19/09/2023 - ලංකාදීප
සංවර්ධනයේදී ජනතාව මූණදෙන ගැටළු
 

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. ආදායම පිරිහී ඇති අතර විනිමය හිගය විදේශ වෙළද කටයුතු අඩාල කර තිබේ. දේශීය හා විදේශීය ණය අර්බුදය කලමණාකරනය කිරීම සදහා විශේෂිත ක‍්‍රම අනුගමනය කරමින් සිටී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොදු ජනතාවගේ පැවැත්ම දුෂ්කර අතට හැරී ඇත. අතට ලැබෙන ආදායම එදිනෙදා වියදමට නොසෑහෙන ස්වභාවයක් නිර්මාණය වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දිනපතා ඉහළ යන අතර වෙළද පොල කි‍්‍රයාකාරකම් පාලනය කිරීමට ගන්නා උත්සාහය අනිටු ප‍්‍රතිඵල ඇති කර තිබේ. ආහාර, ඖෂධ, බලශක්ති පිරිවැය ඉහළ නැගීම ගැන කම්පාවට පත්ව ඇති ජනතාව, පීඩාකාරී ක‍්‍රමය වෙනස් කරන ලෙස බලකරමින් සිටී. ආර්ථික අර්බුදයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් උද්ගත වූ මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැදිහත්වී සිටින අතර ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා තීරණ හේතුවෙන් ජනතාව තවදුරටත් අසීරු තැනකට පත්වෙමින් සිටින බව සදහන් කළ යුතුය.

ආර්ථිකය ස්ථාවර කරන්නට ගන්නා කි‍්‍රියාමාර්ග හමුවේ, දුප්පත් ජන කොටස වඩාත් පීඩාවක පසුවන අතර මැදි ආදායම් මට්ටමේ ජන කොටස දුප්පත් භාවයට පත්ව තිබේ. නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල සිටින විශාල පිරිසක් නිවාස ඉදිකිරීමට ගත් ණය, සහ අධ්‍යාපන කටයුතු සදහා කරන වියදම සමග ජීවිත්වීමේ අරගලයක පසුවන ඔවුහු දේශපාලනඥයන් කෙරෙහි අප‍්‍රසාදයකින් පසුවෙති. ආර්ථිකය දියුණු කිරීම අරමුණු කරගෙන තීරණ ගත යුතුව තිබේ. දුප්පත් ජන කොටස්වලට සහන ලබාදිය යුතුවේ. අස්වැසුම නමින් ආධාර ක‍්‍රමයක් හදුන්වා දී ඇති නමුත් එම ආධාර නොලැබෙන, පිලිසරණක් නැති පිරිස වෙත ආර්ථික වර්ධනයක් තුළින් පරිවර්තනයකට ඉඩ සලසා දිය යුතුය.

දුෂ්කර කාල පරිච්ඡේදය අවසන් වන දිනයක්

ජීවත්වීම සදහා කරන අරගලය වගකිවයුතු අංශවල සැලකිය යුතු අවධානට ලක්විය යුතු කරුණකි. ආර්ථිකය ස්ථාවර කිරීම සදහා සෑහෙන කැපවීමක් කර තිබේ. මෙම කැපවීම කෙළවර දියුණුව ලගාකර ගත හැකිනම් ප‍්‍රශ්නයක් නැත. යහපත් දිසාවකට ගමන් කිරීම ආරම්භ වුවහොත් අපේක්ෂා මල්පල ගැන්වේ. පසුගිය දශක ගණනාව තුළ ජනතාව සෑහෙන කැපකිරීම් කර තිබේ. ආර්ථිකය ස්ථාවර කර වර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවිය. මෑත කාලය තුළ මුහුණ දුන් සිද්ධි සහ ඒවාට මුහුණදිමේ දී අනුගමනය කළ ප‍්‍රතිපත්තිවල දෝෂ අද පවතින අස්ථාවර ආර්ථිකය බිහි කළේය. එකිනෙකාට දොස් පැවරීම, චෝදනා කිරීම උත්තරය නොවේ. අභියෝග මැඩ, වර්ධනයක් කරා ගමන් කිරීමට ගත යුතු පියවර ගණනාවකි. ස්ථාවර කළ ආර්ථිකය තුළ ඇති කළ යුතු ප‍්‍රතිසංස්කරණ එයින් ප‍්‍රධානය. වෙනස්කම් සදහා ප‍්‍රතිපත්ති තීරණ ගතයුතුව තිබේ. ඊළග මැතිවරණයේ ප‍්‍රතිඵලය වෙනුවෙන් ජනප‍්‍රිය භාවය තකා ක‍්‍රියාකළහොත් නැවත පුරුදු චක‍්‍රයට ගොදුරුවීම වැලැක්විය නොහැක.

මුල්‍ය අරමුදලේ යෝජනා අනුව ආර්ථිකය ස්ථාවර කරන පියවර සමග ප‍්‍රතිසංස්කරණ ඔස්සේ ආදායම නංවන සැලැස්මක් අවශ්‍යය. ජාත්‍යන්තරයේ පවතින නවීන, තරගකාරී ආර්ථික ක‍්‍රමවේද සලකා බැලිය යුතු අතර යල්පැනගිය ක‍්‍රම බැහැර කළ යුතුවේ. සටන්පාඨ දේශපාලනයෙන් රටටත් ජනතාවටත් අමතක නොවන අත්දැකීම් ලැබී ඇත. ක‍්‍රමය වෙනස් කිරීම වෙනුවට මුහුණු වෙනස් කරන තීන්දුවලින් අනාගතය සාක්ෂාත් කරන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට අසූවක ප‍්‍රතිශතයක් රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් සදහා වැය කෙරේ. සියයට හැත්තෑවක පමණ ප‍්‍රතිශතයක් ණය පොලිය වෙනුවෙන් ගෙවන්නට සිදුවී ඇත. මෙම අංශ දෙක පමණක් සලකා බැලීමේ දී පවා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ පා ඇති ඉරණම පැහැදිලිය. ජාතික ආදායම නොසලකා දිගින් දිගටම අනුගමනය කළ ප‍්‍රතිපත්ති අද උද්ගතව ඇති තත්ත්වයට හේතු වී ඇත. ස්ථාවර කරන ලද ආර්ථිකයට ප‍්‍රතිසංස්කරණ හදුන්වා දිය යුතු අතර සාර්ථකව ක‍්‍රියාවට නංවන්නට නොහැකි වූ අංශයකි. දැනට පවතින රාමුව තුළ යැපෙන, වෙනස්කම්වලින් පසු තමන්ගේ පැවැත්මට තර්ජනයක් වනු ඇතැයි කල්පනා කරන සුළු පිරිස විෂම චක‍්‍රය බිදින්නට ඉඩ දෙන්නේ නැත. අසීරු තීරණ ගතහොත් සමස්ථ රටවැසියන්ටම ප‍්‍රතිලාභ අත්වේ. පටු ආකල්ප සහිත දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති හා සේවක පිරිස් ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජය තුළ භීතියක් ඇති කර තිබේ. අනවශ්‍ය බය සමාජයට ඇති කරන මිත්‍යා මත විසුරුවන මාධ්‍ය පවා මෙහි දී වහල් කරගෙන ඇත. අර්බුදයෙන් ගැලවීම ස`දහා උපකාරී වියහැකි අංශ ගැන සමාලෝචනය කර, සත්‍ය තොරතුරු අනාවරණය කිරීම බුද්ධිමතුන් සතු වගකීමකි.

වියදම ආවරණය කරන ප‍්‍රතිපත්තියක බර

වියදම පාලනය කිරීමේ පියවරක් වශයෙන්, රාජ්‍ය ව්‍යවසාය පිරිවැය ආවරණය කරන ගාස්තු වියදම ක‍්‍රමයකට හරවා ඇත. ඛනිජ තෙල්, විදුලිය, ජලය, ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් වරින්වර සංශෝධනය කරන අතර මෙම ව්‍යවසායවල අකාර්යක්ෂමතාව, කළමණාකරන දුර්වලතා, දුෂණ හා නාස්තිය වැනි සියළු බර පාරිභෝගිකයන්ට පවරා ඇත. විදුලිය ඒකකයක් නිපදවන්නට වැයවන මිල සලකා ගාස්තු අය කිරීම හෝ ඉන්ධන ගෙන්වන්නට දරණ පිරිවැය සලකා ගාස්තු නියම කිරීම තුළ පාරිභෝගිකයන්ට සිදුවන අවාසිය නොසලකා හැරීම සුදුසු තත්ත්වයක් නොවේ. නවීන තාක්ෂණය හා නවතම උත්පාදන ක‍්‍රම භාවිතාකරන ජගත් ප‍්‍රජාව බලශක්තිය සදහා වියදම අවම කරන ක‍්‍රම භාවිතාකරයි.

ඉන්දියාවේ විදුලිය ඒකකයක මිල ශ‍්‍රී ලංකාවට වඩා තුනෙන් දෙකක් අඩුය. දුරකතන දත්ත සදහා ගාස්තු අඩුම රටවල් අතින් එකක් බවට ඉන්දියාව පත්ව ඇත. ඛනිජ තෙල්, ගෑස් අඩුමිලට ලබාදීම අරමුණු කරගෙන අලූත් ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කර ඇත. බලශක්ති පිරිවැය අඩුවන විට සමාජයට ප‍්‍රතිලාභ අත්වේ. පොදු ප‍්‍රවාහනයේ දී අඩුම ගාස්තු අය කෙරේ. බස් රථවල කාන්තාවන්ට ගාස්තු අය කරන්නේ නැත. රජය ව්‍යාපාර මෙහෙයයැවීමෙන් ඉවත් වී ඇති අතර ප‍්‍රධාන ආර්ථික මර්මස්ථාන පවා පුද්ගලික අංශයට පවරා ඇත. මෙවැනි තීරණ ගත හැකි පරිදි ඉන්දියාව ආර්ථික ප‍්‍රතිසංස්කරණ තීරණ ගැනීමෙන් පසු එරට සංවර්ධන වේගය ඒවායේ වැදගත්කම හුවා දක්වයි.

රාජ්‍ය ආයතන ආරක්ෂා කරගෙන, ඒවායේ දුබලතා වෙනුවෙන් වන්දිගෙන, ශ‍්‍රී ලංකාවේ ජනතාව ලෝකයේ අනෙක් රටවල සිදුවන තරගකාරී ක‍්‍රමවේද අධ්‍යයනය කළ යුතුය. ඇතැම් දේශපාලනඥයන් සහ විරුද්ධ පක්ෂ රජයට අයත් ආයතන ජාතික සම්පත් බව හදුන්වමින් සිටී. ඒවායේ දුබලතා ආර්ථිකයට කරන හානිය හා ජනතාවට එල්ල කරන පීඩනය අධ්‍යයනය කළ යුතුව තිබේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අංශයේ අත්පත් කරගෙන ඇති දියුණුව සලකා බැලීම සුදුසුය. මෙහි දෙවැනි පියවරක් සදහා තීරණ ගැනීමෙන් පස්වැනි පරම්පරාවේ වේගවත් දත්ත සම්පේ‍්‍රශණය සහිත නවීනතම පහසුකම් පාරිභෝගිකයන්ට අත්පත් කරගත හැක. පවතින රාමුව වෙනස් කරන්නට කැමැති නැති, එම ක‍්‍රමයේ ගැලී එයින් වාසි ලබන සුළු පිරිසක් රටට බරපතල අනර්ථයක් සිදුකරන බව තේරුම්ගත යුතුය. ආර්ථිකය ස්ථායී කිරීමෙන් පසු ප‍්‍රතිසංස්කරණ පියවර මගින් අලූත් ව්‍යුහයක් නිර්මාණය කරගත යුතුව තිබේ.

ආයෝජන ප‍්‍රමාණවත්ව නොලැබෙන්නට හේතුව

ආදායම වර්ධනය කරගෙන ආර්ථිකය වේගවත් කිරීම සදහා ආයෝජන අවශ්‍යය. කර්මාන්ත හා ව්‍යාපාර බහුල කළ යුතු අතර නිෂ්පාදන අපනයනය කරන සැලැස්මක් රටට අවශ්‍යය. දේශීය හෝ විදේශීය ව්‍යවසායකයන්ට අලූත් ආයෝජන සදහා ඉඩකඩ උවමනා කෙරේ. එමගින් රැකියා අවස්ථා ඇතිවේ. රජයේ බදු ආදායම වැඩිකරගත හැක. අලූත් තාක්ෂණය රටට ලැබේ. දැනට පවතින සංකීර්ණ බදු ක‍්‍රම, නිලධාරීවාදය හා ආයතන අතර අන්තර් සම්බන්ධතා රහිතභාවය ආයෝජන හිතකර තත්ත්වයක් නොවේ. ව්‍යාපාරවලට විශාල බදු පනවා ඇත. ඒවායේ සේවය කරන කළමණාකරුවන්ට උපයනවිට ගෙවන බදුවැඩි කර ඇති අතර, ආවරණය කරගැනීම සදහා අධික වැටුප් ගෙවිමට සිදුවේ. දක්ෂ පිරිස් මෙම ගැහැට ඉවැසිය නොහැකිව වෙනත් රටවල අවස්ථා සදහා පිටත්ව යති. විදුලිය, ඛනිජ තෙල් හා ජල ගාස්තු අනුව කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා අංශවලට වියදම ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති ප‍්‍රශ්න වෙනස් ආකාරයකින් ව්‍යාපාර හා කර්මාන්තවලට බලපා ඇත. ආයෝජනය කිරීම වෙනුවට බැංකුවක මුදල් තැන්පත්කර පොලිය ලබාගැනීමට හැකියාවක් ඇත. වෙනත් රටවල අඩු පිරිවැයකින් කර්මාන්ත ඇරඹිය හැකි අතර බංගලාදේශය සහ වියට්නාමය එයට උදාහරණයකි. පසුගිය වසරේ බංගලාදේශයේ ඇගළුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පනහකි. ශ‍්‍රී ලාංකිකයන් ගණනාවක් එහි ඇගළුම් කම්හල් පවත්වාගෙන යයි. ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කළ නොහැකි නමුත් බංගලාදේශයට ව්‍යාපාර ගෙනයෑම පිලිබදව සොයා බැලිය යුතුය.

ආයෝජනවලින් අලූත් රැකියා අවස්ථා ලැබේ. සමාජයේ ස්ථාවරභාවය ඇතිවේ. ශ‍්‍රී ලංකාව කුඩා වෙළද පොලක් හෙයින් ආයෝජකයන්ගේ අවධානය අඩුය. අන්තර් ජාතික සබදතා හා වෙළද ගිවිසුම් අනුව මෙරට කර්මාන්තවල නිෂ්පාදන අපනයනය කළ හැකි පරිදි තර`ගකාරී ව්‍යවසායකත්වයකට ඉඩ දිය යුතුය.

ශ‍්‍රී ලංකාව තවමත් කුඩා ආර්ථිකටකට සීමා වී තිබේ. මැද පෙරදිග රටවල ඇතුළු විදේශ රටවල සේවය කිරීම අපනයන ආදායම උත්පාදනය වන ප‍්‍රධානතම අංශය බවට පත්ව ඇත. විදේශගත ශ‍්‍රමිකයන් රටට එවන මුදල ඇමරිකානු ඩොලර් බිලියන හයක් පමණ වේ. ඇගළුම් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ උපයන නමුත් එයින් ඩොලර් බිලියන තුනක් පමණ අවශ්‍ය උපකරණ හා රෙදි ආනයනයට වැයවේ. තේ කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන දෙකකි. පසුගිය වසරේ සිට තොරතුරු තාක්ෂණ අංශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ ලැබේ. සංචාරක අංශයේ ආදායම ස්ථිර නැත. මෙම විදේශ ආදායමෙන් පමණක් රටක් ඉදිරියට ගෙන යන්නට හැකියාවක් නැත. ආනයන නතරකර විදේශ ණය ගෙවීම පවා අත්හිටුවන්නට සිදුවීම මෙහි ප‍්‍රතිඵලයකි.

නිෂ්පාදන ආර්ථිකයකින් උත්තර සොයාගැනීම

දැනට අනුගමනය කරන ප‍්‍රතිපත්ති අනුව ආර්ථිකය කුඩා කර පාලනය කරමින් සිටී. ආනයනය සීමා කරන අතර අධික බදු නියම කර තිබේ. මෙහි දී මහජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී ඇත. ආර්ථිකය කුඩා කරන ප‍්‍රතිපත්තියකින් රටක් සංවර්ධනය කළ නොහැක. ආර්ථිකය ප‍්‍රසාරණය කරන අතර වැඩි දෙනෙකුට සහභාගීවිය හැකි සක‍්‍රීය ස්ථානයක් බවට පත් කළ යුතුවේ. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවල පරිවර්තනයක් සිදුවිය යුතුය. මෙවැනි වෙනස්කම් ඉලක්ක කරගත් සංකීර්ණ යෝජනා සදහා වහාම පියවර ගත යුතුව ඇත. එම තීරණ ගැනීම පහසු නැත. පවතින ක‍්‍රමයෙන් යැපෙන පිරිස් විරුද්ධවන අතර පටු අදහස් ඇති දේශපාලන කණ්ඩායම් පවා වෙනස්කම් ඇති කරන්නට ඉඩ දෙන්නේ නැත. ආර්ථිකය ප‍්‍රසාරණය කරන ප‍්‍රතිසංස්කරණ තිබිය දී මහජනතාව මත බර පටවන ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි අතර ජනතාවට ඔවුන්ගේ ප‍්‍රශ්න උහුලන්නට නොහැකි මොහොතක් උදාවන බව අමතක කළ යුතු නැත.

ආර්ථිකය ස්ථාවර කර ප‍්‍රතිසංස්කරණ සදහා තීරණ ගැනීමේ දී ක‍්‍රම දෙකක් අනුගමනය කළ හැක. ඉක්මනින් තීරණ ගෙන වහාම ක‍්‍රියාත්මකවුවහොත් ආර්ථික වර්ධනය ඉක්මන්ය. මෙහි දී ආණ්ඩුවට පමණක් නොව ජනතාවට ද තරමක පිඩනයක් දැනෙන නමුත් එය කෙටිකාලයකට පමණකි. අනෙක් ක‍්‍රමය අනුව වහාම තීරණ නොගෙන පියවරෙන් පියවර ඉදිරියට යා හැකිවේ. ඉන්ධන මිල වාර කිහිපයකින් සංශෝධනය වේ. විදුලිය ගාස්තු හෝ පොලී අනුපාත සංශෝධන එකවර කරන්නේ නැත. මෙහි දී ජනතාවට පීඩනය ක‍්‍රමානුකූලව දැනෙන බැවින් ඉවසන්නට හුරුවේ. නමුත් මෙහි භයානක පැත්තක් ඇත. අවශ්‍ය කරන සංවර්ධන වේගය ලබාගෙන ආර්ථිකය සක‍්‍රියවීම සදහා දීර්ඝ කාලයක් ගතවේ. එහි දී පොදු ජනතාවට සෑහෙන කාලයක් පවතින දුෂ්කරතා උහුලන්නට සිදුවනු ඇත. මෙම කාලය තුළ දේශපාලන වෙනස්කම් සිදුවුවහොත් නැවතත් ගමන මුල සිට ආරම්භ කරන්නට සිදුවීම තවත් අනතුරකි. අලූතින් බලයට පත්වන පක්ෂය නැවතත් අත්හදා බැලීම් කරන අතර පැරණි පාඩම් නැවත නැවතත් ඉගෙනගන්නා ජනතාව තවත් වටයකින් දුප්පත්භාවයට පත්වෙනු නිසැකය.

රටට අවශ්‍ය නවීන යුගයට ගැලපෙන ලෝක වෙළද පොලට ප‍්‍රවේශ විය හැකි නිෂ්පාදන ආර්ථිකයකි. අලූතින් කර්මාන්ත හා සේවා බහුල කළ යුතුය. අපනයනය අරමුණු කරගෙන තරගකාරීව කි‍්‍රයාකළ යුතු අතර එයට අවශ්‍ය පහසුකම් සැපයීම ආණ්ඩුවක වගකීමකි. කර්මාන්ත හා ව්‍යාපාර සදහා සහන වෙනුවට ලෝකයේ අනෙක් රටවල පවතින රාමුව අනුව පසුබිම සකස් කිරීම ප‍්‍රමාණවත්ය. පිරිවැය අඩු තාක්ෂණික ක‍්‍රම සදහා අවස්ථා ඇති කළ යුතුවේ. රට තුළ ප‍්‍රමාණාත්මකව යටිතල පහසුකම් පවතී. වැඩ කරන්නට දක්ෂ මානව සම්පතක් ඇත. තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය වේගවත් කරන්නට ආණ්ඩුව පියවර ගත යුතු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කරගැනීම සුදුසුය. ඊළග ඡන්දයෙන් බලයට පත්ව තමන්ගේ න්‍යාය අනුව රට සංවර්ධනය කරන තෙක් අවහිර කරන තීරණ කිරීම වරදකි. ආණ්ඩුවේ හා විපක්ෂ දේශපාලන කන්ඩායම්වල බල අරගලය හේතු කොටගෙන විපතට පත්ව ඇති ජනතාව දෙස අවධානය යොමු කළ යුතුවේ. විවෘත ආර්ථිකය හා තරගකාරී නිෂ්පාදන ක‍්‍රමවේද ගැන මෙරට දේශපාලන පක්ෂ වෙනස් මතයක් දරන්නේ නැත. තමන්ට ජනවරම එන තෙක් අනාගතය අවහිර කිරීම වෙනුවට ජනවරම ලබාගැනීම අරමුණු කරගෙන හොද ජීවන මටට්මක් සහිත ජන සමාජයක් බිහිකිරීමට එක්සත්වීම මෙම තීරණාත්මක අවස්ථාවේ දී වැදගත්ය.