» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/12/2017 - දේශය
දකුණු අප‍්‍රිකාවේ සිරිල් රමපෝසා

සිරිල් රමපෝසා දක්ෂ ව්‍යාපාරිකයෙකි. දේශපාලකයෙකු වන අතර දක්ෂ ක‍්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකි. පක්ෂ නායකත්වය තමන් වෙත පැමිණෙන තුරු වසර විස්සක් තිස්සේ බලා සිටියේය. ඉලක්කය සාර්ථක වී ඇත. දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රධානම දේශපාලන පක්ෂය එනම් අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය සිය පක්ෂ නායකයා වශයෙන් ඔහු තෝරාගෙන තිබේ. තවත් පියවරකට පසු එනම් 2019 ජනාධිපතිවරණයේ දී හෙතෙම දකුණු අප‍්‍රිකාවේ ජනාධිපති ධුරයට පත්වනු ඇති බවට අනාවැකි පළවෙයි. දැනට උප ජනාධිපති වශයෙන් කටයුතු කරන හෙතෙම නෙල්සන් මැන්ඩෙලා සමග ක‍්‍රියා කරමින් දකුණු අප‍්‍රිකාවට නිදහස ලබා ගන්නට වෙහෙසුනු නායකයෙකි.

නෙල්සන් මැන්ඩෙලා ගේ ගමනට බලවත් ශක්තියක් වූ රමපෝසා වෘත්තීය සටන් හා දේශපාලන කටයුතු වලට ලැදිව සිටියේය. මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට රමපෝසා නිල තනතුරකට එන්නට කැමැත්තක් දැක්වූයේ නැත. පැත්තකට වු හෙතෙම පසුව හිතේ නොතිබුණ ව්‍යාපාරික කටයුතු අතට ගත්තේය. අද වන විට දකුණු අප‍්‍රිකාවේ පොහොසත්ම කලූ ජාතිකයා සේ සැලකෙන්නේ සිරිල් රමපෝසාය. ඔහු ආරම්භ කරන ලද ව්‍යාපාර බලශක්ති, දේපොල, බැංකු, රක්ෂණ හා දුරකථන සමාගම් වන අංශ කෙරෙහි ව්‍යාප්ත කරන ලද අතර ඒවායේ පිටිවහල ඇතිව ප‍්‍රමුඛ ජාත්‍යන්තර සමාගම් රැසක් සමග සම්බන්ධතා ඇති ව්‍යාපාර ජාලයක් ස්ථාපිත කළේය. පසු කාලයක රම්පෝසා උප ජනාධිපතිවරයා වශයෙන් සිය වත්කම් පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 650 ඉක්මවන ලද එකක් වීම කැපී පෙණින.

පසු කාලයක හිටපු ජනාධිපති ජාකෝබ් සුමා සමග දේශපාලනයට පැමිණි ඔහු 2014 වසරේ දී උප ජනාධිපති වශයෙන් ජනතා ඡන්දයෙන් පත්කරන්නන් වූ අතර ජනාධිපතිවරයාටත් වඩා බලවත් බව විශේෂයෙන් කැපී පෙණුන ස්වභාවයයි. ව්‍යාපාරිකයෙකු වශයෙන් දක්වන ලද සමත්කම සහ තීරණගැනීමේ දී දැක්වූ හැකියාව හෙයින් රමපෝසා ගේ තත්ත්වය ඔසවා තබන්නට කිසිවෙකු මැලි වූයේ නැත.

රමපෝසා ගේ මෑතකාලීන දේශපාලන පසුබිම අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ මහ ලේකම් වශයෙන් පත්වීමෙන් ඇරඹෙයි. 1991 දී තනතුර භාරගත් හෙතෙම දකුණු අප‍්‍රිකාවට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට පෙරමුණ ගත්තේය. එයින් වසර තුනකට පසු පවත්වන මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර එරටට ව්‍යවස්ථාවක් හදන කමිටුවේ ප‍්‍රධානියා බවට ජන්දයෙන් පත් වූයේ රට තුළ අනන්‍යතාවය ඇති කරන බලවේගය එක්තැන් කළ හැකි නායකයෙකු වශයෙනි. දේශපාලන කටයුතු වලට කලින් දකුණු අප‍්‍රිකාවේ ආයෝජන සමූහ ව්‍යාපාරය ගොඩනැගූ හෙතෙම වසර කිහිපයකට පසු නැවතත් සක‍්‍රීය දේශපාලනයට එන්නේ පක්ෂයේ විධායක කමිටුවට පත් වූ සාමාජිකයෙකු වශයෙන්ය. ව්‍යාපාර කටයුතු කරගෙන යන විට ඉඩම් ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ව්‍යාපාරික අංශයෙහි ගමන සන්ධිස්ථානයකට පැමිණෙන විට ප‍්‍රමුඛ චරිතයක් ව සිටියේය. එම වකවානුවේ ඔහුගේ ස්වභාවය තේරුම්ගත් ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට වෙර දරන බවට ඉඟි කරන ලද නමුත් රමපෝසා එයට සූදානමක නොසිටියේය. රමපෝසා වැනි අය රටේ නායකත්වයට අවශ්‍ය බව කියන මතවාදයට එකඟ වූ ඔහු අන්තිමේ දී ජකොබ් සුමා යටතේ උප ජනාධිපති පදවියට තරග කර ජය ගත් බව සඳහන් කළ යුතුය.

දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා වශයෙන් උපත ලැබූ සිරිල් රමපෝසා ගේ පියා පොලිස් නිලධාරියෙකු වශයෙන් සේවය කර විශ‍්‍රාම ගියේය. ජොහැන්ස්බර්ග් නගරයට නුදුරින් වීසූ අතර ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සෙකානෝ උසස් විදුහලෙන් ද පසුව ටෲප්ලොප් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ද ලැබීය. විශ්ව විද්‍යාල ජීවිතයේ දී ශිෂ්‍ය ක‍්‍රියාකාරී දේශපාලනයට නතු වූ හෙතෙම ශිෂ්‍ය සමිතිවල පමණක් නොව කලූ ජාතිකයන්ගේ සංවිධාන වල ද ක‍්‍රියාකාරිකයෙකු විය. සටන්කාමියෙකු වශයෙන් නිදහස වෙනුවෙන් අරගල කරන විට ත‍්‍රස්තවාදී පණත යටතේ මාස එකොලහක් සිරගෙදරට නියම වී තිබේ. එයට හේතුව විරෝධතා රැළි සංවිධානය කිරීමය. 1974 දී මුල් වතාවට විඳීන ලද සිරද`ඩුවමින් නොනැවතුන ඔහුගේ ගමනට අවහිර කරන්නට එයින් වසර දෙකකට පසු නැවත වතාවක් හය මාසයක් සිරගත කරන්නට එවකට සිටි සුදු පාලකයෝ තීරණය කළේය. විශ්ව විද්‍යාල ජීවිතය අවසන් කර නීති උපාධිය ගත් සිරිල් රමපෝසා ගේ පළමුවැනි වෘත්තිය බවට පත් වූයේ නිති කාර්යාලයක සේවය කිරීම බව සඳහන්ය. එයින් පසු සේවක වෘත්තීය සමිති ජාතික කවුන්සලයට බැදුණ හෙතෙම එහි නීති උපදේශකවරයා වූ අතර එහි සිටිය දී ද අලූත් පාලනයක් වෙනුවෙන් සටන් වලට පණ පෙවීය. වෘත්තීය සටන් සංවිධානය කිරීමේ වරදට නැවතත් අත්අඩංගුවට ගත් මෙම කාලයේ දී ඔහුට එවැනි කාර්යයන්ට සම්බන්ධවීම ද තහනම් කළේය. එයින් ගමන නතර කරන්නට හැකි වූයේ නැත. දකුණු අප‍්‍රිකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මහ ලේකම් වරයා වශයෙන් පත්වන තුරු හෙතෙම නොනැවතී වැඩ කළේය. මහ ලේකම් වශයෙන් පතල් කම්කරුවන්ගේ බලය කොපමණ දැයි පෙන්වන්නට සමත් වූ රමපෝසා ඉතා කෙටි කාලයක් ඇතුලත වර්ජනයක් ආරම්භ කළේය. එය කලූ ජාතික කම්කරුවන් මෙහෙයවූ දරුණුම වැඩ වර්ජනය වශයෙන් දකුණු අප‍්‍රිකානු ඉතිහාසයට එකතු කරන්නට සමත්ව තිබේ.

උප ජනාධිපති වශයෙන් කටයුතු කරන වකවානුවේ දී රමපෝසා සිය නියෝජිතයන් සමග චීනයට නිල සංචාරයක නිරත විය. එය දෙරට අතර දේශපාලන හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් එකඟතා ඇතිකරගන්නට බලපෑ ප‍්‍රධාන හේතුවකි. වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවලට ද සංචාරය කරමින් දකුණු අප‍්‍රිකාවට අවශ්‍ය කරන ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු කළේය.

සිරිල් රමපෝසා ඉතා දක්ෂ පාලකයෙකි. ව්‍යාපාරික පැත්තෙන් ඉතා ඉහළට එන්නට සමත් වූ අතර දේශපාලනික වශයෙන් ද දකුණු අප‍්‍රිකාවේ බලවත්ම චරිතයක වී සිටී. ඔහු සතු ප‍්‍රායෝගික ආර්ථික සංකල්ප මහ රට නගා සිටුවන්නට අනුගමය කරන ප‍්‍රතිපත්ති කෙරෙහි ප‍්‍රජාව විශ්වාසය තබා තිබේ. රමපෝසා ගේ දක්ෂතා සහ රාජ්‍යතාන්ත‍්‍රික පරිනත භාවය දකුණු අප‍්‍රිකාවේ පමණක් නොව ඇමරිකානු විශ්ව විද්‍යාල ගණනාවක ද ඇගයීමට ලක්ව තිබේ. සම්මාන ආචාර්ය පදවි සෑහෙන ප‍්‍රමාණයක් ඔහුගේ නමට ඉදිරියෙන් ඇත. 2004 වසරේ දී කරන ලද විමසීමක දී දකුණු අප‍්‍රිකාවේ විශිෂ්ඨතම පුද්ගලයන් සිය දෙනා අතරින් අයෙකු බවට පත් විය.

පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාර කවුන්සලයේ සභාපතිවරයා වශයෙන් පත් වූ සිරිල් රමපෝසා ඔහුගේ ව්‍යාපාර දක්ෂතා හෙයින් කොකා කෝලා සමාගමේ උපදේශකවරයෙකු හා යුනිලීවර් සමාගමේ දකුණු අප‍්‍රිකානු උපදේශකයෙකු වශයෙන් බඳවා ගෙන ඇත. එයට පදනම් වූයේ ඔහු ව්‍යාපාරික අංශයෙහි පවත්වනලද සමත්කම් බව නොරහසකි.

කෙන්යාවේ ඇති වූ දේශපාලන ආර්බුදයක දී මැදිහත්කාර කණ්ඩායම මෙහෙයවූ කොෆි අන්නන් සිය කණ්ඩායමට රමපෝසා ඇතුලත් කරගත්තේය. දකුණු සුඩානයේ ගැටළු සහගත තත්ත්වයට උදව් කළේය. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාතාවරණය හමුවේ දිවයිනට පැමිණි හෙතෙම පක්ෂ විපක්ෂ පිරිස් එකතු කරගෙන දකුණු අපි‍්‍රකාවේ සත්‍ය කොමිසම හා සම්බන්ධ වටපිටාව ගැන අත්දැකීම් හුවමාරුකරගත්තේය.

අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසයේ සභාපති වශයෙන් පත්ව ඇති සිරිල් රමපෝසා 2019 වසරේ දී පවත්වන්වට නියමිත එරට ජනාධිපතිවරණයේ දී ජයග‍්‍රහනය ලබන බවට දැන් සිටම අනාවැකි පළවෙමින් තිබේ. අංශ රැසක සමත්කම් පෙන්වන ඔහුගේ නායකත්වය කෙරෙහි දකුණු අප‍්‍රිකානු ජනතාව අපේක්ෂා සහගතව සිටිති.