23/11/2023 - ලංකාදීප
යුක්ති ගරුක පාලනයකට ප්‍රවේශයක්

දූෂණය තුරන් කිරීම ඉතා ජනප්‍රිය මාතෘකාවකි. මෑත කාලය තුළ බලයේ සිටි ආණ්ඩුවල පැවැති දූෂිත සිද්ධි සහ ඇතැම් චෝදනා ඉතාම බරපතලය. මේවායේ ඇත්ත නැත්ත පැහැදිලි නැත. කෙසේ වෙතත් සමහර සිදුවීම්, මහජනතාවගේ පිළිකුළට හේතු වී තිබේ. පහළම පරිපාලන ඒකකයේ සිට ඉතාම මෑතක දී පාර්ලිමේන්තු කමිටුවල කටයුතු දක්වා මෙම පරාසය විහි දී ඇත. මහජන මුදල් ඉතාම පරෙස්සමෙන් විනිවිද පෙනෙන ක‍්‍රමවේද අනුව වැයකරන්නට ආණ්ඩු වගබලාගත යුතුය. නමුත් එසේ වෙන්නේ නැත. ජනතා නියෝජිතයින් ගෞරවය ආරක්ෂා කරගෙන ක‍්‍රියා කිරීම අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ දූෂණ හා මහා පරිමාන වංචා ජාත්‍යන්තරයේ අවධානයට පවා ලක්ව තිබේ. මැති ඇමැතිවරු, ප‍්‍රාදේශීය දේශපාලනඥයන් හෝ නිලධාරීහු තරාතිරම නොසලකා පොදුවේ චෝදනාවලට ලක් ව ඇත. දේශපාලන කණ්ඩායම් හෝ වෘත්තීය සමිති චෝදනා එල්ල කරන අතර බලයට පත් වූ පසු චෝදනාවලින් නිදහස්වීම සාමාන්‍ය සිද්ධියකි. දූෂිත චෝදනා එල්ලවන ඇතැම් දේශපාලනඥයන් මැතිවරණයක දී ඉහළ මනාප ප‍්‍රමාණයක් සහිතව නැවත බලයට පත්වීම ද අවධානයට ලක්විය යුතු කරුණකි.

රට බෙදන, රට විකුණන හා සමානව දූෂණ හෝ වංචා ගැන ඇතිකරන මතව ගැන ද ගැටළු පවතින බව ද සදහන් කළ යුතුය. අසත්‍ය පතුරුවා චරිත ඝාතනය කරන අවස්ථා වාර් ථා වී ඇත. දූෂිත තත්ත්ව අනුමත කරන බවක් මෙයින්, කිසිසේත් අදහස් නොකෙරේ.දූෂණය තුරන් කරන අතර සොරකම් වලක්වන නීති අවශ්‍යය. වැරදිකරුවන්ට දඩුවම් කරන ඉක්මන් ක‍්‍රම හදුන්වා දිය යුතුවේ. නමුත් සොරකම් ඇල්ලීම පමණක් රටක් සංවර්ධනය කරන දර්ශනයක් නොවේ. දූෂණ ගැන කෙරුණ අධි ප‍්‍රචාර පසුගිය කාලයේ ආණ්ඩු බලයට පත් කරන සියුම් හේතුවිය. වංචාකරන ලද ධනය පවරාගෙන ජනතාවට සහන සපයන බවට ද ප‍්‍රකාශ කෙරිණි. නමුත් ඒවා සිදුවෙන්නේ නැත. රටක් ගොඩනැගීමේ දී ක්ෂේත‍්‍ර ආවරණය කරන පුලූල් දැක්මක් අවශ්‍යය. දියුණුවෙන අවස්ථා ඇතිකරන එම දැක්ම තුළ සමාජ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ආර්ථිකය පුලූල් කරන සැලසුමක් තිබිය යුතුය. සෑම රටකම දූෂණය අඩු වැඩි වශයෙන් පවතී. සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වූ සමාජ නැත.

සැහැල්ලූව සුදුසු නැති අතර සංදර්ශන ද නරකය

දේශපාලනඥයන්, නිලධාරීන් හා රජයේ ආයතනවල සිදුවන අකටයුතුකම් ගැන සැලකිය යුතු අවබෝධයක් රටට ඇත. මුදල් අයථා ලෙස පරිහරණයවන බව පෙනීයාම එයට හේතුවකි. ජාතික ධනයෙන් සැලකිය යුතු කොටසක් වංචාකරන රටක් ලෙස, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර දූෂිත ලැයිස්තුවේ සැලකිය යුතු තැනක පසුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ආර්ථිකය ප‍්‍රතිසංස්කරණය කරන අතර දූෂණ මර්දන පණත් සම්මත කරන ලෙස බල කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහිත ප‍්‍රධාන රටවල නායකයන් හා ඔවුන්ගේ කටයුතු ගැන ද මේ හා සමාන තත්ත්වයක් ඇත. අවුරුදු පහක් තුළ බි‍්‍රතාන්‍යයේ අගමැතිවරු හතර දෙනෙක් පත් කරගෙන ඇත. එම නායකයන්ගේ ක‍්‍රියාකලාපය ගැන ජනතා විශ්වාසය තුරන් වී තිබේ. ඇමරිකාවේ පැවැත්වෙන මීළග ජනාධිපතිවරණය සදහා සූදානමක් පවතින අතර ඇමරිකානුවන්ට සියළුම නායකයන් එපා වී ඇත. හිටපු ජනාධිපති ට‍්‍රම්ප් ට විරුද්ධව විශාල චෝදනා ඇති අතර බලය හා ධනය අයුතු ලෙස පරිහරණය ගැන අධිකරණයේ නඩු විභාගවෙමින් පවතී. අලූත් වාර්තා අනුව ඔහු ජනාධිපතිවරණ තරගයෙහි ඉදිරියෙන් සිටී. දූෂණ්‍ය හා බලය ගැන ඇති කරන දේශපාලන සංදර්ශන ද සමාජයට අහිතකරය. නායකයෝ විනාශ කර අනවශ්‍ය තත්ත්ව ඇති කරයි. දුෂිත සිද්ධි සැහැල්ලූවට ලක් කළ යුතු නැති නමුත් ලෝකයේ පවතින ස්වභාවය මෙය බව පෙන්වා දිය යුතුය.

බරපතල දූෂණ චෝදනා සහිත ඇතැම් පුද්ගලයන් ආරක්ෂාවන අතර පොල්ගෙඩියක් සොරකම් කරන අහිංසකයන්ට බරපතල දඩුවම් නියම කරන ක‍්‍රමයක් ද රට තුළ පවතී. එය ද වරදකි. දූෂණ හා වංචා තුරන් කරන ක‍්‍රමවේදය තුළ අධිකරණ ක‍්‍රියාපටිපාටිය ද ශක්තිමත් කළ යුතුය. නඩු විභාග ඉක්මන් කරන ක‍්‍රියාමාර්ග හදුන්වා දිය යුතුවේ. නිතිය සෑම පාර්ශවයකටම සමාන බව ඔප්පුකිරීම ද මෙහි දී වැදගත්ය. දූෂණය හා වංචා ගැන අනවශ්‍ය අවධානයක් ඇති කිරීම අයහපත් අතර දූෂණයක් සිදුවී තිබේනම් වහාම පියවරගත යුතුවේ.

නිදොස්කොට නිදහස් කරන දූෂණ චෝදනා

ඡන්ද වේදිකාව දූෂණ හා වංචා ගැන චෝදනා එල්ලකරන තැනකි. ඉදිරි කාලයේ දී පවා අලූත් වටයකින් රට විනාශ කළ මහා වංචා වාර්තා කෙරෙනු ඇත. ඇතැම් තොරතුරු විශ්වාස කිරීමට පවා අපහසුය. සමහර කාරණා සත්‍ය විය හැකි නමුත් ඇතැම් සිද්ධි පිලිගත නොහැකි බව පෙනේ. අසත්‍යය පවා පුන පුනා ප‍්‍රකාශ කරන පසු මහජනතාවට ද ඒවා විශ්වාස කරන්නට සිදුවේ. සිද්ධි පරීක්ෂාකර වංචාකරුවන් බරපතල දඩුවම් නියම කරන කතා නිතර කියැවේ. ආණ්ඩු වෙනස්වන පසු පරාජිත පක්ෂවල සිද්ධි සොයාබලන්නට කොමිෂන් පත් කෙරේ. අණ පණත් අලූතින් සකස් කරයි. මෑත කාලයේ දී බලයට පත් වූ ආණ්ඩුවල පළමු කාලය ඉකුත් ආණ්ඩුවේ වැරදි සොයන්නට වැය කර ඇත. සංවර්ධන සැලසුම් බලාපොරොත්තුවන මහජනතාවට අත්අඩංගුවට ගැනීම්, වැටලීම් ප‍්‍රදර්ශනය කරන අතර අවසානයේ දී චෝදනා ඔප්පු කරන්නට නොහැකි වේ. නිදොස් කොට නිදහස් වන අවස්ථා බහුලය. රට ගොඩනගන දැක්මක් රහිත, ප‍්‍රතිවාදීන් බෙලහීන කරන දූෂණ මාතෘකාවලින් පමණක් රටට පලක් නැත.

අප රට තුළ සිදුවන තවත් වරදක් තිබේ. බලයට පත්වන ආණ්ඩු සම්මත නීති තිබිය දී, වෙනම කොමිෂන් ස්ථාපිත කර සොරකම් ගැන පරීක්ෂණ පවත්වයි. ඒවා ද, මහජන මුදල් නාස්ති කරමින් අතීරණාත්මකව අවසන්වේ. කුඩා රටක් වන ශ‍්‍රී ලංකාවේ නිතිවේදීන් හෝ අධිකරණ කාර්ය මණ්ඩලය සීමිතය. අධිකරණ පද්ධතිය තිබිය දී කොමිෂන් හෝ වෙනත් බලය පවරන අලූත් ආයතන පිහිටුවීමෙන් පසු ඒවායේ සේවයට කැදවන්නේ ද මෙම සීමිත පිරිස බව පෙන්වා දිය යුතුය. එකක් වෙනුවට දෙකක් ක‍්‍රියාත්මක වන නමුත් එකක්වත් නිවැරදිව සිදු නොවේ. දූෂණ සිද්ධිවලින් ජනමතයක් ඇති කර බලයට පත් වී රටක් ඉදිරියට ගෙන යා නොහැක. ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇති කරුණකි.

පිලිතුර තිබිය දී ගැටළුව වෙනස් කරන තීරණ

ශ‍්‍රී ලංකාවේ පවතින දූෂිත තත්ත්වයට බලපා ඇති හේතු ගණනාවක් තිබේ. මෙහි අභ්‍යන්තරය පමණක් නොව එයට සම්බන්ධ උත්තරය ද නොදන්නෝ නොවෙති. මැතිවරණයක දී දේශපාලනඥයන්ට දිස්ත‍්‍රික්කයක් තරග කරන්නට සිදුවේ. සමානුපාතික ඡන්ද ක‍්‍රමය දූෂණය ඇති කරන එක පැත්තකි. ප‍්‍රචාරක කටයුතු සදහා අධික මුදලක් වැය කරන්නට අපේක්ෂකයන් සිදුවේ. බටහිර රටක ඡන්දයකට වඩා ප‍්‍රාදේශීය මැතිවරණයකට වියදම් කරන්නට සිදුවන අපේක්ෂකයන් දූෂණයට ගොදුරුවේ. ඔවුන් වටා නීති විරෝධී ධනය එකතුවේ. ආසන මට්ටමින් පැවැත්වීමේ දී ඡන්ද වියදම අඩුය. දශක ගණනකට කලින් මෙරට දේශපාලනය සමාජ සේවයකි. ප‍්‍රභූ පුද්ගලයෝ මැතිවරණවලට ඉදිරිපත් වූ අතර දේපොල පවා විකුණා ඡන්දයට වියදම් කරන සංස්කෘතියක් තිබුණි. මෙම ක‍්‍රමය වෙනස් වී ඡන්දය ධනය සොයන මාර්ගයක් බවට හරවාගෙන ඇත. ධනවත්, ප‍්‍රභු පැලැන්තියට පමණක් දේශපාලනය සීමා කළ යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. සාමාන්‍ය පුරවැසියන්ට හා කුඩා පක්ෂවලට පවා ඉඩක් අවශ්‍යය. මැතිවරණයකට වියදම් අවශ්‍ය බව පෙන්වා ධනය කොල්ලකෑමට ඉඩ දීම සුදුසු නැත. මෙම පැති සලකා රට ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පුද්ගලයන්ට ද කරග කරන්නට හැකි ක‍්‍රමයක් යෝජනා කළ යුතුවේ.

සමානුපාතික ක‍්‍රමය වෙනස් කර ආසන අනුව මිශ‍්‍ර කළහොත් ජනතාවට වගකියන මහජන නියෝජිතයන් පත් කරගත හැකි අතර ඡන්ද කටයුතු සදහා කරන වියදම සීමා කළ හැක. අපේක්ෂකයන්ගේ වත්කම් හෙළිකරන, ප‍්‍රචාරක වියදම් සීමා කරන නීති පැනැවිය හැක. පක්ෂවලට අරමුදල් එකතු කරන ක‍්‍රම විගණනයට යටත් කළ හැකිවේ. අපේක්ෂකයන්ට මුදල් ලැබෙන ආකාරය පක්ෂ සාමාජිකයන්ට ප‍්‍රශ්න කළ හැකි ආකාරයට ක‍්‍රමය වෙනස් කිරීම ද වියදම් පාලනය කළ හැකි ක‍්‍රමයකි. දේශපාලනය වෘත්තියක් සේ සලකා වැටුප් ගෙවීම බව වැදගත් බව සදහන් කළ යුතුය. නමුත් මෙම ක‍්‍රමය වෙනස් කරන සූදානමක් අපට නැත.

සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ වැඩිම වැටුපක් ලබාගත් අතර ලෝකයේ දුප්පත්ම අගමැති බව කියා සිටියේය. රටකජු වීසි කළහොත් වදුරන් ලබාගත හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළ කරුණකි. මහජන නියෝජිතයන්ට ඉහළම වැටුප් හා පහසුකම් දෙන අතර අනිසි ආකාරයට වත්කම් උපයන ලද අවස්ථාවල ඉහළම දඩුවම් නියම කළේය. සුදු ඇදුමකින් පෙනී සිටි ඔහු පිරිසිදු පාලනයක් ඇති කළේය. මෙරට දේශපාලනඥයන් ද සුදු අදින නමුත් බහුතරයක් පිරිසිදු නැත. බලය ගන්නටත් රට පාලනය කිරීම සදහාත් සීලාචාර බව තිබිය යුතුය.

නායකයන්ට පැවැරෙන බාරධුර වගකීම

පක්ෂ නායකයන්, ආගමික හා සමාජ නායකයන් වශයෙන් මෙම අවස්ථාවේ දී පැවැරෙන වගකීමක් තිබේ. සීලාචාර වියයුතු අතර සත්‍යගරුක විය යුතුය. දේශපාලන පක්ෂ නායකයන්ට ද තම සාමාජිකයන්ගේ හැසිරීම, විනය ගැන සොයාබැලීමේ වගකීමක් තිබේ. අධිකරණයෙන් තීන්දු දෙන්නට කලින් නායකයන් තීන්දු ගත යුතුය. චෝදනා එල්ලවන පසු විනය සොයාබැලීම දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීම වන සම්ප‍්‍රදායක් ඇති කිරීම වැදගත්වේ. මහජනතාව ද අවබෝධයෙකින් සිටීම වැදගත්ය. ඡන්ද දින්නට බඩු බෙදන, සල්ලි විසිකරන දේශපාලකයන් ඒවා ලැබෙන්නේ කොතැනින්දැයි අවධානය යොමු කළ යුතුය. දූෂණ හා වංචාවලින් ලබන ධනයෙන් කොටසක් සමාජයට බෙදන පසු ඒවා ඉවසන කොටස් දූෂණයට විරුද්ධව කතා කිරීම ද එක්තරා ආකාරයක ප‍්‍රශ්නයකි.

දූෂණ හා වංචා ගැන නගන ඝෝෂාව හා සමානව රජයේ විශාලත්වය ද අවධානයට ගත යුතුවේ. එක අවස්ථාවක ජාතික ආදායමෙන් සියයට අසූව ඉක්මවන ප‍්‍රතිශතයක් රජයේ සේවක හා විශ‍්‍රාම වැටුප් සදහා වැයකරන්නට සිදු වී තිබුණි. ආදායම සදහා පනවන අධික බදු රජයේ පැවැත්මට වැය කරන අතර දූෂණය මෙහි කොටසකි. ආදායම ප‍්‍රමාණවත් නොවන පසු තවත්, ණය ගන්නට සිදුවේ. ණය අවිධිමත්ව යෙදවෙනවිට අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කෙරෙන්නේ නැත. කුඩා සහ කාර්යක්ෂම ආණ්ඩුකරණයක් සදහා තාක්ෂණය උපයෝගී කරගත හැක. ඇතැම් රජයේ සේවා සදහා අන්තර් ජාලය සුදුසුය. එවැනි ක‍්‍රමයකට පරිවර්තනය වුවහොත් ආණ්ඩුව කුඩාවන අතර අධීක්ෂණය පහසුවේ. දූෂණය හා වංචා අඩු කරගත හැකිවේ. බලපත‍්‍ර ක‍්‍රම, අනුමැතිය ගැනීම් හෝ නිලධාරීන්ගේ මැදිහත්වීම ද ආණ්ඩුවක දූෂණයට හේතුවකි. පාලනය ක‍්‍රම වශයෙන් තරගකාරීත්වය හා නියාමනය හදුන්වාදිය හැකිය. වංචා අඩු කරන අතරවාරයේ නිතයානුකූල මුදල් හුවමාරු ක‍්‍රමවේදවලට පෙළැඹවිය යුතුය. එමගින් නීති විරෝධී මුදල් අවහිර කරන අතර තැන්පත් කිරීමේ දී උපයාගත් ආකාරය හෙළිකරන නීති ශක්තිමත් කිරීමෙන් මුල්‍ය විනයක් ද ඇති කළ හැකිවේ.

අලූත් නීති හදන අතර වෙනම ආයතන ගොඩනගන ක‍්‍රම වෙනුවට සීලාචාර පාලනයක් සදහා නායකත්වයේ සිට තීරණ ගත යුතුවේ. වාහනය, කාර්යාලය, විදේශ සංචාර වැනි අවස්ථා සරල කර ආදර්ශවත් විය යුතුය. දූෂණය හා වංචා ගැන චෝදනා එල්ල කිරීම පහසුය. පදනමක් රහිත චෝදනාවලට පසු ඇති කරන අනර්ථය ද සැලකිල්ලට ගත යුතුවේ. දේශපාලනඥයන් හා නිලධාරීන් අතර කැපවීමෙන් සේවය කරන කොටසක් ද සිටී. අසත්‍ය චෝදනා හේතු කොටගෙන මෙම පිරිස් අනවශ්‍ය පීඩනයකට ගොදුරු වී අධෛර්යට පත්වේ. දූෂණ චෝදනා එල්ල කර මතු කරන අනවශ්‍ය මතවාද රටට අවශ්‍යම කරන ආයෝජන පවා දුර්වල කරන අවස්ථා ඇත. නිලධාරීන් තීරණ ගැනීමෙන් වැලකේ. මෙහි ප‍්‍රතිඵලය ආණ්ඩුවක කටයුතු තවත් වටයකින් බෙලහීනවීමය.

දූෂණයෙන් උපන් ආණ්ඩු දූෂණයෙන්ම වැනසීම

මෑත කාලය තුළ ආණ්ඩු දූෂණ ප‍්‍රචාරයෙන් බලයට පත්වන අතර බලයෙන් පහවීමට ද දූෂණ චෝදනා බලපා ඇත. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. දේශපාලනඥයන් ප‍්‍රසිද්ධ වේදිකාවෙදී නගන චෝදනා වාර්තාකරන ඒ ගැන විශාල මතවාද ඇති කරන මාධ්‍යයට පවා මෙම සිද්ධිවල ඇත්ත නැත්ත සොයා මහජනතාවට පෙන්වාදීමේ වගකීමක් තිබේ. අසත්‍ය කරුණු පදනම් කරගෙන මවා පෙන්වන ඇතැම් සිද්ධි අතර ඇපල්වතු, නැව්, රත්තරන් අශ්වයන් හා විදේශ දේපොල ගැන කතා ලියැවී තිබේ. දේශපාලන උපක‍්‍රම වශයෙන් ගොඩනැගෙන මෙවැනි විකෘති අදහස් ජනතාව නොමග යවන අතර ශ‍්‍රී ලංකාවේ සාර්ථකභාවය අඩාල කර ඇත වාර්තාකරණයේ දී වගකීමක් අවශ්‍ය අතර දේශපාලනයට එන සියළුම දෙනා වංචනිකයන් නොවන බව ද මෙහි දී සදහන් කළ යුතු කරුණකි. දේශපාලනඥයන් චංචනික බවට ඇති කරන පොදු මතවාදය හේතු කොටගෙන බුද්ධිමත්, වැදගත් චරිත දේශපාලනයෙන් ඈත්ව සිටීම ද රටට ප‍්‍රශ්නයකි.

දේශපාලන උපක‍්‍රම හා නීතියේ හැසිරීම ගැන සමාජයට වැටහීමක් තිබිය යුතුය. දූෂණය හෝ වංචා සිද්ධි වාර්තාවුවහොත් වහාම සොයාබලා තදින් ක‍්‍රියා කරන සීලාචාර යුගයක් කරා දේශපාලන පක්ෂ ගමන් කළ යුතුය. ඕනෑම ක‍්‍රමයක් තුළ දූෂණය පවතී. එය සහමුලින්ම තුරන් කළ නොහැක. මෙරට දේශපාලනඥයන් ද හෙළිකරන වත්කම්වලට වඩා මුදල් උපයා තිබේ. උපයාගත් ආකාරය පැහැදිලි කරගත නොහැක. හැසිරෙන ආකාරය අනුව තීරණ ගත හැකිවේ. ජනතාව බුද්ධිමත් විය යුතුය. තමන්ගේ මහජන නියෝජිතයා ගේ ක‍්‍රියාකලාපය ගෞරවයට හේතු නොවන්නේ නම් තීරණ ගැනීමට වගකීමක් පුරවැසියන්ට තිබේ. දේශපාලන ක‍්‍රමය, නිලධාරීන් හා රාජ්‍ය සේවය යහපත් කරන ප‍්‍රතිපත්තිමය තුළින් නීති වගන්තිවලට වඩා සේවයක් රටට කළ හැකිය. සියළුම දෙනා ගේ වගකීම හා කැපවීම ඒ සදහා අවශ්‍ය කෙරේ. නිරපරාදේ චෝදනා කිරීම වලක්වන අතර වරදක් ඇත්නම් ඉහළම දඩුවම නියම කළ යුතුය. පක්ෂ, ආගමික හා ජාතික නායකයන් සිද්ධිවල අභ්‍යන්තරය සොයා බලා ඇත්ත වෙනුවෙන් පෙනී සිටිය යුතුවේ.දූෂණය වෙනුවට ආර්ථිකය පුලූල් කරන සැලැස්මකට අනුබලය සැපයීම වැදගත්ය. දූෂණය හා වංචා තුරන් කිරීමෙන් පමණක් ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැති අතර ආර්ථිකය දියුණු කිරීමෙන් සමාන අවස්ථා ජන සමජයට ලබාගත හැකි බව බව ද සදහන් කරන්නට අවශ්‍යය.

මිලින්ද මොරගොඩ