12/08/2024 - ලංකාදීප
තෘප්තිමත් සමාජයකට ආර්ථිකයක්
 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනෙක සිට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බලපැවැත්වෙමින් තිබුණ සංකීර්ණ ගැටළු සහ කොවිඩ් වසංගතය සමග ඇති වූ අර්බුදයේ විපාක අද අප හමුවේ ඇත. ඉදිරියට ගමන් කිරීම සඳහා ආර්ථිකය ප්‍රසාරණය කරන සහ තර`ඟකාරීත්වය ඇතිකරන ප්‍රතිසංස්කරණ ගණනාවක් අවශ්‍යය. ඉතිහාසය දක්වන පරිදි ආර්ථික හා සමාජ උද්දීපනයකට හේතුවන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පැහැර හැර තිබේ. නොමිලේ දෙන, රජයෙන් යැපෙන ක්‍රමවේද තවත් වටයකින් එයට හේතු විය. සහන නමුත් එම පිරිවැය ආපසු ජනතාවයෙන්ම අයකෙරේ. ප්‍රතිසංස්කරණවලට උත්සුක වන සෑම අවස්ථාවකම සමාජය තුළින් පැන නැගුණ විරෝධතා හමුවේ ආණ්ඩුව ඒවා ආපසු හරවාගෙන ඇත. ඇතැම් ප්‍රතිසංස්කරණ කර ඇති නමුත් ප්‍රමාණවත් නැත.

ආර්ථිකයක උස් පහත්වීම් සඳහා විවිධ සාධක බලපෑ හැකිය. දේශීය හා විදේශීය වශයෙන් එල්ලවිය හැකි කරුණු ගණනාවකි. වසර දෙකකට කලින් විනිමය සංචිත පිරිහී වත්කම් හිඟ තැනට පත් ශ්‍රී ලංකාව, අය වැය පාලනය කරගැනීම පවා දුෂ්කර තැනකට පත්විය. මූළික අවශ්‍යතා සාක්ෂාත් කරගත නොහැකි වූ පසු අරගල කරන ලද ජනතාව “සිස්ටම් ජේන්ජ්” ඉල්ලමින් බලකරන ලද බව අමතක කළ යුතු නැත.

ක්‍රම වෙනස්කම් ගැන නිවැරදි අවබෝධයක්

ආර්ථිකය ස්ථාවරකරන පියවර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට සිදුවිය. විශේෂඥයන් විසින් සකස්කරන ලද ආකෘතියකට අනුව කටයුතු කෙරෙමින් පවතී. මූලික වශයෙන් වියදම ආවරණය කරගැනෙන පරිදි ක්‍රම හඳුන්වා දී ඇත. උදාහරණයක් වශයෙන් විදුලිය බල මණ්ඩලයේ නිෂ්පාදන පිරිවැය ආවරණය කරන ගාස්තු ක්‍රමයක් නියම කර ඇත. ඛණිජ තෙල් අංශය ද වියදම ආවරණය කරන ක්‍රමයකට හරවා තිබේ. විදුලිය හා ඛණිජ තෙල් අංශවල කරන ලද වෙනස්කම් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් නොවේ. වැඩපිලිවෙලින් අඩක් පමණක් කිරීමෙන් පසු තවත් ඒකාධිකාරී ක්‍රමයක් ඇති කර ඇත. තර`ඟකාරී ලෙද නිපදවන ක්‍රම මගින් විදුලිය මිල අඩු කරගත හැකි අතර ඛනිජ තෙල් නල මාර්ග ප්‍රමාහනයට නැඹුරුවුවහොත් නැව්වලින් ගෙන්වන වියදම අඩුකර, මිල සාධාරණ තැනකට පත් කළ හැක. එවැනි පියවර නොගෙන දැනට දරන සම්පූර්ණ වියදම ජනතාවට පැවැරීම ප්‍රතිසංස්කරණයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආර්ථික වර්ධනයක් සඳහා තීන්දුගැනීම පහසු නැත. විවිධ අදහස් මතුවේ. අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීමේ දී විරුද්ධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මත විසුරුවා හරින ජනමාධ්‍ය යනාදී වශයෙන් විරෝධතා ඇති කරයි. නුතන සමාජ මාධ්‍ය භාවිතාව අනුව ද සංකීර්ණ තත්ත්ව උද්ගතකර තිබේ. පවතින රාමුවෙන් යැපෙන සුළු පිරිස වෙනස්කම්වලට කැමැති නැත. මෙහි ප්‍රතිඵලයක පාරිභෝගික ජනතාව මත පීඩනයක් ඇති කිරීමය. අවසානයේ දී ආණ්ඩුවකට පහසුවෙන් කළ හැකි තරමට ප්‍රතිසංස්කරණ සීමා කෙරේ. ජනතාව මෙම සත්‍ය දැනගත යුතුය. ජනමාධ්‍ය පවා සැලසුම් විවේචනය කිරීමේ දී මෙම අභ්‍යන්තරය හඳුනාගැනීම අවශ්‍යය.

ප්‍රතිසංස්කරණ වෙනුවට බදු පනවන ක්‍රම

ක්‍රම වෙනස්කරන ප්‍රතිසංස්කරණ වෙනුවට වියදම ආවරණය සඳහා බදු පැනවීම පහසුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගනුදෙනුකරන ලද ඉකුත් දහසය වැනි වතාවක දී පමණක් නොව මෙවර ද ක්‍රම සංශෝධන වෙනුවට ආදායම හා වියදම පියවන උපාය අනුගමනය කර තිබේ. බදු විශාල ප්‍රතිශතයකින් නංවා ඇති අතර ජනතාව එයට විරුද්ධය. විරෝධතා තාවකාලික බව ප්‍රතිපත්ති සකස් කරන පිරිස් දැන සිටිති. බදු ඉහිලිය නොහැකි නමුත් පසුව ඒවාට හුරුවන අතර බොහෝවිට වැටුප් වැඩිකිරීම වැනි පියවරකින් ඇතැම් අංශවලට තාවකාලික සහන සැපයේ. එය නැවත වතාවක් ප්‍රශ්නයේ මුලින් තිබුණ තැනට පැමිණීමකි. විසඳුමක් ඇති කරන්නේ නැත.

ඉතිහාසයේ සිට අනුගමනය කළ ක්‍රමවේද අනුව අර්බුදය ජනතාව මත පවරන ආණ්ඩු එයින් ගැලවේ. පවතින මූලික දෝෂ නිරාකරණය නොවන අතර ආණ්ඩුවෙන් ආණ්ඩුවකට පැවැරෙන දුර්විපාක දිගින් දිගටම සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරමින් පවතී. අර්බුදය නිසි පරිදි සාකච්ඡා කර කරුණු සලකා බලා නිවැරදි විසඳුම් යෝජනා කිරීමෙන් පමණක් ආර්ථිකයක් නිසි මගට ගත හැකිය.

ජනතාවට ජීවත්විය හැකි ආර්ථිකයක

වසර දෙකකට කලින් තිබුණ සමාජ නොසන්සුන්තාව පාලනය කර රට ඉදිරියට ගමන් කරන බව උපකල්පනය කිරීම වරදකි. ආර්ථිකය හදාගැනීම සඳහා බදු හේතුකොටගෙන රජයේ ආදායම වැඩිපුර එකතු කරගෙන ඇත. රජය පනවන ලද වැඩිපුර බදු මහජනතාවට ගෙවන්නට සිදුවී තිබේ.ආදායම ඉහළගොස් නැති අතර බදු හේතුකොටගෙන එදිනෙදා ජීවත්වීම බරපතල තැනකට පත්ව ඇත. අසාර්ථකභාවය මහජනතාව මහජනතාවට පවරා ඇති අතර වේගවත් ප්‍රතිසංස්කරණවලට සූදානමක් නැත. එයින් ඇති කරන අලුත් ව්‍යුහය හා ධනය උපයාගත හැකි නවතම ක්‍රියාමාර්ගවලට ඇතුළු වී නැත. ආර්ථිකය ස්ථාවර නමුත් ප්‍රතිසංස්කරණ රහිතව පුනර්ජීවණයක් ඇති නොවේ. ව්‍යවසායකත්වය නංවන සැලැසුම්වලට තීරණාත්මක ලෙස ඇතුළු වී නැති බව ද සඳහන් කරන්නට අවශ්‍යය.

පොදු ජනතාව දුෂ්කර තැනක සිටින බව අවබෝධ කරගත යුතු ආණ්ඩුව, එදිනෙදා පැවැත්ම තහවුරු කරන මානුෂිය ආර්ථික රාමුවක් ජනතාවට වහාම හඳුන්වා දිය යුතුව තිබේ. කොවිඩ් ව්‍යසනයට පසු ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑ ඇතැම් රටවල් ශ්‍රී ලංකාව හා සමාන අර්බුදවල පසුවේ. බංගලාදේශය එයට සාක්ෂියකි. ආර්ථික වර්ධනයක් තිබුණ පවතින නමුත් අවස්ථා අහිමිවීම ගැන බංගලදේශයේ තරුණන් විරෝධව දැක්වීය. පැරණි ගතානුගතික ක්‍රමවේද අදට නොගැලපෙන බව අලුත් පරපුර අවධාරණය කරමින් සිටිති.

මීළඟ ජනාධිපතිවරයා පත්කරගැනීම හා එයින් පසු කාලවකවානුව ඉතාම සුමුදු විය හැකි යැයි උපකල්පනය කළ නොහැක. ලෝකයේ අද පවතින ගුප්ත ස්වභාවය ප්‍රධාන ධාරවේ දේශපාලන නායකයන් තේරුම්ගත යුතුය. මුහුණ දෙන්නට ඇති අභියෝග ජනාධිපතිවරණයට පෙළ ගැසෙන කණ්ඩායම් හා පුද්ගලයන් හඳුනාගෙන නැත. ජන සමාජය තුළ දැවෙන, ප්‍රශ්න විශාල ප්‍රමාණයකි. ආණ්ඩුවල අසාර්ථකභාවය සලකා පාඩමක් ඉගැන්වීමට ජනතාව සූදානම්ව සිටින අතර පටු තීරණවලට රුකුල්දෙන ආකෘතියකට පසුබිම සකස් කළහොත් එය තවත් වටයකින් ක්‍රමය හා නායකයන් ගැන ඇති විශ්වාසය තුරන්කරන්නට හේතුවේ. පරිවර්තන යුගයකට රට ඇතුල් කරන සාමුහික තීරණ කෙරෙහි, ජාතික හා ආගමික නායකයන්, දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් අවධාණය යොමුකිරීම අවශ්‍යය. ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීම තනි පුද්ගලයෙකුට හෝ තනි කණ්ඩායමකට කළ නොහැක. එකමුතුභාවය, ආත්ම ශක්තිය, ධෛර්යය හා කැපවීම ඇතිකරන සියුම් සැලැස්මකට නායකයන් පෙලගැසිය යුතුය.

දිග කාලීන සැලැස්මකට සමාජ එකමුතුව

දීර්ඝ කාලීන විසඳුමක් ඉලක්ක කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ඇතුළු කළ යුතුවේ. ලෝකයේ පවතින තරඟකාරීත්වයට ගැලපෙන නිෂ්පාදන ක්‍රමවේද ඇතිකිරීම අවශ්‍යය. විනිමය උපයාගත හැකිපරිදි අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත හා සේවා ප්‍රතිපත්ති ඇති කළ යුතුය. ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරන කෘෂි නිෂ්පාදනයකට යා යුතු අතර එහි දී ද අඩුම මිලකට වැඩිම ප්‍රමාණයක් නිපදවාගත හැකි තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීම සුදුසුය.

ජාති, ආගම්, දේශපාලන පක්ෂ ඇතුළු වාද බේධ වලින් හා මිත්‍යා අදහස්වලින් බහුල සමාජය එකමුතු කිරීම, රට ඉදිරියට ගෙනයෑමේ දී ඉතාම වැදගත්ය. ආකල්ප වෙනස් කළ යුතුවේ. එය ඉතාම දුෂ්කරය. පුරවැසියන් වශයෙන් අප සියළු දෙනා තුළ පවතින පරස්පරතා මෙම මොහොතේ දී අවධානයට ගත යුතුය. අවශ්‍යතා සම්පූර්ණ නොවන ආර්ථිකය රටක ප්‍රධාන ගැටළුවක් වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ද බැහැරවුවහොත් එය ඉතාම අනතුරුදායකය.

අද මුහුණ පා ඇති තත්ත්වය හා සමාන සංකීර්ණ ගැටළු නොයෙක් රටවල්වල පවතී. සමාජ ප්‍රශ්න හා ආර්ථික බංකොලොත්භාවය මහත් ව්‍යසන ඇති කර ඇත. අර්බුද පාලනය කර ජනතාව තුළ බලාපොරොත්තු නංවන පියවර සඳහා ගැලපෙන ක්‍රමවේද අත්හදා බලා තිබේ. ඒවායේ සාර්ථක භාවයෙන් අත්දැකීම් ලබාගත යුතු අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන අනන්‍ය ක්‍රම ඉතාම වැදගත්ය.

වැටුණ ආර්ථිකය ගොඩනැගීමට කෘතීම බුද්ධිය

ඉදිරියේ බලයට පත්වන නායකයන් ආර්ථිකය කෙරෙහි පුලුල්ව සලකා සමබර තීරණගත යුතුව තිබේ. හොඳම ආර්ථික විශේෂඥයන්ට අය වැය හිඟය පාලනය කර ආදායම උපරිමව ලබාගත හැකි ක්‍රම යෝජනාකළ හැක. පොදු ජනතාව මුහුණපාන ප්‍රශ්නවලට සෘජු උත්තර ලැබෙන ආර්ථිකයක් සකස්කළ හැක. කෘතීම බුද්ධිය යොදවා ඉතාම නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති යෝජනා කරන්නට බැරිකමක් නැත. පරිගණක ක්‍රමවේද ගොනුකර ගතහොත් ලෝකයේ විශිෂ්ඨතම ආර්ථිකය සකස් කළ හැකිවේ. එහෙත් රටක් පාලනය කිරීම, ආර්ථික විද්‍යාව පමණක් නොවේ. ජනතාවගේ පැවැත්ම සලකා හදවතින් තීන්දුගත යුතුය. ජීවත්වීමේ පහසුව ඇති කරන අතර රුකී රක්ෂා ජනනයකර මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි නොහැකි නම් එවැනි ආර්ථික විද්‍යාවෙකින් රටට පලක් නැත.

ශ්‍රී ලංකාවේ අනාගතය හා අභිවෘද්ධිය සලකා අනන්‍ය ප්‍රායෝගික ක්‍රම සකස් කිරීම දේශපාලන නායකයන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය හා රැකී රක්ෂා සම්පාදනය වැනි අංශ ගැන අලුත් රාමුවකට ඇතුළු විය යුතුව තිබේ. යටත්විජිත කාලයේ ආකල්ප අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති තාක්ෂණික යුගයට ගැලපෙන්නේ නැත. ඒවායේ නොගැලපීම ඉදිරියේ තාවකාලික පැලැස්තර විසඳුම් තරුණ පෙළ නොඉවසන බව මතක තබාගත යුතුවේ. අතීතයට වඩා සන්නිවේදනය දියුණු හා අවබෝධය ඉහළ තරුණ පිරිසක් සමග කටයුතු කරන කාලයක අතීතයේ මෙරට තිබුණ තරුණ කැරළි වලින් උගත් පාඩම් අමතක කළ යුතු නැත.

දරුවන්ගේ අනාගතය සලකා හොඳ රටක්

අද කරන කැපවීම මතු පරම්පරාව සඳහා යහපත් රටක් ගොඩනගනු ඇත. ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකු වූ ජෝන් ඇඩම්ස් මහතා ිමම යුද්ධය හා දේශපාලන හදාරා ඇත. ඒ මගේ දරුවන්ට ආර්ථිකය හා වෙළඳාම ඉගෙන ගැනීම උදෙසාය. ඔවුන් ගේ දරුවන්ට කාව්‍ය හා සංගීතය හදාරන්නට එයින් හැකි වනු ඇත.” යනුවෙන් කියා සිටියේය. දරුවන්ගේ අනාගතය ගොඩනගන්නට අද අප වෙහෙසවිය යුතුය. මධ්‍යම පංතියේ ජනකොටසට මෙහි දී වැඩි වගකීමක් තිබේ. ශ්‍රී ලංකාවේ මැදි ආදායමක් ඇති කොටස හෙම්බත් වී සිටින අතර ආත්මාර්ථකාමී වී ඇත. තමන්ගේ පහසුව හැර පොදු සමාජය ගැන තකන්නේනැත. අලුත්තීරණ සඳහා කැපවීම හා උත්සාහවන්තවීම අවශ්‍යය. රට ගැන කැක්කුමක් ඇති පිරිස ඉදිරි සැලැස්ම තුළ අනිවාර්ය සාධකයකි. සමාජ විනය අවශ්‍යමවේ. නීති පැනවීමෙන් පමණක් සමාජය පරිවර්තනයක් කළ නොහැක. ආර්ථිකය සකස්වීමෙන් පසු තාප්තිමත් සමාජ රටාවක් නිර්මාණය වේ. එකමුතුව තීරණ ගත යුතුවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ දරුවන් ජීවිතය විඳින සතුටුදායක පරපුරක් බවට පත්වනු ඇත.

ව්‍යවසායකත්වයට ඉඩ දෙන අතර අධ්‍යාපනය අවසන් කරන දරුවන්ට ආත්ම විශ්වාසයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළුවීම සඳහා සාධාරණ අවස්ථා සම්පාදනය ඉතාම වැදගත්ය. අර්බුදයෙන් ගැලවීම අරමුණු කරගෙන ආර්ථිකය ප්‍රසාරණය කරන අතර එම වාසිය ජනතාවගේ එදිනෙදා ජීවත්වීමටත්, අවස්ථා සඳහා කිසිදු බේධයකින් තොරව සහනශීලී පද්ධති ඇති කිරීමත් වහාම අවශ්‍ය කෙරේ.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

මිලින්ද මොරගොඩ