» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/07/2018 - දේශය
සපත්තුවෙන් ලෝකය ජයගත් ව්‍යාපාරිකයා‍

කි‍්‍රස්ටියාන් ලූබටාන් ප‍්‍රංශ ජාතික සුපිරි ව්‍යවසායකයෙකි. පතුල එනම් පොලවේ ගැටෙන කොටස රතු පැහැයෙන් යුතු පාවහන් නිෂ්පාදනය කිරීමේ සම්පූර්ණ අයිතිය ඔහුට ඇත. ලෝකය පුරා කොතැනක හෝ එවැනි පාවහන් යුවලක් පැළඳී අයෙකු වෙතොත් ඉතාම ධනවතෙකි. එයට හේතුව අනන්‍ය මෝස්තර අනුව ඉතාම මිල අධික පාවහන් විශේෂයක් වශයෙන් අලෙවි කිරීම බව සඳහන් කළ යුතුය. ලෝකය පුරා රටවල් තිහක පාවහන් අලෙවිකරන වෙළඳ සැල් විශාල ප‍්‍රමාණයක් හිමි කරගෙන සිටින ක‍්‍රිස්ටියාන් සිය වෙබ් අඩවිය ඔස්සේ අන්තර් ජාලයෙන් ද කාන්තා හා පිරිමි පාවහන් සහ අත්බෑග් අලෙවි කරයි. ඒවා ධනවත් සමාජයට පමණක් මිල දී ගත හැකි රතු වර්ණයෙන් යුතු අඩිය සහිත නිෂ්පාදන වශයෙන් සැලකේ.

ලෝක ප‍්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙකු ද වන කි‍්‍රස්ටියාන් ලූබටාන් තම දෙමාපියන් හා සහෝදරියන් ඇතුළු පවුල ඇතුලත පිටස්තරයෙකු වශයෙන් කල්පනා කරයි. ශරීර වර්ණය අනුව තමන් ප‍්‍රංශ දෙමාපියන්ගේ නොවන බව හිතන හෙතෙම පසුබිම සොයා ගිය ගමන අවසානයේ දී ඊජිප්තු ජන්මයක් සහිත බව තරයේ විශ්වාස කරයි. වයස අවුරුදු දොලහ වන විට තුන් වතාවක් පාසලෙන් කට්ටි පැන ඉගෙනීම අඩාල කරගත් හෙතෙම ඒ වන විට නිවසින් ද ඉවත් වී මිතුරෙකු ගේ නිවස වාසස්ථානය වශයෙන් තෝරාගෙන සිටියේය.විධිමත් අධ්‍යාපනය මගහැරී කල්ලි කණ්ඩායම් හා එකතු වූ කි‍්‍රස්ටියාන් ලූබටාන් ප‍්‍රකට උප සංස්කෘතියක සාමාජිකයෙකු වී සිටියේය. බාල වියේ දී කල්ලි ගැසී වෙනම ජීවත් වූ නමුත් ඔහු තුළ සැඟවී තිබුණ කුසලතා යටපත් වූයේ නැත. තනිවම ඉරිකෑලි අඳිමින් සැලසුම් නිර්මාණය කළේය. ඒවායෙන් බොහෝමයක් සපත්තු මෝස්තරවීම එක්තරා අහම්බු සිදුවීමකි. චිත‍්‍රපටවල රඟපෑමේ දී සුළු චරිතවලට එකතු වූ ඔහු සංගීත කණ්ඩායම් වලට වේදිකාවේ පිටුපස දී සහාය වෙමින් අමතර ගණනක් උපයා ගත්තේය. පැරිස් නගරයේ ප‍්‍රකට කලාගාරයකට ප‍්‍රවේශ වූ කි‍්‍රස්ටියාන් ලූබටාන් එතැන දී චිත‍්‍ර ඇඳීමේ ශිල්පය ගැන සුළු අධ්‍යාපනයක් ලබා තිබේ.

සපත්තු මෝස්තර නිර්මාණය ගැන අත්දැකීමක් ලැබෙන්නේ 1976 දීය. එවකට ඔහුගේ වයස අවුරුදු දොලහකි. කලාගාරයක අසිරිය විඳිමින් සිටි ඔහු එතැනට ඇතුළු වූ අප‍්‍රිකානු කාන්තාවන් පැළඳ සිටි පාවහන් වලින් එහි පොලවේ ඇති කරන පලූදු කිරීම් නිරීක්ෂණය කළේය. එම පාවහන් පැළඳ කලාගාරයට ඇතුළුවීම වැලැක්වීය. සම්මතයෙන් බැහැර යමක් නිර්මාණය කරන්නට කි‍්‍රස්ටියාන් ලූබටාන් එහිදී කල්පනා කළේය. කාන්තාවන් ගේ ගමන ආත්ම විශ්වාසය තහවුරු කරන පහසු එකක් කරන්නට හොඳ පාවහන් යුගලයකට හැකි බව තේරුම් ගත්තේය. එය එක්තරා අන්දමකට කාන්තා නිදහස ආරක්ෂා කරන ප‍්‍රයත්නයක් වූ බව පසු කාලයක පැරණි අත්දැකීම් සිහිපත් කරමින් හෙතෙම සඳහන් කර තිබේ.

බාල වියේ දී ම ඊජිප්තුවට ගිය කි‍්‍රස්ටියාන් ලූබටාන් පසුව ඉන්දියාවට සංචාරය කළේය. 1981 අවුරුද්දේ දී ආපසු පැරිසියට පැමිණි අතර තමන් නිර්මාණය කර තිබුණ කාන්තා පාවහන් සැලසුම් එකතුව අනුව තීරණයක් ගැනීමට කල්පනා කළේය. සපත්තු නිෂ්පාදකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් සිය නිර්මාණ බෙදා දුන් හෙතෙම එයින් කිසියම් අත්දැකීමක් ලැබීය. අඩිය උස පාවහන් කෙරෙහි ඔහුගේ නිර්මාණ වල වැඩි තැනක් වෙන්වී තිබුණි. 1991 අවුරුද්දදේ දී තමන්ගේම පාවහන් සාප්පුවක් ආරම්භ කිරීමට තරුණ කි‍්‍රස්ටියාන් සමත්විය. ඔහුගේ පාවහන් මිල දී ගත් ප‍්‍රකට කාන්තාවක් ඒවා ගැන පුවත්පතක මෝස්තර පිටුවකට කතා කළාය. එම සඳහන සපත්තු වලින් ලෝකය පුරා නමක් දිනන හැරුවුම් ලක්ෂය බවට පත්විය. ක‍්‍රමයෙන් කි‍්‍රස්ටියාන් ලූබටාන් ගේ මෝස්තර ධනවත් කාන්තා සමාජය වසඟ කළේය. එකිනෙකට වෙනස් මෝස්තර නිසා පළඳින කාන්තාවන් හැමවිටම සමාජයේ සුවිශේෂ තැනක් අත්පත් කරගත්තාය. විශේෂයෙන් මෝස්තර සපිරි පැරිස් නගරයට ක‍්‍රිස්ටියාන් ගේ පාවහන් කදිම සංකලනයක් විය. ධනවත් කාන්තාවෝ විවාහ උත්සවයේ දී ඔහුගේ නිර්මාණ ඇනවුම් කළේය. එක්තරා සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් ඔහුගේ පාවහන් පළඳන ලද ගායිකාවක් ජනප‍්‍රියත්වයට පත් කළේය. ඒවා කි‍්‍රස්ටියාන් ගේ ජයග‍්‍රහණයට හේතු විය. ඇදුම් වලට ගැලපෙන, කාන්තාවන් ගේ දෙපා උස්ව හැඩවට පෙන්වන අලංකාර මෝස්තර වේගයෙන් ජනපි‍්‍රය වූ අතර ඒවා වෙනුවෙන් විශාල ඉල්ලූමක් තිබුණි.

එක්තරා විවේක දවසක ක‍්‍රිස්ටියාන් සිය පාවහන් අලෙවි සැලේ සේවිකාවක් රතු ආලේපන නියපොතු වල ගල්වමින් සිටින අවස්ථාවක් නිරීක්ෂණය කළේය. එය අලූත් නිර්මාණයකට හේතු වූ අතර අලූතින්ම නිෂ්පාදනය කළ හම් සපත්තුවක අඩිය රතු පැහැයෙන් පින්තාරු කර අලෙවියට තැබීය. නොසිතූ ඉල්ලූමක් එයට හිමිවිය. ඒ වන තෙක් සපත්තුවක මතු පිට පෙනුම හා මෝස්තරය අනුව වටිනාකම තීරණය වූ අතර සුවපහසු බවට අමතරව අඩියේ පැහැය මගින් තවත් පැත්තකින් සපත්තුව ආකර්ශණීය වන එකක් බවට පත් කරන්නට සමත්විය.

රතු පැහැ අඩිය ඇති පාවහන් වලින් ඒවා පළඳින අයගේ පැලැන්තිය අඟවන්නට සමත්වීම අනියමාර්ථයකි. පිරිසිදු රතු අඩිය ඇති පාවහන් පළඳින පිරිස මහ මග ඇවිදින්නේ නැතිව ගමන් බිමන් යන බව සංකේතවත් කළේය. නොයෙක් නිෂ්පාදකයෝ එම ක‍්‍රමයට නිපදවන්නට තැත් කළහ. නිෂ්පාදන අයිතිය වෙනුවෙන් ක‍්‍රිස්ටියාන් අධිකරණයට ගිය අතර ඒ ගැන දිගින් දිගට පැවැති නඩු විභාග අවසානයේ දී ‘‘රතු අඩියේ’’ වෙළඳ අයිතිය ඔහුට ලැබිණ. එය සාර්ථකත්වයට තවත් බලපෑ බව නිසැකය. යුරෝපා, නෙදර්ලන්ත, ඇමරිකා අධිකරණ වල දී ඔහුගේ රතු අඩිය අනන්‍ය එකක් බවට තීන්දු කළේය.

පළමු අවුරුද්දේ දී සපත්තු ජෝඩු දෙසීයක් අලෙවි කළ කි‍්‍රස්ටියාන් ලූබටාන් 2012 වන විට වසරකට සපත්තු කුට්ටම් ලක්ෂ හතක් විකුණන මට්ටමට පත් විය. එයින් සියයට පනස් දෙකක් ඇමරිකානු වෙළඳ පොලෙන් ලැබුණ ඇනවුම්වීම විශේෂත්වයකි. කාන්තා පාවහන් වලට සීමා නොවූ හෙතෙම පසු කාලයක පිරිමි සපත්තු නිෂ්පාදනයට අත ගැසූ අතර කාන්තා නිය අලේපන, තොල් ආලේපන, ගමන් බෑග් ඇතුළු සෑම පැත්තකටම ව්‍යාපාරය විහිදුවීය. තවත් හවුල්කරුවන් එකතු කරගෙන අති සුපිරි මෝස්තර නිර්මාණකරුවෙකු වශයෙන් ලෝකය පුරා සාප්පු විවෘත කරන කි‍්‍රස්ටියාන් ලූබටාන් ඒවා වටා එකතුවන නළු නිලියන්, මෝස්තර නිරූපිකාවන් සහ සම්භාවනීය චරිත තවත් මහේශාඛ්‍ය තැනකට කැඳවීම අරමුණු කරගෙන ඒ අයටම විශේෂිත නිර්මාණ හඳුන්වාදීමට සමත්ව සිටී.

පසුගිය සතියේ දී යුරෝපා අධිකරණය දීර්ඝ නඩු විභාගයකට පසු රතු අඩිය සහිත පාවහන් නිපදවීම කි‍්‍රස්ටියාන් ලූබටාන් ගේ අයිතියක් බව පිලිගත්තේය. එය නැවත වතාවක් ලෝකය පුරා ඔහුගේ නිෂ්පාදන කතාබහට ලක් වන්නට හේතුවක් විය. තමන්ගේ අනන්‍යතාවය සොයා ගැනීමට ගෙදර දී දබර කළ කි‍්‍රස්ටියාන් ලූබටාන් පසුව තමන්ගේ පමණක් නොව ඔහු නිපදවන පාවහන් වෙනුවෙන් ද අනන්‍යතාවය උරුම කරගන්නට සමත් වූ බ වසඳහන් කළ යුතුය.