» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/09/2018 - දේශය
තම වියදමෙන් නිර්මාණ ශීල්පීන් අහසට ගෙන යන ජපන් ප‍්‍රකෝටිපතියා

ජපන් ජාතික ප‍්‍රකට ධනවතෙකු වන යූසකු මිසාවා සිය පුද්ගලික ධනය වියදම් කර එරට නිර්මාණ ශිල්පීහු කිහිප දෙනෙකු සඳ වෙත යැවීමට තීරණය කර තිබේ. ස්පේස් එක්ස් නමැති අභ්‍යවකාශ චාරිකා වේ පළමු වැඩසටහන අනුවය. එය නිර්මාණය කරගෙන යන තවත් ප‍්‍රකට ධනවත් නවෝත්පාදකයෙකු වන එලෝන් මස්ක්ය. ඔහු ගේ ෆැල්කන් රොකට් චාරිකාව 2023 දී සාර්ථක කරගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. එමගින් අභ්‍යවකාශයේ සංචාරය කරන්නට කැමැති ලෝක වාසීන්ට ආසන වෙන් කරගත හැකිවෙයි. වෘත්තීය ගඟනගාමීන් හැර සාමාන්‍ය පුද්ගලයන් ඉහළ අහසට ගමන් කරන පළමු අවස්ථාව වශයෙන් ස්පේස් එක්ස් ඉතිහාස ගත වනු ඇත. යූසකු මිසාවා එහි පළමු සංචාරකයා වශයෙන් සම්පූර්ණ යානය වෙන් කරගෙන තිබේ. තනිව ගමන් කරනවා වෙනුවට දක්ෂ නිර්මාණකරුවන් හයක් හෝ අට දෙනෙකු සිය අභ්‍යවකාශ චාරිකාවට එකතු කරගන්නා බව යුෂුකු මිසාවා ප‍්‍රකාශයට පත් කර තිබේ. අභ්‍යවකාශයේ චමත්කාරය දැක කුළුගැන්වෙන සිතිවිලි අලූත් නිර්මාණ වලට මග පෙන්වනු ඇතැයි ඔහු විශ්වාස කරන අතර චන්ද්‍රයා ගේ මහ පොලවට නොපෙනෙන පැත්ත දකින්නට ලැබෙන අවස්ථාව මහඟු ආස්වාදයක් ඇති කරනු ඇති බව යූසකු සඳහන් කරයි.

පැබ්ලෝ පිකාසෝ හඳ සමීපව දැක ගත්තානම් ඔහු අදින සිතුවම කවර ආකාරයේ එකක් වේ දැයි නොදන්නා බව කියන යුසකු ප‍්‍රකට ගීත රචක ජෝන් ලෙනන් සඳවතියට සමීප වූවා නම් ලියැවෙන ගීතය කොපමණ ආස්වාද ජනක එකක් දැයි මෙම ගමන වෙනුවෙන් අලූතින් සකස් කර ඇති වෙබ් අඩවිය ඔස්සේ හෙතෙම ප‍්‍රශ්න කරයි. යූසකු මිසාවා කලාවට ලැදි ව්‍යවසායකයෙකි. හෙතෙම අන්තර්ජාල ඇඟළුම් ව්‍යාපාරයක් පවත්වාගෙනයයි. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් වන අතර අගනා කලා කෘති එකතු කිරීමට පි‍්‍රය කරයි. එක්තරා අවස්ථාවක ඇමරිකානු ඩොලර් 110.5 ක් වැය කර සිතුවමක් මිල දී ගත් හෙතෙම එහෙයින් ලෝකයේ කලා ලැදි ජන කොටස අතර අවධානයට ලක් විය. චිත‍්‍රශිල්පීන්. ගායකයන් හෝ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන් වැනි විවිධ ක්ෂේත‍්‍රවල දක්ෂතමයන් කණ්ඩායමක් ගමනට තෝරා ගැනෙනු ඇති අතර එකම අරමුණ ගමනට පසු ලෝකයේ අති විශිෂ්ඨ නිර්මාණ බිහිකරගැනීම බව ඔහු කියා තිබේ.

ජපන් බිලියනපතියෙකු වන යූසකු මිසාවා 1988 වසරේ දී ස්ටාර් ටුඬේ නමින් නිර්මාණ අලෙවි ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර පසුව එයට වෙනස් අන්දමේ ව්‍යාපාරයට අත ගැසීය. ඔන් ලයින් මෝස්තර පෙන්වා පාරිභෝගිකයන්ට ඇඟළුම් ඇනවුම් කළ හැකි වෙබ් අඩවියක් ඇරඹීමය. එය ඉමහත් ජනප‍්‍රියත්වයට පත් විය. වසර හයක් ගතවන විට එය එරට විශාලතම ඇඟළුම් ව්‍යාපාරය බවට පත්කරන්නට හැකියාව ලැබී තිබේ. එයට අමතරව නිවසේදීම ඇඟළුම් වෙනුවෙන් මිනුම් ගන්නා අලූත් සංකල්පයක් ඇතුලත් කරන ලද අතර එයට අලූත් වෙළඳ සන්නාමයක් ද ප‍්‍රකාශයට පත් කළේය. එහි සාර්ථකත්වය මත අද වනවිට ජපානයේ පොහොසතුන්ගේ ලැයිස්තුවේ දහ හතර වැනි තැන හිමි කරගන්නට සමත්ව ඇත.

පාසල් වියේ සිට යූසකු මිසාවා ලොවට ලැදි අයෙකි. උසස් අධ්‍යාපනය ලබන අතරවාරයේ සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත් අතර ඔවුන්ගේ පළමු කැසට්පට සංගීත නිර්මාණය එළි දැක්වීය. උසස් පෙළ අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු පාසලෙන් ඉවත් වූ හෙතෙම සිය පෙම්වතිය සමග ඇමරිකාවට පිටත්ව යයි. එහි දී ද අදහස සංගීතය කෙරෙහිය. අලූත් තාක්ෂණයේ සීඞී තැටි හා රෙකෝඩර් එකතු කළ ඔවුහු නැවත ජපානයට ගොස් නවතම ව්‍යාපාරයක් ආරම්භ කළේය. එය ඔහුගේ සංගීත එකතුවට අඩංගු වූ සීඞී විද්‍යුත් තැපෑලෙන් අලෙවි කිරීමේ ව්‍යවසායයකි. ස්ටාර් ටුඬේ ව්‍යාපාරයේ ආරම්භය එතැනින් සනිටුහන් විය. සිඞී තැටී විද්‍යුත් තැපෑලෙන් අලෙවි කර ලැබූ සාර්ථකත්වය ඇඟළුම් අංශයට යොමු කළ බව සඳහන්ය. එය විශාල ව්‍යාපාරයක් බවට හැරවෙන අවස්ථාවේ දී කොටස් වෙළඳ පොල ලැයිස්තු ගත කරන්නට යූසකු මිසාවා තීරණය කළේය. කොටස් විකිණීම සමග ජපානය පුරා එයට ලැබුණ පිලිගැනීම කොතෙක් ද යත් වසර 2012 වන විට තෝකියෝ කොටස් වෙළඳාමේ ඉහළම තැනකට ඔහුගේ ව්‍යාපාරය පැමිණ තිබුණි. නිවසේ දී ඇඟට ගැලපෙන මිනුම ගෙන ගැනුම්කරුගේ අභිලාශය අනුව ඇඟළුම නිම කරන සංකල්පය එන්නේ එයින් ඉක්බිතිවය. සෝසෝ යනුවෙන් නම් කළ එය ලෝකයේ රටවල් හැත්තෑ දෙකක ප‍්‍රධාන නගර ආවරණය කළ අතර ඉහළ සමාජයේ සිත්ගත් ව්‍යාපාරයක් විය.

මිසාවා තමන් උපයන ධනය ගැන පමණක් නොව එම ධනය වියදම් කර සමාජය තුළ වින්දනයක් ඇති කරන අයෙකි. රසාස්වාදනය ගැන අවධානය යොමු කළ පුද්ගලයෙකි. පාසල් වියේ සිටම කලාවට සංගීතයට තිබුණ නැඹුරුව එයට හේතු වූවා නිසැකය. හෙතෙම තෝකියෝ නගරයේ කලා පදනමක් අරඹන ලද අතර එය නූතන කලා භාවිතාව වෙනුවෙන් කරන ලද මෙහෙවරක් සේ ජපාන වැසියෝ ගරු කරති. තරුණ පරපුරට පෝෂණය වී ඉදිරි පරම්පරාවේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණාභ්‍යාසයෙහි යෙදෙන්නට එතැනින් දක්වන ලද අනුග‍්‍රහය ඉතාම වැදගත් එකක් විය. පදනම දෙවසරකට වතාවක් කලා උත්සවයකට අනුග‍්‍රහය දැක්වීය. එහි එළි දක්වන නිර්මාණ මිල දී ගැනීමට රසිකයෝ එකතු වෙති. 2016 වසරේ දී එහි නම් නොකරන ලද චිත‍්‍ර නිර්මාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 57.3 කට මිල දී ගෙන මාධ්‍ය අවධානය පැහැරගත් යුකුෂු මිසාවා එයින් පසුව පැවැත්වූ කලා ප‍්‍රදර්ශනයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 110.5 ක් ගෙවා වෙනත් නිර්මාණයක් මිල දී ගත්තේය. ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් උපයන ධනය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කිරීම ගැන හෙතෙම බෙහෙවින් අගය කිරීමට ලක්ව තිබේ. ඔහු සතුව ඇති අගනා නිර්මාණ එකතුව සහිත කලාගාරයක් ජපානයේ ඉදිකිරීමට යූසකු මිසාවා අදිටන් කරගෙන සිටී. ස්පේස් එක්ස් වැඩ සටහනට එකතු වෙන්නේ එයින් අනතුරුවය.

ස්පේස් එක්ස් නිර්මාතෘ එලොන් මස්ක් සංචාරකයන් අභ්‍යවකාශයට ගෙනයන සංකල්පය ගැන සිහින මැවූ අතර එය අතිවිශාල වියදම් සහගත කාර්යයක් වන හෙයින් ප‍්‍රමාද වෙමින් තිබුණි. යූසකු මිසාවා එලොන් මස්ක් ගේ අධිෂ්ඨානය සාර්ථක කරන්නට සහාය වෙන්නේ සිය ධනය වෙන් කරමින්ය. පළමු ගමන සිය වියදමෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරගනිමින්ය. විශිෂ්ඨ හදවත් සහිත ධනවත් පුද්ගලයෝ ජන සමාජයේ යහපතට සිය කැමැත්තෙන් ධනය පරිත්‍යාග කිරීමට වඩා වෙනස් සංකල්පයක් වශයෙන් එය හැඳීන්වීමට හැකිය. එලොන් මස්ක් ගේ අභිප‍්‍රායට වාරුවක් වන අතර කලාශිල්පීන් ගමනට සම්බන්ධ කර ගැනීමෙන් ඔවුන්ගේ සිතිවිලි වෙනත් පැත්තකට යොමු කර නවතම නිර්මාණ බිහි කරගැනීමේ ප‍්‍රයත්තයක් ද සහිතය. යූසකු මිසාවා ගැන ජාත්‍යන්තර අවධානය යොමු වීමට එය ප‍්‍රබල හේතුවකි.