06/02/2013 - ලංකාදීප
ජනතා බලය - මිලින්ද මොරගොඩ
 

යටත් විජිත බවින් නිදහස ලැබී අවුරුදු හැට පහකි. නිවහල්, ස්වෛරී රටක් වශයෙන් ගත කළ කාලය තුළ අප ලැබූ අත් දැකීම් සම්භාරය විශාලය. කුඩා රටකට ඔරොත්තු නොදෙන තරම්ය. ගැටුම් සහ ත‍්‍රස්තවාදය ට නිදහසින් පසු කාලයෙන් හරි අඩක් පමණ වැය කර ඇත. එහිදී අප නොදැනුවත්වම අපගේ සමාජ වටිනාකම් වෙනස්වී තිබේ. ඝාතන, හිංසන සහ ප‍්‍රචණ්ඩත්වය සමාජ දේහයට ඇතුළු වී ඇත. අප සියළු දෙනාටම යුද්ධයෙන් අහිමි වූ ජීවිත ගැන අත්දැකීම් ඇත. එහි භයංකාරත්වය ගැන අවබෝධයක් තිබේ. නමුත්, නොසලකා හරින ලද පැත්තක් ද තිබේ. අප සතු උතුම් ගුණාංග හා වටිනාකම් වලින් කොටසක් ද අප නොදැනුවත්වම අපට අහිමිව ඇත. සමාජ වටිනාකම් අහිමිවීමේ ඛේදවාචකය තව දුරටත් පිළිකාවක් මෙන් පැතිරෙමින් තිබේ. එය අනතුරකි. අද අප ගත කරන්නේ යුද්ධයෙකින් නිර්මාණය වූ සමාජයකය. දරුවන් ද එම යොමුවට ඇතුලත්ය. අනාගතය ගැන ප‍්‍රශ්නයක් ඇති බව එය මනාව අගවයි. තුවක්කු නිහඩ නමුදු සමාජය සම්පූර්ණයෙන් ම යහපත් පැත්තට පරිවර්තනය වී නැත. එයට යම් කාලයක් ගතවේ. එම වැදගත් පරිවර්තනයට මග පෑදීම වර්තමාන සමාජ සහ දේශපාලන නායකයන්ගේ වගකීමකි. එය තිබියදී හැට පස් වැනි නිදහස සමරමින් තවදුරටත් අප ඇතුළු වෙමින් සිටින්නේ අතිශය සංකීර්ණ පරිසරයකටය.

රටට ඇති දායාදය විශාල ධර්මයේ ආධ්‍යාත්මික දර්ශනයයි. බුදු දහම මැද පිළිවෙතින් ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන විශාල දැක්මක් සපයයි. රට වැසියන් ආගමික විනයෙන් පෝෂිතය. මෙතරම් බණ කියන රටක්, බණ අහන රටක් තවත් නැත. නමුත් බුද්ධ ධර්මය පවතින රටේ ජීවත්වන අප සමාජ ක‍්‍රමය පිරිහීමට හේතු වන කරුණු දැන දැනම එමගෙහි ම තවදුරටත් ගමන් කරමින් සිටී.

බුද්ධ දේශනාව අනුව මනුෂ්‍යයා පිරිහීමට හේතුවන කරුණු දොළහකි. පරාභව සූත‍්‍රයෙහි එය දැක්වෙයි. දස කුසල් වලින් ඈත්වීම එයින් පළමු වැන්නයි. අසත්පුරුෂයන් පි‍්‍රියවන අතර සත් පුරුෂයන්ගෙන් ඈත්වීම පිරිහීමට හේතුවන දෙවැනි කරුණයි. කුසීතවීම, උට්ඨාන වීර්යය නැතිකම අධෛර්යය ද පිරිහීමට හේතු බව පරාභව සූත‍්‍රයෙහි දක්වයි. දෙමවුපියන් නොසැලකීම සහ බොහෝ ධනය ඇතත් එම ධනය තමන්ටම පමණක් ආත්මාර්ථකාමීව හැසිරවීම පිරිහීමට හේතුවන තවත් කරුණු දෙකකි. බොරුවෙන් රැවටීම පිරිහීමට හේතුවක් බව පරාභව සූත‍්‍රයෙහි දැක්වෙයි. ජාතිය, කුළය හෝ ධනය මත මානයෙන් මත්ව ඥාතීන් පවා නොසලකා ක‍්‍රියා කරන්නේ ද හෙතෙම පිරිහීමට ලක්වේ යැයි ද සදහන්ය. ස්ත‍්‍රී, සුරා සහ සූදුවට ලොල්වීම, අන් අඹුවන් පැතීම සහ තම ජීවිතය සුපිරි සම්භෝගය පමණක් තැකීම ද පිරිහීමට හේතුවන කරුණු කිහිපයකි. ඉහළ කුලයේ උපන් නමුත් තමුන්ට නොගැලපෙන්නේ යයි දැන රාජ්‍ය පැතීම ද පිරිහිමට හේතුවකැයි දැක්වේ.

අප කළ යුතු පරාභව සූත‍්‍රයෙහි දක්වන මම කරුණු එකිනෙක ගෙන කැඩපත හමුවට පැමිණීමයි. එවිට තමන්ට තමන්ව ම විභාග කළ හැකිය. දස කුසලය ගැන නොසලකන අතර සත් පුරුෂයන්ගෙන් ඈත්වන සමාජයක කොටස් කරුවෙකුගෙන් රටක දියුණුවක් පැතිය හැකිද? අනාගතය ගැන ඉලක්කයක් නැතිව, කුසීතව ක‍්‍රියා කිරීම අද බහුලව දැකිය හැකිය. වැඩි දෙනෙකුගේ උත්සාහය ඉක්මන් ධනය උපයා ගැනීමයි. සාර ධර්ම විනාශ වන ආකාරයට ධනය ඉපැයීම එකම පරමාර්ථය කරගත් කොටස් වර්තමානයේ බහුලය. ධනය ලැබුණ ආකාරය ගැන ප‍්‍රශ්න නොකරන ක‍්‍රමයක් ඇති රටට යුක්තිය ඉටු නොවේ. ධනය උපයා ගත් අය එම ධනයෙන් කොටසක් වියදම් කරන ආකාරය ගැන පරෙස්සමෙන් බලන විට පිරිහීමේ තරම පෙන්වයි. ධනය වියදම් කරන්නේ බලය තහවුරු කරගන්නටය. ඒ වටා පිරිස එකතු වෙති. එම පිරිස සත් පුරුෂයෝ නොවෙති. සුරාවෙන්, සූදුවෙන් සහ දුෂණයෙන් උපයන ධන පරිත්‍යාගයෙන් ආගම නඩත්තු කරනු බහුලව දැකිය හැකිය.

බෞද්ධයන් වශයෙන් මෙකී පවතින පරිසරයෙන් මිදී පරිවර්තනයක් ඇතිකරන්නට අපට හැකියාවක් ඇත. එසේ කළ හැකි අන්‍ය ආගම් යටපත් කර එකී ආගම් විනාශ කිරීමෙන් නොවේ. බලහත්කාරයෙන් අදහන ආකාරයට බුද්ධාගම ගැන නීති පැනවීමෙන් ද නොවේ. මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ක‍්‍රියා කරන බොදුනුවන්ට ඉවසිල්ලක් ඇත. අන්‍ය ආගම් ද බුදු දහමේ මැද පිළිවෙත ගැන හැදෑරීම අවශ්‍යය. සංයමය නොබිදෙන ලෙස යම් කැපවීමෙකින් සහ සම්මුතියකින් වැඩි කිරීමට සියළු ආගම් වලට හැකියාව ලැබීය යුතුය. එයට අනුගත නොවන තත්ත්වය යටතේ තවදුරටත් සමාජය පිරිහීට යොමුවීම වැළැක්විය නොහැකිය.

දහම පදනම් කරගෙන රට නැවත ගොඩනගන ආකාරය ගැන වඩා සැලකිල්ලක් දැක්වීම වටී. එහි දී යථාර්ථවාදී විය යුතුය. පිරිසිදු දහම කුමක්ද? නොඑසේනම් ඇත්තේ කොතැනක දැයි බොදුනුවෙකු ගෙන් විමසුවහොත් ලැබෙන පිළිතුර කුමක්ද? ධර්මය විකෘති වී ඇත. එයට දේශපාලනය ඇතුළු වී තිබේ. වානිජකරණයට ලක්ව තිබේ. ගිහි සමාජයේ වැඩි දෙනෙකුට ධර්මය පදක්කමකි. උපතින් බෞද්ධයෙකු විනා එහි දර්ශනය නිසි ලෙස අවබෝධ කරගෙන නැත. ගම සහ පන්සල අතර බැදීම දුරස්වී තිබේ. තරුණන් පන්සලට ඇති සම්බන්ධය අඩු වෙමින් පවතී. දහම් කතිකා වෙනුවට උත්සව පෙරට පැමිණ තිබේ. සීමාව ඉක්මවා ධනය වැය කර මහා මංගල්‍ය ලෙස පවත්වන පෙරහර සහ කඨින පූජෝත්සව ගැන බුද්ධිමතුන් විවේචනය කරතිි. සංඝ සමාජය එහි ඇවතුම් පැවතුම් ද විවේචනයට ලක්ව ඇත. එවැනි පරිසරයක් පවතින අවස්ථාවල ශාසනික සංශෝධනයක් ඇතිකළ යුතුය. ධර්මය පිරිසිදුය. ලිඛිතව පවතින එය විකෘති වී නැත. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කතිකාවත සහ ශාසනික සංශෝධන ඇතිකිරීම වැදගත් යැයි යෝජනා කළෙමු. එම හ`ඩට වැඩි ඉඩක් ලැබුණේ නැත. රට, සමාජය සහ ශාසනික පැවැත්ම ගැන වෙහෙසෙන විද්වතුන්ට පිරිසිදු කිරීමක් වෙනුවෙන් බලවේගයක් සකස් කිරීමේ වගකීමක් තිබේ. බුදු දහම පවතින ලෝකයේ වෙනත් රටවල් වානිජකරණයට මුහුණ දී දියුණුව සමග සමාන්තරව පවතින ආකාරය විමසීම වටී. තායිලන්තය එයට හොද උදාහරණයකි. ශාසනයේ පිරිහීමක් ඇතිවූ අවස්ථාවල විදේශ රටවලින් අත්දැකීම් ගෙන නැවත ධර්මය ස්ථාපිත කරන්නට හැකිවූබව මෙරට අතීතය දක්වයි. යුරෝපයේ ආගම් අර්බුදයට පත්වූ අවස්ථාවේ එය යළි නිසි මගට ගත්තේ විශාල ප‍්‍රයත්නයකින්ය. ධර්මය නිසි ආකාරයට පවතිනවිට සමාජය නිවැරදි වෙයි. පිරිහීම වෙනුවට දියුණුව ඇතිකර ගනී.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ නොයෙක් තැන ගැටුම් පැවතින. නොයෙක් රටවල් යුද්ධයේ විනාශ අත්වින්දාහ. එපමණක් නොව සංස්කෘතික පරිහානියකට ද පත්විය. ඇතැම් රටවල් යුද්ධයට පසු සමාජය එකට එකතු වී යළි ගොඩ නැගුන ආකාරය ගවේශනය කිරීම වටී. සමාජ නායකයන්, ආගමික නායකයන් සහ සාහිත්‍යධරයන් එකතුවී ක‍්‍රියාකළ ආකාරය ආදර්ශයට ගත හැකිය. තවත් රටවල් එම ආදර්ශ වලට අනුව ක‍්‍රියා නොකිරීමෙන් විපතින් විපතට පත්ව තිබේ. යුද පසුබිම පැවැති වකවානුවට සාපේක්ෂව අද ශ‍්‍රි ලංකාව ආර්ථික සහ සාමාජයීය වශයෙන් දියුණුය. ආදායම් මට්ටම අතින් ද මැදි ආර්ථිකයක් හිමිය. තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව තිබේ. ආර්ථිකය දියුණු කරන්නට බුදු දහමට අනුව හැකියාවක් නැත යන්න වැරදිය. ධනය බිහිකිරීම ගැන බුද්ධ දේශනාවේ ඇත. ධනය වියදම් කළ යුතු ආකාරට ගැන ද පැහැදිළිව සදහන්ය. අනුරාධපුරය වැනි බෞද්ධ නගර ජාත්‍යන්තර සමාජයට විවෘතව සම්පූර්ණ වෙළද නගර වශයෙන් පැවති බව ඉතිහාසය සනාථ කරයි. යටත්ව සිටි කාලයේ දී ධනය බිහිකරන ව්‍යවසායකත්ව අවස්ථා අධිරාජ්‍යවාදීන්ට පමණක් සීමා කරන ලද අතර පොදු ජනයාට ඉතිරිවූයේ රජයට සේවය කීරීමයි. අදත් ආකල්ප වශයෙන් ව්‍යවසායකත්වය ගැන නොසිතා රජයේ රැුකියාවක් සොයන්නේ එම වහල් භාවය අනුවය. මැදි ආර්ථිකය තෙක් රට දියුණු වන විට සමාජයේ මධ්‍යම පන්තිය ද ඉහළට වැඞී ඇත. නිවහල්ව සිතන වගකීම මධ්‍යම පැලැන්තියට තිබේ. රටක වටිනාම අදහස් ඇති ධෛර්යවන්ත ජන කොට්ඨාශය ඔවුන් බව සදහන් කළ යුතුය. ජනතාව අතුරින් වැඩි දෙනෙකු පුවත් පත් කියවයි. විද්‍යුත් මාධ්‍ය ඇසුරු කරයි. ලෝකයේ නොයෙක් තැන සිදුවන දේ ගැන අවබෝධයකින් සිටී. මෙවැනි දැනුවත් සමාජයක් යම් පදනමක් අනුව යා යුතු නිසි තැනට පරිවර්තනය කිරීම කිසිසේත් අපහසු එකක් නොවේ.

නමුත් එවැනි පරිවර්තනයක් සිදුනොවන්නේ ඇයි? නිදහස ලැබූ දිනයේ සිට ශ‍්‍රි ලංකාව පාලනය කළ දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ එයට වග කිව යුතුය. ඔවුන් රට විනාශ කරන අදහසකින් ක‍්‍රියා කළේ නැත. රට ගොඩනගන්නට ක‍්‍රියාකරන්නට ඇත. නමුත් අවසානයේ රටට සම්පූර්ණ යහපතක් කර නැත. අධිරා්‍යවාදීන් රටට නිදහස දෙන අතර ලංකාවේ පාලනය භාරදුන් පැලැන්තියට ජනතා විශ්වාසය දිනා ගන්නා ආකාරයට නිසි ලෙස කරගෙන යන්නට නොහැකි වූ බව අද නිරීක්ෂණය කළ හැකිය. බුද්ධිමතුන් පවා දේශපාලන බලවේග වලට ගොදුරුව ක‍්‍රියා කරන ලද බව පැහැදිලිය. නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු ප‍්‍රජාව එවැනි තැනකට ඉඩ දීමෙන් කර ඇත්තේ වරදකි. බුද්ධිමතුන්ගෙන් කොටසක් පවා මතුවූ ප‍්‍රශ්න හමුවේ රට හැරයාම විනා වෙනත් මගක් ගෙන නැත. සමාජයේ දක්ෂතම කණ්ඩායමෙන් කොටසක් රටට අහිමිවීමෙන් සිදුව ඇත්තේ විශාල හානියකි.

සමාජය යම් යහපත් පරිවර්තනයක් කරා යොමුකරන්නට අවශ්‍ය තින්දු දේශපාලනඥයන් ගන්නේ නැත. බහුතරය සිටින්නේ සමාජ ස්ථරයට පිටුපසිනි. ජනතාව ඉලක්කයකට යොමු කරන නායකයන් පොදු ජනතාව අතර ජනප‍්‍රිය නැත. දේශපාලනඥයන්, ජනතාව සමග සිටිමින් ඔවුන් පිටුපස ගමන් කරමින් ජනප‍්‍රියත්වය අපේක්ෂා කරති. මහජනතාවට ඉදිරියෙන් සිටිමින් ඉදිරි දැක්මක් ඇතිව ක‍්‍රියා කිරීම දේශපාලන නායකයන්ගේ වගකිමයි. ජනප‍්‍රියත්වය වෙනුවට ගෞරවය දිනා ගැනීමයි. දේශපාලනඥයන් නිතර කි‍්‍රයා කර ඇත්තේ බලය ලබා ගන්නටය. ලබා ගත් බලය ආරක්ෂා කරගන්නටය. පරිවර්තනයක් කරන්නට උත්සාහ කළහොත් තමන්ට බලය අහිමි වෙතැයි අනියත බයක් මෙරට දේශපාලනඥයන්ට සහ දේශපාලන පක්ෂ වල දක්නට ඇත. නිදහස සමරන මෙම වකවානුවේ එවැනි සම්මත බිද දමා අවසන් කරන්නට අප උත්සාහ කළ යුතුය. සමාජයේ බුද්ධිවන්ත පිරිස එයට අනුබල නොදෙනවිට නුසුදුසු පිරිස එය තමන්ට වාසියක් කරගනී. පෙනෙන ආකාරයට සමාජ අවශ්‍යතා ලෙස ගැනෙන්නේ ප‍්‍රබුද්ධ අදහස් නොවේ. හඩ පහළ තලයෙන් නැගීම එයට එකම හේතුවයි.

අද පෙනෙන ආකාරයට ධර්මය ඇසුරු කිරීමෙන් ගෙන දෙන දර්ශනය හා සමාජ සංස්කෘතිය මිශ‍්‍ර කරගෙන තිබේ. සංස්කෘතික අනන්‍යතා පාලනය කරන්නට ධර්මය ආයුධයක් කරගෙන ඇත. සමාජය එකමුතු කරන්නට යොදාගත යුතු ධර්මය අද යෙදවෙන්නේ බෙදා වෙන්කර ගැටුම් ඇතිකරගන්නටය. ජාතීන් රැසක්. ආගම් ගණනාවක්, පක්ෂ හා කුළ වශයෙන් බෙදුන රට යහපත් තැනක් කරන්නට පදනමක් කරගත හැකි බුදු දහමෙහි එන සමානාත්මතාවය හා මැදුම් පිලිවෙත නොසලකා හැරීම බරපතල ගැටලූවකි. බෙදීම් ඇතිවූයේ විජයාගමනයේ සිටය. අධිරාජ්‍යවාදී කාලයේ නම, ආගම පවා වෙනස්කරන තරමට බෙදීම් වැඩිවිය. පක්ෂ දේශපාලනය එය තවත් ඉහළ තලයකට නැංවීය. සිංහල ජාතිය හා බුද්ධාගම යන බැදීම ට එපිටින් ඇති පුළුල් පරාසයක්කරා ධර්මය විහිදවීමට අද අවස්ථාව තිබේ. විසි එක් වැනි සියවසට ගැලපෙන දහම ලෙස ලෝකය පුරා බුදු දහමට ඇත්තේ ඉහළ තැනකි. ජාත්‍යන්තරව ඉහළම පිළිගැනීමක් ඇති විද්වතුන් පවා තම ජීවිතයට බුදු දහම පදනමක් බව සදහන් කර තිබේ. ජාත්‍යන්තරයට පණිවුඩයක් නිකුත් කරන්නට ද, සමාජය නිසි මගට යොමු කරගන්නට ද ධර්මයෙන් ඇති අවකාශය සලසාගැනීම කාලීන අවශ්‍යතාවයකි.

යුද කාල පරිච්ෙඡ්දයකට පසු ජනතාව අතර සංහිදියාව සහ සමාජ වටිනාකම් ඇති කරන්නට අවශ්‍යය. සමාජ සහ දේශපාලන නායකයන් එයට අවශ්‍ය පදනම සකස්කළ යුතුව තිබේ. බලය උදෙසා පටු ආකාරයකට කි‍්‍රියා කිරීමේ දී පවතින යථාර්ථය නොපෙනේ. ගත යුතු තීරණ ගැන අවධානයක් නොදක්වයි. එවැනි කාලයකදී රට තුළ මතයක් ඇතිකිරීම බුද්ධිමතුන් ගේ බලවත් වගකීමයි. ආගමික නායකයන් සතු පරම යුතුකමකි. ජනතා සංවිධාන ද කි‍්‍රයා කළ යුතු එවැනි මත ඇති කිරීම වෙනුවෙන්ය. සමාජයේ යමක් ගැන ගැඹුරින් සිතන මැද පන්තියේ ජන කොටස මතවාදීව සත්‍යය වෙනුවෙන් පිහිටා කි‍්‍රයා කළ යුතුය. සත්‍යය ගැන අවබෝධයක් ඇතත් බහුතරය අසත්‍ය පතුරවන විට නිහඩව සිටීම නුසුදුසුය. රට තුළ අද නැගෙන හඩ ඝෝෂාවකි. ඝෝෂාව බහුතරයකගේ හඩ යටපත් කර තිබේ. බලහත්කාරයේ ඝෝෂාව ද යුද්ධයේ ප‍්‍රතිඵලයකි. සමාජය ද ප‍්‍රචණ්ඩ ඝෝෂා අදහස් වලට හුරුවී ඇතිවා පමණක් නොව එයින් විනෝදයක් ද ලබන තත්ත්වයකට පත්ව තිබේ. එය හමුවේ නිහඩව සිටීමෙන් අනතුරට පත්වන්නේ සමස්ථ සමාජයයි. මෙරට අනාගත පරපුරයි.

බලවත් විය යුතු මහජනතාව නගන හඩයි. පෙනෙන ආකාරයට මහජනතාව තමන් සතු බලය ගැන නිසි තක්සේරුවක නැත. ජනතා පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව සතුවය. දේශපාලනඥයන්ට අවස්ථාව දී නිහඩවීම වර්තමානයේ අද සුලබය. විසදුම ඉල්ලන්නේ දේශපාලන නායකත්වයෙන්ය. දේශපාලනඥයන් වීරයන් කරන අතර ඔවුන්ගෙන් බලාපොරොත්තුවන විසදුම නොලැබෙන විට ඔවුන්ට ගරහන්නේ ද මහජනතාවය. එය මෙරට දේශපාලනය සහ සමාජ ක‍්‍රමය අතර පවතින වටහා ගැනීමට අපහසු සංකීර්ණ ස්වභාවයකි. පසුගිය දශක තුන තුළ මෙරට ආයතනික රාමුව පිරිහී තිබේ. නිදහස ලැබූ දිනයේ සිට අද දක්වා ක‍්‍රමයෙන් දේශපාලනඥයන්, රජයේ සේවය සහ අධිකරණය කෙරෙහි විශ්වාසය බරපතල ලෙස පහත වැටී ඇත. පොලිසිය පවා මහජනතාවගෙන් ඈතය. අපරාධ, හොර මැරකම් සහ හිංසා හමුවේ යුක්තිය ඉටු නොවන බවක් මහජනතාව ගේ සිත් තුළ තහවුරුව තිබේ. දේශපාලනය එයට බලපෑම් කරන බව විශ්වාසයයි. රටේ ආයතන පද්ධතිය හා පවතින ආකල්ප බලහත්කාරි පාලන ව්‍යුහයෙන් ඉවත් විය යුතුය. ජන සම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩ දිය යුතුය. එවිට ජන බලය ගොඩනැගෙයි. රටට අවශ්‍ය අවංක ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් විරෝධයක් ගොඩනැගීම අවශ්‍යය. ධර්මය ඇසුරෙන් එය කළ හැකිය. ආණ්ඩු පෙරැුලීම වෙනුවට ආකල්ප වෙනසකින් ජන මත අලූත් කරන බලවේගයක් පැන නැගිය යුතුය. එය කළ හැක්කේ ආගමික නායකයන්, රටට ආදරට කරන විද්වතුන් සහ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයන් පටු පරමාර්ථ වලින් තොරව එකතුවි කැපවී ක‍්‍රියාකරන පසුබිමක් තුළ පමණකි.

අද රට මුහුණ දී ඇති තත්ත්වයට ලෝකයේ වෙනත් පාර්ශවයක් වගකිව යුතු යැයි ද හඩක් නැගේ. ජාත්‍යන්තර කුුමන්ත‍්‍රණ හෝ විදේශ බලවේග වලට වඩා එයට වගකිව යුතු අපමය. සිංහල බෞද්ධ බලවේගය විනාශවන බව කියමින් අප හැසිරෙන්නේ අනියත බියකින්ය. යටත්ව පරාධීනව සිටි හෙයින් මෙම බිය ඇතිව තිබෙන බව නිසැකය. රටට බෞද්ධ අනන්‍යතාවයක් තිබේ. එය ආරක්ෂා කර ගත යුතු සහ පිරිහීමෙන් මිදී දියුණුව ඇතිකර ගත යුතු පාරට බැසීම හෝ ආණ්ඩු වෙනස් කිරීමෙන් නොවේ. ව්‍යවස්ථා වෙනසකින් ද නොවේ. එය කළ හැකි ස්වයං විවේචනයෙනි. මධ්‍යස්ථව ප‍්‍රශ්න දෙස බලා ධර්මයෙන් විසදුම් සොයා ගැනීමෙනි. ක‍්‍රමය විකෘතිව ඇත්නම් නිසි මග සොයා ගත හැකි අවශ්‍ය සංශෝධන ගෙන ඒමෙන්ය. එයට අවශ්‍ය බලකිරීම හා විප්ලවීය ආකල්ප වෙනස අපේක්ෂා කළ යුතු සමාජයෙනි. මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.