» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/01/2016 - දේශය
තෙල් මිල මැද සවුදියේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ

ලෝක තෙල් නිෂ්පාදනයේ නිරත රටවල් ලැයිස්තුවේ ඉහළම තැන සිට සලකන විට තුන්වැනි ස්ථානයට හිමිකම් කියන්නේ සවුදි අරාබියාවයි. මෙයින් අවුරුදු දහයකට පමණ කලින් බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 114 ක් පමණ විය. අද වන විට එය ඩොලර් 30 ක සීමාවේ නතර වී තිබේ. තෙල් නිෂ්පාදනය කරන සහ එම ආදායමෙන් ඉතා සනීපවත් ජීවිත ගත කරමින් සිටි සවුදි අරාබිය ආර්ථික ප‍්‍රශ්න ඇති තැනක් බවට පත්ව තිබේ. මෙම අර්බුදය මැද එරට ආරක්ෂක ඇමැති මොහොමඞ් බින් සල්මාන් කුමාරයා 'අරාබි තැචර්' හැටියට හඳුන්වන්නට පටන්ගෙන ඇත. බි‍්‍රතාන්‍යයේ පරිවර්තනයක් කරන්නට මාග‍්‍රට් තැචර් ක‍්‍රියා කළ අතර එහෙයින් ඇය යකඩ ගැහැනිය යැයි විරුදාවලි ලැබුවාය. යකඩ මිනිහෙක් හැටියට සවුදි අරාබියේ වෙනස්කම් වලට මුලපුරන්නට හදන බින් සල්මාන් දෙස අද ජාත්‍යන්තරය අවධානයෙන් බලා සිටියි.

බින් සල්මාන් සවුදි ආණ්ඩුවේ වැදගත් තනතුරකට පත්වන්නේ දෙවැනි යුව රජු, ආරක්ෂක ඇමැති සහ ආර්ථික කටයුතු කවුන්සලයේ සභාපති වශයෙන්ය. දැනට ලෝකයේ සිටින අඩුම වයසකින් ආරක්ෂක අමාත්‍ය ධුරයකට පත් නායකයෙකු හැටියට නම් දරා සිටින හෙතෙම එරට ආර්ථික ව්‍යුහය සම්බන්ධයෙන් ද අලූත් තීරණ ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. බොර තෙල් මිල අඩුවන විට, එයින් රටට ලැබෙන ආදායම සීමා සහිත වන විට සුපුරුදු සුඛෝපභෝගී පාලයෙන් තොර ආර්ථිකය ගැලපෙන්නේ නැති බව සමාජයට දන්වන්නට ඔහු පියවර ගෙන ඇත. අතිශය ධනවත් සෙල්ලක්කාර චරිත වලට හාත්පසින්ම වෙනස් ආකාරයට තීරණගන්නට බින් සල්මාන් සූදානම්ය. එය සාමාන්‍යයෙන් අපේක්ෂා කරන දෙයක් නොවේ. හෙතෙම ජනතාව ගැන සිතන්නට සූදානම් අතර රට තුළ පැවැතිය යුතු ආර්ථික තත්ත්වය ගැන අවධානයෙන් සිටින්නට තීරණය කර තිබේ. එහෙයින්ම ඔහු සඳලූතලයෙන් මහ පොලවට පැමිණ යථාර්ථය දකින නායකයෙකු ලෙස ආර්ථිකය හසුරුවමින් සිටී.

සවුදි අරාබියේ විදේශවත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 650 ඉක්මවයි. 2015 වසරේ දී එය ඩොලර් මිලියන සියයකින් පමණ අඩු වී තිබේ. අඩුවූ ප‍්‍රමාණය පමණක් ගණන් බැලූව ද එය ශ‍්‍රී ලංකාවේ විදේශ වත්කම් වලින් දහයෙන් එකකටත් වැඩිය. විශාල ධනයකින් කොටසක් පිරිහීම තාවකාලික තත්ත්වයක් විය හැකි නමුත් ඔහු උත්සාහ කරන්නේ ප‍්‍රතිසංස්කරණ තුළින් නැගී සිටින්නටය. සවුදි අරාබියේ අය වැය හිඟය සියයට පහලොවක් වී ඇති අතර මෙම ප‍්‍රශ්න වලකාගන්නට ඔටුන්න හිමි කුමාරයෙකුගෙන් අපේක්ෂා කළ නොහැකි තරමේ ප‍්‍රතිසංස්කරණ යෝජනා කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.

සවුදියේ වැසියන්ට වතුර, විදුලිය, ඉන්ධන සහනාධාර මත සපයන ලද නමුත් එය නතර කර තිබේ. සහන අවශ්‍ය දුප්පත් අයට පමණක් ඒවා සපයනු ඇත. සෞඛ්‍ය, අධ්‍යාපන යන ක්ෂේත‍්‍රවලට පවත්වාගෙන ගියේ සහන වශයෙනි. සහන ඉවත් කරන්නට ආණ්ඩුව සූදානම් වෙයි. සහන ඉවත් කරන අතර අවුරුදු පහක් ඇතුලත වෙළඳ පොළ මිල ගෙවන්නට පුරවැසියන්ට සිදුවනු ඇත. ඉදිරි වසර පහ ඇතුලත අය වැය හිඟය නැති තරමට ආදායම හා වියදම ගලපා ගන්නට යෝජනා කරන්නේ ආර්ථික කමිටුවේ සභාපති හැටියට බින් සල්මාන්ය. අත්‍යවශ්‍ය නොවන දේ වෙනුවෙන් සියයට පහක වැට් බද්දක් ද යෝජනා කරයි. රජයේ වියදම් අඩු කරන අතර එහිදී අතිකාල දීමනා හා වෙනත්ගෙවීම් නැවත සමාලෝචනය කරන අතර මිල අදික වාහන මිලදී ගැනීම කාර්යාල නවීකරණය වැනි දේ සීමා කරන්නට නියම කර තිබේ. මේවා වැදගත් තීරණ ලෙස ආකර්ශණීය වී ඇත. වියදම ගලපන ආකාරයට එම අංශ මෙහෙයැවෙන විට ආණ්ඩුවේ ආදායම කළමණාකරනය කරගත හැකිය. අති විශාල ධනයක් ඇති රටක් නමුත් අනාගතය දෙස බලා අරපිරිමැස්මට හුරුවෙන තීරණය ගෙන ඇත්තේ ඒ ආකාරයටය. සහන අඩුකර පිරිවැය දරාගන්නට සමාජය සූදානම් කරන්නට බින් සල්මාන් වසර 2020 වෙනුවෙන් පරිවර්තන සැලසුමක් ප‍්‍රකාශයට පත් කර තිබේ. රැකියා විරහිත අයට ප‍්‍රතිලාභ අත්වන ආකාරයට සවුදි රජයේ වියදම සැලසුම් කර ඇති අතර වසර 2030 වන විට දෙගුණයක් විය හැකි වෘත්තීය අවශ්‍යතා සපුරනුවස් ඒ වෙනුවෙන් මෙහෙයැවෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රය සූදානම් කරන්නට සියයට තිහකින් පුද්ගලික අධ්‍යාපනය නංවන බව ප‍්‍රකාශයට පත්කරයි.

මෙම ප‍්‍රතිංස්සකරණ යෝජනා අනුව මැදපෙරදිග ධනවත් රටක් කරනු ඇති බවට විශ්වාස කළනොහැකි යෝජනා තිබේ. බටහිර මූල්‍ය ආයතනයක බල කිරීමක් නැතිව තමන්ගේ අනන්‍යතාවය අනුව තීරණ ගැනීමට ඉවක් තිබීම කැපී පෙනෙන එකකි. ඒවා අතර විශේෂයෙන් පෙනෙන්නේ විශාලතම තෙල් නිෂපාදනය කරන ඇරම්කෝ කොටස් විකිණීමයි ටෙලිකොම්, විදුලිය සහ එරට ජාතික ගුවන් සේවය ද අපේ ව්‍යවහාරයෙන් කියනවා නම් විකුණා දමන්නට යෝජනා කරයි. ලෝකයේ වඩාත්ම මිල අධික දේපොල වශයෙන් සැලකෙන මක්කම අවට වර්ග කිලෝ මිටර් හතරක් විකුණන්නට සහ එය ආශ‍්‍රය කරගෙන දැනට සංචාරකයන් මිලියන දහ අටක් අවුරුද්දකට එන ප‍්‍රමානය ඉදිරි වසර පහ තුළ මිලියන 35-45 දක්වා නංවන්නට යෝජනා කරයි.

බින් සල්මාන් කුමාරයාගේ දර්ශනය පුලූල් එකකි. ඔහු බටහිර අධ්‍යාපනය ලබා නැත. නමුත් ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ වෙනසට හේතුව අධ්‍යාපනය බව කියන්නට පටන්ගෙන තිබේ. දරුවන් හොඳ අධ්‍යපනයට යොමු කරන අතර කාන්තාවන් ගේ දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් නැංවීම අවශ්‍ය බව පෙන්වා දෙයි. නූතන සවුදි අරාබියේ නිර්මාතෘ වශයෙන් සැලකෙන අබ්දුල් අසීස් රජුගේ අභාවයෙන් පසු පවුගේ අය අතර විහිදී ගිය බලය ක‍්‍රියා කරන ආකාරය ලෝක අවධානයට ලක්ව තිබේ. ඉතාමත් සිත්ගන්නා ආකාරයට ජගත් ප‍්‍රජාව කතා කරන්නට පටන්ගෙන ඇත්තේ බින් සල්මාන් කුමරුගේ ප‍්‍රතිපත්ති ගැනය. තිස් හැවිරිදි හෙතෙම රටක තත්ත්වය අවබෝධ කරගෙන එය පරිවර්තනය කරන්නට ගන්නා ධෛර්යය අගය කරයි.

හෙතෙම උත්සාහ කරන අලූත් ප‍්‍රතිපත්ති ගැන සහ ප‍්‍රතිසංස්කරණයක් තුළින් නවෝත්පාදනයකට යනගමන ගැන සවුදි අරාබිය තුළ යම් ප‍්‍රමාණයක විශ්වාසයක් ජනිත වන්නට පටන්ගෙන තිබේ. ලක්ෂ සංඛ්‍යාත සවුදි අරාබි තරුණ තරුණියන් ලෝකයේ නොයෙක් රටවල ඉගෙනගනිමින් සිටින අතර එම කණ්ඩායම බෙහෙවින් සමාජ මාධ්‍ය පරිහරණය කරමින් සිටිති. ඔවුන්ට අනුව සවුදියේ සිදුවන පෙරැළිය අපේක්ෂා කළ යුතු එකකි.

බින් සල්මාන් උපන්නේ 1980 දීය. ඔහුගේ පියා සල්මාන් රජු සහ රජතුමාගේ තුන්වන භාර්යාවගේ දරුවෙකු වශයෙන්ය. මූලික අධ්‍යාපනයෙන් පසු සවුදි විශ්ව විද්‍යාලයෙන්ම උපාධිය ලබා පුද්ගලික අංශයේ සේවය කරන හෙතෙම පසුව සවුදි අරාබියේ රජ පවුලේ නිල කාර්ය මණ්ඩලයට එකතු වෙයි. පුද්ගලික අංශයේ වැඩ කරන විට ලෝක ආර්ථිකය ගැන දැනෙන්නට ඇත. සවුදි අරාබිය ආර්ථික වහයෙන් සිටින ස්වබාවය සහ තෙල් අර්බුදය හමුවේ මුහුණපාන ගැටලූ ගැනදුර දක්නා අවබෝධයකින් කටයුතු කරන්නට ඇත. ලෝකයේ ඕනැම රටක ආර්ථිකයක මෙයට වඩා වෙනස්කම් නැත. ඉතාම වැදගත් කාරණය බැරූරුම් තීන්දු ගන්නට හැකි ධෛර්යයයි. ප‍්‍රතිසංස්කරණ යෝජනා කර ඒ වෙනුවෙන් පෙනී සිටින්නට තරම් නායකත්වයයි. තවත් පැත්තක් අමතක කළ යුතු නැත. ආර්ථිකය හදන ප‍්‍රතිසංස්කරණ අතරතුර සවුදියේ වහාබ් නීතිය අමතක කරන්නට සූදානම් නැති කමයි. ඉකුත් දිනෙක හතලිස් හත් දෙනෙකු එල්ලා මරන තීරණගත් සවුදියේ ආරක්ෂක අමාත්‍යවරයා ආර්ථිකය එල්ලා වැටෙන්නට ඉඩ නොදෙන්නේය. අවධානයට ගත යුතු කාරණය එයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.