බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් තැන්පත් කර තැනූ ස්ථූපය ගිරිහඬුසෑය පින්බිමේ ඉදිවූ දෙමහල් විශ්‍රාම ශාලාව අද (18) පෙරවරු 10.00ට විවෘත කෙරේ. ඒ නිමිත්තෙන් පළවන ලිපියකි මේ.
ත්‍රස්තවාදය තුරන් කර වසර පහක් ගතව තිබේ. මේ කාලය තුළ දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ජනී ජනයා තම උරුමය සහ අනන්‍යතාව සොයන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.විවිධ ප්‍රදේශවලින් රටේ තැනින් තැන වන්දනාවේ යමින් සිටින සාමාන්‍ය ජනතාවට ඉතිහාසයෙන් දායාද කරන ලක්ෂණ ගැන අවබෝධය වැදගත්ය. දැය පුබුදුවන හා බොදු බැතිය වඩවන ජාතික සංකේත හඳුනා ගැනීමද නිසි අවබෝධයකින් කළ යුතු කාර්යයකි.
ශාසනයේ ව්‍යාප්තිය දකින අතරතුර ශාසනික වශයෙන් වැදගත් සංධිස්ථාන මතුකර ගැනීම අවශ්‍යය. උරුමයක උල්පත පදනම ආරම්භ වූයේ සියලු පාර්ශ්ව එකතු කරගනිමින් එම කාර්යභාරය සාක්ෂාත් කරගන්නටය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිහඬු සෑය ශාසනික වැදගත්කමකින් යුතු පුදබිමකි. ත්‍රස්තවාදී ගැටුම් හෙයින් දශක කිහිපයක් ජන අවධානයෙන් ගිලිහුණු මෙම පින්බිම අද යළිත් බොදුනුවන්ගේ අවධානයට ලක්වෙමින් තිබේ. ගිරිහඬු සෑය වැදගත් වන්නේ එය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සතිය ගතකරන අතර ලබාගත් කේශ ධාතූන් තැන්පත් කර ඇති ස්ථානය වීමයි.
එය මෙරට ඇති පළමු වටදාගෙය වශයෙන්ද සැලකෙයි. සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ සත් සතිය අවසානයේ පනස්වැනි දිනයේදී එම වනයට අරක්ගත් දේවතාවියකගේ වචනය පරිදි පැමිණි තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් විලඳ හා මීපැණි ප්‍රථම දානය ලෙස පිළිගන්වන ලද බව පූජාවලියේ සඳහන්ය. දානය පිළිගැනීමෙන් චිත්ත ප්රබෝධයට පත් මෙම වෙළෙඳ දෙබෑයෝ වැඳුම් පිදුම් සඳහා යමක් ඉල්ලා සිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතූන් වහන්සේලා ලබාදුන් බවද පූජාවලියේ වැඩිදුරටත් සඳහන්ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේදීම පුද සත්කාර ලබන්නට කේශ ධාතූන් වහන්සේ රැගෙන වෙළෙඳ දෙබෑයන් දඹදිව උත්තලා නගරයේ සිට ලංකාවට පැමිණ ඇත. ඔවුහු ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලයටය. කුච්චවේලිය, කට්ටුකුලම් ප්‍රදේශයේ ගල් වරායෙන් ගොඩබිම සමීපයට පැමිණ යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට ඔවුහු ළඟාවී තිබේ. එහි පිහිටි සුරක්ෂිත තැනක බුදුරජාණන් වහන්සේ කේශ ධාතූන් තැන්පත් කර සිය ආහාර ගෙන ඇති අතර ගිමන් හැර පිටත්ව යන්නට සූදානම් වන අවස්ථාවේදී මෙම කේශ ධාතු සහිත පැස එතැනින් ඉවත් කරගත නොහැකි වූ බවත්, එහිම එය නිදන් කොට ගිරිහඬු සෑය ඉදි කළ බවත් ඉතිහාසය ගැන දක්වන මහාචාර්ය එච්.ටී. බස්නායක මහතාගේ 'ගිරිහඬු මහ වෙහෙර පින් බිම තිරියාය' කෘතියෙහි සඳහන් වෙයි. පසු කාලයක මෙම ෙශෙලමය පර්වතයේ කටාරම් කොටා බ්රාහ්මී ලිපි පිහිටුවා මහ සඟරුවනට පූජා කිරීමෙන් මෙම පුදබිමේ දෙවැනි අදියර ඇරඹී ඇති බවත්, අටවැනි සියවස වන විට වටදාගෙය ඉදිකර ඇති බවත් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණෝ සිය කෘතිවල සඳහන් කරති.
මහනුවර යුගයේදී රචිත නම් පොත නමැති විහාරස්ථාන නාමාවලිය මෙකී පුදබිම නිතුපත්පාන යනුවෙන් හඳුන්වා ඇත. නිතිපතා දැල්වුණු පහනක් තිබෙන ස්ථානය පසුව නිතුපත්පාන යනුවෙන් බිඳී ව්‍යවහාරයට ආ බව සැලකෙයි.
කාලයක් මහා වනාන්තරයෙන් යටවී තිබුණු මෙම ඓතිහාසික ස්ථානය 1929 වසරේදී හමුවූ ලියවිල්ලක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහි ඉතිහාසය ගවේෂණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිදන් කොට ඉදි කළ ගිරිහඬු සෑය මෙය බව රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි. 1951 වසරේදී මෙම තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී.එස්. සේනානායක මැතිතුමා පුරාවිද්‍යා අධිකාරී සෙනරත් පරණවිතාන සූරීන් ලවා තිරියායේ පුරාවිද්‍යා කඳවුරක් ඇති කර මෙම වැදගත් සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත.වටදාගෙය හෙළිපෙහෙළි කර මතුකරගෙන තිබේ.
මෙම පුදබිම ත්‍රස්තවාදී ගැටුම් නිසා 1985න් පසුව හානි වී ජනශූන්‍ය වූ අතර විහාරස්ථානයේ වැඩ විසූ සංඝරත්නයද ස්වකීය දිවි ගලවාගෙන ඇත්තේ සැඟවී ජීවත් වීමෙන්ය. 2005 වසරින් පසු ගැටුම් තවත් උත්සන්න වූ හෙයින් ගිරිහඬු සෑය විහාරස්ථානය හා අවට හිස් වී හුදකලා වී ඇත.බැතිමතුන්ට එහි ළඟාවිය නොහැකි වී තිබූ අතර පසුව නාවික හමුදාව විසින් මෙම භූමිය යළි අත්පත් කරගෙන තිබේ.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් දයා සඳගිරි මහතාගේ මැදිහත් වීමෙන් රන් ආලේපිත බුදු පිළිමයක් හා සැරියුත්-මුගලන් අගසව් පිළිම ගිරිහඬුසෑය විහාරස්ථානයේ තැන්පත් කර නැවත ආගමික වතාවත් ආරම්භ කර ඇත.
යුද්ධය නිසා වැසී තිබුණු ගිරිහඬු සෑ පුදබිම යළි බොදු දනන් හට විවෘතය. ගැටුම් අවසන් වීමත් සමග දැන් නැවතත් තිරියාය ප්‍රදේශයට වන්දනාවේ යන බොදුනු දනන්ගේ වන්දනාවට ගිරිහඬු සෑයද එකතු වී තිබේ.
උරුමයක උල්පත පදනම මැදිහත්ව මහා සංඝරත්නය සහ පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගෙන ගිරිහඬු සෑය භාර අරමුදලක් සම්පාදනය කළේය. මෙම අරමුදල ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඇති කර වන්දනාකරුවන්ට නවාතැන් සහ ආහාරපාන සකස් කරගැනීමේ අවශ්‍යතා සපුරන්නට අවශ්‍ය බව අවබෝධ කරගත්තේය.
ප්‍රවීණ ගෘහනිර්මාණ ශිල්පී ඈෂ්ලි ඩිවොස් මහතා ස්වේච්ඡාවෙන් මෙහි සැලසුම නිර්මාණය කළේය. ජෝන් කීල්ස් හෝල්ඩිං සහ සී.ටී.සී. සමාගමේ මූල්‍ය ආධාර එයට ලබාගත හැකි විය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කරන්නට උරුමයක උල්පත පදනමට හැකි විය. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ගිරිහඬු සෑය සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
එහි ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගිරිහඬු සෑය පූජාභූමිය ආශ්රිත සංවර්ධනයටද විශ්‍රාම ශාලාව ඉදිකිරීමටද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය ලබාදීම මෙම සද්කාර්යය පහසු කරන්නට හේතු විය.
ට්‍රාන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය මෙම විශ්‍රාමශාලාවේ ගෘහභාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ සියල්ල සම්පාදනය කළේය. ශ්‍රී ලංකාවේ දස දෙසින් පැමිණෙන වන්දනා කණ්ඩායම්වලට නතර වී තමන්ගේ සුවපහසුව ඇතිකරගෙන සිත් පහන් කරගෙන වන්දනාවේ යෙදෙන්නට සුදුසු අංගසම්පූර්ණ දෙමහල් විශ්‍රාමශාලාවක් ඉදිකරන්නට හැකියාව ලැබිණි.
ඉදිකිරීම නමුත් නඩත්තුවට සහ එහි පැවැත්මට අවධානය යොමු නොකිරීම අප සාමාන්‍යයෙන් කරන වරදකි. භාරය එය ගැනද අවධානය යොමු කර ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති අතර ගිරිහඬු සෑය නේවාසික භික්ෂු සංඝරත්නයට අඛණ්ඩව දානය සැපයෙන වැඩපිළිවෙළක්ද සම්පාදනය කරමින් සිටී. දිවයිනේ ඕනෑම බැතිමතකුට ගිරිහඬු සෑය විහාරස්ථානයට දානය සැපයීම සඳහා දින වෙන්කර ගැනීමට උරුමයක උල්පත් පදනම අවශ්‍ය සම්බන්ධීකරණය සපයයි.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේගේ සහ ගිරිහඬුසෑය විහාරාධිපති ශාස්ත්‍රපති දෙවිනුවර චන්දිම හිමිපාණන්ගේ ආරාධනාවෙන් අද 18 වැනිදා පෙරවරු 10.00ට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මෙම විශ්‍රාමශාලාව බැතිමතුන්ගේ පරිහරණයට විවෘත කෙරෙයි. විවිධ යුගවලදී බෞද්ධාගමේ පැවැත්මට ඇතිවූ තර්ජන හා නොසලකා හැරීම් නිසා වටිනාකමක් සහිත ස්ථාන අවධානයෙන් ගිලිහී තිබිම කනගාටුවට කරුණකි. රටපුරා එවැනි වැදගත් සංකේත හඳුනාගෙන ඒවා මතු පරපුර වෙනුවෙන් විශේෂිත සංරක්ෂිත වැඩපිළිවෙළක් ඇරඹීම අපගේ යුතුකමකි.
ගිරිහඬු සෑය සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවිද්‍යා පර්යේෂණ පවත්වා ඇති අතර ඒ අවටින් හමුවූ ශිලා ලේඛන කියැවීමෙන් මෙරට ඉතිහාසය හා බැඳුණු විශිෂ්ට අනන්‍යතා හඳුනා ගන්නට විද්වතුන් සමත්ව ඇත.
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිදන්ව ඇති මෙම බොදු බිම නිසි බුහුමනට ලක් කිරීම බොදුනුවන්ගේ යුතුකමකි.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|