21/02/2022 - ලංකාදීප
ස්වාර්ථය පසුපස යන දේශපාලකයෝ

ශ‍්‍රී ලංකාවේ පාලන ක‍්‍රමය විධායකය සහ ව්‍යවස්ථාදායකය වශයෙන් කොටස් දෙකකි. විධායකයා පුර්ණ බලතල සහිත ජනාධිපතිවරයෙකි. මහජන නියොජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරගැනේ. ව්‍යවස්ථානුකූල සුදුසුකම් ඇති පුරවැසියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නැත. ඉදිරි ජනාධිපතිවරණය සදහා තවත් වසර තුනක පමණ කාලයක් තිබේ. අපේක්ෂකයෝ පෙලගැසෙමින් සිටින බව පෙනෙන කරුණකි. දේශපාලන පක්ෂ ගණනාවක් ජනාධිපතිවරණ තරගය ආරම්භ කර ඇත. සමහර පුද්ගලයෝ ද රට හදන සැලැසුම් ඉදිරිපත් කරන අතර ජනාධිපතිවරණයකට බව පෙනේ.

රටට අවශ්‍ය අලූත් ජනාධිපතිවරයෙක් ද යන ප‍්‍රශ්නය අපට ඇත. ශ‍්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේ පවා ආනයනයට බාධා මතු වී ඇති කාලයකි. නොයෙක් මත තිබේ. පාලන ක‍්‍රමය ගැන ප‍්‍රශ්න තිබිය හැකිය. පටු පරමාර්ථ මුදුන් පත් කරගැනීම වෙනුවට රට ගොඩනගන්නට එකතු විය යුතුය. ජනාධිපති පුටුවේ වාඩිවීමට කලින් රට යහපත් තැනකට ගෙන එන සාමුහික ප‍්‍රයත්නය ගැන අවධානය යොමු කළ යුතුය. දැන් පවතින ගැටළු වලට එක පුද්ගලයෙකුට, එක කණ්ඩායමකට විසදුමක් නැත. රට ස්ථාවර කරගන්නට වසර දහයකට වඩා කාලයක් ගත විය හැක. ආණ්ඩු ගණනාවක ක්‍රියාදාමයක් වනු ඇති අතර මිහිරි නැති, දුෂ්කර තීන්දු ගන්නට සිදුවේ. එම තීරණ ගන්නා ඕනෑම පාලකයෙකු, ආණ්ඩුවක් අද ඇති ආකාරයටම බරපතල විවේචන වලට ගොදුරුවනු ඇති බව සදහන් කළ යුතුය. සමාජය එකතු වී, නායකත්ව සංවිධාන ගතව අප මුහුණපා ඇති බැරූරුම් තත්ත්වය පාලනය කරගැනීම සුදුසුය.

අවුල අවුලකින් අවසානයක් කරගැනීම

රට මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුට අනන්‍ය විසදුම් ඉදිරිපත් කරමින් සිටී. එම විසදුම් සියයට සියයක් සාර්ථක නොවෙන්නට ඉඩ ඇත. අප මුහුණ පා සිටින්නේ ලෝක ඉතිහාසයේ නොතිබුණ බරපතල සෞඛ්‍ය තර්ජනයකටය. ජීවිත බේරා ගැනීම අභියෝගයකි. බේරාගත් ජීවිත ජීවත් කරන පියවර එයටත් වඩා අපහසු කාරණයකි. කොවිඞ් වසංගතය සමග ආර්ථිකයේ සමහර අංශ දුර්වල වී තිබේ. පුරුදු ජීවන රටාව වෙනස් වී ඇත. ආදායම අඩුය. ජීවන වියදම ප‍්‍රශ්නයකි. පහසුවෙන් ගත කරන ලද ජීවිතය වඩා දුෂ්කර තැනකය. දුෂ්කරතා වලින් මිදී අලූත් ව්‍යුහයක් ඇති කරගත යුතුය. එය පහසු නැත. කැපවීමක් අවශ්‍යය. මෙම දුෂ්කරතා හුදෙක් කොවිඞ් වසංගතයේ බලපෑමක්ම නොවේ. නිදහස ලබාගත් දිනයේ සිට අනුගමනය කළ පිලිවෙලක ප‍්‍රතිඵලයකි. ආදායම ඉක්මවා වියදම් කරන්නට හුරු වී තිබුණ රට හදිසි ආදායම් හිගය මත අර්බුදයකට පත්විය.

නැගීම හා පසුබැසීම ජීවිතයේ එක පැත්තකි. දුක සැප, ජය පරාජය ගැන බුදු දහම උගන්වා ඇත. අපගේ පැවැත්ම විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් ඉහළ තැනකට පැමිණ ඇත. එහෙත් මුලික සිද්ධාන්ත වලින් බැහැරවිය නොහැක. සංකීර්ණ ගැටලූ වෙන්කර හදුනාගතහොත් විසදුමක් නිර්මාණය කරගත හැකිය. සන්සුන්ව සහ මධ්‍යස්ථභාවයෙන් ක‍්‍රියා කිරීම වැදගත්ය. ඈත සහ මෑත බලා තීරණ ගැනීම වගකිවයුතු නායකයන් තුළ තිබිය යුතු ලක්ෂණයකි. නායකත්වය කරා යන විශේෂිත පුද්ගලයන් තුළ උදාර පරමාර්ථ සහිත ගති ලක්ෂණ වඩාත් පිලිබිඹුවිය යුතුය.

තනතුර වෙනුවට අනාගත පරපුර ගැන අවධානය

අද අපට සිටින නායකයෝ ජනාධිපති පුටුව දෙස බලාගෙන සිටිති. ලෝකය නිර්මාණය කළ විශිෂ්ඨ පුද්ගලයෝ වගකීම ඉශ්ඨ කරන අතරවාරයේ තමන්ට ලැබෙන බලය, එතැනින් හැමිවන ප‍්‍රතිලාභ ගැන අවධානය යොමු නොකළහ. කැනඩාවේ අගමැති බ‍්‍රයන් මල්රෝනි 1984-1993 කාලයේ එරට ඇති වූ අර්බුදය ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය මෙහි දී උදාහරණයකි. මෙරට ඇතැම් පිරිස් දැන් දියුණුවට පත් කැනඩාවේ පුරවැසිකම ගන්නට දරන ප‍්‍රයත්නය දෙස බලනවිට ඒ හා සමාන ප‍්‍රයත්නයකින් ශ‍්‍රී ලංකාව වෙනස් කරන්නට කැපවීමකට සූදානම් නැත්තේ ඇයි ද යන ප‍්‍රශ්නය මතු වේ. ආර්ථිකය බිද වැටුණ පසු බ‍්‍රයන් අගමැතිවරයා එරට ප‍්‍රතිසංස්කරණ මාලාවක් ක‍්‍රියාවට නැංවීය. වියදම කපා හැරි අතර බදු වැඩි කළේය. රාජ්‍ය අංශය සීමා කරන තීරණ ගත්තේය. පුද්ගලීකරණය වේගවත් කළ අතර රජයේ සංවර්ධනය වෙනුවට සංවර්ධන වැඩසටන් කරන්නට ප‍්‍රාදේශීය පාලන ආයතනවලට බලය පැවැරීය. විරෝධතා මැද රටවල් ගණනාවක් සමග වෙළද ගිවිසුම් අත්සන් කළේය. මේවා කරගෙන යන විට විරුද්ධ පක්ෂ දැවැන්ත විරෝධතා, විවේචන කළ බව පෙන්වා දිය යුතුය. ඊළග මැතිවරණයෙන් බ‍්‍රයන් අගමැතිවරයාගේ පක්ෂය ආසන දෙකට වැටුණි. බලයට පත් අලූත් ආණ්ඩුව හිටපු අගමැතිවරයාගේ තීරණ ගැන බරපතල චෝදනා කරන අතරවාරයේ එම සැලසුම් නොනවත්වා ඉදිරියට ගෙන ගිය අතර එය ආර්ථික සංවර්ධනයකට අත්තිවාරමක් විය. පදනමක් නිර්මාණය කරන දැක්මක් අපට නැත. වරින් වර වෙනස් වන ආණ්ඩු තිබුණ අත්තිවාරම ගලවා අලූත් අත්තිවාරමක් දමන අතර ඒවා එකලාසයක් කරගන්නා විට නිල කාලය අවසන්ය. ජනාධිපතිවරණයක් කලින් කැදවා තමන් බලයට එන්නට කැසකවන පියවර තුළ මෙම අත්තිවාරම් හැදීම හැර අනෙක් යමක් නැත.

පරිවර්තනයක් කරන ලද ශ්‍රේෂ්ඨ පුද්ගල චරිත ඉතිහාසගත වී ඇත. තනතුර, ධනය හෝ බලය වෙනුවෙන් පෙනී සිටියේ නැත. ලෝකය වෙනස්කළ ජාතික හා ආගමික නායකයන් ගේ ක‍්‍රියාකාරකම් අපට ආදර්ශයකි. වෙනස් අදහස් ඇතිව කැපවීමෙන් ගමනක් ගිය නායකයෝ ගැන අධ්‍යනය කිරීම අවශ්‍යය. අපට සිටින දේශපාලනය අවුල් ඇති කරන්නට සමත්ය. අවුල් අවුලූවා නිරවුල්භාවයක් ඇති කරගත නොහැක. පවතින ව්‍යාකූලතා නිරාකරණය කරන පරිදි එක්සත්වීම හැර අනෙක් ගමනක් මෙම තීරණාත්මක මොහොත තුළ නැත. නොයෙක් බෙදීම් අප සමාජයෙහි තිබේ. බෙදීම්, වෙන්වීම්, ගැටුම් සහ කෝලාහල අප සියළු දෙනා විනාශය කරා කැදවාගෙන පැමිණ ඇත. ජාතිය, ආගම, කුලය, පක්ෂය හා පංතිය වශයෙන් තවදුරටත් බෙදී ඇති අවස්ථාවක ජනාධිපතිවරයෙකු පත් කරගැනීමෙන් පමණක් එක්සේසත් රටක් හදන්නේ කෙසේද?

හෙට රට භාරගන්නා නායකයාගේ අභියෝග

අද ජනාධිපතිවරණයක් තබා එහි ප‍්‍රතිඵල අනුව අලූත් පාලකයෙකු හෙට පත් කරගත හැකිය. නායකයා වෙනස් කිරීම අද පවතින ප‍්‍රශ්නවලට උත්තරය නොවේ. අවස්ථාවෙන් ප‍්‍රයොජන ගත හැක. විපත තමන්ගේ සැපත බවට හරවා ගැනීම පහසුය. අප තෝරා ගත යුතු පහසු අවස්ථා නොවේ. රටත් ජන සමාජයත් ඉහළට ඔසවා තබා පසුව තමන්ගේ අවස්ථාව සදහා තරග කළ යුතුය. ගෝලීය ආර්ථික ක‍්‍රමය ප්‍රජාතන්ත‍්‍රවාදය හැර වෙනත් විකල්පයක් දැනට නොමැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සංකීර්ණතා මතු වී තිබේ. නුතන මාධ්‍ය භාවිතාව ව්‍යාකූලතා ඇති කරයි. සාධාරණ විවේචන වෙනුවට අන්තවාදී අදහස් මතු කෙරේ. ජනාධිපතිවරයෙකු හෙට පත්කරගත හැකිය. අලූතින් රට භාර ගන්නා ඕනෑම පුද්ගලයෙකු මෙකී ක‍්‍රමයේ ගොදුරක් වනු ඇත. පුද්ගල ප‍්‍රතිරූපය දේශපාලන නායකත්වයතකට විශාල ප‍්‍රයෝජනයක් විය හැකිය. ප‍්‍රතිරූප වලට පමණක් ආර්ථිකයක් ගොඩනගන්නට පුලූවන්කමක් නැත.

ලෝකයේ නොයෙක් රටවල ඇති වූ මෑත කාලීන සිද්ධි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැමිණ ඇති සංකීර්ණ තැන හුවා දක්වයි. අර්බුදයක පවතින අවස්ථාවක ආණ්ඩු පෙරලා විසදුම් අපේක්ෂා කරති. නායකයෝ පලවා හැර අලූත් නායකයෝ පත්කර ගනිති. මෑතකාලයේ බලයට එන අලූත් චරිතවලට පවා වැඩි ආයුෂ තිබුණේ නැත. ජනතා අපේක්ෂා සාක්ෂාත් කිරීමට විසදුම් ඇති බව පෙන්වා බලයට පැමිණි නමුත් පැමිණි වේගයට වඩා ඉක්මනින් පිරිහීමකට ලක් විය. පහලට වැටුණ ආර්ථිකයක් නැවත හැරවීමට ක්ෂණික පියවර නැත. රැකියා අවස්ථා, ඉහල වැටුප්, අඩු මිලට බඩු භාණ්ඩ, හොද ප‍්‍රවාහන සේවා, පුලූල් සෞඛ්‍ය පහසුකම්, නොමිලේ අධ්‍යාපනය මේවා කළ හැකි දේ නොවේ. නායකත්වයට පත් වූ පසු යථාර්ථය වැටහේ. අසාර්ථකත්වය සමග නැවත විරෝධතා ඇති වෙයි. ළග ළග සිදුවන ආණ්ඩු පෙරැලීම් කිහිපයකට පසු රටක් ස්ථාවර තත්ත්වයට පත්වන බව ආර්ථික ප‍්‍රශ්න ඇති රටවල් කියා දී ඇති පාඩමකි. මේවා ශ‍්‍රී ලංකාවේ ස්වභාවයට ද වෙනසක් නැත.

බලය ගැනීමෙන් පසු කළ හැකි දේ ගැන අවබෝධය වැදගත්ය. මෙරට සමාජ හා දේශපාලන ව්‍යාපාර හැසිරෙන අන්දම පුදුම සහගතය. බලය ගැනීමට ඇති උනන්දුව තිබේ. වැඩ පිලිවෙලක් හදාගන්නා උත්සාහයක් නැත. කළ යුතුය. මෑත භාගය තුළ ජනතාවගෙන් එකතුකරගත් සම්මාදම්වලින් ජනතාවාදී මාධ්‍ය ආරම්භ කළේය. පොදු ජනතාවගේ ආධාර වලින් පක්ෂ නඩත්තු කරන ලද ඉතිහාසයක් ඇත. මහජන ආධාරවලින් ආර්ථිකයක් හදන්නට නොහැකි බව ඉගෙන ගන්නට ද විශාල ප‍්‍රමාණයේ වන්දි ගෙවන්නට අපට සිදුවනු ඇත.

ක‍්‍රමයක වරද හැර ප‍්‍රතිරූපවල ප‍්‍රශ්නයක් නොවේ

විරුද්ධ දේශපාලන නායකයන්ට ඉමහත් ජනප‍්‍රියත්වයක් තිබේ. විරුද්ධවාදී අදහස් මතුකරන හෙයින් සමාජයේ ආකර්ශනයක් ඇත. සලකා බැලිය යුතු වෙනත් පැත්තකි. රටට අවශ්‍ය විරුද්ධවාදී දේශපාලනයක් නොවේ. විකල්ප වැඩ පිලිවෙලකි. එක්තරා කාලයක ධනවාදී හා නිර්ධනවාදී කදවුරු දෙකක් තිබුණි. එම යුගය අවසන්ය. නිර්ධනවාදීන් ද ධනවාදයට එකතු වී ඇත. වඩාත්ම දක්ෂ, වඩා කාර්යක්ෂම ක‍්‍රමය විකල්පය බවට පත්ව තිබේ.

ඉහළ ජනතා ආකර්ශනයක් තුළින් පත්වන නායකයෝ පාලනය ස්ථාවර කරති. ජනතා විශ්වාසය වැදගත්ය. බලය හා ශක්තිය ලැබෙන්නේ එතැනින්ය. ජනප‍්‍රියතාව වෙනස් එකකි. අතිශය ජනප‍්‍රිය නායකයන් රටවල් ඔසවා තබන්නට අපොහොසත්වූ බව සදහන් කළ යුතුය. ජනප‍්‍රිය නොවන තීරණගත් පාලකයෝ රටවල් දියුණු කර ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වී තිබේ. සහන, සුබසාධනය සහ ආධාර වැඩපිලිවෙල කරන තරමට ජනප‍්‍රියත්වය ආරක්ෂා කරගත හැක. ඒවාට අවශ්‍ය ධනය ලැබෙන්නේ කොතැනින් ද?

ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකයෝ තීරණගැනීමේ දී අතිශය දුර්වලය. නුසුදුසු අවස්ථාවල, කිසිම පලක් නැති කාර්යයන් ඉදිරියේ ඉතාම තද නිර්භීතභාවයක් පෙන්වන නමුත් අවශ්‍යම අවස්ථාවල පසුබට වෙති. තීරණ ගැනීමේ දී ඡන්ද පදනම ගැන තැවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එකකි. සමාජ විනය ඇති කර ආර්ථිකය හැදීම අනෙකකි. දේශපාලන පක්ෂ නායකයන්, ජනාධිපතිවරණයකට සුදානම්වන පිරිස් එම වැදගත් කාරණය මතක තබා ගත යුතුය. නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහායෙහි පක්ෂ ගොඩනැගූ, ජනතාව තමන් වටා එකතු කරගත් නායකයෝ බලයට පත්ව ඇත. ජනතාවගේ හෝ පක්ෂයේ බලයෙන් ආර්ථිකය ගොඩනගන පියවරකට අවතීර්ණ නොවීම බලවත්ම දුර්වලතාවයකි. නිවැරදි තීරණ ගෙන අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ අනුගමනය නොකිරීම පසුගිය දශක හත තුළ විද්‍යමාන වන ලක්ෂණයකි. ආණ්ඩුවලින් යැපෙන ක‍්‍රම දියුණු කර තිබේ. ජනතාවට විවෘත අවස්ථා සම්පාදනය කර නැත. ජාත්‍යන්තර ආර්ථිකය හා ආයෝජන ගැන මහත් භීතියකින් කටයුතු කර ඇත. රටවැසියන්ට පනවන බදුවලින් ඔවුන්ටම සහන දෙන ක‍්‍රමය හැර විකල්ප කෙරෙහි අවධානය යොමු නොකිරීම ගැටළුවකි. ශ‍්‍රී ලාංකික ජනතාව විශාල වශයෙන් රජයට වක‍්‍ර බදු ගෙවන ජන කොටසකි. රජයේ ආදායම රජය නඩත්තු කිරීමට හෝ ප‍්‍රමාණවත් නැත. බලයට එන්නට බලාසිටින නායකයෝ මෙම කර්කශ ව්‍යුහය ගැන කල්පනා කිරීම සුදුසුය.

අසාධ්‍ය ආර්ථිකයක් ඇති රටක් අයිතිකර ගැනීම

ණය ගෙවා ගත නොහැකි, විදේශ සංචිත පිරිහී ඇති ශ‍්‍රී ලංකාව දේශීය හා විදේශීය වශයෙන් බරපතල පීඩනයක් එල්ල වී තිබේ. පවතින අසාධ්‍ය තත්ත්වය ගැන දේශපාලනඥයන්ට ඇති වැටහීමක් නැත. මැලේසියාව ගොඩනැගූ මහතීර් මොහමඞ් මහතා තරුණ දේශපාලනඥයන්ට දෙන ලද අවවාදය මෙහි දී මතක් කළ යුතුය. දේශපාලනයට එන්න කලින් ව්‍යාපාරයක් ආරම්භ කර සේවකයන්ට වැටුප් ගෙවන අත්දැකීම් ගන්නා ලෙස හෙතෙම ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය රජයේ වියදමෙන් ආධාරකරුවන්, පාක්ෂිකයන් නඩත්තු කරන එකකි. මහජන බදුවලින්, රජයේ කොන්ත‍්‍රාත්වලින් පක්ෂයට ලැදි පිරිස පමණක් නඩත්තු කරන ක‍්‍රමය අවසන් කළ යුතුය දූෂණයෙන් මුදල් සොයාගෙන ඡන්ද කරන, පක්ෂ හා පාක්ෂිකයන්ට සලකන ක‍්‍රම පිටුදැකිය යුතුය. ඒවායෙන් සිදුවී ඇති හානිය අද අපට අත්දකින්නට ලැබී තිබේ.

දේශපානඥයන් වේදිකාවේ කියන වචනවලින් සුන්දර සිහින මවා පෙන්වන්නට හැකිය. සිහින හැබෑ කරගත හැක්කේ කැපවිමෙන්ය. රට ගැන කැපවීම නායකත්වයකට අවශ්‍යය. කැපවීම තුළ යුතුකම හා වගකීම තිබේ. එකිනෙකට පරස්පර මත ඉදිරිපත් කරන නායකයෝ විශාල ප‍්‍රමාණයක් සිටිති. රට ගැන කැක්කුමක් ඇති බව ප‍්‍රකාශ කරති. ආකර්ශණීය වචන තිබේ. ව්‍යාකූලතා ඇති කිරීමෙන් පවතින ප‍්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැත. මෙම අවස්ථාවේ රටට අවශ්‍ය අලූත් නායකයෙක් ද?

වැඩ කරන්නට ඉඩ දෙන සමාජ ක‍්‍රමයක්

ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ දක්ෂ නායකයෝ බලයට පත් වූහ. බලයට පත් නායකයන්ට වැඩ කරන්නට ඉඩ දුන්නේ නැත. ඊළගට බලයට එන්නට වෑයම් කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් විශාල අවුල් ඇති කරන ලද බව මතක් කළ යුතුය. අවුල් ඇති කර බලයට එන විපක්ෂයට ද එහි ප‍්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවිය. නිදහස ලැබුණ දිනයේ සිට ආණ්ඩුව හා විපක්ෂය යන තට්ටුමාරු ක‍්‍රමය රට තුළ තිබිය යුතු සැලසුම් සහගත සංවර්ධයකට ඉඩ දී නැත.

ශ‍්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ. මධ්‍යම පාන්තික බහුතරයකට ආපසු හැරෙන්නට උවමනාවක් නැත. සලාක ක‍්‍රම, පෝලිම් වර්තමානයට නොගැලපේ. පුද්ගලික අධ්‍යාපනය, පුද්ගලික අංශයේ රෝහල් පද්ධතිවලට නැඹුරු වී ඇති පිරිස සැලකිය යුතු ප‍්‍රතිශතයකි. මැදි ආදායම් පංතියේ පිරිසගේ දරු දැරියෝ ලක්ෂ ගණනක් විදේශ රටවල අධ්‍යාපනය ලබති. ජනගහනයෙන් වැඩි පිරිසකට සාමාන්‍ය වාහනයක් හෝ ඇත. මෙම ජන කොටස මෙතැනින් ඉහළට නැගෙන ප‍්‍රයත්නයක සිටී. දේශපාලන ක‍්‍රමය ජනතාව ගැන නොසිතන්නේ ඇයි? බලාපොරොත්තු පාලනය කර දුප්පතුන් ඇති කිරීම සුදුසුද? තරුණ පරපුර දෙස බලන්න. ඔවුන් ව්‍යවසායකත්වයට සූදානම්ය. අවදානම ගෙන ලෝකයේ ඕනෑම රටකට ගොස් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට නිර්භීතය.

අලූත් ආර්ථිකයක් ඇති රටක් හදන්නට තීරණගත යුතු කාලයකි. අවිධිමත් ක‍්‍රමයෙකින් ලැබුණ ප‍්‍රතිවිපාක අපට පාඩමකි. තව තවත් නායකයන් සහ ආණ්ඩු පත් කරමින් වැනසෙනවාට වඩා අත්තිවාරමක්, ශක්තිමත් පදනමක් වෙනුවෙන් සංවාදය වැදගත් බව මෙහිලා සදහන් කළ යුතුය. මහජනතාවගේ අවශ්‍යතා තේරුම්ගන්නා දේශපාලනයක් රටට අවශ්‍යය. ජනතාවට අවශ්‍ය මෙම ක‍්‍රමය වෙනස් කර නැගී සිටින්නටය. දේශපාලනඥයන්ට ඉහළම තනතුර අවශ්‍ය වී තිබේ. දේශපාලනඥයන් සහ මහජනතාව අතර පවතින පරතරය මෙයින් පෙන්වන කරුණකි.