09/05/2018 - ලංකාදීප
අවුල 19 ද?
 

මෙරට පොදු ජනතාවට විසඳා ගත යුතු ප‍්‍රශ්න එමට තිබේ. කියන්නට කෙනෙකු නැත. ව්‍යවස්ථාදායකය හා විධායකය තමන්ගේ අභ්‍යන්තර අර්බුද වල පැටැලී සිටී. එම පසුබිම තුළ දේශපාලන නායකයෝ ද අසරණ වී ඇත. මෑතක දී පැවැති ඡන්දයෙන් පසු පලාත් පාලන ආයතන ව්‍යුහය අවුලකය. පලාත් සභා ක‍්‍රමය ද බිඳ වැටෙමින් තිබේ. ජීවන වියදම දරාගත නොහැකිය. ගොවියාගේ නිෂ්පාදන අඩු මිලට විකිණෙන අතර භාණ්ඩ හා සේවා වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන මිල ඉතා ඉහළය. අධ්‍යාපනය විධිමත් නැත. පොදු ප‍්‍රවාහනය අතිශය දුශ්කර අත්දැකීමකි. සෞඛ්‍ය පහසුකම නොමිලේ ලැබෙන බව ප‍්‍රකාශ වන නමුත් රජයේ රෝහලේ නිසි ප‍්‍රතිකාර නොලැබේ. රටේ මූල්‍ය තත්ත්වය අයහපත්ය. විනිමය අනුපාතික සහ පොලී අනුපාතික දිනෙන් දින දුර්වල වෙයි. රාජ්‍ය ආයතන අකාර්යක්ෂම අතර ඒවායේ බර ජනතාවට පැටවී තිබේ. බදු සංශෝධන මගින් උපයා ගන්නා ආදායම වැය කරන අන්දම ගැන රට තුළ කිසිම ප‍්‍රසාදයක් නැත. ජනතාව දුෂ්කර තැනක සිටිය දී මැති ඇමැතිවරු සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටිති.

සාධාරණ සමාජයක් ගැන තිබුණ බලාපොරොත්තු කඩා වැටී තිබේ. ප‍්‍රතිපත්ති අංග විකල වී ඇත. නිසි නායකත්වයක් නැත. රාජ්‍ය පාලනයේ ව්‍යාකූලත්වය එයට වගකිව යුතුය. රාජ්‍ය සතු පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් ව ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය හා අගමැති ප‍්‍රමුඛ පාර්ලිමේන්තු ක‍්‍රමය අතර පැහැදිලි මත බෙදීමක් නිර්මාණය වී තිබේ. ජනතාව සිය ඡන්දය පාවිච්චි කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිරිසිදු පාලනයක් සඳහාය. දේශපාලනඥයෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇත. දේශපාලන පක්ෂ වල යම් යම් කොටස් එකතු වූ පමණින් එය ජාතික ආණ්ඩුවක් නොවේ. බලයට කැමැති දේශපාලනඥයන් පිරිසක් එකතු වී බහුතරය සේ පෙනී සිටින අතර ඇමැති මණ්ඩලයක් පත් කරගෙන ඇත. එය ජනතාව අපේක්ෂා කළ ක‍්‍රමය බව පෙන්වන්නට උත්සාහ කරයි. නිදහස් නිවහල් යුගයක් ප‍්‍රාර්ථනා කරන පුරවැසියන් ජීවත්වන රටක් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වූයේ කෙසේද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වටිනා ලක්ෂණ වලින් සමන්විතය. බහුතරයකගේ කැමැත්තෙන් තෝරා ගන්නා විධායක හා ව්‍යවස්ථාදායක නියෝජිතයන්ට රට පාලනය කිරීමේ වරම හිමිවෙයි. සුළු ජනතාවගේ පවා අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර පුරවැසියන්ට යුක්තිය ඉශ්ඨ කිරීම අභිමතාර්ථය කර ගනී. අධිකරණය එකී බලය තුලනය කරන අතර ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ආරක්ෂා කිරීමට වග බලා ගන්නා ආයතන වශයෙන් සැලකේ. වර්තමානයේ දී මාධ්‍ය වලින් දේශපාලනඥයන්ගේ රඟපෑම පෙන්වන අතර මාධ්‍ය, ආගමික හා සිවිල් සමාජ නායකයන් ගැන ජනතා විශ්වාසය බිඳ වැටී තිබේ. මෙකී ව්‍යාකූලත්වයට මුල දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බව ඉතාමත් පැහැදිලිය. රට එකමුතු කර බලතල බෙදන සහ යහපාලනය ඇති කරන අරමුණකින් කරන ලද සංශෝධන රට අරාජික කර ඇත. වහාම නැවතත් ව්‍යවස්ථා සංශෝධනයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ තහවුරු කර නොගතහොත් අනාගතයේ පවා මෙකී වියැවුලෙන් කිසිම ගැලවීමක් නැත.

තුන් වැනි වතාවක් ජනාධිපති ධුරයට ඉඩ දෙන සංශෝධනය දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරන ලදී. සංශෝධිත තත්ත්වය මගින් විධායක ජනාධිපති බලය හෑල්ලූවට ලක් කර තිබේ. එය සමාජ සංවර්ධන අභිලාශ සාක්ෂාත් කිරීමේ දී ගැටළු මතු කර ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබුණ බලය අහෝසි කර තිබේ. අවශ්‍ය අවස්ථාවක අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැත. කැබිනට් මණ්ඩලයේ ව්‍යුහය සකස් කරන බලය ජනාධිපතිවරයාට තිබුණ ද අගමැතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බවට යම් කිසි සීමාවක් පනවා ඇත. කැබිනට් තනතුරු වලට පත්කරන පුද්ගලයන් යෝජනා කිරීමේ බලය අගමැතිවරයාට ලැබී තිබේ. අගමැති නම් කරන අය පත් නොකරන අභිමතය ජනාධිපතිවරයාට ඇත. අවශ්‍යනම් අමාත්‍යංශ බලතල ගැසට් නොකිරීමේ බලය ද තිබේ. ජනාධිපති හා අගමැති අතර සහයෝගය නැති බව පෙන්වන එක අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. කිසියම් අවස්ථාවක අය වැය පරාජය වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණි. එය සංශෝධනය කර කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම දක්වා එය ලඝු කර ඇත. අය වැය පරාජය වූ ආණ්ඩුවකට අවස්ථා ගණනාවක් වුවත් කැබිනට් මණ්ඩලය වෙනස් කරමින් ඉදිරියට යා හැකිය. එහි අරමුණ කුමක්ද?

විශාල ධනයක් වියදම් කර රට පුරා ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා රටේ විධායක ජනාධිපතිවරයාට තීරණ ගැනීමට බලය නැත. ජනාධිපතිවරයා ගේ තීරණ ගැනීමේ හැකියාව අලූත් සංශෝධන අනුව දුර්වල කර ඇත. පාර්ලිමේන්තුවට බලය පවරන බව ප‍්‍රකාශ වන නමුත් අමුතු බලයක් එහි නැත. හදිසි අවස්ථාවක දී රට ගැන තීරණයක් ගැනෙන්නේ කොතැනින්ද? ජනාධිපතිගේ තීරණ පාලනය කිරීමට අගමැතිට බලය ලැබී තිබේ. අගමැතිවරයාගේ තීරණ වලට අවහිර කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. එය මෑත කාලය තුළ ආර්ථික හා සමාජ තීරණ වල දී ප‍්‍රත්‍යක්ෂ විය. ජනාධිපතිවරයා ගත් තීරණ පාර්ලිමේන්තුවේදී වෙනස් කරන ලද අතර අය වැය යෝජනා ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බල රහිත කර තිබේ. එක නායකයෙක් තනි බලයක් සහිත පැවැත්මක් පැවැති රටක නායකයන් දෙදෙනෙකු එකිනෙකට වෙනස් ආකල්ප ඇතිව ක‍්‍රියා කිරීමේ දී මෙකී ව්‍යාකූල තත්ත්වය උද්ගතවීම වැලැක්විය නොහැකි බව වටහා ගත යුතුය. ජනාධිපති හා අගමැති අතර බල අරගලයක් ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කර ඇත. විපක්ෂය පවා සුළු කණ්ඩායමකට සීමා වී ඇති අතර විපක්ෂය පත් කරන්නේ ද ආණ්ඩුවේ උවමනාවෙන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ කාර්ය භාරය වැදගත්ය. එය ද සිදු නොවන තැනට පත්ව ඇත.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තවත් අවුලකි. ජනතාව පත්කරන මහජන නියෝජිතයන්ට වඩා බලය ඇති නිලධාරී පැලැන්තියක් බිහි කර තිබේ. එම නිලධාරීන් මෙතෙක් කල් මෙරට පාලනය කරන ලද රාජ්‍ය ආයතන ව්‍යුහය අභිබවා ඉදිරියට ගෙන ඇති අතර එයින් රාජ්‍ය ආයතන පද්ධතිය අක‍්‍රීය කර ඇත. මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධින මැතිවරණ කොමිෂමක් පත් කර ඇත. එම කොමිසමට ඡන්දයක් පැවැත්වීමට බලය නැත. දුෂණ හා වංචා සොයා බැලීමට පත් කරන ලද කොමිසමට මෑත වසර තුන තුළ විමර්ෂණ හතරකට වඩා මෙහෙයවා නැති බව වාර්තා වෙයි. ස්වාධීන පොලිස් කොමිසමක් පත් කර තිබේ. කොමිසමට එපිටින් සිදුවන දේ පාලනය කරන්නට පොලිස්පතිවරයා අසමත්ය. රට තුළ අපරාධ ඉහළ ගොස් තිබේ. අපරාධ පාලනය කරන්නට හැකි ස්වාධීන පොලිස් සේවාවක් ඇති කරන අරමුණ සාර්ථක වී නැත. පොලිස්පතිවරයා අසාර්ථක නම් ඉවත් කිරීමට කිසිදු විධි විධානයක් නැත. රාජ්‍ය සේවා කොමිසම, මිල දී ගැනීම් සඳහා පත් කරන ලද කොමිසම තවත් පලක් නැති ආයතනයක් බවට පත්ව ඇත. යම් අවස්ථාවක දී මේවායේ නිලධාරීන් ඉවත් කිරීමට අවශ්‍යනම් ආණ්ඩුවට එයට ද බලය නැත. මෙවැනි ස්වාධීන කොමිෂන් පිහිටුවීමේ අරමුණ කුමක්ද? පටු නිලධාරීවාදයක් පමණක් බිහි කර තිබේ. ස්වාධීන කොමිෂන් ඇතිකරන ව්‍යස්ථා මණ්ඩලය නිර්දේශපාලනික එකක් විය යුතු බව මුලින් සදහන් වූ නමුත් අද ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වූ එකකි. රට ගැන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අත්දැකීම් නැති පිරිසක් මෙම ක‍්‍රම හදන අතර පවතින අසාර්ථකත්වයට එම පිරිස වග කිව යුතුය. එකතු නොවන දේශපාලන සංකල්ප දෙකක් පටු අරමුණකින් පරිවාස ආණ්ඩුවක් හැදූ අතර ස්වාධීන කොමිෂන් සභා එහි ප‍්‍රතිඵලයකි. ආයතනයක් දුර්වල වූ විට ඒ වෙනුවට තවත් ආයතන පිහිටුවා ඇත. දුර්වල පැති හදුනාගෙන ඒවා ශක්තිමක් කළ යුතුව තිබුණි. ආයතන වලින් රට දියුණු කළ හැකි නම් අද ශ‍්‍රී ලංකාව ඉසුරුමත් රටකි. ශ‍්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයකි. එහි බලතල අණ පණත් මගින් පිහිටුවන විට පැහැදිලිව දක්වා තිබේ. එහි මුදල් මණ්ඩලය ස්වාධීනය. මෑත කාලය තුළ ප‍්‍රශ්න කෙසේ වෙතත් ආසියාවේ හොඳම මහ බැංකු අතරින් එකකි. මහ බැංකුව පාලනය කිරීමට ස්වාධීන කොමිසමක් නැත. මහ බැංකුව හා අධිකරණය ක‍්‍රියාත්මක වන අන්දම සලකන විට අලූතින් පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභාවල අවශ්‍යතාවය ගැන ගැටළුවක් තිබේ. පරිවාස ආණ්ඩුව මගින් කරන ලද වෙනස්කම් රටට ඇති කරන ලද බලපෑමට නොදෙවෙනි තත්ත්වයක් වත්මන් ආණ්ඩුවේ දහනම වැනි සංශෝධනයෙන් කර ඇත. නිලධාරීන් අධෛර්යයට පත් කරන, සමාජ අවශ්‍යතා තේරුම්ගෙන වැඩ කරන්නට ඉඩ නොදෙන, අකාර්යක්ෂම හා ඵලදායීතාවයෙන් තොර ව්‍යුහයක් ගොඩනගා තිබේ. ආණ්ඩු පාලනයේ අර්බුද තුරන් කිරීමට මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන ලද අතර එය ගම් මටට්මේ පාලන ඒකකය අඩපණ කර ඇත. ඡන්ද තියන්නට බැරි මැතිවරණ ක‍්‍රමයක් හදා තිබේ. පලාත් සභාව ද එම ඉරණමට ගොදුරු වෙමින් තිබේ.

දහ නම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද මෙකී ස්වභාවය අහම්බයෙන් සිදුවූ දේ නොවේ. අදූරදර්ශී තීරණ වල ප‍්‍රතිඵලයකි. ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළ විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් කරගත හැකි සංශෝධන වලට පමණක් සීමා කළේය. එවැනි සංශෝධනයක් කරන්නේ එක කණ්ඩායමකට නැවත බලයට එන්නට ඉඩ නොදෙන අරමුණ ඇතිවය. බමුණු කුලය බිඳ වැටෙයි යනුවෙන් මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරන ලදී. රදල පැලැන්තියේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට ව්‍යවස්ථා සංශෝධනය වහල් කරගෙන තිබේ. සිවිල් සමාජය ද එයට හවුල් කරගෙන ඇත.

1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන වලින් එකක් දෙකක් හැරෙන්නට සියළු සංශෝධන පටු අරමුණු ඇතිව කරන ලද බව සඳහන් කළ යුතුය. දහ හත්වන සංශෝධනය එවකට සිටි ජනාධිපති කොන් කිරීමට ගෙන එන ලද අතර තවත් සංශෝධනයක් විපක්ෂයේ සිට ආණ්ඩුවට පැති මාරු කරන්නට පමණක් ඉඩ දෙන එකක් විය. තවත් සංශෝධනයකින් ඡන්ද පෙත්සමකින් පරාජය වූ අය පාර්ලිමේන්තුවට පත් කරන්නට බලය දෙන එකකි. දහ නව වැනි සංශෝධනය ද ඒවාට නොදෙවෙනිය. ද්විත්ව පුරවැසි භාවයත් තිබීම නිසා රට තුළ දේශපාලන අයිතිය නැති කර තිබේ. අනාගතය හා පැවැත්ම අරමුණු කරගෙන දිග දැක්මක් ඇතිව ව්‍යවස්ථාව සංශෝධන කර නැත.

මෙමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුබල කර තිබේ. එයින් ඇතිකරන ලද ප‍්‍රතිඵලය කුමක්ද? ආයෝජන සීමා කර තිබේ. ජාතික ආර්ථිකය හා ව්‍යවසාය අඩපණ කර ඇත. ජාත්‍යන්තරයේ පවතින වාසිදායක ස්වභාවය රටට අත් පත් කරගත නොහැකි වී තිබේ. එය අභාග්‍යයයකි. මෑත කාලය තුළ ජගත් ප‍්‍රජාව වඩා විශ්වාසනීයත්වයෙන් ශ‍්‍රී ලංකාව දෙස බලා සිටියේය. ලෝකයේ තෙල් මිල අඩුම මටට්මට පත් විය. පොලී අනුපාත පහලම අගයක් ගත්තේය. සංචාරක කර්මාන්තයට වාසිදායක පසුබිමක් නිර්මාණය විය. එම අවස්ථාවලින් ප‍්‍රයෝජන ගන්නට අසමත් වූ වත්මන් ආණ්ඩුව එදිනෙදා ජීවත්වීමට නොහැකි ආර්ථික පරිසරයක් බිහි කර ඇති බව පැහැදිලිව පෙනේ. එය වත්මන් දේශපාලන ක‍්‍රමයෙහි සෘජු ප‍්‍රතිඵලයකි. යුද ගැටුම් අවසන් වූ පසු සාර්ථක අනාගතයක් ජනතාව අපේක්ෂා කළහ. ආදායම දියුණු වී හොඳ පැවැත්මක් බලාපොරොත්තු වූහ. රැකී රක්ෂා බහුලවනු ඇතැයි සිතා සිටියහ. නමුත් පටු තීරණ ගණනාවක් අවසානයේ බිහි කර ඇති විකෘති පාලන ක‍්‍රමය නඩත්තු කරනු හැරෙන්නට අන් තීරණයකට යා නොහැකි තත්ත්වයකට අද වන විට රට පත් ව තිබේ. අරගල, වර්ජන සහ සංවර්ධනය අඩාලවීම සාමාන්‍ය දේ බවට පත්ව ඇත. අවසානයේ දී බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අපේක්ෂා භංගත්වයට පත්වූ ජනතාව පාලකයන්ට එරෙහිව නැගී සිටීමය. එවැනි අවාසනාවන්ත අවස්ථා කිහිපයක් ඉතිහාසයට එක්ව තිබේ. එම අරගල අවසානයේ දී යමක් වෙනස් කළ යුතු යැයි ධෛර්යයෙන් නැගී සිටින්නට හැකි දක්ෂ තරුණ පිරිසක් රටට අහිමි විය. සමාජය තුළ පවතින නායකත්ව හිස්තැන එහි ප‍්‍රතිඵලයකි. රටට නායකයෝ නැත. නිර්භීතව කතා කර මධ්‍යස්ථ හඬක් නැංවිය හැකි පිරිස මිහිදන් වී තිබේ. එය මර්දනයේ ප‍්‍රතිඵලයකි. උතුර හා දකුණ තරුණ නැගිටීම් වල දී හඬ නගා ප‍්‍රකාශ කළ අදහස් අද අමතක වී ඇත. බලය බෙදාහැරීම ගැන තිබුණ බලාපොරොත්තු බිඳ වැටී තිබේ. සංහිඳීයා යාන්ත‍්‍රණය ප‍්‍රශ්නයක් වී ඇත. පලාත් සභා ක‍්‍රමය අසාර්ථක වී ඇත. මෙහි ප‍්‍රතිඵලයක් මගින් නැවතත් මහා විනාශයක් සිදුවිය යුතු නැත.

සර්ව ජන ඡන්ද බලය ලැබී වසර අසූ හතකි. ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හොඳ දැනුමක් තිබේ. ඡන්ද බලය ගැන අවබෝධයක් ඇත. ගමේ මරණාධාර සමිතිය, ගොවි සමිතිය හෝ ණය දෙන සමිතියේ නිලධාරී මණ්ඩලය පත් කරගන්නට ගැටුම් ඇති කරගන්නේ නැත. ඒවාට පත්වන නිලධාරීන් පටු අරමුණු ඇතිව සමිතියේ බලය අල්ලන්නේ නැත. සාමාජික කැමැත්තට හිස නමයි. දැන් ව්‍යවස්ථාව අනුව අතුරු මැතිවරණ නැත. අතුරු මැතිවරණයක දී ජනතා බලය දැකගත හැකි විය. ජනතාව නොසතුටට පත් වූ විට ආණ්ඩු පක්ෂය පරාජය කළේය. එම අනතුර දැන අවස්ථාවෝචිතව මහජන සේවය ඉටු කරන්නට ආණ්ඩු සමත් විය. එකල සේවය කළේ අවංක මහජන සේවකයෝය. ජන මතයට හිස නැමූහ. දේපොල පවා වියදම් කර ජනතාවට සේවය කළහ. අද දේශපාලනය ගෝත‍්‍රවාදී එකකි. බලය හා ධනය උපයන අරමුණ ඇතිව එන කණ්ඩායමක් එහි සිටී. පැවැත්ම විකෘති කරන ප‍්‍රධාන හේතුව එයයි. රටට නායකත්වයක් ලබා දිය නොහැකි. අරමුණක් කරා රට මෙහෙයවන්නට නොහැකි මෙම ක‍්‍රමය තව දුරටත් නඩත්තු කළ යුතු නැත.

පවතින අසාර්ථකත්වය අවසන් කරන සංශෝධන නියමානුකූලව ගෙන එන්නට වත්මන් ආණ්ඩුව වග බලා ගත යුතුය. එසේ නොකළහොත් ඉදිරි මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් බලයට පත් කරන්නේ ද පවතින ක‍්‍රමයේ දිගුවකි. ජනතාව විපතකින් විපතකට පත්වනු වැලැක්විය නොහැකිය. ව්‍යවස්ථාව තමන්ගේ බලය වෙනුවෙන් නොවන බව හිතන පරාර්ථකාමී පිරිසක් රටට අවශ්‍යය. ව්‍යවස්ථාවක් හදා එයින් තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවට සාධාරණ ක‍්‍රමයක් රටට ලබාදෙන නැවුම් දේශපාලනයක් රටට අවශ්‍යය. ඒ සඳහා තීරණ ගත හැකි බලවත් ආත්ම ශක්තියක් සහිත නායකයන් රටට උවමනා කර තිබේ. බලහත්කාරයෙන් බලයේ ඉන්නට වෑයම් කරන පාලකයන්ට අතීතයෙන් පාඩම් ඉගෙනගත හැකිය. ජාත්‍යන්තර අත්දැකීම් අධ්‍යයනය කළ හැකිය. විශාල චරිත වශයෙන් පෙනී සිටිමින්, විශාල මාධ්‍ය ප‍්‍රචාර වලින් නඩත්තු වූ නායකයෝ අද ජනතාවට මතකයක් නැත. පොදු ජනතාවගේ දුක සැප සොයා රට ගොඩනගන ලද නායකයෝ ජනතාවගේ හදවත්වල තැන්පත්වී සිටිති. පවතින ක‍්‍රමය වෙනස් කරන සැලසුම් වහාම සකස් කළ යුතුය. පවතින දුබලතා තේරුම් ගෙන පොදු අරමුණකින් ඒවා නිවැරදි කිරීම සුදුසුම තත්ත්වයයි. අතිශය නොගැලපෙන, අනුචිත ක‍්‍රමය වෙනස් කරන බව ඉදිරි මහ මැතිවරණයක දී මහ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු එකම පොරොන්දුව බව ඉතාමත් පැහැදිලිය.