08/09/2012 - රිවිර
මතු පරපුර යහ මගට යොමු කළ මහා පහන්ටැඹ - මඩිහේ මහනාහිමි
මිලින්ද මොරගොඩ - සභාපති, ශ‍්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව
 
Madihe Pgnaseeha Thero
 

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහනායක අපවත්වී වදාල විද්‍යා විශාරද අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාතර බෝධි පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ සංවත්සරය අනුස්මරණය කිරීම පිණිස ජීව ප්‍රමාණ ප්‍රතිමා වහන්සේ හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශී‍්‍ර ලංකා අමරපුර මහානිකායයේ උත්තරීතර මහානායක ධුරීණ ව වැඩ විසූ විද්‍යා විශාරද අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ජීව ප‍්‍රමාණ ප‍්‍රතිමාවක් මාතර නගරයෙහි ඉදි කොට විවෘත කිරීම බොදුනු සිත් සනහන මහත් අගය කළ යුතු යුතුකමෙකි. නාහිමිපාණන් බෞද්ධ බලය ඉස්මතු කර එය නගන්නට මහත් වෙහෙසකින් ක‍්‍රියා කළහ. සමාජය යහපත් තැනක් කරන්නට නොනැවතී කළ මෙහෙවර අපරිමිතය. ධර්ම දේශනා පවත්වමින්, පුවත්පත් වලට ලිපි සපයමින් අලූත් මත ඇති කරන්නට කළ කැපවීම බොදුනු ජනතාව ගේ සිත් තුළ සදා සටහන්ව ඇත.

ශ‍්‍රී සම්බුද්ධ දර්ශනය අන්තර් ජාතිකව පැතිරයමින් තිබේ. එය කෙරෙහි සුවිශේෂී නැඹුරුවක් වර්තමානයේහි දී පවති. තොරතුරු තාක්ෂණ යුගයේ බුදු දහම තරමට යථාර්ථවාදී පිළිවෙතක් නැත. මැද පිලිවෙත එහි ඇති මහා ගුණනයයි. අන්තර් ජාතිකව එය පසක් කරන්නට මහ නාහිමියන් ගෙන් ඉටු වූ සේවාව වෙසෙස් අවධානයට ලක්විය යුතුමය. රටට වැඩදායක, ජීව ගුණයෙන් පිරි යුග පුරුෂයන් ඇවැසි සමයක පරමාදර්ශී චරිතයක් වශයෙන් මහ නාහිමියන් හැදෑරීම කාලෝචිතය.

මහ නාහිමිපාණන් මෙයින් වසර පණහකට පමණ කලින් ''බෞද්ධ ගෙදර'' නමින් කෘතියක් රචනා කර සිල්වත් සමාජය අතට පත් කළේය. එයින් උපුටා ගත් මෙම පරිච්ඡේදය මෙරට බොදුනුබව යථාරූපීව සාකච්ඡුා කරයි.

''බෞද්ධයන් වෙසෙන ගෙදර බෞද්ධ ගෙදර නම් වේ. මෙහි බෞද්ධයන් යයි කීවේ නමින් නොව ක‍්‍රියාවෙන් හා ගුණයෙන් බෞද්ධ වූවනටය. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුලගෙයක උපන්, හැදුණු, වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන්ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නොවෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා යැයි කියනවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සතුන්ට ද, ''බෞද්ධ බල්ලෝ, බෞද්ධ බළල්ලූ '' යයි කිව යුතු නොවේද? බෞද්ධ ගෙදරක හැදුණ වැඩුණු පමණින් හෝ බෞද්ධයා යැයි කියනවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස් වැල් ආදියට ද, '' බෞද්ධ වම්බොටු - බෞද්ධ මිරිස '' යයි කිව යුතු නොවේද? එය එසේ නොකියනුවා නම් යටැ කී කරුණු අනුව පමණක් කෙනෙකුට බෞද්ධයා යයි කියන්නේ කෙසේද? එය කිසිසේත් සුදුසු නැත. එහෙයින් බෞද්ධයා යැයි කිව යුත්තේ බෞද්ධ ප‍්‍රතිපත්ති ඇත්තන්ටමය. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකුට අඩුම ගණනේ පන්සිල් හා ශ‍්‍රද්ධා-ශීල-ශ‍්‍රැත-ත්‍යාගාදී ගුණයන් වත් තිබිය යුතුය. එබඳු බෞද්ධ ප‍්‍රතිපත්තීන් ගෙන් යුක්ත තැනැත්තන් වාසය කරන ගෙදර බෞද්ධ ගෙදර වේ. ''

බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි බොදු ජනතාවට පහදා දෙන්නට නාහිමිපාණන් නැගූ හඩ අදටත් වටිනා මතයකි. බුදු රජානන් වහන්සේ දේශනා කළ දර්ශනය අනුගමනය කරන්නට මෙකල අප සූදානම් නැත. වැඩි දෙනෙකුට බෞද්ධකම පදක්කමක් පමණකි. සමාජය දෙස බලන විට එවැනි ලක්ෂණ හදුනාගත හැකිය. පන් සිල් ගන්නවා විනා එය ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක නැත. දහම් පාසලට දරුවන් යොමු කරන්නට නම් අනෙක් දෑ එදින නීතියෙන් තහනම් කරන්නට යෝජනා ගෙන එයි. බෞද්ධයන් බහුතරයක් ජීවත්වන රටේ දිනකට සිදුවන අපරාධ සහ නොපණත්කම් බලන විට එය පැහැදිලිය. මඩිහේ මහා නායක හිමිපාණන් වහන්සේ ''මිනිසා හදා රටත් හදා ගනිමු.'' යැයි දේශනා කරන ලද්දේ මෙවන් යුග පෙරැළියක නිමිති කල් තියා දැන බව නිසැකය. නාහිමිපාණන් ගත් වෙහෙස අඛණ්ඩව පවත්වාගෙන යන්නට සංකීර්ණ සමාජ පෙරැළිය ඉඩ කඩ අවුරාලීය. අද රටට එය මහත් විපතකි. බෞද්ධ ගෙදර පුවත් සගරාව අද ද පළවෙයි. මහ නාහිමියන්ගේ දැක්ම පතුරවන්නට සිරි වජිරාරාම විහාරස්ථානයෙන් එය නිති පතා නිකුත්වෙයි.

මගේ මුත්තනුවන් වූ දිවංගත එන්. යූ. ජයවර්ධන මහතා දකුණෙන් අගනුවරට පැමිණ වැර වෑයමෙන් ජීවිතය ජයගන්නට සමත්විය. එතුමා නාහිමිපාණන් සමීපව ඇසුරු කළේය. මහ නායක හිමිපාණන් සමග ස්වකීය ජීවිතයේ නොයෙක් පැති ගැන නිතර සාකච්ඡුා කරන්නට එන්. යූ. ජයවර්ධන මහතා හුරු පුරුදු වී සිටියේය. එතුමන් සමග මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි දි මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් සමග අදහස් හුවමාරු කර ගන්නට ලැබුණු අවස්ථා මගේ පුද්ගලික ජීවිතයේ ද ගැඹුරින් සටහන්වී ඇත.

ආර්ථික - අධ්‍යාපන - සෞඛ්‍ය - සදාචාර යන සතර ආකාර සංවර්ධන මුල් කොට මිනිසා හදා රට හැදීමේ මහනාහිමි දර්ශනය සජීවි කොට අනාගත පරපුරට සාක්‍ෂාත් කරනු පිණිස මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මහනාහිමි අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමට මූලික දායකත්වයක් ලබා දෙන්නට සැනසිලි පදනමට හැකි වූයේ මහනාහිමියන් පිළිබඳව අප තුළ ඇති වූ දාර්ශනික ප‍්‍රබෝධය හේතු කොට ගෙන ය. නාහමිහිපාණන් පරිහරණය කළ දෑ සහ මතු පරපුර වෙනුවෙන් රැුකගත යුතු ඥාන සම්භාරය අද එහි තැන්පත්ව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම කෞතුකාගාරය විවෘත කරන ලද අතර එයින් පැතිරෙන ආලෝකය අනාගතයට මහත් ශක්තියක් වනු ඇත.

2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බම්බලපිටිය සිරි වජිරාමයේ ඓතිහාසික පුස්තකාලය නවීකරණයකර සද්ධර්ම ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දක්වා පුළුල් කරන්නට අවශ්‍ය අරමුදල් සම්පාදනයට එන්. යූ ජයවර්ධන භාරය ඉදිරිපත්වූයේ ද මෙම සම්බන්ධතාවය සිහිපත් කරමින්ය. වජිරාරාමාධිපතිව වැඩ විසූ නාහිමිපාණන් වහන්සේලා පරිහරණය කළ ග‍්‍රන්ථ, වසර සිය ගණනක් පැරණි පොත පත හා වසර දහස් ගණනක් පැරණි පුස්කොළ පොත් ඇතුළු වටිනා ධර්ම ශ‍්‍රාස්තීය කෘති මෙම ව්‍යාපෘතිය අනුව සංරක්ෂණය කර ඇත. සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක තිරිකුණාමලේ ආනන්ද හිමිපාණන් එයට නොමද උනන්දුවක් දැක්වූහ. විහාරස්ථ කාර්ය සාධක සමිතිය ද සම්බන්ධ කරගෙන ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අනුව දෙස් විදෙස් බොදු ජනතාවට අවශ්‍ය කෘති පරිහරණය වෙනුවෙන් එන්. යූ. ජයවර්ධන කියවීම් ශාලාවක් ස්ථාපිත කරන ලද අතර එහි ප‍්‍රතිඵල අද දැකගන්නට හැකියාව ඇත.

බුරුම ඡට්ඨ සංගායනාවේ 'පඨමක සුද්ධි' කමිටුවට තේරී පත් වීම, බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ සාමාජිකත්වය සහ 2500 බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකත්වය ලැබීම මහා නායක හිමිපාණන් ගේ ධර්ම ධර ජීවිතය ප‍්‍රයෝජනයට ගත් වැදගත් අවස්ථාය. ති‍්‍රපිටක ධර්මකෝෂයේ සහ පාලි - සිංහල - ඉංග‍්‍රිසි - සංස්කෘත මහා ශබ්දකෝෂයේ කටයුතු ඇරඹීම අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇති කළ මහා ශාසනික සේවාවන්ය. රජයේ අධ්‍යාපන උපදේශක සභාවේ සාමාජිකත්වයට පත්කරනු ලැබීම වගකිව යුත්තන්, හිමිපාණන්ගේ අගය දැන කළ වැදගත් තීරණයකි. දීප ව්‍යාප්ත ව අධ්‍යාපන කොට්ඨාසවල බෞද්ධ සංස්කරණ සම්මේලන පැවැත්වූයේ ද මීරිගම ගුරු විද්‍යාලය බෞද්ධ ගුරු විද්‍යාලයක් ලෙස පිහිටවනු ලැබුවේ ද මහනා හිමියන් ගේ මෙහි සමාජිකත්වය දැරූ කාල වකවානුවේ දී ය.

මහරගම භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්ථානය හැදීමෙන් පිළිවෙත් සරු සග පරපුරක් හදා ගැනීමට දුන් අත්වැළ හැම දෙනිගේම ප‍්‍රශංසාවට ලක්ව ඇත. රට සභා පනත, පාසල් රජයට ගැනීම, පොහොය නිවාඩු පනත, 71 කැරැල්ලේ තරුණතරුණියන් පුනරුත්ථාපනය කිරීම, පුවත්පත් පනත අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ හ`ඩ ප‍්‍රබලව නැ`ගුණු අවස්ථා කිහිපයකි. ඇමරිකාවේ ප‍්‍රථම ථෙරවාදී මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන වොෂිංටන් බෞද්ධ විහාරය ආරම්භ කෙළේ උන් වහන්සේ ය. දෙමළ ත‍්‍රස්තවාදය උත්සන්න වන්නට පෙර උතුරේ ප‍්‍රශ්නය විසඳීම සඳහා මහනාහිමියන් ඉදිරිපත් කළ විශේෂ යෝජනා පහ ආරම්භයේ දී ම සැලැකිල්ලට ගත්තේ නම් එය මරාගෙන ත‍්‍රස්තවාදයක් දක්වා වර්ධනය වන්නට ඉඩ තිබුණ බව විද්වතුන්ගේ අදහසයි. ධර්මවිජය පදනම, මහරගම සාසන සේවක සමිතිවල නිර්මාතෘ වූ මහානාහිමියෝ , අමද්‍යප මහා සභාවේ දෙවැනි සභාපතීන් වහන්සේ ය. මහරගම සාසන සේවක සමිතිය, සිරි වජිරඤාණ ධර්මායතනය, තුරුණු සවිය සංවිධානය. කොල්ලූපිිටියේ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය, ධර්මවිජය පදනම, මහරගම සාසන සේවක සමිතිය ඇතුළු තැන් සකසා තරුණ සහ ගවේශනශීලී පරපුරක් රටට දායාද කරන්නට පදනම සැකසූ හිමිපාණෝ එකී නිස්සරණධ්‍යාසයෙන් කළ සේවාව අගයමින් නිතර දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූහ.

සෘජු කථනය සහ ප‍්‍රතිපත්තියෙහි ම පිහිටා කි‍්‍රයා කිරීම මහ නාහිමිපාණන්ගේ ජීවිතයෙන් ගත හැකි ප‍්‍රධාන ආදර්ශ දෙකකි. ගවේශනය හිමිපාණන් ගත් මගයි. නිවී මහා ශික්ෂණයකින් යුක්තව නාහිමිපාණෝ ස්වකීය මග හෙළි කර ගත්හ. සංකීර්ණ සහ හර සුන්ව විනාශය කරා ඇදෙන මෙරට ඇතැම් පැති නැවත නිසි මගට ගන්නට නම් නාහිමිපාණන් වැනි ප‍්‍රබල චරිත අද රටට වඩාත් අවශ්‍යය.

පරමාදර්ශී චරිතයක් වශයෙන් මහ නාහිමියන් හැදෑරීම වර්තමාන ජන සමාජයට ඉතාම වැදගත්ය. වර්තමානයෙහි ජන සමාජය තුළ පරමාදර්ශී චරිත දුර්ලභය. යුග පුරුෂයන් විරලය. එහි අඩුව සමබර කළ හැක්කේ අතීත උරුමය වර්තමානයට ආදර්ශයක් කර ගැනීමෙන් පමණකි. ජන්ම ශත සංවත්සර සමරු වැඩ සටහන් අතර උදාරත්වය ඇතිකරමින් ජීව ප‍්‍රමාණයේ ප‍්‍රතිමාවක් තනා ගෞරවයෙන් නාහිමිපාණන්ගේ ගුණ සමරන මෙකල හිමිපාණනන් මහත් වෑයමක් දරා සමාජය ගොඩනගන්නට දැරූ මග නිති සිහි කර ක‍්‍රියාවට නැගීම බොදුනු අප සියලූ දෙනාගේ වගකිමකි.