19/03/2013 - ලංකාදීප
ආර්ථිකය දිනවන යුද්ධය - මිලින්ද මොරගොඩ
 

යුද බිම සාහසිකය. යම් තීන්දුවක අවසානය තීරණය වන්නේ ජීවිතය හෝ මරණය යන අන්ත දෙකින් එකකය. සංග‍්‍රාමය අතරතුර ක්ෂණිකව තද තීරණ ගන්නට සිදුවෙයි. වාද විවාද කරමින් සිටීමෙන් වාසිය අත්පත්වන්නේ සතුරාටය. පරාජය නොවී ඉදිරියට යන්නට නම් ඉක්මනින් නිවැරදි ම තීරණයකට එන්නට සිදුවෙයි. ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරන්නට ආරක්ෂක හමුදාවන්ට හැකිවිය. එයට නිසි දේශපාලන නායකත්වයක් තිබිණි. නායකත්වය වටා සියළු බලවේග ඒකරාශී විය. තිරණ ගැනීම, ධනය වැය කරන ආකාරය, ආරක්ෂක අංශ ප‍්‍රතිසංවිධානය, ජනතාවට කිව යුතු හා නොකිවයුතු දේ, ජාත්‍යන්තර ප‍්‍රජාව සමග ගනුදෙනු කරන ආකාරය සහ අණ ට අනුව පෙරට යන භටයින්ගේ මානසිකත්වය ද රටට අනන්‍ය ආකාරයට තීරණය කළේ නායකත්වයයි. ත‍්‍රස්තවාදය ජයග‍්‍රහණය කළ ආණ්ඩුවට ආර්ථික සටන ජයගන්නට සිදුව තිබේ. උද්ධමනය වැඩිවෙයි. බැංකු පොලී අනුපාත ඉහළ යයි. රජයේ ණය බර ඉහළට නගී. ආදායම අඩුවන අතර ආදායම වැඩි කරගන්නට යොදන උපාය හමුවේ ජීවන වියදම වැඩිවෙමින් තිබේ. මේ පෙනෙන්නේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයන්ය. ආර්ථික ඝාතකයා නොපෙනෙන සතුරෙකි. සතුරා කදවුරු බැදගන්නට පෙර පෙරළා පහර දිය යුතුය. ආර්ථික අභියෝග ජයගන්නට නොහැකිව අසරණ වන ආණ්ඩු පෙරළා යළි බලයට එන්නට මාන බැලීම ඉතිහාසයේ පටන් හැමදාම සිදුවිය.

චීන ආර්ථිකය සමග තරගකරන්නට නම් යුද බිමේ තීරණ ගන්නා ආකාරයට ආර්ථිකය පාලනයටත් වලංගු කිරීම, වැදගත් බව බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් මෑතක දී ප‍්‍රකාශ කළේය. එයින් පෙනෙන්නේ ඉක්මන් තිරණ ගැනීමේ වැදගත්කමයි. යුද්ධය ජීවිත හා දේපොල විනාශ කරන නමුත් සාමය තහවුරුවීම සමග ආර්ථිකයක් නගන්නට පදනම සකසයි. ජර්මනියේ ඔටෝබාන් යනුවෙන් ප‍්‍රකට මාර්ග තැනුනේ මිත‍්‍ර හමුදාවට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් වෙනුවෙන්ය. පසුව නිෂ්පාදන ඉක්මනින් ප‍්‍රවාහනයට ප‍්‍රයෝජනයට ගැණින. ඇමරිකාව මුලින් අධිවේගී මාර්ග සැලසුම් කළේ ද හමුදා අවශ්‍යතා සදහාය. ඉරාක යුද්ධයේ දී තාක්ෂණය බෙහෙවින් ප‍්‍රයෝජනයට ගැනිණ. සී ඩි. සහ පරිගණක තාක්ෂණය දියුණු වූයේ යුද තොරතුරු හුවමාරුව වෙනුවෙනි. අන්තර් ජාලය ද ඉරාක යුද්ධයේ ප‍්‍රතිඵලයකි. මිනිසුන් රහිත යානා චර පුරුෂ සේවයට යෙදවූ නමුත් දැන් ඒවා සාමාන්‍ය පරිහරණයට යෙදවේ. සාමය සමග මෙම සියලූ දේ අද ලෝක ආර්ථිකයේ දියුණුවට ප‍්‍රයෝජනයට ගැනෙයි. ශ‍්‍රී ලංකාවට ද එය අත් දැකීමකි.

ප‍්‍රජාතන්ත‍්‍රය සම්බන්ධ පූර්වාදර්ශ සපයන රටවල් පවා ආර්ථික වේගය අඩු වන විට එයට මුහුණ දෙන්නට තද තීරණ උපයෝගී කරගනී. ජනතා නියෝජිතයන් අදහස් ඉදිරිපත් කිරීම අතින් අති දක්ෂය. එම සියලූ අදහස් ක‍්‍රියා ඵලයක් බවට නැගෙන්නේ නම් යහපත්ය. වාද විවාද කරනු විනා රටක පොදු අවශ්‍යතා ඉක්මනින් ඉටු කරන ක‍්‍රමවේදය ගැන අවධානය යොමු කරන්නේ නැත. සාකච්ඡා කර සංවාදශීලීව හොදම විසදුම යෝජනා කර එයට ප‍්‍රතිපාදන වෙන්කරන විට ජනතාව දුක් විද අවසානයේ අගතියට ද පත්ව හමාරය. පවතින ප‍්‍රශ්න හමුවේ ඉක්මනින් ඉදිරියට යන්නට නම් යුද කාලයේ පැවති ආකාරයට ඉක්මන් තීන්දු තීරණ ගන්නට බි‍්‍රතාන්‍යය කල්පනා කරන්නේ එහෙයින්ය. ශ‍්‍රී ලංකාවට ද එයට නොදෙවෙනි ව කි‍්‍රයා කිරීමේ අවශ්‍යතාවය පැන නැගි ඇති මෙහොතකි. රට දියුණු කරන්නට තීරණ ගන්නා විට ජනතාවගෙන් කොටසක් අසතුටට පත්වෙයි. විරුද්ධ පක්ෂය චෝදනා එල්ල කරයි. අධිකරණයේ නඩු පවරමින් අවහිර කරනු ද දැකිය හැකිය. එවැනි බාධා මැඩ ආණ්ඩුවේ දර්ශනයට අනුව ඉදිරියට ගමන් කරන්නට නම් තද ප‍්‍රතිපත්ති තීරණ ගන්නට ආත්ම ශක්තිය ඇති කරගන්නට සිදුවෙයි. කෙටි කාලීනව සමාජය අසතුටට පත්විය හැකි නමුත් දිගු කාලීනව අත් පත් වන්නේ යහපතකි. සිංගප්පූරුව, චීනය, මැලේසියාව සහ කොරියාව වැනි වේගයෙන් දියුණු වූ රටවල් පවා ආර්ථිකය හමුවේ මෙවැනි කඩිනම් තීරණ ගන්නා ක‍්‍රම වේද අනුගමනය කර තිිබේ.

නිදහස ලැබූ කාලයේ ශී‍්‍ර ලංකාව ආසියාවේ ඉහළින් සිටි රටකි. කලාපයේ සේවා කේන්ද්‍රස්ථානය වන්නට හැකියාව තිබිණ. ආර්ථිකය හමුවේ මහජනතාවට එකක් කියන ආණ්ඩු කි‍්‍රයාත්මක වීමේ දී නැති ප‍්‍රශ්න ඇති කරගත්තේය. රට තුළ නිෂ්පාදන වැඩිකරන මග නිසි ලෙස සොයාගත්තේ නැත. ධනපතියන් භංගවේවා යැයි කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ටය. ප‍්‍රධාන දේශපාලන පක්ෂ මහජනතාවට මැතිවරණයක් පාසා මහජනතාවට දුන්නේ ඉටු කළ නොහැකි පොරොන්දුය. සහනාධාර සංස්කෘතියක් රටට ඇති කළේය. දශක හයකට පසු අද රට තුළ වලංගු සහනාධාර යෝජනා ක‍්‍රම කොපමණ ඇත්දැයි නිශ්චිතව දන්නා කෙනෙකු නැත. උපතේ සිට මරණය දක්වා මහජනතාවට සහන දෙන ආණ්ඩු මහජනතාවගෙන් හොදක් අහන්නේ ද නැත. තේ රබර් හා පොල් නිර්යාථ ආදායමෙන් ජීවත්වූ රටට අද සිදුව ඇත්තේ මැද පෙරදිග ඇතුළු රටවල වැඩකරන ලාංකිකයන් එවන ධනයෙන් ජීවත් විමටය. ධනය එන්නේ එතෙර වැඩ කරන ජනතාවගෙනි. නැතිනම් ණය වශයෙනි. ආණ්ඩුව උපයන ආදායම රටේ වියදමට ප‍්‍රමාණවත් නැත. අවුරුද්දක් පාසා අය වැය හිගය ගැන කතා කරන්නට සිදුව තිබේ. රාජ්‍ය අංශයේ ව්‍යවසාය අසාර්ථකය. නිසි කලමණාකරනයක් නැත. ඒවායේ අලාභ පියවන්නට සිදුව ඇත්තේ මහජනතාවගෙන් අය කරන බදු වලින්ය. ආර්ථිකය දියුණු කරන්නට නම් ආදායම හා වියදම ගලපා ගත යුතුය. නිෂ්පාදනය නැංවීම අවශ්‍යය. රජයට කළ හැකි දේ සහ කරන්නට නොහැකි වානිජ ව්‍යාපාර කවරේදැයි තීන්දුවකට පැමිණීම අවශ්‍යය.

විවෘත ආර්ථික ක‍්‍රමය ලෝකය පුරා පිළිගැනීමට ලක්ව තිබේ. ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව හා චීනය වැනි සියලූ රටවල් සාර්ථකත්වයට පත්ව ඇත්තේ තරගකාරීත්වයට මුහුණ දීමෙන්ය. ආයතන අතර තරගයෙන් හොද නිෂ්පාදන බිහිවෙයි. ඒවා අඩු මිළට පාරිභෝගිකයන්ට විකුණන්නට හැකිවෙයි. තෝරා ගැනීමට පුළුල් අයිතියක් ඇති වෙළද පොළ තුළ තරගක් බිහිවෙයි. ඒකාධිකාරයෙන් පාරිභෝගිකයාට විකල්පයක් නැත. දෙන දේ නියම කරන මිලට මිලයට ගන්නට සිදුවෙයි. අනවශ්‍ය ආකාරයට ක‍්‍රියාකරන බව පෙනේ නම් පාලනයට නියාමන කොමිසම ඇති කළ හැකිය. දුරකථන පාරිභෝගිකයන්ට ටෙලිකොම් හැරෙන්නට විකල්පයක් තිබුණේ නැත. දුරකථන සම්බන්ධතාවයක් මිලදී ගන්නට දේශපාලනඥයන්ගේ ලිපි අවශ්‍ය විය. විදුලි සංදේශ ප‍්‍රතිසංස්කරණ සමග විශාල පරිවර්තනයක් ඇති විය. ජංගම දුරකථන භාවිතය සමග ප‍්‍රකට ආයෝජකයෝ රටට පැමිණ, පාරිභෝගිකයන්ට කැමැති ආකාරයට සන්නිවේදනයේ අලූත් අවස්ථා ඇතිකර තිබේ. රක්ෂණය ප‍්‍රතිසංස්කරණයෙන් සිදුවූයේ ද එයයි. ඛනිජ තෙල්. විදුලිය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය වැනි අංශ වල විශාල ප‍්‍රතිසංස්කරණ ඉක්මනින් අවශ්‍යය. ඒවාට තද තින්දු ගන්නට සිදුවෙයි. අධ්‍යාපනය නිදහස් බව මහජනතාවට කියයි. සෞඛ්‍ය සේවාවකි. නමුත් රෝහලේ දී හෝ පාසලේදී පුද්ගලික චැනල් ක‍්‍රම කි‍්‍රයාත්මක වී ඇත්තේ මහජනතාව පීඩාවට පත් කරමින්ය. විදුලිය හා ඛනිජ තෙල් වෙනුවෙන් කලාපයේ සියලූම රටවල් අභිබවන වියදමක් ගෙවන්නට මහජනතාවට සිදුව තිබේ. මේ සේවා තරගකාරීව මෙහෙයවන ප‍්‍රතිපත්ති ඇති කලහොත් මහජනතාව ගේ ජීවන වියදම අඩු කළ හැකිය. විදුලිය ගාස්තු අඩු කිරීම සහනයක් බව කියන්නේ දේශපාලන වේදිකාවේදීය. නමුත් පසුව එය වක‍්‍රව මහජනතාවගෙන් බදු වශයෙන් අය කර ගැනේ. සියලූම දේ සිදුවන්නේ මහජනතාවට නොඇගවෙන පරිදිය. දේශපාලනඥයන් එළිපිට ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලට විරුද්ධ වන අතර එයින් රටේ ආදායමට එල්ල වන මරණීය තුවාල මහජනතාවගෙන් සගවා තබයි. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට පසු එයින් ආරක්ෂක අංශ වලට හානියක් වී නැති නමුත් ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුකර පලවා හැරි බවට කරන ප‍්‍රකාශයකට සමානය. ඇත්ත වශයෙන්ම ඉක්මන් ප‍්‍රතිසංස්කරණයකට ගමන් නොකළහොත් විශාල මෙම ප‍්‍රහාර වලින් ආර්ථික දේහය බරපතල අකර්මන්‍ය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය.

ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබේ. ත‍්‍රස්තවාදයක් පවතින අතර තුර පාලකයන් හා මහජනතාව කරන ලද විශාල කැපකිරීමක ප‍්‍රතිඵලයක් වශයෙන් එම තත්ත්වය උදාකරගෙන ඇත. නමුත් රටට උචිත හා ජාත්‍යන්තරව පිළිගත් විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති නිසි ලෙස අනුගමනය කරන්නට සමත් වූයේ නම් රට අදට වඩා වෙනස් දියුණුවක බව නිසැකය. ශ‍්‍රී ලංකාව, පටු තීන්දු හෙයින් අවස්ථාව අහිමි කරගෙන ඇති රටකි. විපක්ෂයේ සිටින විට විරුද්ධ වන නමුත් ආණ්ඩුවට පැමිණි විට එය අනුමත කරන තරමට දේශපාලනඥයන්ගේ දුර දක්නා නුවන පිරිහී ඇත. ජාත්‍යන්තර සමාජය අලූත් අවස්ථා සොයායමින් සිටින මෙම වකවානුවේ අලූත් ඉලක්කයකට, අලූත් ගමනකට සමාජය සූදානම් කිරීම සියලූ දෙනාගේම වගකීමකි. අලූතෙන් සිතන්නට අවශ්‍යය. ආර්ථික වර්ධනය අඩුවන හේතු සොයා බැලීම අවශ්‍යය. ව්‍යවසායකත්වය දියුණු කළ යුතුය. අධිරාජ්‍යවාදී සමයේ ශ‍්‍රී ලංකාව දියුණුව සිටියේ වෙළදාමෙන්ය. වෙළදාමට අවශ්‍ය තරගකාරී ආකාරයට ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්ති පරිවර්තනය කිරීම අවශ්‍යය. විශාල ජනගහනයක් ඇති විශාල ආර්ථික හිමි ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමග ආයෝජන, වෙළද හා සේවා සම්බන්ධතා තර කර ගත යුතුය. ලෝක වෙළද පොලට අවශ්‍ය දේ නිපදවන ව්‍යවසායකත්වය රට තුළ ඇති කළ යුතුය. දේශීය ව්‍යවසායකයන්ට ඉඩ දිය යුතු අතර එයින් ඇතිවන විශ්වාසය ඔස්සේ විදේශීය ආයෝජකයන් ද රටට පැමිණේ. සිංගප්පූරුවේ අලූත් ව්‍යවසායකයෙකු රටට ඇතුළු වන විට ඔහුට අවශ්‍ය පහසුකම් දී, නීති රීති වලට අනුව ව්‍යාපාර ආරම්භ කරන්නට අවශ්‍ය අනුමැතිය සපයයි. එයට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය අනුමැතිය ලැබූ ව්‍යාපාර ජාතික, පලාත් හා ප‍්‍රාදේශීය මට්ටම් වලදී තවත් නොයෙක් අවසර හා බලපත‍්‍ර ගැනීම් යනාදියට යටත්වෙයි. ලීබඩු අපනයනයේ දී ජාතික කෞතුකාගාරයෙන් හා සංචාරක බෝට්ටුවක් ගගකට දැමීමට අමාත්‍යංශ ගණනාවක සහ ප‍්‍රාදේශීය සභාව දක්වා තැන්වලින් අනුමැතියට ගන්නට වෙහෙස දරන්නට සිදුවෙයි. දේශපාලන මැදිහත්වීම ද එමටය. අවසානයේ ව්‍යවසායකයා හෙම්බත්වී රට හැර යයි. ආණ්ඩුවේ ව්‍යාපෘතියක් පවා ආරම්භයේ සිට අවසානය දක්වා ගත වන විට ඇති කරන තත්ත්වය එබදුය. නොරොච්චෝලේ හා කොත්මලේ බලාගාර, අධිවේගී මාර්ග, වරාය හා ගුවන් තොටුපොල ඉදිකිරීම් වලදී එය පෙනේ. නොයෙකුත් බාධකය. බලාගාරය ඉදිකරන තීරණය ගන්නා විට ලෝකයේ අඩුම පිරිවැයකින් විදුලිය නිපදවිය හැකිව තිබුණේ ගල් අගුරු වලින්ය. ලෝකයේ ලාභම විදුලිය එල්.එන්.ජී බවට නුදුරු කාලයේ පත්වනු ඇත. බලාගාරය ඉදි කරන්නට එපමණ කාලයක් ගතකර ඇත. ආණ්ඩුවකට තීරණගත නොහැකි පරිසරයක පුද්ගලික අංශයේ ව්‍යවසායකයෙකු රටට ආදායම හා රැුකියා අවස්ථා ඇති කරන ආයෝජනයට ඉදිරිපත්වේ දැයි සැක සහිතය. මෙරට යටි තල පහසුකම් වේගයෙන් දියුණු වී තිබේ. දකුණේ ද වරාය, ගුවන් තොටුපොල ඉදිවී ඇත. යටිතල පහසුකම් වලින් ප‍්‍රයෝජන ගන්නටනම් ආයෝජකයන් සොයා ගැනීම අවශ්‍යය. එයට උවමනා පසුබිම ද සැකසිම අවශ්‍යය. සිංගප්පූරුවේ මෙවැනි ආර්ථික කලාප ඇති කරන විට විශාල විහිළුවක් විය. නමුත් නිවැරදි ආකාරයට ප‍්‍රතිපත්ති සකස්කර නීති හා රජයේ නියෝග ලිහිල් කර එම විශේෂ කලාපයට ආයෝජකයන් ගෙන්වා ගන්නට සිංගප්පූරුව සමත්විය. එය අපට තවත් ආදර්ශයකි. රට තුළ ඇති අතරමැදියන් බහුල ක‍්‍රමය හා දැඩි නිලධාරීවාදය ගැන තද තිරණ ගැනීම අවශ්‍යය. කොරියානු සම්භවයක් සහිත කාන්තාවක් ප‍්‍රංශයේ ආයෝජන අමාත්‍යවරිය ලෙස මෑතක දී පත්ව තිබේ. ඇයට පැවරී ඇති වගකිම රජය තුළ බලපවත්වන නිලධාරී වාදය හා අනවශ්‍ය නීති ඉවත් කිරීමයි. දියුණුවන ආසියාවෙන් ආයෝජන ඇද ගැනීම ඇය උත්සුක වෙමින් තිබේ. රටක ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතු ඇයි දැයි එයින් අවබෝධ කරගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය හා බදු ක‍්‍රමය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. පවතින බැංකු හා මූල්‍ය ක‍්‍රම සියවසකට පැරණිය. එයින් ඉටුකරන්නේ ව්‍යවසායකයන්ගේ අරමුණ නොවේ. අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ වතු පාලනයට අවශ්‍ය මූල්‍ය රාමුව සකස්කළ බැංකු රටේ ව්‍යවසායකත්වයට ඉඩක් දෙන්නේ නැත. පොලිය හා ඒවායේ ප‍්‍රතිපත්ති අනුව වානිජ බැංකු විශාල ලාභ උපයයි. මෙරට බදු අයකිරිම ආසියාවේ සෙසු රටවලට වඩා ඉහළය. බැංකු වලින් වැඩි පොලියට ප‍්‍රාග්ධනය ගෙන විශාල බදු ගෙවමින් නිෂ්පාදනය කරන ව්‍යවසායකයෙකුට එම නිපැයුම් ලෝකයේ කොතැනකටවත් අලෙවි කර ගත නොහැකිය. මෙම පැති ස්වාධීන පර්යේෂණ වලින් පසු හදුනාගෙන නිවැරදි කිරීම වටී. බදු ක‍්‍රම ගැන අලූත් අදහස් විවිධ අවස්ථාවල යෝජනා කර තිබේ. නමුත් කි‍්‍රයාත්මකවන්නේ නැත. රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සමාජයට කියන්නට දේශපාලනඥයන් නිර්භීත නැත. නිර්භීතව ඇත්ත කියන දේශපාලනඥයන් ජනපි‍්‍රය නැත. සහන දෙන බව කියන, රජයේ සම්පත් විකුණන්නේ නැති බව කියන හා ප‍්‍රතිසංස්කරණ යනු ත‍්‍රස්තවාදීන් අටවන මහා බෝම්බයක් බව කියන දේශපාලනඥයන් ජනපි‍්‍රයත්වයෙන් ඉහළටම පත්ව ඇත.

බරපතල ප‍්‍රශ්නය නම් අලූත් අදහස් මතු කිරීම නොව පැරණි ආකල්ප වලින් ඈත් වීම බව සුප‍්‍රසිද්ධ ආර්ථික විශේෂඥ ජෝන් මේනර්ඞ් කේන්ස් වරක් කියා සිටියේය. මාගේ පුද්ගලික අදහස නම් පැරණි ආකල්ප යනු අභියෝගයක් නම් එයට සාර්ථකව මුහුණ දීම අද රටට අවශ්‍යව ඇති නායකත්වය බවය.

රටේ ඉඩම් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා ක‍්‍රමවේදයක් අවශ්‍යය. වැඩිම ඉඩම් අයිතියක් ඇත්තේ ආණ්ඩුවටයි. ඒවා කැබලිකර දුප්පතුන්ට බෙදා දීම නරක නැත. නමුත් නිෂ්පාදනය වැඩි කිරීමට නම් මහා පරිමානයෙන් වගා කිරීමට දෙස් විදෙස් ආයෝජකයන්ට පැවරීම ද අවශ්‍යය. රට වටා ඇති මුහුද අති විශාල සම්පතකි. එය ප‍්‍රයෝජනයට ගන්නේ නැත. ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයට අලූත් අදහස් වලට ඉඩ දෙන්නේ ද නැත. සිංගප්පූරුවට 2014 වසර වන විට මිලියන 14 සංචාරකයන් පිරිසක් ඉලක්ක කරයි. ශ‍්‍රි ලංකාවේ 2012 වසරේ සංචාරක පැමිණීම මිලියනයකි. මාලදිවයින හා තායිලන්තය සංචාරක පාරාදීස බවට පත්ව ඇත. සංස්කෘතික, පාරිසරික සහ ආගන්තුක සත්කාරයෙන් පාරාදීසය ශ‍්‍රී ලංකාවයි. යුද පසුබිමකට පසු වේගයෙන් ම දියුණු කළ හැකි සංචාරක කර්මාන්තයයි. නිසි ආකාරයට ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට තීන්දු ගැනීම අවශ්‍යය.

කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ අලූත් දේ සොයායාම වටා රටට අවශ්‍ය මූලික රාමුව සැකසීම වැදගත්ය. එලදායීතාවයෙන් තොරව අකාර්යක්ෂමතාව ගැන නොසලකා එයින් වන හානිය පියවන්නට සහන සැපයීමෙන් ආර්ථිකයක් දියුණු වන්නේ නැත. යුද්ධය දිනන්නට හැකියාව ලැබුණේ බැටන් පොල්ලෙන් හා කදුළු ගෑස් වලින් නොවේ. අවශ්‍ය අවස්ථාවේ දී මල්ටි බැරල් සහ ගුවන් ප‍්‍රහාර එල්ල කරන්නට සිදුවිය. එවැනි තීරණ ගන්නට හැකි වූ ආණ්ඩුවකට රට ආර්ථික අතින් පොහොසත් කරන තද තීන්දු ගැනීම අපහසුතාවයක් නොවේ. අය වැය හිගය ගැන අවධානය යොමු කළ යුතුය. හිගය වැඩි වන විට ප‍්‍රශ්න මතුවෙයි. ආර්ථික වර්ධනය අඩාල වන විට මහජනතාවට ප‍්‍රශ්න මතුවෙයි. රැකියා බිහි නොවේ. ආදායම අඩුවෙයි. ජීවන වියදම වැඩිවෙයි. වර්ධනයට බාධාකරන පැති සොයා පිළියම් යෙදීම දියුණුවට ඇති එකම මගයි.

අද රටට අවශ්‍ය මතු පරම්පරාවට ගැලපෙන ආර්ථිකයක් ඇති රටක් බිහි කිරිමයි. දරුවන් වෙනුවෙන් යහපත් ආර්ථිකයක් ඇති කරන්නට නමි දීර්ඝ කාලීනව බලා යහපත් තීන්දු වලට වහා එළැඹෙන්නට සිදුවෙයි. දේශපාලන වේදිකාවේ දී දෙන පොරොන්දු මහජනතාවට මතක ඇති බව නිසැකය. නමුත් නුදුරු මැතිවරණයක දී යළිත් දේශපාලනඥයන් දෙන පොරොන්දු ඉදිරියේ රැවටෙන්නට ඇතමුන් සමත්වනු නිසැකය. රජයේ සහන, නිදහස් අධ්‍යාපනය, නොමිලේ රෝහල දෙන බවට වාගාලාප කියන අතරතුර රජයේ ආදායම විනාශ කරන රජයට අයත් සමාගම් මහා සම්පත් ලෙස කියනු ඇත. ජාත්‍යන්තරය පිළිගන්නා නූතන ආර්ථික ප‍්‍රතිපත්ති දුප්පත් ජනතාව ඉදිරියේ ප‍්‍රතික්ෂේප කරන ඇතැම් දේශපාලනඥයන් ගේ දරුවන් ඉගෙන ගන්නේ ශ‍්‍රී ලංකාවේ නොවේ. ඔවුන් නිවාඩුව ගත කරන්නේ ජනතාව ඉදිරියේ ඉතාම නරකයැයි පෙන්වන වෙනත් රටකය. දුප්පතුන් රටටා තමන් පමණක් යැපෙන ක‍්‍රමය තුළ පවතින්නට ඇතැම් දේශපාලනඥයන්ට හැකියාව ලැබී තිබේ. ප‍්‍රතිසංස්කරණය යනු පුරුදු තැනින් වෙනස් දෙයක් කරන්නට පෙළඹවීමකි. ඇත්ත මිහිරි නැත. කටුකය. එයින් වෙනසක් සිදුවෙයි. දියුණුවක් ඇත්වෙයි. ගෙදරක පවා හැමදාමත් එකම තැන ඇති දෙයින් එකක් හෝ වෙනස් කර අලූත් දෙයක් ඇතුළු කරන්නට උත්සුක නොවන විට කළ එළිය වැටෙන්නේ නැත. වෙනසකට ඉඩ නොදෙන දේශපාලන ක‍්‍රමය හා දේශපාලනඥයන් හෙළිදරව් කරන යුගයක් අවශ්‍යය. තවදුරටත් හනමිටිය පමණක් කරගසාගෙන යාමෙන් සිදුවන්නේ ත‍්‍රස්තවාදය පැවති පසුගිය තිස් වසර තුළ රටට සිදුවූ හානියට වඩා දැවැන්ත ආර්ථික ඝාතනයකට මුහුණ දෙන්නටය. ආර්ථිකයක ආක‍්‍රමනය වන්නේ පිළිකාවක ආකාරයටය. එය දැනෙන්නේ නැත. දේහය පුරා ඇලී වෙලී පැතිර යයි. දැන් දැන් එය පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඉන්ධන මිල නිසා විදුලිය බිල වැඩිව ඇති බව කියන්නට පටන් ගෙන තිබේ. බදු බර වැඩි කර ආදායම සොයන්නට පටන් ගෙන ඇත. ආණ්ඩුවට ණය දෙන ඉතුරුම් ආකර්ශනය කර ගනු වස් බැංකු පොලිය වැඩි වෙමින් තිබේ. එයට සරිලන ලෙස උද්ධමනය ද වැඬේ. ජීවන වියදම අඩු කරන්නට වැටුප් වැඩි කිරීම නොව ආර්ථිකය වර්ධනය කරන්නට අවශ්‍ය පියවර වහා ගන්නා ලෙස බල කරන මොහොත උදා වී ඇත. තේරුම්ගත යුතු එයයි. ආර්ථිකය දින්නනට රට තුළ විප්ලවයක් ඇවිලවිය යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.