» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/10/2017 - දේශය
අභියෝග දිනන්නට සමත් අර්ලින් කැජේ

දුෂ්කරතා මධ්‍යයේ බාධක තරණය කිරීම පහසු කාර්යයක් නොවේ. මිනිසුන් කිසිසේත් පය නොතබන්නට සිතන ගිරි ශිඛර සොයා ගොස් ජීවිතය පරදුවට තබා ඒවායෙහි තම දෙපා සලකුණු කරන්නට වෙහෙස වූ අර්ලින් කැජෙ වර්තමානයෙහි ඉතා විශිෂ්ඨ ගවේශකයෙකු සේ නමක් දිනාගෙන ඇත. මෑත වසර විසි පහ තුළ දුෂ්කරතා මැද හෙතෙම මිහි තලයේ නොකිළිටි තැන් වල අති මහත් වෙහෙසක් දරමින් සැරිසරන ලද බව වාර්තා වෙයි. ඒවායෙන් පිහිටුවන ලද ගවේශණයෙහි නව ප්‍රමිති ලෝක වාසීන්ගේ අවධානය ඉහළින් අත් පත් කරගන්නට හේතු වී තිබේ.

අර්ලින් කැෙජ් නෝර්වේ ජාතිකයෙකි. හෙතෙම ගවේශණ කාර්යයේ දී හුදෙකලාවට ප්‍රියකරයි. අවදානමක් සහිත ගවේශණශීලී සංචාරවල දී ගුප්ත නිෂ්ශබ්ධතාවයට කැමැතිය. සුළඟකින් හෝ තමන්ගේ අවදානම බිෙඳනවාට අකමැතිබව ඔහු කියා තිබේ. ඉතාමත් දැඩි පරිශ්‍රමයකින් කඳූ නගින විට නොඑසේනම් ලෝකයේ එක් කෙළවරක ශීතල ග්ලැසියර හරහා ඇවිද යන විට මානසික ඒකාග්‍රතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව තිබේ. එය දුෂ්කර ව්‍යායාමයකි. සාමාන්‍ය ජන කොටස් සිහිනයෙන්වත් නොසිතන තැන් වල සංචාරය කරන අර්ලින් එයින් ලබන අත්දැකීම් ජන සමූහයා සමග ඛෙදා හදාගනිමින් සිටියි. එයින් හෙළිදරව් වන අලූත් පැති අති විශිෂ්ඨ ගවේශණ වශයෙන් ඉතිහාසයට එකතු වී තිබේ.

තමන්ගේ ගවේශණය හුදෙකලාව කරන්නට ප්‍රිය නමුත් අර්ලින් සිට බිරිඳ හා දියණියන් තිදෙනා සමග ඔස්ලෝ නගරයෙහි පිහිටි සුන්දර නිවසක ජීවත්ව සිටිති. තනිව සැරිසරන විට තමන්ට නිවසක් හිමි බව මතකයට එන අතර එහෙයින් අත්දැකීම් සමග ආපසු ගෙදර එන්නට ආසාවක් ඇති වන බව අර්ලින් කැජෙ වරක් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. කොතැනක හෝ ඇවිද යන්නට නොලැබුණහොත්, අපහසු තැනක් තරණය කළ නොහැකි නම් සහ ගඟක හෝ සාගරයක යාත්‍රා කළ නොහැකි නම් එහි දොරටු වැසී ඇති බව තමන්ට දැනෙන බව මෙම අපූරු ගවේශකයා තවත් අවස්ථාවක දී කියා තිබේ.

අර්ලින් සිය ගමන් සගයෙකු සමග උතුරු අර්ධගෝලයේ අන්තිම කෙළවරට ගමන් කළ පළමු ගමන වාර්තාගත එකකි. ආර්ක්ටික් සාගරයේ මුහුදු හිම කඳූ අතර මැද පිහිටි මෙම ස්ථානය ලෝකයේ ළඟාවීමට අපහසු ස්ථාන අතරින් ප්‍රධාන තැනෙක ලා සැලකේ. ඇලස්මා දූපතින් ගමන් අරඹන ලද හෙතෙම හිම මත ඇවිදින මෙවලම් ආධාරයෙන් සැතපුම් අටසියයක් දුර ගෙවා උතුරු අර්ධ ගෝලයේ කෙළවරට ළඟාවන විට දින පනස් අටක් ගත වී තිබුණි. එය ඉතාමත් ආයාසයෙන් නොනැවතී කරන ලද වෙහෙසකර ගමනකි. එයින් නොනැවතුන හෙතෙම උතුරු අර්ධ ගෝලය තරණය කර කාලය වසර තුනක් ඉක්මයන්නටත් කලින් එයින් ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටි ලෝකයේ දක්ෂිණ අර්ධ ගෝලය සාර්ථකව තරණය කරන ලද බව දැක්වේ. නොනැවතී දින පනහකින් අවසන් කළ කිලෝ මීටර් 814 ක් දුර ගෙවන ලද එම ගමන බාහිර සන්නිවේදන උපකරණ කිසිදු දෙයක් රහිතව හුදෙකලාව කරන ලද විස්මිත ගවේශන චාරිකාවක් සේ සැලකේ. එයින් කෙටි කාලයක් ගෙවෙන්නට කලින් එවරස්ට් තරණය කරන ලද අර්ලින් ලෝකයේ ළඟාවිය නොහැකි තුන් කෙළවරක් තරණය කරමින් එය කරන ලද එකම ලෝකවාසියා බවට ද පත්ව ඇත. එය විස්මිත ජයග්‍රහණයකි.

ලෝකයේ පුදුමාකාර තැන් ගවේශනය කරන්නට යුහුසුළු වන අයෙකු වන අර්ලින්, එහෙයින්ම ටයිම්ස් සඟරාව කවරයේ කතාවක් ලියා ලෝක පූජිත චරිතයක් බවට පත් කළේය. ගවේශණයෙහි අත්දැකීම් හෙයින් ම බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය ඉගෙනගන්නට අවස්ථාව ලැබුණි. කවුරුත් නොදන්නා භයානක ගමන් වල නිරත වූ ගමන් විස්තර අලලා ලියන ලද පොත් ප්‍රකාශයට පත්කරන්නට ද නැඹුරු විය. මුලින් කතුවරයෙකු වූ හෙතෙම තමන්ගේම ප්‍රකාශන සමාගමක් අරඹන ලද අතර එහි සාර්ථකත්වය හෙයින් ප්‍රකාශකයෙකු ද විය. එහි ප්‍රගතිය පදනම් කරගනිමින් පසු කාලයක නෝර්වේ හි පැරණිම පොත් ප්‍රකාශන ආයතනය මිලදී ගන්නට ද සමත් වූ බව ද සඳහන් කරන්නට අවශ්‍යය. ඔහුගේ නමින් පොත් හයක් පළ කරන ලද අතර ගවේශන වාර්තා, දර්ශනය හා කලාව ඇතුලත් එම කෘති ලොව පුරා විශාල වශයෙන් අළෙවි වූ අතර සෑහෙන භාෂා ගණනකට පරිවර්තනය කර තිබේ. පසුගිය වසර අවසන් වන විට ඔහුගේ ප්‍රකාශක ආයතනයෙන් පළ කරන ලද පොත් ප්‍රමාණය සියය ඉක්මවා ඇති බව තොරතුරු අනාවරණය කරයි.

ගවේශන චාරිකා කෙරෙහි ඇල්මක් දැක්වූ සාමාන්‍ය තරුණයෙකු වූ අර්ලින් මුල් කාලයේ දී එතරම් ජන අවධානයට ලක් නොවූ චරිතයකි. කුඩා කඳූ වැටි තරණය කරමින් සහ සාගරය ඔස්සේ ගමන් කරමින් තමන්ගේ අනන්‍ය පදනම නිර්මාණය කරගත් හෙතෙම තම අභියෝගාත්මක වෘත්තීය දක්ෂතා ක්‍රමයෙන් දියුණු කරගත්තේය. දිනෙන් දින හොඳ හැටි පදම් වූ ඔහු සියළු උපකාරක සේවා අත්හැර තනිව ගවේශන ගමන් කරන්නට තීරණය කළේය. එය ගවේශකයන් අතර සුලබව වාර්තා නොවන තත්ත්වයකි. දේශ ගවේශකයන් වශයෙන් කීර්තියක් ඇති ඇතැම් අයවලූන් නවීණ තාක්ෂණය සහ සහායක කණ්ඩායම් පිරිවරාගෙන හොඳම පහසුකම් යටතේ ගවේශනයෙහි යෙදන බව විචාරකයෝ කියන්නට පටන්ගෙනන තිබේ. අවදානමක් ඇති විට ගලවාගන්නට කණ්ඩායම් සහිත මෙම ගවේශණ වල අර්ථය කුමක්දැයි ඇතැමි විචාරකයන් ප්‍රශ්න කරන බව පෙනේ. එසේ තිබිය දී අඩුම තරමින් දුරකථනයක් වැනි සන්නිවේදන උපකරණ භාවිතයෙන් ද ඈත් ව, ජීවිතය ගැන ඇති බරපතල අවදානම නොතකා ඉතාම ඉවසිල්ලෙන් ගිරි හිස් මුදුන් තරණය කර ලෝකයේ ඉහළටම පැමිණි විශේෂිත චරිතයක් බවට අර්ලින් පත්ව සිටී.

1963 ජනවාරියේ දී උපන් අර්ලින් උසස් අධ්‍යාපනයට පසු ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් නීතිය හදාරා උපාධිය ලද අතර නීති වෘත්තියට ප්‍රවේශ වී කෙටි කාලයක් සේවය කර ඇත. ප්‍රකට කම්හලක වසර දෙකක් වැඩ කළ ඔහු එය තමන්ගේ උරුමය සේ නොකසලකා කඳූ, සාගර, හිම කඳූ අතර තමන්ගේ සිහිනය සොයා ඇවිදින්නට තීරණය කළේය. හීනයක් ඇත්නම් එය හැබෑ කරගන්නට මහනිස් විය යුතුබව ඔහුගේ ආදර්ශ පාඨයයි. සාර්ථක පුද්ගලයෙකු සේ ලෝකය පුරා පිලිගැනීමටලක්ව ඇති ඔහු අද ගවේශණයෙහි නිරතවන අලූත් පරපුරට මග පෙන්වයි. ලෝක ප්‍රකට සමාගම් තමන් වෙත පැමිණ අත්දැකීම් විග්‍රහ කරන්නැයි කරන ලද ආරාධනා පිලිගනී. අභියෝග පැත්තකට කරමින් ළ`ගා විය නොහැකි තැනක් නැති බවට ඔප්පු කළේ කෙසේ දැයි සාකච්ඡා කරයි. හුදෙකලාව එනම් තමන් පමණක් ලෝකයේ නොදන්නා බිමක තනිවී උත්සාහය අත් නොහැර එක අරමුණකට ගමන් කිරීම පහසු නැත. නමුත් එය කළ හැකිබව ලෝකයේ ළඟාවීම අපහසු යැයි සම්මත ස්ථාන තුනකට ගමන් කර අවසානයේ දී එය කළ හැකි බව ඔප්පු කර තිබේ. තමන්ට කරන්නට නොහැකි දේ එපමණක් නොව සිහිනයෙන්වත් හිතන්නට බැරි දේ කරන්නට සමත් වූ වීරයන්ට ජනතාව කැමැතිය. ඔවුන් විශ්වාසයෙන් කියන තොරතුරු විස්මයෙන් අහගෙන ඉන්නට සූදානම්ය. අර්ලින් ගේ චාරිකා පමණක් නොව ප්‍රකාශණ ආයතනය ද ලොව හිස් මුදුනින් පිලිගන්නා තවත් තැනක් බවට පත්ව ඇත්තේ ඒ අනුවය.