01/02/2022 - ලංකාදීප
පුලූල් සැලැස්මකින් බැලිය යුතු ත‍්‍රිකුණාමලය ආයෝජන

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය වැනි ප‍්‍රධාන ආයෝජන උපයෝගී කරගෙන රටවල් දෙකටම ප‍්‍රතිලාභ ගෙන දෙන විශාල ආර්ථික සංවර්ධන උපාය මාර්ගික රාමුවක් ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබිය යුතු බව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ‘‘ද හින්දුස්ථාන් ටයිම්ස්’’පුවත් පතට දෙන ලද විශේෂ සාකච්ඡාවක දී කියා සිටී.

ටොන් මිලියනයකට ආසන්න ධාරිතාවයක් සහිත අක්කර 850 ක තෙල් ගබඩා පහසුකමක් සහිත බි‍්‍රතාන්‍ය යුගයේ ඉදිකළ ත‍්‍රිකුණාමල ටැංකි සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කර, සංවර්ධනය කිරීමේ දිගු කාලීන ව්‍යාපෘතියකට ඉන්දියන් ඔයිල් සමාගමට අනුබද්ධ ආයතනයක් සමග ශ‍්‍රී ලංකාව පසුගිය දා ගිවිසුමක් අත්සන් කළේය. කොළඹ වරායේ බටහිර බහාලූම් පර්යන්තය සංවර්ධනය කිරීම සදහා ශ‍්‍රී ලංකා රජයට අයත් වරාය සංවර්ධන අධිකාරිය හා අදානි සමූහ ව්‍යාපාරය පසුගිය වසරේ ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇත. පර්යන්තයේ ඉදිකිරීම් මෙම මාසයේ ආරම්භ කිරීමට යෝජිතය.

මිලින්ද මොරගොඩ මහ කොමසාරිස්වරයා පසුගිය වසරේ රාජකාරියට වාර්තා කරන්නට කලින් ඉදිරිපත් කළ ඔහුගේ ඉන්දු ගී‍්‍ර ලංකා ඒකාබද්ධ රාශ්ට ක‍්‍රමෝපාය වාර්තාව අනුව පාර්ශව දෙක අන්තර් කාලීන අවස්ථාවක සිට උපායශීලී සහ විශේෂිත සම්බන්ධතා පවත්වන යුගයකට ඇතුළු විය යුතුය. සාකච්ඡාවට එක් වෙමින් මිලින්ද මොරගොඩ කියා සිටියේ පරිවර්තනීය යුගයක ඇරඹුමක සිට ඉන්දියානු සමස්ථ බලශක්ති සුරක්ෂිතතා ප‍්‍රතිපත්තිය ද ඇතුලත් ලොකු ව්‍යුහාත්මක රාමුවක් දෙස බැලිය යුතු බවය.

බටහිර පර්යන්තය සහ තෙල් ටැංකි සංකීර්ණය ඉතාම වැදගත් අවස්ථා වනු ඇත. ‘‘මම එය දකින ආකාරයට පාර්ශව දෙක බාධාවකින් තොරව උපාය මාර්ගික අවස්ථාවකට ඇතුළු විය යුතුය.’’ මහ කොමසාරිස්වරයා දක්වන පරිදි ත‍්‍රිකුණාමලය යෝජනාව යනු ‘‘ඛනිජ තෙල්, හා ගෑස් ක්ෂේත‍්‍රය අලලා ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධ කිරීමකි’’. පාර්ශව දෙක හවුල්ව ව්‍යාපාරික සැලැස්මක් ත‍්‍රිකුණාමලය ටැංකි සංකීර්ණය සදහා ඇති කරගත යුතු අතර, මන්දයත් වසර 2030 වන විට ඉන්දියාවේ ඉන්ධන අවශ්‍යතාව සියයට පනහකින් වැඩිවනු ඇති අතර එයට සාපේෂව පිරිපහදු අවශ්‍යතාව සියයට තිහකින් නැංවිය යුතුව තිබේ. රටවල් දෙකට ඒකාබද්ධව කාවේරි ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැනීම් සම්බන්ධයෙන් ද, ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිතව තෙල් පිරිපහදුවක් ගොඩනැගීමේ පහසුකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ හැකි බව මොරගොඩ කියා සිටී. ගබඩාකිරීම හා පිරිපහදුව යන අංශ දෙකෙන්ම වඩාත් සුරක්ෂිත කේන්ද්‍රස්ථානයක් බවට ත‍්‍රිකුණාමලය පත්කරන්නට අපට හැකිය. ත‍්‍රිකුණාමලය ඉන්දියාව සදහා වනු ඇති අතර අන්තර් ජාතික මුහුදු මාර්ග වලින් ඈතින් පිහිටීම වාසිදායකය. අපට උපායමාර්ගික ලෙස කල්පනා කර ඉදිරි පියවරකට යා හැකි අතර මෙය තෙල් ටැංකි ගනුදෙනුවක් යන පටු ආකල්පයෙන් අවධානයක් යොමු කළ යුතු නැති බව ඔහු දක්වයි.

ත‍්‍රිකුණාමලයේ තෙල් ගබඩාකිරීමේ පහසුව සහ පිරිසිදු කිරීමේ පහසුකම ශ‍්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂාව ද ඉහළ නංවනු ඇත.‘‘ලෝකයේ තුන්වැනි බලශක්ති භාවිතා කරන රට වශයෙන් ඉන්දියාව සමග සම්බන්ධවීමෙන් ශ‍්‍රී ලංකාවට ඉන්ධන මිල ගණන් ඉදිරියේ ශ‍්‍රී ලංකාවට ඉතාම හොද ගනුදෙනුවකට යා හැකිය. දෙරට අතර ඒකාබද්ධව අපගේ අවශ්‍යතා සලකා බැලීමෙන් අපට ඉන්ධන හිගයක් ඇති නොවේ.’’ මිලින්ද මොරගොඩ මහතා තව දුරටත් කියා සිටියේය.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී නොබෝදා කරන ලද ප‍්‍රකාශය ගැන ප‍්‍රශ්න කරන ලද අතර එහි දී චීන ශ‍්‍රී ලංකා විදේශ සබදතාවලට ‘‘තුන්වැනි පාර්ශවයක්’’ මැදිහත් විය යුතු නැති බවට චීන විදේශ ඇමැතිවරයා කරන ලද ප‍්‍රකාශය අලලා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප‍්‍රකාශයක් හෙතෙම උපුටා දක්වයි. ‘‘චීනය අපගේ සමීප මිතුරෙකු වන අතර ඉන්දියාව අපගේ සහෝදරයෙකු හෝ සහෝදරියක හා සමානය.’’ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සෑම විටකට සැහැල්ලූවෙන් දකින බව ද මොරගොඩ මහතා කියා සිටියේය. ඔහු තවදුරටත් කියා සිටියේ ‘‘ එය වෙනස් සම්බන්ධතාවයක්. ඉන්දියාව සමග අපට ඇති සම්බන්ධය අනුව එම ප‍්‍රකාශය අර්ථකතනය කිරීම තේරුමක් නැති දෙයක්’’ බවය. කෙසේ වෙතත් චීන විදේශ ඇමැති වැන්ග් ගේ ප‍්‍රකාශය ඉන්දියාව සදහන් කරමින් යැයි තක්සේරු කරන ලද අතර අසල්වැසි රටවල් යා කරන තීරයක් හා මාවතක් යන චීන ව්‍යායාමයට මුල සිටම ඉන්දියාවේ විරුද්ධත්වයක් තිබීම යැයි සෑහෙන විශ්වාසයක් නවදිල්ලිය පුරා තිබුණි.

1987 වසරේ සිට පැවැති සාකච්ඡාවලට පසු ඇති වූ සහයෝගීතාව සමග පැති ගණනාවකින් ශ‍්‍රී ලංකාවට එල්ල වී තිබුණ විදේශ විනිමය සංචිත හිගය සහ විශේෂඥයන් පෙන්වා දුන් පරිදි විදේශ ණය ගෙවීම පැහැර හැරීමක් දක්වා යා හැකිව තිබුණ ආර්ථික දුෂ්කරතාවලින් මගහැරීමට ඉන්දියාවෙන් ලැබුණ අනුබලයකි.

ඉකුත් බ‍්‍රහස්පතින්දා (06 ජනවාරි ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සමග කොළඹ දී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාර්ක් ස්වයිප් මුදල් හුවමාරුවක් සහිතව තවත් පහසුකම් ඉන්දියාව සපයන බවයි. සාර්ක් මුදල් හුවමාරුව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ආසියානු නිශ්කාෂණ ඒජනිසිය වෙත ගෙවන්නට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 500 ද මාස දෙකකට කල් දමා තිබේ. මිලින්ද මොරගොඩ මහතා දක්වන පරිදි මෙම සහයෝගීතාවය මත තවත් අවස්ථා ඉදිරි සතිවල අපේක්ෂා කරන බවය.

පෙට‍්‍රල් සහ ඞීසල් මිල දී ගැනීම සදහා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක චකී‍්‍රය ණය පහසුකමක් සහ ආහාර හා ඖෂධ මිල දී ගැනීම සදහා තවත් පහසුකමක් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරයි. ත‍්‍රස්ත මර්දන ප‍්‍රයත්නයක් සදහා වන ප‍්‍රදානයක් හා නාවික යාත‍්‍රාංගනයක් සදහා ද ඉන්දියාව යෝජනා කර ඇති ණය පහසුකමකට ශ‍්‍රී ලංකාව මුල පුරා ඇති බව ද මොරගොඩ මහතා මෙම සාකච්ඡාවේ දී කියා සිටියේය.

‘‘ඉන්දියන් ආරක්ෂක හමුදා පුහුණු ශිෂ්‍යත්ව වැඩිම ප‍්‍රමාණයක් හිමිකරගෙන ඇති රට ශ‍්‍රී ලංකාව වන අතර ඕනෑම අවස්ථාවක අපගේ භටයන් 600-700 ක් අතර ප‍්‍රමාණයක් ඉන්දියාවේ පුහුණුව ලබයි. එය තව දුරටත් නංවන අතර පොලිස් සේවාව ද පුහුණුවට ඇතුලත් කිරීමට අපට අවශ්‍යව ඇත.’’ මොරගොඩ මහතා දක්වයි. ‘‘ආධාර් කාඞ් ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් හැදුනුම්පත සදහා පදනමක් කරගැනීම අපගේ සැලසුමය. අපගේ ජනාධිපතිවරයා ගේ එය ගැන ඉතාම උනන්දුවක් දක්වන අතර ඔහු විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා ද වෙයි. මෙම සාකච්ඡාව ද සිදුවෙමින් පවතින බව ඔහු මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් දැක්වීය.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ද ‘ද හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත් පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. මෙම දිගුවෙන් එය සම්පූර්ණයෙන් කියැවිය හැකිය. https://rb.gy/sfac5j