22/06/2013 - ලංකාදීප
ධර්මයෙහි පිහිටන්නා ධර්මයෙන් රැකේ - මිලින්ද මොරගොඩ

පොසොන් උදාව ලක්වාසීන්ට ඉතාමත් වැදගත් කාලවකවානුවකි. බුදු දහම පිළිබද දැක්ම රටට ලැබෙන්නේ පොසොන් පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්බිමට වැඩිය බව හා තපස්සු භල්ලූක වෙළදුන් පළමු දානය පිරිනැමීමෙන් පසු පූජාවට ලබාගත් කේෂ ධාතු මෙරටට නිධන් කර ගිරිහඩු සෑය ඉදිකරන ලද බව ඉතිහාසය පෙන්වා දෙයි. බුදුන් වැඩිය දේශයේ බුද්ධ දර්ශනය තහවුරු වන්නේ මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුවය. මහින්දාගමනය සිදුවන්නේ ධර්මාශෝක රජු ගේ අනුදැනුම ඇතිවය. අධිරාජ්‍යයක් ගොඩනගන්නට සටන් වැදුන චණ්ඩාශෝක රජු පසුව බුදු දහම වැළද ගත්තේය. දරුවන් ශාසනයට ඇතුලත් කළේය. ධර්මාශෝක විය. හදවත් සහ රටවල් දිනාගන්නට සමත්විය. ඉන්දියාවේ සංකේතයක් බවට පත්වූ ධර්මාශෝක ගත හැකි ආදර්ශ අපට ඇත.

සම්බුද්ධත්ව ජයන්තියෙන් දෙදහස් හයසිය වසරකුත් තවත් අවුරුද්දක් ගෙවී ඇති, ඉතා සංකීර්ණ ආර්ථික සහ සමාජ පසුබිමක සිටින අප බුද්ධ දර්ශනය හා එයින් රටට උදාවූ චින්තනය, මැදහත් සිතකින් විචාරා බැලීම අවශ්‍යය. ගෙවී ගිය කාලය තුළ බුදු දහම නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නේය. බුදු රජාණන් වහන්සේ කැළණියට වැඩම කර දේශනා කරන ලද බවට සැලකෙන ලංකාවාත‍්‍ර සූත‍්‍රය භාවිතයෙන් තොරය. පොසොන් මාසයේ ධර්මයෙන් ඇති කළ පුනර්ජීවනය අද තිබේදැයි ප‍්‍රශ්න කළ යුතුය. සංඝ සාසනය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. ඉතිහාසයට අනුව නොයෙකුත් විජාතික බලවේග ධර්මය යටපත් කරන්නට තැත් දරන බව අමතක කළ යුතු නැත. බුදු දහම තුළින් දක්වන සදාකාලික සත්‍යය සගවන්නට හෝ යටපත් කරන්නට හැකියාව ලැබී නැත. දහම සුරක්ෂිතය. බුදු දහම වටා බැදී ඇති සිරිත් විරිත් සහ සංස්කෘතිය නිතිපතා වෙනස් වන බව පමණක් අවබෝධ කර ගත යුතුය. වර්තමානයේ බුදු දහම බව දක්වමින් නැග එමින් පවතින්නේ ආගමික අන්තවාදයක ලකුණු බව වටහා ගැනීම වැදගත්ය.

ශාක්‍ය කෝලිය රජ දරුවන් හමුවේ බුදුරජාණන් වහන්සේ කියා සිටියේ තමන් බුද්ධ වංශයේ බවය. බුද්ධ වංශයට පළමුවෙන් ඇතුලත් වූවෝ හැට නමකි. එක මග නොයන්න, දහම ප‍්‍රචාරය කරන්න යන පණිවුඩය එම කණ්ඩායමට ලැබුණ බුදු ඔවදනයි. ශාසනයට කෙනෙකු ඇතුලත් වන්නට පළමු හේතුව සසර මග කළ කිරීමය. ගිහි ජීවිතයක රක්ෂා කළ නොහැකි ධ්‍යාන වැඞීමත්, සත්‍ය තේරුම් ගෙන සිත පහදවා ගැනීමටත් භික්ෂු භාවයෙන් අවකාශ සලසයි. තමන් සතු බලාපොරොත්තු සහ බැදීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වන්නට නොහැකි බව නිසා දිගටම සාමාන්‍ය සැප සම්පත් විදිමින් දහමට අනුව ජීවත්වන්නට උත්සාහ කිරීම ගිහියන්ගේ තීරණයයි. පන්සිල් අට සිල් හි පිහිටා ශික්ෂණයකින් ජීවත්වන්නට ඔවුහු උත්සාහ කරයි. පැවිදි ජීවිතයට ඇතුලත් වන්නේ මතු හෝ ආසන්නම භවයක සියලූ කෙලෙස් අතහැර නිවන් දැකීම අරමුණු කරගෙනය. තමන්ට කරගත නොහැකි ශේෂ්ඨ අරමුණක පිහිටා, සුවිශේෂී කැපවීමක නිරත වන හෙයින් මහා සංඝ රත්නය කෙරෙහි ගිහි සමාජය තුළ විශාල ගෞරවයක් පවතී. පැවිදි ජීවිතයට ඇතුළුවන අවස්ථාවේ සිට අනුගමනය කළ යුතු විනය හා පිළිවෙත් ද ති‍්‍රපිටකයෙහි ඇතුලත්ය. ගිහියන්ගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම හා යුතුකම් සම්බුද්ධ දේශනාවේ මැනවින් දක්වා තිබේ. දීර්ඝ කාලයක් තුළ සමාජ තත්ත්ව විකාශනය වන විට සියුම් ගැටලූ හමුවෙයි. ඒවා නිරාකරණයට කලින් කල ධර්ම සංගායනා පවත්වා තිබේ. සංගායනා වලදී ධර්මයෙහි ගැටලූ පමණක් නොව මහා සංඝරත්නයේ විනය සම්බන්ධයෙන් ද ක‍්‍රියා කර ඇත.

බුදු දහම දර්ශනයකි. මැද මාවත එහි වැදගත්ම ලක්ෂණයයි. එයට අනුව පස් පවින් වැලකී අට ලෝ දහමට අනුව උපේක්ෂාශීලීව ජීවිතය ගත කළ හැකිය. බුද්ධ දේශනාව තාර්කිකය. බොදුනුවෙකුට එහි නීති පනවා නැත. දහම තේරුම්ගෙන යථාවබෝධය ඇති කරගන්නා කෙනෙකුට උසස් ලෙස ජීවිතය සකස් කර ගැනීමට ඉඩ ලැබේ. බුදුන් වහන්සේ තමන්ගේ වචනය එක හෙලා පිළිගත යුතු යැයි දේශනා කළේ නැත. රන් කරුවෙක් තමන්ට ලැබුණ රන් කැබැල්ල කපා කොටා පුලූස්සා නියම රන් දැයි සොයා තහවුරු කරගන්නා ආකාරයට තමන්ම ප‍්‍රශ්න කර දහම අවබෝධ කරගත යුතු බව පෙන්වා දුන්හ. බුද්ධ දේශනාවේ ඇති එම පිරිසිදු භාවය අද අප අතර නැත. අනුකාරක. අනුගාමික සහ මැදහත් භාවයෙන් තොර දහමට නොගැලපෙන අන්තවාදී සිරිත් අද තහවුරුව ඇති බව පෙනේ.

ශ‍්‍රී ලංකාව බුදු දහම ථෙරවාදී ආකාරයට පවතින රටවල් අතරින් එකකි. තායිලන්තය, බුරුමය, කාම්බෝජය යන රටවල ද ථෙරවාදී බුදු දහම පවතී. ඉන්දියාවෙන් විකාශය වූ මහායාන ධර්මය නොයෙක් තැන පවතී. වෛතුල්‍යවාදය වැනි ඉගැන්වීම් සහිත මහායාන ධර්මය අභයගිරිය හා ජේතවනාරාමය යන පොලොන්නරු යුගයේ විහාර වල පෝෂණය වූ බව ඉතිහාසය කියයි. මහායානයට අනුව ශාරීරික ධාතු වන්දනාව වෙනුවට ධර්ම ධාතු වන්දනාව ප‍්‍රචලිත වූ බව සදහන්ය. පැවැති අභියෝග හමුවේ උපසපන් භික්ෂූන් පවා නැතිව ගිය බව දැක්වේ. තායිලන්තයේ සියම්, බුරුමයේ අමරපුර හා රාමඤ්ඤ නගර වලින් චාරිත‍්‍ර නැවත ඇති කරන ලද බව දැක්වෙයි. දහම පාලනය කරන විනයට අදාල පැති එම රටවලින් අපට ලැබී නැත.

මෑත අතීතයේ බෞද්ධ ප‍්‍රබෝධය අරඹෙන්නේ යටත් වී සිටි ජාතිය නිවහල් බව ඉල්ලා සිටින අවස්ථාවේදීය. බටහිරට යටත්වීම සමග කි‍්‍රස්තියානි ආගම ද, අධ්‍යාපනය ද ලංකාව තුළ පතුරුවන්ට අධිරාජ්‍යවාදීහු පියවර ගත්හ. අධ්‍යාපනය දෙන අතර ආගම පැතිරවීය. ස්වදේශිකයන්ගෙන් කොටසක් කැමැත්තෙන් ද, තවත් කොටසක් බලහත්කාරයෙන් ද අන්‍යාගමීකරණයට ලක්වූ බව දැකිය හැකිවේ. පරාධීන යුගය අවසන් කරන්නට ජනතාව පෙළ ගැසෙන විට බොදුනු පුනර්ජීවනය මහත් බලයක් විය. පානදුරාවාදය එහි එක් සංකේතයකි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ බුදු දහම යළි නගා සිටවනු වස් වාද කළහ. කර්නල් හෙන්රි ඕල්කොට්, මියුසියස් හිගින්ස් වැනි විදේශිකයන් බුදු දහමේ සත්‍යතාව දැක මෙරටට පැමිණ අනගාරික ධර්මපාල ඇතුළු දේශීය නායකයන් සමග එකතු වී නව වැඩපිළිවෙල ඇරඹූහ. චීනයේ පාහියන් ටිබෙට් ජාතික එස් මහින්ද වැනි හිමිපාණන් මෙරට වැඩමකර බොදු බැතිය වෙනුවෙන් මෙහෙවර කර ඇත. බොදු පුනර්ජීවනය උදෙසා බෞද්ධ කොඩියක් නිර්මාණය කළ අතර පල්ලියේ භක්ති ගීත වලට සමානව පන්සලේ ද භක්ති ගීත ගායනය ඇරඹීය. වෙසක් කාඞ් වලින් සුබ පැතීම, වෙසක් කූඩු ප‍්‍රදර්ශනය හා තොරණ ද බොදු දහමට සම්බන්ධ අංග ලෙස පැතිරිණ. ඕල්කොට් ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයේ බුදු දහම පතුරවන වැඩ සටහනකට සම්බන්ධ විමෙන් ඉනික්බිතිව වෙසක් කූඩු හා තොරණ සැරසිලි ගැන මෙරට බොදුනුවන් උනන්දු කරන ලද බව පැවසේ. අද වන විට එය වෙසක් උත්සවශ‍්‍රීය ඇති කරන ව්‍යාපාරික හා ප‍්‍රචාරක අරමුණු කරා ලගා වූ අංග ලෙස ප‍්‍රචලිතය. බටහිර ආකෘති අනුගමනය කරමින් බෞද්ධ අධ්‍යාපනය පවා ඇති කළේය. ආනන්ද නාලන්ද බෞද්ධ කාන්තා වැනි පාසල් එහි ප‍්‍රතිපලයකි. අන් රටවලින් ගත් උපසම්පදාව සමග ඇතිවූ නිකාය බේධ, අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් මත සිදුවූ පංති හා කුළ බේධ මෙරට ජනතාව බෙදා සමගිය දුරු කරන්නට හේතු වූ කාරණා බව පෙනේ. නිදහස ලැබීම සමග මෙම බෙදීම් අමතක කර එක රටක්, එක අනන්‍යතාවයක් ඇති කර ගත යුතුව තිබුණ නමුත් එය සිදුවූයේ නැත. දේශපාලන පක්ෂ බිහිවී සමාජය තවත් බේධ කළ බව පෙනේ. අද අප ජීවත් වන්නේ මෙම සියලූ බේධ මැද වෙනසක් ඉල්ලා සිටින පසුබිමකය.

බුදු දහම සතු ගැඹුර එහි මධ්‍යස්ථ භාවයයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ පවා නොයෙක් ආගම්, ඇදහිලි හා විශ්වාස පැවතුන බව ඉතිහාසය සාක්ෂි දරයි. එවැනි මත වලට ඉඩ දුන් බුදුරජාණන් වහන්සේ කෙනෙකු උසස් හෝ පහත්වන්නේ ක‍්‍රියාවෙන් මිස උපතින් නොවන බව දේශනා කළහ. ඉන්දියාවේ පැවති කුල වාදය වෙනුවට බුදුරජාණන් වහන්සේ සමානාත්මතාව ඇති කළහ. අන්‍ය ආගම් ගරහා ඒවා යටපත් කරන්නට උත්සාහ නොකළ අතර අබෞද්ධ යැයි අන් ආගමිකයන් ප‍්‍රතික්ෂේප කළේ ද නැත. වෙනත් ආගමක් ඇදහීම අබෞද්ධ නොවන අතර බෞද්ධයන් බෞද්ධ දහමට නොගැලපෙන ආකාරයට ක‍්‍රියාකිරීම අබෞද්ධකම බව පෙන්වා දුන්හ. අද අප මතු කරන්නට තැත් දරන 'සිංහල බෞද්ධ' යන්න ද කරුණු වරදවා වටහා ගැනීමකි. බෞද්ධයෙකු වන්නට බෞද්ධ දර්ශනයට අනුගත වන්නට ජාතිය වැදගත් නැත. ඕල්කොට් පැමිණීමෙන් කළ පරිවර්තනය අන්‍ය ජාතිකයෙකුගේ මැදිහත්වීමක් සේ සිතා ප්‍රතික්ෂේප කරන ලද්දේ නම් අද පැවතිය හැකි තත්ත්වය වෙනස්ය. බුදු දහම හා එහි විකාශය නීති පනවා දඩුවම් දී බලහත්කාරයෙන් කළ හැකි දෙයක් නොවන බව වර්තමාන සමාජය තේරුම් ගත යුතු පණිවුඩයකි. බෞද්ධයන් වශයෙන් තමන්ගේ දුර්වලතා වලට අනුන්ට දොස් තැබීම නුසුදුසුය. බොදු ජනතාව ජනප‍්‍රිය අංග වලට නැඹුරුවන්නේ දහම තේරුම් නොගැනීමෙන්ය. උදේ සවස පිරිත් සඡ්ජායනා වන සහ නිති පතා බණ කියන නමුත් සමාජය දරුණු වී ඇත්තේ මන්දැයි සොයා බැලීම හිමිපාණන් වහන්සේලාගේ සහ බෞද්ධ නායකයන්ගේ වගකීමකි. විහාරස්ථාන වල නිති පතා ඉදිකිරීම්ය. ආධාර එකතු නොකරන පන්සලක් නැත. ජනතාවට බණ කියන නමුත් ඇතැමි හිමිපාණන් වහන්සේලා හැසිරෙන ආකාරය ගැන ස්වයං විවේචනයක අවශ්‍යතාව ඇත. බෞද්ධකම යටපත් කරන අබෞද්ධ ක‍්‍රියා පටිපාටිය පැන නැගි ඇත්තේ බොදුනු සමාජය තුළින්මය. බුදු දහම අදහන ආකාරය පාලනය කරන්නට යාම ද, බලහත්කාරය ද වරදකි. අන්‍යාගම් වලට චෝදනා කිරීම වෙනුවට තමන්ගේ පැත්ත නිවැරදි කර සැබෑ දැක්මක් ඇතිකර ගැනීම මෙසමයෙහි ගත හැකි තීන්දුවකි.

අද පරපුරට දැන් අවශ්‍යව ඇත්තේ නව දර්ශනයකි. පොදු ජනතාව ලෝකය පුරා සිදුවන දේ දකී. නොයෙක් රටවල අත්දැකීම් දැක ඇත. විශාල කොටසක් පිටරටවල ගොස් එහි විනය, හැසිරීම ධර්මය, හා අදහන සංකල්ප ගැන දැනගෙන සිටින බව නිසැකය. විදේශ ගත වන දෙමව්පියන් නිසා රටේ ඇති වී තිබෙන සමාජ ප‍්‍රශ්න හදුනා ගැනීම අවශ්‍යය. වෙනස් සහ යහපත් දේ ඇතිකිරීම වෙනුවෙන් මෙරට සමාජය එකතුවීම සුදුසුය. මෙරට ගිහි සමාජයත්, සංඝ සමාජයත් ඉතා සංකීර්ණ පසුබිමක සිටින මෙම අවස්ථාවේ දී වගකීමක් ඇතිව පොදු එකගතාවයකින් ක‍්‍රියා කළ යුතුය. ජාතික ආගමික හා මත ඉදිරිපත් කරන අන්තවාදී කණ්ඩායම් වලින් රටට අනාගතයක් නැත. තනිව රජවන ආකල්ප හා අන්‍යයන් සමග එකතු වී වැඩ කරන්නට සූදානමක් නැති වීම අප හුරුව ඇති අභාග්‍යයකි.

වර්තමානයේ අප මුහුණ පා සිටින අර්බුදවලට හේතුව සමාජ විනය හා විශ්වාසය පිරිහීමයි. ආයතන සහ පනවන ලද නීති රීති අභියෝගයට ලක්ව ඇත. සමාජය ගරු කරන යුග පුරුෂයෝ විරලය. අවංක, මධ්‍යස්ථ වැනි ජනසමාජය ගරු කරන වටිනාකම් නැවත ඇති කළ යුතුව තිබේ. නීතියට පමණක් සියල්ල කරන්නට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකාව ඇතුළු බටහිරට යටත්ව සිටි රටවල් රැසක් මේ අවාසනාවන්ත සමාජ පෙරුළියේ බරපතළ ගොදුරු වී ඇති බව පෙනේ. සිවිල් සමාජය හා සමානව සංඝ සමාජයේ ද නොයෙක් බෙදීම් ඇති බව පෙනෙන්නට තිබේ. අඩු ලූහුඩුකම් හා ශාසන හිතකාමී නොවන සිදුවීම් වාර්තා වෙයි. කලින් කල මෙවැනි පිරිහීම් හා පිබිදීම් දැක ගත හැකිය. බුද්ධ දර්ශනය ප‍්‍රභාවත් කිරීම වෙනුවෙන් නිසි තීන්දුවලට එළැඹීමේ වගකීමක් ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප‍්‍රධාන මහා සංඝරත්නයට ඇත. බුද්ධ ශාසනයේ පරිහානියට හේතු වී ඇති බව පෙනුණ අවස්ථා ගණනක දී සංඝාධිකරණය හා කතිකාවත ඇතිකිරීම මගින් නිවැරදි මගට අවතීර්ණවීම අරබයා සුසංවාදයක් බිහිවිය. ඉතිහාසය අනුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වීම සමග මාර්ග ඵල අවබෝධකරගෙන නොසිටි සංඝරත්නය අතර ඇතිවූ ශාසනික ගැටලූ පළමු ධර්ම සංගායනාවට හේතු විය. විනය පිටකයට අයත් චුල්ල වග්ගය එය සදහන් කරන්නේ සුභද්‍ර නම් හිමි නමක පැවැත්ම දැක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පළමු සංගායනාව පවත්වන ලද බවය. බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර සියයකට පසුව දෙවැන්න ද, පාටලී පුත්ත නගරයේ දී තෙවැනි සංගායනාව ද පැවති බව මහාවංශය කියයි. මේ දක්වා ධර්ම සංගායනා දොළහක් පවත්වා ඇති අතර එයින් අවස්ථා තුනක් ශ‍්‍රී ලංකාවේ දී පවත්වා තිබීම සුවිශේෂය. හතරවැන්න අනුරාධපුරයේද, හත්වැන්න පොළොන්නරුවේ ද හා නැවත අටවැන්න ශ‍්‍රි ලංකාවේ ද පවත්වා ඇත. අනුරාධපුර මහා විහාරය ආශ‍්‍රිතව පවත්වන ලද සංගායනාවේ දී මෙරටට ගැළපෙන අන්දමට ධර්මය සීහළ අට්ඨකථා මගින් අවබෝධය ඇති කරන්නට පියවර ගත් බව දැක්වේ. පොලොන්නරුවේ පැවති සංගායනාවේදී මහායාන හා ථෙරවාද බෙදීම් හා ග‍්‍රාමවාසී හා අරණ්‍ය වාසී සංඝරත්නය සම්බන්ධ කතිකා පැන නැගී ඇත. වර්තමානයේ බුද්ධ ශාසනය අභියෝගයකට ලක්ව නැතැයි කිව නොහැකිය. සසුන් ගතවන නවක හිමිපාණන් වහන්සේලා සංඛ්‍යාවෙන් සීමාසහිතවීම පමණක් නොව ධර්ම ශාස්ත‍්‍රීය ගවේෂණය කෙරෙහි වර්තමාන තරුණ හිමිපාණන් වහන්සේලා උනන්දු නොවීම ද මහා ශාසනික ගැටලූවකි. පිරිවෙන් අධ්‍යාපනය පිරිහී තිබේ. නවක ස්වාමීන් වහන්සේලා නොයෙක් අන්තවාදී බලවේග වල ගොදුරු බවට පත්ව ඇත. බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම හිමිවරුන්ගේ වගකීමක් යැයි සිතන්නට පටන්ගෙන තිබේ. බලහත්කාරයෙන් සමාජය බොදු මගට ගැනීමට තැත් දරයි. එය බරපතල වරදකි. නොයෙක් අරමුණු ඇතිව සංඝරත්නය ඉදිරියට පැමිණීම ගැන සමාජයේ විවිධ අදහස් තිබේ. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව සංඝ සමාජය තුළටත් ඇතුළු වී ඇත. එය සාධාරණය. භවයෙන් එතෙර වන්නට කැපවූ මහා සංඝරත්නයෙන් කොටසක් නොයෙකුත් වෘත්තීන් හි නියැලෙයි. ලෞකික දේ යම්යම් පන්සල් වල පරිහරණය වෙමින් තිබේ. දුරකථනය, පරිගණකය, යාන වාහන, රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත‍්‍ර මෙයින් සමහරකි. සංඝරත්නයට මෙවැනි දේ අකැප ද? කැප වන්නේ කෙසේ ද? යන්න විනය කතිකාවතකින් සාකච්ඡා කළ යුතුය. ඇතැම් විහාර මලයාලි ගුරුකම් හා යකැදුරුකම් කරන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. කේන්දර බැලීම් යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු වල නිරත වීම් යනාදී වශයෙන් මහා සංඝරත්නය නිරත නොවිය යුතු යැයි අපේක්ෂා කරන අංශ පන්සලට පැමිණ ඇත. තවත් තැනෙක බාහිර ව්‍යාපාර හා අධ්‍යාපන සේවා පවත්වන අවස්ථා දැක ගත හැකිය. නීති වෘත්තිය හා රියැදුරු බලපත‍්‍ර ලබා ගැනීම යනාදී පැවිදි සමාජයට කැප ද යන ප‍්‍රශ්නය නැගෙන අංශ කෙරෙහි ඇතුල් වන්නට භික්ෂූන් වහන්සේලා යෝජනා කරති. කාලීනව, ධර්ම විනායානුකූලව භික්ෂුවගේ පැවැත්ම වෙනස් ගත හැකි ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබේ. අර්බුදයක් පැන නැගි අවස්ථාවක එයට මුහුණ දෙන්නේ කෙසේ දැයි දක්වා ඇත. විහාර හා දේපොල පවත්වා ගැනීම, දායක කාරකාදීන් සමග පවත්වන සම්බන්ධතා හා පාලකයාගේ සිට සාමාන්‍ය පුද්ගලයා දක්වා බලය නොව ගුණය අනුව හදුනා ගත හැකි අන්දම පැහැදිලිව දේශනා කොට තිබේ. මේවා අද සලකන්නේ නැත. වඩා බැ?රුම් හා විශාල අවධානයකට ලක්විය යුත්තේ බුද්ධ ධර්මය නොයෙකුත් බාහිර සාටෝප එකතු වී එහි යථාවබෝධයට වඩා බාහිරාලංකාරය කෙරෙහි අවධානය යොමුවීම ගැනය. බුද්ධ දේශනාවේ හරය යටපත්වී එහි මතුපිට සරල ආගමික හැගීම පමණක් ඉදිරියට ගෙන එන ආකාරය පිළිබදවය. අන්‍යයන්ගේ දොස් දැකීම බුදු දහමේ නැත. මිත්‍යාදෘෂ්ටිය ඇතිවන්නේ දර්ශනය නොසලකා මිත්‍යාවෙහි ඇලීමත් සමගය. ලාංකේය බුද්ධාගම විනා සිංහල බුද්ධාගමක් ගැන මත පැතිරවීම පිළිගත නොහැකිය. බුද්ධ දර්ශනය ජාතිකත්වය ඉක්මවා ගිය එකකි. ඕනෑම ආගමක් තුළ දර්ශනය සම්බන්ධව අර්බුද පැන නැගෙනවිට අන්තවාදී අදහස් මතුවන බව ඉතිහාසයෙන් පෙන්වන කරුණකි.

ත‍්‍රස්තවාදය අවසන් කිරීම සමග ශ‍්‍රී ලාංකේය ජන සමාජය අවතීර්ණ වී ඇත්තේ ප‍්‍රබෝධජනක අවස්ථාවකටය. ඝන අන්ධකාරයේ සිට සැනසිලිදායක මොහොතක් අත්විඳින වත්මන් සමාජය එහි අසිරියෙන් මත්ව සිටින බව පෙනේ. බටහිර ද මෙවැනි තත්ත්ව ඇති විය. යුරෝපය අන්ධකාර යුගයෙන් එලියට එනවිට ක‍්‍රිස්තියානි ආගම අර්බුදයකට මුහුණ දුන්නේය. පල්ලියේ පාලන ව්‍යුහ ගැන ප‍්‍රශ්න මතුවිය. එය විශාල ආන්දෝලනයකට හේතු වූ අතර විවේචනය මතු කළේය. පල්ලිය තුළින් ම ප‍්‍රතිසංස්කරණ බලවේග ඇති වී ව්‍යුහය සකස් කර ගත් බව එම ආගමේ පැවැත්ම පෙන්වයි. එවැනි දේ වලින් අත්දැකීම් ගෙන අවබෝධය ඇති කරගෙන වගකීමකින් ක‍්‍රියා කළ යුතුව ඇත.

මිහිඳු මාහිමියන් මිහින්තලාවට වැඩමකරලාංකික සමාජයට බෙදා දුන් දැක්ම රටට අනන්‍ය කර ගන්නට අපි සමත් වීමු. ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව සමග බුදු දහම ජාත්‍යන්තරයට යොමු කරන්නට ද අපි සමත්ව සිටිමු. බුදු හිමියන්ගේ දැක්ම හා භාවිතාව දක්නට ලැබෙන්නේත් ආරක්ෂා වී ඇත්තේත් ශ‍්‍රී ලංකාවේය. සත්‍යයට මුහුණ දෙන්නටත්, එය සමාජයට ගැළපෙන ලෙස යථාර්ථවාදී පදනමක් ලෙස සකස් කරගැනීමේ අභියෝගයටත් අතීතයේ දී අප සාර්ථකව මුහුණ දී ඇත. යථාර්ථය හඳුනාගෙන නව දැක්මක් බිහි කරන්නට පමණක් නොව එය සාර්ථකත්වය සේ හුවා දක්වා බුදු දහම සේම මෙරට දැක්ම තවත් සමාජයකට පදනමක් සේ පිරිනමන්නට හැකි ආකාරය ගැන අලූතින් සිතන්නට අවශ්‍යය. බෞද්ධ සමාජයේ ඉදිරි පැවැත්ම උදෙසා මහා විනය සංගායනාවක් කැදවීම ඉතාමත් වැදගත් කාර්යයයි. මෙම සංගායනාව පැවිදි පක්ෂයේ හා ගිහි පක්ෂයේ විනය හා පැවැත්ම සම්බන්ධව අලූත් ආකාරයකට සිතා බලන අවස්ථාවක් විය යුතුය. බුද්ධ ශාසනයේ පැවැත්ම කෙබදු විය යුතුද යන්න අපි දැන් සිටම කරුණු සැලසුම් කළ යුතු වෙමු. ගෞරවණීය මහා නායක හිමිපාණන් වහන්සේලාගේ උපදෙස් මත දැනුම් තේරුම් ඇති ධර්මධර සංඝයා වහන්සේලාගෙන් හා වියත් ගිහි පිරිසක් විශේෂ කමිටුවක් වශයෙන් එකතු වී, සාකච්ඡා කර කි‍්‍රයාකාරී සැලැස්මක් යෝජනා කළ යුතුය. විවිධ අන්දමට බෙදී ඇති පාර්ශව සියල්ල නියෝජනය කෙරෙන අන්දමට මෙකී රාමුව සකස් කර ගතහොත් ශාසනයේ කීර්තිය වැඩි දියුණු වනු ඇත. එය බෙදිම් නැති කර ජාතික සමගියට මහත් ශක්තියකි. පොසොන් මාසයේදී ඇති කර ගත යුතු අලූත් උදාව එයයි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.