මූලික මිනිස් අයිතිවාසිකම් තිබේ. මූලික සෞඛ්‍ය පහසුකම රටවැසියන්ගේ අයිතිවාසිකමක් වශයෙන් පිළිගත යුතුය යන අලූත් අදහස තුළ මිල කළ නොහැකි වටිනාකමක් ඇත. තම පුරවැසියන්ගේ නිරෝගී ජීවිතය ව්‍යවස්ථාවේ වගන්ති වලින් සාජුව තහවුරු කරන රට වාසනාවන්ත එකකි. සංවර්ධනය එයයි. රටක සමෘද්ධිය එයින් සංකේතවත් වෙයි. සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ජනතාවගේ අයිතියක් බව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ හැකි නම් එය කොපමණ යුක්ති සහගතද? ශ‍්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය සරෝජ් ජයසිංහ එම අරමුණ වෙනුවෙන් නොනවතින ප‍්‍රයත්නයක නිරතය. තවත් රටවල් එම උදාර කාර්යට පෙළඹවීම වෙනුවෙන් ඔහු ඇතුළු තවත් විද්වතුන් පිරිසක් මතවාදී මෙහෙවරකය.
සාමාන්‍යයෙන් දන්නා හඳුනන අය මුහුණට මුණ ගැසුන විට අහන ප‍්‍රශ්නයක් තිබේ. කොහොමද සැප සනීප? එහෙම විමසන්නේ ලෙන්ගතු හිතකින්ය. සනීපයෙන් ඉන්නවානම් එය ලොකුම සැපත බව අඟවන්නටය. තම පුරවැසියන් ගේ සැපවත් ජීවිතය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිලිගැනීම ජාත්‍යන්තර දර්ශක වලින් පෙන්වන සංවර්ධනයට වඩා පුළුල් අර්ථයක පිහිටීමකි. මහාචාර්ය සරෝජ් ගේ වෑයම ඒ වෙනුවෙන් පෙනී සිටීමය.
ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් වශයෙන් වර්ගීකරණයවී තිබේ. මූලික දර්ශක පෙන්වන්නේ මෑත දශක කිහිපය තුළ ඉතාම හොඳ සෞඛ්‍ය පසුබිමක් ඇති බවය. ඒ වෙනුවෙන් රජයේ පිරිවැය විශාල එකක් නොවේ. රෝග වලක්වා ගැනීමට මග පෙන්වීම හා නිදහස් සෞඛ්‍ය සේවාව එයට පිටිවහලක් වී ඇත. මහජන සෞඛ්‍ය සේවාව, සායන සහ රෝහල් සේවාව ඇතුළු ව්‍යුහ මෙරට ජනතාවගේ හොඳ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සේවා සපයයි. මෙවැනි පසුබිමක සිට සෞඛ්‍ය සේවය මූලික මිනිස් අයිතිවාසිකමක් බව තහවුරු කිරීමට පියවර ගැනිම ජාත්‍යන්තරය ඉදිරියේ අද්විතිය තැනක් තහවුරු කරගැනීමකි.
මේ වන විට ශ‍්‍රී ලංකාව රටට අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කාර්යයෙහි නිරතය. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව මහජන අදහස් විමසන කොමිසමක් පත් කරන ලද අතර එහි වාර්තාව ජනාධිපතිවරයාට බාර දී ඇත. මහාචාර්ය සරෝජ් ජයසිංහ පෙනී සිටින්නේ මෙතෙක් ව්‍යවස්ථාවේ වගන්තිවල අවධානයට ලක් නොවූ පැත්තකි. කෙරෙහිය. අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට ශ‍්‍රී ලංකාවේ ජීවත්වන පුරවැසියන්ට ප‍්‍රමාණවත් මූලික සෞඛ්‍ය පහසුකම් ලැබීමට අයිතිවාසිකමක් තිබිය යුතු බව හෙතෙම මෙහි දී අවධාරණය කරයි. රජයේ වියදමෙන් රෝගීන්ට ප‍්‍රතිකාර දෙන රෝහල් පද්ධතියක් නඩත්තු කිරීමෙන් ඔබ්බට ගිය ගැඹුරු දර්ශනයක් මෙම ප‍්‍රයත්නය තුළ ගැබ්ව තිබේ. සමාජ සමානාත්මතාවය ඇති කරන, බෙදීම් නැති කර සියළු දෙනාටම නිරෝගීව ජීවත්වීමේ අයිතිය තහවුරු කරන එකකි.
සරෝජ් ජයසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් විය. 1979 දී පත්වීම් ලබන සරෝජ් කෙටි කාලයක් තුළ ක්ෂේත‍්‍රයේ විවිධ පැති හඹා ගියේය. බි‍්‍රතාන්‍යයේ සායනික සහ පර්යේෂණ වෛදයවරයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත.
ශ‍්‍රී ලංකාව ගැබිණි මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය අඩුම තැනකට පත් කරගෙන තිබේ. ජීවිතාපේක්ෂාව ද ලෝකයේ දියුණු රටවල තැනට ලඟාවී ඇත. නමුත් අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම දුර්වලය. අඩු ආදායමක් සහිත සාමාන්‍ය ජීවන මට්ටමක් සහිත පුරවැසියන් ගේ දරුවන් ගෙන් තුනෙන් එකක් පමණ නිසි පෝෂණයකින් තොර බව පර්යේෂණ වාර්තා අනුව දක්වන අතර මහාචාර්ය සරෝජ් පෙනී සිටින්නේ මෙම තත්ත්වය වෙනස් කරන්නටය. ශ‍්‍රී ලාංකිකයන් හොඳ පෝෂණයකින් යුතු ආහාර ගැන උනන්දුව අඩු අතර දුම්කොළ සහ දුම්වැටි භාවිතාව, ව්‍යායාම හිඟකම හා අන්තරායකාරී මට්ටමකින් මත් පැන් භාවිතා කිරීම ගැටළු මතු කර තිබේ. එය සමස්ථ සෞඛ්‍ය අංශය අර්බුදයකට ලක් කරවන්නකි. බෝ නොවෙන රෝග ව්‍යාප්තියට එය බලපාන බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. මහාචාර්ය සරෝජ් ජයසිංහගේ උත්සාහය නිරෝගී බව අයිතියක් සේ සලකා ව්‍යවස්ථාවට ඇතුළු කරන්නටය. ශ‍්‍රී ලංකාව ඒ වෙනුවෙන් යම් ඉදිරිගාමී අදහසක සිට ක‍්‍රියා කළහොත් කලාපයට හෝ එයින් බැහැර එකී කාරණයෙහි ලා දුර්වල අවධානයක නිරත රටවල් ගණනාවකට එය බලවත් ආදර්ශයක් වනු නිසැකය.
මහාචාර්ය සරෝජ් දක්වන පරිදි ආහාර ඇඳුම් හා නිවාස පමණක් නොව සෞඛ්‍ය ද පුරවැසියන්ට සාධාරණ පරිදි සපයන්නට ආණ්ඩුවට වගකීමක් තිබේ. රටේ ව්‍යවස්ථාවට සෞඛ්‍ය අයිතිවාසිකම ඇතුළු කළහොත් එය තදින් අවධාරණය වනු ඇත. 2011 දී කරන ලද පර්යේෂණයකට අනුව ලෝකයේ රටවල් 191 ක් අතරින් රටවල් හැත්තැවක සෞඛ්‍ය හෝ වෛද්‍ය රැකවරණය තහවුරු කර ඇත. නොමිලේ වෛද්‍ය සේවාව සපයන්නේ එම රටවල් වලින් අතලොස්සක් පමණකි. ශ‍්‍රී ලංකාව ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් කැපවීමක නිරත නමුත් ඒ සම්බන්ධව ජාතික වශයෙන් පැහැදිලි ස්ථාවරයක් විදහා නොදක්වන දුබලතාව පැහැදිලිව තිබේ. ශාරීරික, මානසික සහ සමාජ තත්ත්ව සලකා සාධාරණ සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට ව්‍යවස්ථාවෙන් තහවුරු කිරිම එයට හොඳ උත්තරයක් බව මහාචාර්ය සරෝජ් ගේ අදහසයි. දෙස් විදෙස් අවධානයට ලක්ව ඇති මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමේ ව්‍යායාමය ගැන කියන සරෝජ් ජයසිංහ සෘජුව කියන්නේ ‘‘ මෙය හුදෙක් මගේ වෑයමක් නොව, ඒ වෙනුවෙන් පෙනී සිටින සෑහෙන පිරිසකගේ බලවත් ප‍්‍රයත්නයක් වෙනුවෙන්’’ බවය. එයින් මතු කරන්නේ ද, කාර්යයයෙහි ගෞරවය වෙනුවට ප‍්‍රතිපත්තිය ඉහළට ඔසවා තැබීමට ඇති උවමනාවයි.
නිදහස් අධ්‍යාපන ක‍්‍රමයෙන් අත පොත තබා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරයෙකු සේ මිනිසුන්ට ප‍්‍රතිකාර කරන්නට කැපවූ සරෝජ් පසු කාලයක වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්විමෙහි නිරත වන අතර අද වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අංශ ප‍්‍රධානි ධුරය හොබවයි. වෛද්‍ය අධ්‍යාපනය හා පර්යේෂණ මධ්‍යස්ථානයෙහි සමාරම්භක අධ්‍යක්ෂකවරයා වූ හෙතෙම පශ්චාත් වෛද්‍ය අධ්‍යාපනය, පර්යේෂණ සහ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සකස් කිරීම වැනි අංශ වලට දායකත්වය සපයා ඉහළ ගෞරවයක් අත්පත් කර ගෙන තිබේ. බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගරු පර්යේෂණ සහකාර ධුරය උසුලන අතර ජාතික රෝහලේ ගරු වෛද්‍ය විශේෂඥයෙකු ද වෙයි. 2002 සහ 2003 වසර වල මෙරට හොඳම පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් කිරීම ඇතුළුව ලෝකයේ කීර්තිමක් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන වල සරෝජ් පිලිගැනීමට ලක්වූ ඉහළ කීර්තිධරයෙකි. පළ කරන ලද පර්යේෂණ පත‍්‍රිකා සිය ගණනකි. උත්පාදනය කරන ලද දැනුම පොත පත පළ කර බෙදා දෙමින් සිටී. වෛද්‍ය විද්‍යාර්ථීන් සමග එකතුව ප‍්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය සහ සනිපාරක්ෂාව වෙනුවෙන් කරන ලද මෙහෙවර සුවිශේෂීය. එක පැත්තකින් සෞඛ්‍ය පහසුව අයිතිවාසිකමක් බව කියන හෙතෙම අනෙක් අතට රෝගීන් මිල දී ගන්නා බෙහෙත් වල නම සහ විස්තර සිංහලෙන් මුද්‍රණය කළ යුතුය යන අදහසක් ද වගකිව යුතු අංශ වලට ඉදිරිපත් කරමින් සිටී. කිසිම අවස්ථාවක ඖෂධ ඒජන්තවරුන්ගෙන් ලැබෙන සංචාර හෝ වරප‍්‍රසාද වලට නතු නොවන හෙතෙම සෞඛ්‍ය සේවාව ගැන ජනතාවගේ පැත්තෙන් අවධානය යොමුකරයි. නිසි සෞඛ්‍ය පහසුකම මූලික අයිතිවාසිකමක් වශයෙන් ඇති රටක සාමාන්‍ය පුරවැසියෙකු ඔසු සලෙන් මිල දී ගන්නා බෙහෙත් ටියුබ් එකක ඇත්තේ මොනවාදැයි සිංහල හෝ දෙමල භාෂාවෙන් කියවන දිනයක් උදාවුවහොත් සරෝජ් ගැන සිහිපත්වනු ඇත. ඔහු එම භාෂා වලින් විස්තර ඇතුලත් විය යුතුයැයි යෝජනා කළේ වසර දෙකකට කලින්ය. නමුත් මහාචාර්ය සරෝජ් කියන්නේ මෙම ව්‍යායාමය මගේ තනි පුද්ගල කාර්ය භාරයක් නම් නොවන බවය. ජනතාන්ති‍්‍රකත්වය ගැන හිතන්නට එය ප‍්‍රමාණවත්ය.
|