09/04/2014 - ලංකාදීප
ජනමතය හැසිරවීම - මිලින්ද මොරගොඩ

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය අවසන්ය. එහි ප‍්‍රතිඵලය සෑම පක්ෂයකටම යම් පාඩමකි. මෙම ලිපියේ අරමුණ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් ඇති කරන ලද පැති විග‍්‍රහ කිරීම නොවේ. මැතිවරණ ක‍්‍රමය සහ එහි පීඩනය සම ප‍්‍රධාන පක්ෂ තුළ පැවැතිය යුතු ද්‍රෘෂ්ටිය සම්බන්ධව පුලූල්ව සාකච්ඡා කිරීමයි. අනෙක් රටවලට වඩා ශ‍්‍රී ලංකාවේ ජන සමාජය දේශපාලනීකරණය වී තිබේ. බහුතරයක් ජනතාව ජීවත්වන්නේ දේශපාලනය සමගය. දේශපාලනඥයන්ට ද අනුගාමිකයන් නැත්නම් පැවැත්මක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව මහජන නියෝජිතයන් තෝරාගන්නේ තමන්ගේ කැමැත්ත අනුවය. කැමැත්ත ඇති කරන්නේ රටට ජනතාවට බලපාන ප‍්‍රශ්න විස`දන ආකාරය ගැන පවත්වන ප‍්‍රතිපත්ති විවාද වලින්ය. අපේක්ෂකයන් හැසිරෙන ක‍්‍රියාකරන ආකාරය අනුව තමන් තෝරාගතයුතු නියෝජිතයා කවරෙකුදැයි බුද්ධිමත් ජනතාව තීරණය කරයි. නමුත් ආසියාවේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන සහ නිතර මැතිවරණ පවත්වන ශ‍්‍රී ලංකාවේ මහජන නියෝජිතයන් අතරින් බහුතරයක් තෝරාගන්නට සිදුවි ඇත්තේ ශරීර ලක්ෂණ සහ ඔවුන් ප‍්‍රතිවාදීන්ට අභියෝග කරන්නට සමත්වන නරක ආකාරය සලකා බලාය. ප‍්‍රතිපත්ති සංවාදයක් ගැන උනන්දුවක් නැති මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙන්වන්නේ ගෝත‍්‍රික ලක්ෂණ බව පැහැදිලිය. අනුගාමිකයන් හුස්ම ගන්නේ දේශපාලන උණුසුම මුසුවූ වාතයයි. එවිට සියලූම දේ බලාපොරොත්තු වන්නෙ දේශපාලනඥයන්ගෙනි. දේශපාලන මැදිහත්වීමෙනි. තම බලාපොරොත්තු ඉශ්ඨ නොවෙන අවස්ථාවේ දී දොස් පවරන්නේ ද දේශපාලනයටය. කොළඹ දිස්ත‍්‍රිකයේ දේශපාලනය කරන අවධියේ එක්තරා වත්තකට විදුලි සපයන යෝජනාවක් ඉදිරිපත් විය. නගරයේ වත්තක් යනු කුඩා පැල්පත් විශාල ප‍්‍රමාණයක් සහිත කුඩා ප‍්‍රදේශයකි. ඉතාම දුප්පත් පිරිසක් මේවායේ අඩු පහසුකම් සහිතව ජීවත් වෙති. වත්තේ තැනින් තැන පොදු විදුලි පහන් සවිකිරීමෙන් වත්තට ආලෝකය සපයයි. අන්ධකාරයේ පවතින වත්තකට විදුලිය කණු සවිකර විදුලිය සපයන විට එළිය ලැබෙන්නේ අ`දුර දුරු කරගන්නටය. එයින් සුරක්ෂිත බවක් ඇතිවෙයි. දුප්පත් වත්තට විදුලිය දෙන කැමැත්ත ගන්න හැකිවූයේ සෑහෙන විවාදයකට පසුවය. එම වත්තේ වාසය කරන වැඩි දෙනෙකු ප‍්‍රතිවිරුද්ධ දේශපාලනයක නිරතවීම එයට හේතුවයි. එපමණක් නොව මනාප සටන නිසා එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ද වත්ත බෙදාගෙන තිබේ. විදුලිය නැතිව අන්ධකාරයේ ජීවත්වන වත්තේ ජීවිතය දේශපාලනය හෙයින් දෙකට තුනට බෙදී ඇත. පාක්ෂිකයන් නොවන හෙයින් ඔවුන් අන්ධකාරයේ තැබිය යුතුය. එකම වත්තේ ජීවත්වන එකට දුක සැප බෙදාගන්න මිනිසුන් දේශපාලනය නිසා අමනාපකම් ඇතිකරගෙන තිබේ.

දේශපාලනය හා බද්ධ වී සිටින මෙරට සමාජයේ වැඩි දෙනෙකු තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවල විශේෂ ආරාධිතයෙකු ලෙස පිළිගන්නේ දේශපාලනඥයෙකි. මරණයකදී. විවාහයක දී දේශපාලනඥයෙකු සහභාගීවීම සලකන්නේ ගෞරවයක් හැටියටය. දරුවෙකු පාසලට ඇතුලත් කරගන්න, රැකියාවක් නොඑසේනම් උසස්විමකට දේශපාලනඥයෙකු මැදිහත්විය යුතුමය යන අදහස සමාජයේ පොදු සංකල්පයක් බවට පත්ව තිබේ. මෙම ප‍්‍රතිපත්තිය වෙනස් කර සමාජයේ සම්භාවනාවට පාත‍්‍ර වූ අයෙකුට වි‍ශේෂ අමුත්තා ලෙස ආරාධනා කරන්නට කීප වතාවක් මම උත්සාහ කළෙමි. නමුත් ජනතාව අතරින් වැඩි දෙනෙකු එයට කැමැත්තක් දක්වන්නේ නැත. දේශපාලනඥයෙකු නැත්නම් එය උත්සවයක් නොවේ. එවැනි උත්සවයක් මාධ්‍ය අවධානයට ලක් වන්නේ ද නැත. නිර්භීතව වචන හැසිරවූ සහ අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමිපාණන් ගේ ආදාහණෝත්සවය සහ උන්වහන්සේගේ අන්තිම කැමැත්ත ජනගත වියයුතු එකකි. නමුත් එහි නොතිබුණේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම බැවින් උපන්දින සාදයකට ලැබූ ප‍්‍රචාරය නොලැබුණි. මේවා සමාජ විද්‍යාර්ථීන්ගේ විවාදයට ලක් විය යුතු කරුණුය.

ජාති, ආගම්, කුල සහ පන්ති වශයෙන් බෙදී ඇති සමාජය ගෝත‍්‍ර දේශපාලන වශයෙන් ද බෙදී ඇත. මෙම බෙදුනු සමාජය දේශපාලනඥයන් ගෙන් සියල්ල අපේක්ෂා කරන අතර ගරහන්නේ ද දේශපාලනඥයන්ටමය. දේශපාලනඥයන් ගේ පැවැත්ම පොදුවේ පිළිකුල් කරයි. ඔවුන්ට අනුව ඔවුහු අතරින් වැඩිදෙනෙකු වංචාකාරයන්ය. තවත් අයට අනුව දේශපාලනයට එන්නේ යමක් හම්බකරන්නට මිස රටට සේවය කරන්නට නොවේ. පුවත් පතක කාටුන් ශිල්පියෙකුට දේශපාලන චරිතය විහිලූවක් පමණකි. දේශපාලනඥයෙකුගේ දර්ශනය හෝ ඔහු සමාජයට දෙන නායකත්වය කාටුන් ශිල්පියාගේ විවේචනයට හසු නොවේ. රුපවාහිනී හෝ ගුවන් විදුලි ප‍්‍රවෘත්ති වලදී ප‍්‍රචාරයට හොයන්නේ දේශපාලනඥයෙකු කට වරද්දාගත් තැන්ය. මාධ්‍ය අවධානය ගන්නට නම් හාස්‍ය ජනක දේ කියන්නට දේශපාලනඥයන් කැමැතිය. වැඩිම මනාප ගන්නට සංගීත සංදර්ශනය පමණක් නොව ෙවිදිකාවේ දී ගීයක් ගයා ජනතාව සතුටු කරන්නට ද දේශපාලනඥයන්ට සිදුව තිබේ. ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු නායකයින් මනාප ඉල්ලමින් ජනතාවගේ පිටුපසින් ගමන් කරමින් සිටී. ප‍්‍රතිඵල නිකුත්වනවිට හො`දින් , නරකින් හෝ චාටුවෙන් ගන්නා මනාප වල වෙනසක් නැත. රැවැටිල්ල, චාටු බස් පමණක් නොව බඩ කට පිරෙන්නට සප්පායම් කර අතට උණුවතුර බෝතලයක් හෝ ජංගම දුරකථනයක් දෙන තැනට දේශපාලනය ගමන්කර තිබේ. ඡන්දයෙන් පසු පෙන්වන්නේ බලයයි. බලහත්කාරයයි. සියලූ නීති අභිබවමින් ජය අත්පත් කරගත් අයෙකුගෙන් රටේ විනය හෝ සමාජ සම්මුතිය අපේක්ෂා කළ හැකිද? අප ගමන් කරමින් සිටින්නේ සංවේගදායක නැඹුරුවක් කරාය. එයින් මිදී නායකයන්ගේ දැක්මෙන් සහ පක්ෂ වල දෘෂ්ටියෙන් ජන ජීවිත සැනසිලිදායක කරන ප‍්‍රතිපත්තියකට යා යුතුය. නමුත් කරන්නේ එදිනෙදා ජනතාව හිනස්සවා තෘප්තිමත් කිරීමය. පසුගිය වසර විස්ස තිහ ඇතුලත දේශපාලන ක‍්‍රමය සහ දේශපාලනඥයන් ගමන්කර ඇත්තේ අවරටය. පිරිහී ඇත්තේ සමාජය ද? නැතිනම් ජන සමාජය විසින්ම උසස් කොට සලකා පසුව නොසලකන නොවටිනා කොටසක් සේ දේශපාලනඥයන්ද?

අද අපට මෙවැනි පැති ගැන දිර්ඝ වශයෙන් සිතන්නට සිදුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස නිතර මැතිවරණ පැවැත්වෙයි. නොබෝදා අවසන් වූයේ තවත් එවැනි මැතිවරණයක් පමණකි. එම ඡන්දය රටට දේශපාලනය සහ එහි පවතින ගුණාංග දෙස නැවතත් අලූත් අවධානයකින් බලන්නට අවශ්‍ය ඉඩ කඩ සපයා ඇත. පළාත් සභාවක සභිකයෙකු වශයෙන් පත්වන්නට කරන ලද වියදම අති විශාලය. පළාතක සභිකයෙකු යනු සැලකිය යුතු තනතුරක් නොවේ. වැඩිම මනාප ප‍්‍රමාණයක් වෙනුවෙන් මහජනතාව තුළ ඇති කරන ලද බලාපොරොත්තු අසීමිතය. ඉහළින් ජයගත් අපේක්ෂකයන් මහජනතාවගේ අපේක්ෂා ඉටු කළ යුතුය. එය කරන්නට හැකියාවක් නැති තැන ජනතාව ඈත්වෙයි. ජනතා අප‍්‍රසාදයට පත්වෙයි. මහජනතාවගේ ප‍්‍රශ්න අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සහ ඒවා ඉටුකරන හැකියාව මෙම දේශපාලන ක‍්‍රමයට නැත. බලාපොරොත්තු ඇති කිරීම සහ ඒවා ඉටු කරන්නට අසමත්වන දේශපාලනය විසින් පවතින සමාජ ක‍්‍රමය තුළ බරපතල අර්බුද මතු කරයි. දේශපාලනඥයන් මේ ගැන නොදන්නවා නොවේ. ක‍්‍රමය වෙනස් කර සාධාරණය ඇති කරන බව වේදිකාවේ දී කියයි. නමුත් මැතිවරණය අවසානයේ දී එය පෝෂණය කරමින් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ද මෙම දේශපාලනඥයන්මය.

අති විශාල වියදමක් දරන්නට සිදුවන, මහජනතාව පිළිකුල් කරන දේශපාලන වෘත්තියට ඇතුල් වන්නට සමාජයේ යම් කොටසකට විශාල උනන්දුවක් ඇත්තේ ඇයි? නොයෙක් ක්ෂේත‍්‍රවලින් නමක් දිනාගත් විවිධ ක්ෂේත‍්‍රවල විවිධ පුද්ගලයන්ගේ අවසාන උත්සාහය දේශපාලනයට පැමිණීමයි. ලෝකයේ වෙනත් රටවල දක්ෂතම කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, නීතිඥයන් ක‍්‍රීඩකයන් වැනි අය දේශපාලනයට පැමිණෙන්නේ රටට වැදගත් ප‍්‍රතිපත්ති සකස් කරන අදහසින්ය. පිළිගත් සම්ප‍්‍රදායන් ආරක්ෂා කරන්නට ද ඔවුහු කැපවෙති. ධෛර්යයෙන් සහ කැපවීමෙන් තමන් උපයා ගත් දැනුම දේශපාලනයට පැමිණ සමාජයේ යහපතට යොදවන්නේය. නමුත් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය දෙස බලන විට එයට එකතුවන නොයෙක් දෙනාගේ අරමුණ පවතින පාලන ක‍්‍රමයෙන් බලය ආරෝපනය කරගැනීම යන පටු අරමුණ පමණක් බව පෙනේ. නොයෙක් දෙනා දේශපාලනයට එන්නේ නරක අදහසින් නොවේ. නමුත් එතැනට එන්නට ඇති කටුක, කර්කශ සහ වෛරී සහගත ක‍්‍රමය හෙයින් යහපත් පුද්ගලයන්ගේ සුදු චරිත පවා ඉක්මනින් අ`දුරු වෙයි.

පවතින දේශපාලන ක‍්‍රමය තුළ නිවැරදි කරගත යුතු තැන් බොහෝ ඇත. මහජනතාව ඡන්දය දෙන්නේ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයන්ටය. පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය මගින් කෙලින්ම තෝරාගන්නා අපේක්ෂකයෝ මහජනතාව හමුවට ඉදිරිපත් කරති. මහජන නියෝජිතයන් විය යුතු පක්ෂය තෝරා දෙන අපේක්ෂකයන් ද, නොඑසේ නම් පක්ෂයේ ප‍්‍රාදේශීය සංවිධාන හෝ බල මණ්ඩල මට්ටමින් පක්ෂ සාමාජිකයින් පොදු තීන්දුවක් ගෙන මැතිවරණයට ඉදිරිපත් නියෝජිතයෙකු ද යන්න පැහැදිලි කරගන්නට අවශ්‍යය. ලෝකයේ ඇතැම් රටවල ඡන්දයට අපේක්ෂකයන් තෝරා ගැනීමට ච පාක්ෂිකයන් අතර තවත් ඡන්දයක් පවත්වයි. එය උසස් ජන නියෝජනයකට මග පාදන බව දැක්විය යුතුය. දැන් පවතින ක‍්‍රමය පෙන්වන්නේ පක්ෂ වල සංවිධාන රාමුව බි`ද වැටී ඇති ආකාරයයි. ප‍්‍රජාව තුළින් නායකයන් හ`දුනාගන්නවා වෙනුවට ජනකාන්ත චරිත සහ ඕනෑම ආකාරයකින් උපයා ගත් ධනය ඇති පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස තෝරා ගන්නා බව සුලබය. ජනකාන්ත නළු නිළියන්, ගායක ගායිකාවන් තරු ලෙස ජනතාව හමුවට යන විට ජනතාව, ප‍්‍රතිපත්ති වලට වඩා ඔවුන් කෙරෙහි ඇති ලැදියාව තීරණාත්මක සාධකයක් සේ සලකා පක්ෂයට ඡන්දය දෙන තීරණයට එළැඹේ. අසමාන චරිත සහ ධෛර්ටටවන්ත පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ගෙන් සමාජයට නායකත්වයක් අපේක්ෂා කිරීම වරදක් නැත. නමුත් එබ`දු පරිනත බවක් නැති තරුණ තරු ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ නැති බලයක් පවරා ඔවුන් ද පරිහානියට පත් කිරීමකි. ධනය ඇති පුද්ගලයන් තමන්ගේ මුදල් වියදම් කර මැර බලය සහිත බලකායක් පිහිටුවාගෙන ඡන්ද සටනට යයි. වියදම් කරන ධනය සහ බෙදාදෙන දේ අනුව ජනතාවගේ කැමැත්ත වෙනස් වෙයි. විසිවන සියවසේ විශිශ්ට නායකයෙකු වූ වින්සන්ට් චර්චිල් මහතා කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හො`දම පාලනය නොවන නමුත් පවතින ක‍්‍රම අතරින් හො`දම එක බවය. තවත් වරක ඔහු කීවේ ඡුන්ද දායකයෙකු සමග විනාඩි පහක් කතා කළොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පවතින දුර්වලකම පෙනෙන බවය. බලය ධනය හෝ වෙනත් සාධක වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අභියෝගයට ලක්වන්නේ නම් එය දුරු කරන විස`දුම් සොයා ගත යුතුය. එය අපගේ වගකීමකි.

දේශපාලනය පිරිසිදු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වලින් පොහොසත් එකක් බවට හැරවීම සමාජයේ සියලූම දෙනා එකතු විය යුතුය. එකිනෙක අපේක්ෂකයන් සමග කුලල් කා ගන්නා වෛරී දේශපාලනය අවසන් කළ යුතුය. බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කරගැනීම වෙනුවට පැහැදිලි දෘෂ්ටිවාදයක් පක්ෂවලට තිබිය යුතුය. දෘෂ්ටිවාදයක් ඇතිකරගැනීම වෙනුවට අන්තවාදී කුඩා පක්ෂ වලට එකතු වී බලය රැුක ගැනීම ප‍්‍රධාන පක්ෂ සූදානම් වී තිබේ. මෙම පක්ෂ අන්තවාදී සහ ජාතිවාදී ද්‍රෂ්ටියක පිහිටා ක‍්‍රියා කරන අතර හ`ඩක් මතුකරනු විනා ජන බලයක් ගොඩනගන්නට අසමත්ය. සීතල යුද්ධයෙන් පසු ලෝකයේ රටවල් අතර වම සහ දකුණ වශයෙන් ප‍්‍රතිපත්ති බෙදීම අහෝසි විය. වම වෙනුවට අද පවතින්නේ නොයෙක් හැඩතල ගත් දක්ෂිණාංශික බලවේග පමණකි. මේ තත්ත්වයට අප රට ද මුහුණ දී ඇත. සාමකාමී රටක් ගොඩනගන විට ප‍්‍රධාන පක්ෂ වලට තමන් සතු ද්‍රෂ්ටිය කුමක්දැයි හ`දුනා ගැනීමේ බරපතල වගකීමක් තිබේ. ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කර අලූත් අවකාශයක් පැතිරවිය යුතුය. මැදි ආදායම් රටක් වශයෙන් ජනතාවගේ අවශ්‍යතාවය කුස පමණක් නොවේ. දැනුම සහ අවබෝධය ජනතාව ඉල්ලයි. ඒ ස`දහා ප‍්‍රතිපත්ති අරබයා විවාදයක් ආරම්භ කළ යුතුය. නිවැරදි දේ දකින යහපත් දර්ශනයක් වෙනුවෙන් පක්ෂ බේධ නොසලකා එකතුවන දේශපාලන ක‍්‍රමයක් රටට අවශ්‍යය. එය කළ හැකි වන්නේ මනාප ක‍්‍රමය ඉවත්කර යහපත් සහ දක්ෂ පුද්ගලයන් දේශපාලනයට ප‍්‍රවේශ වන ආකාරයේ පසුබිමක් සකස් කළහොත් පමණකි. ක‍්‍රමය ගැන විශ්වාසයක් සහ ගෞරවයක් ජනතාව තුළ ඇති කිරීම අද අප සතු බරපතල වගකීමකි.

දේශපාලනයෙන් සහ දේශපාලනඥයන්ගෙන් යමක් ලබාගැනීමට මහජනතාව තුළ ඇති බලාපොරොත්තු තුනී කරන්නට අවශ්‍යය. තමන්ගේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කළහොත් හෝ තමන් දන්නා දේශපාලන පක්ෂය බලයට පත්වුවහොත් තම දරුවාට පාසලක් ලබා ගත හැකිය යන පහලම තළයට අරමුණු පටුවීම සමාජ පදනම දෙදරවන තත්ත්වයකි. ආණ්ඩුව මැදිහත් නොවන පරිපාලනයක් ඇති කළ යුතුය. සියලූ දෙනා එකතු වී රාජ්‍ය පාලනය ගැන මූලික රාමුව සකස් කළ විට බලයට පත්වන දේශපාලන පක්ෂය තමන්ගේ ප‍්‍රතිපත්ති අනුව රට පාලනය කරන ක‍්‍රමයක් ඇතිකිරීම වැඩදායකය. එය කරන්නට නම් ගිහි පැවිදි සමාජ නායකත්වය පොදු ජනතාවට ඉදිරියෙන් සිටිමින් රටේ අනාගතය ගොඩනැගෙන ආකාරය ගැන විවෘත සංවාදයක් පැවැත්වීම අවශ්‍යය.

අලූතින් කළ හැකි දේ ගැන බුද්ධිමත්ව සාකච්ඡුා කරන පරපුරක් අපට අවශ්‍යය. පළාත් සභාවෙන් හෝ මහ මැතිවරණයෙන් ඉතාම ජනප‍්‍රියත්වයක් ලබා ඉදිරියට පැමිණෙන මහජන නියෝජිතයන්ගේ ඊළ`ග ඉලක්කය තනතුරක් වෙනුවෙන් සටන් කිරීම නොවේ. ඇමැතිකමක් හෝ නියෝජ්‍ය ඇමැතිකමක් වෙනුවට තමන්ට ගෞරවයෙන් සිටින්නට හැකි දේශපාලන වටපිටාවක් සකස් කරගන්නට අලූත් පරම්පරාව අලූත් ක‍්‍රියාමාර්ගයකට යා යුතුය. ආපසු හැරි බලන විට නිදහස ලබා ගත් දිනයේ සිට මේ දක්වා දේශපාලනය පැමිණ ඇති ගමන සුබදායක එකක් නොවේ. ජනතාව විශ්වාස නොකරන සහ දේශපාලනය කෙරෙහි අප‍්‍රසන්නතාවය ඇතිකරන උපාය මාර්ග නිසා ජාතීන් අතර ආගම් අතර සහ පක්ෂ අතර ද වෛරය වැඞී ඇත. පන්ති අතර අරගලයක් තිබේ. සමාජය තුළ නොසන්සුන්තාවයක් ඇත. තව දුරටත් එය එලෙසම පැවැතුනහොත් ජාත්‍යන්තරයේ සිදුවන වෙනස දකින බහුතර ජනතාව ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරනු නිසැකය. තමන්ගේ සාධාරණ අවශ්‍යතා ඉටු නොකරන සහ යුක්තියක් නැති අවස්ථාවක ජනතාව ප‍්‍රකෝපවීම පමණක් නොව හුදෙකලා වී තමන්ගේ දෙයක් බලාගෙන රට ගැන පොදුවේ නොසිතන තත්ත්වයක් උදාවිය හැකිය. එය ඉතාමත් භයානකය. තමන්ගේ ජන්ම භූමියෙන් පිට තැනෙක තමන්ගේ දරුවන්ට අනාගතය ඇතැයි සිතන්නට ජාතියක් හුරුවීම අවාසනාවකි. මෙම ක‍්‍රමය තුළින් තෝරා ගන්නේ පටු පුද්ගලයන්ය. රට ගැන කැක්කුමක් ඇති උදාර චරිත බිහි නොවේ. මැතිවරණ වේදිකාවේ ස්වාර්ථයෙන් අසීමිත තර`ගයක යෙදෙන නායකයෙකුගෙන් පරමාදර්ශී චරිත ලක්ෂණ බලාපොරොත්තු විය නොහැකිය. පරිනත පුද්ගලයන් තමන්ගේ නායකයන් බව කියන්නට අප සමාජයට උවමනා කර තිබේ. මැලේසියාව ගොඩනැගූ මහතිර් මොහමඞ් මහතාගෙන දේශපාලනයට පැමිණෙන නවකයන්ට දිය හැකි පණිවුඩය කුමක් දැයි මම වතාවක් විමසීමි. එතුමා කියා සිටියේ ඕනෑම ආකාරයකට ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් කර සාර්ථක අත්දැකීම් අරගෙන දේශපාලනයට එන්න යනුවෙනි. පවතින දේශපාලන වාතාවරණය වෙනස් කර එය යුක්ති සහගත තැනක් කරන්නට විශාල වෑයමක් අවශ්‍යය. ජනමතය හසුරුවන ජන නායකින් සහ ජනතාව අතරට දැනුම අවබෝධය සහ මතය සන්නිවේදනය කරන ජනමාධ්‍ය වලට ද මෙහිලා පැවරෙන වගකීම ද බරපතල එකකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.