13/12/2022 - ලංකාදීප
අසීමිත බරක් අනාගතය අවදානම්

ආර්ථික ගැටළු හේතුකරගෙන උද්ගත වූ සංකීර්ණ සිද්ධි බහුල කාලවකවානුවකි. මෙවැනි වාතාවරණයකට, මෑත ඉතිහාසයේ මුහුණ දී නැති ශ‍්‍රී ලංකාව මහත් කැළඹිලි ස්වභාවයක පවතී. ආර්ථික අර්බුදයක විපාක ජනතාවට දැනෙන්නට පටන්ගෙන තිබේ. මුලික අවශ්‍යතා සපුරාගත ගැනීම පවා අපහසු කාලසීමාවකි. දුප්පත් ජන කොටස් අන්ත දුගී භාවයට පත්ව ඇති අතර මැදි ආදායම් මට්ටමේ සිටි පිරිස ගේ ජීවන මටට්ම තවත් පහලට වැටී ඇත. මෙම වාතාවරණය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ නොවිසදුණු, පිළිතුරු සොයාගැනීම මග හරිමින් තිබුණ අංශ ගණනාවක් එකවර පුපුරායාමෙන් ඇති වූ ව්‍යාකූල ස්වභාවයකි.

යම් යම් අවස්ථාවල අර්බුද ඇතිවේ. ප‍්‍රශ්න සමග ජීවත්වීම උත්තරය නොවේ. විසදුම් සොයාගත යුතුය. සන්සුන්ව, ආත්ම ශක්තිය ඇතිව නැගී සිටිම අවශ්‍යය. සමාජය ඉල්ලන වෙනස්කම් ඇති කිරීම දේශපාලන නායකයන්ගේ වගකීමකි. ආගමික, සමාජ හා දේශපාලන නායකයන් රට තුළ පවතින විෂමතා සාකච්ඡා කර ඒවා නිරාකරණය කරන සැලැස්මකට එකගවීම වැදගත්ය. විවිධ මතවාද තුළින් ව්‍යාකූලත්වයක් ඇති කිරීම නුසුදුසු තත්ත්වයකි. පිලිගත් රාමුවක අනුව තීරණ ගත යුතුව තිබේ. දේශපාලනඥයන් සහ දේශපාලන ක‍්‍රම පිරිහී ඇති බවට චෝදනා කර නායකත්ව කෙරෙහි ඇති බලාපොරොත්තු අත්හැරීම සුදුසු නැත. රට ගොඩනගන ප‍්‍රයත්නය පෝෂණය විය යුතු අප අතරින්ම වන අතර වෙනත් රටකින් නොවේ. අලූත් උත්පාදනයකින් සහ විශාල කැපවීමකින් පසු නැවතත් නැගී සිටින්නට අවස්ථාවක් ඇත.

අර්බුද හා ව්‍යසන අලූත් අත්දැකීම් නොවේ

අවශ්‍ය වෙනස්කම් හදුන්වා දී, ක‍්‍රියාත්මක වුවහොත් රට නැවත ගොඩනැගීමට හැක. ලෝකයේ නොයෙක් රටවල් වරින් වර ආර්ථික හා සමාජ අර්බුදවලට මුහුණ පා ඇත. ඉතිහාසය එයට සාක්ෂි දරයි. යුරෝපයේ ගිණිකොනදිග රටක් වන ග‍්‍රීසිය කඩාවැටීමකට ලක්විය. ඇමරිකානු බැංකු පද්ධතිය හා විශාලතම සමාගම් බංකොලොත්ව ආර්ථිකය බිදවැටිණ. ප‍්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන ජෙනරල් මෝටර්ස්, සිටි බැංකුව වැනි සමාගම් වසාදමන තත්ත්වයට පත්විය. එවැනි ආයතන රජයට පවරා ගත් ඇමරිකානු රජය අවශ්‍ය වෙනස්කම්වලට පසු ප‍්‍රාග්ධනය සපයා නැවත පවරන ලදී. එයින් ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් විය. අග්නිදිග ආසියානු රටවල මූල්‍ය අර්බුදය ද පසුගිය කාලයේ උද්ගත වූ තවත් ප‍්‍රශ්නයකි. රටවල් ගණනාවක් නොසිතූ ප‍්‍රශ්නවලට මුහුණ පෑවේය.

මෑත කාලය් දී පැතිරගිය කොවිඞ් වසංගතය ජාත්‍යන්තරයට ඇති කළ බලපෑම මහත්ය. එහි ආර්ථික සංකූලතා තවමත් ලෝකය පුරා පැතිරෙමින් පවතී. ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇති තත්ත්වය ද එහි එක කොටසකි. අපනයන ආදායම අඩුවීම හා සංචාරක ආදායම පහත වැටීම සහ කෙටිකාලීන ණය සම්බන්ධව තත්ත්වය නරක අතට බලපා තිබේ. ඖෂධ, ආහාර, ඉන්ධන, විදුලිය වැනි අංශවලට සිදුවූ බලපෑම මත ජනතාව නැගී සිටි අතර ආණ්ඩු වෙනස්කරන අරගලයක් දක්වා ව්‍යාප්ත විය. මෑත භාගයේ කඩා වැටුණු රටවල් නැවත නැගී සිටීම සමග අලූත් ව්‍යුහයක් කෙරෙහි අවධානය යොමු විය. තාක්ෂණයට නැඹුරු වූ අතර කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප‍්‍රධාන සාධක බවට හැරිණ. මානව සම්පත විශාලම ශක්තිය විය.

ආර්ථික මුලධර්ම හා මනුස්සකම් අතර ගැටුමක්

ආර්ථිකයක් කඩාවැටුණු පසු නිවැරදි කිරීමට ක‍්‍රම ඇත. වියදම පාලනය කෙරේ. ආදායම වැඩිකරගැනීම සදහා ක‍්‍රියාමාර්ග ගැනේ. ප‍්‍රතිපත්ති සම්පාදකයන් මේවා යෝජනා කරන අතර වහාම ක‍්‍රියාවට නැංවුවහොත් ඉක්මනින් ආර්ථික පුනර්ජීවණයක් ඇතිවේ. ඇමරිකාව වැනි වෙළදපොල කේන්ද්‍රකරගත් ආර්ථිකය ඇති රටවල් මේ ස`දහා තීරණ ඉක්මනින් ගනී. ආයකතනවල පැවැත්ම සදහා සේවකයෝ ඉවත් කරති. වැටුප් කපාහරින අතර සුබසාධන සේවා පාලනය කෙරේ. එම තීරණ ගැනීමේ දී ජනතාවට සිදුවන හිරිහැර අවධානය ගැනෙන්නේ නැත. විසදුම පමණක් ඉලක්ක කෙරේ. ශ‍්‍රී ලංකාව වැනි රටවලට එවැනි තද තීරණ වලට යා නොහැක. ජනතාව දුෂ්කරතාවයට පත්වන අතර ඔවුන්ට පිළිසරණක් නැත. හිරිහැර අවම කරන අතර මානුෂික පියවරකින් වැටී ඇති අර්බුදයට විස`දුම් සෙවිය යුතුය. සමාජ සංකූලතා වටහා ගන්නා අතර පිලියම් සහිත විප්ලවකාරී සැලසුම් අවශ්‍යය. ජනතාවගේ හද ගැස්ම වටහාගෙන, සැලසුම් යෝජනා කිරීම වැදගත්ය.

කොවිඞ් වසංගතය සමග ලෝකයේ සැපයුම් චක‍්‍රය අලූත් මුහුණුවරක් ගෙන ඇත. රටවල් ලොක්ඩවුන් වන විට සැපයුම් නතර වූ අතර තමන්ගේ අවශ්‍යතා තමන්ටම කරගන්නා රාමුවක් සකස්විය. තවත් වටයකින් එය වෙනස් වී ඇත. කාර්යක්ෂම සැපයුම් චක‍්‍රයක් නැවත බිහිවෙමින් පවතී. පොහොසත් රටවල් එය තමන්ගේ වාසියට හරවා ගනිමින් සිටී. වෙළද පොල සැලසුම් කරන අතර ඔවුන්ට එරෙහි රටවල් සැපයුම් චක‍්‍රයෙන් ඉවත් කරමින් සිටී. විවෘත ආර්ථික ක‍්‍රමය ආරම්භ වූ මුල් භාගයේ පැවැති චිත‍්‍රයට වඩා වෙනස් එකකි. අතිශය තරගකාරී ක‍්‍රමයක් බව පෙනේ. පැරණි සමාජවලට හුරු අතීත අත්දැකීම්වලින් අලූත් තීන්දුවලට එකතුවිය නොහැක. සමාජයෙන් කොන්වන පිරිස දෙස වඩාත් මානුෂවාදී ආකල්පයකින් සලකන අතර වේගයෙන් අලූත් සංකල්ප වලට එකතුවීම අවශ්‍ය කෙරේ.

උපදෙස් විශාල ප‍්‍රමාණයකට වඩා එක විසදුමක් වැදගත්ය

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සදහා උපදෙස් සෑහෙන ප‍්‍රමාණයක් ලැබේ. දේශීය හා විදේශීය විද්වත් පිරිස් සහ සංවිධාන එයට පියවර ගෙන ඇත. අය වැය පරතරය පියැවීම, විනිමය පාලනය, පිරිවැය කළමණාකරනය වන පරිදි විදුලිය, ඉන්ධන, ජලය හා ගෑස් ඇතුළු අංශවල ගාස්තු නැංවීම, සහනාධාර අඩුකිරීම ඇතුළු දේ එහි ඇත. ක‍්‍රියාවට නැංවීමේ දී දුගී දුප්පත් ජනතාව ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. අනුගමනය කරන ක‍්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය දැනටමත් අසරණ වී ඇත. රජයේ ආදායම වැඩිකරගැනීම සදහා අලූත් බදු ගණනාවක් පනවා තිබේ. ඉන්ධන, විදුලිය, ජලය හා ගෑස් මිල සංශෝධනය වේ. රජයේ සේවා වලට අය කරන ගාස්තු නැවත නැවතත් නංවා ඇත. කර්මාන්ත හා ව්‍යාපාරවලට ද අධික බදු නියම කර ඇත. මෙම බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව බව අමතක නොකළ යුතු කරුණකි.

රජයේ කැපවීම ද මෙහි දී ප‍්‍රශ්න කළ යුතුය. ජාතික ආදායමෙන් සියයට අසූවකට වඩා රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් සදහා වැය කෙරේ. කාර්යාල නඩත්තුව, මැති ඇමැතිවරු හා නිලධාරීන්ගේ අධික පහසුකම් පාලනය කළ හැකිය. රජයේ ආයතනවල විදුලිය, ජලය හෝ ඉන්ධන පරිහරණය සීමාකරන උත්සාහයක් අවශ්‍යය. බි‍්‍රතාන්‍ය ගණන් බලන පරිදි ඉදිරි වසර තුන තුළ රජයේ කාර්යාල ගොඩනැගිලිවල වටිනාකම සියයට තිස් අටකින් පහත වැටේ. එයට හේතුව සේවකයන් ගෙන් කොටසක් නිවසේ සිට රාජකාරි වලට නැඹුුරුවය. රජයේ වියදම කපාහැරීමේ දී මේවා අලූතින් අවධානයට ගත යුතුය. සුළු සේවකයන්ගේ අතිකාල දීමනා අඩු කර ඇති නමුත් ඉහළ ශ්‍රේණිවල දායකත්වය පැහැදිලි නැත. කැපවීම ඉහළ සිට අවශ්‍යය. ආදර්ශය ඉතාම වැදගත්ය. අරපිරිමැස්ම අවශ්‍යය. වියදම පියැවීමට ගන්නා දේශීය ණය උද්ධමනය තවත් වැඩිකරන අතර මෙහි අවසානය තවත් දරුණු තත්ත්ව ඇති කරනු ඇත.

2022 වසරේ ආර්ථික වර්ධනය රින අගයක් බව ප‍්‍රකාශ වී ඇත. සියයට නමයකින් පමණ වර්ධනය අඩුවුවහොත් රජයේ ආදායම ද එපමණකින් පහත වැටේ. මෙහි ප‍්‍රතිඵල දැනෙන්නේ ලබන වසරේ දීය. 2023 අවුරුද්දේ දී ද, ආර්ථිකය රින අගයක පවතිනු ඇති බව දැක්වේ. එම පිරිහීම පියවා ගැනීමට ඊළග අය වැය මගින් තවත් වටයකින් බදු කළ හැකිය. එවැනි යෝජනා කිසිසේත් ආර්ථිකය නංවන විසදුම නොවේ. බදු වෙනුවට නිෂ්පාදනය වැඩි කරන, කර්මාන්ත හා ව්‍යාපාර බහුල කරන සමාජයක් සදහා ගමන් කළ යුතු අතර ඒ සදහා තීරණ ගැනීම අවශ්‍යය.

ප‍්‍රතිසංස්කරණ යන වචනයට ඇති භීතිය

ජීවන වියදම ඉදිරියේ සටන් කරන දුප්පත් ජනතාව ප‍්‍රතිසංස්කරණ වල වටිනාකම දනී. අපහසු කාලයක ජීවත්වන ක‍්‍රමය ගැන අවබෝධයක් ඔවුන්ට ඇත. සහල්, එලවලූ ගන්නට වත්කමක් නැති අවස්ථාවක පාන් ගෙඩියකින් ජීවත්වේ. අනවශ්‍ය වියදම පාලනය කරන අතර මුදල් සොයාගන්නට අතිරේකව වෙහෙසෙයි. අමාරුම අවස්ථාවක තමන් සතුව ඇති රන් භාණ්ඩයක් හෝ උකස් තබයි. තම දේපොල කොටසක් බදු දෙන්නට වෑයම් කරයි. දේපොල විකුණා හෝ ආදායම සොයාගනී. එම තීරණ ගන්නේ කැමැත්කින් නොවේ. මෙහි දී පවුලේ ප‍්‍රශ්න ඇතිවේ. නමුත් දුෂ්කර කාල වකවානුවල අමාරු තීරණ ගන්නට අපට සිදුවේ.තීරණාත්මක අවස්ථාවක දී අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කරන්නට අවශ්‍යය. අසීමිත බරක් දරාගෙන ඉදිරියට ගමන්කිරීමේ දී තවත් අනතුරුදාවක අවස්ථා ඇති විය හැක.

අනුගමනය කළ ප‍්‍රතිපත්තිවල වැරදි හේතුවෙන් දැනටමත් ගැටළු ඇති වී තිබේ. ජාත්‍යන්තර ණය ගෙවීම අත්හිටුවා ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හදිසි ණයක් ගැනීමට හෝ අවස්ථාවක් නැත. වානිජ බැංකු පොලිය ඉතාම ඉහළ මට්ටමකට පැමිණ ඇත. එම පොලි අනුපාත අනුව කර්මාන්ත හෝ ව්‍යාපාර කළ නොහැකි අතර ව්‍යවසායකත්වය අඩපණ වී තිබේ. ආර්ථිකය ප‍්‍රසාරණය කරන, ව්‍යවසායකත්වයක් තොරව පිබිදීමක් බලාපොරොත්තු වියනොහැක. අලූත් අනාගතයක් සම්බන්ධයෙන් අපේක්ෂා තිබුණ සමාජයක් තවදුරටත් හැකිලී පීඩාවට පත්වීමට ඉඩ තිබේ. මෙකී පැති සලකා බලා අලූත් මානයකින් අවධානය අවශ්‍යය.

පොලී හා උද්ධමනකාරී වාතාවරණයෙන් මිදෙන අරමුණ ඇතිව වහාම ක‍්‍රමයේ වෙනස්කම් ඇති කළ යුතුය. විනිමය අනුපාත ස්ථාවර කෙරෙන ක‍්‍රියාමාර්ග අවශ්‍යය. ජනතාවගෙන් අය කිරීම වෙනුවට ධනය උත්පාදනය සදහා පියවර ගැනීම ආණ්ඩුවක වගකීමකි. ජනතාවට සහන වශයෙන් බව ප‍්‍රකාශ කරමින් නඩත්තු කරන රජයේ ආයතන ඇති කරන පාඩු රටට උත්පාදනයක් ඇති කරන්නේ නැත. විදුලිය, ඛණිජ තෙල් හෝ රජයට අයත් වෙනත් ආයතනයකින් ඇති කරන පාඩු මහජනතාවට ගෙවන්නට සිදුවී ඇත. ජාතික සම්පත් ආරක්ෂා කරන බව මතුපිටින් ප‍්‍රකාශ කරන නමුත් එම මිත්‍යාව සමග දැවැන්ත පරිහානියක් කරා ගමන් කරමින් සිටී.

අරගලය පුද්ගලානු බද්ධ එකක් එකක් නොවේ

අසාධාරණය හෝ අයුක්තිය ගැන පැන නැගෙන විරෝධතා වරින්වර ඇතිවේ. අවාසනාවකට පාහේ ඒවා එල්ලවෙන්නේ පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන බව සදහන් කළ යුතුය. ක‍්‍රමය විකෘතිවීමට හේතුව පාලකයන් ගන්නා තීන්දු බව පැහැදිලිය. දුර්වලතීරණ ගැනීමට බලපාන සාධක ද අමතක කළ යුතු නැත. ප‍්‍රතිසංස්කරණ සදහා බලකරන ආර්ථිකයක් ඇති අවස්ථාවක තීරණ නොගැනීම වරදකි. ක‍්‍රමය වෙනස් කරන සේ බලකිරීමට මහජනතාවට ද අයිතියක් ඇත. දේශපාලනඥයන් පත්කර ඔවුන්ගෙන් යැපෙන, ක‍්‍රමය වෙනස් කරන්නට සූදානම්විය යුතුය.

ශ‍්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයෙහි ඇතිවන අර්බුද කෙළවර වෙන්නේ ආණ්ඩු වෙනස්වීමකින් වන අතර මුහුණු වෙනස් කිරීමෙන් ආර්ථිකය ගොඩනැගිය නොහැක. නිදහස ලැබීමෙන් පසු ගත වූ අවුරුදු හැත්තෑ පහ තුළ අර්බුදය පෙනි පෙනී පාලකයන් වෙනස් කරන ලද ජනතාව එයින් ඉලක්ක කළේ ක‍්‍රම වෙනසකි. බලයට පත්වන පාලකයෝ ජනප‍්‍රිය තීරණවලට කැමැතිය. මනාප අහිමිකර ගැනීමට අකමැති දේශපාලනඥයෝ ජනතාව ඉදිරියට ගොස් පොරොන්දු දෙන ලද අතර ආණ්ඩුවෙන් රස්සා, වැඩි වැටුප්, දුප්පත් ජනතාවට සහනාධාර, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් නොමිලේ යනාදී වශයෙන් දහසකුත් එකක් දේ ප‍්‍රකාශ කරති. ඒවායෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් ලැබුණේ නම් අද ශ‍්‍රී ලංකාව සුර පුරයකි.

ක‍්‍රමය සම්බන්ධ වෙනස්කම් නොසිදුවූවා නොවේ. විරෝධතා මැද කරන ලද ප‍්‍රතිසංස්කරණවල වාසි අප හමුවේ ඇත. ටෙලිකොම් අංශයේ පුද්ගලිකරණය හේතුවෙන් අද සන්නිවේදනයේ විශාල අවස්ථා ලැබී තිබේ. වරාය මෙහෙයුම් පුද්ගලීකරණය හේතුවෙන් තරගකාරීත්වයක් ඇති වු අතර එයින් රටට ආදායමක් හා අලූත් රැකියා උත්පාදනයක් සිදුවිය. නවීන තාක්ෂණික දැනුම රටට එකතු වී ඇත. ඛනිජ තෙල් බෙදාහැරීම සම්බන්ධ පුද්ගලීකරණය ද දැනෙන වෙනසක් ඇති කර තිබේ. එම ක්ෂේත‍්‍රයේ තවත් වටයකින් කළ යුතු වෙනස්කම් මෙයට වඩා ප‍්‍රතිලාභ රටට අත්කර දෙනු ඇත. මෙම ප‍්‍රතිසංස්කරණවල වාසි එදිනෙදා ජීවිතයේ දී දැනෙන නමුත් මේ හා සමාන අලූත් ව්‍යුහයක් අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය, ඛනිජ තෙල්, ගුවන් සේවා සහ ගුවන් තොටුපොල හෝ පොදු ප‍්‍රවාහනයේ ඇති කිරීමට ඇතැම් පිරිස් එකග නැත. ඒවායේ ඇති කරන පරිවර්තනය සමාජය වෙනස් කරන්නට හේතුවේ. බදු වෙනුවට ව්‍යවසාය දියුණුකරන අතර එයින් ආදායමක් හා රැුකියා අවස්ථා සදහා යා හැක. මෙවැනි ක‍්‍රම වෙනස්කිරීමට වැඩි පිරිසකට අවශ්‍යය. ඉගෙන ගන්නටත්, තමන්ගේ අනාගතය හැඩගසාගන්නටත් විශාල වැයමක් දරයි. වෙනත් රටකට හෝ ගොස් දියුණුවෙන්නට උත්සාහ කරති. මෙම පිරිස අපගේ ශක්තිය බව අමතක කළ යුතු නැත. පවතින දුබල ක‍්‍රමයෙන් වාසි ලබන, එයින් යැපෙන සුළු කොටසක් වෙනස්වීමට විරුද්ධය. රජයෙන් නඩත්තුවෙන, මහජනතාව බදු ගෙවා රජය නඩත්තු කරන පටු රාමුවෙන් ඉවත්විය යුතුය. ජනතාවාදී අරගලය රටට නිසි ක‍්‍රමවේදයක් ඇති කිරීම සදහා පාලකයන්ට බලකිරීම සදහා බව මෙහි දී පෙන්වා දිය යුතුය.

පවතින අසංවිධිත, නිසි කළමණාකරණයක් රහිත සහ අකාර්යක්ෂම ප‍්‍රතිපත්ති වලට විරුද්ධව ජනතාව සංවිධානය විය යුතුය. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ ඒවායෙන් යැපෙන පිරිස් පුද්ගලානුබද්ධ වෛරයකින් ඝෝෂා කරමින් සිටින අතර ඒවා ඉහළින්ම මතු කරන මාධ්‍ය ද මෙයට යම් පමණකින් වගකිව යුතුය. සමාජ මාධ්‍ය ප‍්‍රවාහය මෙහි බලය අතට ගෙන ඇති අතර අන්තවාදී අදහස් පතුරවමින් කෝලාහලයක් කරමින් සිටී. මධ්‍යස්ථ මතධාරී බහුතරයක් නිහඩව සිටීමෙන් පටු අදහස් අනියම් ආකාරයකින් අනුමත කරන බව ද දැනගත යුතු කරුණකි. අපට අවශ්‍ය දුප්පත් ජනතාව මත තවත් බර පටවන සම්ප‍්‍රදායික ක‍්‍රමය නොවේ. රාමුව වෙනස් කිරීමෙන් එහි අවස්ථා සමාජයට දෙන පිලිවෙලකි. අලූත් ආර්ථිකයක් ගොඩනගන්නට වෑයම් කළ යුතුය. බදු වැඩි කිරීම ජනතාවගෙන් අය කර අය වැය පියැවීම පහසුය. තෝරාගත යුතු පහසු මාර්ගය නොවේ. දුෂ්කර ඉතාම අසීරුවෙන් ගමන් කළ හැකි එහෙත් අවසානයේ දී ප‍්‍රතිඵල දැකිය හැකි මාවතකි.