» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/07/2017 - දේශය
ජෝන් මැකේන් ගේ අභීත ජීවිතය

ඇමරිකානු ආරක්ෂක අංශ වලට පැනවී ඇති අලූත් නියෝගය ආන්දෝලනාත්මකය. ස්තී‍්‍ර පුරුෂ භාවය සම්බන්ධ විපර්යාසවලට පත්ව ඇති ඇමරිකානු පුරවැසියන් හමුදා සේවයට බදවා ගත යුතු නැති බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ නියමය වී තිබේ. යුද බිමේ දීර්ඝ අත්දැකීම් ඇති සෙනෙට් සභික ජෝන් මැකේන් ක්ෂණිකව එයට ප‍්‍රතිචාර දක්වයි. සටන් කරන්නට, පුහුණුවෙන්නට හෝ ඉදිරියට යන්නට දිරිය ඇති සෙබළුන්ට ඔවුන්ගේ ලිංගිකත්වය සලකා ආරක්ෂක සේවා වලින් ඉවත් කළ යුතු නැති බව හෙතෙම ප‍්‍රකාශ කර ඇත. මැකේන් කියන්නේ රටට සේවය කරන්නට බලා ඉන්නා ධෛර්යවන්තයන්ගේ තත්ත්වය උසස් කිරීම හා ඔවුන්ට අවස්ථාව සම්පාදනය හැර අපට කළ හැකි අන් යමක් නැති බවය.

දරුණු පිළිකාවකින් පීඩා විඳින මැකේන් තවමත් ඇමරිකාවට ආභරණයකි. සටන් බිම හොඳට හුරු පුරුදු මැකේන් වරක් අමෙරිකාව වියට්නාමයට විරුද්ධව සටන් මෙහෙයවන අවස්ථාවේ දී ඔහු ගමන් කළ ගුවන් යානයට මිසයිලයක් වැදීමෙන් පසු වියට්නාමයේ සිරකරුවෙකු බවට පත් විය. අත් දෙකම සහ එක කකුලකුත් බිඳුණ මැකේන් එරට හැනොයි සිරකඳවුරට පත් අතර වසර පහමාරක් හෙතෙම වියට්නාමයේ සිරද`ඩුවම් වින්දේය. බරපතල වධ වේදනා වලට ගොදුරු වූ බව සඳහන්ය. නමුත් නිදහස ලබා ඇමරිකාවට පැමිණි හෙතෙම දශක කිහිපයකට පසු අමෙරිකානු සෙනෙට් සභාව නියෝජනය කරමින් සිටිය දී වියට්නාමය දියුණු කරන්න ආධාර කරන්නට අවශ්‍ය බව කියා සිටියේය. ඔහුගේ ජීවිත පසුබිම දන්නා දේශපාලන නායකයන් පුදුමයෙන් ඔහු දෙස බලන ලද නමුත් මැකේන්ගේ අභ්‍යන්තරය දන්නා පුද්ගලයන් ඒ ගැන මවිත වූයේ නැත.

1936 අගෝස්තු 29 දා උපන් මැකේන් මුලික අධ්‍යාපනය ලැබීමෙන් පසුගුවන් හමුදාවට බැඳීණි. 1958 වසරේ දී අමෙරිකා නාවික ඇකඩමියේ උපාධිය ලබාගෙන නාවික නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ඇරඹීය. මැකේන්ගෙ පියා අමෙරිකන් නාවික හමුදාවෙ තරු හතරක් දිනා ගත් අද්මිරාල්වරයෙකු වූ අතර සීයා ද තරු හතර දිනූ නාවික හමුදා කමාන්ඩර්වරයෙකු බව සඳහන්ය. දෙවන ලෝක යුද්ධයේ සිට පරම්පරා තුනක් රටට සේවය කරන ලද මෙවන් අය විරල බව ඇමරිකානු ආරක්ෂක ඉතිහාසය ගවේශනය කරන පර්යේෂකයන් පෙන්වා දෙන කරුණකි.

වියට්නාමයේ හිර කඳවුරෙන් නිදහස්ව නැවත සිය දේශයට පැමිණි මැකේන් හමුදා සෙබලූ පුහුණු කිරීමෙහි නිරත විය. අමෙරිකානු සෙනෙට් සභාව සහ නාවික හමුදාවත් අතර සම්බන්ධතා නිලධාරියා වශයෙන් සේවය කළ අතර විශ‍්‍රාම ගිය මැකේන් අවධානය යොමු කළේ සෙනෙට් සභාවට එකතු වීමෙන් රටට සේවය කළ හැකිය යන අදහස කෙරෙහිය. අමෙරිකන් පාලනයට යටත් පැනමා ඇල ප‍්‍රදේශයේ පිහිටි කොකෝ සෝලෝ කියන ප‍්‍රදේශයේ උපත ලැබූ මැකේන් ඇරිසෝනා ප‍්‍රාන්තයෙන් සෙනෙට් සභාවට පත් විය. අඛණ්ඩව ජනතාව සමග සිටි හෙතෙම සෑම ඡුන්දයකින්ම ජය අත්කරගත් අතර 2000 වසරේ දී රිපබ්ලිකන් පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයන් තෝරන අවස්ථාවේ දී ජෝජ් බුෂ් සමග පක්ෂ අපේක්ෂකත්වයට තරග වැදිණි.

මැකේන් දේශපාලනට පැමිණි නමුත් එඩිතරව අදහස් පළ කරන චරිතයක් වශයෙන් ප‍්‍රකටය. ඇතැම් අවස්ථාවල රිපබ්ලිකන් පක්ෂයේ අදහස් වලට වෙනස් අන්දමට තම මතය ඉදිරිපත් කළ අවස්ථා එමටය. නිදහස්ව අදහස් දක්වන හෙයින් පක්ෂය තුළ පමණක් නොව විපක්ෂ දේශපාලනඥයන් අතරත් මැකේන් වෙනස් පුද්ගලයෙක් විය. සත්‍ය වෙනුවෙන් පෙනී සිටි හෙතෙම හැම දෙනෙක් අතරම ගෞරවයට පාත‍්‍ර වූ චරිතයකි. මූල්‍ය ප‍්‍රතිසංස්කරණ, ආගමන විගමන ගැටළු සහ සිරගතව සිටින රැුඳවුම්කරුවන් සම්බන්ධයෙන් මැකේන් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා තද අවධානයට ලක්වුණ බව සදහන් කළ යුතුය. මැතිවරණ වියදම් වලට සමාගම් වලින් මුදල් ගැනීම සහ පසුව එම සමාගම් වල ඕනෑ එපාකම් වලට අනුව හැසිරීම ගැන තදින් පිළිකුල් කළ මැකේන් තනි පණතක් ගෙන ආ අතර රිපබ්ලිකන් පක්ෂය කැමැත්ත නැති නමුත් මහජන සංවිධාන, නිදහස් මතධාරීන් ඒ වෙනුවෙන් එකතු කර ගත්තේය. විපක්ෂ සෙනෙට් මන්තී‍්‍රවරුන් ද සම්බන්ධ කරගෙන එම යෝජනාව සම්මත කර ගන්නට මැකේන් සමත්විය. ඇමරිකාව ඉරාකයට එරෙහිව හමුදා යවන්නට තීරණය කළ අවස්ථාවේ දී හෙතෙම එම තීරණයට සම්පූර්ණ සහයෝගය දුන් අතර ප‍්‍රජාවගේ මානව හිමිකම් ප‍්‍රශ්න හමුවේ නැගී සිටියේය. මේවායෙන් පෙන්වන්නේ ඔහු ස්වාධීන චින්තනයක් අනුව හැසිරුණ නායකයෙකු බවය.

කලූ ජාතිකයෙකු වශයෙන් බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට එරට සමාජය සැකයෙන් සිටි බව නොරහසකි. ප‍්‍රචාරක කටයුතු අතරතුර ඇමරිකානු කාන්තාවක ඔබාමා ආවොත් රටට බයක් ඇතිවෙන බව ප‍්‍රශ්නයක් සේ එල්ල කළ විට ඒ වන විට ඔබාමාට විරුද්ධව ඡුනාධිපතිවරණ ප‍්‍රචාරණයෙහි යෙදී සිටි මැකේන් ක්ෂණයකින් කියා සිටියේ ‘‘මම ඔබාමා ට විරුද්ධයි. නමුත් ඔහු හොඳ මහත්මයෙක්’’ කියාය. බලයට පත් වූ ඔබාමා තමන්ගේ නිල කාලය හමාර කර විශ‍්‍රාම සුවයෙන් සිටින අතර මැකේන් ගේ වචන අදත් වටිනාකමක් ඇති ඒවා සේ දිලිසෙමින් පවතී. මැකේන් කෙසේවත් පටු දේශපාලන අදහස් වලින් පිරි වචන සමාජයට දමා ගැසුවේ නැත. ඔබාමා හොඳ මහත්මයෙක් කියා අගය කළ නමුත් නොබෝදා ඔබාමා ගේ සෞඛ්‍ය සුබසාධන පණත දියත් කරන්නට ඩොනල්ඞ් ට‍්‍රම්ප් යෝජනා කරන විට රිපබ්ලික් මතය නොසලකා ට‍්‍රම්ට සහාය දුන්නේ ඔහුගේ මැකේන්ගේ තීරණය ඉතාමත් තීරණාත්මත අවස්ථාවකය. එසේ නමුත් ට‍්‍රම්ප් අනුගාමිකයෙකු නොවූයේ මුලින් ද සඳහන් කරන ලද පරිදි ඇමරිකානු හමුදාවේ බඳවාගැනීම් ගැන ට‍්‍රම්ප් ගේ මතය පැත්තකට වීසි කිරීමෙන්ය. මේවා පෙන්වන්නේ ජෝන් මැකේන් අදීන අභීත චරිතයක් වගය.

ජෝන් මැකේන් ඉන්ටනැෂනල් රිපබ්ලිකන් යුනියන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති වශයෙන් පත්විය. එයින් ලෝක ප‍්‍රජාවට කරන ලද සේවාව විශාලය. කාන්තාවන්ට හා තරුණන්ට නායකත්ව කුසලතා වර්ධනය කරන්න, රටවල්වල යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යාප්ත කරන්න පමණක් නොව විවිධ රටවල මැතිවරණ නිරීක්ෂණය කරන්න ද මෙම සංවිධානයෙන් සේවාවක් සිදුවෙයි. 1982 දී රොනල්ඞ් රේගන් ඇති කළ මේ සංවිධානයේ අද වන විට සාමාජික රටවල් සිය ගණනකි.

ඔහු පෙන්වන ලද නායකත්වය අගය කළ අයිසෙනොවර් ආයතනය සෙනෙට් සභික මැකේන් විශේෂ සම්මානයෙකින් පුද කළ අතර මැකේන් ගේ වියට්නාම් ජීවිතයේ මතක සටහන් පසුබිම් කරගෙන චිත‍්‍රපටියකුත් නිෂ්පාදනය කළේය. ‘‘ෆේත් ඔෆ් මයි ෆාදර්ස්’’ නමින් නිපදවන ලද මෙම චිත‍්‍රපටිය 2005 ප‍්‍රදර්ශනය වෙන විට මැකේන් ගේ වියට්නාම් ජීවිතයේ වීරත්වය මැනවින් කියැවෙන්න පටන් ගත් බව සඳහන් කළ යුතුය.

මැකේන් අධික හිරු රුස් මැද සිටි හෙයින් යැයි වෛද්‍යවරු අනුමාන කරන සමේ පිලිකාවකින් දීර්ඝ කාලයක් පෙලෙන මැකේන් එය එපමණ බරපතල දෙයක් නොවුනත් තුන් හතර වතාවක් ප‍්‍රතිකාර ගෙන තිබේ. මෙම රෝගය ගැන ප‍්‍රචාරක වැඩසටහන් වලට ඉදිරිපත් වූ හෙතෙම ඒක තමන්ගෙ යුතුකමක් යැයි කියයි. නමුත් අද වන විට එයට නොදෙවෙනි දරුණු පිලිකාවක් ද වැළඳී තිබේ. මෛම ධෛර්යවන්ත මනුස්සයා තවත් ජීවත් කළ යුතු බව ඇමරිකානු සමාජය විශ්වාස කරයි. ඔහුගේ අත්දැකිම් අලලා ඔහු පොත් හතක් ලියා ඇත. ඒවා කියවන බොහොම දෙනෙක් ඔහු තුළ ජීවත්වෙන අපූරු චරිත විඳින්නෙ ඉමහත් කැමැත්තෙන් බව නිසැකය.

පරම්පරාවෙන් උරුමකරගත් ශක්තියක් ඇති පුද්ගලයෙක්, යුධබිමේ වීරයෙක්, යටත්වෙලා සිටි හිරකරුවෙක්, පස්සෙ දේශපාලනඥයෙක් බවට පත්වුන මේ නිදහස් මතධාරියාගෙ ගමන ගැන ඇමරිකානු සමාජය දකින්නෙ විවිධ කෝණ වලින්. දැන් දැන් තාක්ෂණය දියුණු වීමත් එක්ක අලූත් අදහස් දරණ විකල්පයක් ඇතිව වෙනස් විදියට හිතන කණ්ඩායමක් මුලූ ලෝකෙම එකතු වෙලා ඉන්නවා. මේ අය තමන් මැකේන් ව්‍යාපාරය ලෙස හඳුන්වන්නත් ඉදිරිපත්වෙලා. එය එපමණකට ප‍්‍රකට චරිතයක්. ගැටුම් වාද බේධ හරහා අනන්‍යතාවයෙන් ඈත් වෙන්න සිද්ධ වීම ගැන කම්පා වෙන බොහොම දෙනෙක් අද එකතු වෙන්නෙ පක්ෂ පාට නැති, යහපත් අදහස් මත පදනම් වූ අලූත් ලෝකයක් ගොඩනගන බලාපොරොත්තුවෙන්. ඇමරිකානු සමාජය ඔහු අනුගමනය කරන්නේ ඔහු හරි දේ කළ හෙයින්වත් නොඑසේනම් ඔහු හරි මාවතේ ගමන් කළ හෙයින්වත් නොවේ යැයි සී.එන්.එන්. නොබෝදා ප‍්‍රකාශ කළේය. එහි දක්වන්නේ හෙතෙම වැටි වැටී නැගිටිමින් පළකළ ශක්තිය මහත් බවය.