04/10/2022 - ලංකාදීප
විදුලිය යායුතු මාර්ගය

ශ‍්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්බන්ධයෙන් තර`ගකාරීත්වයක් නිර්මාණය කළ යුතු කාලයකි. පාරිභෝගිකයා තෘප්තිමත් කරන සේවා සැපැයුමක් රටට අවශ්‍යය. විදුලිය සදහා වැඩිම ගාස්තු අයකරන රටවල් කිහිපයක් අතර සිටින ශ‍්‍රී ලංකාව බලශක්ති පිරිවැය ඉහළ බැවින් විදේශ ආයෝජන පවා නොලැබෙන තැනක පසුවේ. නොබෝදා සිදුකළ ගාස්තු වැඩිකිරීමේ තීරණය විදුලිය පාරිභෝගිකයන්ට සංකීර්ණ ගැටළු ගණනාවක් ඇතිකර තිබේ. අධික ජීවන වියදමක පසුවන අතර කරන ගාස්තු සංශෝධනය ගෘහස්ථ පාරිභෝගිකයන් අසරණකර ඇත. කර්මාන්ත, කෘෂි හා සේවා අංශවල නිෂ්පාදන ක‍්‍රියාවලියට ද බාධා සිදුවී තිබේ. නිෂ්පාදන පිරිවැය වැඩිවන විට වන්දිගෙවන්නේ පාරිභෝගිකයෝ බව අමතක කළ යුතු නැති අතර අපනයන නිෂ්පාදන ක‍්‍රියාවලියට බලපෑම මත විදේශ ආදායම තවත් වටයකින් අඩුවිය හැක. විදුලිය බල මණ්ඩලය අධික පාඩු වාර්තා කරන අතර, ගාස්තු සංශෝධනය හැර අනෙක් පියවරක් මෙම මොහොතේ දී නැති බව දැක්වේ. පිරිවැය පියවන, මිල වැඩි කිරීම දිගටම අනුගමනය කළ හැකි උපක‍්‍රමයක් නොවේ. නිෂ්පාදන වියදම අඩු කරන අතර පාරිභෝගිකයන්ට අඩුම මිලට විදුලිය සපයන විකල්ප ක‍්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

විදුලිය නිෂ්පාදනයේ දී කෙරෙන නවීන පරිවර්තන අධ්‍යයනය අවශ්‍යම කරුණකි. ඒකාධිකාරය අවසන් කළ යුතුය. උත්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තරගකාරීව කරගෙන යා හැකිය. රජය පමණක් නොව පුද්ගලික අංශයට ද විවෘත කරන අතර නියාමනය ඉතාම වැදගත්ය. ලෝකයේ සිදුවන විදුලිය තාක්ෂණය දියුණුවන විට එයට අනුගත විය යුතුය. මුල් කාලයේ ජල විදුලිය උත්පාදනය අඩුම වියදමක් සහිත අංශයකි. දැවිතෙල්, ගල් අගුරු හෝ ගෑස් මගින් විදුලිය උත්පාදනය අධික වියදමක් දරන්නට සිදුවන යල්පැනගිය ක‍්‍රම බවට පත්ව ඇත. අලූත් තාක්ෂණය හා නවෝත්පාදන ක‍්‍රම භාවිතා කර අඩු මිලකට විදුලිය නිපදවන මධ්‍ය හා දීර්ඝකාලීන සැලසුම් රටට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ විදුලිය උත්පාදනයේ ප‍්‍රවණතා

ජල විදුලි උත්පාදනය ශ‍්‍රී ලංකාවේ බලශක්ති අංශයේ සිදුවූ වාසිදායක අංශයකි. මහවැලි සංවර්ධනය වැනි ව්‍යාපෘති විදුලිය නිපදවන අතර කෘෂිකර්මාන්තය අවශ්‍ය ජල පහසුව සපයන බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් විය. විදුලිය අවශ්‍යතා ඉහළ යෑම සමග උත්පාදනය ක‍්‍රමානුකූලව නැංවිය යුතුව තිබුණි. වසර තිහක පමණ කාලයක් ත‍්‍රස්තවාදී ගැටුම්වලට මුහුණ දුන් රටට අලූත් යෝජනාක‍්‍රම ආරම්භ කිරීම පහසුවූයේ නැත. කුඩා හා මධ්‍ය ප‍්‍රමාණයේ රජයේ හා පුද්ගලික අංශයේ දැවිතෙල් බලාගාර, ඉදිකර ජාතික පද්ධතියට විදුලිය සපයමින් සිටී. විදුලිය බලය සම්බන්ධයෙන් රට තුළ පුලූල් අවබෝධයක් නැත. රජය කරගෙන යා යුතු අතර සහන මිලට විදුලිය ජනතාවට සැපැයිය යුතු බවට මතයක් තිබේ. මෙම සහනවලට ගෙවන්නේ ද මහජනතාවගෙන්ම අයකරන බදු බව සගවන ලද කරුණකි. ජනතා සහන සහ රජයේය අයිතිය පදනම් කරගෙන විරෝධතා ඇති වේ. ගල් අගුරු බලාගාරය ඉදිරිකිරීමේ දී පවා දේශපාලන, වෘත්තිය සමිති හා පරිසර අංශවල විරෝධයක් පැනනැගිණ. සංවර්ධන අවශ්‍යතා කළමනාකරණය නොවීම මගහැරිය නොහැකි විපාකවලට හේතු වී තිබේ. ප‍්‍රතිපත්ති තීරණ නොගැනීම හේතුවෙන් පසුගිය දශක දෙක තුළ අඛණ්ඩව විදුලිය සැපයුමට බාධා සිදුවූ අවස්ථා ගණනාවකි.

විදුලිය නිපදවන ක‍්‍රම සදහා අනුමැතිය පමණක් නොව විදුලිය කපාහැරීමේ තීරණ ද ආණ්ඩුවල ජනප‍්‍රියත්වය අඩුකරන හේතු බව මතක් කළ යුතුය. යමක් කරන්නට උත්සාහ කළහොත් එයට නැගෙන විරෝධයක් පැන නැගේ. පැවැත්ම වෙනුවෙන් තාවකාලික තීන්දුගන්නා ආණ්ඩුවල තීරණවල ප‍්‍රතිඵල අද අප හමුවේ ඇත. අකාර්යක්ෂම, අධික පිරිවැය සහිත ක‍්‍රම වෙනුවට අලූත් ප‍්‍රභව සදහා ගමන් කළ යුතු නමුත් එසේ නොකිරීම රට මුහුණ පා ඇති ගැටළුවකි.

තව දුරටත් පැරණි හණමිටි යුගයේ සිටිය යුතු නැත. විදුලිය බල නිෂ්පාදන ක‍්‍රියාවලියේ අලූත් ක‍්‍රම ලෝකයේ භාවිතාවට ගැනේ. බලශක්ති අංශයෙහි නිතිපතා නවතම පර්යේෂණ සිදු කෙරේ. ශ‍්‍රී ලංකාව වැනි ආර්ථික ප‍්‍රශ්න ඇති රටකට අලූත්ක‍්‍රම ගැන තමන්ටම පර්යේෂණ කරන හැකියාවක් නැත. අනෙක් රටවල කරන සොයාගැනීම්වලින් ප‍්‍රයෝජනගත යුතු අතර සිදුවන වෙනස්වීම් අධ්‍යයනය කර සුදුසු පියවර යෝජනා කිරීම ක්ෂේත‍්‍රයේ නිරත විද්වතුන්ට පැවැරෙන වගකීමකි.

විදුලිය නිපදවීමට ලෝකයේ නවීන නැඹුරුව

පොසිල ඉන්ධන විදුලිය නිපදවීම සීමා කිරීම ජාත්‍යන්තර ප‍්‍රවණතාවය වී ඇත. දැවිතෙල්, ඞීසල් හෝ ගල් අගුරු මිල ඉහළ මටට්ටමක තිබීම එයට එක හේතුවකි. ගෑස් වලින් විදුලිය නිපදවීම ද පහසු නැත. මේවායෙන් පරිසරයට කරන හානිය ගැන පුලූල් අවධානයක් යොමු වී ඇත. සුළං බලාගාර, සුර්ය බලය හා හයිඩ‍්‍රජන් තාක්ෂණය අලූත් පැති වශයෙන් ගැනේ. ශ‍්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු අංශයකි. පරමානු බලය ගැන ද සාකච්ඡා කරන නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටකට පරමානු විදුලි උත්පාදනයක් සදහා තවත් කල් තිබේ. සුළං හෝ මහා පරිමාන සූර්ය විදුලි උත්පාදනය සිදුවන තෙක් අතරමැදි පියවරක් වශයෙන් තවත් ගල් අගුරු හෝ එල්.එන්.ජී විදුලිය බලාගාරයක් අවශ්‍ය විය හැකිය. ජල විදුලිය නිපදවා ගලායන ජලය නැවත ඉහළට පොම්පකර යළි යළිත් විදුලිය උත්පාදනය ද අනුගමනය කරන ක‍්‍රමයකි. පිරිවැය අවම බව ඔප්පු වී ඇත. නිෂ්පාදන වියදම අඩුවීම හේතුවෙන් දැරිය හැකි මිලකට පාරිභෝගිකයන්ට සැපයේ. පරිසර හානිය ද ඉතාම අවමය.

සූර්ය තාපය විදුලියට හැරවීම ප‍්‍රධාන කර්මාන්තයක් වී ඇත. රටවල් විශාල ප‍්‍රමාණයක් සූර්ය විදුලිය පරිහරණය කරයි. චීනය හා ඇමරිකාව ඉදිරියෙන් සිටී. හොදින් හිරු එළිය ලැබෙන කලාපවල විදුලිය උත්පාදන ව්‍යාපෘති ආරම්භ කරන අතර විදුලි හිග රටවලට අලෙවිකිරීම ව්‍යාපාරයක් වී තිබේ. ඔස්ටේ‍්‍රලියාවේ කාන්තාරවල සූර්ය තාපබලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කරන සිංගප්පූරුව එම විදුලිය මිල දී ගැනීම සදහා ගිවිසුමක් අත්සන් කර ඇත. අපි‍්‍රකානු රටවල ද ව්‍යාප්තවන ව්‍යවසායකි. යුරෝපා ප‍්‍රජාව, ඇමරිකාව හා චීනය ඇතුළු රටවල හයිඩ‍්‍රජන් විදුලිය උත්පාදනය ප‍්‍රචලිත වෙමින් තිබේ. ඉන්දියාව, චිලී, ඊජිප්තුව, දකුණු අපි‍්‍රකාව සහ ඔමානය ඉදිරි කාලයේ දී හයිඩ‍්‍රජන් විදුලියට නැඹුරුවන බව වාර්තා දක්වයි. හයිඩ‍්‍රජන් භාවිතා කරන නිපදවීමෙන්, සාමාන්‍ය විදුලිය උත්පාදන පිරිවැයට වඩා සියයට හැත්තෑ පහකින් පමණ වියදම අඩු බව පුරෝකථනය වී තිබේ. හයිඩ‍්‍රජන් නිපදවීම, ආරක්ෂා සහිතව ප‍්‍රවාහනය සහ වෙළදාම අලූත් ව්‍යාපාර බවට පත්ව ඇත. බර වාහනවලට හයිඩ‍්‍රජන් බලශක්තිය භාවිතා කරන සහ සැහැල්ලූ වාහනවලට සූර්ය විදුලිය භාවිතා කිරීම ප‍්‍රවණතාවය බව පෙනේ. සුළං විදුලි බලාගාර තවත් විශේෂ අංශයකි. සියයට අනූවක් පමණ ජල විදුලිය සහිත නෝර්වේ රාජ්‍ය පිරිවැය තවත් අඩුකරන අතර පරිසර සාධක සලකා ඩෙන්මාර්ක්, ජර්මනිය හා නෙදර්ලන්තය යන රටවල කරන සුළං විදුලිය උත්පාදනයෙන් කොටසක් මිල දී ගනී. විදුලිය නිපදවීම හා බෙදාගැනීම ගෝලීයකරණය වී ඇත. හුදෙක් රටවලට සීමා වූ අංශ නොවන බව පැහැදිලි කරගත යුතුය. යුරෝපා රටවල් එක විදුලිය බල ග‍්‍රිඞ් පද්ධතියකි. අඩු වැඩි කාලවල දී රටවල් අතර විදුලිය හුවමාරු කරගනිමින් සිටී.

පරිවර්තනයක් සදහා අලූත් අවස්ථාවක්

රටට ඇති සම්පත් භාවිතාකර විදුලිය උත්පාදනයෙන් අඩු මිලට පාරිභෝගිකයන්ට සපයන අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට ඇත. හිරු එළිය සහ සුළග රටට ඇති සම්පතකි. මන්නාරම හා පුනරින් අවට සුළං හා සුර්ය තාප බලාගාර ඉදිකළ හැක. ගොඩබිම හා නොගැඹුරු මුහුදේ ස්ථාපිත කරන සුළං පෙතිවලින් මෙගාවොට් 30,000ක් පමණ විදුලිය නිපදවිය හැකිබව දැක්වේ. ශ‍්‍රී ලංකාවේ ගොඩනැගිලි ආශ‍්‍රිතව, දූපත්වල හා ප‍්‍රයෝජනයට නොගන්නා ඉඩම්වල සූර්ය තාප මධ්‍යස්ථාන ඉදිකරන පහසුව තිබේ. දේශීය ව්‍යවසායකය් ජාත්‍යන්තර ආයෝජනන සමග සම්බන්ධ කළ යුතුය. ඉන්දියාව, චීනය හා නෝර්වේ වැනි රටවල ආයෝජකයන් මෙම ව්‍යාපෘතිවල මුදල් යොදවන්නට සූදානම්ය. රට තුළ දැනට කරන විදුලිය උත්පාදනය මෙගවොට් 4,300 කි. ජල විදුලිය, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර එයට ඇතුලත්ය. සුළං බලාගාරවලින් නිපදවිය හැකි විදුලිය බලය පමණක් රටට අවශ්‍ය ප‍්‍රමාණය මෙන් හයගුණයකි. සූර්ය තාපයෙන් නිපදවුවහොත් එය තවත් අමතර ප‍්‍රමාණයකි. තාක්ෂණය සදහා ආයෝජනය කිරීමෙන් සුළංබලාගාර ආශ‍්‍රිතව හයිඩ‍්‍රජන් නිපදවීම ද කළ හැක. ඒවා අපනයනය හෝ විදුලිය නිපදවීමට භාවිතා කිරීමට සුදුසුය.

අතිරේක විදුලිය විකිණීම විනිමය ලැබෙන අලූත් ව්‍යවසායයකි. ඔස්‍ට්‍රේලියාවේ නිපදවන විදුලිය සිංගප්පූරුව මිල දී ගන්නා අතර මුලින් සදහන් කරන ලද පරිදි නෝර්වේ රාජ්‍යය ද ආසන්න රටවලින් විදුලිය මිල දී ගනිමින් සිටී. ශ‍්‍රී ලංකාවේ නිපදවන විදුලිය ඉන්දියාවට අපනයන කළ හැකිය. ඉන්දියාව විදුලියබල හිග රටකි. අනාගතයේ දී එය තවත් උග‍්‍ර වන බව ප‍්‍රකාශ වේ. බංගලාදේශය, නේපාලය හා භූතානය රටවල විදුලිය උත්පාදන ව්‍යාපෘති ආරම්භ කරන ඉන්දියාව එම රටවල අතිරේක විදුලිය මිල දී ගනිමින් සිටී. සුළං හෝ සූර්ය බලයෙන් නිපදවන විදුලිය ගබඩාකිරීමේ තාක්ෂණය තවමත් දියුණු නැති බැවින් වහාම ප‍්‍රයෝජනයට ගත යුතුය. විකිණීමෙන් ආදායම ඉපැයිය හැකි අතර හිග අවස්ථාවල නැවත මිල දී ගැනීමට හැක. දැනටමත් ශ‍්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝගිකයෝ දිවා කාලයේ විදුලිය නිපදවා මණ්ඩලයට අලෙවිකරන අතර රාත‍්‍රියට මණ්ඩලයෙන් විදුලිය මිල දී ගනිමින් සිටී. රටවල් අතර ගනුදෙනුවල දී පවා එවැනි ක‍්‍රමවේදයක් අනුගමනය කෙරේ.

සුදුසු ස්ථාන අධ්‍යයනය කර උත්පාදන ව්‍යාපෘති සකස් කරන්නට පුද්ගලික අංශය සූදානම්ය. ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය දැනටමත් සූර්ය විදුලිය උත්පාදන ව්‍යාපෘතියක් අරඹා ඇත. කුඩා ප‍්‍රමාණයේ සුළං විදුලිය උත්පාදන කුළුණු ගණනාවක් පුද්ගලික ව්‍යවසාය වශයෙන් ක‍්‍රියාත්මකය. මේවා පුලූල් කිරීමෙන් පසු රටට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා විදුලිය නිපදවිමට හැකියාවක් තිබේ. රජයය පුද්ගලික අංශය හා රටවල් අතර කරන ගනුදෙනු සලකා ශක්තිමත් යාන්ත‍්‍රණයක් හා නියාමනයක් අවශ්‍යය. විශේෂඥ පිරිස් සම්බන්ධ කරගත යුතුය. බලශක්ති අංශයේ ව්‍යාපාර, ආයෝජන සදහා පහසුකම් සැපැයිය යුතුය. ආයෝජන සදහා බලපත‍්‍ර නිකුත් කරන, පරිසර ප‍්‍රශ්න සොයාබලන හා ගිවිසුම් අත්සන් කරන ඉක්මන් හා පරද්‍රෘෂ්‍ය ක‍්‍රමවේද සකස් කිරීමට පියවරගත යුතුව තිබේ.

උත්පාදනය බෙදාහැරීම සහ අලෙවිය

විදුලිය බලය නිපදවීම හා බෙදාහැරීම ආණ්ඩු පමණක් කළ යුතු ව්‍යාපාර යන සංකල්පය අහෝසි වී ඇත. සමහර රටවල විදුලිය උත්පාදනය කිරීම ප‍්‍රාදේශීය සභාවල කාර්යයකි. තවත් රටවල් ඒවා තරගකාරී නිෂ්පාදන ක‍්‍රමවලට සම්බන්ධ කර ඇති අතර පුද්ගලික අංශය ධනය ආයෝජනය කර නිපදවීමෙහි යෙදී සිටිති. ප‍්‍රතිපත්ති සකස් කරන අතර නියාමනය රජයක වගකීම බවට පත්ව ඇත. දීර්ඝ කාලයක් අසංවිධිත තත්ත්ව යටතේ පැවැති ශ‍්‍රී ලංකාවේ විදුලිය බල ක්ෂේත‍්‍රය රටට විශාල පීඩනයක් ඇති කර තිබේ. වසර 2040 වන විට රටට අවශ්‍ය විදුලිය නිපදවන සැලැස්මක් ඇති නමුත් ආයෝජනයට මුදල් නැත. වැටුප් හා ණය පොලිය ගෙවීමට පවා රාජ්‍ය ආදායම ප‍්‍රමාණවත් නොවන තරමට ආර්ථිකය පිරිහී ඇති කාලයක අලූත් බලාගාර ඉදිකිරීමට හැකියාවක් නැත. අනාගතයේ ඇති වන බලශක්ති අර්බුදය ගැන කල්තබා සූදානම්වීම සුදුසුය.

රටට අවශ්‍ය තරමට විදුලිය නිපදවන අතර අතිරික්ත ප‍්‍රමාණය විකිණීමෙන් විනිමය සොයාගත හැකිවේ. විදුලිය, ගෑස් හෝ ඉන්ධන ප‍්‍රවාහනය සදහා නල මාර්ග ඉදිකිරීම අතීතයේ මෙන් දුෂ්කර නැත. මෙම ක්ෂේත‍්‍රවල තරගකාරි සමාගම් සේවා සපයනන්ට සූදානම්ය. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පවතින සමීප භූමිකලාපය අනුව බලශක්ති හුවමාරුව හොද ආයෝජනයකි. සාක් රටවල් අතර බලශක්ති හුවමාරුව සම්බන්ධ ප‍්‍රඥප්තියක් ද අත්සන් කර ඇති අතර එයින් ප‍්‍රයෝජන ගත හැකිය. ප‍්‍රතිපත්ති සකස්කර අවස්ථා විවෘත කිරීම අවශ්‍යය.

ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාව ආදායම් උපයන අලූත් ක‍්‍රම වලට නැඹුරුවිය යුතු අතර බලශක්ති ක්ෂේත‍්‍රය රටට උපයෝගීකරගත හැකි සම්පතකි. විනිමය උපයන ව්‍යාපාර වල දී ඇගළුම් කර්මාන්තයට පසු වෙනත් අංශ දියුණු වී නැත. වසර සිය ගණනක් තිස්සේ තේ අපනයනය කරන නමුත් රටට ලැබෙන විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.25 කි. ඇගළුම් කර්මාන්තයෙන් ලැබෙන ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ නමුත් එයින් වැඩි කොටසක් යන්ත‍්‍ර සූත‍්‍ර හා අමුද්‍රව්‍ය ආනයනයට ආපසු වැයවේ. ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් වෙනත් රටවලට යැවීම අපගේ ප‍්‍රධාන විනිමය උත්පාදන මාර්ගය වී ඇත. විදුලිය වැනි අංශයක් දියුණු කළහොත් එය මෙරට විදේශ විනිමය පළමු අංශය බවට පත්කරන හැකියාවක් ඇත. ආණ්ඩුව කළ යුතු සුදුසු ආයෝජනවලට අවස්ථාව සැපයීම බව දැක්විය යුතුය.

එකගතාවය හා දේශපාලන ස්ථාවරත්වය

විදුලිය වැනි ක්ෂේත‍්‍රයක ආයෝජනය දැවැන්ත එකකි. දේශපාලන අවදානමක් ඇති අවස්ථාවක මෙවැනි ක්ෂේත‍්‍රවල ආයෝජනයට දක්වන උනන්දුව පහත වැටේ. ආයෝජන සුරක්ෂිතාව ගැන විශ්වාසයක් ඇති කළහොත් දෙස් විදෙස් සමාගම් මුදල් යොදවනු ඇත. පක්ෂ බේධ පසෙක තබා ජනතාවගේ පැත්ත ගැන කල්පනා කිරීම දේශපාලනඥයන්ගේ වගකීමකි. විදුලිය බලය නිපදවන වියදම අඩුකළහොත් අඩු මිලට විදුලිය සැපැයිය හැකිය. ගාස්තු වැඩිවීම ගැන මැසිවිලි නගන ජනතාවට ආශීර්වාදයකි. විහාරස්ථානවලට පවා නොමිලේ විදුලිය ලබාදෙන තරමට ගාස්තු ක‍්‍රම සංශෝධනය කළ හැක. අලූත් අංශ දියුණුවන විට රටට රැකී රක්ෂා අවස්ථා ලැබෙන අතර ඉතාමත් අවශ්‍ය කෙරෙන බදු අය කරගත හැකිවීමෙන් ජාතික ආදායම වැඩිකරගත හැකිය. ණය ගැනීම වෙනුවට අවධානය යොමු කළ හැකි ක්ෂේත‍්‍රයකි.

සංවර්ධන අභිලාශයන් හා ආයෝජන සම්බන්ධව එකගත්වයක් ඇති කරගැනීම රටට අවශ්‍යම කරුණකි. ව්‍යවස්ථාව ගැන වාද විවාද කරන අපට ආර්ථිකය ගොඩනගනන ආකාරය ගැන සමගියක් නැත. බෙදී ආරවුල් ඇති කරගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. රට මුහුණ පා ඇති අර්බුදය ගැන අවධානය යොමුකරන විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් හා වෘත්තීය සමිති අවහිරකාරකයන් වශයෙන් නොව පාර්ශවකරුවන් බවට පත්විය යුතුය. දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති නාස්තිය, දූෂණය හෝ අපරාධ ඉදිරියේ නැගී සිටිය යුතු අතර අධික මිකට විදුලිය නිපදවා ජනතාවට අධික ගාස්තු අය කිරීම අපරාධයක් බව පෙන්වා දිය යුතුය. වෙනස්කම් තුළින් ඇතිකරන අවස්ථා රටට සහ ජනතාවට බව කල්පනා කිරීම ඉතාම වැදගත්ය. විදුලිය බලය තව දුරටත් ඒකාධිකාරයක් නොවේ. එය තරගකාරීත්වයට නතු කළ යුතු අංශයකි. දුරකතන සමාගම් ගණනාවකට ඉඩ දී සන්නිවේදන විප්ලවක් කරනන්ට සමත් වූ ශ‍්‍රී ලංකාව විදුලිය බල අංශයේ ද විප්ලවයක් කරා යා යුතුය. සෑම ගෘහ ඒකකයක්ම විදුලිය නිපදවන තමන්ගේම බලශක්තියක් සහිත පුරවැසියන්බවට පත් කිරීම අපගේ වගකීමකි. අද තීරණ ගැනීමෙන් අනාගතයේ විදුලිය බල අවශ්‍යතා සම්පූර්ණ වන අතර එය ශ‍්‍රී ලංකාවේ පැවැත්ම වෙනස් කරනු ඇත.