26/01/2016 - ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් තද තීන්දු

කසාය හදන පස්පංගුව ගැන නොදන්නෝ නොවෙති. පත අට එකට හිඳ කසාය හදාගන්නා ආකාරය ගැන රටට හොඳ අවබෝධයක් තිබේ. කසාය තිත්තය. තිත්ත කසාය බොන්නට කැමැත්තක් නැත. ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයේ පවතින ස්වභාවය ගැන පොදු ජනතාවට ඉතාම හොඳ අවබෝධයක් නැත. ආර්ථික සාක්ෂරතාව අතින් දුබලය. පවතින තත්වය වෙනස් කරන්නට නම් පත අට එකට හිඳින තීන්දුව ගත යුතුය. රටේ ආර්ථිකය හදන්නට නම් තිත්ත තීරණ ගත යුතු බව දේශපාලන නායකයන් දන්නා කාරණයකි. නමුත් තිත්ත බෙහෙතට කවුරුවත් කැමති නැත. ජනතාව කැමැති මීපැණි අදහස් වලටය. පාලකයන් මිහිරි දේ කියා සුන්දර සිහින වල සතපවන විට වැසියෝ එහි අතරමං වෙති. රට තුළ ආර්ථික ප‍්‍රශ්ණ මතුවන විට නිවැරදි කරන තීරණ ගන්නට දේශපාලනඥයෝ මැලි ඒවා තිත්ත තීරණ ලෙස ජනතාව නිසාය. තමන්ගේ ජනපි‍්‍රයත්වය පිරිහෙන හෙයින්ය. ඊළඟ ඡන්දයට එය බාධාවක් වන කල්පනාව ඇතිවය. නමුත් ජනතාව ගේ අදහස වෙනත් එකකි. ආර්ථිකය හැදීම දේශපාලනඥයන්ගේ වගකීමක් බව ඔවුහු සිතති. තිත්ත, තද තීන්දු ගෙන ආර්ථිකය හදාගන්නට පාලකයන් කැමැති නැති හෙයින් පවතින ආර්ථික ව්‍යාධි සමග ජීවත්වන්නට රට වැසියන්ට සිදුව තිබේ.

වර්තතමාන ලෝක ආර්ථිකය තුළ අභියෝග ගණනාවක් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇති ආකාරයට මේ වසරේ ලෝක ආර්ථිකයේ වර්ධනය සියයට 3.5 ක් පමණ විය හැකිය. ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය පැවති දුර්වල තැනින් ඉදිරියට ගමන් කරමින් සිටින නමුත් අපේක්ෂා කරන ලද වර්ධන ප‍්‍රතිශතයකින් නොවේ. චිනයේ ආර්ථික වර්ධනය ද සීමාසහිත එකකි, පිලියමක් වශයෙන් තව තවත් කාර්යක්ෂමතාව ඇති කරන වෙනස්කම් යෝජනා වී තිබේ. එහෙයින් සියලූම රටවල වර්ධනය යහපත් රිද්මයක නැත. දැන් පවතින වර්ධනයට වඩා වේගයකට ගමන් නොකළහොත් අපේක්ෂා ඉටු කරගත නොහැකිය. ලෝක ආර්ථිකයට බොරතෙල් මිල ද අභියෝගයකි. බොරතෙල් මිල අඩු අතර මැදපෙරදිග රටවල ආර්ථිකය සංකෝචනයවීම හේතුවෙන් එයින් පෝෂණය වූ සෑම කලාපයකටම නරක ප‍්‍රතිඵල තදින් දැනෙන්නට පටන්ගෙන ඇත. අඩුවී ඇති බොර තෙල් මිලෙන් වාසි ලබා ගෙන එය නිවැරදි ආකාරයට ආයෝජනය කරන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවට එම තත්ත්වය විශේෂයෙන් බලපාන අතර මැද පෙරදිග රටවලින් මෙරටට ලැබෙන විනිමය අඩුවන විට සිදුවන දේ සමාලෝචනය කරන්නට හැකි විය යුතුය.

ලෝකයේ නරක ආර්ථික පසුබිම තවත් සංකීර්ණ තත්ත්වයට පත් කරන්නට සියුම් බලපෑමක් කරන්නේ ජනප‍්‍රියවාදයයි. ආර්ථීකයේ ප‍්‍රශ්ණ වලට සැහැල්ලූ විසදුම් ඇති බව කියන ඇතැම් නායකයෝ ජනපි‍්‍රය වෙමින් සිටිති. තාක්ෂණ යුගය තුළ එවැනි නායකයන් මතුකරන අදහස් වලින්, අනපේක්ෂිත ජනතා රැළි නැගෙන අතර ජනතාව වශී කරන ඔවුන්ගේ අලූත් අදහස් හෙයින් සාම්ප‍්‍රදායික නායකත්ව කොන් වන ලකුණු පෙනේ. ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා බර්නි සැන්ඩර්ස් සහ බි‍්‍රතාන්‍යයේ ජෙරම් කොර්බියන් හා නයිජල් ෆරාජ් වැනි නායකයන් නඟන හඬ එම රටවලට අදිසි ජනප‍්‍රිය නායකත්වයක් ඇතිකර තිබේ. ප‍්‍රංශයේ මරීන් ල පෙන්, ස්පාඤ්ඤයේ පබ්ලෝ ඉග්ලීෂියස් වැනි නායකයන් පමණක් නොව ග‍්‍රීසියේ සිර්සා දේශපාලන පක්ෂය ද ඉටුකරමින් සිටින්නේ ජනප‍්‍රියවාදයේ ගමනයි. එයට හේතුව අනේක විධ ගැටලූ වලින් හෙම්බත් වී සිටින මෙම රටවල වැසියන්ට මෙකී නායකයන් තමන්ට රට හදන්නට හැකි යැයි දක්වන පුරාජේරු ඉතා සිත්ගන්නා ඒවා වීමයි. මෙම පුරාජේරු වලට අවනත වුවහොත් ලෝක ආර්ථිකය තවත් නරක තැනකට පත්වන්නට බැරි නැත. ගී‍්‍රසිය එයට හොඳ උදාහරණයකි. ගී‍්‍රසිය ආර්ථික ගැටලූ වලට මුහුණ දෙන විට එයින් ගැලවීමට නම් අනුගමනය කළ යුතු ප‍්‍රතිසංස්කරණ මාලාවක් සහ ඒ වෙනුවෙන් ආධාර දෙන්නට යුරෝපා ප‍්‍රජාව කැමැති විය. නමුත් ඒවා භාරගන්නට අකමැති වූ විපක්ෂ දේශපාලනඥයෝ ප‍්‍රතිසංස්කරණ නැතිව රට හදාගන්න පුලූවන් බව ප‍්‍රසිද්ධියේ කියන්ට පටන්ගත්තේය. මහ මැතිවරණයෙන් ඔවුන්ට බලය අත්පත් කරගත් අතර පළමුවර අසාර්ථක වී දෙවන වතාවට ද ළඟ ලඟ පැවති මැතිවරණවලින් ද ජය ගත් එම දේශපාලනඥයන්ම දැන් කලින් යෝජනා කළ ප‍්‍රතිසංස්කරණ වලටත් වඩා දරුණු අලූත් යෝජනාවලට එකඟ වී තිබේ. එයින් පෙන්වන්නේ දේශපාලනඥයන් කවර පුරසාරම් කතා කළත් අවසානයේ ප‍්‍රතිසංස්කරණ විනා විකල්පයක් නැති බවය.

ලෝක ආර්ථිකයේ අලූත් ස්වභාවය මත තරඟකාරීත්වය තව තවත් ඉහළ නැග තිබේ. රැකියා වල ස්වභාවය තාවකාලික එකක් වී ඇති අතර එහි අස්ථාවර බව සහ තාක්ෂණය හෙයින් සීමා වන විට සමාජය තුළ ගැටලූ මතු වෙයි. ඒවාට උත්තර දෙන්නට සූදානම් වෙන්නේ පුරාජේරු ලෝක නායකයන්ය. අද වන විට නිර්මාණය වෙමින් පවතින පැති දෙස බලන විට තාක්ෂණය මගින් ඥාණ යුුගයක් බිහිකරනු ඇති බව අර්ථකතනය කළ ද මෙම අතරමැදි වකවානුව ගැන සාමාන්‍ය ජනතාව නිවැරදිව වටහා ගෙන නැත. එය ලෝකයේ නොයෙක් රටවල දේශපාලනික අතින් දුර්වල සහ අස්ථාවර ආණ්ඩු බිහිකරන අතර එය අද පවතින ආර්ථිකය තවත් අවදානමකට යොමුකිරීමක් විය හැකිය.

ශී‍්‍ර ලංකාව දෙස බලන විට ලෝක තත්ත්වයට වඩා වෙනසක් නැත. ජාත්‍යන්තර ආර්ථිකය තුළ කුණාටු නැගෙනවිට අප එහි පාවෙන කඩදාසි බෝට්ටුවක් පමණකි. මෙයින් ගැලවෙන්නට නම් ආර්ථිකය නිසිමගට ගැනීම අවශ්‍යය. අලූත් සමාජ ක‍්‍රමයක් හදන අදහස් තිබේ. ව්‍යවස්ථා ගැන සංවාද ඇත. සමාජ සංහිදියාව පමණක් නොව මානව අයිතිවාසිකම් තහවුරු කිරීම ගැන අවධානය යොමුවී තිබේ. නමුත් දැන් පෙනෙන ආකාරයට ඉතාමත්ම වැදගත් දෙය ආර්ථිකයයි. ආර්ථිකය නිවැරදි මගට අවතීර්ණ කර ගත නොහැකි නම් මෙම වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු කිසිසේත් සාක්ශාත් කරගත නොහැකිය. ආර්ථික ප‍්‍රශ්ණ මතුවන විට ජනතාව ජනප‍්‍රිය දේශපාලන කතාන්දර වලට ගොදුරු වෙන්නට ඉඩ තිබේ. එය තවත් වටයකින් සමාජයට පීඩනයක් ඇති කරනවා නිසැකය.

ශී‍්‍ර ලංකාෙවි ආර්ථිකය දෙස බලන විට රාජ්‍ය ආදායම ප‍්‍රමාණවත් නැත. වියදම පාලනය කරගැනිීම අපහසුය. එහෙයින් අය වැය පරතරය පුලූල් වෙමින් තිබේ. ආදායම නංවා ගැනීමට ගන්නා තීරණ, පොළී අනුපාත සහ විනිමය අනුපාත මත ගැටලූ ඇති කර තිබේ. රට තුළ අවස්ථා ඇතිකරන්නට නම් ආයෝජන වැදගත්ය දේශිය ආයෝජකයන්ට ඉඩදිය යුතු අතර විදේශ ආයෝජන කැ`දවන්නට අවධානය යොමු කිරීම අවශ්‍ය කාරණයකි. රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය වී ඇත. ඒවා උපයෝගී කරගෙන ආයෝජන පහසු කරන ආකාරයට තීන්දු ගන්නා ව්‍යුහයක් සකස් කිරීම කාලෝචිත බව පෙනේ. ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට සහ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට කර්මාන්ත හා සේවා අංශ වලට අලූත් ආයෝජනයෙන් තොර අන් විකල්පයක් නැත.

විදේශ විනිමය උපයා ගැනීමේ දි අපනයනය කෙරෙහි සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය. මෑතක දී කොළඹ පැවැති ආර්ථික සංසදයට සහභාගී වූ හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රිකාඩෝ හවුස්මාන් සඳහන් කළ ආකාරයට තායිලන්තය මෙයින් අවුරුදු විස්සකට කලින් පසුවූයේ දැන් ශී‍්‍ර ලංකාව පවතින ස්වභාවයේය. කෘෂි අංශය ආර්ථිකයේ විශාල පරාසයක් ආවරණය කළේය. අද මෙරට ශ‍්‍රම බලකායෙන් සියයට තිහක් කෘෂිකර්මාන්තයෙහි නිරත අතර එම ශ‍්‍රමිකයන් ආර්ථිකයට දක්වන දායකත්වය දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට දොලහකට අඩුය. අපනයන වැඩි කරන්නට නම් පරිවර්තනයක් කළ යුතුය. අපනයන ආදායම ගැන බලන විට ශී‍්‍ර ලංකාව පසුවන්නේ තායිලන්තය, තුර්කිය සහ කොස්ටාරිකාව යන රටවල් ගත කළ අදුරු කාලයට සමානව බව ඔහු දක්වයි. ශ‍්‍රමයට ගෙවන ඉහළ වැටුප අනුව තේ, ඇඟලූම් යන අංශ පවා තරඟකාරී ලෝක වෙළදාමේ මිළ සීමාවට පැමිණ තිබේ. ඉතිරිවී ඇති ක්ෂේත‍්‍රය සංචාරක ක්ෂේත‍්‍රයයි. තොරතුරු තාක්ෂණ අංශය සහ කර්මාන්ත සහ සේවා අංශයේ මිල එකතු කරන ව්‍යවසාය අංශයයි. රබර් ආශි‍්‍රතව තාක්ෂණයෙන් ඉහළ වටිනාකම් එකතු කරන ලද කම්හල් ඇරඹීම තුළින් ආර්ථික ප‍්‍රසාරණය යන පැති ඉතිරි වී ඇති අංශ බව හවුස්මාන් මහතා පෙන්වා දී තිබේ. නොබෝදා අවසන් වූ ඩාවෝස් ආර්ථික සමුලූවේදී ජාත්‍යන්තරය තුළ පැතිරෙන කර්මාන්ත යුගයේ හතරවැනි විප්ලවය ගැන සඳහන් කර තිබේ. තාක්ෂණය උපයෝගී කරගැනීම ඔස්සේ කෘතීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ගැන කතා කරන්නට පටන්ගෙන ඇත. හෝටල් වල අයිතියක් නැති විශාල හෝටල් ජාල, වාහනයක අයිතියක් නැති ප‍්‍රවාහන සමාගම් ගැන මත ඉදිරිපත්ව තිබේ. මෙම හතරවැනි කර්මාන්ත විප්ලවයට එන විට ජාත්‍යන්තරය තුළ කලින් ඉලක්ක කර තිබූ රැුකියා ප‍්‍රමාණයෙන් මිලියන පහකට පමණ රැකියා අවස්ථා අහිමි වනු ඇති අතර එම අහිමිවීම තුළින් නිෂ්පාදන වේගවත් කිරීම, මිල කළමණාකරනය වැනි අවස්ථා වලට මග පාදා ගෙන ඇත. ශ‍්‍රී ලංකාව තවමත් ඉන්නේ වැඩ වර්ජන සහ වෘත්තීය සමිති ක‍්‍රියාත්මක වූ පළමු විප්ලව යුගය තුළය. ශ‍්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයකට අවශ්‍ය පුහුණු ශ‍්‍රමය හි`ගය. මානව සම්පත පුහුණු කිරීම, ඒ වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා සම්පාදනය කළ යුතුය. රට තුළ ශ‍්‍රමය අඩු වන විට ලෝකයේ වෙනත් රටකින් හෝ ලබා ගන්නට තීන්දු කරන්නට අවශ්‍යය. මෙම අලූත් තත්ත්ව අවබෝධ කරගැනීම අලූත් ආර්ථිකයක් හදන ගමනේ වැදගත් අංශයකි.

ආර්ථිකය තුළ වෙනස්කම් ඇතිකර අපනයනයට සුදුසු මිල තරඟකාරීත්වය ඇති කිරීම පහසු නැති තීරණයකි. දැනට පවත්වාගෙන යන පුද්ගලික අංශයේ ව්‍යාපාර එයින් මිල අර්බුදයකට පත්වීම වැලැක්විය නොහැක. ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසි සංවාදයකින් පසු කළමණාකරනය කර නොගතහොත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ජාති සහ ආගම් පදනම් කරගත් අර්බුද වශයෙන් ඒවා මතු වන්නට ඉඩ තිබේ. ප‍්‍රතිසංස්කරණ තුළ අපහසු තාවයට පත්විය හැකි දේශිය කර්මාන්ත සහ ව්‍යාපාර පදනම් කරගෙන යම් යම් අර්බුද ඇතිවීමට ඉඩ ඇවිරීම සලකා බැලිම අවශ්‍යය. ආර්ථිකය සකස් කරන තීරණයට එළැඹෙන විට රට තුළ ජනපි‍්‍රයවාදය මතුවීම පාලනය කළ හැකි වන්නේ මෙම වෙනස්කම් මත යහපත් අනාගතයක් ඇති කරන්නට ඉඩ ලැබෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ජනිත කරන්නට සමත්වුවහොත් පමණකි.

මෙම විශ්වාසය ජනිත කරන අතරතුර ප‍්‍රතිසංස්කරණ වල ෙවිදනාව වෙනුවෙන් තාවකාලික කැපවීමක් ද සමාජයෙන් අපේක්ෂා කළ යුතුය. සමාජය පමණක් නොව මැති ඇමතිවරුන් ඇතුථ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද රටවැසි ජනතාව සමඟ යථාර්ථයට මූහුණ දෙන තීරණයක් ගැනීම වැදගත්ය. සහනාධාර ක‍්‍රම ගැන නැවතත් සමාලෝචනය කරන සහ රජයේ සේවය සීමා කරන තීන්දු ගැනීමට සිදුවෙයි. රුපියලේ අගය අවප‍්‍රමාණය කරන සහ බැංකු පොලී අනුපාත වැඩි විය හැකි තත්ත්වයක් අපේක්ෂා කළ යුතුවෙයි. ඒවා ලෙහෙසි තීන්දු නොවේ. මෙය හැර අන් විකල්පයක් නැත. පුද්ගලීකකරණය වැනි සංකල්ප ගැන පවා රට තුළ නරක වචනක් බවට පත්ව තිබේ. එය නරක එකක් නොවේ. ලෝකයේ සිදුවන්නේ එයයි. සැම කර්මාන්තයක්ම ව්‍යාපාරයක්ම ආණ්ඩුවට කළ නොහැකිය. කරන්නට හැකි සහ අත්‍යවශ්‍ය ව්‍යාපාර ආණ්ඩුව භාරගෙන නොහැකි දේ පුද්ගලික අංශයට පැවරිය යුතුය. එයින් උත්පාදනය කරන ආදායම ණය බර අඩු කරන්නට යෙදවිය හැක. එය ජනතාවට සහන ලැබෙන ක‍්‍රියා මාර්ගයකි. දැන් සිදුවන්නේ අසාර්ථක ව්‍යාපාර වල පාඩුව ජනතාව තවත් අපහසුතාවයට පත්කරන ආකාරයට ඔවුන්මත පැවරීමයි. මේවා දෙස ආපසු හැරී බලන විට ජනතාව බලන්නේ ඉක්මන් විසඳුම්ය. කුඩා රටක් වශයෙන් ඉන්දියාව, ඇමරිකාව හෝ චීනයට සතු අවස්ථා උපයෝගීකර ගැනිම අවශ්‍යය. මෙම රටවල් සමග වෙළඳ ගිවිසුම් වලින් ප‍්‍රයෝජන ගැනීම අවශ්‍යය. නැගෙනහිර ආසියාව, මැදපෙරදිග සහ දකුණු ආසියාව අතර සන්ධිස්ථානයක සිටින හෙයින් කේන්ද්‍රස්ථානයක වාසිය රටට තිබේ. රටට ආයෝජන එන්නේ චීනය, ඉන්දියාව හා ජපානය වැනි ආසියානු රටවලින්ය. විශේෂයෙන් චීනය වන අතර චීනයෙන් රටට එන සංචාරකයන් ප‍්‍රමාණය ද ඉතාම වැදගත්ය. දැවැන්ත රටවල් සමග ක‍්‍රියාකරන විට හීනමානය පැත්තකින් තබා ක‍්‍රියාකරන තීරණ ගැනීම සුදුසුය.

ආර්ථිකයක් හදන වෙනස්කම් යෝජනා කරන එක තිත්ත තීරණයකි. එය මිහිරි එකක් බව ජනතාවට දැනෙන්නේ නැත. මිහිරි අනාගතයක් වෙනුවෙන් තද තීරණ වලට ගමන් කරන්නට සිදුවන බව එ්ත්තු ගැන්වීම ඉතාම අවශ්‍යය. නිවැරදි පාලනයක් තුළ අවුරුදු දෙකක් පමණ ගමන් කළහොත් රටට දැන් මුහුණ දෙන්නට සිදුවී ඇති මිල තරඟකාරීත්වය, ආයෝජන පහත වැටීම, අපනයන දුබලතා, විදේශ විනිමය හිඟය සහ මේ සියල්ලෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් අඩාල වී ඇති ආර්ථික වේගය සකස් කරගත හැකිවෙයි. රැකියා හිඟය සහ ජීවන වියදම යන තත්ත්වයන්ට විසදුම් සොයාගත හැකිවෙයි. පාලකයන් උත්සාහ කරන්නේ ජනතාවට ඇත්ත නොකියා මිහිරි කතාන්දර කියන්නටය. එහි අවසානය දැන් ගි‍්‍රසිය මුහුණ දී ඇති ඉරණමට සමාන එකක් වෙන්නට ඉඩ තිබේ. ආර්ථිකය පහසු තැනකට සකස් කරන කාර්ය භාරයයෙන් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ගැන කතා කිරීම පහසු නැත. ජාති ආගම් සහ පන්ති අතර සංහිඳියාව වැදගත්ය. එයට අවස්ථාව ඇත්තේ ස්ථාවර ආර්ථික රාමුවක් තුළය. එදිනෙදා ජීවන වියදම ගැන හිතන අවස්ථාවක අලූත් සමාජ ක‍්‍රම ගැන පෙනී සිටීම සාර්ථක කරන්නට අපහසු දෙයකි. රස්සා සොයමින් සිටින සමාජයකට සංහිදියාව පිළිතුරක් නොවේ. දරුවාට පාසැලක් සොයාගැනීමට ලතැවෙන පිරිසකට බලය බෙදාහැරිම ගැන කතා කිරීම වැදගත් නැත. අලූත් ආණ්ඩුව කෙරෙහි විශාල බලාපොරොත්තු තිබේ. එයින් පෙන්වන්නේ සියලූ ආර්ථිකය නිසි ම`ගට ගැනීම ප‍්‍රමුඛ කාරණයක් බවය. එය ඉතාම වැදගත් සමාජ පරිවර්තනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් හදන බවය. අප දන්නා පස් පංගුව පත අටට හි`ද බොන්නට කැමැති නැතිනම් තත්ත්වය නරක විය හැකිය. දැනටත් මතුව ඇත්තේ එවැනි තීරණාත්මක තැනකටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බටහිර වෛද්‍යවරයෙකුගෙන් පිහිට පතන්නට වෙන්නේ තත්ත්වය දුෂ්කර වූ අවස්ථාවේදීය. ඒ අය නියම කරන දේ තිත්ත නමුත් ආවරණයක දවටා ඇත. පෙති කරල් හැටියට දෙන දේ ඒ ආකාරයටම පාවිච්චි කරන්නට සිදුවෙයි. මේ ආකාරයට ප‍්‍රතිකාර ගන්නට වෙන්නේ තිත්ත කසායට කැමැති නැති වූ හෙයින්ය. මෙම විශේෂඥ ප‍්‍රතිකාරය ද මුලින් ගන්නට තිබූ දෙයට වඩා වෙනස් එකක් නොවේ. නමුත් දැන් විකල්පයක් නැත. බටහිර රටවල් ශ‍්‍රී ලංකාව කෙරෙහි යම් ආකාරයක අනුකම්පා පසුබිමක පසුවෙයි. එය රටට වාසියකි. එම වාසි සහගත තත්ත්වය සමග නිසි වැඩ පිළිවෙලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට ඉදිරිපත් කළහොත් ආර්ථික වර්ධනය සඳහා ප‍්‍රවේශයක් සකස් කරගත හැකිය. එම ප‍්‍රවේශය මූලික කරගෙන අවශ්‍ය වෙනස්කම් කළහොත් රටට අනාගතයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දැන් පසුවෙන්නේ මෙම ඉරණම අභියස වන අතර එයින් එපිට විකල්පයක් නැත. ජර්මනිය මෙයින් කාලයකට කලින් ඉතා නරක තැනක පිහිටියේය. ලෝකයේ සෙසු රටවල් එකල ජර්මනිය හඳුන්වන්නේ යුරෝපයේ ලෙඩ කාන්තාව යන විරුදාවලියෙන්ය. ජර්මනිය නැවත ගොඩගන්නට තිත්ත තීරණය ගත්තේ ගෙහාර්ඞ් ක්ෂෝඩර්ය. ඔහු ගත් තීරණ වල වාසි අත්පත් කරගත්තේ ඇන්ජෙලා මර්කල්ය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) කළ ප‍්‍රතිසංස්කරණ වල වාසිය අත්පත් කරගත්තේ බිල් ක්ලින්ටන්ය. ලෝකයේ සිදුවන දේ තුළ වෙනසක් කරන්නට තැත් කරන නායකයන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ යම් අසාධාරණයක් වන බව පෙනේ. සමාජය එකතුකර අලූත් ආර්ථික ප‍්‍රතිසංස්කරණ තුළින් ආර්ථික වර්ධනයක් කරා ගමන් කළහොත් එය සමාජ ප‍්‍රතිසංස්කරණ වලට විශාල ශක්තියක් වනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.