» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/05/2016 - දේශය
නූලෙන් දිනපු ඔස්ට්‍රියාවේ ඇලෙක්සැන්ඩර්

ඇලෙක්සැන්ඩර් වැන්ඩර්බේලන් ඔස්ටි‍්‍රයාවේ ජන නායකයා වශයෙන් මහජන ඡන්දයෙන් පත්ව සිටී. ඔහුගේ තීරණ සහ ප‍්‍රතිපත්ති ගැන අවධානයෙන් සිටි ලෝක නායකයෝ හෙතෙම ජනාධිපතිධුරයට පත්වීම ගැන සතුටට පත්ව සිටිති. ඇලෙක්සැන්ඩර් ධුරප‍්‍රාප්ති කරන ජනපතිවරණය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් තරඟයක් බවට පත්වූ අතර අපේක්ෂකයන් දෙදෙනා අතර තිබූ ජන්ද පරතරය පමණක් නොව ජය අත්පත් කරගැනීමෙන් ඉනික්බිතිව ඇලෙක්සැන්ඩර් දෙස ජගත් අවධානය යොමු වූ ආකාරය ද කැපී පෙනෙන එකකි. ඔහු ජය අත් පත් කර ගත්තේ වැඩි ඡන්ද තිස් එක් දහසකින් පමණකි. වලංගු ඡන්ද ලක්ෂ හතලිස් එකක් ඉතාම තියුණු ලෙස ප‍්‍රකාශ වී තිබූ අතර එය කොපමණ තියුණු තරඟයක් ද යන්න දක්වයි. ජයග‍්‍රහණයෙන් පසු ඔහු කියා සිටියේ මම හැමදෙනාගේම නායකයා බවයි.

මෑත කාලය තුළ ජාත්‍යන්තර දේශපාලනයේ දී වාමාංශික දක්ෂිණාංශික යන කඳවුරු අතරට මැද එකක් වශයෙන් නැගී එන්නේ හරිත කඳවුරයි. තද දක්ෂිණාංශික අදහස් ඇති නමුත් පරිසර හිතකාමී අදහස් වලට තැනක් දෙන මෙම ව්‍යුහය ලෝකයේ රටවල් අනූවකට වැඩි ප‍්‍රමාණයක දේශපාලන පක්ෂ වශයෙන් සංවිධාන ගත වී තිබේ. ඔස්ටි‍්‍රයාවේ බලය දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා මධ්‍ය වාමාංශික සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ දක්ෂිණාංශික මහජන පක්ෂ දෙක කාලයෙන් කාලයට අත්පත් කරගෙන සිටි අතර එය වෙනස් වන්නේ මේ වතාවේ දීය. ඇලෙක්සැන්ඩර් ඡන්දය දිනන්නේ එරට හරිත පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නමුත් ස්වාධීන පුද්ගලයෙකු බව අඟවමින්ය. ජාත්‍යන්තර ප‍්‍රජාව ඔහුගේ ජය ලෝකයේ හරිත දේශපාලන පක්ෂ ක‍්‍රමය වැදගත් ජය කනුවක් හැටියට සනිටුහන් කරන්නේ එහෙයින්ය. හැත්තෑ දෙහැවිරිදි හෙතෙම ජය අත්පත් කරගත් වහා හරිත පක්ෂ දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්වන බව නිවේදනය කරයි. එය ඔහුගේ අභිලාශයයි. ඔස්ටි‍්‍රයානු පුරවැසියන් සියලූම දෙනා වෙනුවෙන් කි‍්‍රයා කරන අරමුණ ඇතිව පක්ෂ දේශපාලනයෙන් ඉවත්වන අතර සියලූම දෙනා එක්ව රට ලස්සන තැනක් කරමු යැයි ඉල්ලා සිටී. එය බොහෝ අගයයක් ඇති අදහසක් බවට පත්වෙයි.

පූර්ව ජනාධිපතිවරණ අවස්ථාවේ දී ඔස්ටි‍්‍රයානු වැසියෙකු කළ ප‍්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ උපුටා දක්වා තිබේ. ඔහු නරක දෙදෙනෙකු අතරින් වඩා හොඳ අපේක්ෂකයා බවයි. ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයන් හතරදෙනෙකු සිටි නමුත් වඩා අවධානයට ලක්වූයේ ඇලෙක්සැන්ඩර් සහ හොෆර් යන දෙදෙනාය. මෑත කාලීන ජාත්‍යන්තර දේශපාලනයේ පරිමාව පෙන්වන ආකාරයටම ජනතාව අපේක්ෂා කරන නායකත්ව ගුණාංග සහිත දේශපාලනඥයන් විරලය. ඇලෙක්සැන්ඩර් ඒ අතර ප‍්‍රමාණිකයෙකු බවට පත්වන්නේ මිනිසුන් කැමැති පරිසරය ගැන උනන්දුවක් දක්වන පක්ෂයක ආධාර සහිත හෙයින්ය. හෙතෙම ජනතාව අතරට ගියේ අනාථ දරුවෙක් නමුත් ඔස්ටි‍්‍රයාවෙන් බොහෝ දේ උපයා ගත් බව සඳහන් කරමින්ය. එසේ කියන්නට හේතු වූයේ ඔහුගේ පරපුර ඔස්ටි‍්‍රයාව දක්වා පැමිණි ගමන ගැන බව විචාරකයෝ සඳහන් කළහ.

ඇලෙක්සැන්ඩර් වැන්ඩර්බේලන් ගේ පවුල් පසුබිම රුසියාව තෙක් විහිදී යයි. පියා බෝල්ශෙවික් විප්ලවය කාලයේ එරටින් පලා ගොස්, එස්ටෝනියාවේ පදිංචි වූ අතර එහි දී විවාහයක් කරගත්තේය. පසුව ඔස්ටි‍්‍රයාවට පැමිණ පදිංචි වූහ. කුඩා ඇලෙක්සැන්ඩර් මුලික අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුළු වී ආර්ථික විද්‍යාව හැදෑරූ අතර උසස් අධ්‍යාපනය ලැබීමෙන් ඉනික්බිතිව වියනා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ධුරයකට පත්වූයේය. විශ‍්‍රාම ලැබිමෙන් පසු පක්ෂ දේශපාලනයට ඇතුළු වී සමාජ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු විය. පසු කාලයක හරිත පක්ෂය සමග එකතුව සම්බන්ධතා ගොඩ නගා ගනියි. 1994 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ හෙතෙම 1997-2008 කාලය තුළ හරිත පක්ෂයේ නිල ප‍්‍රකාශකයාය. 2012 වසර වන තෙක් පාර්ලිමේන්තුවේ සිටි හෙතෙම එයින් ඉවත් වූ පසු වියනා නගරයේ නාගරික මන්ත‍්‍රීවරයෙකු ලෙස සාමාන්‍ය කටයුතු කරන්නට පටන් ගනී. හෙතෙම පාර්ලිමේන්තු නියෝජනයෙන් ඉවත්වූයේ හරිත පක්ෂය පරාජයවීම සමගය. පාර්ලිමේන්තුවේ සිටි නායකයෙකු පසුව නගරයේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් කි‍්‍රයා කිරීම ද පොදු ජනතාව අතර මතක කියෙන්නට හේතු වූ කාරණාවකි.

හෙතෙම නවීන මතධාරී පුද්ගලයෙකි. වේදිකාවේ දී ඔහු කියා සිටියේ වැටවල් බැඳ බාධක පනවන්නේ නැති ඇමරිකාව ආකාරයේ රටක් හැටියට ඔස්ටි‍්‍රයාව යුරෝපා කලාපයේ ස්ථාපිත කරන බවයි. ඔහු තමන්ගේ ජීවන අත්දැකීම් උපයෝගි කරගෙන සාර්ථක නායකයෙකු වශයෙන් පෙනී සිටින්නට තැත්කරන චරිතයක් වශයෙන් සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. තමන්ගේ පවුල් පසුබිම ලෝකයේ නොයෙක් තැනට සම්බන්ධ හෙයින් ඔහු ජන සංක‍්‍රමණය ගැන එකඟය. යුරෝපා රටවල් සංක‍්‍රමණය ගැන තද තීරණයක ඉන්නා නමුත් ඇලෙක්සැන්ඩර් යුරෝපා ප‍්‍රජාවට ඉතා මනාප එහෙම නමුත් සංක‍්‍රමනය වරදක් නැති ප‍්‍රතිපත්තියක සිටී. සුළු ජාතිකයන්ගේ අයිතාවාසිකම් ආරක්ෂා කරන්නට පෙනී සිටියි. විශ්ව විද්‍යාල ජීවිතයේ දී පමණක් නොව පසු කාලයක ඔස්ටි‍්‍රයා පාර්ලිමේන්තව නියෝජනය කරන කාලයේ දී ද හෙතෙම අධික ලෙස දුම් පානයට ඇබිබැහි වී සිටියේය. එකක් අවසන් වන විට එකක් වශයෙන්ය. දැන් දුම් පානය අත් හැර ඇති හෙතෙම දුම් පානයේ ආදිනව සමාජයට කියන්නට සූදානම්ය.

හරිත පක්ෂය පලාත් වල දී නගර වල වාහන තදබදය ගැන බලවත් මතයක් ඉදිරිපත කළ අතර එම පක්ෂයේ ක‍්‍රියාකාරිකයෝ පාපැදි භාවිතා කිරීම සහ පදික වේදිකාව භාවිතා කිරීම යන කාරණා වල දී වැඩි පහසුකම් වෙනුවෙන් සටන් කරමින් සිටියේය. ඇලෙක්සැන්ඩර්ගේ අදහස් ද එයට සමපාතය. ජනාධිපතිවරණ සමයේ ඔහුගේ සමාජ ගිණුමෙහි එක් සටහනක් වූයේ නව සොයා ගැනීම් සහ තාක්ෂණය ඔස්සේ බලශක්ති කාර්යක්ෂමතාව හා පුනර්ජණනීය බලය නිපදවා ගැනීම අනාගතයේ දී ලෝකයේ බලවත් තැනක් හිමිකරගන්නා බව සඳහන් කරන්නේය. එය ආකර්ශණීය එකක් බවට පත්වෙයි. සියයට සියයක් පුනර්ජණනීය විදුලිය නිපදවන බව හරිත පක්ෂය සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල දී කියයි. ඛනිජ තෙල්, ගල් අඟුරු සහ ගෑස් පරිභෝජනය අවම කරන බව සඳහන් කර තිබේ. එම ප‍්‍රතිපත්ති යුරෝපය පුරා බලපවත්වන්නට බලපෑමක් කරන බව ද අනාවරණය කරන්නේය. ජනතාව කැමැති එකී අදහස් වලටය.

ඇලෙක්සැන්ඩර් වැන්ඩර්බේලන් ගේ ජනාධිපති ධුරය පූර්ණ බලැති එකක් නොවේ. නමුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම අධිකරණයේ පැවැත්ම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යනාදී බලයෙන් පොහොසත්ය. ඔහු පෙන්වන ආකාරයට ඔස්ටි‍්‍රයාව බලශක්තිය අතින් සම්පූර්ණයෙන්ම හරිත ආකාරයකට කරන්නට කැමැතිය. එපමණක් නොව ඔහුගේ අරමුණ ඔස්ටි‍්‍රයාවේ බලය යුරොපය දක්වා පැතිරවීමයි. ජන නායකයා තෝරා ගන්නට ලැබෙන අවස්ථා ගැන විමසා බැලීමේ දී පැන නැගෙන නව ප‍්‍රවනතා අතර කැපී ඔවුන් මහජනතාව කොහොම හරි දිනා ගන්නට සූත්තර කරන පුද්ගලයන් වශයෙන්ය. ඔස්ටි‍්‍රයාවේ ජනාධිපති ධුරයට පත් ඇලෙක්සැන්ඩර්ගේ ගමන තීරණය කරන්නේ ඔහු හැසිරෙන අන්දම අනුවය.