05/09/2012 - ලංකාදීප
දේශපාලනය අද බාල්දුවෙලාද? - මිලින්ද මොරගොඩ

බිහිසුණු ත‍්‍රස්තවාදය පරාජය කර වසර හතරක් ගතව තිබේ. ත‍්‍රස්තවාදය අභියෝග කළේ ජන සම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයටය. සාමකාමී ජනසමාජයක් ගොඩනගන්නට පොදු ජනතාව ඉමහත් කැපවීමක් කළේය. භීෂණය අවසන් කර සැනසිලිදායක රටක් ප‍්‍රාර්ථනා කළ සමාජයකට අද හිමිවෙමින් තිබෙන අවස්ථා කවරේදැයි ගැඹුරින් ප‍්‍රශ්න කළ යුතුය. බුද්ධිමතුන්, ජනමත ගොඩනගන්නන් සහ පොදු ජන සංවිධාන වර්තමානයේ රට ගමන් කරමින් පවතින දිසාව සම්බන්ධයෙන් සියුම් විවේචනයකට යා යුතුය.

දිවයිනේ පලාත් කිහිපයක මැතිවරණ පැවැත්වෙයි. පලාතේ පොදු පහසුකම් විධිමත්ව පවත්වාගෙන ජන ජීවිතය නගා සිටුවන මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය. රට ගොදුරුවෙමින් ඇති අන්ධකාරයට මෙකී පලාත් සභා මැතිවරණය නිදර්ශනයකි. රජයේ රෝහලක බාහිර රෝගීන් ට නොමිලේ ඖෂධ සැපයෙන කවරයක පවා මනාප අංකය සටහන් කරන්නට අපේක්ෂකයන් නැඹුරුව ඇති බව මාධ්‍ය අනාවරණය කරයි. ස්වකීය ජයග‍්‍රහණය වෙනුවෙන් අපේක්ෂකයන් ගෙන යන මනාප සටන පවතින මැතිවරණ ක‍්‍රමයේ එක් අංගයකි. දේශපාලන ක‍්‍රමය පිරිහී ඇත. මහජනතාව දේශපාලනඥයන් කොරහි ඇති ගරුත්වය සාපේක්ෂව පහත වැටී ඇත. දේශපාලනඥයන් ගේ ප‍්‍රතිරූප විනාශ වී තිබේ. රෝහලක සේවය කරන දැනුම් තේරුම් ඇති බුද්ධිමතුන් ද එයට ගොදුරුවීම භයානක පෙරනිමිත්තකි. මැතිවරණය පැවැත්වෙන ප‍්‍රදේශවල දී ඉන්දියාවෙන් වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශය කරනවිට අපේක්ෂකයන් එය ද ස්වකීය ප‍්‍රචාරයට යොදවා ගෙන ඇතැයි පළවෙයි. බොදුනුවන්ගේ සර්ධාව මනාපය බවට හරවාගන්නට තැත් දරන්නට දේශපාලනඥයන් කූට විය හැකි නමුත් මහා සංඝරත්නය සහ බෞද්ධ නායකයින් එය ගැන පෙරලා ප‍්‍රශ්න කළ යුතුය. රෝහලේ දී හා පන්සලේදී නිහ`ඩවන සුධීමතුන් රට තුළ ඇති අපේක්ෂා භංගත්වයට සංකේතයකි.

පිරිහීම විනාශයට මුලයි. සමාජය පිරිහීමට නොයෙක් හේතු තිබේ. ජනතාව පරමාදර්ශී චරිත වශයෙන් සලකන තැන් විකෘතිවීම එහි එක් ප‍්‍රධාන කරුණකි. ජනතාව තුළ අවිශ්වාසය ඇතිවෙයි. ඔවුහු සැක කරන්නට පටන්ගනී. නොයෙක් ඕපාදූප මත පැතිරෙයි. යතාර්ථය වෙනුවට එකී මත කෙරෙහි සමාජය නැඹුරු වෙයි. එකිනෙකට වෙනස් තොරතුරු හෙයින් ජන මත බෙදීමෙන්, රටක් වශයෙන් එකතුවීම වලකයි. ජාති, ආගම්, කුල, දේශපාලන හා පංති වශයෙන් බෙදුන සමාජය එකතුවීම රටට ඇති එකම උවමනාවයි. එකමුතුවකින් තොරව එක දර්ශනයකට රට ගොඩනගන්නට නොහැකිය. එකමුතුවීම වලකන පටු උපායකට සමාජයේ මර්මස්ථාන ගොදුරු වී තිබේ.

විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා විභාග ප‍්‍රතිඵලයක වරදක් ගැන මාස ගණනක් චෝදනා ප‍්‍රතිචෝදනා ඇති කරගනිමින් සිටී. දේශපාලනඥයන්ට, අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් නොව නීතියට ද එය විසදන්නට හැකියාවක් ලැබී නැත. එයින් පෙනෙන්නේ කුමක්ද? අප සියලූ දෙනාට එකතු වී සංවාදයෙන් ප‍්‍රශ්නයක් විසදා ගන්නට නොහැකි බවයි. සාමකාමිව එකතු වී. සාමකාමීව සංවාද කර අවසානයේ සාමයෙන් විසිර යන ලෙස බුද්ධ දර්ශනයෙහි දැක්වෙන විශිෂ්ට අර්ථය අද සමාජය තේරුම්ගත යුතුය. පාසලේ සිට විශ්ව විද්‍යාලයේ වියතුන් දක්වා දරුවන්ට දැනුම දෙන ගුරුවරු ස්වකීය යුතුකම හා වගකීම අමතක කර ආත්මාර්ථකාමී ලෙස හැසිරෙන්නට පටන්ගෙන තිබේ. දේශපාලනඥයන් පිරිහී ඔවුන් එහිම ගැලී එයින් යැපෙන දුෂිතයන් යැයි චෝදනා කරන සමාජයක එය නගා සිටුවන පදනම සේ ගැනෙන බුද්ධිමතුන් ද පරාර්ථයෙහි නොහැසිරීම ප‍්‍රශ්නයකි. මනාප සොයන දේශපාලනඥයන් මෙන් පෝස්ටර් අලවමින් තියුණු ටියුෂන් තරගයකට ගුරුවරු ද පෙළැඹීම එකී ධර්මතා දෙදරා ගිය තැනයි.

රජයේ දේපොල අනිසි ලෙස මැතිවරණයට යොදා ගන්නා දේශපාලනඥයන්ට ගල් ගසන ලෙස එක්තරා විනිසුරුවරයෙකු විවාත අධිකරණයේ දී ප‍්‍රකාශ කළ බව පසුගියදා අනාවරණය විය. යුක්තිය පසිදලන උත්තරීතර ස්ථානය තමන්ට ඇති සිමාව ගැන ඉගි කරන එකී ප‍්‍රකාශය හැගීම්බරය. මහජනතාව අවසාන වශයෙන් නීතිය හා යුක්තිය කෙරෙහි බලාපොරොත්තු තබයි. යුක්තිය ඉටු කිරීමට ගන්නා කාලය සහ එය ඉටු වන ආකාරය ගැන මහජන අපේක්ෂා බි`දී යමින් තිබේ. මහ මග සිදුවන අනතුරක දී වාහන ගිනි තබන්නට සහ අපරාධයක් සිදුවූ විට ජනතාව සැක කරන පුද්ගලයන්ගේ දේපොල විනාශ කර දඩුවම් දෙන ප‍්‍රවනතාවක් මෑතක සිට පෙනේ. නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් සේවාව මහත් විවේචනයට ලක්ව ඇත. නිලධාරීන්ගෙන් ඇතැම් පිරිසක් කෙරෙහි සමාජය බලන්නේ අප‍්‍රසන්න හැගීමකින්ය. නිලධාරීන් ගෙන් විමසුවහොත් ඔවුන් එම තත්ත්වයට පත්ව ඇති අතර එයට වගකිවයුතු පවතින ක‍්‍රමයයි. යුතුකම හා වගකීම අමතක කර පටු පරමාර්ථ වෙනුවෙන් කි‍්‍රයාකිරීම හෙයින් පොලිසියේ සේවාව සහ අධිකරණයේ ක‍්‍රියාදාමය මහජනතාව අතර හෑල්ලූවට ලක්ව ඇත. ළමා අපචාර, අපරාධ හා මත්ද්‍රව්‍ය හමුවේ සමාජය නිහ`ඩය. විශේෂයෙන් කාන්තාව මෙම ව්‍යසන හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. ඔවුන්ගේ මතය සමාජය නොසලකාහැර ඇති අතර එයින් අත්පත්ව ඇත්තේ භයානක ප‍්‍රතිඵලයකි.

මෙකී සිද්ධි නූතන පරම්පරාවේ කෝසල සිහින ලෙස සැලකීම වටී. බුදුරජානන් වහන්සේ පහලව සිටි සමයේ කෝසල නුවර රජ කළ පසේ නදී නම් නරපතියෙකු සිහින දහසයක් දැක ඇති බව සදහන්ය. මෙම සිහින සාමාන්‍ය ඒවා නොවේ. එහි ඇත්තේ විකෘති සිද්ධීන්ය. මෙකී සිහින දැකීමේ යථාර්ථය හදුනා ගන්නට රජුට අවශ්‍ය විය. සිහින වලින් විපත් සිදුවන බවට අනතුරු ඇගවූ රජුට සේවය කළ ඇමති මණ්ඩලය බමුණන් ගෙන්වා මහා පූජා පවත්වා තම පැවැත්මට මගක් සකස්කර ගන්නට ප‍්‍රයත්න දැරුවේ යැයි සදහන්ය. එහිදී මැදිහත් වූ මල්ලිකා නම් රජ බිසව බුදු රජුන් හමුවී මෙම සිහින ගැන ප‍්‍රකාශ කර උපදෙස් ගන්නට පොළඹවා ඇත. එහිදී එක් එක් සිහිනය ගෙන තේරුම් කර දුන් බවත්, අද එළැඹෙන අනතුරක් නොව එය මතු අනාගතයේ දී එළැඹිය හැකි තත්ත්වයක් බව දේශනා කර රජු ද අස්වසා එවැනි විපතකට රට පත් නොකරන්නට ගත යුතු මග පෙන්වා දී ඇති බව කියැවෙයි. අද සමාජය දකිමින් සිටින්නේ මෙම සිහින වල නූතන පරිච්ඡේදයයි . එය ද අවදියෙන් සිටිමින්ය.

ඇතැම් ජන නායකයින් ගේ හැසිරීම චෞර ස්වභාවයකි. නීතිය හා බලය අතට ගෙන තිබේ. ජන වරම දිනාගන්නට කරන කියනා දෑ මහා පිරිහීමකට පත්ව ඇත. සමාජයට ඥානය දෙන අධ්‍යාපන ක‍්‍රමය අසරණය. යුක්තිය කෙරෙහි ගරුත්වය පලූදු වෙමින් තිබේ. ආගමික සහ සමාජ නායකයන් නිහඩය. නොඇසිය යුතු දේ අහන්නට ලැබේ. නොදකින්නට ප‍්‍රාර්ථනා කරන දේ දකින්නට ඇත. සියලූ සම්මත විකෘති වෙමින් පවතින අවස්ථාවක හැකියාවක් ඇති අයවලූන් රට හැර යන්නට පටන්ගෙන ඇත. ඉහළම තලයේ බුද්ධිමතුන් ද, පහලම පංතියේ දුප්පතුන් ද තෝරාගෙන ඇති මාර්ගය එයයි. නූතන කෝසල සිහින දකින අප සමාජය වහාම පවතින දරුණු ස්වභාවයෙන් නික්ම අලූත් යුගයකට ඇතුළුවීමේ අධිශ්ටානය ඇතිකර ගත යුතුය.

විකෘති ව ඇති ක‍්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නට නොහැකි නම් කළ හැකි දේ කරන්නට වගකිව යුතු සියලූ දෙනා පෙල ගැසිය යුතුය. කඩා ගත හැකි ගෙඩි විනා නෙලා ගන්නට නොහැකි උස අතු වලට කෙකි බැදීම නිශ්ඵලය. නිදහස ලැබුණ දිනයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය රටතුළ පවත්වාගෙන යයි. ව්‍යවස්ථාවක් ඇත. එය සමාජය තුළ තහවුරු වී නැත. අනෙක් රටවල ව්‍යවස්ථාව හා එහි ඇති කරුණු දරුවන්ට පවා අවබෝධයක් ඇත. අප රටේ නායකයන් පවා ව්‍යවස්ථාව පලක් නැති එකක් බව දක්වයි. එහි ගරුත්වය හීන වී ඇත. ප‍්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂයේ හා පුද්ගලයන්ගේ අරමුණු ඉදිරියට පැමිණ තිබේ. මනාප ක‍්‍රමය එහි බරපතල වැරදීමකි. මහජන නියෝජිතයකු වන්නට නම් අතිවිශාල ධනස්කන්ධයක් වැය කර පසුව එය උපයා ගන්නට හැකියාව තිබිය යුතුය. නැතිනම් දුෂණයෙන් උපයා ගන්නා ධනය ජනතාව අතර බෙදා දී මහජන නියෝජිතයෙකු වන්නට හැකියාව ඇත. ඡුන්ද ක‍්‍රමය ප‍්‍රචණ්ඩ හා දුෂිත එකක් බවට පත්කර ඇති මනාප ක‍්‍රමය අහෝසි කරන්නට සමාජයට තීන්දු කරන්නට හැකියාව තිබේ. එය ඔස්සේ මහජන නියෝජිතයන්ගේ ධන උල්පත් පාලනය කරන්නට පහසුය. බලය හා ධනය එකතුවී නීතිය අතට ගැනීම වැලැක්විය හැකිය.ඇතැම් නිලධාරීන් ද මෙම යාන්ත‍්‍රණය ස්වකීය වාසියට හරවාගෙන තිබේ. මහජනතාවට නිලධාරීන්ගෙන් කාර්යයක් කරගැනීමට නම් දේශපාලනය හෝ ධනය අවශ්‍යවෙයි. අසරණ වී ඇත්තේ මහජනතාවය.

මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ දී තරුණ හා කාන්තා නියෝජනය නීතියෙන් තහවුරු කිරීම වැදගත්ය. දේශපාලනය එක්තරා පරම්පරාවක පමණක් වියයුතු නැත. අලූත් දැනුම අලූත් ආකල්ප ඇති නියමුවන් එයට ඇතුළුවන්නේ ක‍්‍රමය එයට ඉඩ දෙන්නේ නම් පමණකි. මෙරට ආර්ථික දේහයේ වැඩි බරක් උසුලන කාන්තාව ගේ දේශපාලනයේ නියෝජනය වැඩි කරන නීති ඇතිකිරීමෙන් සමාජ සමබරතාවයක් සහ ප‍්‍රචණ්ඩත්වය අවම කර පවුලේ උන්නතිය තකන කොටසක් රටේ සංවර්ධනයට දායක කර ගත හැකිය. පුර වැසියන් සියලූ දෙනා ස්වකීය මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදයට සහභාගී කර ගැනීම අවශ්‍යය. මැතිවරණයක දී ඡුන්දය ප‍්‍රකාශ වන ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් කුඩා වෙමින් තිබේ. එයට නොයෙක් හේතු තිබිය හැකිය. අවශ්‍ය ප‍්‍රමාණයට ඡුන්දය ප‍්‍රකාශ නොවීම බහුතර අකමැත්තෙන් පාලකයන් තෝරා ගැනීමකි. බලයට පත්වන මහජන නියෝජිතයන්ට නොලැබුණ ඡුන්ද හා අප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රමාණය එකතු කළ විට එය සැලකියුතු කොටසක් නම් මහජනතාවගේ තීන්දුව වෙනස් එකක් බව තේරුම් ගැනීම පහසුය. නොයෙක් හේතු මත රටින් බැහැරව ජිවත්වන ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනකි. ඔවුන් උපයා රටට එවන විනිමය මෙරට විශාලතම ආදායමයි. රට ගැන, සමාජය ගැන කැක්කුමක් විදේශගත ශ‍්‍රී ලාංකිකයන්ට ඇති බව අවිවාදිතය. ඔවුන් රටින් ඈත් කරනු වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට සම්බන්ධකර ගැනීමට නම් මැතිවරණයකදී ඡන්දය භාවිතා කරන්නට විදේශගත ලාංකිකයන්ට ඉඩ දිය හැකිය. තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය බහුල යුගයක ලාංකික ජනතාව එකතුකර රට වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට එය වටිනා අවස්ථාවකි.

බලයට පත්වන ආණ්ඩු මහජන මුදල් වියදම් කරන ආකාරය විනිවිද පෙනෙන අන්දමට නීති ඇතිකළ යුතුය. අන්තර් ජාතිකව එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන නව ප‍්‍රවනතාවයකි. යම් පොදු ව්‍යාපෘතියක සැලසුම් කළ මුදල, එහි ගිවිසුම කොන්ත‍්‍රාත්කරු තෝරාගත් ආකාරය සහ අවසාන වියදම ජනතාවට දැන ගැනීමට සැලැස්වීම ජන සම්මතවාදී රජයක යුතුකමකි. තොරතුරු දැන ගැනීමේ අයිතිය එයයි. දේශපාලනඥයන්ගේ බැංකු ගිණුම් හෝ පවුලේ පුද්ගලික විස්තර රටට අවශ්‍ය නැත. ජාතික ආරක්ෂාවට වැදගත්වන තොරතුරු හෙළි නොකරන ආරක්ෂණයක් ඇතිකළ හැකිය. එවැනි පැති මගින් රටට වැඩදායක යෝජනා ඇති කරන්නට හැකි නමුත් පටු දේශපාලනය එයට ඉඩ අවුරා ඇත. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය නීතියෙන් තහවුරු කිරීමෙන් මහජනතාව ගෙවන බදු වියදම්වන ආකාරය සරලව මහජනතාවටම දැන ගැනීමට හැකියාව ලැබේ. එය වැදගත්ය. දේශපාලනයේ දී නිතියෙන් කළ නොහැකි සාරධර්ම වගා කරන්නට විනිවිද භාවය කදිම අවියක් බව එය ක‍්‍රියාත්මක කරන රටවල් සනාථ කරයි.

අවසාන වශයෙන් සියළුම පුරවැසියන්ට සමාන අවස්ථා හිමිවිය යුතුය. විශේෂයෙන් නීතිය ඉදිරියේ දී එය බලපැවැත්විය හැකි ආකාරයට අධිකරණය ස්වාධීන එකක් කරන්නට ධෛර්යය උපදවා ගත යුතුය. යුක්තිය ඉටු කරගැනීම අධික වියදමක් හා විශාල කාලයක් ගතකරන්නට සිදුවන එකක් බවට පරිවර්තනය වී තිබේ. එය පොදු ජනතාව අධිකරණය කෙරෙහි ඇති නැඹුරුව දුර්වල කරයි. අපරාධ වැඩිවන්නට එය ප‍්‍රධාන සාධකයකි. නීතිය කි‍්‍රයාත්මක කර යුක්තිය පසි`දලීම අධිකරණ පද්ධතියේ උවමනාවක් බවට පත් වියයුතුය.

සමාජය එකතු කර අලූත් යුගයකට ඇතුළු කරන්නට නම් වර්තමානයෙහි අප දකිමින් සිටින කෝසල සිහින වල අර්ථය දැන අනාගතය නිරවුල් කර ගන්නට වෙහෙසීම වැදගත්ය. එහි බරපතල වගකීමක් සහ කාර්ය භාරයක් සමාජ නියමුවන්ට ඇත. සියළු ආගමික නායකයන් මෙකි වැඩ පිළිවෙල සාක්ෂාත් කර ගන්නට එකතු විය යුතුය. සිවිල් සංවිධාන, ජන මත ප‍්‍රධානීන් සහ බුද්ධිමතුන් තමන්ට හැකි පමණනින් එයට දායකවීම අවශ්‍යය. පසේ නදී රජතුමා දුටු සිහින විග‍්‍රහ කළ ඇමතිවරුන් සහ බමුණන් එය තමන්ගේ වාසියට ගත හැකි උපක‍්‍රම සොයා බැලීය. බුදුරජානන් වහන්සේ එය අදට වන අනතුරක් නොව මතු සිදුවිය හැකි එකක් බව පෙන්වා නිසි මග දැක්වීය. වර්තමානයේ බුද්ධිමතුන් ගත යුතු බමුණන් සේ තමන් ද යැපෙන මග නොව බුදුරජානන් වහන්සේ ගේ දැක්මයි. සෑම දෙමාපියෙකුම ස්වකීය දරුවන්්ගේ අනාගතය උදෙසා යම් පරිවර්තනයක් කරන්නට අදිටන් කර ගත යුතුය. කැපවීමෙන් විනා දකිමින් සිටින සිහින සැබෑ කර ගන්නට නොහැක. දියුණුවට පත් සෑම සමාජයකම පරිවර්තනයක් සිදුව ඇත. ජාත්‍යන්තරය අධ්‍යයනය කිරීමෙන් එය සාක්ෂාත් වෙයි. නිවැරදි දැක්ම, ඉක්මනින් තීන්දු ගැනීම සහ කාර්යක්ෂම සහභාගීත්වය එහිලා ඉහළම සාධකයි. යුද පසුබිමට පසු සමාජයේ පරිවර්තනයකට පහසු පදනම සකස්වෙමින් තිබිණ. එය අනපේක්ෂිත අවසානයක් කරා යොමු නොකිරීම අපගේ වගකීමකි. ආණ්ඩු පෙරලීම නොව සමාජය නිසි මගට හරවා ගැනීමේ වගකීම අප සියලූ දෙනා අත පවතී. බටහිරෙන් හෝ වෙනත් රටකින් පැමිණ අපගේ අවශ්‍යතා ඉටුකරන සමාජ ක‍්‍රමය සකස් කරන්නේ නැත. සමාජය එකතු වී ප‍්‍රශ්න විසදාගැනීමට හැකි මග සොයා යාම අව්‍යතාවයයි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.