20/02/2019 - ලංකාදීප
රට වනසන භයානක බලවේග
 

පනස් හයේ පෙරැළියට පදනමක් වූයේ පංච මහා බලවේගයයි. සඟ,වෙද,ගුරු,ගොවි හා කම්කරු යන බලවේගය නිදහස් ශ‍්‍රී ලංකාවේ ගමන් මග තීරණය කරන දැවැන්ත කාර්ය භාරයක නිරත විය. කාලයාගේ ඇවෑමෙන් බලවේග වෙනස් වී තිබේ. මහා සංඝරත්නයට හිමි තැන අභියෝගයට ලක් ව ඇත. වෙදකම යනු වැනල් ව්‍යාපාරයකි. ගුරුවරයෝ දුර්ලභය. ගුරු භූමිකාව ටියුෂන් සමග මිශ‍්‍ර වී තිබේ. ගොවියා ගේ ජීවන අන්දරය ඛේදවාචකයකි. කම්කරුවෝ යනුවෙන් කොටසක් නැත. කෙටියෙන් අර්ථ දක්වන ලද නමුත් මෙම සංකේත බරපතල සමාජ සංකීර්ණතා වලට ගොදුරු වී තිබේ. පරමාර්ථ වෙනස් වී ඇත. පරාර්ථකාමීත්වය වෙනුවට ආත්මාර්ථකාමී ලක්ෂණ මතු වී තිබේ. දියුණුව එය නොවේ. තාක්ෂණ යුගයේ සිදුවූ වර්ධනයක් යැයි දැක්විය නොහැකිය. පැවැත්ම දරුණු පරිහානියකට පත්වීමේ ඛේදවාචකය පෙන්නුම් කරයි. අලූත් පංච මහා භයානක බලවේග රට වෙලා ගෙන තිබේ. දශක හයකට ඇවෑමෙන් ස්වර්ණමය යුගයක සිට පරිහානියක් දක්වා පැවැත්ම කැඳවන්නට සමත් වී ඇති විනාශකාරී බලවේග හදුනාගත යුතුය.

 

භයානක බලවේග පහක් නම් කිරීම

වත්මන් ජන සමාජයේ පැවැත්ම නරක පැත්තට හරවන්නට සමත්ව ඇති භයානක බලවේග ගණනාවක් තිබේ. එයින් පහක් වෙන් කළ හැකිය. නූතන පංච මහා බලවේග ලෙස නම් කිරීම සුදුසුය. සදාචාරයෙන් පොහොසත්, යුක්තිගරුක සමාජයක් බිහිකරන ව්‍යායාමය පරාජය කරන්නට මෙම පස් වැදෑරුම් භයානක බලවේගවලට හැකියාව ලැබී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උසස් ලක්ෂණ මගින් හෝ ස්ථිර ප‍්‍රතිපත්ති වලින් විශාල වෙනස්කම් රට තුළ ඇති කළ හැකිය යන විශ්වාසයක් අපට තිබේ. ක‍්‍රමය වෙනස් කරන ආකාරය ගැන සාකච්ඡා කෙරේ. අවසානයේ දී භයානක බලවේග පහක් එදිනෙදා පැවැත්ම පාලනය කරන්නට සමත්ව ඇත.

භයානක පංච මහා බලවේග වශයෙන් හැඳින්විය හැකි අංශ කවරේද? මත්පැන් හා මත් ද්‍රව්‍ය ජාවාරම එකකි. මිනිස් ජාවාරම අනෙකකි. ක‍්‍රමයෙන් යැපෙන රාජ්‍ය තන්ත‍්‍රය තුන්වැනි බලවේගයයි. පාතාලය හා අන්තවාදය අනෙක් බලවේග දෙක වශයෙන් නම් කළ හැකිය. මෙකී නූතන භයානක බලවේග නම් කිරීමේ දී ඒවායේ අනුපිලිවෙල හෝ ඒවා වෙනුවට අලූතින් එකතු කළ හැකි අංශ කෙරෙහි ප‍්‍රශ්න ඇති බව සැකයක් නැත. එකක් ලෙස වෙන්කර දැක්විය නොහැකි අන්දමට එකිනෙකා හා බැඳී ජාලයක් බවට පත්ව තිබේ. මෙම අංශ රට ආගාධය කරා අවතීර්ණ කරන්නේ කෙසේද යන කාරණය කොටස් වලට වෙන් කර සාකච්ඡා කළ යුතුය. විනාශයක තරම එයින් අවබෝධ කරගත හැකිය.

මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම විශාල විනාශයක් ඇති කර තිබේ. මෑත කාලීන සිද්ධි එය තහවුරු කරයි. ඉතාම දක්ෂ මිනිසුන් විශාල විනාශයක ගොදුරක් වී තිබේ. අවදානම පෙනි පෙනී, දඞුවම ගැන කිසිම අවදානමක් රහිතව මෙකී ජාවාරමට නැඹුරුවීම විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. ජාවාරම්කරුවන්ට ඉතාම පහසුවෙන් බාධක මැඩගෙන ව්‍යාපාර කරගෙන යන්නට පසුබිමක් රට තුළ තිබේ. එකිනෙකා හා බඳුන, එකිනෙකා හා යැපෙන කණ්ඩායම් අතර බේරුම් කරගත නොහැකි තරමේ ගැටුමකින් හැර ව්‍යාපාර වලට බාධාවක් නැත. සාමාන්‍ය පුරවැසියෙකු බේබද්දෙකු වශයෙන් හංවඩු ගැහෙන රටක මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මැති ඇමැතිවරු හා රජයේ නිලධාරීන් හා තද මිත‍්‍රකම් පවත්වති. ආරක්ෂක අංශ සමග සම්බන්ධතා තිබේ. රට වැසියන් ඉහළින් සිතන පුද්ගලයන්ගේ සාද වල අනුග‍්‍රාහකයෝ වී ඇත. නීතිය හා යුක්තිය ගැන ජනතාව විශ්වාසයක් තබන්නේ කෙසේද?

මිනිස් ජාවාරම ක‍්‍රම දෙකකින් සිදුවෙයි. එකක් මුදල් අයකරගෙන බෝට්ටුවලින් වෙනත් රටකට පැටවීමය. ශ‍්‍රී ලංකාව මිනිස් ජාවාරම ගැන කුප‍්‍රකටය. අනෙක කවර ක‍්‍රමයකින් හෝ රට හැරයාමය. එය ද ජාවාරමකි. දියුණු රටකට ගැලපෙන සේ කඩදාසි සකස් කරගනී. වීසා අයැදුම් කරන්නට හේතු සොයා ගැනේ. රටින් පිටත්ව වෙනත් රටක තාවකාලික හෝ ස්ථිර පුරවැසිභාවය ගැනීමෙන් පසු සිංහලයන්ගේ අයිතිය ගැන කතාකිරීම ආරම්භ කරයි. රට ගැන කැක්කුමකින් ක‍්‍රියා කරයි. අතිශය දුඛිත ජීවිත ගත කරමින් මව්බිමේ ජීවත්වන වැසියන්ට වඩා ජාතිකාභිමානයක් ඇති බව පෙන්වයි. රට වෙනුවෙන් වැඩ කරන්නට හැකි ඉතාම දක්ෂ මානව සම්පත රටට අහිමි වී තිබේ. ලංකාවේ දී විවිධ ක්ෂේත‍්‍රවල ඉහළින් සිටි පුද්ගලයෝ රටින් බැහැරය. ලෝකයේ වෙනත් රටක් දියුණු කරන්නට කැප වෙති. කන්ටේනරයක හිරවී, බෝට්ටුවලින් දේශ සීමා වලින් පැන යවන ජාවාරම හා කැමැත්තෙන්ම රට හැර යන පිරිස ද රටට භයානක අනාගතයක් ඉතිරි කර තිබේ.

 

අක‍්‍රමිකතා වලට මුල පවතින ක‍්‍රමයයි

පවතින ක‍්‍රමයෙන් යැපෙන මැති ඇමැතිවරු සහ නිලධාරීහු රටට බරපතල විනාශයකි. එය මතු පිටින් පෙනෙන්නේ නැත. දූෂණ හා වංචා එක කොටසකි. වැඩ කරන්නට නොදෙන, ඒකාධිකාරය හදන, අවහිර කරන සහ තමන්ට කැමැති අයට පමණක් ඉඩ දෙන රාජ්‍ය යාන්ත‍්‍රණය අපරාධයකි. ඉතිහාසය පුරා සිදුවූ සිද්ධි අදටත් සිදුවෙයි. පුරවැසියන්ට සමාන, සාධාරණ අවස්ථා ජනතාව ආණ්ඩුවකින් අපේක්ෂා කරයි. ජනතාව ඉල්ලන දේ පවතින ක‍්‍රමයෙන් ලැබෙන්නේ නැත. දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා තමන්ගේ බලතල වලට යටත් කරගෙන තිබේ. දේශපාලනඥයෝ හා නිලධාරීහු දුෂිතය. අකටයුතුකම් වල නිතරය. අකාර්යක්ෂම හා අදූරදර්ශීය. රටට වෙනත් හානියක් අවශ්‍ය නැති තරමට එය දරුණු බව අවබෝධ කරගත යුතුය. අලූතින් හිතන, අලූතින් යමක් කරන්නට වෑයම් කරන පුරවැසියන්ට ඉඩක් නැති සමාජ ක‍්‍රමයකින් රට දියුණු කරගත හැකිද? ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය මගින් බිහිකරන දූෂිත හා අක‍්‍රමිතකා තත්ත්වය ගැන ජාත්‍යන්තරයේ ප‍්‍රකටය. සංවර්ධන ව්‍යාපෘති වලින් අති විශාල නාස්තියක් සිදුවෙයි. දූෂණ හා අක‍්‍රමිකතා නැති කරන අරමුණ සහිත බලවේග වශයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහයක් තිබේ. ඒවායේ කටයුතු ද විනිවිද පෙනෙන ස්වභාවයක නැත.

සන්නද්ධ පාතාලය පංච මහා භයානක බලවේගයේ තීරණාත්මක එකකි. පාතාල නායකයන්ගේ ජීවිත කතාව විචිත‍්‍රය. අයුක්තිය හා අසාධාරණය මැඩගෙන නැගී තිබේ. ආරක්ෂක හා දේශපාලන අංශ සමග මැනවින් සබඳතා ඇත. පාතාලයේ අපරාධකරුවන්ට දේශපාලනඥයන් යනු මාලූවන්ට වතුර මෙනි. කල්ලි නඩත්තු කරමින් සන්නද්ධව හැසිරෙන අපරාධකරුවන් සංවිධානාත්මකය. නූතන තාක්ෂණික යුගයේ පාතාලය මැඩ පැවැත්වීම අපහසු නැත. එහෙත් බලය සඳහා පාතාලය අවශ්‍යය. සෑම මැතිවරණයක් පාසා පාතාලය අවස්ථා හදා ගනී. බලයේ සිටින ඕනෑම පක්ෂයකට සම්බන්ධතා තිබේ. එය ජනතාවට රහසක් නොවේ.

අවසාන වශයෙන් අන්තවාදය ප‍්‍රබල කාරණයකි. ජාතිය, ආගම, ආර්ථිකය හෝ ජාත්‍යන්තර සම්බන්ධතා ආදී වශයෙන් ඕනෑම ක්ෂේත‍්‍රයක මධ්‍යස්ථ භාවය තිබිය යුතුය. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට සාමය හා සංහිඳියාව හැර අනෙක් මගක් නැත. මධ්‍යස්ථභාවය වැදගත්ය. නමුත් අන්තවාදය නඩත්තු වන ආකාරයක් පෙනේ. ජාතික හෝ ආගමික වශයෙන් අන්තවාදය තුළින් ක‍්‍රමය හසුරුවන අවස්ථා ඇත. අන්තවාදය ඇති කරන්නේ ද දේශපාලනඥයන්ය. ආණ්ඩු ඒවාට වක‍්‍රව ඉඩ ලබා දෙයි. ජාතික වාදය ප‍්‍රශ්නයක් නොවේ. රටට ජාතිකවාදයක් නැත. ජාතිකවාදය රට එකමුතු කරන එක අරමුණකට ගොනු කළ හැකි දර්ශනයකි. නමුත් ජාතිවාදය තිබේ. එයින් සමාජය බෙදා වෙන්කර ඇත. අනෙකා කෙරෙහි සැකය හෝ අවිශ්වාසය වැඩි කරන හේතුවකි. අන්තවාදී දහස් වලින් ජයගත් රටවල් ලෝකයේ නැත.

 

එකට සම්බන්ධ වන ධනය හා බලය

ධනය හා බලය මත පංච මහා භයානක බලවේග වල නැඹුරුවක් තිබේ. බලවේග එකතු වෙන්නේ ධනය හා බලය සඳහාය. රටේ කොතැනකින් හෝ ධනය කොල්ලකන තැනක බලය සම්බන්ධය. බලය ඇති පාර්ශව වලින් අති බහුතරයකට පංච මහා භයානක තත්ත්වයන් හා නොනිල සම්බන්ධයක් ඇත.

ඡන්දය මෙහෙයවන යාන්ත‍්‍රණයක් ආණ්ඩුවේ ඇති නමුත් ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ට ධනය හා බලය සහිත පංච මහා භයානක බලවේගය අවශ්‍යය. මෑත කාලීන ඡන්ද ව්‍යාපාර වල පොදු ලක්ෂණයකි. මත් පැන් මත්ද්‍රව්‍ය වලින් උපයන ධනය නැති ඡන්ද ව්‍යාපාර නැත. ඒවායේ පාතාල නායකයෝ සිටිති. පාතාලයට ගෙවන්නේ මත් ද්‍රව්‍ය කලූ සල්ලිය. මිනිස් ජාවාරම් කරන්නෝ ද, ඡන්දයෙන් පසු ක‍්‍රමයක් හදා ගෙන රට පනින්නට හදන පිරිස ද සිටිති. ඒවා කරගෙන යන පිරිස ඡන්ද ව්‍යාපාර වලට ධනය යොදවයි. ප‍්‍රචාරක කටයුතු වල සිට කෑම සපයන්නාට ද ගෙවන්නේ මෙම අපිරිසිදු මුදල්ය. විශාල ධනයක් රහිතව ඡන්දයක් කරන්නට හැකියාවක් නැත. රාජ්‍ය තන්ත‍්‍රයේ බලය ද එයට එකතු වෙයි. ධනය කොල්ල කෑමට ඇති අවස්ථා නිලධාරීහු දනී. බලයට එන්නට කලින් ඒවා අවස්ථා වශයෙන් පෙන්වයි. ඡන්දයෙන් පසු පවුලේ සාමාජිකයෝ හා මිතුරු කැළ ආයතන බෙදා ගනී. නිලධාරීහු හෝ දේශපාලනඥයෝ හැම දෙනෙකුම වරදකරුවෝ කළ නොහැක. රාජ්‍ය සේවයට බැඳෙන නිලධාරීහු ගෞරවණීය අදහසකින් රැකියාවට එති. සියළු දේශපාලනඥයෝ දූෂිතයැයි කිව නොහැකිය. බලයට එන්නේ අවංක, යහපත් අදහස් සහිතවය. අවසානයේ වැඩි සියළුම දෙනාම පාහේ එක රැළක කොටස් කරුවෝ බවට පත් වෙති. යහපත් අය නැතිවා නොවේ. ඔවුන්ට මතු වෙන්නට ඉඩක් දෙන්නේ නැත. එහෙයින් අලූත් අදහස් ඇති යහපත් පිරිස ක‍්‍රමයට එකතු නොවේ. අභාග්‍යය එයයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය භංග වී ඇති අන්දම බරපතල ඛේදවාචකයකි. රජයට අයත් ධනය පොදු මහ ජනතාවගේ වස්තුවයි. ඒවා ආරක්ෂා කර වර්ධනය කිරීම මැති ඇමැති හා නිලධාරීන්ගේ වගකීමකි. සමහර රාජ්‍ය නිලධාරීන් සමග එකතු වී ඇති මැති ඇමැතිවරු ඒවා විනාශ කර ඇති අන්දම පුදුම සහගතය.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන කරුණු ජනතාවට රහසක් නොවේ. ශ‍්‍රී ලංකාවේ පැවැත්ම ජරා ජීර්ණ වී ඇති බව ඔවුහු දනිති. වෙනසක් කරන බව ඉදුරා ප‍්‍රකාශ කර බලයට පත්වන දේශපාලනඥයෝ අන්තිමේ දී පංච මහා භයානක බලවේග වල කොටස්කරුවෝ වෙති. සමහර විට එය දැනෙන කරන අතර තවත් සමහර අවස්ථාවක එය නොදැන ඇති කරගන්නා විලංගුවකි. මනාප ක‍්‍රමය, දිස්ත‍්‍රික්කයකට තරග කරන්නට සිදුවන මැතිවරණය හා ජයග‍්‍රහණය කරන්නට ආයෝජනය කළ යුතු මුදල තක්සේරු කරන කිසිවෙකුට මෙකී බලවේග වලින් ගැලවීමක් නැත. බලය අල්ලාගැනීමට අවශ්‍ය කරන මෙම පංච මහා භයානක බලවේග එයින් පසුව බලය පවත්වාගෙන යන්නට නඩත්තු කෙරේ. ඡන්ද දායකයන්ට හමුවිය නොහැකි මැති ඇමැතිවරු පාතාල නායකයන්ට අවනත වන අවස්ථා බහුලය. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දේශපාලනය හා සම්බන්ධය. මේවා කෙලවරක් දකින්නේ කෙසේද?

 

බිංදුවෙන් නැවත පටන් ගැනීම

අලූත් සමාජයක් ගොඩ නැගීම සඳහා බිංදුවෙන් ආරම්භ කිරීම හැර අන් මගක් නැත. ඉහල සිය පහලට ගලාගෙන එන සංවර්ධනයේ ප‍්‍රතිලාභ අතරමග දී කොල්ලකන මෙම භයානක පස් වැදෑරුම් අංශ වලින් රට තුළ දුප්පත්කම වැඩිවී තිබේ. අපනයනය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහ තුනක මටට්මේ ඇති රටක ප‍්‍රමාණයට වඩා ධනයක් සමාජයේ එක්තරා කොටසක් අත පවතී. මහ පාරේ ඇති වාහන වල තරම පෙන්වන්නේ එයයි. උපයාගත් ආකාරය පෙන්විය නොහැකි ධනයෙන් තැනූ විශාල මාලිගා අභ්‍යන්තරය හුවා දක්වයි. ජනතාවගේ දුෂ්කරතා ඉහළ ගොස් ඇත. අසාධාරණ අවස්ථා ගැන ජනතාවට දැනෙන්නේ නැති තැනට පත්ව ඇත. සාමාන්‍ය පුරවැසියෝ අසරණ, හඞක් නැති පිරිසක් බවට පත්වීම අභාග්‍යයකි. දේශපාලන නායකයෝ මේවා නොදන්නවා නොවේ. මෙම අයුක්තිය වෙනස්කරන බවට පොරොන්දු දී බලයට පත්වෙති. බලයට පත් වීම හා එය පවත්වාගෙන යාම විශාල භායානක පසුබිමකය. ක‍්‍රමයට කොටුවන දේශපාලකයෝ ආපසු හැරෙන්නේ නැත.

ලෝක ඉතිහාසය තුළ මෙවැනි සහයෝගීතා අලූත් දේවල් නොවේ. මහා දුෂිත බලවේග හා ක‍්‍රමය වෙනස් කරන්නට ඉඩ නොදෙන තද නිලධාරී පාලන ලෝකයේ කොතැනත් තිබී ඇත. හොඳින් හෝ නරකින් පවතින ක‍්‍රමය සම්පූර්ණයෙන්ම වනසා අලූතින් එකක් බිහිකරන්නට මෙකී තත්ත්වය හදුනාගත් ඇතැම් නායකයෝ කල්පනා කළහ. ජනතාවට තේරුම් කර දී ජනතාව සමග එකතු වී පැවැත්ම වෙනස් කරන්නට සමත් වූ නායකයෝ රටවල් ගොඩ නැගූහ. විනාශ වූ රටවල් නැවත ගොඩගැනීමට බිංදුවෙන් පටන් ගන්නට තැත් කළ අවස්ථා ද තිබේ. කැමරුජ් ගරිල්ලා ව්‍යාපාරය පවතින සමාජ ව්‍යුහය විනාශ කර අලූතින් ආරම්භ කිරීමට උත්සාහ කළේය. ලෝකය අනුමත කළේ නැත. ප‍්‍රංශ විප්ලවයේ දී බිංදුවෙන් ආරම්භ කිරීමට සූදානම් විය. චීනයේ හිටපු නායක මාවෝ සේතුං සංස්කෘතික විප්ලවයකින් එය කරන්නට වෑයම් කළේය. ඒවා නොගැලපෙන හෙයින් අසාර්ථක විය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අලූත් මාවතක් තෝරා ගත යුතුය. අනර්ථකාමී වැඩ පිලිවෙල නුසුදුසුය.

පංච මහා භයානක බලවේග වලින් රටට කරන හානිය දේශපාලන පක්ෂ සංවාදයට ලක් කළ යුතුය. මැරකම, දුෂණය හෝ අයුක්තිය අරභයා මෙකී අංශ පෙලගැසෙන ආකාරය මැනවින් වටහා ගැනීම වැදගත්ය. පවතින ක‍්‍රමය වසා ගෙන ඇති අන්ධකාර බලවේග මොනවාදැයි විමර්ෂණය කළ යුතුය. ජනතාව යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටින ස්ථාන තිබේ. ආගමික ස්ථානය, අධිකරණය හෝ ජනමාධ්‍ය ඒ අතර ඇත. එකී අංශ වලට පවා නරක කාන්දු වී තිබේ. ජනතාවගේ සාධාරණ අභිමතාර්ථ සාක්ෂාත් කරන්නට අසමත් වී ඇත. ඉහල සිට පහලටම නරක් වී ඇති දේහය අලූත් කරන්නට නම් නිර්භීත ආත්ම ශක්තිය ඇති නායකත්ව බිහිකරගත යුතුය. දේශපාලනයේ පමණක් නොව සෑම ක්ෂේත‍්‍රයකම අලූතින් හිතන, අලූත් අදහස් ඇති නායකයන්ගෙන් සමන්විත විය යුතුය. යල්පැන ගිය හා ජරා ජීර්ණ ක‍්‍රමය වසාගෙන ඇති පංච මහා භයානක බලවේග වලින් ගැලවී ක‍්‍රියා කළ හැකි පුද්ගලයෝ නායකත්ව අයිතිය භාරගත යුතුව තිබේ. පංච මහා භයානක අංශවල රූකඩ බවට පත්වන දේශපාලනයක් රටට අවශ්‍ය නැත. දේශපාලකයන්, නිලධාරීන් හෝ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් පලක් රහිතය. ක‍්‍රමය පීරා පිරිසිදු කරන බිංදුවෙන් ආරම්භ කරන ගමන ප‍්‍රමාද කළ යුතු නැත. එවැනි ක‍්‍රමානුකූල අවශ්‍යතාවයක් තුළින් පොදු ජන සමාජය පිලිගත් අලූත් ව්‍යුහයක් හැදිය හැකිය.