11/07/2023 - ලංකාදීප
කර්මාන්ත යුගයකින් පෙරළියක්

අග හිගකම් දැනෙන සමාජයක් රට තුළ නිර්මාණය වී තිබේ. එය ආර්ථික අර්බුදයෙහි ප‍්‍රතිඵලයක් වන අතර සෑම දරු පවුලක්ම අවුරුද්දකට කලින් සිටි තත්ත්වයෙන් තරමක් පහතට වැටී ඇත. ප‍්‍රතිසංස්කරණයකට පසු ස්ථාවරභාවයක් ඇති කිරීම සදහා ආණ්ඩුව කැපවීමකින් කටයුතු කරමින් සිටින බව පෙනේ. තාවකාලික ස්ථාවරභාවය වෙනුවට පුනර්ජීවණය කරා ගමන්කිරීමේ දී උත්පාදනය යන සංකල්පය වැදගත්ය. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක සහ සේවා අංශවල ක‍්‍රියාකාරීභාවයක් සදහා කටයුතු කළ යුතුය. නිෂ්පාදන වර්ධනය තුළ ධනය නිපදවන අතර එම ධනය රටටත් සමාජයටත් ප‍්‍රගමනයක් ඇති කරයි. නිෂ්පාදන අංශ ක‍්‍රියාශීලී නොකළහොත් රජයේ යාන්ත‍්‍රණය සදහා අවශ්‍යවන මුදල් සමාජයෙන් ලබාගන්නට සිදුවේ. දැනට සිදුවන බදු එහි ප‍්‍රතිඵලයකි. තවත් බදු වැඩි කර, අධික බදු ප‍්‍රතිශතයකින් අයකරගැනෙන සමාජ ක‍්‍රමයකින් පුනරුදයක් අපේක්ෂා කළ නොහැක.

රජයට අයත් හා පුද්ගලික අංශය වශයෙන් ව්‍යාපාර කොටස් දෙකකි. රජයේ ආයතන පද්ධතිය තුළ ඇති කළමණාකරන දෝෂ ගැන අප සියළුම දෙනාට අවබෝධයක් ඇත. දූෂණ තුරන්කර රාජ්‍ය ආයතන කාර්යක්ෂමව කරගෙන යන බවට පොරොන්දු දී බලයට පත් ආණ්ඩු අවසානයේ දී ආර්ථිකයට කරන ලද විනාශය ඉතාම දරුණු බව සදහන් කළ යුතුය. දශක හතකට වැඩි ඉතිහාසය තුළ අනුගමනය කළ ප‍්‍රතිපත්ති අවසානයේ අද පවතින තත්ත්වය උදා වී ඇත. ශ‍්‍රී ලංකාවේ සම්පත් සහ තරුණ ග‍්‍රමය ලෝකයේ පවතින අලූත් දැනුම හා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඉදිරි සියවසට ගැලපෙන කර්මාන්ත හා ව්‍යාපාර යුගයකට ප‍්‍රවේශ විය යුතුය.

නොකළ යුතු දේ ගැන අධිරාජ්‍යවාදී පාලනයක අනාවරණය

අපනයනය ඉලක්ක කරගෙන කටයුතු ආරම්භ කිරීමේ ඉතිහාසය යටත්විජිත කාලය දක්වා ඈතට විහිදේ. කුළුබඩු, මුතු සහ මැණික් ඇතුළු දේ ලබාගැනීම අරමුණු කරගෙන ලංකාව යටත්කරගත් අධිරාජ්‍යවාදී පාලකයෝ පළමුවෙන් කෝපි වගා කළහ. කෝපි වගාව විනාශ වූ පසු ඔවුහු තේ වගාවට ආරම්භ කළේය. ශ‍්‍රී ලංකාව ලෝකයේ හොදම තේ වැඩිම නිෂ්පාදනයක් කරන රට බවට පත්ව තිබුණි. අද එතැන නැත. විශාල ඉඩම් ප‍්‍රමාණයක වගාකර, අඩු විනිමය ප‍්‍රමාණයක් උපයන තේ වගාවෙන් ආර්ථික වාසියක් නැත. තේ කර්මාන්තයේ නිරත පිරිස ලක්ෂ ගණනකි. කුඩා තේවතු වගාවෙන් සියයට හැටකට වඩා දායකවේ. තේ වගාව නිසි ආදායමක් නොලබන බව කුඩා තේවතු හිමියෝ ප‍්‍රකාශ කරති. වරින්වර සිදුවන වෙළද පොල අවශ්‍යතා අනුව ආදායම් උත්පාදන අංශ පරිවර්තනය කළ යුතුව තිබුණි.

තේ වගාවට පසු, විනිමය උපයන ප‍්‍රධාන අංශයක් වශයෙන් සංවර්ධනය වූයේ ඇගළුම් කර්මාන්තය පමණකි. තොරතුරු තාක්ෂණ අංශය මෑතක සිට ඇමරිකානු ඩොලර් බිලියනයක් අපනයන ආදායම උපයන තැනට පැමිණ තිබේ. තව වසර තුනකින් ඇගළුම් කර්මාන්තයට වසර පනහක් සපිරේ. රට පුරා තිබුණ කම්හල්වලින් කොටසක් වැසී ඇත. තවත් කොටසක් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන බව වාර්තා වේ. ප‍්‍රධාන කම්හල් තරගකාරිව ව්‍යාපාර මෙහෙයවන නමුත් ඉතාම සංකීර්ණ ගැටළු එම කම්හල්වලට ද ඇත. කෝටා ක‍්‍රමයෙන් ලැබුණ වාසිය භාවිතා කර ආරම්භ කරන ලද ඇගළුම් කර්මාන්තයේ අනාගතය පැහැදිලි නැත. නිදහසට පසු ගත වූ දශක හතහමාර තුළ කර්මාන්ත හා ව්‍යාපාරවල ගමන්මග ආර්ථිකයට විශාල බලපෑමක් කරන්නට අසමත්වීම සැලකිය යුතු තත්ත්වයකි.

සංවර්ධනයට යා කරගත නොහැකි තරුණ පරපුර

කෘෂිකර්මය, කර්මාන්ත සේවා අංශවල කැපී පෙනෙන වෙනසක් ඇති කරන තීන්දු නොගැනීමම හේතුවෙන් රජයේ බදු ආදායම පිරිහී තිබේ. රැකියා හිගයක් ඇතිකරන අතර අධ්‍යාපනය අවසන් කර වෘත්තීය අවස්ථා සොයන තරුණ පිරිසට රැකියා නැත. නිදහස් අධ්‍යාපනය උගත්, දක්ෂ තරුණ පිරිසක් බිහිකරන ලද නමුත් නිරතවන්නට අවස්ථා හිගවීම ප‍්‍රශ්නයකි. දෙමව්පියන්ගේ උරුමය දරුවන් අතර බෙදෙන පසු සාමාන්‍ය පවුල්වල දරුවන්ගේ වත්කම කුඩා ඉඩම් කැබැල්ලක් පමණකි. ඉඩම් හිමි පරම්පරාව පවා වත්කම් බෙදී ගිය පසු රැකියා සොයන තැනට එකතුවේ. කෘෂිකර්මය යැපෙන තැනට පත් ඇති අතර කෘෂි අපනයන ආදායම රහිතව රටට විනිමය සපුරාගත නොහැක.

අවස්ථා සොයා නගරයට සංක‍්‍රමණය වූ තරුණ පිරිස මෙරට මැදි ආදායම් ආර්ථිකය බිහිකළ ප‍්‍රධාන බලවේගය විය. මෙයට අමතරව තවත් විශාල පිරිසක්, ක‍්‍රමයෙන් පිටස්තර අවස්ථා රහිත තත්ත්වයක වූ අතර දකුණේ හා උතුරේ පැන නැගී ත‍්‍රස්තවාදයට සම්බන්ධ වූයේ එම තරුණ කොටස්ය. ත‍්‍රස්තවාදය විනාශ කළ නමුත් තරුණ ජන කොටස්වල අවශ්‍යතා සාක්ෂාත් වී නැත. අවස්ථා අහිමිවීම තුළ නගරටත් නගරයේ දී ඇති වූ අපේක්ෂා භංගත්වය තුළ වෙනත් රටකට පැනගොස් අනාගතය ගොඩ නගාගන්නටත් වෑයම්කරන තරුණ කොටසක් අද අප හමුවේ සිටී. ඔවුහු ක‍්‍රමයට වෛර කරන අතර දේශපාලන නායකයන් ගේ හැසිරීම ප‍්‍රතික්ෂේප කරති. සංවර්ධනයට එකතු කරගත නොහැකි වී ඇති මෙම ධෛර්යවන්ත තරුණ කොටස ගැන දයාවෙන් බලන්නට පවතින වැඩ පිලිවෙල කුමක්ද? දක්ෂතා සහිත තරුණ පරපුරට තාක්ෂණ දැනුම දෙන ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාලවලට ඉඩ දී නවීන අධ්‍යාපනය හදාරන අවස්ථා ලබාදිය යුතු අතර එය පුහුණු ශ‍්‍රමය ඇතිකරන මාර්ගයකි.

ත‍්‍රස්තවාදය අවසන් වන තුරු ඉවසන ලෙස තරුණන් ඇතුළු පිරිසට කියා සිටි නමුත් ගැටුම් අවසානයේ දී උත්තරයක් නැත. පවතින ව්‍යුහය වෙනස්කර අලූත් ප‍්‍රතිපත්ති තුළින් නිර්භීත තීරණ ගැනීමට ආණ්ඩු සමත්වූයේ නැත. බලයට පත් ආණ්ඩු පුරුදු ක‍්‍රමය තුළ ආකෘතිගත වූ අතර ලෝකය ඉදිරියට ගමන් කරන අතරතුර ශ‍්‍රී ලංකාව එයට අනුගත නොවීම ඉදිරියේ විශාල අනතුරක් නිර්මාණය කර තිබේ. දේශපාලන මතිමතාන්තර අනුව පටු ආකල්ප උසුලාගෙන සිටින සමාජයේ ඇතැම් කොටස්, ආර්ථික හානියට වඩා බලවත් අනතුරක් ඇති කරමින් සිටී. ඊළග ආණ්ඩුවකට බලය ඉල්ලන්නට කලින් සිස්ටම් එනම් මෙම ගතානුගතික ක‍්‍රමය වෙනස් නොකළහොත් නැවත වතාවක් පාඩමක් ඉගෙන ගන්නට රටට සිදුවිය හැකිය. මෙම වගන්තිය බලයට එන්නට සූදානමින් සිටින විපක්ෂ දේශපාලන පක්ෂවලට ද අදාලය.

පැති පහක බලවේගයක් හා ජාතික සම්පත්

ජාතික සම්පත් ආරක්ෂා කරගැනීමේ දැවැන්ත මතවාදයක් රට තුළ තිබේ. පිටරටින් තෙල් ගෙන්වා විකිණීමේ ඛනිජ තෙල් කර්මාන්තය, අකාර්යක්ෂම ක‍්‍රම හේතුවෙන් අධික මිලකට විදුලිය සැපයෙන මණ්ඩලය, තරගකාරීව කරගෙන යා නොහැකිවීමෙන් අධික පාඩු ලබන ශ‍්‍රී ලංකන්, පරිවර්තනයකට ලක් නොවු බැංකු, මුල්‍ය හා රක්ෂණ අංශ හෝ ආයෝජනයක් කළ නොහැකි වරාය රටට අයත් ජාතික සම්පත් නොවේ. රටටත්, ජනතාවටත්, මෙහෙවරක් වන පරිදි ජාතික සම්පත් හැසිරවීම බලවත් වගකීමකි. අධික පාඩු හේතුකොටගෙන බැංකුවලට ණයගෙවමින් එම බර ජනතාවට පටවන අංශ ආරක්ෂා කළ යුතු ඇයි? මෙම ව්‍යවසාය නිසි පරිදි මෙහෙයවන්නට ඉඩ දී එයින් ලැබෙන ජවය, ජනතාවට දැනේනට සැලැස්විය යුතුය. උත්පාදන ක‍්‍රමෝපායකට ප‍්‍රතිපත්ති හැදීම වෙනුවට, අසාර්ථක ජාතික සම්පත් ආරක්ෂා කරන මතවාද ඇවිලවීම සාර්ථකත්වයට හේතුවක් නොවේ.

වරාය, ගුවන් සේවා, විදුලිය, ඛනිජතෙල් හා තොරතුරු සන්නිවේදනය යන පැති පහක මූලික වත්කම් රටට ඇත. මේවා ශ‍්‍රී ලංකාවට පමණක් හුදෙකලා කිරීම ඵලදායී ව්‍යාපාර නොවේ. ජාත්‍යන්තරයේ දැනට පවතින රාමුව අනුව කලාපයට ව්‍යාප්තවන කර්මාන්ත ඇති කළ හැක. ශ‍්‍රී ලංකාවේ වරායවල කන්ටේනර් මෙහෙයැවීම සලකන විට එයින් සියයට අසූවක් ප‍්‍රතිඅපනයන බව දැක්වේ. ඉන්දියාව, චීනය සහ ජපානය මෙම වරාය තවත් පුලූල්කර කලාපීය යාන්ත‍්‍රණයකට සූදානම්ය.

සුළං හා සූර්ය විදුලිය උත්පාදනය කළ හැකි දේශගුණයක් ශ‍්‍රී ලංකාවට ඇත. මෙරට සම්පූර්ණ විදුලිය උත්පාදනය මෙන් හය ගුණයක් මන්නාරම හා අවට පවතින සුළං බලයෙන් නිපදවිය හැකි අතර නිෂ්පාදන වියදම රුපියලකටත් අඩුය. අතිරික්ත විදුලිය අපනයනය කළ හැකිවේ. ලෝකයේ එවැනි ව්‍යාපාර සිදුවේ. භූතානය හා නේපාලය නිපදවන විදුලිය ඉන්දියාව මිල දී ගනිමින් සිටී. සවුදි අරාබිය සමග විදුලිය බෙදාගැනීමේ ආයෝජනයකට ඉන්දියාව සූදානම්ය. මන්නාරම සුළං විදුලිය උත්පාදනයට ආයෝජනය කළහොත් එම විදුලිය අනාගතයේ දී සවුදි අරාබිය දක්වා සැපැයීමට හැකි වනු ඇත. ති‍්‍රිකුණාමලය තෙල් ටැංකිවලට කරන ආයෝජනය තවත් අංශයකි. කලාපයේ තෙල් සංචිතයක් හා පිරිපහදුවක් සදහා පසුබිමක් ඇත. නලමාර්ග ඉදිකර මෙම ආයෝජන රාමුව නිසි පරිදි යෙදවුවහොත් ඉදිරි දශකය තුළ ඛනිජ තෙල් වෙළදාමේ නායකත්වය ලබාගත හැක. මෙවැනි කර්මාන්ත හා ව්‍යාපාර ඔස්සේ තරුණ කොටස් රට හැර යෑම වැලැක්විය හැකිය. ජනතාව ගෙවන බදු අඩු කරන අතර ඛනිජතෙල්, විදුලිය හා සන්නිවේදන ගාස්තු අඩු කළ හැක. ආයෝජන පමණක් නොව අලූත් නීති අනුව මෙම ව්‍යාපාර නියාමනය කරන ජාත්‍යන්තර ක‍්‍රමවේද ගැන ද මෙහි දී අවධානය යොමු කළ යුතුය.

ගුවන් සේවා දියුණු කිරීම සංචාරක ව්‍යාපාරයට

ගුවන් යානා කිහිපයක් සහිතව ජාත්‍යන්තර ගුවන් තොටුපොල ගණනාවක් මහජන මුදලින් නඩත්තු කිරීම සීමිත ව්‍යාපාරයකි. එහි අලාභ හා අකාර්යක්ෂමතාව ජනතාවට පැටැවී ඇත. මෙම කර්මාන්තය දියුණුවන පසු ලෝකයේ ඇතිවන අවස්ථා සදහා උපයෝගී කරගනිමින් අත්දැකීම් සහිත දක්ෂ පිරිස් රට හැර යන බව වාර්තා වේ. ශ‍්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය තරගකාරීකර කාර්ය බහුල ගුවන් තොටුපොල ඇති කළ නොහැකි ඇයි? ඉන්දියාවේ ජාතික ගුවන් සේවය 2022 වසරේ දී සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කළේය. ගුවන් තොටුපොල ගණනාවක් පුද්ගලික ආයෝජකයන්ට පැවැරීය. එයාර් ඉන්දියා මිල දී ගත් සමාගම ලෝක වාර්තාවක් තබමින් ගුවන් යානා පන්සියයකට වඩා එකවර ඇනවුම් කර තිබේ. ඉන්දීය ආණ්ඩුවට කළ නොහැකි ආයෝජනයක් කළ පුද්ගලික සමාගම ඇතිකළ ජවය ඉන්දියාවට ශක්තියක් වී ඇත.

ගුවන් ගමන් සේවා සංවර්ධනය සංචාරක කටයුතුවල දී ද වැදගත්ය. කර්මාන්ත ව්‍යාපාර දියුණු කරන අතර ක්ෂණිකව විනිමය උත්පාදනය කරන ක්ෂේත‍්‍රයකි. 2018 වසරේ ශ‍්‍රී ලංකාවට වැඩිමසංචාරක පිරිසක් පැමිණි වසර වශයෙන් සදහන්ව තිබේ. තේ කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකකට මදක් වැඩි ප‍්‍රමාණයක් උපයනවිට සංචාරක කර්මාන්තයෙන් එම වසරේ උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන හතරක් බව දැක්විය යුතුය.

ආගන්තුක සත්කාරය, ඓතිහාසික ස්ථාන, පරිසර පද්ධති සහ මුහුද සංචාරක කටයුතු සදහා ප‍්‍රවර්ධනය කිරීම සුදුසුය. ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර රාමායනය හා බුදු දහම පදනම් කරගත් අලූත් සංචාරක සැලැස්ම ප‍්‍රකාශයට පත් කළහොත් ඉන්දියාවෙන් එන පිරිස වැඩි කරගත හැකිවේ. නවදිල්ලියේ සංචාරකයෙකුට ඉන්දියාවේ උතුරට හෝ දකුණට ගුවනින් ගමන් කිරීමට වඩා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ළගාවිය හැකි අතර එපමණ සමීප පසුබිමක් තුළ වැඩිම ජනගහනයක් සහිත ඉන්දියානු සංචාරකයන් ගේ අවධානය වැඩිපුර ලබාගැනීම සදහා ප‍්‍රවර්ධන සැලසුම් සකස් කළ යුතුවේ.

අමතක කරන ලද සම්පත් කර්මාන්තවලට

ලෝකයේ අනෙක් රටවලට නැති සම්පත් ආකරයක් ශ‍්‍රී ලංකාවට ඇත. එහෙත් නිසි පරිදි ආයෝජනය කරන, සැලැස්මක් නැත. දැනට ඇති කර්මාන්ත කරගෙන යා නොහැකි රටට අලූත් ව්‍යාපාර ආරම්භ කළ නොහැක. ඛනිජ වැලි සම්බන්ධ ඉහළ සැපයුමක් රටට කළ හැකිය. ඉල්මනයිට්, රූටයිල් වැනි ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් යැවේ. ටයිටේනියම් ඔක්සයිඞ් බවට හරවා අපනයනය කරන කර්මාන්තවලට අනුමැතිය දිය යුතුය. විශාල පොස්පේට් නිධියක් ඇත. පොස්පේට් ඉවත්කරගන්නා අතර පරිසරයට හානියක් නොවන පරිදි නැවත මහපොළව ආරක්ෂා කරන තාක්ෂණය අද තිබේ. ගැඹුරු මුහුදේත්, මහපොලවේ පහලට පමණක් නොව හරස් අතට කරන විදුම්වලින් බොරතෙල් පොලව මතුපිටට ගන්නා කාලයක පොස්පේට් අපනයනයට තාක්ෂණය යෙදවීම පහසුය. එකිනෙකට සම්බන්ධ නැති ආයතන ගණනාවක අනුමැතිය, නිලධාරීන්ගේ හා ජනතා සංවිධානවල විරෝධතා රට ණයගැති භාවයට තල්ලූ කර තිබේ. පුද්ගලයෙකුට ඉඩමක් ගන්නට හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවසර හා අනුමැතිය ගන්නට සිදුවන තරම දන්නාහෙයින් කර්මාන්ත ආරම්භ කිරීම දුෂ්කර බව පැහැදිලිය. නීති ලිහිල් කළ යුතු නැති අතර ක‍්‍රමවේදය සරල කළ යුතුය. ඉතිහාසය පුරා ආණ්ඩු මෙම කරුණු සදහා උත්සාහ කර තිබේ. ඇතැම්විට ජනතාව මෙම වෙනස්කම්වලට කැමති නැත. පටු අරමුණු සහිත ඇතැම් මතධාරීහු පවතින ස්වභාවයෙන් යැපෙන අතර ක‍්‍රමය වෙනස් කිරීමට විරුද්ධවේ. එහි විපාක අද අප හමුවේ ඇත.

ලෝකයේ හොදම මිනිරන් ශ‍්‍රී ලංකාවේ ඇත. සූර්ය කෝෂ හා ජංගම දුරකතන උපාංග සදහා මිනිරන් වලින් නිපදවන ග‍්‍රැෆින් භාවිතා කෙරෙන හෙයින් හොද ඉල්ලූමක් ලබාගත හැක. දෙවැනි ලෝක යුද්ධය කාලයේ ශ‍්‍රී ලංකාව යටත් කරගෙන සිටි බි‍්‍රතාන්‍ය මිනිරන් හා රබර්වලින් විශාල ආදායමක් ඉපැයීය. පැරණි තාක්ෂණය සහ නිසි වෙළද පොල ග‍්‍රහණය කර නොගැනීම රටට අවාසියක් වී තිබේ. කෘෂිකාර්මික අංශයෙන් සලකන පසු ලෝකයේ හොදම කුරුදු නිපදවන්නේ ලංකාවේ වන අතර අපනයනය ඉලක්ක කරගෙන එලවලූ හා පලතුරු මහා පරිමානයෙන් වගා කළ හැක. කෘෂිකර්මයෙහි නිරතවන තරුණ පිරිසටඉඩම් නැත. ප‍්‍රාග්ධනය සපයා ගැනීමේ දූෂ්කරතා තිබේ. ආණ්ඩුවේ සිටින විශාල නිලධාරී පිරිස මෙවැනි අංශවලට යොදවා අලූත් වෘත්තිකත්වයක් ඇති කිරීම ආණ්ඩුවක වගකීමකි. ධීවර කර්මාන්තය ද එවැනි තවත් අංශයකි. මුහුදු කූඩැල්ලන්, ඉස්සන් හා මුහුදු ප්ලාවංගවලට ලෝකයේ ඉහළම ඉල්ලූමක් ඇත. මෙරට හෝ පිටරට ආයෝජන යෙදවුවහොත් කෙටි කාලයකින් ඉහළ ආදායමක් ලබාගත හැකි අතර රුකියා සැපයුම ද නැංවීමට හැකියාව ලැබේ. මෙම අංශවලට නැඹුරුනොවන නමුත් ශ‍්‍රී ලංකාවේ මුහුදු තීරයක්, අපේ මත්ස්‍ය සම්පතත් ආරක්ෂා කරගන්නට කරන විරෝධතා බහුලය.

ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකාය දක්ෂ බව ලෝකයම පිලිගෙන තිබේ. ලක්ෂ ගණනින් පිරිස් සෑම රටකම නොයෙක් ක්ෂේත‍්‍රවල සේවය කරති. ඔවුන් උපයා රටට එවන ධනය මෙරට විනිමය උපයන ප‍්‍රධානම මාර්ගය වී ඇත. දක්ෂතම පිරිස වෙනත් රටක සංවර්ධනයට යවා එතැනින් ලැබෙන වැටුප ශ‍්‍රී ලංකාවේ විනිමය ආදායම බවට පත් කරගැනීම වාසියක් නොවේ. අලූත් කර්මාන්ත, ඒ සදහා කරන ආයෝජන ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධිය සාක්ෂාත් කරනු ඇත. රටට ආදායමක් ලැබෙන අතර උත්පාදනය වැඩිවන විට ආදායම හා වියදම ගලපා ගැනීමට හැකිවේ. තාවකාලිකව අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක බදු වැඩිකර රට ගොඩනැගීම වෙනුවට අභියෝගය භාරගැනීම වැදගත්ය. බදු වැඩිකරන විට උත්පාදනය, නිෂ්පාදනය කෙරෙහි උන්නදුව පහත වැටෙන අතර දක්ෂ පිරිස් උපයනවිට බදු අඩු රටවල් කරා සංක‍්‍රමණය වෙති. තීරණ ගැනීමේ දී මෙම අංශ සලකා බැලීම වැදගත්ය.