10/01/2022 - ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් භාවිතාව ගැන අධ්‍යයනයකට අවස්ථාව

ඛනිජ තෙල් වෙළදාම සම්බන්ධ ගැටළු ගණනාවකට මුහුණ පා සිටින කාල වකවානුවකි. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල ගණන් වැඩි වී තිබේ. ආනයනය කර අලෙවි කරන ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන්නට රජයට සිදුවී ඇත. භූමිතෙල්, ඞීසල් හා පෙට‍්‍රල් විකිණුම් මිල නැංවීම සමග ජීවන වියදම සම්බන්ධ ප‍්‍රශ්න මතු වී තිබේ. අත්‍යවශ්‍ය ආහාරවල පවා මිල සංශෝධනය වී ඇති අතර ප‍්‍රවාහන වියදම වැඩිවීම එයට බලපාන ප‍්‍රධාන හේතුවකි.

රටට අවශ්‍ය ඉන්ධන ආනයනය ද දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. විදේශ විනිමය හිගය සියළු ආනයන සීමා කරන්නට සිදුවී ඇති වකවානුවකි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ප‍්‍රමාදයකින් තොරව ගෙන්වා ගැනීමට රජය පියවර ගනිමින් සිටී. එක්තරා ආකාරයක ප‍්‍රවේශමෙන් තීරණ ගන්නා කාල පරිච්ඡේදයක් බව සදහන් කළ යුතුව ඇත. ඛනිජ තෙල් වෙළදාම සම්බන්ධව කාලාන්තරයක් තිස්සේ පවතින නරක ව්‍යුහය වෙනස් කළ යුතුය. පාරිභෝගික පොදු මහජනතාවට අඩුම මිලට ඉන්ධන සැපැයිය හැකි නවතම ක‍්‍රමවේද ගැන අධ්‍යයනය කරන්නට අවශ්‍යය.

ඛනිජ තෙල් ආනයනය මත යැපෙන රටක ඉරණම

ප‍්‍රවාහනය, විදුලිය උත්පාදනය හා කර්මාන්ත සදහා ඉන්ධන අවශ්‍යය. ගෘහස්ථ පරිභෝජනය ඉතාම සුළු කොටසකි. රටට අවශ්‍ය ඉන්ධන ආනයනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ මාසයකට වැය කරන්නට සිදුවී තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන්, විදේශ විනිමය ලැබෙන ප‍්‍රධාන මාර්ග අවහිර වී ඇති කාල වකවානුවක ඛනිජ තෙල් ආනයන වියදම පහසු එකක් නොවේ. විදුලිය බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් නිසි පරිදි ආනයනය නොකළහොත් විදුලිය උත්පාදනයට ගැටළු ඇතිවන අතර පසුගිය දිනවල එවැනි අවදානමක් ද තිබුණි.

ඉන්ධන ආනයන සදහා ප‍්‍රයෝජනයට ගත හැකි විනිමය සංචිතයක් ඉන්දියානු රජය සමග කළ සාකච්ඡාවලින් පසු ලබාගත හැකි වු අතර එය අස්වැසිල්ලට හේතුවකි. ශ‍්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර පැවැති සාකච්ඡා වලදී ප‍්‍රධාන අංශ හතරකට යටත්ව ශ‍්‍රී ලංකාවට සහාය වන සැලැස්මක් අනුමත වී තිබේ. ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍ර‍්‍රව්‍යවල වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකම එයින් ප‍්‍රධානය. ඉන්ධන ආනයන වියදම් සඳහා වූ ණය සංචිතය සහ ත‍්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය නවීකරණය සහිත බලශක්ති ආරක්ෂණය දෙවැනි අංශයයි. ගෙවුම් ශේෂ ගැටලූ විසැඳීමට ශ‍්‍රී ලංකාවට සහය වීම සඳහා වූ විනිමය හුවමාරුවක් සහ ආර්ථීක වර්ධනයට සහ රැකියා උත්පාදනයට දායක වන පරිදි ආයෝජන අවස්ථා තෙවැනි හා සිව්වැනි අංශයන්ට අයත්ය.

ඉන්දියාවෙන්, චීනයෙන් හෝ වෙනත් බටහිර රටකින් ලබන පිලිසරණ තාවකාලික එකකි. අපට අනන්‍ය ක‍්‍රමයක් තුළින් බලශක්ති ක්ෂේත‍්‍රය දියුණු කරගත යුතුව තිබේ. පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වන ජාත්‍යන්තර ප‍්‍රවණතාවයක් ද පවතින බව අමතක කළ යුතු නැත. පරිසර ආරක්ෂාව අරමුණු කරගෙන හරිත බලශක්ති උත්පාදන ව්‍යාපෘති කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. ශ‍්‍රී ලංකාවට ද එයින් තොර ගමනක් නැත. තෙල් ආකර සහිත රටවල් පොහොසත් කර ජනතාව දුක් විදින තැනට පත් කළ යුතු නැත. හරිත බලශක්ති භාවිතයට ඇතුළු වන තෙක් වන අතරමැදි යුගයට ගැලපෙන විධිමත්, ප‍්‍රායෝගික සැලැස්මක් සකස් කරගත යුතුව ඇත.

ඒකාධිකාරය අවසන් කරන පියවරක්

තරගකාරීත්වය විවෘත ආර්ථික ක‍්‍රමයෙහි පවතින වැදගත් ගුණාංගයකි. රජයේ හෝ පුද්ගලික අංශයේ ඒකාධිකාරය සංකීර්ණ ගැටළු ඇතිකරයි. දුරකථන, රක්ෂණ සහ සිල්ලර වෙළදාම වැනි අංශ ගණනාවක පවතින තරගකාරීත්වය පාරිභෝගික ජනතාවට වාසි අත්පත් කර දී තිබේ. දුරකතන සම්බන්ධතාවයක් ලබා ගැනිමට දේශපාලනඥයන්ගේ සහාය අවශ්‍ය යුගයක් තිබුණි. රාජ්‍ය පුද්ගලික ව්‍යවසාය අතර තරගය සමග දුරකතන භාවිතය පමණක් නොව තොරතුරු සන්නිවේදනයේ විශාල පෙරැළියක් සිදු වී තිබේ. මහජන සේවා අංශ වල ද වෙනස්කම් තුළින් ජනතාවට පහසුවක් ඇතිකරනු ඇත. ඛනිජ තෙල් අංශයෙහි ප‍්‍රතිසංස්කරණ ගණනාවක් සිදුවී තිබේ. එහි ඉදිරි පියවර වෙනුවෙන් තවත් අලූත් පැති සොයා බැලිය යුතුය. විදුලිය, ජලය හා පොදු ප‍්‍රවාහනය වැනි මහජන සේවා සම්පාදනය කරන අංශ ක‍්‍රමානුකූලව තරගකාරීත්වයට ඇතුළු කළහොත් උසස් සේවාවක් අපේක්ෂා කළ හැකිය.

ඛනිජ තෙල් වෙළදාම සම්බන්ධයෙන් ගත හැකි තීරණ කවරේද? රටට අවශ්‍ය ඉන්ධන ආනයනය හා අලෙවිය විමධ්‍යගත කළ හැක. තෙල් සංස්ථාවේ පවතින පැරණි ගතානුගතික ව්‍යුහ විශාල අලාභ වලට හේතු වී තිබේ. එම අලාභ පියවාගන්නට අනුගමනය කරන ක‍්‍රියාපටිපාටිය හේතුවෙන් රටට ගෙන්වන ඉන්ධන තෙල් සංස්ථාවෙන් මිල දී ගන්නා විදුලිය බල මණ්ඩලයට අනවශ්‍ය බරක් දරන්නට සිදුවී තිබේ. සෘජු මිල දී ගැනීමක දී අඩුම මිලට දැවිතෙල් ලබාගත හැක. තෙල් සංස්ථාව ගුවන් සේවා සදහා සපයන ඉන්ධන වල මිල ලෝකයේ අනෙක් රටවලට වඩා ඉහළය. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මිල වැඩි ඉන්ධන මිල දී ගෙන පාඩු වැඩි කරගෙන ඇත. ජාත්‍යන්තර ගුවන් සේවා ලංකාවේ දී ඉන්ධන ලබා ගැනීම සීමා කර තිබේ. ඉන්ධන වෙළදාම සංකීර්ණ එකකි. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල ගණන් ඉහළ පහල යන වේගය රාජ්‍ය ආයතනයකට ඉසිලිය නොහැකි බරකි. එම බර රජයේ සම්ප‍්‍රදායික නීති රීති හා රෙගුලාසි සමග එකතු වූ පසු විශාල අකාර්යක්ෂමතාවයක් ඇති කෙරේ. අවසානයේ දී පාරිභෝගික ජනතාවට සංකීර්ණ ගැටළු ඇති කරයි. මෙම තත්ත්වය වෙනස් කරන්නට අලූත් ආකල්ප අවශ්‍යය. වෙනස් මානයකින් ප‍්‍රශ්න දෙස බලන ප‍්‍රතිපත්ති උවමනා කර තිබේ.

ඉන්දියාවට සම්බන්ධ වන බලශක්ති ව්‍යුහයක්

වේගවත් ආර්ථික දියුණුවක පවතින ඉන්දියාවේ බලශක්ති භාවිතය ගැන පැති කිහිපයකින් අධ්‍යයනය කළ හැකිය. සූර්ය බල විදුලිය උත්පාදනය හා විදුලිය බලයෙන් ධාවනය වන වාහනවලට අනුවර්ථනය එහි ප‍්‍රධාන කොටසකි. එසේ තිබිය දී පවා ඛනිජ තෙල් අවශ්‍යතාවයෙහි තියුණු වර්ධනයක් සිදුවෙතැයි ගණන් බලා ඇත. වසර 2030 වන විට ඉන්දියාවේ ඉන්ධන උපයෝගීතාව සියයට පනහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. ඉන්ධන වැඩිම ප‍්‍රමාණයක් පරිහරණය කරන ලෝකයේ රටවල් අතර තුන් වැනි තැනට පත්වනු ඇත. මෙකී උවමනාව සදහා ඉන්දියාව සැලසුම් සකස් කරමින් සිටී. එහි ලා කරන ආයෝජන බිලියන ගණනකි. ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයක පමණ විදේශ විනිමය සංචිතයක් සහිත ඉන්දියානු ආර්ථිකයට එය අපහසු කර්තව්‍යයක් නොවේ.

වාර්තාවන කරුණු අනුව ඉන්දියාවට අවශ්‍ය ප‍්‍රමාණයට බොරතෙල් පිරිපහදු කරගැනීමේ සම්පූර්ණ පහසුව දැනට ඇත. එහෙත් අනාගත අවශ්‍යතා අනුව බොරතෙල් පිරිපහදු අවශ්‍යතාව තවත් සියයට තිහකින් වැඩිවනු ඇතැයි සැලකේ. භාවිතාවන ප‍්‍රමාණය, පිරිපහදු අවශ්‍යතා සහ ඉන්දියාව මිල දී ගන්නා ඉන්ධන තොග කළමනාකරණය සලකනවිට ශ‍්‍රී ලංකාවට අලූත් ව්‍යාපාරික අවස්ථා තිබේ. ඉන්දියානු ඛනිජ තෙල් අවශ්‍යතාව සදහා වන සැලැස්මෙහි උපාය මාර්ගික පාර්ශවයක් බවට පත්වීම අපට ඇති එක ක‍්‍රියාමාර්ගයකි.

ලෝකයේ රටවල් කොවිඞ් වසංගත තත්ත්වය සමග ලොක් ඩවුන් කිරීමෙන් උද්ගත වූ තත්ත්වය ගැන ජාත්‍යන්තර විශේෂඥයෝ අවධානය යොමු කර ඇත. නැවත වතාවක් මෙවැනි අර්බුද මතුවුවහොත් ආහාර සහ ඉන්ධන සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් අනාගත අවශ්‍යතා සලකා ඉන්ධන තොග එකතු කරන පියවර ආරම්භකර ඇත. දින අනුවක පමණ කාලයක් සදහා සංචිත තබාගත යුතුය යන උපදෙස විශේෂඥයෝ නිකුත් කර තිබේ. ඉන්දියාව සිය ප‍්‍රාන්තවල අලූත් ඉන්ධන ගබඩා ඉදිකරමින් සිටින අතර ශ‍්‍රී ලංකාව සතු ත‍්‍රිකුණාමලය ඉන්ධන ටැංකි සංකීර්ණය රටවල් දෙකටම ප‍්‍රයෝජනවත් ආයෝජනයක් වශයෙන් උපයෝගී කරගැනීම අභිලාශය වී තිබේ. ටැංකි අනුනමයකින් යුතු මෙම පර්යන්තය ශ‍්‍රී ලංකාවට පමණක් භාවිතා කළ නොහැකි ද යන ප‍්‍රශ්නය සාධාරණ එකකි. ඉන්ධන ගබඩාකරගෙන ඒවා අවශ්‍ය කාලයක විකිණීම අපට හොද ව්‍යාපාරයකි. එහෙත් ඉන්ධන නැවක් මිල දී ගන්නට විදේශ විනිමය රහිත අවස්ථාවක මෙවැනි අවදානම් ව්‍යාපාරයක දී පුලූල් දැක්මක් අනුව ක‍්‍රියාත්මකවීම සුදුසුය.

තෙල් ටැංකි අත්පත් කරගැනීමේ උවමනාව

නවතම පර්යේෂණ අනුව පොසිල ඉන්ධන යුගය ඉක්මනින් අවසන් වනු ඇත. ලොකයේ සමහර රටවල් අලූතින් තෙල් ලිං කැනීම නතර කර තිබේ. සෑම රටක්ම පාහේ පුනර්ජනනීය බලශක්තියට නැඹුරුවෙමින් සිටිති. එය අමතක නොකළ යුතු පැත්තකි. දහවල් කාලයේ සූර්ය තාපයෙන් නිපදවන විදුලිය ගබඩාකර රාත‍්‍රියේ ප‍්‍රයෝජනයට ගත හැකි ක‍්‍රම ගැන පර්යේශණ සිදුවෙයි. උසස් තාක්ෂණයකින් යුතු බැටරි නිපදවිය හැකි වුවහොත් ලෝකයේ දැනට පවතින බලශක්ති ප‍්‍රවනතා සම්පූර්ණයෙන්ම අලූත් මුහුණුවරකට පත්වනු ඇතැයි සැලකේ. අනාගතයේ ඇතිවන ව්‍යුහය ගැන අපට සූදානමක් අවශ්‍යය. ප‍්‍රයෝජනයට නොගන්නා තෙල් ටැංකි ඉදිරියේ දී අවශ්‍ය නොවෙන්නට ඉඩ තිබේ. වහාම තීරණයක් ගැනීමෙන් තාවකාලිකව හෝ රටට ලබා ගත හැකි අවස්ථාවක් ඇත.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සමග ඉන්දු ශ‍්‍රී ලංකා ආයෝජනයක් සහ එයට සමාන්තරව නැගෙනහිර ප‍්‍රදේශයේ සංවර්ධනය අපගේ අභිලාශයකි. බොරතෙල් පිරිපහදුවක් ඉදිකළ හැකිය. දැනට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඵලදායීතාව සියයට පනහකින් පහත වැටී ඇත. එහි යල්පැනගිය යන්ත‍්‍ර නවීන තාක්ෂණයට නොගැලපේ. තෙල් ටැංකි සංකීර්ණය අසලින් අලූත් පිරිපහදු කර්මාන්ත ශාලාවකට ආයෝජනය කළ හැකිය. රටට විනිමය හා අලූත් රැකියා අවස්ථා ලැබේ. දෙරට අතර තෙල් ප‍්‍රවාහනය සදහා නැව් යෙදවීම වෙනුවට නල මාර්ග ඉදිකිරීමට ද අවධානය යොමු වී ඇත. ත‍්‍රිකුණාමලය වරායට එන බොරතෙල් පිරිපහදු කිරීමෙන් පසු ඉන්දියාවට යැවීම පහසුය. ඉන්ධන තොග මිල දී ගැනීමේ දී මිල වටට්මක් ලැබේ. රටවල් දෙකට අවශ්‍ය ඉන්ධන එක තොගයක් සේ මිල දී ගැනීම වාසිදායකය. ඉන්ධන වලින් කොටසක් ශ‍්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා වලට ලෝක වෙළද පොලේ මිලට අඩුවෙන් ලබාගත හැකිය. එය ජනතාවට, ප‍්‍රවාහනයට හා කර්මාන්තවලට සහනයකි.

හුදෙක් තෙල් ටැංකි සංකීර්ණයක් වශයෙන් සලකා බැලීම වෙනුවට ආයෝජන අවස්ථාවක් වශයෙන් මෙම පරිශ‍්‍රය අවධානයට ගැනීම වැදගත්ය. ත‍්‍රිකුණාමලය වරාය කාර්ය බහුල තැනක් බවට පත්වීම, වරාය සේවා වලින් ලැබෙන ආදායම යනාදිය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරනු ඇත. විකල්ප අදහස් අපට අවශ්‍යය. ඉන්දියාව තෙල් ටැංකි බදු ගැනීමට දක්වන උනන්දුව පරාජය කිරීම එකකි. ඉන්දියාවට අනාගතයේ ඇතිවන බලශක්ති හිගය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව අවස්ථාවක් උදා කරගැනීම අනෙක් පැත්තකි. ඉන්දියාවට වහල්වීම වෙනුවට උපක‍්‍රමශීලීව කටයුතු කළහොත් ඉන්දියාවේ බලශක්ති උල්පත අපට නිර්මාණය කළ හැක. අපට පාලනය කරන්නට බැරිකමක් නැත.

ආකෘතිය වශයෙන් අපට ප‍්‍රශ්නයක් ඇත

තෙල් ටැංකි, මන්නාරම ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි, ඉන්දියානු බලහත්කාරය වශයෙන් දේශපාලන මතවාදයක් අප බියගන්වා තිබේ. බලය ලබාගැනීම සදහා භිතිය හා සැකය මත ප‍්‍රචාරයක් ගෙන යන දේශපාලනඥයෝ අලූත් ආකෘතියකට කැමැති නැත. ඔවුහු මිත්‍යාව පතුරවති. පවතින ව්‍යුහයෙන් යැපෙන පිරිස ද වෙනස්කම්වලට සූදානම් නැත. බොර තෙල් ආනයනය, ඒවායේ පහසුකම් සැපයීම, රට පුරා බෙදාහැරීම ආදිය තුළ විශාල අතරමැදි ව්‍යුහයක් තිබේ. එහි ව්‍යාපාරවලින් යැපෙන පිරිසක් සිටිති. එය වරදක් නොවේ. එහෙත් යල් පැන ගිය ක‍්‍රම අනාගතයට ගැලපෙන්නේ නැත. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව රටවල් දෙක අතර ඉන්ධන බෙදා ගන්නා අලූත් සම්බන්ධතා මුලින් සදහන් කළ ලාභ ලබන ජාලා වලට බාධාවක් විය හැකිය. පැරණි ව්‍යුහයෙන් යැපෙන පිරිස සෑම අවස්ථාවකම වෙනසකට කැමැති නැත. තමන්ට අහිමිවන දේ ගැන කල්පනා කර විරෝධතා අවුලූවති. අඩුම වියදමකින් බලශක්ති සම්පාදනය රටට අවශ්‍යය. එහි වාසිය පාරිභෝගිකයන්ටය.

ඛනිජ තෙල් සංස්ථාවේ අලාභ විශාලය. එයට වන්දි ගෙවන්නේ පොදු ජනතාව හැර අනෙක් කිසිවෙකු නොවේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැමිණීම සමග මෙරට ඛනිජ තෙල් වෙළදාමේ යම් පරිවර්තනයක් සිදුවිය. තවත් ආයෝජනයක් සදහා අවස්ථාව ලබාගත යුතුව තිබුණි. ආයතන කිහිපයක් අතර තරගකාරීත්වයෙකින් පහසුවක් ඇතිවෙයි. විදුලිය, ඛනිජ තෙල්, ජලය වැනි අංශවල එවැනි වෙනසක් අවශ්‍යය. රජය පමණක් සහ ජනතාවට සහනයක් වශයෙන් අඩුමිලට සේවා සැපයීම තුළ අභ්‍යන්තර ගැටළු තිබේ. අකාර්යක්ෂමතාව නිසා විදින හිරිහැරය අපට පාඩමකි.

ඛනිජ තෙල් වෙළදාම තුළ ශ‍්‍රී ලංකාවේ ජනී ජනයා තව දුරටත් යැපෙන්නෙකු නොවේ. බලශක්ති අංශයෙහි කොටස්කරුවෙකු විය හැකිය. පටු පරමාර්ථ සහිතව කි‍්‍රයා කරන පිරිස් අපට පෙන්වන මතුපිට ව්‍යුහය තද මිත්‍යාවකින් ආවරණය වී තිබේ. තෙල් සංස්ථාව ජාතික වස්තුවක් නමුත් ඔවුහු මෙහෙයවන ව්‍යාපාරය බහු ජාතික සමාගම් වල කොටසකි. ලෝකයේ ප‍්‍රකට තෙල් සමාගම් නියම කරන මිලට, ඉදිරිපත් කරන නියෝග වලට අනුව රටට තෙල් සැපයීමෙන් ජනතාවට කිසිසේත් වාසියක් අත්පත් නොවේ. තරගකාරීත්වයක් රටට අවශ්‍යය. සම්ප‍්‍රදායික රාමුවෙන් බැහැර අලූත් ද්‍රෘෂ්ඨියකින් තීරණ ගත යුතුය. තවත් දශක ගණනක් තෙල් ටැංකි ආරක්ෂා කිරීම වෙනුවට ඒවා මැනැවින් ප‍්‍රයෝජන ගන්නා ක‍්‍රමවේදයක් ගැන අවධානය වැදගත්ය.