02/10/2013 - ලංකාදීප
ගොවිතැනට සහනාධාර අවශ්‍යද? - මිලින්ද මොරගොඩ

කෘෂිකර්මය ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැ`දී ඇති ක්ෂේත‍්‍රයකි. විශේෂයෙන් වී ගොවිතැන සංස්කෘතික අනන්‍යතාව දක්වන වතාවතක් බව ඉතාමත් පැහැදිලිය. ගොවිතැන සහ ගොවිකම වටා විශාල ජන සාහිත්‍යයක් ගොඩ නැගී තිබේ. අහසින් වැටෙන එක දිය බි`දක් හෝ ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන බවට දර්ශනයක් තිබූ රජවරු මෙරට සමෘද්ධිය සැලසූහ. වැව් තනවා ධන ධාන්‍යයෙන් රට පොහොසත් කළහ. එදා තිබුණ සරල පැවැත්ම අද වෙනස් වී තිබේ. අනාදිමත් කාලයක සිට ගහ කොළ සමග බද්ධව පැවැති මෙරට කෘෂිකර්මයේ පැවැත්ම ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. එම පසුබිම තුළ පවා රට තුළ ආහාර හි`ගයක් නැත. සහල් නිෂ්පාදනය මෙරට අවශ්‍යතා සපුරන මට්ටමට පැමිණ තිබේ. එළවලූ සහ පලතුරු රටට ප‍්‍රමාණවත් ආකාරයට නිපදවයි.

මෙරට ගොවි පොලවල නිපදවන දෙයට අමතරව පිටරටින් ද ආහාර පාන විශාල වශයෙන් ආනයනය කරයි. නමුත් අවසාන වශයෙන් කෘෂිකර්මයෙහි නියැලි ජනතාව තමන්ගේ පැවැත්ම ගැන අතෘප්තිමත්ය. තම නිෂ්පාදන අළෙවි කර ගැනීම ගැන ප‍්‍රශ්න කරන තත්ත්වයක සිටී. දේශීයව නිපදවන කෘෂි නිෂ්පාදන මිල වැඩිය. පිටරටින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මිල අඩුය. වාරි ජලය ව්‍යාප්ති සේවය සහ පොහොර ඇතුලූ සහනාධාර විශාල වශයෙන් සපයන අතර එයින් නිපදවන දේ රට තුළ අලෙවිය වෙනුවෙන් සහතික මිල ක‍්‍රමයක් පවත්වාගෙන යයි. සහන සහ සහතික මිල නිසා වැඩිවන ආහාර ද්‍රව්‍ය මිල ගැන පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

කෘෂිකර්මයට ගෙවන මිල සහ එයින් පාරිභෝගිකයාට සිදුවන අවාසිය ගැන ලෝකය පුරා මහත් විවාදයක් තිබේ. ගොවිතැනට සපයන සහන බි`දින්නට නොහැකි යකඩින් සැදි සහල් බ`දුනක් වශයෙන් Iron rice bowl ආසියාවේ ප‍්‍රචලිතව පැවැති කාලයක් තිබිණ. විශේෂයෙන් සමාජවාදී රටවල් ජනතාවට ආහාර සැපයිය යුතු හෙයින් ඕනෑම මිලක් ගෙවා නිපදවීමට හුරු වී සිටියේය. චීන ආර්ථිකයේ විශාල විප්ලවයක් කරන ලද ඩෙන් ෂියාවෝ පින්ග් සමාජවාදී චීන ආර්ථිකය තුළ එය වෙනස් කරන්නට සමත්විය. කෘෂි නිෂ්පාදන වෙළ`දපොලට ගැලපෙන ආකාරයට නිපදවන අතර තරගකාරීව නිපදවීමෙන් නිෂ්පාදන මිල අඩුවී ගොවියන්ට ද පාරිභෝගිකයන්ට ද සහනයක් වන බව ප‍්‍රායෝගිකව දක්වන්නට සමත් විය.

මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට අනුව 2012 වසරේ දී මෙරට ශ‍්‍රම බලකායෙන් සියයට 32 ක් කෘෂි අංශයට අනුබද්ධ රැකියාවල නිරතය. එය සැලකිය යුතු ප‍්‍රතිශතයකි. නමුත් මෙම පිරිස නිපදවන දෙය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දායකත්වය සියයට 11 දක්වා සීමා වී තිබේ. නිදහස ලැබූ වකවානුවේ සිට කෘෂි අංශයෙහි ප‍්‍රගතිය අපේක්ෂාවෙන් කරන ලද ආයෝජනය සැලකිය යුතු තරම්ය. ගල්ඔය ව්‍යාපාරය මහවැලි බහුකාර්ය යෝජනා ක‍්‍රමය එයින් ප‍්‍රමුඛය. ගොවියන්ට ජලය සපයන වැව් සහ ජලාශ ප‍්‍රතිසංස්කරණයට ආණ්ඩු නොයෙක්විට ක‍්‍රියාකර තිබේ. එම වියදම ගොවියන්ට පවරන්නේ නැත. ලෝකයේ වෙනත් රටවල වාරි ජලයට ගාස්තුවක් අයකරයි. පිරිසිදු ජලය සමුබන්ධයෙන් ලෝක ප‍්‍රජාව අර්බුදයකට යනු ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙයි. ඛනිජ තෙල් වලට වඩා ජලය මිල වැඩි වන දිනයක් එළැඹෙනු ඇති අතර ඉදිරියේ දී ලෝක යුද්ධයක් ඇතිවුවහොත් එයට හේතුව ජලය විය හැකි බව ද ප‍්‍රකාශ වෙයි. එවැනි අනාගතයක් පෙනෙන විට ජලය හා භූමිය උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගෙන කාර්යක්ෂම කෘෂිකර්මයකට අවතීර්ණවීමේ වගකීම් ද රටට තිබේ. මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ වී වගාවට අමතරව ගොඩ ඉඩම් වෙන්කර දී ගොවියන් ජලය අඩුවෙන් පරිහරණය කර අපනයනයට සුදුසු වගාවන් ට පෙළඹවීමේ ඉලක්කයක් ද තිබිණි. පසුගිය දශක හය තුළ වගා සංග‍්‍රාමය වගා ලංකා සහ දිවි නැගුම වශයෙන් ආණ්ඩුවල මැදිහත්වීමෙන් විශේෂ කෘෂි ප‍්‍රවර්ධන වැඩ සටහන් පවත්වා තිබේ. අපනයන කෘෂි භෝග සම්බන්ධයෙන් ද අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණයෙන් නොයෙකුත් ආකාරයට වැඩ සටහන් සම්පාදනය කර ඇත. තේ රබර් පොල් සහ සුළු අපනයන භෝග අලූතින් වගාකිරිමට සහ නැවත වගාවට මුදල් ආධාර සපයයි. ව්‍යාප්ති සේවාව සහ කෘෂි උපදේශක සේවාව ද රජය මගින් පවත්වාගෙන යයි. පසුගිය වසරේ සිය බීජ පණත ක‍්‍රියාත්මක කර ඇති අතර උසස් තත්ත්වයේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය ගොවියන්ට සැපයීමට එයින් සැපයෙන අනුබලය වැදගත්ය. ගොවියන් නිපදවන දේ මිලදී ගැනීමට ද රජය මැදිහත්වෙයි. රජයට අයත් ආයතන කෙලින්ම ගොවි නිෂ්පාදන මිලදී ගන්නා අතර සහතික මිළ ක‍්‍රමයකින් ආරක්ෂණය සපයා දී ඇත. පොහොර සහනාධාරය සුවිශේෂී එකකි. අවුරුදු ගණනක සිට වී ගොවිතැනට පොහොර සහන මිලට සපයන අතර පසුව වෙනත් භෝග වගාවලට ද එය ව්‍යාප්ත කළේය. 2012 වසරේ දී පොහොර සහනාධාරය වෙනුවෙන් පමණක් රජයේ අය වැයෙන් කරන ලද වියදම රුපියල් බිලියන 36.5 ක් වන අතර එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක පමණ ප‍්‍රතිශතයකි. අධ්‍යාපනයට රුපියල් බිලියන 136 ක් සහ සෞඛ්‍ය අංශයට රුපියල් බිලියන 100 ක් වියදම් කරන විට පොහොර වෙනුවෙන් පමණක් ගෙවන සහනාධාරය විශාල එකකි. ගොවියන්ගේ අතට ලැබෙන මෙම පොහොර සහනාධාරයට සහ කෘෂි කර්මයට කරන සියලූ සහන සමස්ථ මහජනතාව දරන වියදමක් වශයෙන් සැලකිය හැකිය.

කෘෂිකර්මය නංවන මෙවැනි පසුබිමක් පවතින අතර රට තුළ ගොවිතැන ගැන ගැටලූ ගණනාවක් ඇත. වගා කරන ගොවියන් අස්වනු නෙලන සමයෙහි ගත කරන්නේ දැඩි පීඩනයකය. අස්වනු අඩු මිලට විකිණෙන අතර ගොවියන්ගේ වී නිසි මිලකට විකුණාගත නොහැකි බවට තොරතුරු විවිධ ප‍්‍රදේශ වලින් වාර්තාවෙයි. මේ දිනවල ද අම්පාර අනුරාධපුරය සහ පොලොන්නරුව වැනි වී වගා කරන ප‍්‍රදේශ වල ගොවියන් තමන්ගේ වී විකුණාගත නොහැකි බව දක්වයි. එලවලූ අර්තාපල් ලොකු ලූනු වැනි මෙරට ගොවි නිපැයුම් සම්බන්ධව ද අස්වනු නෙලන සමයෙහි නොයෙක් විට ගැටලූ මතුවෙයි. ගොවිකම සහ ගොවිතැන කිසියම් අවිනිශ්චිත තැනකය. පවතින තත්ත්වය ගැඹුරින් විමර්ශනය කළ යුතුය. මෙරට කෘෂි අංශය සම්බන්ධව විධිමත් සැලසුමකට යා යුතුව ඇත. සහන සපයා ඉහළම මිලක් ගෙවා නිපදවන අතර නිපදවන මිලට අලෙවි කරන්නට ඉඩ දෙන සහතික මිල ක‍්‍රමයකින් ගොවියා ආරක්ෂා කරන්නට සමාජය කැපවී සිටී. එම කැපවීම ආර්ථික පැත්තෙන් බලන විට ප‍්‍රශ්නයකි. රටට ආහාර නිපදවීම ස`දහා ගොවියා කරන මහන්සිය ඉතාමත් අගය කළ යුතුය. නමුත් එය වටිනා එකක් වන්නේ සමාජයට බරක් නොවන ඵලදායී සහ කාර්යක්ෂම කෘෂිකර්මයක නිරත නම් පමණකි.

පවතින ආර්ථික ක‍්‍රමය තුළ කෘෂිකර්මයෙහි යහපත වෙනුවෙන් ගෙවන සහනාධාරය ආර්ථිකයෙහි සෑහෙන විශාල පංගුවකි. එයට දායක වන්නේ පාරිභෝගික ජනතාවයි. ගොවිතැන අලාභ බව දක්වන නමුත් මුදල් අමාත්‍යංශ වාර්තා අනුව වී කිලෝවක් නිපදවන්නට 2006 වසරේ රුපියල් 16.50 ක් වියදම් ව තිබේ. 2012 වසරේ ද එය වෙනසක් වී නැත. 2006 වසරේ වී කිලෝවක සහතික මිල රු. 13.00-14.00 අතර ගණනක සිට 2012 දී රු. 32.00- 35.00 දක්වා මිල වැඩි වී තිබේ. නිෂ්පාදන මිල වැඩි නොවීමෙන් පෙන්වන්නේ සහනාධාරයෙහි තරමය. වී කිලෝවකට ගෙවන මිල වැඩි කර අස්වැන්න සම්පූර්ණයෙන් රජය මිලදී ගෙන ගොවියා ආරක්ෂා කළ හැකිය. නමුත් එයට අවශ්‍ය ධනය මහජනතාවගෙන් බදු වශයෙන් අය කරගත යුතුය. සහල් කිලෝවකට මෙයට වැඩි මිලක් ගෙවන්නට පාරිභෝගිකයන් එක`ග විය යුතුය. ගොවිතැන් කරන පිරිස පමණක් නොව මෙරට ජීවත්වන සියලූ දෙනාම පාරිභෝගිකයන්ය. ගොවියන් සේ ම පාරිභෝගික ජනතාවට ද සහන සැලසීම ආණ්ඩුවක වගකීමකි. සියලූ පැති සලකා අර්ථවත් තීන්දුවක් ගැනීමට නම් කෘෂි අංශය අලූත් මුහුණුවරකට ගෙන යාම අවශ්‍යය. ගොවියන්ගේ නිෂ්පාදන වියදම අඩු කළ යුතු අතර කරන ආයෝජනයට අනුව නිෂ්පාදනය වැඩි කරන නව මං සෙවීම අවශ්‍යය. තමන්ගේ කුඹුර අස්වද්දන්නට යන වියදම අඩුවන විට සහ එයින් වැඩිපුර වී නිපදවන්නට හැකියාව ඇත්නම් ගොවියාගේ ආදායම වැඩිවෙයි. එය අඩු මිලට සහල් සපයන මගකි. අද ලංකාවේ සහල් නිෂ්පාදනයේ ප‍්‍රශ්නය එයයි.

ජාත්‍යන්තර වෙළ`ද පොලේ තායිලන්තය මියන්මාරය සහ වියට්නාමය වැනි රටවල් පමණක් නොව ඇමරිකාව ද ඉතා අඩු මිලට සහල් නිපදවමින් සිටී. හෙක්ටයාරයකට ලබන අස්වැන්න සහ එම ඉඩම අස්වද්දන්නට යන වියදම සලකා බලනවිට එම රටවල ගොවියන් ලබන ආදායම ඉහළය. මෙරට සහල් නිෂ්පාදනය වැඩි නමුත් අපනයනය කරන්නට වෙළ`ද පොලක් නැත. සහල් වල තත්ත්වය වගා කරන වී වල ස්වභාවය සහ මිල අනුව ලෝක වෙල`ද පොලේ ලංකාවේ සහල් විකුණාගත නොහැකිය. අඩු මිලට උසස් තත්ත්වයේ සහල් නිපදවිය හැකි නම් ජාත්‍යන්තරයට සහල් අපනයනය කරන අවස්ථාව රටට තිබේ. ලැබෙන තොරතුරු වලට අනුව මේ වන විට මෙරට ආණ්ඩුවේ ගබඩාවල පසුගිය කන්න තුනක වී තොග රුස්කර තබාගෙන සිටින අතර ඒවා සහල් කරන වැඩ පිළිවෙලක් නැත. ලෝක වෙළ`ද පොලේ මිල හා තත්ත්වයට ගැලපෙන පරිදි තරගකාරීව ක‍්‍රියාකරන්නට අපට හැකියාව ඇත. තේ කර්මාන්තයේදී සහ ඇ`ගලූම් කර්මාන්තයෙන් දක්ෂ ලෙස ලෝක වෙළ`ද පොල ජයගන්නට ලාංකිය කර්මාන්ත කරුවන් සමත්ව තිබේ. මෙම ආකාරයටම සහල් නිෂ්පාදනයේ දී ද සැලසුම් සකස් කිරීම අවශ්‍යය. ලෝක වෙළ`ද පොලට සැපයීම ඉලක්ක කරගෙන නිෂ්පාදනය වැඩි කිරිම අවශ්‍යය. තත්ත්වයෙන් උසස් සහ අඩු මිලට නිපදවන්නට හැකි ආකාරයට නිසි යටිතල පහසුකම් සකස් කිරීම ඉතාමත් වැදගත්ය. පවතින සහනාධාර මත බදිරි කාලයේ දී වී නිෂ්පාදනය තවත් වැඩිවනු ඇති අතර ඒවා දේශීය පරිභෝජන අවශ්‍යතා ඉක්මවා යන විට ගොවි ජනාව නිපදවන සහල් වලට කළ හැකිදෙයක් නැති තත්ත්වයට පත්වීමට ඉඩ තිබේ. එය ඉතා කණගාටුදායක අවස්ථාවක් විය හැකිය. වී වගාව ඇතුළු කෘෂිකර්මයට ආණ්ඩුවේ සහනාධාර ක‍්‍රම අවසානයේ දී ජනතාවට බරකි. වී ගොවිතැනට රජය කරන වියදම එකතු කරන විට මිල අධිකම සහල් නිපදවා පාරිභෝගික ජනතාවට සැපයීම අරමුණ විය යුතු නැත.

සහනාධාර ඉවත් කළ යුතු යැයි මෙයින් අ`ගවන්නේ නැත. ආපසු හැරී බලන විට ශ‍්‍රී ලංකාව ඇමරිකාවේ ගොවියන්ගේ තිරි`ගු ණයට ගෙන අඩු මිලට රට තුළ පිටි විකුණා ඇමරිකානු ගොවියන්ට සහන දෙන්නට ක‍්‍රියා කළ රටකි. පී. එල්. 480 නමැති එම ගිවිසුම අනුව ලංකාව දශක ගණනක් ඇමරිකානු ගොවීයන් නඩත්තු කළේය. එවැනි පැති අමතක කර ලාංකේය ගොවියන්ගේ සහන අත්හැර ඔවුන් එකවරම ජාත්‍යන්තර වෙළ`ද පොලට නිරාවරණය කිරීම යුක්ති සහගත නැත. නමුත් ගොවිතැන අපනයන ආදායම උපයන එකක් කිරීම අවශ්‍යය. කෘෂිකර්මයෙන් උපයන ආදායම රටට නැගී සිටින්නට උපකාරී වන වැදගත් අංශයක් බවට පත් කළ යුතුය. විශේෂයෙන් ත‍්‍රස්තවාදී කලබල පැවැති සමයෙහි අත්හැර දමා තිබූ උතුර නැගෙනහිර පලාත්වල ගොවි බිම් නැවත අස්වද්දා තිබේ. රට පුරා කෘෂි අංශය එකවර පිබිදෙන්නේ අවුරුදු තිහකට පමණ පසුවය. ලැබෙන අස්වැන්න ආණ්ඩුව සහ පුද්ගලික අංශය මිලදී ගන්නා නමුත් එකවරම වෙළ`ද පොලට එකතුවන ගොවියන්ගේ වී තොග සම්පුර්ණයෙන් මිලදී ගෙන ගබඩා කිරීමේ හැකියාවක් රටට නැති බව පෙනේ. ගොවිතැනට අවශ්‍ය ශ‍්‍රමය හි`ග බව අනාවරණය වෙයි. ගොවිතැනින් ලැබෙන ආදායම ප‍්‍රමාණවත් නැති සහ සමාජ ගරුත්වය සම්බන්ධ ගැටලූ හෙයින් ගොවි දරුවන් ගොවිතැනින් බවත්ව අලූත් රුකියා වලට යොමුවන බව පෙනේ. අස්වනු නෙලන සමයෙහි දකුණු ඉන්දියාවෙන් පවා පැමිණෙන ශ‍්‍රමිකයන් ගොවි කටයුතුවල නිරතවෙති. ගොවිතැනට ශ‍්‍රමයට ගෙවූ පසු ගොවියා උපයන ආදායම කන්නයක් ජීවත්වන්නට ප‍්‍රමාණවත් නැත. මඩ සෝදාගත් කළ රජ කමට පවා සුදුසු බව ප‍්‍රකාශ වූ ගොවිතැනෙහි නිරත ගොවියන් අද වියදමට සරිලන ආදායමක් උපයන පිරිසක් නොවේ. නමුත් ඉතාම අවධාරණයෙන් ස`දහන් කළ යුතු දෙයක් ඇත. මෙරට කෘෂිකර්මය ලාභදායී එකක් බවට පත් කරන්නට නම් විශාල ආකල්ප විප්ලවයක් කළ යුතුය.

කෘෂි අංශය කාර්යක්ෂම සහ ඵලදායී එකක් කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගැනීම අවශ්‍යය. අද පවතින බිම සකස් කරන පැල සිටුවන සහ අස්වනු නෙලන යන්ත‍්‍ර ගැලපෙන්නේ මහා පරිමාන ගොවි බිම්වලටය. නමුත් කුඩා ඉඩම් වල ගොවියන් ශ‍්‍රම හි`ගය මත මෙම යන්ත‍්‍ර මත යැපෙන අතර එයින් වියදම වැඩිවෙයි. කුඩා ඉඩම් එකතුකර මහා පරිමානයෙන් සාමූහිකව වගා කරන ගොවිපොල ක‍්‍රම ඇති කිරීමෙන් වියදම අඩු කර ගත හැකිය. ශ‍්‍රම කළමණාකරනයක් පවත්වාගෙන යා හැකි අතර අස්වැන්න තොග වශයෙන් එකවර උසස් තත්ත්වයෙන් නිපදවන්නට ද ඉඩ ලැබේ. විශේෂයෙන් සහල් ආශ‍්‍රිතව අතුරු නිෂ්පාදන බහුල කළ හැකිය. තවමත් සහල් පිටි ආශි‍්‍රත නිපැයුම් වලට රට තුළ විශාල වෙළ`ද පොලක් නැත. එවැනි අංශ දිරි ගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. නමුත් ප්‍රවාහනයේ දී විශාල වහයෙන් අපතේ යන අතර ශීතාගාර ඇති කර පසු අස්වනු හානි අඩු කර ගැනිම ගැන අව‍ධානය යොමු කිරීම අවශ්‍යය.

මහා පරිමානයෙන් සහල් නිපදවන රටවල් සහල් පිටි කර නොයෙකුත් ආහාර වර්ග සකස් කරයි. නූල්ඩ්ස් සහ රස කැවිලි නිපදවිම කරන නමුත් එය නඩා ව්‍යාප්ත කර වානිජ මට්ටම පුලුල් කරන විට වී ගොවියන්ගේ නිෂ්පාදන වල වෙළද‍ පොල තහවුරැ වෙයි. මෙයට අමතරව විවිධාංගීකරණයක් සහිතව ඉඩම සම්පූර්ණයෙන් ප‍්‍රයෝජන ගැනීමට ගොවියන් පෙළඹවිය යුතුය. පොහොර සහ කෘෂි රසායන අවබෝධයක් ඇතිව භාවිතා කිරීමට සහ උසස් තත්්ත්වයේ බීජ තමන්ම නිපදවා ගන්නා මට්ටමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සැපයීම අවශ්‍යය. පවතින ගොවිතැන් ක‍්‍රමය බලන විට පොහොර රසායනික සහ බීජ වෙනුවෙන් කරන වියදම සැලකියයුතු එකකි. රටට අවශ්‍ය නොයෙකුත් බීජ සහ පැල වර්ග ආනයනය කරන බව පෙනේ.

ඉදිරි පරම්පරාව කෘෂිකර්මයට සම්බන්ධ කරගැනීම අවසාන ඉලක්කය විය යුතුය. ගොවියන්ගේ දරුවන් ගොවිතැනට සීමා කළ යුතු නැති අතර සමාජයේ අන් අයට කෘෂිකර්මයට ප‍්‍රවේශ විය හැකි ආකාරයට ලාභ දායී එකක් කිරීම ඉතාම වැදගත්ය.

යන්ත්‍රසූත්‍ර සහ තාක්ෂනය භාවිතයෙන් ගොවිපොලේ නිපදවන අතර එය කෙලින්ම පාරිභෝගිකයා සමග සම්බන්ධ කරන ආකාරයට තරැණ ව්‍යවසායකයන් ගොඩනැගීම අවශ්‍යය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ගොවිපොලේ වැඩ කරන පිරිස තෝරාගෙන ඔවුන්ට කෘෂිකර්මය සම්බන්ධ වැඩි දුර අධ්‍යාපනය සපයන්නට පියවර ගැනීම අවශ්‍යය. අවසානයේ දී සමාජයෙන් යැපෙන සහනාධාර මත ගොවිතැන පවත්වාගෙන යන යුගය අවසන් කිරීමට සමාජය සූදානම් විය යුතුය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.