01/06/2022 - ලංකාදීප
ආර්ථිකය ප්‍රපාතයකට දැම්මේ කවුද?
 
milinda

වසර විසි දෙකකට පෙර මන්ත‍්‍රීවරයෙකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුර විශාල වෙනස්කම් නැත. නැගෙනහිර කොළඹ පිහිටි මගේ නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ දී, අත් විදින ලද සිද්ධි එම දේශනයේ දී දක්වන්නට උත්සාහ කළෙමි. වසර තිහකට කලින් සිට තිබුණ මුඩුක්කු හා පැල්පත් නිවාස එලෙසම තිබෙන අයුරුත්, නිරර්ථක යුද්ධයක පැටැලී සිටින අප මෙම ක‍්‍රමය වෙනස් නොකළහොත් උද්ගතවිය හැකි තත්ත්වයත් එදින සදහන් කළේ අප සියළු දෙනාටම බරපතල වගකීමක් ඇති බව දක්වමින්ය. කැළි කසල පිරිමාවත්, වීදුරු කුටිවල අනර්ඝ සේ අසුරා ඇති ආහාර මිල දී ගන්නට වත්කමක් නැති පිරිස්, පාසල කරා යන එහෙත් එම අධ්‍යාපනය අවසානයේ දී ඇති කරන ප‍්‍රතිඵලය ගැන නොදන්නා දරුවන් ගැන සදහන් කළෙමි.

ක‍්‍රමය වෙනස් කරන ප‍්‍රයත්න ගණනාවකින් පසු හොද අනාගතයක් ඇති කළ හැකි බවට විශ්වාසයක් ආරම්භයේ දී තිබුණි. ආර්ථික දේහය වෙලා ගෙන ඇති පිලිකාව සූක්ෂම සැත්කමකින් ඉවත් නොකළහොත් ඇති වන අනතුර ගැන සදහන් කළේ විශාල කැක්කුමකින් යුතුවය. එය සාක්ෂාත් කරගැනීම බාරධුර කටයුත්තක් බව පාර්ලිමේන්තුවේ ගත කරන ලද කාලය තුළ පෙනී ගියේය. නිසි එකගතාවයක් නැති ඝෝෂාකාරී සභාවකින් පරිවර්තන ක‍්‍රියාවලියක් උදෙසා, ධෛර්යයක් ඇති කරන වචන ඇසුනේ නැත. ඊළග ඡන්දයෙන් ජයග‍්‍රහණය කරන උපාය ගැන පමණක් වෙහෙසෙමින් සිටි අතර යෝජනා කරන ලද ආර්ථික ප‍්‍රතිසංස්කරණ එක්තරා ආකාරයක හාස්‍යයට හේතුවිය.

පීඩාකාරී චක‍්‍රයක ආපසු විදවන්නට සිදුවීම

මෑත අතීතයේ සිදුවීම් නිරීක්ෂණය කිරීම අවශ්‍යය. දශක තුනක පමණ කාලයක් සමාජය හා ආර්ථික ක‍්‍රමය විනාශ කරන ලද යුද්ධයකින් හෙම්බත් වී සිටි රට අලූත් හුස්මක් ඉල්ලා සිටියේය. එහි දී ආර්ථිකය ඉතාම වැදගත් බව අවධාරණය කෙරිණ. තාවකාලික විසදුම් පමණක් සපයන තීරණ නිශ්ප‍්‍රයෝජන බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. ගෝලීය තරගකාරීත්වයට ඇතුළුවිය යුතුව තිබුණ අතර අපනයනය ඉලක්ක කරගෙන උසස් තත්ත්වයේ භාණ්ඩ අඩු පිරිවැයකින් නිපදවිය යුතුව තිබුණි. යල් පැනගිය බලශක්ති අංශයෙහි නවීකරණයක් ද, තාක්ෂණයෙන් බලගැන්වීමද ඉතාම වැදගත් විය. මැදි ආදායම් රටක අවශ්‍යතා වෙනස් අතර ආධාර බෙදන පැරණි ව්‍යුහ තව දුරටත්වලංගු වූයේ නැත. පටු ආස්ථානයක සිට ක‍්‍රියාකරන ලද දේශපාලනඥයන් හා ඇතැම් අන්තවාදී අදහස් ඇති පක්ෂ මෙකී වෙනස්කම්වලට බියපත් වූහ. නොයෙක් අදහස් වපුරුවමින් ඔවුන්ගේ ශෛලියෙකින් කටයුතු කළහ. වෙනස්කම්වලින් ඇතිවන තත්ත්වයන් ස්වකීය දේශපාලන ගමනට අවහිරයක් වනු ඇති බව උපකල්පනය කළහ. එහි ප‍්‍රතිඵලය අද අප හමුවේ තිබේ.

ක‍්‍රමය වෙනස් කරන ප‍්‍රතිසංස්කරණ යෝජනා කිසිසේත් මිහිරි නැත. ව්‍යාධියක් ඇති විට ප‍්‍රතිකාර ගන්නට සිදුවේ. ආර්ථිකය දුබල වූ පසු ප‍්‍රතිකර්ම අවශ්‍යය. තිත්ත බෙහෙත් නියම කෙරේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුවියයුතු වෙනස්කම් සම්බන්ධ අදහස් විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත. ඒවා තවමත් www.milinda.org වෙබ් අඩවියෙන් හෝ සමාජ මාධ්‍ය පිටුවෙන් සිංහලෙන් හෝ ඉංග‍්‍රීසියෙන් කියැවිය හැකිය. සහන වලට ජනතාව කැමැතිය. ජනතාවට සහන දෙන බව ප‍්‍රකාශ කර ඡන්දයෙන් දිනා බලය අල්ලා ගැනීමත් දේශපාලනඥයන්ට පහසුය. ආර්ථිකය ගොඩනගන්නටත්, රට දියුණු කරන්නටත් පියවර ගන්නා අතරවාරයේ වැටුප් වැඩි කරන, බඩුමිල අඩුකරන පමණක් නොව අති විශාල සංවර්ධයක් කරන්නටත් හැකි බව ඔවුහු ප‍්‍රකාශ කරති. මැතිවරණයෙන් ජයගත් පසු ආර්ථිකයෙහි තරම දැනේ. ඡන්ද වේදිකාවේ දී දෙන ලද පොරොන්දු ඉටු කළ නොහැක. අය වැය පරතරය දරුණු තැනකට ගෙන එන තෙක් දෙස් විදෙස් ණය ගන්නා අතර එහි පීඩනය ද පැටැවෙන්නේ සාමාන්‍ය ජනතාවටය.

මෙම විෂම චක‍්‍රයෙහි ගැලී, එයින්ම යැපුණ දේශපාලන ක‍්‍රමය අද වන විට ආපසු හැරවිය නොහැකි තරමට ප‍්‍රපාතයකය. පරෙස්සමෙන් තීරණ ගෙන වහා කළ යුතු වෙනස්කම් මුල් කාලයේ දී ගත හැකිව තිබුණි නම් අද පත්ව ඇති ඉරණම පාලනය කරගත හැකි එකකි. වේදනාව අඩුය. ඉතිහාසයේ සිට කරන ලද වැරදි ප‍්‍රතිපත්තිවල විපාක දැන් අප හමුවේ ඇත. විශාල බලාපොරොත්තු සහිතව බලයට පත් වූ ආණ්ඩුවකට සියළුම වැරදි වලට වන්දි ගෙවන්නට සිදුවීම අභාග්‍යයකි.

තරගකාරීත්වය හා ආයෝජන වැදගත් වන පසුබිම

ශ‍්‍රී ලංකාව දක්ෂ මානව සම්පතක් සහිත රටකි. ඕනෑම රටක ඉතාම කැපවීමෙන් සේවය කළ හැකි ශ‍්‍රම බලකායක් ඇත. දක්ෂතම පිරිස වෙනත් රටවල දියුණුව සදහා සේවයට යවන අතර රටට අවශ්‍ය කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා සේවා සදහා යොදවා නොගැනීම වරදකි. තාක්ෂණ දියුණුව හා ලෝක ආර්ථිකයේ තරගකාරීත්වය අනුව අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලිය වෙනස් කළ හැකිය. අලූත් යන්ත‍්‍ර සුත‍්‍ර හා අමුද්‍රව්‍ය වෙනුවෙන් ධනය යෙදැවිය යුතුව තිබේ. දියුණු වූ රටවල් ඔවුන්ගේ කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධනය සදහා ලෝකයේ ප‍්‍රකට ආයෝජන උපයෝගී කරගෙන ඇත. සැපයුම් චක‍්‍රයට එකතු වී සිටී. ගෝලීයකරණය තුළ තනි රටකට, තනි නිෂ්පාදනයකට පැවැත්මක් නැත. ශ‍්‍රී ලංකාවේ වෙළද පොල කුඩාය. ලොකු ආයෝජනයකින් කුඩා වෙළද පොලකට සැපැයීම සදහා නිෂ්පාදනය කිරීමේ දී පිරිවැය ඉහළ මටට්මකට පත්වේ. එය පාලනය කරන ක‍්‍රම ඇත. අපනයනය ද අරමුණු කරගෙන නිපදවිය යුතුය. දේශීය ව්‍යවසායකයන් සහ විදේශීය ආයෝජන එකතු කර අපනයන ඉලක්ක ඇති ව්‍යවසායනත්වයට ඉඩදීම වැදගත්ය. එහි දී අලූත් තාක්ෂණය රටට ලැබේ. මෙරට ශ‍්‍රමය උපයෝගී කරගත හැකි අතර එහි මෙහෙයුම් අතරතුර රටට බදු ආදායමක් හිමිවේ. තර`ගකාරීව කරන අපනයනයකින් විදේශ සංචිත උපයා ගත හැක.

දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව සම්පාදනය කරන බව අගවන බරපතල මිත්‍යාවක් ඉදිරිපත් කරන ආණ්ඩු මෙරට නිපැයුම් සහ ආනයන භාණ්ඩවල මිල පරතරය සමාන වන තෙක් බදු අය කරන ක‍්‍රමයක් අනුගමනය කරමින් සිටී. කර්මාන්ත හෝ කෘෂි අංශය ආරක්ෂාවන බව පිලිගත හැක. එහෙත් පාරිභෝගිකයෝ අධික මිලක් ගෙවන අතර එය නොපෙනෙන දඩ අය කිරීමකි. සිමෙන්ති, ටයිල්, යකඩ, ගොඩනැගිලි ද්‍රව්‍යවලට බදු පැනවේ. ධාන්‍ය හා බහුලව අලෙවිකරන අර්තාපල් හා ලොකු ළුනු දක්වා දේශීය නිෂ්පාදන සම්බන්ධ යතාර්ථය ද එයයි. සියළුම ජනී ජනයා පාරිභෝගිකයෝය. පාරිභෝගිකයන් ගැන අවධානය යොමු කර නිෂ්පාදන ව්‍යුහය වෙනස් කළ යුතුය. දැනට අනුගමනය කරන්නේ නිෂ්පාදන මිලට පාරිභෝගිකයාට විකිණීමය. එය අනෙක් පැත්තට හැරවිය හැක. පාරිභෝගිකයාට දරාගත හැකි මිලට භාණ්ඩ නිපදවිය යුතුය. එවිට අතිරේක බදු පැනවීම අවශ්‍ය නොකෙරේ. ඇතැම් භාණ්ඩ රට තුළ නිපදවිය හැකි අතර එසේ නොකරන දේ පිටරටවලින් ගෙන්වන්නට සිදුවේ. ඇගළුම් කර්මාන්තය දම උදාහරණයකි. අඩු වියදමකින් නිෂ්පාදනය කර අපනයනය කළ හැකි වී තිබේ.

ආර්ථිකය ප‍්‍රසාරණය කරන තීරණ

නිදහස ලැබුණ දිනයේ සිට ශ‍්‍රී ලංකාව උත්සාහ කරන්නේ ආදායමේ තරමට ජීවත්වන උපායකි. වියදම වැඩිවන විට ණය ගැනේ. බදු වැඩි කෙරේ. එයින් පිටස්තර ක‍්‍රමයකට සූදානම් නැත. අභියෝග සහ අවදානමට මුහුණ දී නැත. රටට ඇති සම්පත් හදුනාගෙන ඒවා දූරදර්ශීව යෙදවිය යුතුව තිබුණි. කුඩා රටක් වන සිංගප්පූරුව ලෝකයේ ප‍්‍රකට ආයෝජකයෝ කැදවා නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගෙන ඇත. ඩුබායි රාජ්‍යය ආසියාවේ මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඉන්දියාව දැවැන්තම ආහාර නිෂ්පාදකයා බවට පත්ව සිටී. මෙවැනි පියවරකට ගමන් කරන්නේ හුදෙකලා රටවල් වශයෙන් නොවේ. වෙළද ගිවිසුම්, ආයෝජන දිරිගැන්වීම් සහ ප‍්‍රතිඅපනයන අංශ සම්බන්ධ කරගෙනය.

තේ, රබර්. පොල් හා සුළු අපනයන බෝග සදහා ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධියකට පත්ව තිබුණි. මෙම වැවිලි අපනයනය අධිරාජ්‍යවාදී රාමුව අනුව වසර පන්සියයකට එපිට අවකාශයක් සදහා නිර්මාණය වූ එකකි. අද වෙළද පොල අවශ්‍යතාව වෙනස් වී ඇත. තේ අපනයනයෙන් ශ‍්‍රී ලංකාව උපයන සමස්ථ විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වේ. විශාල ඉඩම් ප‍්‍රමාණයක්, සෑහෙන ශ‍්‍රමයක් එයට යෙදවේ. මෙම ඉඩම්වල එයට වඩා උත්පාදනයක් සහිත අලූත් වැවිලි බෝග සදහා හැරවීමක් කළ නොහැකිද? කෘෂි අංශයට එහි වගකීමක් ඇත. අනාගතයේ එන ආහාර හිගයට සැලසුම් අවශ්‍යය.

රටට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කරන එහි බරින් පීඩාවට පත්ව සිටින අප මන්නාරම මුහුදු පතුලේ ඇති බොරතෙල් ගැන සිහින දකිමින් සිටී. ති‍්‍රකුණාමලය හෝ හම්බන්තොට පරිශ‍්‍ර ආවරණය කෙරෙන බොරතෙල් පිරිපහදු ජාත්‍යන්තර ආයෝජනයකට අවස්ථාව ඇත. නැගෙනහිර හා බටහිර යා කෙරෙන තෙල් සැපයුම ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ නිර්මාණය වී ඇති අතර එවැනි ආයෝජනයකින් උපයාගත හැකි වාසිය රටට මහත් ආස්වාදයක් වනු ඇත. එහෙත් මේවා දැවැන්ත ආයෙජනන වන නඅතර රටවල් හා සංවිධාන එකතු කරගැනීමට දැක්මක් තිබිය යුතුය. අතුරු නිෂ්පාදන වශයෙන් ලබාගත හැකි ලිහිසි තෙල්, ගෑස්, යුරියා සහ තාර මිශ‍්‍රණ මෙරට ආර්ථිකය අලූත් මාවතකට යොමු කරනු නිසැකය. නිර්භීත තීරණ අවශ්‍යය. අලූත් ආර්ථික සැලැස්මක් ගොඩනගන උපදේශනය මෙහි දී වැදගත්ය. ලෝකයේ ප‍්‍රකට සමාගම් කැදවීමදහා ගැලපෙන දේශපාලන ස්ථාවරභාවය සහ එය තුළින් ඇති කරන විශ්වාසනීයත්වය අපට අවශ්‍ය කෙරේ.

පුද්ගලීකරණය රටට ආශීර්වාදයක් වනු ඇත

රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය ගැන සෑහෙන වතාවක් කරුණු පෙන්වා දී තිබේ. ජාතික සම්පත් වශයෙන් හදුන්වන ඇතැම් ආයතන බංකොලොත් බෝඞ් ලෑලි පමණක් බව ජනතාව දැන් වටහා ගෙන ඇත. මේවා වටිනා දේපොල බව හුවා දක්වන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු හිතවතුන් හා ආධාරකරුවන් නඩත්තු කරන අංශ බවට හරවා ගනිති. ඒවායේ ධනය යෙදවෙන්නේ දේශපාලනඥයන්ගේ හෝ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති ගොඩනැගීමටය. ජනතාව වෙත පෙන්වන චිත‍්‍රයට යටින් වාසි උපයාගන්නා ක‍්‍රමය ඉතාම නිරර්ථක පැවැත්මක් රටට ඇති කර තිබේ.

ව්‍යාපාර මෙහෙයවන්නට ආණ්ඩුවලට හැකියාවක් නැත. රජයේ නීති අනුව වෙළදාම් කළ නොහැක. දශක ගණනක් තිස්සේ රජයේ ව්‍යාපාර අසාර්ථක වී ඇති අතර ඒවායේ අලාභ ජාතික ආදායම විනාශ කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය මෙහෙයවන්නට සම්බන්ධ කරගන්නා ඉතාම දක්ෂ කළමනාකරුවෝ ඉතාම කෙටි කාලයකින් දේශපාලන අණට අනුව හැසිරෙන අදක්ෂ පුද්ගලයෝ බවට පත් වෙති. අවසානයේ දී චෝදනාවලට ද ගැරහීමට ද ලක්වෙති. මෙම ක‍්‍රම වෙනස් කරනු සදහා පුද්ගලීකකරණය දැනට ගැලපෙන උපායකි. ඛනිජ තෙල් අංශයේ කොටසක් සහ වරාය පරිශ‍්‍රයේ කොටසක් පුද්ගලික අංශයට පැවැරීමෙන් තරගකාරීත්වයක් හා ඉහළ ආදායම් උත්පාදනය කර දී තිබේ. විදුලි සංදේශ සේවාව පුද්ගලීකරණය කිරීම ඉතාම විශිෂ්ඨ ප‍්‍රතිඵල අත් කර දී ඇත. එම තීරණයට නොගෙන සිටියේ නම් ශ‍්‍රී ලංකාව තාක්ෂණ යුගයට ඇතුළු නොවේ. සන්නිවේදනය සදහා දැවැන්ත පිරිවැයක් දැරිය යුතු වනු ඇත. එකී අංශයේ තවත් වෙනස්කම් කළ යුතුය. රක්ෂණ, විදුලියබල, ප‍්‍රවාහන ඇතුළු ක්ෂේත‍්‍රවල කළ හැකි වෙනස්කම් පාරිභෝගික ජනතාවට වාසි අත්පත් කරදෙනු ඇත. ගුවන් සේවය හා ගුවන් තොටුපොල තවත් ආයෝජන අවස්ථාවකි. බැංකු හා මුල්‍ය අංශයෙහි ද දැවැන්ත පරිවර්තනයක් කළ හැක. පැරණි යෙදවුම් ක‍්‍රමවල සිරවී සිටින අංශ නවීන යුගයට හැරවීමෙන් නිසි ජයග‍්‍රහණන අත්පත් කරගත හැක. එය ආයෝජන අංශවලට ද ප‍්‍රතිලාභ ඇති කරයි.

ආර්ථික සමානාත්මතාවයක් සදහා

ආර්ථිකයෙහි ඵලදාව රජය සතු කරගැනීම පමණක් නොව ආණ්ඩුවලට හිතවත් පාර්ශව වලට පමණක් උරුමකරදීමෙන් උද්ගතව ඇති ගැටළු මෙහි දී අවධානය යොමු කළ යුතු කරුණකි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තුන්වැනි විවෘතකරණයක් අවශ්‍යය. එය සමාජයට සාධාරණය හා යුක්තිය ඉටු කරනු ඇත. තෝරාගත් පිරිසකට පමණක් අවස්ථා ලැබෙන, එම අවස්ථා දේශපාලනය විසින් තීරණය කරන ව්‍යුහය විශාල විනාශයක් කර තිබේ. ගාලූ මුවදොර ඇතුළු රට පුරා තැන තැන පැන නැගී ඇති අරගලය එහි ප‍්‍රතිඵලයකි. 1971 දීහා 1987 කාලයේ දී දකුණේ තරුණයන් නැගී සිටියේ අවස්ථා සදහාය. තරුණ නැගිටීම වටහා ගැනීමට උත්සාහ නොකළ මෙරට ගතානුගතික දේශපාලන ක‍්‍රමය තරුණ මත යටපත් කළේ මර්දනයකින් බව අමතක කළ යුතු නැත. උතුරේ සන්නද්ධ ව්‍යාපාරය අවසානයේ දී මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් දක්වා පැතිරිණ. ආර්ථික පීඩනයෙන් කුලබේධයෙන් මිරිකී සිටි තරුණ පිරිසක් ක‍්‍රමය වෙනස් කරන්නට වෑයම් කළහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ඔවුන්ගේ අදහස් වටහා නොගත් අතර දේශපාලනයෙහි ඇති දැඩි රාමුගත ව්‍යුහය ඔවුන්ගේ නියොජනයකට ඉඩ ආවරණය කර තිබුණි. ත‍්‍රස්තවාදය පරාජය කරන ලද නමුත් දකුණ හා උතුර අවධාරණය කරන ලද කරුණුවලට විසදුමක් සපයා නැත.

ගාලූ මුවදොර අරගලකරුවන් කෑ ගසා කියන අදහස් පැහැදිලිය. එහෙත් ක‍්‍රමය විනාශ කිරීමෙන් ලැබෙන ප‍්‍රඵලයක් නැත. තමන් සියළුම දේ දන්නා බව සිතන, අන්‍ය අදහස් වලට එකග නොවන පිරිසක් අරගලය තුළ සිටී. අරමුණක්, දැක්මක් නැති විප්ලවවලින් සංවර්ධනයක් සිදුනොවේ. තරුණ පරපුර බිලිවීම හැර අනෙකක් සිදු නොවේ. විනයක් සහිත, සමාජ එකගතාවයක් සහිත බලවේගයකට ක‍්‍රමය වෙනස් කළ හැක. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රම සහ දේශපාලන පක්ෂ ප‍්‍රතිසංවිධානය නොවීම වරදකි. පක්ෂ විවෘත විය යුතුය. ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හිතවාදී කණ්ඩායම්වලට ගොනුවන පසු තරුණන්ට ඇතුළුවෙන අවස්ථාවක් නැත. මෙකී තත්ත්වය දැනගෙන නිර්මාණය වන අලූත් දේශපාලන පක්ෂ පවතින ක‍්‍රමයට විකල්පයක් වී නැත. අලූත් දර්ශනයක්, ප‍්‍රපත්තියක් රහිත පමණක් නොව ප‍්‍රධාන ධාරාවේ පක්ෂවලින් ගිලිහෙන ඡන්ද එකතුකරන ව්‍යාපාර බවට පත්ව තිබීම කණගාටුදායකය. අධි තාක්ෂණික යුගයේ, සමාජ ආර්ථික ව්‍යුහය ඔරොත්තුදෙන දේශපාලනයක් ගොඩනගන්නට අප අසමත්ව සිටී. සමාජ මාධ්‍ය තුළ හැසිරෙන, තරුණන්ගේ වේදනාව තේරුම් ගත යුතුය. තරුණ නැගිටීම් පාලනය කර වැඩිහිටියන් අවස්ථා හදාගත් රටක් වශයෙන් අතීතයෙන් උගත් පාඩම් අමතක කළ යුතු නැත. මර්දනය මෑත ඉතිහාසයේ ඛේදවාචක අතර තිබේ. පැන නැගී ඇති විරෝධතාවලට දෙන අන්තිම - පියවර කුමක්ද? උත්තරය ගැන අපට අවබෝධයක් තිබේද?

අවස්ථා නිර්මාණය වන, ජනතාව අතට බලය ලැබෙන නිර්බාධී ආර්ථික ක‍්‍රමයකට ගමන් කළ යුතුය. දේශපාලන ගැතිකම්, නිලධාරීවාදය, අසංවිධිත සංවර්ධනය ජනතාව හෙලා දකින අතර තරුණ පරපුර ඒහි වැරදි නිරීක්ෂණය කරමින් සිටිති. උසස් අධ්‍යාපනෙයන් පසු ජයේ සේවයට ඇතුලත්වීම අරමුණ විය යුතු නැත. දක්ෂතා ඇති දරුවන්ට ව්‍යවසායකත්වයට දොරටු විවෘත කළ යුතුය. මුහුණු මාරු කිරීමෙන්, ඇමැති චරිත වෙනස් කිරීමෙන් පමණක් ජනතාවගේ ප‍්‍රශ්න විසදෙන්නේ නැත. ව්‍යවස්ථා වෙනස් කිරීම උත්තරයක් නොවේ. පත්වන අපට මුහුණ දෙන්නට සිදුවී ඇති ආර්ථික අර්බුදය බරපතල එකකි. ඉදිරි වසරක දෙකක කාලය තවත් දුෂ්කරය. කැපවීමෙන් සැලසුමක් සකස් කර නොගතහොත් ප‍්‍රශ්න තවත් සංකීර්ණ වනු ඇත. විසදන ක‍්‍රමය සදහා මැජික් විසදුම් නැත. පසුගිය දශක හතහමාරක කාලයක් ණයට ගත් ධනයෙන් ජිවත් වී තිබේ. උත්පාදනයක් සිදුවී නැත. ආදායමෙන් සියයට අසූවකට වඩා ප‍්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් සදහා වැය කරන රටකි. ජාතික ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා ණය පොලිය ගෙවන්නට වැය කෙරේ. මෙම තත්ත්වය පාවෙමින් පැවැති අතර හදිසියේ ඇති වූ අකර්මන්‍යතා රට බෙලහීන කළේය. මැදි ආදායම් ජන කොටස තමන්ගේ අවහිරතා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. ආපසු හැරවීම සදහා සියළුම දෙනා එකතුවිය යුතු අතර පවතින අර්බුදයෙන් තමන්ගේ අවස්ථාව ලබාගන්නට තැත් කිරීම සුදුසු නැත.