28/04/2019
රාජ්‍ය බුද්ධි අංශ දේශපාලනයට යට කළා
 

පාත්ෆයින්ඩර් පදනම හා උරුමයක උල්පත නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි

ප‍්‍රශ්නය- පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය ගැන විවිධ පාර්ශව විවිධ අර්ථකතන දෙන බව පෙනෙනවා. ඔබ ගේ අනුමානය අනුව මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය ජාත්‍යන්තර මෙහෙයුමක ප‍්‍රතිඵලයක්ද?

උත්තරය- අන්තර් ජාතිකව පවතින දරුණු ත‍්‍රස්තවාදී කල්ලි මෙකී ප‍්‍රහාරය පිටුපස සිටින බව පැහැදිලියි. නමුත් මෙම බාහිර පාර්ශව වලට මෙරටට ඇතුළුවෙන්නට තිබුණ හිඩැස ගැන අවධානය යොමු කළ යුතුයි.

1980 දශකයේ සිට රටක් වශයෙන් අන්තවාදී කල්ලි පෝෂණය වූ අවස්ථා අමතක කළ යුතු නැහැ. මුලින් සිංහල අන්තවාදය. එය දකුණේ ත‍්‍රස්තවාදය වශයෙන් විශාල පිපිරීමක් වුණා. අනතරුව දෙමල අන්තවාදය. දකුණේ සිද්ධි වලින් අත්දැකීම් ලැබූ සහ සෑහෙන වශයෙන් අන්තර්ජාතික සහාය ලැබුණ උතුරේ ත‍්‍රස්තවාදය රටට විශාල විනාශයක් කළා. දැන් මුස්ලිම් අන්තවාදය. මෙය ඉතාම සංකීර්ණයි. ජාතිය, ආගම හා පංති වශයෙන් රට තුළ විශාල බෙදීම් තිබෙනවා. දේශපාලන පක්ෂය, ඉගෙනගන්නා පාසල, ජීවත්වන ප‍්‍රදේශය වශයෙන් බෙදීම් ඇති රටක අන්තවාදී බලවේග වලට ඇතුළු වෙන්නට පහසුයි. මෙම බෙදීම් වටහා ගෙන එම පලූදු පිලියම් කිරීම නායකයන්ගේ වගකීීමක්. අවාසනාවකට අපගේ ජාතික හෝ ආගමික නායකයන් එයට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගෝත‍්‍රය එහෙම නැත්නම් නිකාය වෙත කොටුවන ස්වභාවය තුළ අනෙක් පාර්ශව වලට අසාධාරණය, අයුක්තිය, අවිශ්වාසය යන අංශ ක‍්‍රමයෙන් මෝදු වුණා. මේවා අපි තේරුම් ගත යුතුයි. මෙවැනි දුර්වල සමාජ ව්‍යුහයක් පවතින විට නොයෙක් ජාති, ආගම් පදනම් කරගෙන අන්තවාදී කල්ලි බිහිවීම අපේක්ෂා කළ යුතුයි. එම අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට ජාත්‍යන්තර බිහිසුණු කල්ලි සූදානම්. අභ්‍යන්තරය එයයි.

ප‍්‍රශ්නය- මෙම අවස්ථාවේ බිහිසුණු පිපිරවීම් ජාලයක් මගින් කතෝලික පල්ලි, තරු හෝටල් විනාශ කර අහිංසක ජනතාව ගේ ජීවිත බිලි ගෙන තිබෙනවා. මෙම ජාත්‍යන්තර කල්ලි ලංකාව තෝරා ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද?

උත්තරය- කලින් දුන් පිලිතුර මම මෙහෙම, නැවත වතාවක් පැහැදිලි කරන්නම්. රට තුළ තිබෙන අස්ථාවර භාවය. විශාල බේධ තිබෙනවා. හැම තැනම තියෙන්නේ අයාලේ ගිය බවක්. දේශපාලනය දූෂිතයි. සුළු දේටත් ගැටුම් ඇති කරගන්නා නායකයෝ. අසමත් ආණ්ඩු. මත් ද්‍රව්‍ය ජාලය. මුදල් විශුද්ධිකරණය හා මිනිස් ජාවාරම්. ජාති හා ආගම් අතර බෙදීම්. බලවත් රටවල් ශ‍්‍රී ලංකාව සඳහා ඇති කරගෙන තිබෙන බල අරගලය. මෙම අරගලය මගින් බලවත් රටක් අනෙක් රටක් අධෛර්යය කරනු සඳහා රට තුළ ඇතිකරන නොසන්සුන් තත්ත්වය කිසිසේත් සුළු කොට තැකිය යුතු නැහැ. මෙම පසුබිම මගින් රටේ ස්වභාවය ප‍්‍රශ්න වලින් හැදුණු සැලඞ් එකක් කර තිබෙනවා.

කිසිම රාජ්‍ය බුද්ධි සේවාවකට මෙම අර්බුදයක ප‍්‍රමාණවත් අන්දමට තේරුම් ගත හැකි යැයි මම හිතන්නේ නැහැ. අපට තිබුණ දක්ෂ බුද්ධි සේවා දේශපාලණීකරනය වෙලා. දක්ෂ සේවාවක් රටට තිබුණා. ඒවායේ නිලධාරීන් හොඳ සේවයක් කළා. මෑත කාලය තුළ එය අඩපණ කර තිබෙනවා. මෙයින් වූ හානිය මධ්‍යස්ථව බලන්න අවශ්‍යයි. පක්ෂ බේධ ඇති කරලා ඒ අයට ද`ඩුවම් දෙන විට විශ්වාසය බිඳ වැටෙනවා. ස්වාධීනව ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

මෙම පැති එකින් එක වෙනම සාකච්ඡා කළ යුතුයි. එයට දූරදර්ශී නායකත්වයක් අවශ්‍යයි. හෙට කවුරු රට පාලනය කළත්, අද තමන්ගේ කාර්යය ඉශ්ඨ කර පරාජය වී ගෙදර යෑම අභිමානයක් සේ හිතන නායකයන් රටට සිටිය යුතුයි. එහෙම නැති අවකාශයක් තුළ ජාත්‍යන්තර කල්ලි වලට ලංකාව තරම් හොඳ තැනක් ලෝකයේ නැතිවෙන්න පුලූවන්.

ප‍්‍රශ්නය- ඔබ හිතන අන්දමට මෙය අප විසින් කරගත් වරදක්? ශ‍්‍රී ලංකාව එවැනි ඉරණමකට ගොදුරු වූයේ ඇයි?

උත්තරය- එකිනෙකාට චෝදනා කිරීම පහසුයි. නමුත් මෙම තත්ත්වය ඉතා සංකීර්ණයි. නිර්මාණය වී තිබෙන අතිශය සංකීර්ණ පසුබිමට අප සියළුම දෙනා වගකිව යුතුයි. එයින් බැහැර වෙන්න බැහැ. එක ලාංකිකත්වයක් නිර්මාණය කරගන්නට අසමත් වූ අපි ගොඩනගාගෙන තිබෙන සමාජය ඉතාම අන්තවාදී එකක්. සුනාමි ව්‍යසනයට පසු එක රටක් එක සමාජයක් වශයෙන් ගොඩනැගෙන්නට අපට ඉඩක් තිබුණා. අප එම අවස්ථාව මග හැරියා. යුද්ධය අවසන් වූ වහා අප සියළු දෙනාට එකතු වී අලූත් යුගයක් ඇති කරන පියවර ගත හැකිව තිබුණා. එම අවස්ථාව ද ඉතා පටු ආකාරයට අත්හැර දැමුවා. ශ‍්‍රී ලංකාව කියන්නේ වටිනා අවස්ථා අත් හරින ලද රටක්.

අපි බලමු දකුණේ ත‍්‍රස්තවාදය. එය පුපුරා යෑමෙන් පසු විශාල මර්දනයක් කළා. තරුණයන්ගේ පැත්ත ගැන අපි කල්පනා කළේ නැහැ. එවකට ජනාධිපතිව සිටි රණසිංහ පේ‍්‍රමදාස මහතා තරුණ අසහන කොමිසමක් පත් කර හේතු සොයා බැලූවා. එතුමාට එයට ධෛර්යයක් තිබුණා. නමුත් එම කොමිසන් වාර්තාවෙන් අනාවරණය වූ දේ අවංකව ක‍්‍රියාවට නැගුවාද කියන ප‍්‍රශ්නය අපි අපෙන්ම අහන්න අවශ්‍යයි. දෙමල ත‍්‍රස්තවාදයට පසු තරුණයන්ගේ හැබෑ ප‍්‍රශ්න අපි සොයා බැලූවේ නැහැ. මුස්ලිම් ජාතිකයන්ට වෙන්න පුලූවන්, වෙනත් ආගමිකයන්ට වෙන්න පුලූවන් අසාධාරණ හමුවේ සමහර වෙලාවට සුළු පිපිරීම් සිද්ධ වුණා. ඒවා ගැන ගැඹුරු අධ්‍යයනයකට ගියේ නැහැ. හේතුව පටු ආකල්ප. අපි ආරක්ෂා කළේ පක්ෂය. අපි කල්පනා කළේ බලය ගන්න හැටි. අනුන්ගේ විපත තමන්ගේ සැපතට හරවා ගන්න වැඩ කළා. මේවා දෙස සමාජය බලා සිටියා. තමන්ගේ නායකයන් ගෝත‍්‍රික විදියට සටන් කරන විට රටක් වශයෙන් හිතන්නේ කොහොමද? මෙම ප‍්‍රශ්න ඔඩුදුවා ගිහින්. පුද්ගලයෝ මාරු කිරීමෙන්, ආණ්ඩු වෙනස් කිරීමෙන් මෙම භයානක තත්ත්වයට උත්තර හොයන්න බැහැ. ආකල්ප වෙනස් කළ යුතුයි. එක රටක් එක පුරවැසියන් කොට්ඨාශයක් අප හැමදෙනාටම අනන්‍යතාවය ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. ඒවා නිරාකරණය කරගැනීමට ඇති කරගන්නා පොදු සම්මුතිය කුමක්ද කියන කාරණය අපි සාකච්ඡුා කළ යුතුයි. උත්තරය තියෙන්නේ අප අතරේ. වෙන රටකින් වෙන සමාජයකින් අපට අද උද්ගත වෙලා තියෙන අවසානයක් නොපෙනෙන ඛේදවාචකයට විසªමක් ලැබෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය- ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානයක් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන බව පැහැදිලියි. මේවා පාලනය කිරීමට රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් කළ හැක්කේ කුමක්ද?

උත්තරය- ඉතාම පැහැදිලියි. මුල ඉඳලා සොයා බලලා සම්පූර්ණ ශුද්ධ කිරීමක් කළ යුතුයි. පළමුවෙන් අපේ නායකයන් එක තැනකට එන්න අවශ්‍යයි. කිසිම දේශපාලනයකින් තොරව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, අනෙක් දේශපාලන පක්ෂ සහ ජාතික හා ආගමික නායකයන් එකතු වී පරිවර්තනයක් කළ යුතුයි. වැරදි කළ පිරිස අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා නීති ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි. ඒවාට අවශ්‍ය ස්වාධීන පසුබිම තිබිය යුතුයි. අද හැම දෙයක්ම තීරණය කරන්නේ ප‍්‍රතිවාදී දේශපාලනඥයා පාලනය කිරීම බලාගෙන. ඒක වැරදියි. අවශ්‍ය නම් අලූත් නීති හැදිය යුතුයි. ඇමරිකාව 2011 සැප්තැම්බර් ප‍්‍රහාරයෙන් පසු සියළු පක්ෂ නියෝජනය කරන කොමිසමක් පත් කළා. එම කොමිසමේ නිර්දේශ අනුව අලූත් පණත් හැදුවා. බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය කළා. ආරක්ෂක අංශ නවීකරණය කළා. අපටත් කොමිෂන් පත් කළ හැකියි. නමුත් ජනතාව මේවා ගැන බලන්නේත් සැකයෙනි. ත‍්‍රස්තවාදයට අනුබල දෙන, ව්‍යුහ තුරන් කරන නීති හැදිය හැකියි. ද`ඩුවම් වැඩි කළ හැකියි. ඒවා ගැනත් අවධානය යොමු කළ යුතුයි.

ව්‍යවස්ථාවක් හදන, ඡන්ද ක‍්‍රමය වෙනස් කරන වගේ දේශපාලනඥයන්ගේ බලය ආරක්ෂා කරන පියවර පැත්තකින් තියා සමාජය ගොඩනගන අලූත් හර පද්ධති සූදානම් කරගත යුතුයි. අන්තවාදයෙන් තොර මැද මාවතක් සොයා ගැනීම අවශ්‍යයි. හැම දෙනාටම ගැලපෙන ක‍්‍රමයක් හැදිය යුතුයි. මේවා පහසු නැහැ. සියළු පාර්ශව එකතු කරගැනීම දුෂ්කරයි. කැපවීමක් අවශ්‍යයි. පීඩනයට පත්ව සිටින සියළුම දෙනා එක පියවරක් පස්සට ගෙන අලූතින් හිතන්න අවශ්‍යයි. අන්තවාදය කොටු කරන්නට නම් සාමකාමී බලවේග එක්සත් විය යුතුයි.

පවතින සංකීර්ණ අන්තවාදී බලවේග පරාජය කිරීම සදහා අනිවාර්යයෙන් අන්තර් ජාතික ප‍්‍රජාවගේ සහාය අවශ්‍යයි. ඉන්දියාව මෙම ප‍්‍රහාර ගැන අනතුරු අඟවා තිබුණ බව කියැවෙනවා. ලෝකයේ අනෙක් රටවල් වලට අත්දැකීම් තිබෙනවා. මේවා උපයෝගී කරගෙන අලූත් යුගයක් හැදීමෙන් හැර ඡන්දයකින් පත්වෙන වෙනත් ආණ්ඩුවකින් මේවා කරන්න බැහැ. ආණ්ඩු පත්වෙන්නේ මෙම බලවේගවල ගොදුරු හැටියටයි. ඉතිහාසය පුරා අප එම තත්ත්වය දැක්කා. කල්ලි වල සහායෙන් බලයට එන ආණ්ඩු ජනතාවගේ ඝෝෂාව වෙනුවට සුළු පිරිසකගේ හඩට අවනත වෙනවා. ස්වාධීනව ක‍්‍රියා කරන්න බැරි නම් ඊළඟ ඡන්දයෙන් කරන්න පුලූවන් පිරිසකට බලය දීම ජනතාවගේ වැඩක්. ඒ වගේම හැබෑ ජනතා නායකයන් දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන් බවට පත් විය යුතුයි.

ප‍්‍රශ්නය- ඉක්මනින් ලබාදිය යුතු විසªම් වශයෙන් එනම්, විකාශ වූ දේපොල ප‍්‍රතිසංස්කරණය, ජනතාවගේ සාමාන්‍ය ජීවිතය නැවත ඇති කිරීම, විශ්වාසය තහවුරු කිරීම ඒ වගේම දේශපාලනඥයන් ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන උපදේශයක් තිබේද?

උත්තරය- ලැබිය යුතු උපදේශය කුමක්ද යන්න හැම දෙනාම දන්නවා. නමුත් එය පිලිගන්න සූදානම් නැහැ. පටු ආකාරයට එකිනෙකාට චෝදනා කරගන්නේ නැතිව, අලූත් සමාජයක් ගොඩනැගීම ආරම්භ කළ යුතුයි. නමුත් අපේ නායකයෝ එයට සූදානම් නැහැ. දරුණු ප‍්‍රහාරයක් සිදු වී ජනතාව අසරණ වී සිටිය දී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වල පෙනී සිටි දේශපාලනඥයෝ විහිළුකාර තත්ත්වයට පත් වූණා. නිලධාරීන් පවා එහෙමයි. මෙම පිරිස මොනවත් නොකර පැත්තකට වී නිහ`ඩව සිටියා නම් රටේ අභිමානය ආරක්ෂා වෙනවා.

විශ්ලේෂණය කළහොත් මෙම අන්තවාදී කල්ලි වල සිටියේ මධ්‍යම පැලැන්තියේ හොඳ පසුබිමක් සහිත අය. මොකක් ද මෙම කණ්ඩායමේ අරමුණ. නැවත සමාජය ගොඩනගන අතරවාරයේ එම වැදගත් ප‍්‍රශ්නය අපි අහන්න අවශ්‍යයි. රට තුළ ප‍්‍රශ්න තිබුණා. ඒවා සමාජ ගෝලීයකරණය වගේ ගෝලීය ත‍්‍රස්තවාදයක් දක්වා ව්‍යාප්ත වුණේ කොහොමද කියන කාරණය බුද්ධිමත්ව හිතන්න අවශ්‍යයි. අප නොදැනුවත්වම ලෝකයේ භයානක කල්ලි වල කොටස්කරුවන් වෙලා. දේශ සිමා රහිත සංවිධාන වලට පදනමක් හදලා. විනාශ වූ ගොඩනැගිලි හදනවා වගේම විනාශ වූ සිත් හදන්න අවශ්‍යයි. අන්තවාදයෙන් තොර මධ්‍යස්ථ ආකල්ප රට තුළ දියුණු කළ යුතුයි. වෛරය, පලිගැනීම වැනි දරුණු ආකල්ප රට තුළ තුරන් කරන වැඩ පිලිවෙලක් අවශ්‍යයි. ජාතික ආගමික නායකයන්ට වැඩ පිලිවෙලකට මුල් විය හැකියි. නමුත් රට තුළ සාධාරණ සහ යුක්ති සහගත ක‍්‍රමය හදන්නට පාලකයෝ වගබලා ගත යුතුයි. අසාධාරණයක් වෙන විට එය කියාගන්නට කෙනෙක් සිටින ජනතාවට සවන් දෙන පාලකයන් සිටිය යුතුයි.

ප‍්‍රශ්නය- නවසීලන්ත සිද්ධියට උත්තරයක් හැටියට මෙම ප‍්‍රහාර සැලසුම් කරනලද බවට මතයක් තිබෙනවා. ලෝක ව්‍යාප්ත ත‍්‍රස්තවාදයකට මුහුණ දෙන්නට ලෝකයේ වෙනත් රටවලින් ලැබිය හැකි සහාය කුමක්ද?

උත්තරය- අනිවාර්යයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා ඉතාම වැදගත්. සෑම බලවත් රටක් සමගම ගැඹුරු සම්බන්ධතා ගොඩනගා ගැනීම වැදගත්. ආර්ථික හා සමාජයීය සම්බන්ධතා වගේම ආරක්ෂක සම්බන්ධතා තරකරගැනීම සුදුසුයි. ලෝකයේ බලවත් රටවල් සමග වෙන වෙනම අනන්‍ය, උපායශීලී සම්බන්ධතා අවශ්‍යයි. පටු අරමුණු ඇතිව ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන අභිලාශ පැත්තකට කර, ගැලපෙන සියුම් සම්බන්ධතා ජාල හැදිය යුතුයි. වෘත්තීය නිපුණ දක්ෂ නිලධාරීහු එකතු කරගැනීම එහිලා ඉතාම වැදගත්.

ජාත්‍යන්තර සහාය ගන්න වෙලාවෙදි අපට උවමනා දේ ගැන කල්පනා කිරීම අවශ්‍යයි. නැත්නම් වෙන්නේ ඒ රටවල් වලට අවශ්‍ය න්‍යාය පත‍්‍රය මෙහේ හැදීම. අපට අවශ්‍ය සහාය ජාත්‍යන්තරයෙන් ගත යුතුයි. ඒක විශේෂ සමත්කමක්. විශාල ජාත්‍යන්තර තරගයක් මැද අපි ඉන්න බව අමතක කිරීම නුසුදුසුයි. අපේ රට අපේ අනන්‍යතාවය ගැන හිතලා උදවු ගැනීම වැදගත්.

ප‍්‍රශ්නය- පක්ෂ, පුද්ගල බෙදීම් ඇති බව මෙම බිහිසුණු සිද්ධිය හමුවේ ආණ්ඩුව ක‍්‍රියාකිරීමේ දී පෙනුණ දෙයක්. එය ගැන අදහසක් තිබේද?

උත්තරය- සතුරා හමුවේ එකට මුහුණ දීම ඉතාම වැදගත්. දශක තුනක් ත‍්‍රස්තවාදයට මුහුණ දුන් දක්ෂ මානව සම්පතක් රටට සිටිනවා. නමුත් අවාසනාවකට එම අය පක්ෂ, පාට හා පසුබිම අනුව එකනෙකට වර්ග කරලා. එම කොටස් සතු ශක්තිය අපතේ හැරීම වරදක්. දේශපාලන නායකයන් පවා එකට එකතු වුවහොත් මොන තරම් ජවයක් ද යන්න අපි කල්පනා කරන්නේ නැහැ. මේ වගේ අර්බුදයක දී එක පුද්ගලයෙක්, එක නායකයෙක් එහෙන නැත්නම් එක පක්ෂයක් කියන එක වැදගත් නැහැ. අපි වසර හැත්තෑවක් වැරදි කළා. මේ පෙනෙන්නේ ඒවායේ ප‍්‍රතිඵල. අපේ දරුවන්ට බාර දෙන්නේ මෙම විනාශය ද කියන එක අපි කල්පනා කරන්නට අවශ්‍යයි.

අනෙක කතාවට වඩා වැඩ කිරීම වැදගත්. ක‍්‍රියාත්මක වන ප‍්‍රමාණය ගැන ජනතාවට අදහසක් තියෙනවා. සිංහල, දෙමල, මුස්ලිම් හැම පක්ෂයකම නායකයන් තේරුම්ගත යුතු වැදගත් කාරණයක් තිබෙනවා. ඒ අය බලයට එන්නේ වැඩ කරන්න. ඉතිහාසය පුරා ත‍්‍රස්තවාදී කණ්ඩායම් තම තමන්ගේ නායකයන් බිලි ගත්තා. ඇයි එහෙම වුණේ. අපේක්ෂා සාක්ෂාත් කළේ නැහැ. දෙමල සංවිධානයක් තමන්ගේම නායකයන් ඝාතනය කරන විට එම සමාජයේ නායකයන් හිතන්න අවශ්‍යයි. සිංහල නායකයන් ඝාතනය වන විට, මුස්ලිම් නායකයන් ඝාතනය වන විට තමන්ගේ නියෝජනය තුළ වරදක් වී ඇති බව හිතන්නට අවශ්‍යයි. නැත්නම් ත‍්‍රස්තවාදය පරාජය කරන්න අපහසුයි.