08/09/2024 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකාවට එරෙහි ලෝක බලවතුන්ගේ කුමන්ත‍්‍රණ
 

භූමි ප‍්‍රමාණයෙන්, ධනයෙන් හෝ ආරක්ෂක හමුදා ශක්තිය අතින් ලොකු කුඩා රටවල් අතර පරතරයක් ඇත. නමුත් ලෝකයේ සෑම රටකටම සමාන ස්වෛරීත්වයක් ඇති බව පිලිගැනේ. බලවත්විය හැකි නමුත් කුඩා රටක ද සමාන අයිතිවාසිකම් ප‍්‍රමාණයක් තිබේ. එහෙත් ලෝකයේ පැවැත්ම සාධාරණ නැත. බලවතා ඉහළින් සිටී. ලෝකයේ පවතින රාමුව අනුව පැවැත්ම සකස් කරගැනීමට කුඩා රටවලට සිදුවේ. අසමානතා අවම කිරීම ස`දහා අලූත් ව්‍යුහයක් වශයෙන් තොරතුරු සන්නිවේදනය ඉතා දියුණු වී ඇති නමුත් සෑම රටක්ම පාහේ ලෝකයේ අනෙක් රටකින් පැන නැගෙන තර්ජන ගැන තියුණු අවධානයක පසුවේ. නිෂ්පාදන, අලෙවි, බලශක්ති, සන්නිවේදන, කෘෂිකර්මය, වරාය, ධීවර, සැපයුම් චක‍්‍ර ඇතුළු සෑම ක්ෂේත‍්‍රයකම ඉහළ තර`ගකාරීත්වයක් පවතී. අනෙක් රටක සැලසුම්, අවබෝධ කරගැනීම ස`දහා උපායශීලීව කටයුතු සිදුවේ. අප ඉගෙනගෙන ඇති විදේශ ප‍්‍රතිපත්ති, අනුගමනය කරන ක‍්‍රමවේද පසුගිය දශකය තුළ සැලකියයුතු ප‍්‍රමාණයකින් වෙනස් වී ඇත. භූ දේශපාලනය හා තාක්ෂණය එහිදී බලපා ඇති අතර අභ්‍යන්තරය අවබෝධ කරගැනීම වැදගත්වේ.

ජාත්‍යන්තරයේ හැසිරීම ගැන ප‍්‍රමාණාත්මක අධ්‍යයනයකින් බැහැරවුවහොත් එය කුමන්ත‍්‍රණයක් සේ අවබෝධ විය හැකිය. අනෙක් රටක අභ්‍යන්තරයට අතපෙවීමක් වශයෙන් ද දැක්විය හැකි වේ. මෙවැනි තත්ත්ව අසාමාන්‍ය සිද්ධි වශයෙන් හුවා දක්වා භයානක අනතුරක් වශයෙන් සලකන බව පෙනේ. ලෝකයේ හැසිරීම වටහා ගත යුතු අතර කුමන්ත‍්‍රණ හෝ වෙනත් චෝදනා එල්ලකරනන නමුත් ලෝකයේ බලවත් රටවල්වලින් පරිබාහිරව හුදෙකලාව කටයුතු කිරීමේ හැකියාවක් කුඩා රටකට නැත.තර්ජන, කුමන්ත‍්‍රණ චෝදනා වෙනුවට තමන්ට අනන්‍ය ප‍්‍රතිපත්ති අනුව රටවල් සමග කටයුතු කරන ක‍්‍රම සකස්කර ගැනීම කුඩා රටක පැවැත්මට මහෝපකාරීවේ.

ආසියානු ආකෘතිය පැරණි ව්‍යුහයකි

ආසියානු කලාපයේ රටවල් බටහිරට යටත්ව තිබුණ වකවානුවක් තිබුණි. විශේෂයෙන් බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම සමග නිදහස් වූ රටවල අලූත් තත්ත්ව ඇති විය. එය සමග බලවත් රටවල හැසිරීම නව යටත්විජිත ස්වරුපයකට පත් වූ නමුත් එකී තීන්දු ඉදිරියේ පවා එක්තරා මට්ටමක ප‍්‍රශස්ථත්වයක් ඇති කරගන්නට ආසියානු කලාපය සමත්ව සිටී. ලෝක ජනගහනයෙන් සියයට හැටක් ආසියානු කලාපයට අයත් අතර විශාලතම ආහාර නිෂ්පාදනය, විශාලතම බලශක්ති භාවිතය පමණක් නොව ලෝක වෙළ`දාම අතරින් සැලකිය යුතු කොටසකට ද සම්බන්ධය. මෑත කාලය කලාපයේ සිදු වූ ආර්ථික වර්ධනය සමග ලෝක බලවතුන් ආසියානු කලාපයේ රටවල් සමග ගනුදෙනු කරන ආකෘතිය වෙනස් කරගෙන තිබේ. මෙම පසුබිම අනුව, අලූත් ව්‍යුහයකින් හිතන්නටත්, අලූත් දර්ශනයක් අනුව ජාත්‍යන්තර ප‍්‍රජාව සමග ගනුදෙනු කරන්නටත් ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් ඇත.

ආසියාවේ රටවල අනන්‍යතාව ඇති වන ආකාරය සිද්ධිවලින් දැක්වීය හැකිය. ඉන්දියාව උසස් අධ්‍යාපනයෙන්, බටහිර උපාධි ලෝගු ආකෘතිය ඉවත්කිරීමට තීරණය කර ඇත. එය පෙරැුළිකාර අදහසකි. ඉන්දියාව තුළ දේශපාලන වාද විවාද බහුල අතර සමාජය තුළ නොයෙක් ප‍්‍රශ්න තිබේ. එහෙත් ක‍්‍රමයෙන්, ඔවුහු භාරතීය අනන්‍යතාව ගොඩනැගීමට ප‍්‍රයත්නයකය. බටහිර ඇතැම් අංග ඇතුළු කරගෙන සිටින චීනය ද බටහිරට මුහු නොවන වෙනම පැවැත්මක පසුවේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් චීන ආර්ථික දියුණුව, තාක්ෂණික බලවත්භාවය බටහිර රටවලට ඉහිලිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

ශ‍්‍රී ලංකාවට ද දීර්ඝ ඉතිහාසයක් තිබේ. සමාජ, සංස්කෘතික පැවැත්ම සම්බන්ධ සාධක පර්යේෂණාත්මකව අනාවරණය වී ඇත. යටත්විජිත පාලනය සමග යටපත්ව ගිය, ජාතික අනන්‍යතා සහිත ලක්ෂණ තිබේ. අධිරා්‍යජවාදී ගතානුගතික රාමුවෙන් ඉවත්විය හැකිය. නිදහස ලැබීමෙන් පසු අවස්ථාවෝචිත පරිදි අනන්‍යතාවය සකස්විය යුතුව තිබුණ නමුත් අප අතර ඒ ගැන එක`ගතාවයක් නැත. විස`දාගත යුතු ගැටළු ගණනාවකි. ජාත්‍යන්තරයට දොස් තැබීම, කුමන්ත‍්‍රණ හෝ ආක‍්‍රමණ ගැන චෝදනා කිරීම වෙනුවට ශ‍්‍රී ලාංකේය උරුමය සළකුණු කරන රටක් ගොඩනගා ගත යුතුව තිබේ. එය ශ‍්‍රී ලංකාවේ සමාජ සන්දර්භය ඔසවා තබන්නට හේතුවන ශක්තිමත් පදනමක් වනු ඇත.

බංගලිදේශයේ සිද්ධිය ඇමරිකානු මැදිහත්වීමක්

බංගලිදේශයේ මෑතක දී සිදු වූ අර්බුදකාරී තත්ත්වය ඇමරිකානු අතපෙවීමක් බව ප‍්‍රකාශ වී ඇත. වසර දෙකකට කලින් ශ‍්‍රී ලංකාවේ සිදු වූ අරගලය පිටුපස ද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ තිබුණ බව කියැවිණ. ලෝකයේ ප‍්‍රධාන යෙදවුමක් වන ටෙලිග‍්‍රෑම් හි ප‍්‍රධානියා ප‍්‍රංශ අත්අඩංගුවට පත්ව තිබේ. රටවල්, විප්ලවකාරී අදහස් ඇති සිවිල් සංවිධාන, සමාජ මාධ්‍ය, අන්තර් ජාල සන්නිවේදනය ආදි විවිධ කොටස් රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම අවහිර කරන කුමන්ත‍්‍රණ පිටුපස සිටින බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මේවායේ ඇත්තක් මෙන්ම අසත්‍යය ද මිශ‍්‍ර වී ඇත. බංගලාදේශයේ ආර්ථිකය පසුගිය දශක ගණන තුළ දියුණුවට පත් වූ අතර එහි ජන කොටස් අතර ඇති නැති පරතරය ඉහළ යමින් තිබුණි. බංගලාදේශයේ පැවැති මැතිවරණය එම ගැටළුවලට විස`දුම් සෙවිය යුතු නමුත් එරට ජනතාව අපේක්ෂා කරන පිලිතුරු ලැබුණේ නැත. ශ‍්‍රී ලංකාවේ පවා දීර්ඝ කාලයක් විස`දාගත නොහැකි වූ සංකීර්ණ ගැටළු සැලකිය යුතු ප‍්‍රමාණයක් තිබේ. දේශපාලනඥයන් කියන කරන දේ සහ ජනතාවගේ බලාපොරොත්තු අතර පරතරය වර්ධනයක් ඇත. මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගත නොහැකි තරමට බි`ද වැටුණු පසු ක‍්‍රමය වෙනස්කරන ලෙස බලකෙරෙන ජනතා අරගලයක් ඇති විය. බංගලාදේශයේ හා ශ‍්‍රී ලංකාවේ සිදුවූ අරගල සමාන කළ නොහැකි නමුත් මෙකී සිද්ධිවල දී රට තුළින් විස`දුමක් සොයාගැනීමට අසමත්වීම කැපී පෙනේ. පක්ෂ දේශපාලන ක‍්‍රමය තුළ, ගැලපෙන විස`දුම් ස`දහා එක්සත්භාවයක් නැත. මෙය ජනතා ගැටළු විස`දීම තවත් අසීරු කර තිබේ. අපගේ පසුබෑම, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වශයෙන් අර්ථ දැක්වීම සාධාරණ නැත.

බටහිර කුමන්ත‍්‍රණ ගැන කියැවෙන චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි නමුත් කුමන්ත‍්‍රණවලට ඇතුළුවිය හැකි පරිදි රට තුළ ඇති බෙදීම් සම්බන්ධයෙන් වගකීම අප සියළුදෙනා භාරගත යුතුය. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කෙසේ වෙතත් බලවත් රටවල් සමග මිත‍්‍රශීලීව කි‍්‍රයාකිරීම හැමවිටම වැදගත්ය. ‘‘සෑම රටකින්ම හමන සියලූ සංස්කෘතීන් මුසු සුළඟට නිවසට ඇතුළුවන්නට ඉඩදෙන නමුත් එම සුළඟින් ගසාගෙන යන්නට මම සූදානම් නැත’’ යනුවෙන් මහත්මා ගාන්ධි ප‍්‍රකාශ කර තිබේ. ලෝකයේ සිදුවෙන කටයුතු පාලනය කළ නොහැකි නමුත් අපට ඇති කරගත හැකි ප‍්‍රමිතීන් කෙරෙහි වගබලාගැනීම අවශ්‍යය.

ජාත්‍යන්තරයෙන් ඉවත්වී හුදෙකලාව යන ගමනක් බලාපොරොත්තුවීම පහසු නැත. ශී‍්‍ර ලාංකිකයන් මිලියන ගණනක් විදේශරටවල රැුකියාවල නියුතුය. උසස් අධ්‍යාපනය ස`දහා වෙනත් රටවල සිටින ඇති දරුවන් ලක්ෂ ගණනකි. ආනයන අපනයන කටයුතුවල දී සහයෝගීතාවයෙන් කටයුතු කරන්නට සිදුවේ. කුමන්ත‍්‍රණ, ජාත්‍යන්තර මැදිහත්වීම් හා අතපෙවීම් වශයෙන් හුවාදක්වන අතර ජාත්‍යන්තරයෙන් ලබාගෙන ඇති අවස්ථා අවතක්සේරු කළ යුතු නැත.

බලවත් රටවල මැදිහත්වීම් සාධාරණ නැත

ඇමරිකාව හා සෝවියට් දේශය බල අරගලයක් තිබුණි’. දෙවැනි ලෝක යුද්ධයට පසු පැවැති මෙම කාලවකවානුව සීතල යුද්ධයක් වූ අතර ලෝකයේ ඇතැම් රටවල් පැති නොගෙන නොබැ`දි රටවල් වශයෙන් පෙනී සිටින්නට උත්සාහ කළේය. ස්ථාවරය නොබැ`දි වශයෙන් පෙනී සිටි නමුත්, මෙම රටවල් පවා ආධාර, ණය, වෙළ`දාම වැනි කටයුතුවල දී ඇමරිකාව හෝ සෝවියට් දේශය වැනි බලවත් රටක් සමග ගනුදෙනු කළ බව රහසක් නොවේ. ගනුදෙනු අතරතුර එම රටවල න්‍යාය පත‍්‍රයට ගොදුරු නොවීම ස`දහා නායකත්වයක්, සාමූහිකත්වයක් අවශ්‍යව තිබුණි.

අපට පෙනෙන ආකාරයට ලෝකයේ බලවත් රටවල් සාධාරණ නැත. හැම විටම යුක්තිගරුක ලෙස හැසිරෙන්නේ නැත. මෙම පැති මෑත කාලීන සිද්ධි තහවුරු කරයි. ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ වියට්නාමය ඇතුළු රටවල් ඇමරිකානු බලපෑම් හේතුකොටගෙන වරින් වර මුහුණ පෑ සිද්ධි උදාහරණ වශයෙන් දැක්විය හැක. ඊශ‍්‍රායල, ගාසා රුසියානු හා යුක්රේනියා යන රටවල දැනට පවතින සිදුවීම්වලට ද බලවත් රටවල් අතර ඇති තියුණු බල අරගලවල කොටස් වශයෙන් දැකිය හැක. මේවාට මැදිහත්වීමෙන් කුඩා රටවලට මුහුණපෑමට සිදුවන ඉරණම තක්සේරු කළ යුතුය. බටහිර ප‍්‍රජාව ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ ඇතැම් අංශ ඇතුළුකරන්නට බලකරන අතර පැරණි ශිෂ්ඨාචාර හා සංස්කෘතික පැවැතුම් සහිත රටවලට ඒවා ගැලපෙන්නේ නැත. ශ‍්‍රී ලංකාව ද එම කොටසට අයත්ය.

කුමන්ත‍්‍රණ හා බලපෑම් වශයෙන් දකින් නමුත් වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හේතුකොටගෙන ඇමරිකාව, රුසියාව, යුරෝපා, ඉන්දියාව ඇතුළු බලවත් රටවල් බොහෝවිට අවාසි අත්පත් කරගෙන තිබේ. යුද වියදම් හා ජාත්‍යන්තර සම්බන්ධතා කළමණාකරණය වෙනුවෙන් විශාල වියදමක් දරන්නට එම රටවලට සිදුවී තිබේ. චීනය ලෝකයේ දෙවැනි බලවතා වශයෙන් නැගීසිටින නමුත් ඔවුන්ගේ කලාපයෙන් එපිට ස්ථානවලට ප‍්‍රවේශවීමට මෙතෙක් හෝ ඉතිහාසයේ උත්සාහ දරා නැත. නමුත් අනාගතයේ දී කෙබ`දු විය හැකි දැයි අපැහැදිලිය. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදයට මැදිහත්වීම ඉදිරියේ ඉන්දියාව පාඩමක් ඉගෙනගෙන ඇත. අවාසි ඉදිරියේපවා පාලනය අතට ගැනීමට ලෝක නායකයන් සූදානම්වීම සාමාන්‍ය ස්වභාවය බව ස`දහන් කළ යුතුය. ලොකු රටවල් බරපතල වැරදි කළත් ඒවා නොසලකා හරින අතර කුඩා රටක සුළු සිද්ධියක් පවා ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වේ. ආරක්ෂක තර්ජන මෙකී ආකෘතියට ප‍්‍රධාන වශයෙන් බලපවත්වන බව දැක්විය හැක. ශ‍්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධය තර්ජනයක් වශයෙන් ඉන්දියාව සලකන බව පෙනේ. එම උපකල්පනය ඇතැම්විටක අසාධාරණ නැත. බලවත් රටවල් තීරණගන්නා ආකාරය අවබෝධ කරගෙන එයට උචිත පරිදි හැසිරෙන උපායශීලීත්වය මෙහි දී ඉතාම වැදගත්ය.

ලෝක දේශපාලනයට කොන්දේසි විරහිත කඩදාසි

පැති අවබෝධ කරගෙන කුඩා රටක් වශයේ ඉදිරි දශකය ස`දහා විදේශ ප‍්‍රතිපත්තිය සහ ආර්ථික දර්ශනය සකස්කරගැනීම ශ‍්‍රී ලංකාවේ ජාතික නායකයන් සතු වගකීමකි. ආගමික නායකයන්, බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන රජය සමග කටයුතු කිරීම අවශ්‍යය. ආණ්ඩුවක් බලයට පත් කරගෙන, විධායක නායකයෙකු ඡුන්දයෙන් තෝරාගෙන පසුව එම කණ්ඩායමට පමණක් වගකීම් පැවැරීම සුදුසු තත්ත්වයක් නොවේ. විවේචන තිබිය යුතු අතර විකල්පය ඉදිරිපත් කිරීම අවශ්‍යය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, නිෂ්පාදන ක‍්‍රමවේද යනා දී සියළු අංශවල විශාල පරිවර්තනයක් සිදු වී ඇත. දියුණු රටවල රජයේ සේවය කුඩා හා කාර්යක්ෂම වී ඇති අතර තාක්ෂණය මගින් සැලකිය යුතු සේවා ප‍්‍රමාණයකට දොරටු විවෘත වී තිබේ. මෙම අලූත් පසුබිම සලකා තර`ගකාරීත්වයට ප‍්‍රවේශවන දොරටුවක් නිර්මාණය කරගැනීම වැදගත්ය. අලූත් අදහස් ඇතුළු නොවන පසුබිමක් තුළ ලෝක දේශපාලනය හා කටයුතු කිරීම හිස් කඩදාසියක් ඉදිරිපත් කර ඔවුන්ගෙන් කොන්දේසි ලියාගැනීමකි. ආපසු හැරී බලන පසු මෙරට මෑත ඉතිහාසයේ එවැනි සිද්ධි ඇත. ප‍්‍රතිපත්ති රහිත අවස්ථාවක ලෝකයේ බලවතුන් ඔවුන්ගේ උවමනා සාක්ෂාත් කරගැනීම අරමුණු කරගෙන රටට ඇතුළුවන අතර පසුව එය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ බවට පත්වේ.

රටවල්වලින් ලැබෙන ආධාර, ණයගැනීම්, විදේශ උපදේශක සේවා යනාදී සෑම කටයුත්තක දීම රටට ගැලපෙන රාමුවක් අවශ්‍ය අතර අලූත් උපායමාර්ග අනුගමනය කළ යුතුය. ජාත්‍යන්තරය ගැන විකෘති අර්ථකථන සපයන අතර පදනමක් නැති මිත්‍යා අදහස් පැතිරවීම පහසු අතර රටවල් සමග ගනුදෙනු කරන විවෘත රටාවක් සකස් කරගැනීම පහසු නැත. මිත‍්‍ර සේවනය ගැන බුදු දහම උගන්වා ඇත. කළ යුතු වෙළ`දාම් ගැන බුද්ධ දේශනාවේ තිබේ. ආර්ථික කළමණාකරණය ගැන බුදු දහමින් කරුණු ලබාගත හැක. අනෙක් සියළු ආගම් ද මෙම පැති ගැන අර්ථකථන සපයා ඇති අතර ඒවායෙන් නිසි මාර්ගය දක්වයි. නිදහසට පසු දශක ගණන තුළ ආර්ථික හා සමාජයීය කටයුතු සමග රටට අත්දැකීම් තිබේ. මෙම සම්මිශ‍්‍රණයකින් අලූත් යුගයකට ඇතුළුවන ස්ථාවරය රටට වැඩදායක වැදගත් සංධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

මිලින්ද මොරගොඩ