01/11/2022 - ලංකාදීප
එක තැන කොටුවූ ඛනිජ තෙල් ව්‍යාපාරය

‘අලූත්, අලූත් දෑ නොතනන ජාතිය ලොව නොන ගී’කුමාරතුංග මුනිදාස ශූරීහු ප‍්‍රකාශ කළ ප‍්‍රකට අදහසකි. අලූත් දෑ කිරීම, ‘අලූත් ලොවක් ගැන සිතීම ද`ඩුවම් දෙන වරදකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ පදවලට විශාරද නන්දා මාලනිය ගායනා කරන්නීය. මෙම අන්ත දෙක අතර පරතරයක් ඇත. අලූතින් හිතන්ට, අපට අවශ්‍ය නොවීම අපගේ සංස්කෘතික ප‍්‍රශ්ණයකි. පැරණි වහල්භාවයට අපගේ පුදුමාකාර ලැදියාවක් තිබේ. ගතානුගතිකත්වය අත්හැර දමන්නට කැමැති නැත. නිර්මාණශීලී අදහසක් පළකළහොත් එයට එරෙහිව විශාල මතවාදයක් නැගේ. චක‍්‍රලේඛනයේ සදහන් නැත්නම් රාමුවෙන් පිට තීරණයක් නොගැනේ. නිදහසට පසු ගත වූ දශක හත ලාංකිකයන් නාස්ති කරන්නේ දැනගෙන කරන මෙවැනි අනුවණකම්වලින්ය. තරුණ පෙළ මෙකී ක‍්‍රමය එනම්, සිස්ටම් වෙනස්කරන අධිශ්ඨානයක පසුවේ. ආවේගයෙන් ක‍්‍රියාත්මකවන ඔවුන්ට පැහැදිලි දර්ශනයක් අවශ්‍යය. රට ගොඩනැගීම සදහා අවශ්‍ය කෙරෙන සමාජ ආර්ථික වෙනස්කම් කාලානුරූපව ගත යුතු බව අවබෝධකරගත යුතුව ඇත.

පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි ජාත්‍යන්තරයේ සිදුවන පරිවර්තන ගැන සමාජයට කිසියම් අවබෝධයක් ඇත. තාක්ෂණ හා සන්නිවේදන අංශ කෙරෙහි අලූත් පරම්පරාව නැඹුරුය. ආර්ථික ප‍්‍රතිලාභ උදෙසා ක‍්‍රියාත්මකවීමට උත්සාහ දරමින් පසුවේ. දේශපාලනඥයන් හා නිලධාරීන් අතරින් බහුතරයක් පසුගාමීතැනක පසුවේ. ආර්ථික ජවය අරමුණු කරගෙන ජාත්‍යන්තර ප‍්‍රජාව බලශක්ති ක්ෂේත‍්‍රයෙහි පරිවර්තනයක් සදහා ක‍්‍රියාකරමින් සිටින අතර රටට මගහැරී ගිය අවස්ථා යළි දිනාගැනීමට එය ප‍්‍රබල ශක්තියක් කරගත හැක.

ඛනිජ තෙල් ගෙන්වා බෙදාහැරීමේ අර්බුදය

ශ‍්‍රී ලංකාව බලශක්ති අවශ්‍යතා සදහා ඛනිජ තෙල් ආනයනය කරයි. ගෙන්වන ඉන්ධනවලින් සියයට හැටක ප‍්‍රතිශතයක් ප‍්‍රවාහනයටය. මෙරට ආනයන වියදම්වලින් සියයට විසි පහක් පමණ ඉන්ධන ගෙන්වීම සදහා බව දැක්වේ. ශ‍්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය සදහා ද ආනයනය කරන ඛනිජ තෙල් වලින් කොටසක් යෙදවේ. ඇමරිකානු ඩොලර් වලින් ගෙවා රුපියල් වලින් රට තුළ වෙළදාම් කරන කර්මාන්තයකි. ඩොලර් උත්පාදනය නොකරන තෙල් සංස්ථාව රැපියල් වෙළදාමේ දී ද, අධික පාඩුලබන රාජ්‍ය ව්‍යවසායයකි. ජාත්‍යන්තරයේ වරින්වර සිදුවන සිද්ධි පදනම් කරගෙන තෙල් මිල අඩු වැඩිවන අතර එම උච්ඡාවචනයන්ට ගැලපෙන පරිදි තීරණ ගැනීමට සමත්විය යුතුය. රැසියාව හා යුක්රේනය අතර ගැටුම හේතුවෙන් බොරතෙල් මිල වැඩි වී තිබේ. කොවිඞ් වසංගත තත්ත්වයට පසු ආර්ථිකය ක‍්‍රියාශීලීවීමේ දී එය බාධාවක් වී ඇත. ශ‍්‍රී ලංකාවට එය උග‍්‍ර ගැටළුවකි. විදේශ වත්කම් හිග සහ විදේශ ණය ගෙවාගැනීමට පවා නොහැකි කාලවකවානුවකි. ඛනිජ තෙල් ආනයනයට බාධා සිදුවීමෙන් පසු උද්ගත වූ තත්ත්වය අමතක නොකළ යුතුය. තවමත් එහි සංකීර්ණභාවය පහව නැත.

යටත් විජිතයක් පැවැති කාලයේ අධිරාජ්‍යවාදීහු තීරණ ගැනීම ආර්ථිකයේ මර්මස්ථාන සේ සැලකූහ. වැවිලි කර්මාන්තය, ඛණිජ තෙල් හෝ ගෑස් සැපැයීම වෙනම සමාගම්වලට පවරා තිබුණ වගකීමකි. නිදහසට පසු බලයට පත් ආණ්ඩු ඒවා රජයට පවරාගෙන ජාතිය සතු සම්පත් සේ හුවා දැක්වූහ. සෑම ආණ්ඩුවක්ම ඔවුන්ට අනන්‍ය ක‍්‍රමවලින් ආයතන පාලනය කරන්නට උත්සාහ කළ අතර ආයතනවලට දරාගත නොහැකි තරමට සේවක සංඛ්‍යාවක් බදවාගත්හ. රජයේ අවිධිමත් තීරණ, සේවක වැටුප්, අකාර්යක්ෂමතාව හා දූෂණය රට තුළ විකිණෙන ඉන්ධන මිලට ඇතුලත්ය. ඛණිජ තෙල් වෙළදාමේ තුනෙන් එකක කොටසක් හා ලිහිසි තෙල් අංශයේ යම් ප‍්‍රතිශතයක් රජයේ පාලනයෙන් බැහැරය. ගුවන් යානා ඉන්ධන සැපැයීම රජයේ ඒකාධිකාරයක් වන අතර වරායට එන නැව්වලට තෙල් සැපැයීම තරගකාරීව සිදුවේ. තෙල් හිගවන විට ගුවන් ගමන් නතර වූ අතර නාවික කටයුතු බාධාවකින් තොරව සිදුවිය. රජයට කළ නොහැකි, කළ යුතු නැති අංශ පසෙක තබා ආර්ථිකය හසුරුවන තීරණ ගැනීමට කල්පනා කිරීම රටට ගැලපේ.

අත්හැර දැමිය යුතු මොහොත ගැන තීන්දුවක්

දීර්ඝ කාලයක් තිස්සේ මන්නාරම ද්‍රෝණියේ මුහුදු පත්ලේ ඇති ඛනිජ තෙල් හා ගෑස් සම්පත් ගැන සාකච්ඡා වී තිබේ. තෙල් කැනීම් සදහා විශාල පරිශ‍්‍රමයක් දරා ඇත. සමාගම් කිහිපයක් එහි නිරත වූ අතර ආර්ථික ඵලදායීතාවයක් රහිතබව මුලික පරීක්ෂණවලදී පෙනීයාම හේතුවෙන් අත්හැර දමා ඇත. තෙල් නිධිවලින් බොරතෙල් ලබාගෙන සපුගස්කන්දේ පිරිපහදුවෙන් පෙරා රටට විශාල අවස්ථාවක් ලබාගත හැකිබවට සිහිනයක් තිබේ. මෙකී නිද්‍රාවෙන් අවදිවිය යුතුය. 1969 ඉදිවූ පැරණි තෙල් පිරිපහදුව තාක්ෂණය අතින් වර්තමානයට අදට කිසිම ගැලපීමක් නැත. දිනකට බැරල් තිස් අට දහසක් පිරිපහදු කිරීමට තනන ලද එහි අද දවසකට බැරල් දස දහසක් පවිත‍්‍ර කළ නොහැකි තරමට යන්ත‍්‍ර අබලන්ය. එය නවීකරණය පවා ප‍්‍රයෝජනයක් රහිත බව ඉරාන විශේෂඥ පිරිසක් කළ ආයෝජන ශඛ්‍යතා අධ්‍යයනයක දී තහවුරු කර තිබේ.

ඛනිජ තෙල් ගෙන්වීම, මන්නාරමේ තෙල් සෙවීම හා සපුගස්කන්ද පිරිපහදුව යන අංශ තුන කිසිසේත් අද පවතින නවීන ආර්ථිකයට ගැලපෙන්නේ නැත. බලහත්කාරයෙන් ආරක්ෂා කරන, ජාතික සම්පත් සේ සලකා තීන්දුගැනෙන ව්‍යුහය තුළ විශාල අවාසි තිබේ. එය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව බරපතල වන්දියක් ගෙවමින් සිටී. ධනය උත්පාදනය නොකරන, මහජනතාවගේ බදු මුදල් නාස්ති කරන, නවෝත්පාදනයක් රහිත අංශ ජාතික සම්පත් සේ තැබිය යුතුද? අදට ගැලපෙන පරිදි කර්මාන්ත, බලශක්ති, මුල්‍ය හා වෙළද අංශවලට අලූත් රාමුවක් අවශ්‍යය. එකී අවශ්‍යතාව කෙරෙහි සංවේදී නොවන පාලකයෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කෑලි අලවමින් එය විකෘති කරමින් ජනතාව සතුටු කිරීමේ වෑයමක නිරතය. මැතිවරණයකින් බලය හිමි කාලය තුළ ආර්ථිකය නිවැරදි කරන තීරණ ගතහොත් සමාජයට එහි ප‍්‍රතිලාභ ලැබේ. අලූත් රැකියා, අලූත් ආදායම් මාර්ග බිහිවේ. මෙම ඒකාකාරී නිරස ව්‍යුහයෙන් ගැලවීම අරමුණු කරගෙන වෙනස්ම කි‍්‍රයාමාර්ග කෙරෙහි නැඹුරුවක් අවශ්‍යය. එහිලා තීරණගත හැකි මහජන නියෝජිතයන් තෝරාගැනීම ජනතාවගේ වගකීමකි. පොරොන්දු දෙන, ප‍්‍රායෝගික නැති තීරණවලින් අනාගත පරම්පරාව ද ණයගැති කරන අදුරදර්ශී දේශපාලනයෙන් බැහැරවීම අවශ්‍යය.

නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ නිවැරදි තීරණ නොගැනීම හේතුවෙන් සිදුවූ හානිය තක්සේරු කළ නොහැක. කාලානුරූපව වෙනස් නොවන ආර්ථික ප‍්‍රතිපත්ති සමාජයට බරකි. පටු අදහස් ඇති දේශපාලනඥයන්, වෘත්තීය සමිති, අන්තවාදී පිරිස් පමණක් නොව ආගමික නායකයන් පවා තීරණ ගැනීම අවහිර කර ඇත. අන්තිම මොහොත කරා රට පැමිණ තිබේ. ආදායම අඩුය. වියදම පාලනය කරගත නොහැක. අලූත් ආයෝජන සදහා ධනය නැත. ණය ලබාගත හැකි මාර්ග ද අවහිරවෙමින් පවතී. ඛනිජ තෙල් අංශයේ ප‍්‍රතිසංස්කරණ නොකළහොත් දුප්පත් ජනතාව තවත් අමාරුවකට පත්වනු නොඅනුමානය.

නිිර්යාථ ආර්ථිකයක් සදහා ඛනිජතෙල් වෙළදාම

පවතින ආර්ථිකයට වඩා විශාල ව්‍යුහයක් සකස් කළහොත් ප‍්‍රතිලාභ ලැබේ. ඛනිජ තෙල් ගෙන්වා ජීවත්වීම වෙනුවට තෙල් නිෂ්පාදන අපනයනය කරන ක‍්‍රම ගැන අවධානය යොමුකිරීම සුදුසුය. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළද කේන්ද්‍රස්ථානයකි. කොළඹ, හම්බන්තොට හා ත‍්‍රිකුණාමලය ජාත්‍යන්තර නාවික මාර්ගවලට ආසන්නයේ පිහිටා තිබේ. බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවලට බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්විය හැකි අවස්ථාවක් රටට ඇත.

වරාය ආශ‍්‍රිතව තෙල් ගබඩාකිරීම, පිරිපහදුව හා බෙදාහැරීම රටට කළ හැකි කර්මාන්තයකි. ත‍්‍රිකුණාමලය මෙයට ඉතාම සුදුසුය. පොසිල ඉන්ධන භාවිතා කිරීම අඩු විය හැකි බව ජාත්‍යන්තරය නිගමනය වී තිබේ. සූර්ය තාපය, සුළං බලාගාර, ද්‍රව හයිඩ‍්‍රජන් වැනි හරිත උත්පාදනයට නැඹුරුවෙමින් සිටී. එහෙත් පොසිල ඉන්ධන සම්පූර්ණයෙන්ම අත්නොහැරෙනු ඇත. දැනට සලකා බලන ආකාරයට ඉන්දියාවේ තෙල් පිරිපහදු අවශ්‍යතාවයෙහි හි`ගය සියයට තිහක ප‍්‍රතිශතයක් වන අතර වසර 2040 වන විට එය දෙගුණ වෙතැයි දැක්වේ. සවුදි අරාබිය, එක්සත් ආරබි එමිරේට්ස් වැනි රටවල් සමග අලූත් සාකච්ඡා අරඹන ඉන්දියාව එම රටවල්වලින් තෙල් මිල දී ගැනීමටත් අනාගත අවශ්‍යතා සලකා අලූත් පිරිහදු මධ්‍යස්ථාන ඉදිකිරීමටත් සැලසුම් කරයි. රටවල් දෙක අතර අනොන්‍ය ගැලපීමක් සාකච්ඡා කරගතහොත් ඉන්දියාවට තෙල් සැපයීම කළ හැක. ලෝකයේ තෙල් වැඩිපුරම භාවිතා කරන රටවල් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයෙහි ඉනදියාව සිටී. ජාත්‍යන්තර වර්ගීකරණ අනුව ශ‍්‍රී ලංකාව හැත්තෑ එක් වැනි තැන පසුවෙන බව සදහන් කළ යුතුය. 2021 මුල්‍ය වසරේ ඉන්දියාවේ බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන සියයකි. අවශ්‍යතාවයෙන් සියයට 14.9 ක් පමණ රට තුළ නිපදවන බව දැක්වේ. අවශ්‍යතාව සලකා තීරණ ගන්නට ඉන්දියාව සූදානම්ය. විදුලිය බල අංශයේ වෙළද පොල පුලූල් කරමින් නේපාලය, බංගලිදේශය, භූතානය හා මැලේසියාව සමග ගිවිසුම් අත්සන් කරන්නට ඉන්දියාව සමත්ව ඇත. තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පියවරක් ඉදිරියට තැබීම වාසිදායකය.

ඉන්දියාව මිල දී ගන්නා බොරතෙල් ශ‍්‍රී ලංකාවේ දී පිරිපහදු කිරීම හා නලමාර්ගයෙන් ඉන්දියාවට යැවීම කළ හැකි දෙයකි. පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළ අතර ඔපෙක් රටවල තෙල් බැරල් මිලියන හයක සංචිතයක් මැංගලෝර් හි ගබඩා කරන්නට අවසර දී තිබේ. කලාපීය රටවලට ස්ථාවර මිලකට ඛනිජ තෙල් සැපයීම සදහා අනුගමනය කරන පූර්ව උපාය මාර්ගයක කොටසක් සේ සැලකිය හැකි එහි අවස්ථා ශ‍්‍රී ලංකාවට ද ලබා ගත හැක. මෙම බොරතෙල් තොග නැවත පරිහරණය කරනවිට පිරිපහදු කළ යුතු අතර පිරිපහදුව හා ගබඩා පහසුව ශ‍්‍රී ලංකාවේ දී සැපයීමෙන් අලූත් කර්මාන්තයක් සදහා අවකාශ සැලසේ. එය මෙතෙක් ආනයනයට පමණක් සීමා වී තිබුණ ඛනිජ තෙල් ආශ‍්‍රීත අංශය අපනයනයට ද සූදානම් කිරීමක් වනු ඇත. අපනයන ආදායම රටට විනිමය උත්පාදනය කරයි.

තෙල් කැනීම හා ගැස් අපනයනය තවත් ඉලක්කයකි

මන්නාරම ද්‍රෝණියෙන් තෙල් හා ගෑස් කැනීමේ අවස්ථාව සදහා පියවර ගණනාවක් ඇත. බෙංගාල බොක්ක කලාපයේ ඛනිජ තෙල් කේන්ද්‍රයක් වශයෙන් ත‍්‍රිකුණාමලය දියුණුකිරීම සදහා ඉන්දියානු ආර්ථිකය ඈදා ගතහොත් තෙල් හා ගෑස් කැනීම දෙවැනි පියවරකි. පිරිපහදුව, නලමාර්ග, වරාය පහසුකම් දියුණු කළහොත් මන්නාරමෙන් තෙල් හා ගෑස් ගබාගැනීමට ආයෝජකයන්ට උනන්දුවක් ඇතිවේ. එවැනි විශාල ආයෝජන සදහා රටවල් අතර විශ්වාසය වැදගත්ය. ප‍්‍රතිපත්ති වශයෙන් එකගවෙන හා ආරක්ෂාව සම්බන්ධව එකට ක‍්‍රියා කළ හැකි අවස්ථාවල රටවල් අතර සබදතා තහවුුරුවේ. ත්‍රෛපාර්ශවීය සම්බන්ධතා මෑත කාලය තුළ අලූතින් මතු වූ රාමුවකි. තෝරාගත් අංශයක් සදහා රටවල් තුනක් එකතු වේ. ඉන්දියාව, ජපානය, එක්සත් අරාබි එමීර්, එමිරේට්ස් සහ ඊශ‍්‍රායලය අතර දැනට මෙවැනි ත්‍රෛපාර්ශවීය සහයෝගීතා ගොඩනැගී තිබේ. අනාගතයේ දී තවත් රටවල් එකතුවනු ඇත. ඉන්දියාවේ විශාල ජනගහනයක් සහිත වෙළද පොල හා තරගකාරීව වර්ධනය වන ආර්ථිකයේ අවස්ථා අත්පත් කරගැනීමට රටවල් වෑයම් කරමින් සිටී. ආසන්නයේ පිහිටි අපට එහි වැදගත්කම හා ලබාගත හැකි අවස්ථා ගැන අධ්‍යයනයක් නොකිරීම ගැටළුවකි.

ශ‍්‍රී ලංකාවට දක්ෂ මානව සම්පතක් ඇත. ඉතාම හොද සෞඛ්‍ය පහසුකම් තිබේ. නිදහස් අධ්‍යාපනයේ හා නිදහස් සෞඛ්‍ය ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිලාභ වශයෙන් පෙන්වා දිය හැක. දශක ගණනක් කරන ලද ආයෝජනයෙන් ලබාගත් නිරෝගී දක්ෂ ශ‍්‍රම බලකාය රට හැරගොස් වෙනත් රටවලින් අවස්ථා සොයමින් සිටී. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කර එයින් උඵයා එවන ධනය ශ‍්‍රී ලංකාවේ වැඩිම විනිමය උත්පාදනය බවට පත්ව ඇත. මෙම රාමුව වෙනස් කරන අතර රුකියා ලැබෙන, රටට ආදායම උත්පාදනය කළ හැකි සක‍්‍රීය අංශ දේශපාන මතිමතාන්තර හෙයින් අතපසු කොට තිබේ. රටවල් සමග සාකච්ඡා, ආයෝජන හෝ ගිවිසුම් රට විකුණන, රටේ සම්පත් විජාතික කරන බවට මතයක් නිර්මාණය කර ඇත. ජාතික සම්පත් ආරක්ෂා කරන බව පෙන්වන නමුත් කිසිම ප‍්‍රයෝජනයක් නොගෙන අත්හැරදමා තිබීම අභාග්‍යයකි. අවස්ථා උදාකරගත හැකිව තිබිය දී ශ‍්‍රමබලකාය වෙනත් රටවලට ඇදී යන අතර එයින් සමාජ, සංස්කෘතික ප‍්‍රශ්න ඇති කර තිබේ. මේවා එකිනෙක ගෙන සාකච්ඡා කරන්නට බුද්ධිමත් සමාජය පවා නිර්භීත නැත.

වැවිලි කර්මාන්තය, ඇගළුම් ඇතුළු අංශවලට ව්‍යාප්තවිය හැකි සීමාවක් තිබේ. එකී අංශ අතීතයට අයත්ය. බලශක්ති අංශයේ විශාල වෙනස්කම් ලෝකයේ සිදුවෙමින් පවතී. අනාගතයේ ඇතිවන අවස්ථා සලකා ආයෝජන විසිරෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ පිහිටීම, ශ‍්‍රමය ඉදිරියේ අනෙක් රටවලට කලින් තීරණ ගැනීමේ හැකියාව ඇතොත් අලූත් කර්මාන්ත, ව්‍යවසාය බිහිකළ හැක. අලූත් සංවර්ධනයක් ඇතිවේ. උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පවතින කාලාන්තරයක් තිස්සේ නොවිසදුණ සංකීර්ණ ගැටළුවලට මෙම මුහුණුවර තුළ උත්තර ලැබේ. දෙමළ දේශපාලනඥයන් බලකරන ඇතැම් ඉටුකළ නොහැකි කොන්දේසි ඉදිරියේ ජනතාව දිනාගැනීමට ද අත්හැරදමා ඇති ආර්ථික කටයුතු බලගැන්වීම ඉතාම වැදගත් පියවරක් වනු ඇත. උතුරේ සහ දකුණේ ව්‍යවසායකයන්ට ආයෝජන අවස්ථා ලැබේ. පලාත් සභාවලට ආදායම් මාර්ගයක් වනු ඇති අතර එය අවධානය නොතිබුණ ප‍්‍රදේශයකට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් වනු ඇත.