06/03/2023 - ලංකාදීප
අය වැය පියැවීම ආර්ථික වර්ධනය නොවේ

එදිනෙදා ජීවත්වීම ඉතාම දුෂ්කර වී ඇති කාලවකවානුවකි. බරපතල ආර්ථික පීඩනයක පසුවන පොදු ජනතාව වෙත රජයේ පැවැත්ම ද, උහුලන්නට සිදුවී තිබේ. ආදායම හා වියදම පාලනය කරගත නොහැකි තැනක පසුවන රජය, විශාල වශයෙන් බදුවැඩි කර ඇත. ජලය, විදුලිය, ඛනිජ තෙල්, ගෑස් ඇතුළු අංශ ගණනාවක ගාස්තු අධික ලෙස වැඩිකිරීම ඉවැසිය නොහැකි තත්ත්වයකි. බදු වැඩි කර උපයන ආදායමෙන් කොටසක් අත්පත් කරගන්නා රජය, අනෙක් පැත්තෙන් ගාස්තු නැංවීම සුදුසු පියවරක් නොවේ. ආදායම හා වියදම පියවා ගැනීම, රජයේ එකම අරමුණ බවට පත්ව ඇත. අය වැය පියැවීමෙන් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක. රට දියුණු කිරීම සදහා උත්පාදනයක් ඇති කළ යුතුය. නිෂ්පාදනය නැවීමෙන් තොරව අනාගතයක් නැත. පවතින කර්කශ ක‍්‍රමය වෙනස් කරන නිර්භීත තීරණ ගත යුතුව තිබේ.

මහජන නියෝජිතයන් වෙත, රට ගොඩනගන ප‍්‍රයත්නයෙහි විශාල වගකීමක් පැවැරී ඇත. මුහුණ පා ඇති අර්බුදයෙහි තරම අවබෝධ කරගත යුතුව තිබේ. උණු අළු වැටුණ පසු හැසිරෙන කුහුඹුවන් සේ ඉවක් බවක් නැතිව කටයුතු කිරීම අභාග්‍යයකි. රට නැවන නිසි මාර්ගයට ගැනීම තමන්ට පමණක් කළ හැකි බව සලකා ක‍්‍රියාකරන ආත්මාර්ථකාමීත්වයෙන් බැහැර විය යුතුය. එක පුද්ගලයෙකුට, එක කණ්ඩායමකට පමණක් උත්තර නැති තරමට සංකීර්ණ ගැටළුවලට, ආණ්ඩුවේ මුහුණු වෙනස් කිරීමෙන් පිලිතුරු ලැබෙන්නේ නැත.

ආර්ථික සංග‍්‍රාමයක තරම හදුනාගැනීමේ වැදගත්කම

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ගමනේ එක්තරා කාලයක, යටිතල පහසුකම් දියුණු කරගැනීම ඉතාම වැදගත් කරුණක් විය. ත‍්‍රස්තවාදය අවසන් කිරීම, රැකී රක්ෂා සම්පාදනය, වැඩි වයස්ගත ජනගහනය රක්ෂා කිරීම යනාදී වශයෙන් එහි මුහුණුවර වරින් වර වෙනස් වූ බව සදහන් කළ යුතුය. නිසි කාලයේ, ගැලපෙන පිලියම් යොදන්නට අසමත් වූ අතර තාවකාලික විසදුම්වලින් හැබෑ ප‍්‍රශ්න සගවා තැබීය. ජනප‍්‍රියවාදී පාලනය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූ අතර එයින් පිටස්තරව අනුගමනය කරන්නට ධෛර්යයක් නායකයන්ට තිබුණේ නැත. වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ආගමික නායකයන් සහ ඇතැම් මතවාදී පිරිස්පවා, තීරණ ගැනීම සදහා ආණ්ඩුවකට ඉඩ නොදීම මෑත කාලයේ දැකගත හැකි වූ ලක්ෂණයකි.

ඊළග ඡන්දයෙන් නැවත බලයට පත්වීමේ අරමුණ ඇතිව ආණ්ඩු කටයුතු කළ අතර දේශපාලනඥයෝ දීර්ඝ කාලීන ඉලක්ක වෙනුවට එදිනෙදා පැවැත්මට තීරණ ගත් බව රහසක් නොවේ. ඡුන්ද පොරොන්දු, පාක්ෂිකයන් රක්ෂා කිරීම, පවතින ක‍්‍රමයෙන් යැපෙන පිරිස් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මෙහි දී, පොදු ලක්ෂණ බවට පත්ව තිබුණි.

මෙම අවිධිමත් පැවැත්ම තවදුරටත් යම් කාලසීමාවක් දක්වා නඩත්තු කරන ආර්ථිකයක් රටට තිබුණි. නමුත් හදිසියේ මුහුණ දෙන්නට සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හා ඉනික්බිතිව බලපවත්වන ලද කොවිඞ් වසංගතය මගින් ඇති කළ බලපෑම ආර්ථිකයේ ඉක්මන් කැළඹීමකට ගොදුරු කළේය. අපනයන, සංචාරක ආදායම හා විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ගේ පේ‍්‍රශණ පහතවැටීම වැනි කරුණු මත විනිමය ප‍්‍රශ්න ඇති කරන ලද අතර දේශීය ණය විශාල වශයෙන් ගැනීම තුළ උද්ධමනය හා පොලී අනුපාත තුළ අසමලිත තත්ත්වයක් ඇති කෙරිණ. මැදි ආදායම් ජන කොටසගේ ඉල්ලූම පාලනය කළ නොහැකිවීම තවත් ප‍්‍රශ්නයකි. ජනතාවගේ අවශ්‍යතා සැපැයිය නොහැකිවීම තුළ විශේෂයෙන් බලශක්ති සැපැයුම අඩාලවීම හේතුවෙන් රට තුළ විශාල අරගලයක් හට ගැණින. සිස්ටම් චේන්ජ් ස`දහා ජනතාව බල කරන ලද බව මතක් කළ යුතුය. ක‍්‍රමය වෙනස් නොකර ගමනක් නැති බව පාලකයන්ට ඉදිරියෙන් සිටි බුද්ධිමත් ජනතාවට වැටහී තිබුණි. බඩු බෙදන, සහන දෙන, ජනතාව රවටා ඡුන්දය දිනන ක‍්‍රම වලංගු නැති බව මහජනතාව පෙන්වා දුන්හ.

අය වැය පියැවීමෙන් නැවතත් ප‍්‍රතික්ෂේපිත ක‍්‍රමයට

දැනගෙන හො නොදැන ශ‍්‍රී ලංකාව නැවතත් රාජ්‍ය ආදායම හා වියදම පියවා ගෙන පැරණි ඔද්දල් ක‍්‍රමයට ඇතුළුවෙමින් සිටී. විපක්ෂ දේශපාලන පක්ෂවලට ද විකල්ප අදහසක් නැත. තමන් බලයට පත්වුවහොත් රට ඉදිරියට ගෙන යා හැකි බව හිතන අලූත් පැලැන්තියක් අද රට තුළ ජීවත්වෙති. හැබෑ ගැටළුව, බලය ලබාගැනීම නොවේ. පවතින ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීම බව අවධාරණය කළ යුතුය.

විදුලිය ඒකකයක් නිපදවන මිල ගණන් බලා ගැලපෙන ගාස්තු අය කිරීම දර්ශනයක් නොවේ. අඩුම වියදමකින් ජනතාවට විදුලිය දෙන්නේ කෙසේ ද යන සැලැස්මකින් දැවැන්ත නායකත්වයක් පෙන්නුම් කළ හැකිය. විදුලිය නිෂ්පාදනයේ දී සම්ප‍්‍රදායික ක‍්‍රම ඉක්මවා යා යුතුය. අලූත් ප‍්‍රභව, අලූත් තාක්ෂණය සහ නවින විද්‍යාත්මක දැනුම තුළින් සමාජය ඔසවා තැබිය හැක. ලෝකයේ වෙනත් රටක විදුලිය ඒකකයක් අඩු මිලට නිපදවනවිට ශ‍්‍රී ලංකාවට කරන්නට බැරිවීමේ හේතුව කුමක්ද? ඉන්දියාව විදුලිය උත්පාදනය කරන වියදම ශ‍්‍රී ලංකාවේ මිලට වඩා අඩක් අඩුය. එය සදහා ප‍්‍රභව ජාලයක් භාවිතා කෙරේ. ජලය, සුළග, ඛනිජ තෙල්, ගල් අගුරු, සූර්ය තාපය ද්‍රව හයිඩ‍්‍රජන් සහ තවත් අංශ ඇතුලත්ය. ආණ්ඩුව පමණක් නොව පුද්ගලික අංශය ද, නිපදවීම, බෙදාහැරීම හා අලෙවි කටයුතුවල නිරතය. මධ්‍යම රජය, ප‍්‍රාන්ත ආණ්ඩු විවිධ ස්ථර යටතේ පාලනය කරයි. අඩුම මිලට සැම නිවෙසකටම විදුලිය සැපැයීම අවසාන අරමුණ වි ඇත.

අපට ඇත්තේ, ක්ෂේත‍්‍රයේ බලය අයිතිකරගැනීම සම්බන්ධ ප‍්‍රශ්නයකි. විදුලිය උත්පාදනය, බෙදාහැරිම යනාදී සාධක අත්පත් කරගෙන, එයින් යැපෙන පිරිස පරිවර්තනයකට සූදානම් නැත. ඒවා රජය සතු බල කේන්ද්‍ර වශයෙන් සලකා කටයුතු කරමින් සිටී. විශාල අකාර්යක්ෂමතාවයක් සහ සම්පත් නාස්තියක් එමගින් සිදුවේ. වන්දිය ගෙවන්නේ පාරිභෝගිකයන්ය. අද විදුලිය උත්පාදනය කරන පිරිවැයට ගෙවන ජනතාවට හෙට දවසේ ද නැවතත් වැඩි ගාස්තුවක් ගෙවන්නට සිදුවීම වැලැක්විය නොහැක. අඩු වියදමකින් විදුලිය උත්පාදනය නොකර අනාගතයක් නැත. විදුලිය බල අංශයේ ආදායම හා වියදම පියැවීම තුළ අප නැවතත් ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති පැරණි ව්‍යුහයට නොදැනුවත්වම ඇතුළු වේ. අරගලය කළ ජනතාවට පාඩමක් ඉගැන්විය යුතු වැඩිම ගාස්තුව ගෙවන ලෙස මිල වැඩිකිරීමෙන් නොව ඔවුන් අවධාරණය කළ සිස්ටම් චේන්ජ් කිරීමෙන් ඇති කරන පරිවර්තනයක් තුළින් බව අවධාරණය කළ යුතුය.

තාක්ෂණය හා ප‍්‍රාග්ධනය පිටතින් ගැනීම අපරාධයක් ද

ජාතික සම්පත් වශයෙන් විශාල ව්‍යවහාරයක් අපට ඇත. පිටරටින් පැමිණ ඒවා ඩැහැගැනීම ගැන එක හෙලා විරුද්ධත්වය පළකරන කොටසක් සිටී. නිසි අවස්ථාවේ දී සම්පත් උපයෝගී කර නොගෙන ඒවා නාස්ති කිරීම ජාතික අපරාධයක් බව කල්පනා නොකරන්නේ ඇයි? විදුලිය නිපදවීම, ඛනිජ තෙල් ලිං කැනීම, වරාය මෙහෙයුම්, ගුවන් තාක්ෂණය යනාදී වශයෙන් අංශ අපට කරගත හැකි බවට මතයක් ඇතැමුන් තුළ ඇත. ශ‍්‍රී ලාංකිකයන්ට එම දක්ෂතාව තිබේ. ලෝකය පුරා විසිරී ඇති දක්ෂ ලාංකිකයන් නොයෙක් කර්මාන්ත හා සේවා අංශවල නිරතය. ඔවුන්ගේ සේවය රටට ලබාගත හැක. නමුත් මෙම අංශවල ආයෝජනයට තාක්ෂණය හා ධනය අපට නැත. මැතිවරණයක් පවත්වන්නට මුදල් නැති රටක්, වරායේ කොටසක සිදුවිය යුතු දැවැන්ත සංවර්ධනය කරන්නට වෑයම් කිරීම නාස්තියකි. අපට පුලූවන් යන විශාල දැක්ම, අභිමානනීය හැගීම අවශ්‍යයෙන්ම තිබිය යුතුය. එහෙත් තරම දැනගෙන කටයුතු කිරීම ඉතා වැදගත්ය.

ජාත්‍යන්තරය දෙස බලන විට, සෑම අංශයකම විශාල තාක්ෂණික දියුණුවක් ලබා ඇත. තරගකාරීත්වයක් ඇති වී තිබේ. මෙම පෙරැළිය අපට ද ලබාගත හැක. එය උදෙසා පිටතින් සහයෝගය ගැනීම උපායශීලී ක‍්‍රමයකි. වරායක් දියුණු කර, එහි මෙහෙයුම්වල දී ලැබෙන ලාභයෙන් කොටසක් සහ බදු රටට අයකරගත හැකිවේ. ඛනිජ තෙල් කර්මාන්තය සදහා ආයෝජනයට ඉඩ දීමෙන් රටට අවශ්‍ය ඉන්ධන පිරිපහදු කරගත හැකි අතර අතිරික්තය අපනයනය කළ හැක. ඉන්දියාව සමග ඛනිජ තෙල් වෙළදාම සම්බන්ධ සහයෝගීතාවයක් ඇති කරගෙන සිටින මෙම අවස්ථාවේ දී දෙරට අතර ඉන්ධන පිරිපහදුව හා රටවල් දෙක අතර නල මාර්ගයෙන් බෙදාගැනීමෙන් වියදම අඩුවන අතර ලාභයක් රටට ලැබේ. ගුවන් සේවා සැපයුම, ගුවන් තොටුපොල මෙහෙයැවීම ආණ්ඩුව කළ යුතු නැත. අන්තර් ජාතික ප‍්‍රධාන ගුවන් තොටුපොල විශාල ගණනක් මෙහෙයැවීම සමාගම්වලට පැවැරී ඇත. ස්වයංක‍්‍රීයව මගීන් හා ගමන් බෑග් මෙහෙයැවිය හැකි තරමට ඒවා දියුණු වී තිබේ. පහසුව ඇතිකිරීමෙන් මගීන් ගේ කැමැත්ත ඇතිවන අතර එය පරිවර්තනයකට ඉඩ ඇති කරයි. මෙවැනි තැන් ගැන අප, අවධානය යොමු නොකරන්නේ ඇයි?

අලූත් පරිවර්තනයකින් රටේ සම්පත් භාවිතා කිරීම ඇරඹේ. රටට තාක්ෂණය ලැබෙන අතර ආයෝජකයන් ගේ ධනය විනිමය අවශ්‍යතා සපුරනු ඇත. තරුණ පිරිසට රැුකියා අවස්ථා සැපයේ. විශාල පිරිසක් රට හැර යන බව දැනට දැකගත හැකිය. එයට හේතුව රට තුළ අවස්ථා හිගය බව සදහන් කළ යුතුය. දක්ෂතම පිරිස රට හැරයෑම වැලැක්වීම අරමුණු කරගෙන ආයෝජන අවස්ථා ඇති කළහොත් දියුණුවක් ඇති වේ. මේවා ගැන ලිහිල්ව, අලූතින් සම්ප‍්‍රදායට එපිටින් සැලැසුම් සකස් කිරීම ආණ්ඩුවේ වගකීමකි. රට හකුලන, ආකල්ප අතින් දිළි`දුකරන හා දේශපාලනඥයන්ගෙන් යැපෙන සමාජයක් නඩත්තු කිරීමේ කිසිම අයිතියක් තිබිය යුතු නැත.

රටට ඇති ගැටළුව ආකල්ප සම්බන්ධ ප‍්‍රශ්නයකි

ප‍්‍රශ්නයක හරි පැත්ත දකින්නට සමත් සමාජයක් අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි කළ යුතුය. අද රටට ඇති අධ්‍යාපනයේ බරපතල දිළිදුභාවය රට තුළ දැනට පවතින තත්ත්වයට සෘජුව, වගකිව යුතුය. තරගකාරී සහ අධි වියදම් ක‍්‍රමයක්, නිදහස් අධ්‍යාපනය වශයෙන් පවත්වාගෙන යන අතර ඉගෙනුම අවසන් කරන පිරිසට රජයේ රැකියා සපයන්නට සිදුවේ. ආණ්ඩුවේ රස්සාවක් ලබාගැනීම අවසාන අරමුණ වී ඇත. සෑහෙන ආයෝජනයකට පසු බිහිවන තරුණ නායකයන් ආණ්ඩුවේ කාර්යාලයකට කොටුවීම කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවේ. එවැනි තැනකට තල්ලූකිරීමට පසුබිම ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා හිගය තුළ ඇත. කෘෂිකර්මයට, කාර්මික අංශවලට නැඹුරු නොවන ආකල්ප තරුණන් තුළ පවතී. අලූත් දැනුම ලබන තරුණන් ලෝකයේ පැවැත්ම වෙනස් කරමින් සිටිති. ඔවුගේ නිර්මාණශීලී හැකියාව විශාල ආදායම් උත්පාදනය කරන අංග බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව තරුණ ශ‍්‍රමය හිග සමාජයකි. තරුණ ජවයට නිරතවිය හැකි අංශ ඇති කිරීමට අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ පවතින ගැටළු දෙස අලූත් ආකාරයකට විසදුම් සෙවීම නායකයන්ගේ වගකීමකි. අලූත් දර්ශනයක් හදුන්වාදීමට දේශපාලන හා සමාජ නායකයන් කටයුතු කළ යුතුය. නිෂ්පාදනය, ආයෝජනය හා වෙළදාම ගැන බුද්ධ දර්ශනයේ ඇතුලත්ය. රට රකින, ආරක්ෂා කරන පමණක් නොව රට ගොඩගන්නට ගත යුතු මග ගැන මහා සංඝරත්නය අවබෝධයෙකින් යුතුව, ප‍්‍රායෝගිකව අනුශාසනා කළ යුතු කාලයකි. දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් අද කි‍්‍රියාකරන ආකාරය අනුව රට ඇතුලට බලන, රට ඇතුලාන්තයේ ඇති ප‍්‍රශ්නවලට ජනතාව කොටුකරන ආකාරයක් පෙනේ. අපට අවශ්‍ය වෙනස් දැක්මකි. ලෝකයේ අනෙක් රටක සිදුවන දේ දකින්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවට තනි ගමනක් නැත. ජාත්‍යන්තරය සමග සමාන්තර විය යුතුව තිබේ. පටු පරමාර්ථ ඇති ඇතැම් දේශපාලනඥයන් ජාත්‍යන්තර බලවේග, රට විනාශ කරන රාක්ෂ මුහුණු ලෙස මවා පෙන්වන අතර එයින් ජනතාව මුලාකරමින් සිටිති. හුදෙකලා කිරීමෙන් පසු අත්පත්කරගත් ඉරණම අමතක කළ යුතු නැත.

ලෝකයේ වෙනත් රටවල් ආර්ථික උපායශීලීව ඔවුන්ගේ රටවල්වල පැවැත්ම වෙනස් කරගෙන ඇති ආකාරය අධ්‍යයනය කිරීම වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති තරගකාරීත්වය සහිත ක‍්‍රමෝපායකට සකස් කිරීම අවශ්‍යය. තමන්ගේ පක්ෂය දිනන, පක්ෂවල ආකල්පවලට කොටුකරගත් ඇබ්බැහිකාරක සමාජයකින් අනාගතයක් බිහිවෙන්නේ නැත. විකල්පයක් සොයන, නිදහස් මතධාරී ජන සමාජයකින් නිවහල් රටක් ගොඩනැගිය හැක. මෑත කාලය තුළ ඇති වූ ගැටුම්, අර්බුද හා විනාශකාරී සිද්ධි මැද අමතක නොවෙන පාඩම් ඉගෙන ගෙන තිබේ. නැවතත් එවැනි තැනකට ගමන් නොකරන්නේ කෙසේ ද යන්න පරීක්ෂාකාරී විය යුතු එකම මග බව මෙහි දී සදහන් කරන්නට අවශ්‍යය.