24/01/2023 - ලංකාදීප
පුරවැසි කැපවීම හා නායකයන්ගේ ආදර්ශය

මෑත ඉතිහාසයේ අන්ධකාරම කාල වකවානුව දැනට පසුකරමින් සිටී. ගමන් කරන්නේ අන්ධකාරයෙන් තව දුරටත් අදුර වෙත ද, නොඑසේනම් අරුණාලෝකය උදාවෙමින් පවතින්නේ ද යන්න පැහැදිලි නැත. අප සියළු දෙනා ගන්නා ක‍්‍රියාමාර්ග, අත්නොහැර ගෙන යන ඉතාම සුදුසු වැඩ පිලිවෙල රට ඉහළට ඔසවා තබනු ඇත. නිදහස ලබාගෙන වසර හැත්තෑ පහක කාල පරිච්ඡේදය තුළ එකිනෙකට වෙනස් මාර්ග ගණනාවක ගමන් කර තිබේ. ලබාගත් ජයග‍්‍රහණ පමණක් නොව, දරුණු පරාජයන් ද මතකයෙහි ඇත. අවසානයේ දී රටට ලැබී ඇත්තේ තාවකාලික පහසු වාතාවරණයක් පමණකි. වැසියන් සියළු දෙනා අඩු වැඩි වශයෙන් අතෘප්තිමත්ය. ස්ථිරසාරව ගෙනයන සංවර්ධනාත්මක පියවරවලින් හැර, රටට අනාගතයක් නැත.

රටක වටිනාම සම්පත තරුණ ජවයයි. තරුණ ශ‍්‍රම බලකාය ප‍්‍රතිශතයක් වශයෙන් ඉහළ මට්ටමක පවතිනවිට, සැලකිය යුතු වාසිදායක තත්ත්ව අත්පත් කරගත හැකිය. ශ‍්‍රී ලංකාවේ ජනගහන රටාව සලකනවිට, තරුණ ජවය ඉහළම මටට්මක පැවැති කාල පරිච්ඡේදය අතීතයට එක් වී ඇත. තරුණ බලමුළුව, ඔවුන්ගේ ඉහළම ප‍්‍රතිශත අවධියේ දී ත‍්‍රස්තවාදයක් පැවැති අතර, හැම පැත්තකින්ම රටට අහිමි වූයේ තරුණ ජන කොටස්ය. ජීවිත අහිමිවීම පමණක් නොව රට හැර යාම ද සැලකිය යුතුය. ත‍්‍රස්තවාදය පරාජය කොට තිබේ. ආර්ථිකය අඩාලවී ඇත. නිසි තීරණ, සුදුසුම මොහොතේ දී නොගැනීම, ආර්ථික පරිහානියට බලපා ඇති සාධක අතර ප‍්‍රධානය.

මාතෘ භූමිය වෙනුවට වෙනත් රටක් තෝරා ගැනීම

රට තුළ පවතින අවස්ථා සීමාසහිත, තත්ත්වය ඉදිරියේ වෘත්තිකයන් සහ තරුණ පිරිස් සෑහෙන කොටසක් වෙනත් සංවර්ධිත රටකට සංක‍්‍රමණය සෙදහා වෑයම් කරමින් සිටී. නිත්‍යානුකූලව හෝ අනිසි ක‍්‍රමයකින් හෝ රටකට පැනයාම අභිමතාර්ථය බව පෙනේ. රට තුළ ත‍්‍රස්තවාදී අරගල පැවැති වකවානුවේ දී, විශාල වශයෙන් සිදුවූ සංක‍්‍රමණයට ආසන්න ස්වභාවයකි. ජුලි කලබලවලට පසු හා අනතුරුව පැවැති ගැටුම්වලට මැදිවීමෙන් අසරණවූවෝ මෙරටින් පිටත්ව ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ නොයෙක් රටවල පදිංචි වී සිටිති. දැනට සිදුවන ප‍්‍රවණතාව අනුව ත‍්‍රස්තවාදී කාලයට පසු, සාමකාමී කාල පරිච්ෙඡ්දය තුළ ඉතිහාස ගතවන සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවෙන් බැහැර වීමට ඉඩ ඇත.

නිෂ්පාදන සාධක සදහා අවශ්‍ය, නිර්මාණාත්මක ශ‍්‍රමය බැහැරට ගලා යන අවස්ථාවක ශ‍්‍රී ලංකාව තව දුරටත් සංකීර්ණ ප‍්‍රශ්නවලට ගොදුරු විය හැක. තරුණ ශ‍්‍රමය රටක පැවැත්මට ඉතාම වැඩදායකය. ඉන්දියාව තුළ සිදුවන වේගවත් සංවර්ධනය පිටුපස තරුණ ශ‍්‍රමය ඇත. චීනයේ දැනට පවතින සංවර්ධනය කරා අවතීර්ණවූයේ, ඔවුන් ගේ ශ‍්‍රම බලකායේ තරුණ නියෝජනය වැඩිම මට්ටමක තිබුණ අවධියේ දී ය. දැන් පරිනත තැනක පසුවන චීනය වැඩිහිටි ජනතාව සදහා සුබසාධනය ආරම්භ කළ හැකි තරමට ශක්තිමත්ය.

යුද ගැටුම්, ත‍්‍රස්තවාදය, සුනාමි, පාස්කු ඉරිදා ප‍්‍රහාර සහ ජන අරගලවලට පසු දරුණු අර්බුදයක පසුවන ශ‍්‍රී ලංකාව, විස`දුමක් කරා අවතීර්ණ විය යුතුය. සමාජය තුළ සංවාදයක් අවශ්‍යය. බලය අල්ලා ගැනීම වෙනුවට එකතු වී සංවර්ධිත රටක්, සැනසිලිදායක සමාජයක් කරා ගමන් කරන වගකීමක් ඇත. බරපතල සිද්ධිවලින් හෙම්බත් වූ සෑම අවස්ථාවකම, එකතු වී ගොඩනැගෙන ක‍්‍රම ගැන අදහස් විසුරුවා හරින ලද නමුත් ජන සමාජය හෝ නායකත්ව එකට එකමුතු වූයේ නැත. එවැනි එකමුතුවක් ස`දහා ශක්තිමත් වැඩ පිලිවෙලක් සකස්කරගන්නට අපොහොසත් විය.

අර්බුද මැදින් ඉදිරියට ගමන් කළ රටවල සාක්ෂි

දැනට ඇති ප‍්‍රධානතම ප‍්‍රශ්නය රට මුහුණ පා ඇති දරුණු මොහොත නිසියාකාරයෙන් හදුනා නොගැනීමය. දේශපාලන පක්ෂ, විද්වතුන්, ආගමික නායකයන්, ජාතිය ගැන විශාල වේදනාවකින් කතා කරන පිරිස විවිධ කෝණවලින් තමන්ට පහසු සහ ගැලපෙන තැන් පමණක් තෝරා ගෙන සිටී. සංකීර්ණ ස්වභාවය, අංශක තුන්සිය හැටක කෝණයකින් නිරීක්ෂණය කර විසදුමක් සදහා පෙල ගැසෙන්නේ නැත. දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍ර අනුව තමන්ට බලය ලැබුණොත් කළ හැකිි බව දකින, ඔවුන් දන්නා කොටසට විසදුමක් දෙන්නට හැකි බව ප‍්‍රකාශ කරමින් සිටිති. ඉතිහාසයේ සිදුවූ පමණක් නොව දැන් සිදුවෙමින් පවතින්නේ ද දේශපාලන බලය ලබාගැනීම මත, කරගෙන යන තාවකාලික පිලියම් සෙවීමකි.

සමාජ එකගතාවයකින් ගොඩනැගුණු රටවල් අප අභිමුවෙහි ඇත. දෙවන ලෝක යුද්ධයෙන් බිංදුවට වැටුණ ජපානය, මැලේසියාව හා එයින් කැඞී වෙන්වූ සිංගප්පූරුව නිතර දැක්විය හැකි උදාහරණ අතර තිබේ. ආර්ථිකය වැටුණ පසු කොරියාව සන්නිවේදන තාක්ෂණික අංශයට නැඹුරුවී ඇතිකරන ලද ප‍්‍රතිසංස්කරණවලින් පසු නැවත දියුණු රටක් බවට පත් වූ අතර ජාති, ආගම්, දේශපාලන සහ පන්ති බේධ අත්හැර මානව සම්පත නිසි සේ ආයෝජනය කිරීමෙන් මෙම රටවල් අද පවතින තැනට පැමිණ සිටී. රටවල් දියුණුවන විට ශ‍්‍රමය ප‍්‍රමාණවත් නොවූ අතර පිටරටවලින් පවා ශ‍්‍රමිකයන් කැ`දවීය.

ශ‍්‍රී ලාංකිකයන් අලූත් යුගයක් ගැන සිහින නැත්තේ ඇයි? එකමුතු කරන්නට පහසු නැත. ජන සමාජය ආත්මාර්ථකාමීය. මැදි ආදායම් මට්ටමට පැමිණි පසු තමන් පමණක් කෙසේ හෝ නැගී සිටින්නට උත්සාහ කරයි. රට වෙනුවෙන් කැපවීමක්, කැක්කුමක් ඇති පිරිස සීමිතය. බිංදුවට වැටුණ පසු නැවත නැගිසිටීම ගැන හිතන්නට අවශ්‍යය. වැරදුන තැන් සොයා බලා ප‍්‍රතිසංවිධානයක් විය යුතුය. නමුත් බහුතරයක් දෙනා තමන් ගැන පමණක් සිතමින් සිටී. දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සමාජයේ බෙදුණු, කොටස් තෝරාගෙන ඔවුන් ලවා තමන්ගේ බලය ආරක්ෂා කරගනිමින් සිටී. සෑහෙන කොටසක් දේශපාලනඥයන්ට සමීප වන අරමුණ ඇතිව ක‍්‍රියාකරන අතර, එයින් අදහස් කරන්නේ බලයට පත් වූ පසු ඔවුන්ට අවශ්‍ය දේ කරගැනීම බව සදහන් කළ යුතුය.

නායකයන් ගේ ආදර්ශය ප‍්‍රශ්න කළ යුතු මොහොත

ශ‍්‍රී ලංකාවේ ආගමික හා දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, වෘත්තීය සමිති රට ගොඩනැගීම සදහා දක්වන කැපවීම කුමක්ද? මෙම පිරිස් ඔවුන් දරන අන්තවාදී මත හැර අනෙක් අදහස් ඉතාම දරුණු ලෙස ප‍්‍රතික්ෂේප කරන බව පෙනේ. වෛරය, ප‍්‍රචණ්ඩත්වය හා ගැටුම් මතුවීමට එය ප‍්‍රධාන සේ බලපා ඇත. ජනවර්ග හා ආගම් අතර පරතරයක් ඇති කරන සාධක බවට පත්ව තිබේ. රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ගතකරන්නේ ඉතාම දුෂ්කර ජීවිතයකි. වැඩකරන ජනතාව මත අධික බදු පනවා තිබේ. ආහාර මිල, විදුලිය, බස් ගාස්තු දරාගත නොහැක. ආදායම් බදු නංවා ඇත. උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ මටට්මකට නැග තිබේ.ආර්ථිකයක් නැවත නිවැරදි කරගැනීමේ දී කළ යුතු ප‍්‍රතිසංස්කරණ ස`දහා පොදු එක`ගාවයකින් ක‍්‍රියා කළහොත් ජනතාව මුහුණ පා ඇති මෙම අතිශය වේදනාකාරී තත්ත්වය අවම කරන්නට බැරිකමක් නැත. එහෙත් දේශපාලනඥයන් එයට සූදානම් නැත. නායකයන් සැලසුම් කරන්නේ නැවත බලය අල්ලා ගැනීමට බව පෙනේ. වැරදි නිවැරදි කරගැනීම, හරවත් සංවාදයකට පසු යතාර්ථය තේරුම් ගැනීම සහ විකල්ප අදහසකට ඉඩදීම වැනි කරුණු ස`දහා සූදානම් නැති පසුබිමක් තුළ තව තවත් ව්‍යසනය හැර අනෙකක් අපේක්ෂා කළ හැකිද? සියළුම නායකයෝ තමන් දෙන ආදර්ශය ගැන සතුටු විය හැකිද?

උනෙක් අතට, මෙරට බලය හා ධනය ඇති පිරිස හැසිරෙන අන්දම බලන විට, රටට කිසිම ප‍්‍රශ්නයක් නැත. ජනතාව අතිශය දුක් වි`දින අතර ඔවුහු ඉහළින්ම ජීවිත පවත්වාගෙන යති. පසුගිය උත්සව කාලයේ එක රාත‍්‍රියකට රු. පහලොස් දහසක සිට පනස්දහස දක්වා වැය කළ කිසිවෙකු සිස්ටම් චේන්ජ් කරන ලෙස බලකරන ලද අරගලයක් තිබුණ බව මතක නැත. හෝටල්වල සාදවලින් එය පෙණින. සමාජය වෙනස් කරන්නට, අලූත් යුගයක් ඇති කරන්නට කැපවෙන ඒ වෙනුවෙන් වෙහෙසෙන කුඩා පිරිසට ලැබෙන පිටිවහල කුමක්ද? අලූත් ව්‍යුහයක් ඇති කරන්නට වෙහෙසෙන පිරිසට සතුටුවිය හැකි තත්ත්වයක්ද? මාස ගණනකට කලින් රට තිබුණ තැන, අනාගතයේ මුහුණ දෙන්නට සිදුවන ඉරණම නොතකන තැනකට ඇතැමෙකු පත්වූයේ කෙසේද? තමන් හැසිරෙන ආකාරය කැඩපතක් ඉදිරියට පැමිණ ප‍්‍රශ්න නොකරන්නේ ඇයි?

දූෂණය, වංචාව ගැන විශාල මතවාදයක් රට තුළ ඇත. මේවා ගැන වේදනාවෙන් කතා කරන ඕනෑම පුද්ගලයෙකුට ඒවා නතර කළ හැකි සීමාවක් තිබේ. දූෂණ, වංචාවලට ඉඩ දිය යුතු නැත. නීතියට අනුව ක‍්‍රියා කිරීම අවශ්‍යය. දූෂණය නැති කර රට ගොඩනගන්නට උත්සාහ කළ සෑහෙන වතාවක්, එහි දී අසමත්වී තිබේ. රටට අවශ්‍ය නිසි ප‍්‍රතිපත්ති අනුව තීරණ ගෙන නිෂ්පාදනය ඇති කරන, අපනයන වැඩි කරන රාමුවකි. කාර්යක්ෂමතාව ගැන විශාල අවධානයක් අවශ්‍යය. ඵලදායිතාව ගැන සැලකිලිමත්විය යුතු අතර තර`ගකාරීත්වයට ඇතුළුවිය යුතුව තිබේ. දේශපාලනයේ දී හෝ වෙනත් තැනක දී, බලයට ඇති තර`ගය නිෂ්පාදන හෝ සේවා සාධක සදහා යෙදවුවහොත් ශ‍්‍රී ලංකාව අතිශය සාර්ථක රටකි.

මෙහෙම ගියොත් තවත් දුෂ්කර අවසානයකට

පසුගිය වසර හැත්තෑ පහ තුළ අනුගමනය කළ, විවිධ ක‍්‍රමවල හොද නරක අප අභිමුවෙහි ඇත. එයින් ජනතාවගේ හිත් තුළ අස්වැසිල්ලක් ලැබුණේ නැත. රට ගොඩනැගීම ගැන ඉතාම පටු ආකාරයකට කල්පනා කරන ලද කාලය අවසන් කළ යුතුය. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව අතර එක කොටසකි. ලෝකය ගමන් කරන මාවතෙන් සම්පූර්ණයෙන් බැහැර විය නොහැක. විවෘත ආර්ථිකය, ගෝලියකරණය, සන්නිවේදන ජාලගතවීම්, සමාජ මාධ්‍ය භාවිතාව අප සියළු දෙනාට එය හොදාකාරවම උගන්වා ඇත. උගත් පාඩම් අනුව සමාජයත් ආර්ථිකයත් නැංවීම නායකයන් ගේ වගකීමකි. නායකයන් එකමුතුවිය යුතු අතර ගැටුම් හා අන්තවාදී අදහස් සදහා ඉඩ නොතැබිය යුතුය. එක මිටට එකතු වූ පසු පරිවර්තනයක් ඇති කළ හැක. සංයමයකින් අන්තර් අදහස් හුවමාරුවකින් පසු, නිවැරදි තීරණ ගැනීම සුදුසුය.

පටු අරමුණු සහිතව ක‍්‍රියා කළහොත් අද මුහුණ පා ඇති තත්ත්වයෙන් ගැලවිමක් නැත. ආර්ථිකයක් නැවත ගොඩනැගීම පහසු ක‍්‍රියාමාර්ගයක් නොවේ. බදු නැංවීම වැනි ක‍්‍රියාවලින් ජනතාවගෙන් ලබාගන්නා ධනය පමණක් ආර්ථිකයක කොටසක් නොවේ. පිටතින් ධනය උපයාගත යුතුය. එවැනි විකල්ප පියවර සදහා දිග සැලැස්මක් සහ දර්ශනයක් ඇතිව ක‍්‍රියා කළ යුතුව තිබේ. ධනය උපයන අලූත් මාර්ග ඇති කරගත යුතුව ඇත. පැරණි ආදායම් මාර්ග ශක්තිමත් කරන අතර අලූත් පියවර මගින් තරුණන්ට අවස්ථා හිමිවේ. රට වෙනස්වන බව දැනෙන පසු රට අත්හැරයාමට ඇති උනන්දුව පහත වැටේ. එකිනෙකාගේ වැරදි සෙවීම වෙනුවට වැරදී ඇත්තේ කොතැනදැයි සෙවීම වැදගත්ය. අද අපගේ උන්නදුව අනුන්ගේ වැරදි සෙවීමටය. එයින් ලැබුණ වාසිය කුමක්ද? සෑම නායකයෙකුටම දොස් තබන අතර ඡන්දයේ දී ඉහළින්ම ඔසවන්නටත් ඉතාම ඉක්මනින් පෙරළාදමා විනාශ කිරීමත් සුදුසු නැත. ස්ථිර සැලැස්මකට අනුව ක‍්‍රියාකරන්නට ඉඩක් අවශ්‍යය. හොද දෙය දකින්නට හා යහපත් දේ සදහා අනුබල දෙන්නට හැකි අලූත් ආකල්ප සහිත ආදර්ශවත් නායකත්ව, සෑම ක්ෂේත‍්‍රයකින්ම රටට අවශ්‍යය. ඉතිහාසයේ සිටි එවැනි නායකයන් අදටත් අගය කරන අතර, අප සියළුම දෙනා අපට එවැනි ගෞරවයක් දිනාගන්නට හැකිදැයි අවධානය යොමු කළ යුතුය.