි නැගේ. ජනතාවට පමණක් නොවේ. රජයේ ආදායම සහ වියදම ද සංකීර්ණ තැනෙකය. රාජ්‍ය ආදායම පහත වැටී ඇත. වියදම පාලනය කරගත නොහැකි තරමට ඉහළ නැග තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය වියදම අපේක්ෂා නොකළ තරමට වැඩිවී ඇත. රට තුළ පවතින මුල්‍ය වාතාවරණය හා සමාන්තරව විදේශ විනිමය සම්බන්ධව එල්ල වී ඇති පීඩනය ද දරුණුය. එක පැත්තකට විසදුමක් නිර්මාණය කළහොත් අනෙක් පැත්ත සමබර නොවේ. දූරදර්ශී ක‍්‍රියාමාර්ග අවශ්‍ය බව පෙනේ. කෙටි කාලීන විසදුමක් පමණක් නොව අනාගතය සලකා කෙරෙන දීර්ඝ කාලීන ස්ථිර සැලැස්මකට ද යා යුතුව තිබේ.

ආර්ථික ගැටළු වලට පදනම් ව ඇති හේතු පැහැදිලිය. කොවිඞ් වසංගත තත්ත්වයයි. ලෝක ආර්ථිකයට ද විශාල බලපෑමක් කර ඇත. නිෂ්පාදනය අඩාල වී ඇති අතර වෙළදාම සීමා වී තිබේ. අලූත් වටයකින් සෑම අංශයකම පිරිවැය ඉහළ ගොස් ඇත. නිපදවීම ප‍්‍රවාහනය හා අලෙවිය සදහා බාධා මතුවී තිබේ. අවසානයේ දී පාරිභෝගිකයා මත පැටවෙන අමතර බරකි. දරිද්‍රතාවතවත් වටයකින් ඉහළ නැගීම මෙහි ප‍්‍රතිලයකි. නිෂ්පාදනය, රැකියා උත්පාදනය හා ණය බර මැදි ආදායම් රටවල සැලකිය යුතු අර්බුද මතු කර ඇති බව දැක්විය යුතුය. පීඩනය හේතුවෙන් නැගෙන ජනතා හඩ රාජ්‍ය නායකයන්ගේ මෙතෙක් තිබුණ ජනප‍්‍රියත්වය අඩු කර ඇති බව පෙනේ.

විශ්වාසය, විනිවිද භාවය හා ආරක්ෂාව

අවධානය යොමු කළ යුතු පැති ගණනාවකි. ජනතාව ආරක්ෂා කරගැනීම, විශ්වාසය දිනා ගැනීම හා විනිවිද භාවයකින් ක‍්‍රියාත්මකවීම අදට ගැලපෙන සංකල්ප බව දැක්විය යුතුය. අපහසුතා මැද ක‍්‍රියාත්මක කරන නැගෙන ආර්ථික වැඩපිලිවෙල කෙරෙහි ජනතා විශ්වාසය දිනා ගැනීම වැදගත්ය. ආර්ථිය නිසි මගට ගැනීම සදහා ගන්නා තීරණවල විනිවිදභාවය ඉතාම තීරණාත්මක සාධකයකි. මෙම කරුණු දෙක අතර වැදගත්ම කාරණය ජන ජීවිත ආරක්ෂා කරගැනීම ය. මෙකී කුළුණු තුන පදනම් කරගත හොත් රටට ගමනක් තිබේ. විශ්වාසය ගැන දක්වන විට විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ රජය ගෙන යන එන්නත්කරණ වැඩ සටහන ජනතා විශ්වාසය දිනා ගෙන ඇත.

රට පුරා සෑම කෙනෙකුම එන්නත ලබාගැනීමට උනන්දු වෙමින් සිටිති. දිග පෝලිම් වල රැදී සිටිමින් නිලධාරීන්ට දොස් කියමින් සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවධානයකය. මෙම විශ්වාසය ආර්ථික ක‍්‍රමය ගැන ද තිබිය යුතුය. ආණ්ඩු ගන්නා තීරණ ජනතාව තවත් පැත්තකට කරන හෝ සංවර්ධනය බැහැර කරන තීරණ නොවේ. කොවිඞ් එන්නත ගැන ද්‍රෘෂමාණ ආරංචි සහ විපක්ෂයේ අසත්‍ය චෝදනා ජනතාව පිලිනොගත් ආකාරයට රට ඉදිරියට ගෙන යන අලූත් ප‍්‍රතිසංස්කරණ ගැන ද උපේක්ෂා සහගතවීම ජනතාවගේ වගකීමකි. එයින් බැහැරවෙන තැන්වල දී ඇතිවන දුබලතා සීමිත කාලයක් තුළ ගත යුතු තීරණ ප‍්‍රමාද කරවයි. එය ලෝක තරගකාරීත්වය හමුවේ සෑහෙව බාධාවකි.

ජනතාව හා සමාජය අතර තිබිය යුතු අනොන්‍ය දීම ඉතාම වැදගත්ය. ආණ්ඩුව හා ජනතාව අතර සන්නිවේදනය මෙහි දී වැදගත් සාධකයකි. අද පවතින නව සමාජ මාධ්‍ය ව්‍යුහයට සෑහෙන බලයක් තිබේ. එකිනෙකට වෙනස් මත නිතර මතුවෙයි. කරුණු විකෘති කෙරේ. සාධනීය පියවර තුළ පවා සැකය සහ අවිශ්වාසය ඇති කරවයි. මධ්‍යස්ථ මතයට ඉඩක් නැත. ජනතාව තුළ ඇති වේදනාව හා අපහසුතා සමාජ මාධ්‍ය තුළින් මතු කෙරේ. එය විසදුමක් ලබා දෙන ක‍්‍රමයක් ද යන්න කල්පනා කිරීම මධ්‍යස්ථ ජනතාවගේ යුතුකමකි.

ආර්ථික කළමනාකරණය අරමුණු කරගෙන යම් අවස්ථාවල රජය තාවකාලික විධිවිධාන පනවමින් සිටී. මිල පාලනය හා හදිසි නීති රෙගුලාසි එයින් එක පැත්තකි. විදේශ සංචිත ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන ආනයන සීමා කර ඇත. සැකය හා අවිශ්වාසය ඇතිකරන සාධක බව පෙනේ. අනවශ්‍ය තැතිගැනීම අවම කර වෙළද පොල ක‍්‍රියාකාරීත්වය තහවුරුකරන වෑයමක් තිබිය යුතුය. ඇති හැකි පිරිස මුදල් හා භාණ්ඩ රුස්කරගනිමින් සිටින අතර එය වෙළද පොල තුළ අසාමාන්‍යතාවයකි. භාණ්ඩ හිගය ගැන සැකයක් ඇති කෙරේ. ඇතැම් සීමා බලපවත්වන නමුත් අනර්ථයක් ඇති නොවන බව ඒත්තු ගන්වන්නේ කෙසේද? සාධනීය පියවරකට යා යුතුය. එය කළ හැකි ක‍්‍රියාත්මක වන ආකාරයෙන් පමණකි. සැපයුම අඛණ්ඩව කරගෙන යෑම සහ තරගකාරීත්වයට ඉඩදීම හැර අනෙක් පිලියමක් නැත. විවෘත ආර්ථිකයේ මුලික ලක්ෂණවලින් බැහැර විය නොහැකිය. පාරිභෝගික සමාජය ඉකුත් වසර හතලිහකට වඩා කාලයක් එහි ගතකර ඇත. අවශ්‍ය අවස්ථාවක රජයට මැදිහත්විය හැකිය. එහෙත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය හා සමග සමාන්තරව බව සදහන් කිරීම වටී.

පැලැස්තර විසදුම් නැත

ලෝකයේ පවතින රාමුව තුළ අලූත් ව්‍යුහ සකස් වෙමින් තිබේ. පසුබෑම තුළ ප‍්‍රතිසංස්කරණයක් ඇත. විවෘත ආර්ථික ක‍්‍රමයේ මුලධර්ම තවත් වටයකින් ශක්තිමත් වන බව අවබෝධ කරගත යුතුය. සැපයුම් චක‍්‍ර තාවකාලිකව අභියෝගයට ලක්ව ඇත. කොවිඞ් වසංගත තත්ත්වය පාලනය සමග නවීන ආර්ථික මුල ධර්ම සහ තරගකාරී රටාව නැවත වටයකින් අරඹෙනු ඇත. බලශක්ති ප‍්‍රභව වල අලූත් මුහුණවර හා තාක්ෂණයේ වේගවත් දියුණුව එහි වැදගත් සාධක බවට පත්වේ. එයට අනුගතවීම හැර තාවකාලික විසදුම් වලංගු නැත. අනාගතයට දොරටු විවෘත කරන ශක්තිමත් අලූත් සැලැස්මක් රටට අවශ්‍යය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතුය. අපට අත්දැකීම් තිබේ. ත‍්‍රස්තවාදය පැවැති කාල වකවානුවේ රටට වානිජ ණය ලබාගත හැකි වූයේ නැත. පසුගිය වසර දහය තුළ විශාල වශයෙන් වානිජ ණය ලබා ගෙන ඇත. ඒවායේ පොලිය අධිකය. වානිජ ණය වලින් වැඩි කොටසක් පරිභෝජනයට වෙන් කරන ලද බව පෙනේ. පාරිභෝජනය අලූත් ධනයක් උපදවන්නේ නැත. ආයෝජනය නැංවිය යුතුය. විවිධ හේතු මත ප‍්‍රමාද කරන ලද ආයෝජන රජයේ ණය හා ණය වාරික ගෙවීම දරුණු තැනකට කැදවා තිබේ. දැනට ඇති කුණාටුව එහි ප‍්‍රතිඵලයකි. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වියදම අනෙක් අභියෝගයකි. රජය ලබා ගන්නා ණයවලින් පරිභෝජනය හැරුණු කොට තවත් කොටසක් අසාර්ථක රාජ්‍ය ව්‍යවසාය නඩත්තුවට වැය කරමින් සිටින බව දැක්විය යුතුය. එය පුන පුනා පෙන්වා දෙන කරුණකි. එයින් ගැලවෙන්නට රජය නිර්භීත නැත.

ණය බර ගෙවාගත හැකි තැනට රාමුව සකස් කරගැනීම මෙම අවස්ථාවේ දී වැදගත්ය. ණය නැවත ප‍්‍රතිව්‍යුහගත කරන සේ ණය හිමි රටවල් වලින්ඉල්ලා සිටිය හැකිය. සමහර ආයතනික හා වානිජ ණය ගෙවිය නොහැකි බව දක්වන අතර තවත් ඒවා වෙනුවෙන් කල් ඉල්ලා සිටීම ප‍්‍රශ්නයක් නොවේ. සමහරවිට වසර දෙක තුනකට ශ‍්‍රී ලංකාවට වානිජ ණය නොලැබෙන්නට එය හේතුවක් විය හැකිය. එවැනි ඉල්ලීමකට සමාන්තරව ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතන සමග අලූත් ණය සංචිත පහසුකම් ඇති කරගත හැකිය. මෙහි දී ප‍්‍රදානක ආයතන අමිහිරි යෝජනා කරන්නට ඉඩ තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අධ්‍යයනය කරන පිරිස එහි වෙනස්කම් අවශ්‍ය බව දක්වනු ඇත. ප‍්‍රදානක ආයතන සමග සාකච්ඡා කිරීමට කලින් රටට කරගෙන යා හැකි ප‍්‍රතිසංස්කරණ කෙරෙහි එකගතාවය වැදගත්ය. සාකච්ඡාවක් මගින් රටට අනන්‍ය න්‍යාය පත‍්‍රයක් සකස් කරගත යුතුය. එවැනි ව්‍යුහාත්මක සීරුමාරුවලින් ආයෝජකයන්ට විශ්වාසයක් ඇති කෙරේ. ආර්ථිකය පුලූල් වන අතර රට තුළ අලූත් බලාපොරොත්තු ඇති කරවනු ඇත.

ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම්

ගෝලීය ආර්ථිකයෙන් හුදෙකලාවීම, සෘජු තීරණ නොගැනීම හා තරගකාරීත්වයට ඉඩ නොදීම යනා දී කරුණු ඉදිරියේ ශ‍්‍රී ලංකාව හොදම පාඩම් ඉගෙන ගෙන තිබේ. ලංකාවට අපනයන සම්බන්ධ කීර්තිමත් ඉතිහාසයක් තිබේ. රජවරු රටවල් සමග වෙළද කටයුතු කරගෙන ගොස් ඇත. ඉතිහාසයට අනුව අනුරාධපුරය වෙළද නගරයකි. තපස්සු භල්ලූක වෙළදුන් ගේ සිට චීන සේද මාවත දක්වා පරාසයකට විහි දී තිබේ. බටහිර රටවල් පවා ලංකාව අපනයනයට සුදුසු තැනක් සේ දියුණු කරන ලද අතර ඔවුහු තෝරාගන්නේ ඔවුන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය පමණකි. මේවා අමතක කළ යුතු නැත. අපනයනය වැදගත් සාධකයකි. නිෂ්පාදනය වැඩි කරන අතර උසස් තත්ත්වයේ හා අඩුම පිරිවැයකින් නිපදවන දේ ලෝක වෙළද පොල ඉදිරිපත් කිරීමට හැකි විය යුතුය.

රටට හොදම සැලසුම් තිබේ. ආණ්ඩු මාරුවන අතර ඒවා ද වෙනස් කෙරේ. හැමදාමත් එකම පාඩම් ඉගෙන ගනිමින් සිටීම ඉතාම නරක තත්ත්වයකි. දැනටමත් ගත යුතුව ඇති තීරණ ප‍්‍රමාද කළහොත් ණය ගෙවා ගත නොහැකි රටක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. එය ඉතාම අවදානම් සහගතය. විදේශ සංචිත තවත් පිරිහෙන අතර විනිමය අනුපාතිකය තවත් දුර්වලවීමට ඉඩ තිබේ. උද්ධමනය ඉහළ නගින අතර පොලී අනුපාත වේගයෙන් වර්ධනය වන අවදානමක් ඇති කෙරේ. ඒවායේ ප‍්‍රතිඵල දරුණුය.

ජනතාව තවත් දුෂ්කර තැනකට තල්ලූවෙයි. තරගකාරීත්වය හීනවීම මත දෙස් විදෙස් ආයෝජන තවත් අඩුවනු නිසැකය. එහි ප‍්‍රතිඵලය අනිසි විපාක ඇති කරනු ඇත. රජයේ ආදායම සදහා තව තවත් බදු පනවන්නට සිදුවනු ඇති අතර එවැනි වාතාවරණයක් තුළ වැලැක්විය නොහැකි වනු ඇත. ආර්ථිකය දුෂ්කර තැනකට පත්වන පීඩාව උහුලා ගත නොහැකි අතරවාරයේ ජනතාව පාරට බැස විරෝධය පළ කරන්නට ඉඩ තිබේ. ලෝකයේ සමහර රටවල එවැනි උණුසුමක් හට ගෙන ඇත. ආර්ථික ක‍්‍රියාකාරීත්වය අඩු වී ධනය හිගවන විට ප‍්‍රශ්න මතුවනු ඇති අතර දේශපාලන බලවේග හිස ඔසවන්නට ඉඩ තිබේ. ආණ්ඩු වෙනස් කිරීමෙන් හෝ ඇමැති මුහුණු වෙනස් කිරීම නිසි උත්තරයක් නොවේ. අලූත් ආණ්ඩුවකට පවා අද පවතින වහා පිලිතුරු සොයා ගත යුතු ආර්ථික ගැටළු වලට මැජික් විසදුම් නැත. සමහරවිට අලූත් ආණ්ඩුවකට තවත් දුෂ්කර විය හැකි අතර එයට හේතුව දැන් පවතින ස්වභාවයට වඩා ජනතාව තුළ, තවත් බලාපොරොත්තු සෑහෙන ප‍්‍රමාණයක් වැඩිවීමය.

විපක්ෂ දේශපාලන පක්ෂවලට ද මෙම තීරණාත්මක ආර්ථික පසුබිම තුළ වගකිමක් තිබේ. පවතින ගැටළු හා අසංකීර්ණ ව්‍යුහයක් තිබිය දී බලය අල්ලා ගැනීම වාසිදායක නැත. මෑතක ග‍්‍රීසියේ මතු වූ ආර්ථික අර්බුදය එය සනාථ කළේය. කෙටි කාලයක් තුළ ආණ්ඩු කිහිපයක් පෙරලා අලූත් බලවේග පැමිණි නමුත් ආර්ථිකය හදන්නට වෙනස් පිලිවෙලක් තිබුණේ නැත. ජර්මනියේ හිටපු චාන්සලර් ෂෝඩර් ගේ ප‍්‍රතිසංස්කරණවල වාසිය අත්පත් කරගත්තේ ඇන්ජෙලා මර්කර් බව පෙන්වා දිය යුතුය. යුද්ධය දිනාගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දුන්නේ ද ඒ හා සමාන ඉරණමකටය. ආර්ථිකය නිවැරදි මගට යොමු කරන තීරණ තෙක් ජනතාව බලා සිටියේය. ඉනික්බිතිව බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ද ආර්ථිකය වේගවත් කරන නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කළේ නැත. ජනතාවට අවශ්‍ය සැනසිලිදායක වාතාවරණයකි. දරුවන්ට යහපත් අනාගතයකි. ලෝකයේ සිදුවන දේ ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තිබේ. ලෝකයේ පරිවර්තන අනුව රට තුළ දියුණුව අපේක්ෂා කරති. ආර්ථිකය තුළ පැන නැගෙන අවහිර ඉවැසිය හැකි සීමාවක් ඔවුන්ට තිබේ. දරුවන්ගේ අනාගතයට පසුබිමක් නැති බව දැනෙන පළමු අවස්ථාවේ දී ම වෙනස්්වෙති. දියුණු රටකට ගොස් සාර්ථක වෙන්නට උත්සාහ කරති. ජාතික ප‍්‍රතිපත්ති සකස් කර උසස් පිලිිවෙලකින් රට නැවත ඔසවා තැබීමට පියවර ගැනීම අවශ්‍යය. ඒ සදහා වන විශ්වාසය, කැපවීම සහ නිසි වැඩ පිලිවෙල පැහැදිලිව හුවා දැක්වීම රජයේ වගකීමකි.

අවදානමක් විය හැකි තනි ගමන

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන වැඩි දෙනෙකුට ලෝකයේ අනෙක් රටවල පැවැත්ම ගැන අවබෝධයක් තිබේ. සාධාරණ අවස්ථා හා යුක්තිගරුක පිලිවෙල ගැන අදහසක් ඇත. ඇමරිකාවට, බි‍්‍රතාන්‍යයට, ඔස්ට්‍රේලියාවට හෝ අඩුම තරමින් කැනඩාවට හෝ සංක‍්‍රමණයවීම ගැන අදහසක් ඇති සියළු දෙනා එම රටවල නීති රීති, බදු ක‍්‍රම, සහනාධාර, රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් අවබෝධයක සිටින බව නිසැකය. එහෙත් ශ‍්‍රී ලංකාවේ දී එවැනි පිලිවෙල ඇති කර රට නගා සිටුවීම ගැන එකගතාවයක නොමැති ඇයි? ජනතාව තුළ පවතින නොකැමැත්තට වඩා දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ ඉතාම නරක අන්දමට ජනතාව මුලාකරන බව සැක කළ හැකිය. ඉතිහාසයේ සිට බලයට පත් වූ පක්ෂ ජනතාවට සහන දෙන හා ජනතාව ජීවත් කරවන බව දක්වමින් ජනතාවගේ බදු වලින්ම අකාර්යක්ෂම ක‍්‍රමයක් ඉදිරියට ගෙනැවිත් තිබේ. විසි එක් වැනි සියවසේ පශ්චාත් කොවිඞ් යුගයට එම පිලිවෙල සාර්ථක වෙන්නේ නැත. ලෝකයේ අනෙක් රටවල් පැත්තකට කර අපට අවශ්‍ය දේ අප නිපදවාගෙන අපට පමණක් අනන්‍ය ක‍්‍රමයකට අනුව පැවැතිය හැකියැයි කල්පනා කිරීම වරදකි. සියළුම නිෂ්පාදන වලට අති විශාල වන්දියක් ගෙවන්නට සිදුවෙයි. එය පැටවෙන්නේ පාරිභෝගිකයාටය. වෙළද පොල විකෘතියක් සිදුවන අතර එහි නරක විපාකයකි. ලෝකයේ අනෙක් රටවල් සමග ගනුදෙනු කරන කරන පිලිවෙල පුලූල් නොකිරීම අවදානම් සහගතය. ශ‍්‍රී ලංකාව අනෙක් රටකින් යමක් මිල දී නොගන්නේ නම් එම රටවල් මෙරට නිෂ්පාදනයක් මිල දී ගැනීමට සාධාරණ හේතුවක් තිබේද? වෙළදාම, සංචාරක කටයුතු, ආයෝජනය ඇතුළු සියළු අංශ සදහා අලූත් මුහුණුවරක් අවශ්‍ය කෙරේ. එය ශක්තිමත් හා ලෝකයේ අනෙක් රටවලට වඩා අවස්ථා සම්පාදනය කරන එකක් විය යුතුය. ඉදිරියෙන් සිටින අවකාශය තුළ සමාජයේ අනවශ්‍ය තිගැස්ම අවසන් විය හැකි බව දහන් කළ යුතුය.

ශ‍්‍රී ලාංකේය පුරවැසියන්ට සිට ආත්ම ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. ඉතිහාසයේ සිට දක්ෂතා පෙන්නුම් කර ඇති රටකි. ලෝකයේ සෑම තැනෙකම ඉතාම දක්ෂ ලෙස සේවය කරති. නොයෙක් අංශවල නිතරව ශ‍්‍රී ලාංකේය නාමය ඉහළින් ඔසවා තබා තිබේ. අපට ඇති ගැටළුව දේශපාලන ක‍්‍රමය බව පෙනේ. ඉතාම අධික පිරිවැයක් සහිත මැතිවරණ ක‍්‍රමය, ජනතාවට සමීප නැති මහජන නියෝජිතයෝ, ප‍්‍රතිපත්ති වෙනුවට පාක්ෂිකයන්ට පමණක් සලකන ක‍්‍රම යනාදිය රට අවදානම් තැනකට කැදවාගෙන පැමිණ තිබේ. තීරණ ගැනීමට ඉඩ නොදෙන රාජ්‍ය ව්‍යුහය හා සීමාව ඉක්මවන ශ‍්‍රම බලකාය ඉතා වියදම් සහගතය. රජයේ වියදම නාස්ති කිරීමයකි. රජයට අයත් අසමත් ව්‍යවසාය රටට ජවයක් සපයන්නේ නැත. මෙම බැමි බිද හෙලීම අරමුණු කරගෙන, අලූතින් බලයට එන ජනතා නායකයෝ අවසානයේ දී පවතින විෂම ක‍්‍රමය තුළ කොටුවෙන අතර පටු සීමිත රාමුවකින් සෑහීමකට පත් වෙති. ජනාධිපති ගෝඨාභයය රාජපක්ෂ මහතා ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලය අලූතින් පවරා තිබේ. ඉක්මන් තීරණ ගෙන පැහැදිලි ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය.

මෙම අවස්ථාවේ දී විපක්ෂ දේශපාලනඥයන්ට ද පණිවුඩයක් තිබේ. රට අසරණ කිරීමෙන් පසු බලය අල්ලා ගන්නා උපාය හැර රටට විකල්පය ඉදිරිපත් කර ජනතාව හමුවට යන ක‍්‍රියාමාර්ග විපක්ෂ දේශපාලනය අනුගමන කළේ නැත. ඉතිහාසයේ සිට සෑම විපක්ෂයක්ම අනුගමනය කර ඇති පොසු සාධකය එයයි. ආර්ථික හා සමාජ වශයෙන් එල්ලවී ඇති තියුණු අභියෝගය කිසිසේත් මගහැරිය නොහැකි එකකි. ආණ්ඩුවට පමණක් නොව ආණ්ඩුව පෙරලා බලය ගැනීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ ද අද පවතින ආර්ථික රාමුව වෙනස් කරන පිලිවෙල ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය.