19/09/2022 - ලංකාදීප
තරගකාරී ආර්ථිකයක් අවශ්‍ය ඇයි?

ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත විශේෂ ආරාධිතයෙකු කර්තෘ මණ්ඩලයට කැදවා සාකච්ඡා කරන සම්ප‍්‍රදායක් අනුගමනය කරයි. ඉන්දියාවේ, ශ‍්‍රී ලංකා මහ කාමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ‘Idea Exchange' විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් රට දැනට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය ජයගැනීම අරමුණු කරගෙන ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ඒකාබද්ධ ක‍්‍රියාකාරී සැලැස්මක් යෝජනා කළ අතර පසුගිය කාලයේ පැවැති තත්ත්වය, අතීතයෙන් ඉගෙනගත යුතු පාඩම් සහ ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති ගැන දක්වන ලද අදහස් මෙම ලිපියේ සම්පිණ්ඩනය කර ඇත.

ඉතාම දුෂ්කර කාලපරිච්ජේදයක පසුවන ශ‍්‍රී ලංකාව, උන්නතියක් කරා ගමන් කිරිමේ මාවතෙහි ප‍්‍රායෝගික, පළමු පියවරට අවතීර්ණ වී සිටී. මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මටට්මේ ගිවිසුමක් අත්සන් කර ඇති අතර වසර තුනක් සදහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පැකේජයක් අපේක්ෂා කරයි. එය කෙසේවත් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අවශ්‍යතා සදහා සෑහෙන්නේ නැත. එහෙත් මෙම ප‍්‍රතිපාදන සදහා ක‍්‍රියාකිරීමේ දී ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුගතකරණය කළ යුතු වේ. අරමුදල යෝජනා කරන සැලැස්ම රටට පීඩනයක් ඇති කරනු ඇත. ශ‍්‍රී ලංකාවේ ද්වී පාර්ශ්වික හා බහු පාර්ශ්වික විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ණ වැඩසටහන දැනටමත් අරඹා ඇත. මුල්‍ය අරමුදලේ සැලැස්ම කි‍්‍රයාවට නැංවීමෙන් ආයෝජකයන්ට විශ්වාසයක්, විදේශ විනිමය පේ‍්‍රෂණ ඉහළයන්නට හේතුවන ස්ථාවරත්වයක් සහ ආධාර වැඩසටහන් සදහා පදනමක් වනු ඇත. ඉන්දියාව මෙම පසුබිම ඇති කරන්නට මහත් පරිශ‍්‍රමයක නිරත වූ අතර ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරම් මහත්මිය එහිලා ඉටු කරන ලද කාර්ය භාරය අගය කළ යුතුය.

ත‍්‍රස්තවාදය අවසන් කර මැදි ආදායම් රටක මට්ටමට පැමිණ සිටි ශ‍්‍රී ලංකාව දැන් පවතින අභාග්‍ය සම්පන්න ස්ථානය දක්වා ගමන් කිරීමට හේතු ගණනාවකි. 1977 දී ආර්ථිකය විවෘතකර පුලූල් අවකාශයක් ඇති කරන ලද නමුත් සහනාධාර සපයා ජනතාව සතුටු කරන රාමුව වෙනස් කළේ නැත. රාජ්‍ය ආදායමෙන් සියයට අසූවක් රජයේ වැටුප් හා විශ‍්‍රාමික දීමනාවලට වැයවේ. ඉතාම සුළු ආදායමක් ඉතිරි රටක් වශයෙන් වසර ආරම්භ කරන අතර විශ‍්‍රාම වැටුප් ගෙවීම පවා අයවැය ලේඛනයෙන් කරගෙනයෑම බදු බර වැඩිකරන හේතුවක් වී ඇත. රජයේ සේවකයන් ලක්ෂ පහලොවක් හා විශ‍්‍රාමිකයන් පන් ලක්ෂයක් නඩත්තු කිරීමට රජයට සිදුවී තිබේ. පුද්ගලික අංශයේ ව්‍යවසාය ප‍්‍රසාරණය නොවීම පදනම් කරගෙන උසස් අධ්‍යාපනය අවසන් කරන සෑහෙන පිරිසක් රජයේ සේවයට බදවාගැනීමට සිදුවී ඇත. එය තව දුරටත් රජයේ සේවක පිරිස වැඩි කරන හේතුවකි. ආර්ථිකය ප‍්‍රසාරණය කරන තීරණ නොගැනීම හෙයින් වියදම සදහා දේශීය හා විදේශීය ණය දිගින් දිගටම ගන්නා අතර එම ණය සදහා ගෙවන පොලී වාරික ද රජයේ ආදායමෙන් සියයට හැත්තෑවකි. වැටුප් හා පොලිය යන රජයේ වියදම් සදහා පමණක් තවත් ණය ගන්නට සිදුවී ඇත.

ජාතිකවාදී දේශපාලනඥයෝ නොදත් ගැඹුර

1983 හා 2009 අතර ත‍්‍රස්තවාදය පැවැති කාලයේ ණයගැනීම පහසු වූයේ නැත. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු වේගවත් සංවර්ධන සැලසුම් සදහා වානිජ ණය ගැනීමට අවකාශක් නිර්මාණය විය. එතැන් සිට විශාල වශයෙන් වානිජ ණය ලබාගෙන ඇති අතර එම ණය ප‍්‍රමාණය ශ‍්‍රී ලංකාවේ විදේශ ණයවලින් සියයට හතලික පමණ කොටසකි. වහාම ප‍්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති අතර තවත් කොටසක් පරිභෝජනය සදහා වැයකිරිම ගැටළුවට මුල බව දැක්විය හැකිය. කොවිඞ් වසංගත කාලයේ දී මතු තත්ත්වය තුළ රාජ්‍ය ආදායම අඩුවන සහ මුල්‍ය ස්වභාවය අක‍්‍රමවත්වන අතරවාරයේ දී පාත්ෆයින්ඩර් පදනම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාකර ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලකට වහා ගමන් කරන සේ යෝජනා කළ නමුත් අවාසනාවකට ජාතිකවාදී දේශපාලනඥයන් සහ මෙහි ගැඹුර ගැන අනවබෝධයකින් සිටි පිරිස් එයට කිසිසේත් අනුග‍්‍රහය පළ කළේ නැත.

නිදහසට පසු කාලයේ දී රබර්, මිනිරන් වැනි දේ අපනයනය කර ඒවායෙන් ලැබෙන ආදායමෙන් සහනාධාර සහිත ආර්ථිකයක් නඩත්තු කළ ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය, අධ්‍යාපන හා ප‍්‍රවාහන අංශවලට සෑහෙන පිරිවැයක් දරා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස උසස් ජීවන මට්ටමක් ලැබී තිබේ. ආර්ථික වර්ධනයක් සදහා ආයෝජනය නොකර හා පවතින ආර්ථිකයෙන් යැපුන ක‍්‍රමය අර්බුදය මතු කළේය.

ඉන්දියාව ආර්ථිකය විවෘත කිරීම සමග නිෂ්පාදනය, ආයෝජනය හා කර්මාන්ත සහිත වෙනස් ගමනක් ආරම්භ කළ අතර ශ‍්‍රී ලංකාව තිබුණ ආර්ථිකය හැර අලූත් රාමුවක් සකස් කරන්නට පියවර ගත්තේ නැත. ව්‍යුහාත්මක ගැටළු අනෙක් පැත්තකි. රජය විසින් මහජනතාව පමණක් නොව ආයතන ද නඩත්තු කරමින් සිටී. විදුලිය බල අංශය රජයේ ඒකාධිකාරයකි. ඉන්දියාව දෙස බලනවිට පුද්ගලික අංශයට ඉඩ දි ඇත. අලූත් ආයෝජන, අලූත් තාක්ෂණය සදහා අවස්ථාව ලැබී ඇත. දේශපාලන අංශ හා වෘත්තීය සමිති පවතින රාමුව වෙනස් කරන්නට ඉඩ නොදෙන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකයන් අකාර්යක්ෂම වැඩපිලිවෙලක ගොදුරු බවට පත්වී අධික විදුලිය බිලක් ගෙවමින් සිටී. එය එක උදාහරණයක් පමණකි. ටෙලිකොම්, ඛනිජ තෙල්, මුල්‍ය සේවා අංශවල පවා කොටසක් පමණක් තරගකාරීව පවත්වාගෙන යන්නට ඉඩ දී ඇති අතර එම අංශ තවත් විවෘත කළ හැකිය. විදුලිය බල මණ්ඩලය, තෙල් සංස්ථාව හා ජාතික ගුවන් සේවය වැනි ආයතන රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන පවත්වාගෙන යන හෙයින් ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ද පීඩනයකය. අඩුම තරමින් ව්‍යවසායකත්වය සදහා ප‍්‍රාග්ධනය සැපයීමට අසමත්ය. අකාර්යක්ෂම වානිජ බැංකු පද්ධතිය තවදුරටත් නඩත්තුකිරීම සදහා අලූතින් විශාල ප‍්‍රාග්ධනයක් යොදවන්නට සිදුවී තිබේ.

නැති සම්පත් වෙන්දේසි කිරීම තවදුරටත්

මුල් කාලයේ දී, ශ‍්‍රී ලංකාව සේ දියුණුවීමට කල්පනා කළ සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා පසුව මෙම අභ්‍යන්තරය හදුනාගත් අතර ‘‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නැති සම්පත් වරින්වර වෙන්දේසි කිරීමක් ’’ බව ප‍්‍රකාශකර ඇත. නැති සම්පත් වෙන්දේසි කරන ක‍්‍රමයෙන් ගැලවෙන්නේ කෙසේද? මුහුණ දි ඇති ආර්ථික අර්බුදය සමග කළ යුතු ප‍්‍රතිසංස්කරණ සමග සමාජ සුබසාධන ජාලය ගැන නැවත සමාලෝචනය කරන්නට සිදුවේ. අලූත් ප‍්‍රතිසංස්කරණ යෝජනා සාමාන්‍ය ජනතාවට ඉසිලිය නොහැකි විය හැක. අර්බුදයකට යන තෙක් අවශ්‍ය වෙනස්කම් නොකිරීම ගැන ඇතැමුන් චෝදනා කරනු ඇත. එහෙත් එය සංකීර්ණ තත්ත්වයකි.

ඕනෑම රටක ජයග‍්‍රහණයට හේතුවන තරුණ ශ‍්‍රමයේ වාසිය අපට නැත. ශ‍්‍රී ලංකාවේ සමාජය වියපත්ය. තරුණ ශ‍්‍රම බලකාය වයස් කාණ්ඩ අනුව පහල ප‍්‍රතිශතයකි. එය ඉහළම අගයක පැවැති 1980 ගණන්වල ත‍්‍රස්තවාදය පැවැතිණි. නිෂ්පාදන හැකියාව තිබුණ පිරිස ගැටුම්වලට ගොදුරු වූහ. දක්ෂතා ඇති තරුණන් පිරිසක් අහිමි වූ අතර තවත් මිලියනයක පමණ පිරිසක් රට හැර ගිය බව සදහන් කළ යුතුය. මෙම පිරිස රටට ආපසු අවශ්‍ය කර තිබේ. අපෙන් ගිලිහී ගිය මනුෂ්‍යත්වය පිලිබද හැගීම් එයටත් වඩා උවමනා කෙරේ. අසූ තුනේ කෝලාහල, ඉන්දීය විරෝධතා, පාස්කු ප‍්‍රහාරය වැනි සිද්ධි නැවත නැවතත් රට අවුලවන ලද අතර එයට පහසුවන පරිදි කුලය, පෙලැන්තිය, ආගම, භාෂාව හා ජාතිය වශයෙන් ජනසමාජය බෙදී තිබේ. මේවායෙන් ගැලවෙන්නේ කෙසේද? රට පාලනය කරන කණ්ඩායම් පවා ඉංග‍්‍රීසි කතාකරන නාගරික ප‍්‍රභූ පැලැන්තිය හා සිංහල කතාකරන ග‍්‍රාමීය පංතිය වශයෙන් බෙදී ඇත. ග‍්‍රාමීය ප‍්‍රජාවට රාජපක්ෂ පාලනය නායකත්වය දුන් අතර ත‍්‍රස්තවාදය ජයග‍්‍රහණය කිරීමෙන් පසු අලූත් ව්‍යුහයක් මත මෙම වැරදි නිවැරදි කරන්නට අවස්ථාවක් තිබුණි. නමුත් එතැනින් ද නිර්මාණය වූයේ තවත් අන්තවාදී බෙදීම් සහිත සමාජ ක‍්‍රමයක් බව සදහන් කළ යුතුය.

පුද්ගලික ව්‍යවසායවලින් රැකියා සහ රජයට බදු

ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස, 2001 වසරේ දී තර`ගකාරීත්වය හා පුද්ගලීකරණය ගැන කරුණු යෝජනා කළ නමුත් සමාජය ඒ ගැන විශාල නොමනාපයක පසුවිය. අවශ්‍යතා සලකා ආර්ථික කළමණාකරණයක වැදගත්කම ආණ්ඩුවල ප‍්‍රධානීහු සලකා බැලූවේ නැත. යටිතල පහසුකම්, ප‍්‍රවාහන, හෝටල, ගුවන් තොටුපොලවල සිට පදික වේදිකාවේ වෙළදාම දක්වා ව්‍යාපාර මෙහෙයවන්නේ ආණ්ඩුවයි. එය එසේ සිදුවිය යුතු නැත. පුද්ගලික ව්‍යවසායකයන්ට අවස්ථාව දිය යුතු අතර එයින් තරුණන්ට රැකියා ලැබේ. රජයට බදු ආදායම හිමිවේ. රජය හා පුද්ගලික අංශය කරන ආර්ථික ක‍්‍රියාකාරකම්වලින් අපනයනයට මග පාදාගත යුතු අතර දෙස් විදෙස් ආයෝජකයන්ට ඉඩ දිය යුතුය. අතීතයේ වැරදිවලින් පාඩම් ඉගෙනගැනීම අවශ්‍යය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්ප‍්‍රදායික වෘත්තීය දේශපාලනඥයෙකු නොවන, යහපත් චේතනාවකින් ක‍්‍රියා කළ නායකයෙකු නමුත් අවාසනාවකට කොවිඞ් ප‍්‍රශ්න පැණ නැගිණ. අවශ්‍ය වෙනස්කම් කරන්නට කලින් ආර්ථිකය අඩාල වී අරගලකාරී තත්ත්වයක් හට ගැණින. ඉන්ධන, විදුලිය, ගෑස් වැනි අංශ කඩාවැටී ආර්ථිකය අර්බුදයකට පත්වනවිට විරෝධය නැග ආ අතර ප‍්‍රචණ්ඩත්වයක් ඇති විය. නිවාස ගිණිතබා අමානුෂික සිද්ධි ඇති කරන බලවේග හමුදාව මෙහෙයවා මර්දනය කරන්නට ගොඨාභය මහතාට අවශ්‍ය නොවූ අතර ඉතිහාසයේ ඒ ගැන විශේෂයෙන් සදහන් විය යුතුය. ගූගල්, ඌබර් වැනි කැළඹිලිවලින් කරන පරිපරිවර්තනය වැනි ක‍්‍රම ආණ්ඩුවලට ද ප‍්‍රවණතාවයක් විය යුතු බව සිතන අතර පොල්පොට් වැනි සංස්කෘතියක් හා තරුණ රෝමෑන්ටික් ක‍්‍රමයක් එකට එකතුකරන සිස්ටම් වෙනසක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කළේ යැයි අරගලකරුවෝ කල්පනා කරන්නට ඇත. එය කිසිසෙත් ශ‍්‍රී ලංකාවට ගැලපෙන එකක් නොවේ. සම්ප‍්‍රදාය සම්පූර්ණයෙන් කඩා විනාශ කර අලූත් දෙයක් බිහිකිරීම වෙනුවට රටට අවශ්‍ය කරන්නේ නිසි පිලිවෙලක් හා දර්ශනයක් සහිත පෙරැලිකාර පරිවර්තනයකි. ආර්ථිකය හා ක‍්‍රමය කඩාවැටී, ව්‍යස්ථාපිත පද්ධති බලරහිත කරන පිපිරවීමට පෙර නැවත නීතිය හා විධිවිධාන ශක්තිමත් කරන්නට හැකිවූ අතර ව්‍යවස්ථානුකූල රාමුවට ඇතුළුවීමට රටට හැකිවිය. පටු විරෝධතා වලට හසු නොවිය යුතු අතර වෙනස්කම් කළ යුතු පද්ධතිය තුළ බව අමතක කළයුතු නැත. පවතින ක‍්‍රමයට වෙනස්කළ යුතු නමුත් ජන සම්මතවාදී රාමුව තුළ ක‍්‍රියා කිරීම අනිවාර්ය සාධකයකි.

ගෝඨාභය නැවත නොඑන නමුත් බෙදීම් හා ආර්ථිකය එකම කාසියකි

පැරණි රාමුව ආරක්ෂා කරගැනීම තුළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට ප‍්‍රවේශ වන බවක් ප‍්‍රකාශ නොවේ. එහෙත් වඩා දරුණු ආර්ථිකය ද පවතින සමාජ බෙදීම් ද යන්න ප‍්‍රශ්න කළහොත් එම ව්‍යාධි දෙකටම තීරණාත්මක ලෙස අපට බලපා ඇත. ඇතැම් විද්වතුන් අලූත් ව්‍යවස්ථා ගැන කතාකරමින් සිටී. ග‍්‍රාමීය ජනතාවට ආර්ථික ප‍්‍රතිසංස්කරණ හෝ කාර්යක්ෂම ආර්ථිකයක ප‍්‍රතිලාභ ගැන අවබෝධයක් නැත. මෙම අංශ දෙකම රටට ප‍්‍රශ්නයකි. 2022 වසරේ ආර්ථිකය රින 8.4 කින් පහත වැටෙනු ඇති දක්වන අතර සුළු වර්ධනයක් ලබන වසරේ දී අපේක්ෂා කළ හැක. පවතින ව්‍යුහය වෙනස් කිරීම සදහා කෙටි කාලීන ඉක්මන් තීරණ හා දිග කාලීන ස්ථාවර ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් රට ගොඩනැගිය යුතුව තිබේ.

ඉදිරි මාස දහ අට තීරණාත්මක කාල පරිච්ජේදයකි. ආර්ථිකය තිබුණ තැනට කැදවීම සදහා අවම වශයෙන් ඩොලර් බිලියන තුනක් අවශ්‍ය කෙරේ. එය උපයාගන්කේ කෙසේද? ගුවන් සේවාව, විදුලිය හෝ ඛනිජ තෙල් අංශ පැවැරීමෙන් යම් සහනයක් ලැබෙනු ඇත. මෙම ව්‍යවසාය ජාතික සම්පත් බවට ආකල්පයක් ඇත. ජාතික සම්පත් බව අගවන නමුත් මේවායේ අධික පාඩු, වත්කම් ඉක්මවන ණය හෙයින් ආයෝජනයකට කිසිවෙකු උනන්දුවක් දක්වන්නේ නැත. තේ, ඇගළුම්, ඇතුළු අපනයන ආදායම පසුගිය වසර හතලිහ තුළ එකම මටට්මක පවතී. තොරතුරු තාක්ෂණ අංශයේ යම් පිබිදීමක් ඇති නමුත් එය කෙසේවත් ප‍්‍රමාණවත් නැත. ආදායම හා වියදම පියවන්නට වැට් ඇතුළු බදු වැඩිකරන අතර ආර්ථිකයේ කළ යුතු වෙනස්කම් වලට ඉඩ නොදෙන පරිසරය තුළ වන්දි ගෙවන්නේ දුප්පත් ජනතාව බව අවධාරණය කළ යුතුව තිබේ.

ආදායම් උත්පාදන ව්‍යාපෘතිවලට ඉන්දියානු පෙළඹවීම

වත්මන් ජනාධිපතිවරයා සියළු පාර්ශවවල එකගතාව සහිතව අලූත් යුගයක් ඇති කරන්නට උත්සාහ කරමින් සිටී. ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රබල පීඩනයක් මතු කරන ඩයස්පෝරාවට අත දිගු කරයි. ආර්ථික පසුබෑම තුරන් කරන වැඩපිලිවෙලක් සදහා වෑයමක නිරතය. සංහිදියාව ඇති කර සමාන අවස්ථා සම්පාදනය කර ජන කොටස් එකතු කරන්නේ කෙසේද යන බරපතල අභියෝගය සම්බන්ධ සංවාදයක් අප ඇති කරගත යුතුය.

ජනතාවට අවම පීඩනයක් ඇතිකරන අතර අලූත් අවස්ථා ඇති කිරීමෙන් ලබාගත හැකි වාසි ඉදිරියේ ඉන්දියාව සමග කරන සාකච්ඡුාව ඉතාම වැදගත්ය. රාමායන පුරාවෘතයට අනුව වසර හත්දහසක පමණ කාලයක් සහ බුදු දහම සමග වසර දෙදහස් හයසියයක කාලයක් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව සමීප මිතුරන්ය. මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය, විදේශ කටයුතු ඇමැති එස්. ජෙයශංකර්, ආරක්ෂක උපදේශක අජිට් දොවාල් යන මහත්වරු ශ‍්‍රී ලංකාවේ ස්වභාවය ගැන පුද්ගලිකව උනන්දුවක් දක්වන ලද අතර එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් හදිසි ආධාර, ඛනිජ තෙල් සැපයුම හා ගෙවුම් ශේෂ සහාය යන කුළුණු තුන ගැන අවධානය යොමු කළේය. මෙහි අනෙක් පියවර දිගුකාලීන ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය සදහා පොළඹවන උපාය මාර්ගික සැලැස්මකි. ඉන්දියන් ඔයිල් සමාගම සමග එකතු වී දැනට කරන තෙල් බෙදාහැරිම තවත් පියවරක් ඉදිරියට තබා ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ආයෝජනය කර ඇත. තෙල් සංචිතයක්, පිරිපහදුවක් හා එයින් ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව දියුණුවක් අපේක්ෂා කෙරේ. තෙල් හා ගෑස් නලමාර්ග ඉදිකිරීම, තවත් අපේක්ෂාවකි. එය ඉන්ධන ප‍්‍රවාහන වියදම් කපාහරිනු ඇත.

මන්නාරම හා පුනරින් අවට සුළං හා සුර්ය තාප විදුලිය උත්පාදනයට අවස්ථා ඇත. පර්යේෂණ වාර්තා අනුව මෙගාවොට් 30,000ක් පමණ නිපදවිය හැක. දැනට කරන විදුලිය උත්පාදනය මෙගවොට් 4,300 කි. රටට අවශ්‍ය ප‍්‍රමාණය මෙන් හයගුණයක නිෂ්පාදනයක් සිදුවන විට අතිරේක විදුලිය ඉන්දියාවට විකිණීමෙන් විනිමය ප‍්‍රමාණයක් ලබාගත හැකිවේ. බංගලාදේශය, නේපාලය හා භූතානය එවැනි ව්‍යාපෘති ආරම්භ කර ඇත. බලශක්ති අපනයනය විනිමය උපයන මාර්ගය කර ගැනීමේ අවස්ථාවක් තිබේ. කොළඹ වරායේ පර්යන්ත තුනක් ඇත. එහි ප‍්‍රතිනැව්ගත කිරීම්වලින් සියයට අසුවක් ඉන්දියාවටය. හතරවැනි ආයෝජනයට අදානි සමූහ ව්‍යාපාරය ගිවිසුම් අත්සන් කර ඇත. තවත් වරාය පර්යන්ත වැඩි දියුණු කළ හැකි අතර වරාය පහසුකම් අතින් ආසියාවේ ඉහළටම පැමිණිය හැකිය. මෙවැනි අංශ ගැන තීරණගතහොත් රටට ආර්ථික වාසි ලැබේ.

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ඉතිහාසයක් ඇත. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයන් ලංකාව යටත් කරගත්තේ මෙම වාසි සලකා බලා වන අතර ඒවා නැවත අපගේ අනන්‍යතාවයක් ඇතිව ආයෝජන අවස්ථාවලට හරවාගැනීම අපගේ වගකීමකි. ශ‍්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයකි. වසරකට නාවික යුද නැව් පමණක් 300 ක් පමණ පැමිණේ. මෑතක දී චීන නෞකාවක් ගැන මහත් ආන්දෝලනයක් හටගත් අතර 2014 වසරේ දී මෙවැනිම තත්ත්වයක් සබ්මැරීනයක් පැමිණීම සමග සිදුවිය. චීන ණය උගුලක ශ‍්‍රී ලංකාව හසුවූ බව ප‍්‍රකාශ වෙයි. වානිජ ණයවලින් චීනයේ කොටස සියයට දහයකි. ජපානයට ද මෙවැනි ණය ප‍්‍රමාණයක් ඇති නමුත් එම ණයවලට ඇති රාමුව චීනයට වඩා වෙනස්ය. මේවා පසෙක තබන අතර ඉන්දියාව සමග ආයෝජන අවස්ථා කළමනාකරණය කිරීමට ඉතාම හොද සන්නිවේදනයක් අවශ්‍ය කෙරේ. ඒ මගින් විශ්වාසය තහවුරු කරගත යුතුය. කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති උවමනාව අවබෝධ කරගෙන ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන රාමුවක් නිර්මාණය කරගැනීම අපගේ අවශ්‍යතාව විය යුතුය.