12/01/2021 - ලංකාදීප
ව්‍යවස්ථාවට ජනතාවාදී රාමුවක් - මිලින්ද මොරගොඩ

ආණ්ඩුව තීරණාත්මක මංසන්ධියකය. එක පැත්තකින් ආර්ථිකය සහ අනෙක් පැත්තෙන් කොවිඞ් වසංගතය තර්ජනය කරමින් සිටී. මාර්තු මාසයේ දී මානව හිමිකම් යෝජනාව නැවත වටයකින් හිස ඔසවනු ඇත. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පීඩනය තියුණුය. මෙම පැති කල්පනා කරන විට ගමන දුෂ්කරය. කෙසේ වෙතත් ජනතාවගේ ඉවසීමට සීමාවක් තිබේ. ඔවුහු ඉල්ලා සිටියේ වෙනස්කම් ගණනාවකි. සාමයෙන් සමාදානයෙන් ජීවත්විය හැකි විනයගරුක රටකි. දූෂණය නැති පාලනයකි. දේශපාලනඥයා ගේ බලය වැඩි කරනු වෙනුවට ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන පිලිවෙලකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තෝරාගැනීම එහි න්‍යශ්ඨිය බව සදහන් කළ යුතුය. සුන්දර වචන ලියා තැබූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පැත්තකින් තැබූ පොදු ජනතාව අලූත් තෝරා ගැනීමක් කළේය. දේශපාලන පක්ෂ යාන්ත‍්‍රණයට වඩා පුද්ගල චරිතය ඉලක්ක කළහ. ජයග‍්‍රහණය තමන්ගේ වෑයමේ ප‍්‍රතිඵලයක් බව උපකල්පනය කරන්නට පුද්ගලයෙකුට හෝ දේශපාලන ව්‍යාපාරයකට, අයිතියක් ඇත. පුද්ගලයන්, දේශපාලනඥයන් ඇතුළු කණ්ඩායම් ජයග‍්‍රහණය තමන් ගේ එකක් බව ප‍්‍රකාශ කරමින් සිටී. අයිතිය ඉල්ලන විවිධ බලවේග පැන නැගී ඇත. ඔවුන් ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින සේ බලකරන තැනට පත්ව ඇති බව පෙනේ.

බලය ඇති කණ්ඩායම පමණක් භුක්ති විදින, දුක සහ බදු බර පමණක් ජනතාවට බෙදන ක‍්‍රමය ජනතාවට එපා වී තිබුණි. ජාතිකවාදී අනන්‍යතාවයක් ඉල්ලා සිටියහ. එම අනන්‍යතාව ඇති කිරීම ජනාධිපතිවරයා සතු විශාල වගකීමකි. පක්ෂ දේශපාලනය තිත්ත වී සිටි මධ්‍යස්ථ ජන කොටස එක චරිතයක් කෙරෙහි තැබූ බලාපොරොත්තු ඉශ්ඨ කළ යුතුව තිබේ. අලූත් ව්‍යුහය නැවත වටයකින් පැරණි රාමුවට තල්ලූ කරන කේවල් කිරීම ආරම්භ වී ඇත. ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයට පොදු ජනතාව වෙනුවෙන්ය. පටු අරමුණු හා අභිලාශ සාක්ෂාත් කරගැනීම සදහා ජයග‍්‍රහණය තමන්ගේ කරගන්නා ප‍්‍රයත්න වලට අවනත විය යුතු නැත. සම්ප‍්‍රදායික දේශපාලනයෙන් පාඩම් ඉගෙනගත් ජනී ජනයා තීරණ ගත හැකි නායකත්වයක් ඉල්ලා සිටියහ. රට බෙදන, රට විකුණන සුපුරුදු ඝෝෂාව වෙනුවට එදිනෙදා දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කළ බව මතක් කර දිය යුතුය. විසදාගත යුතු ප‍්‍රශ්න ජනතාවට තිබේ. පරම්පරා ගණනක් කැකෑරෙමින් තිබුණ ඒවාය. වැඩට යන්නට මහ පාරට එන තැන සිට ආපසු ගෙදර යන තෙක් විහිදෙන සංකීර්ණ ඒවාය. අට අනූවක් ව්‍යාධි, සියළු උවදුරු ධූරි භූත කරගත යුතුය. සෙත් පතන්නට කලින් කස්තිරමක් අල්ලා බැලීම ගුරුන්නාන්සේලාගේ ක‍්‍රමයකි. එකම කස්තිරම වුවහොත් ගැලපෙන්නේ නැත. බලයට පත් ආණ්ඩු වලට තිබුණේ එකම කස්තිරමකි. ව්‍යවස්ථාවක් හැදීමය. ව්‍යවස්ථා කතා ජනතාවට එපා වී තිබේ. සමහර ආණ්ඩුවල ව්‍යවස්ථා කස්තිරම සලකනවිට නැටූ නැටුමකුත්, බෙරයේ පලූවකුත් නැත. දක්ෂ රංගධරයෙකුට රට කළඹන දුම්මලවරමක් ගන්නට හොදටම අවස්ථාව තිබේ. ජනතාව ඉල්ලන්නේ පෙරැළියකි. ව්‍යවස්ථා සංශෝධන ආවේශය සමාජය තුළ නැත. කනින් කොනින් තාලය අල්ලනවිට සිද්ධවෙන්නේ පරණ යාතිකාවය. රට මුහුණ පා ඇති තත්ත්වය ගැන පළමුවෙන් කල්පනා කළ යුතුය.

මානුෂික පියවර පමණක් සෑහෙන්නේ නැත

කොවිඞ් වයිරසයෙන් මනුෂ්‍ය ජීවිත ගලවා ගැනීම බරපතල සටනකි. රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගැනීම පහසු නැත. ජීවිත ආරක්ෂා කර එගොඩින් තැබීම පමණක් සතුටට හේතුවක් නොවේ. පැවැත්ම සහතික කළ යුතුය. රට දියුණු කර, සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාවට දැනෙන්නට සැලැස්වීම වැදගත්ය. වැඩකරන ජනතාවගේ ආදායම අඩුවී තිබේ. දෛනික ආදායමෙන් යැපෙන සෑහෙන පිරිසක් අසරණය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නැග ඇත. සෞඛ්‍ය අවදානම හෙයින් පොදු ප‍්‍රවාහනය පාලනයකින් සිදුවෙයි. එයින් ඇති කරන අවහිර තවත් වටයකින් එල්ල වී ඇති පීඩනයකි. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවල විශාල ව්‍යාකූලතා පැන නැගී ඇත. රජයේ හෝ පුද්ගලික ආයතනයකින් වැඩක් කරගන්නට නොහැකි වී තිබේ. ක‍්‍රියාකාරීත්වය සීමා කිරීම ඉදිරියේ අපහසුතාවයකට පත්ව ඇත. ලෝකයේ දියුණු රටක පවා වසංගත ස්වභාවය සමග සියයට සියයක් සාර්ථකත්වයක් නැත. සෑම රටකටම ආර්ථික ප‍්‍රශ්න පැන නැගී ඇත. යතාර්ථය පහදා දී ක‍්‍රමය ගැන විශ්වාසයක් ඇති කරන්නට පියවර වැදගත්ය.

ක‍්‍රමය ගැන විශ්වාසයක් සදහා ජනතාවගේ පැත්තෙන් හිතන්නට අවශ්‍යය. ජීවිතය ආරක්ෂා කරගෙන ජීවනෝපාය සැලසීම වැදගත්ය. විධායක ජනාධිපති ක‍්‍රමය තුළ තිබුණ විකෘති වනස් කරන්නට ආණ්ඩුව පියවර ගත්තේය. විසි වැනි සංශෝධනය සදහා තුනෙන් දෙකක බලයකට සදහා ගෙන ගිය සටන දෙස ජනතාව බලා සිටියේය. එක දේශපාලන ක‍්‍රියාවලියක් අවසානයේ දී නැවත වටයකින් පලාත් සභා මැතිවරණ පැවැත්වීම හෝ අලූත් ව්‍යවස්ථාවක් හැදීම වශයෙන් තවත් දේශපාලණීකරණ ව්‍යාපෘතියකට ඇතුළුවීම සාධාරණ නැත. පලාත් සභා ක‍්‍රමය තුළින් රටට නිසි සේවයක් නොලැබුණ බව පිලිගත යුතුය. විශාල ධන නාස්තියක් වන අතර තවත් දේශපාලන හා නිලධාරී පැලැන්තියකට සීමා වී තිබේ. ව්‍යවස්ථාව තුළ ගැටළු ඇති අතර සෑහෙන කාලයක් විසදාගත නොහැකි වූ අරගලයක කොටසක් බව පැහැදිලිය. පවතින බරපතල සාධක හමුවේ ජන ජීවිතයට බලපාන කාරණා නොවේ. ආර්ථිකය හදන, ජනතාව ජීවත් කරන පියවර වැදගත්ය. විවිධ කණ්ඩායම් හා බලවේග වල සටන්පාඨ වලින් ජනතා අවශ්‍යතා සාක්ෂාත් කරන්නේ නැත. සටන් පාඨ හා තර්ජන වලින් රටක් දියුණු කළ හැකි නම් ශ‍්‍රී ලංකාව අද ඉහළම තැනකය.

අලූත් ව්‍යවස්ථාවකට පෙර මතවාදී අරගලයක්

ලංකාවේ නිදහස ගැන විවිධ අර්ථ කථන තිබේ. එහෙත් එය ව්‍යවස්ථා රාමුවක් අනුව ලැබුණ බව අමතක කළ යුතු නැත. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ලංකාව අත්හරින ලද අතර මෙරට පාලනය බාර දෙන්නේ වරප‍්‍රසාද ලත් පැලැන්තියකටය. බටහිර ඉගෙනගෙන, එතැනින් ඇති කරන ලද නීති රීති රාමුව අනුව වැඩ කරන්නට සමත් කණ්ඩායමකටය. බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථාවක් නැත. ව්‍යවස්ථාවක් නැති රටක් ලංකාවට ව්‍යවස්ථාවක් සකස් කර සීමා මායිම් කළේය. එකී සීමා සහිත අවකාශය වඩා පුලූල් කරන්නට වෑයම් නොකරන අප සියළුම දෙනා අලූතින් පිටකවරයක් සකස් කර හැඩය වෙනස් කරන්නට වෑයම් කර තිබේ. ප‍්‍රංශයෙන්, ඇමරිකාවෙන්, සහ ඉන්දියාවෙන් ලබාගත් කොටස් එහි ඇත. ජනරජ ව්‍යවස්ථාව පවා මහජන අවශ්‍යතා පිළිබිඹු නොකරයි. විධායක ජනාධිපති පදවිය සහිත ව්‍යවස්ථාව පවා ජනතා පරමාධිපත්‍ය තහවුරු කර නැත. එහි දුබලතා තිබේ. ව්‍යවස්ථා හැදෙන්නේ බලයේ සිටින පක්ෂයේ උවමනා සාක්ෂාත් කරගන්නටය. බලය ආරක්ෂා කරගන්නටය. පවතින ව්‍යවස්ථාව විසි වතාවක් සංශෝධනය කර තිබේ. බලයට පත්වන ආණ්ඩු තමන්ගේ අභිමතාර්ථ තහවුරු කරගන්නා පාලනයක් සදහා සංශෝධන ඉදිරිපත් කර ඇත. ඒවායේ ගැබ්ව ඇති පටු පරමාර්ථ ජනතා පදනම දෙදරවා තිබේ. පසුගිය කාලය තිස්සේ, ආණ්ඩු ගණනක් අලූත් ව්‍යවස්ථාවක් සකස් කරන උත්සාහයක නිරත විය. රට පුරා ආන්දෝලනයක් ඇති කරමින් කිසියම් සංවාදයක් ඇති කළේය. අලූත් දෙයක් නිර්මාණය කරන්නට අසමත් විය. එක පැත්තකින් අවංක අධ්‍යාශයක් සහිත පුලූල් දර්ශනයක් නොතිබුණි. වෙනස් කරනන පියවරක් සදහා සපුරාලිය යුතු නීති කරුණු අනුව පැරණි ව්‍යවස්ථාව වෙනස් කරන පියවරට බාධා පැන නැගිණ. තමන්ට අවශ්‍ය කොටස පමණක් වෙනස් කිරීමක් සිදුවීම කැපී පෙණින.

යහපාලන ආණ්ඩුව ව්‍යවස්ථාවේ මූලික සංකල්ප තුළ විකෘති ඇති කළේය. බලය හිමිවිය යුතු විධායකයට ද නොඑසේනම් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයට ද යන තීරණය ගැනීමට අපොහොසත්වීම විශේෂ ලක්ෂණයකි. රටවැසියන් සියළුදෙනාගේ ඡන්දයෙන් පත්කරගන්නා විධායක ජනාධිපතිවරයෙකු බලයක් රහිත තැනකට පත් කිරීම දේශපාලන බල අරගලය අනුව සිදුවූවකි. වත්මන් ආණ්ඩුවට එය යම් ප‍්‍රමාණයකට ආපසු හරවන්නට සිදු වූ අතර විසිවැනි සංශෝධනය ඉශ්ඨ කරන්නේ එකී උවමනාවයි. මෙතැන් සිට ඉදිරියට බැලීමේ දී ප‍්‍රමුඛතා හදුනා ගැනීම සුදුසුය. මහජනතාව වහාම ඉල්ලන්නේ අලූත් ව්‍යවස්ථාවක් නොවේ. පලාත් සභා අහෝසි කරන පියවරක් නොවන බව පැහැදිලි කළ යුතුය. පලාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමෙන් ජනතාවට ලැබෙන අස්වැසිල්ලක් නැත. අහෝසි කිරීම ගැන ජනතා බලකිරීමක් ද නැත. අහෝසි කිරීමේ දී බලය බෙදන විකල්පයක් අවශ්‍යය. සුළු ජනතාවගේනියෝජනය වෙනුවෙන් සෙනෙට් මණ්ඩලයක් වැනි රාමුවක් අවශ්‍යය. සමානුපාතික ඡන්ද ක‍්‍රමය ව්‍යවස්ථාව හෝ පලාත් සභාවලට වඩා විනාශයක් රටට කර තිබේ. විශාල දුෂණයකට හා කලූ සල්ලි හුවමාරු වන ක‍්‍රමයකි. මෙවැනි පැති සලකා සම්පූර්ණ වෙනස් කිරීම් අවශ්‍යය. පවතින පසුබිම අනුව රට වෙනස් කරන අලූත් ව්‍යුහාත්මක වෙනස්කම් වලින් අලූත් ආර්ථිකයක් ගොඩනැගීම හැර දේශපාලන බලය තහවුරු කරන ව්‍යාපාර ගැන කල්පනා කිරීම අනුචිතය.

වර්ධනය වන අන්තවාදී බලවේග ගැන යමක්

මෑත දශකය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ප‍්‍රශ්න කිරීමකට ලක් විය. පාලකයන්ට හා ක‍්‍රමයට විරද්ධය ලෝකයේ සෑම රටකම ජනතාව නැගී සිටියේය. අරාබි වසන්තය එහි එක සන්ධිස්ථානයක් නම් ඇමරිකානු ජනාධිපතිවරණයට පසු දැන් ඇති වී තිබෙන වාතාවරණය අනෙක් කෙළවරකි. ලෝකයේ බලවත්ම රට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ආරක්ෂා වී ඇතැයි ප‍්‍රකාශ වූ ඇමරිකාවේ ජනී ජනයා ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට විරුද්ධව පාරට බස්සවන්නට ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට හැකි වී තිබේ. නිල කාලයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇතැම් අංශ අර්බුදයකට තල්ලූකරමින්, ස්වකීය පුද්ගල මත අනුව ක‍්‍රියා කළ හෙතෙම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රතික්ෂේප කරන තරමට පත්ව ඇත. එයින් අන්තවාදී බලවේග වලට දොරටු විවෘත කර දී තිබේ. සමාජ මාධ්‍ය බලපෑම අන්තවාදයට හොද පදනමකි. ක්ෂණයකින් අදහස් විසුරුවා හරින්නට හැකියාව ඇත. එතැනින් ඇති කරන අවුල් සමාජ එකගතා විනාශ කරයි. අර්බුද මතු කරන්නට සමත් වෙයි. යුරෝපා හවුල තුළ තිබුණ දර්ශනය විනාශ කරන්නට සුළු කණ්ඩායමකට හැකි විය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට යුරෝපා හවුලෙන් ඉවත්වීමට සිදුවීම අන්තවාදයේ ප‍්‍රතිඵලයකි. කුඩා පිරිසකට අන්තවාදී අදහස් ඉදිරිපත් කර මහා විනාශයක් කරන්නට හැකියාව ලැබී ඇත. බහුතර මත අනුව ක‍්‍රියා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක බලවත් ප‍්‍රශ්න ඇති කරයි. අදිසියේ නැගෙන පුද්ගල ප‍්‍රවාහයන් එල්ලකරන පීඩනය පාලනය කිරීම පහසු නැත. ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ටිවිටර් ගිණුම තාවකාලිකව වසා දමන්නට එම සමාගම පියවර ගත්තේය. සමාජ මාධ්‍ය වල බලය හා එය කරන හානිය ගැන එක උදාහරණයකි.

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණය මෙම අන්තවාදයේ තවත් පැත්තකි. ගොවියන්ගේ නිෂ්පාදන මිල දී ගැනීමට තිබුණ තනි අයිතිය වෙනස් කර එය පුලූල් කිරීම ප‍්‍රතික්ෂේප කරන එරට ගොවියෝ සති ගණනක් තිස්සේ නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවට විරැද්ධව පාරට බැස තිබේ. පකිස්තානය, තායිලන්තය නිතර අරගල හට ගැනෙන තැන්ය. ලෝකයේ සෑම රටකම අන්තවාදී කල්ලි බලවත් වී ඇත. සුළු සිද්ධියක් පදනම් කරගෙන තද අදහස් ව්‍යාප්ත කරයි. ආගමික අන්තවාදී ක‍්‍රියා ඉතාම සාහසිකය. ආගමක උගන්වන දර්ශනය විකෘතිකර ඇදැහිල්ලට යොමු කරන අතර මනසට ආමන්ත‍්‍රණය කර විනාශයකට පොළඹවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ආයුධ වෙළදාම හා නොයෙක් ආකාරයෙන් නීති විරෝධීව උපයන මුදල් අන්තවාදී කල්ලි අතට ලැබෙන බව තහවුරු වී තිබේ. අන්තවාදී බලවේග නිර්මාණය වන පසුබිම සොයා නිවැරදි කරන්නට උත්සාහ නොකරන පාලකයෝ තද මර්දනකාරී පියවරකට අවතීර්ණවීම හමුවේ ප‍්‍රශ්ණ සංකීර්ණ කර ඇත.

විසදුමකට පාර පෙන්වන මැද මාවත

දැවෙන ප‍්‍රශ්න වලට උත්තරය අන්තවාදය නොවේ. සියලූ පාර්ශව එකතු වී, පැන නැගී ඇති ප‍්‍රශ්න කතා කර එකගතාවයකින් ක‍්‍රියාකරන පාලනයක් රටට අවශ්‍යය. බුදුරජානන් වහන්සේ අශ්ඨ ගෝක ධර්මය අනුව ජීවත්වන මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුදැන වදාලය. සමානාත්මතාවය හා මධ්‍යම ප‍්‍රතිපදාව සම්බන්ධ පුලූල් දර්ශනයක් බුද්ධ දේශනාවෙන් ඉදිරිපත් කරයි. දහමට අනුව හැඩගැසුන සංස්කෘතියක් අපට ඇත. බුදු හිමියන් පෙන්වූ මැද මාවත අනුව යමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ අලූත් දොරටුවක් විවෘත කර ගන්නට අවකාශයක් ඇත. ප‍්‍රශ්නයක් ඇති වූ විට දෙපැත්තට බෙදී තර්ක කරන පිලිවෙල වෙනුවට එකට එකතු වී සාකච්ඡා කර සත්‍ය අවබෝධකරගන්නා භාවිතාවක් පෙරදිගට උරුම වී තිබුණි. ශේෂ්ඨ ඉතිහාසය එයට සාක්ෂි දරයි. පක්ෂ වලට බෙදී වාද කර පසුව වැඩිදෙනාගේ කැමැත්තට ඉඩ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෑත කාලයේ ක‍්‍රමයකි. සියලූ අදහස් සලකා සම්මුතියකින් තීරණ ගැනීම වැදගත්ය. එවැනි සම්මුතිය ඇති කරන පාලන ක‍්‍රමයකට අවශ්‍ය කරන ව්‍යවස්ථා රාමුවක් රටට සකස් කරගැනීමට හැකියාවක් ඇත.

ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දක්වන සියළු පාර්ශව ස්වකීය තද ආකල්ප වලට පමණක් කොටු වී සිටින බව පෙනේ. ජාතික ගීය, ආගමට හිමි තැන, පුරවැසි භාවය, ඉඩම් හෝ පොලිස් බලතල වැනි පටු අභිලා ශ ඉදිරියට ගෙන ඇත. අනෙක් පාර්ශව වලට අදහසකට ඉඩක් නැති රටක් තුළ යුක්තිය හා සමානාත්මතාවය ගැන සාකච්ඡා කළ හැකිද? සංස්කෘතික අනන්‍යතා සහ නීතිය පටලවා ගැනීමෙන් උසස් සාරධර්ම සහිත සමාජයක් බිහිකරන්නට පුලූවන්කමක් නැත. මෙරට ජීවත්වන සියළු දෙනාටම තමන්ගේ ජාතිය, ආගම හෝ පෙලපත අනුව උරුම වූ අනන්‍යතාවයක් තිබේ. කුල සිරිත් වලට තමන් ගරු කරන හා සමානව තම අසල්වැසියා ද ඔවුන්ගේ කුල සිරිත් ආරක්ෂා කරන බව තේරුම් ගැනීම වැදගත්ය. අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරන විට සලකා බලන ද්‍රෘෂ්ඨි කෝණය මුලික පදනමක් විය යුතුය. සාධාරණ අවස්ථා ඇති කරන රාමුවක් තුළ අන්තවාදය බැහැර කළ හැකිය. එය රටට ගැලපෙන විසදුමකි. මෑත ඉතිහාසය තුළ අමිහිරි අත්දැකීම් එමටය. දකුණේ සහ උතුරේ, ජවය ඇති තරුණ පිරිසක් රටට අහිමිවිය. එවැනි අවස්ථා නැවත ඇති නොකිරීම අප සතු බලවත් වගකීමකි.

විශ්වාසය ගොඩනැගීම පළමු කාර්ය භාරයයි

ව්‍යවස්ථාවක් යනු වගන්ති වලින් සමන්විත ලියැවිල්ලකි. ව්‍යවස්ථාවේ සදහන් කරුණුවල බර සාර බව බහුතර ජනී ජනයාට අවබෝධයක් නැත. ඇත්ත කතාව එයයි. ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට කියන ඇතැමෙකු පවා එහි වගන්ති සම්පූර්ණයෙන් කියවා නැත. ව්‍යවස්ථාවක් හැදීම නීතිවේදීන් ගේ කාර්යයක් බවට මතයක් තිබේ. ව්‍යවස්ථාව අයිති ජන සමාජයටය. සාමාන්‍ය මිනිසුන්ට තේරුමක් නැති, වක‍්‍ර අන්‍යාලාප සහිත වචනවලින් ජාතීන් අතර විශ්වාසය ගොඩනගන්නේ නැත. ලංකාවේ සම්මත කරගත් ව්‍යවස්ථා හා ඒවායේ සංශෝධන ප‍්‍රමාණය සලකන විට දේශපාලන පක්ෂ අතර පවා විශ්වාස නොකරන ලියැවිල්ලකි. ව්‍යවස්ථාව, තම දේශපාලන හා ආගමික නායකයන් සහ ජනමාධ්‍ය භාවිතාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම් විශ්වාස නොකරන තැනකට පත්ව ඇති අවස්ථාවක විවිධාකාර මතිමතාන්තර සමාජගත වෙමින් තිබේ. එවැනි ප‍්‍රයත්න දැරීම නුසුදුසුය. දවස ගතකරන පාලනයක් හැර අනාගතයක් ගොඩනගන පුලූල් ජන පදනමක් නිර්මාණය නොවේ. බිද වැටුණ විශ්වාසය නැවත ඇති කරගත යුතුය. මෙම නිහඩ, සමාජ දුරස්ථකරණයක් සහිත කාලවකවානුව අලූත් ආරම්භයකට හොද අවස්ථාවකි. ක‍්‍රමයෙන් බැහැර පුද්ගලයෙකු ජනාධිපතිවරයා තෝරා ගැනීම මගින් එය සංකේතවත් කර තිබේ. මුලින් සදහන් කරන ලද කරුණු එනම් ආර්ථික ප‍්‍රශ්න, කොවිඞ් වසංගතය හා මානව හිමිකම් සම්බන්ධ ව්‍යාකූලත්වය ජනාධිපතිවරයා ගේ ගමන අවහිර කර තිබේ. තීන්දු ගැනීම ව්‍යාකූල කර ඇත. ජනාධිපතිවරයා දිනවන ලද බව හිතන කන්ඩායම් වලට වගකීමක් ඇත. ජනතාව ප‍්‍රතික්ෂේප කරන ලද යල් පැනගිය ක‍්‍රමයට ජනාධිපතිවරයා නියෝජනය කරන පදනම ඇතුළු කරගැනීමට වෑයම් කිරීමට වඩා ජනතා වගේ සෘජු අභිලාශ තේරුම් ගැනීම වැදගත්ය.

යල් පැනගිය ගතානුගතික ආකල්ප වෙනස් කිරීමට කාලය උදා වී තිබේ. අධිරාජ්‍යවාදීහු පනවන ලද ආකෘතියකට අනුව රදල පෙලැන්තියකට රට පාලනය කරන්නට දෙන ව්‍යවස්ථාව ගලපා ගන්නට කලින් කළ යුතු කාර්ය භාරයක් තිබේ. සමාජ විශ්වාසය වැදගත්ය. අනෙක් පුද්ගලයාට ගරු කළ යතුය. තමන් ගරුකරන ගුරුවරයා විශ්වාස කරන්න. ගුරුවරයාට ද වගකීමක් තිබේ. විශ්වාසයක් ඇතිකරන හැසිරීමකි. ආගමික සිද්ධස්ථානයෙන්, ආයතන ප‍්‍රධානියෙකුගෙන්, සේවා ස්ථානයකින් විශ්වාසය ඇතිකරන ගමන ආරම්භ කළ හැකිය. දේශපාලනඥයෙක්, සමාජ නායකයෙක් අවසාන වශයෙන් රටේ නායකයා යමක් කියන විට විශ්වාස කරන්නටත්, විශ්වාසය ඇති කරන, විනිවිද පෙනෙන වැඩ පිලිවෙලක් රට ගලපා ගත යුතුය. එය පහසු නැත. විශාල ආත්ම ශක්තියක් හා අලූත් සැලැස්මක් ගැන බලවත් අධිශ්ඨානයක් අවශ්‍යය. එවැනි පියවරකට පසු රට හා ජනතාව තමන් ගේ අනාගතය ගැන සුබවාදීව බලනු ඇත. වෙනත් රටකින් නොව තමන්ගේ මාතෘභූමියෙන්ම නැගෙන්නට වෑයම් කරනු නිසැකය. අලූත් යුගයක් සදහා ව්‍යවස්ථාවක් සකස්කිරීම පහසුය. පක්ෂවලින්, ආගමික නායකයන්ගෙන්, පුද්ගලික මතවාද වලින් හා විරුද්ධ පක්ෂය හා සුළු ජාතිකයන් අසරණ කරන අන්තවාදී බලවේගවලින් කරන යෝජනා එක මේසයකට දමා කවලම් කර නිර්මාණය කරන ව්‍යවස්ථාවක් මෙම අවස්ථාවේ සුදුසු නැත. පළමුවෙන් ජනතාවට රට ගැන ආදරයක්, විශ්වාසයක් ඇතිකරන්න. රට තුළින් පැන නැගෙන සාධාරණ අවස්ථා අනුව යුක්තිගරුක ජීවිතයක් ඇතිකරන්න. අලූත් ව්‍යවස්ථාවක වගන්ති සකස්කිරීම පහසු වනු නිසැකය.

(මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org වෙත යොමු කරන්නේ නම් මැනවි)