» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/01/2017 - දේශය
බූරුවාගෙන් ඇමරිකාව දිනූ ඇන්ඩෲ ජැක්සන්

ලෝකයේ නොයෙක් තැන් වලින් නැවුම් අවස්ථා සොයාගෙන දක්ෂ පුද්ගලයෝ ඇමරිකාවට පැමිණ ඇති බව රට ඉතිහාසය දක්වයි. ඔවුහු ඇමරිකාව අලූත් රටක් වශයෙන් ජීවත්වෙන්නට සුදුසු වාසස්ථානය සේ තෝරා ගත්තේය. ඇමරිකාව නිදහස් සහ අර්ථාන්විත රටක් බවට පත් කරගන්නට කැපවූ පිරිස ගේ ලේඛනයක් සකස් කළහොත් එය දිග එකක් වනු නොඅනුමානය. ඇන්ඩෲ ජැක්සන් ජනාධිපතිවයාගේ නම එහි ඉහළින් ලියැවෙනු ඇති අතර පහල පන්තියෙන් පැමිණ, අභියෝග මැද ඉදිරියට ආ ආන්දෝලානාත්මක ජන නියෝජනයක් සේ හැඳින්වෙනු ඇත. හෙතෙම දුප්පත්ය. සොල්දාදුවෙකි. ඇමරිකාව නිදහස ලබා ගැනීමේ යුද්ධයේ දී මරණය පෙනි පෙනී සටන් කරන ලද අතර බි‍්‍රතාන්‍ය හා ඇමරිකාවේ කොළනි දහ තුනක එකතුවක් සමග 1775 දී පැවැති මෙම යුද්ධයේ දී ඔහුගේ සොහොයුරන් සමග අල්ලා ගෙන සිරගත කළේය. එම යුද්ධයේ දී මව සහ සොහොයුරන් ජීවිතක්ෂයට පත් වූ අතර විඳි කටුක අත්දැකීම් වලින් පන්නරය ලැබූ හෙතෙම තිර අදිටනකින් ක‍්‍රියා කළේය. ඇමරිකාව අද පවතින තැනට කැඳවන පදනම සකස් කරන්නට වෙහෙස වූ නායකයන් අතර ඇන්ඩෲ ජැක්සන් කැපී පෙනෙන චරිතයකි.

ඇන්ඩෲ ඇමරිකාවේ හත්වැනි ජනාධිපතිවරයාය. ඩිමොක‍්‍රටික් පක්ෂය නිර්මාණය කළ හෙතෙම දක්ෂ නීතිවේදියෙකු බව සඳහන් කළ යුතුය. හෙතෙම මිශ‍්‍ර ලක්ෂණ ඇති චරිතයක් සේ විචාරකයෝ දක්වති. ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වු ඔහු තුළ ඒකාධිපති ලක්ෂණ ඇතැයි කියා තිබේ. නාගරික සමාජශීලී පුද්ගලයෙකු නමුත් හෙතෙම බිහිසුණු අයෙකු වශයෙන් හදුන්වන අවස්ථා ඇත. සාන්තුවරයෙකු නමුත් රෞද්‍ර පුද්ගලයෙකු වශයෙන් ද දක්වයි.

ඇන්ඩෲ පවුල අයර්ලන්තයේ සිට ඇමරිකාවට සංක‍්‍රමණය වෙයි. 1765 දී පැමිණ උතුරු ඇමරිකාවේ දුෂ්කර තැනක පදිංචි වූ අතර ඇන්ඩෲ ජැක්සන් ගේ දෙමාපියන්ට ඒ වනවිටත් පවුලේ දරුවන් දෙදෙනෙකු සමග ජීවත්වීම පහසු එකක් වූයේ නැත. ජැක්සන් උපදින්නට කලින් ඔහුගේ පියා වාහන අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි. බිළිදු ජැක්සන්ගේ උපත සිදුවූ තැන ගැන පවා මතබේධයක් ඇති වන තරමට මෙම පවුලේ ජීවිත ව්‍යාකූල බව සඳහන්ය. කුඩා ජැක්සන් අවුරුදු දහතුනේ සිට යුද්ධයට සම්බන්ධ වී ඇත. පියා මිය ගිය, මව සහ සොහොයුරන් යුද්ධයට ගොදුරුවූ පසුබිමක වෙළඳ සැලක සේවය කරන ඔහුගේ මූලික අධ්‍යාපනය විධිමත් එකක් වී නැත. තරුණ වියේ දී සමාජයට ප‍්‍රවේශ වන විට පවුල් පසුබිම එහෙයින් ලැබෙන නොසැලකිලි හා පංති ගැටුම් ගැන අවධානය යොමු කළ ඇන්ඩෲ නීතිය හදාරයි. පසුව නීතිවේදියෙකු හා නඩු ඉදිරිපත් කරන්නෙකු වශයෙන් වෘත්තියට එකතු වන හෙතෙම ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ නියෝජනය ලබන්නේ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය හෙයින්ය. 1796 දී පහළ මන්තී‍්‍ර මණ්ඩලයට පත්වූ අතර එයින් අවුරුද්දකට පසු සෙනෙට් මණ්ඩලයට පත්වෙයි. මාස දොලහක් වැනි කෙටි කාලයකින් සෙනෙට් මණ්ඩලයෙන් අස්වන ඇන්ඩෲ ජැක්සන් සුපී‍්‍රම් අධිකරණ විනිසුරුවරයෙකු සේ තෝරා ගැනේ. ඇමරිකානු ඉතිහාසය අනාවරණය කරන පරිදි සෙනෙට් මණ්ඩලයේ සිටි අයෙකු එයින් ඉවත් වී අවුරුදු විසි හතරකට පසු නැවත එහි පැමිණ ඇති අතර එය විරල සිද්ධියකි. සිය ආදායමෙන් ඉඩම් මිලදී ගත් අතර වැවිලිකරුවෙක්, වෙලෙන්දෙක් සහ වහලූන් ගේ අයිතිකාරයෙකු සේ පෙනී සිටි බව දැක්වෙයි.

1824 දී පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයට ඇන්ඩෲ ජැක්සන් යෝජනා වූ අතර දේශපාලන පක්ෂ තහවුරුව නොතිබුණ මෙකල පන්තියට පිටින් පැමිණ නායකත්වය වෙනුවෙන් තරඟ කිරීම පහසු එකක් වූයේ නැත. මුල් උත්සාහය අසාර්ථක වූ අතර එයින් වසර හතරකට පසු දෙවැනි වර සංවිධානාත්මක පියවරකට ගියේය. ඉහළ සමාජය ඔහුට ඉඩ දුන්නේ නැත. මානසිකව තලා පෙලා වධ දුන් බව දැක්වෙයි. ජැක්සන් කියන්නේ බූරුවෙකු යැයි අපහාස කළේය. රිපබ්ලිකන් පක්ෂය වංශවතුන් ගේ එකක් වූ අතර ජැක්සන් එය තම වාසියට හරවා ගත්තේ බර අදින පොදු ජනයා වෙනුවෙන් බූරුවෙකු යැයි කියන තමන් පෙනී සිටින බව කියමින්ය. ඔහුගේ බිරිඳ ගැන කියමින් එනම් කලින් විවාහ වී සිටි කාන්තාවක වූ ඇයට අපහාස කරමින් කරන මඩ ගැසීම් කෙළවරක් නොවූ අතර ජැක්සන්ගේ පසුබිම, නම පමණක් නොව බිරිඳව ද ඈදාගෙන කරන අපහාස ඉදිරියේ ඇමරිකානු ජනතාව එක්තරා අවධානයකින් ජනාධිපතිවරණ සටන දෙස බලා සිටියේය.

බිරිඳ රේචල් මෙම සිද්ධි ගැන වේදනාවෙන් දෝ හදිසියේ අභාවයට පත්වූවාය. ජැක්සන් ප‍්‍රතිවාදී අපේක්ෂකයාගේ ප‍්‍රචාරක කටයුතුවලින් වේදනාවට පත්ව කියා සිටියේ ‘‘ දෙවියන් වහන්සේ බලාගනීවි’’ යනුවෙන්ය. මෙම නරක හැසිරීම ගැන, අයුක්තිය සහ අසාධාරණ අන්දමට පහළ පන්තියට වදින පහර ගැන තේරුම් ගෙන සිටි ඡන්දදායකයෝ පෙළ ගැසී ඇන්ඩෲ ජැක්සන් ධවල මන්දිරයට යැවීමට තීරණය කළේය. එහි අවසානය වූයේ හෙතෙම හත්වැනි ජනාධිපතිවරයා සේ පත්වීමයි. බූරුවා නිල සංකේතය කරගෙන ඩිමොක‍්‍රටික් පක්ෂය බිහි වෙන්නේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙන්ය. කොන්කරන, උපහාසයෙන් පීඩාවට පත්කරන, සමාජ පැලැන්තියෙන් ගැරහුමට ලක්වන චරිත ධෛර්යයෙන් නැගෙන බවට ජැක්සන් ගේ ප‍්‍රවේශය විශිෂ්ඨ උදාහරණයක් විය. වර්තමානයේ දේශපාලන විචාරකයන් පිලිගත් පක්ෂයක සාමාජිකයෙකු නොවූ, සාර්ථක ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකු වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැරහුම් පීඩා මැද තම ස්වෝත්සාහයෙන් ජනාධිපතිධුරය කරා පැමිණීම ඇන්ඩෲ ජැක්සන් ජනාධිපතිවරයා ගේ ගමන හා සමාන කර දක්වන්නට උත්සාහ කරන්නේ එහෙයින්ය.

ඇන්ඩෲ ජැක්සන් සිය දිවුරුම්දීම පොදු ජනයාට විවෘත කළේය. එක්තරා පැලැන්තියක ග‍්‍රහනයේ තිබුණ ධවල මන්දිරය වෙත සාමාන්‍ය ඇදුමෙන් සැරසුනු ඇමරිකානුවන්ට විවෘත කරන අතර ඔවුහු අතිශය කැමැත්තෙන් සිදුවන දේශපාලන පරිවර්තනයට සහභාගී විය. එය දෙස බලා සිටියේය. රාජ්‍ය පාලනයේ දී පොදු ජනතාවට දැනෙන වෙනස්කම් කරන ලද බව ඉතිහාසගතව තිබේ. ඔහු බලයට එන විට තිබුණ කැබිනට් මණ්ඩලය සහ දෙපාර්තමේන්තු වල දුෂණය ගැන සොයා බලන පියවර ගත්තේය. රට තුළ අලූත් නීති හදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නේය. රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සහ දක්ෂයන් අගයන ක‍්‍රම සකස් කර ඔවුන්ගෙන් වැඩ ගන්නට පසුබිම සකස් කළේය. විශ‍්‍රාම වැටුප්, අය බදු ක‍්‍රම හා කර්මාන්ත ඇති කරන නව ප‍්‍රවේශ වලට ඉඩ සැලසීය. අභ්‍යන්තර පාලනයේ දී ස්වදේශිත ජන කණ්ඩායම්වල සහාය ලබා ගත් නමුත් චෝදනාවක් වූයේ ඔවුන්ගේ අභිලාශ සාක්ෂාත් කරන්නට උනන්දු නොවූ බවය. එය ඔහුගේ දේශපාලනයේ ස්වභාවයයි. හොඳ පුද්ගලයෙකු මෙන්ම තමන්ගේ ජීවිතයේ ලැබූ පීඩනය පදනම් කරගෙන දරුණු හිතුවක්කාර නායකයෙකු වූ බව ද පෙනී යන කරුණකි.

ඇන්ඩෲ ජනතාව සමග එකතු වී වැඩ කළ පළමු ඇමරිකානු නායකයා සේ සැලකෙයි. ජනයාට ඔවුන්ගේ බලය ගැන හයියක් දුන්නේය. විරෝධය පළ කරන්නට සහ උද්ඝෝෂණයට ඉඩ දී ජන බලය නංවන්නට පසුබිම සකස් කළේය. කලූ ජාතිකයන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නට ධෛර්යය ලැබුණේ මෙකී මගපෙන්වීම අනුව බවට විශ්වාසයක් තිබේ. එවකට තිබුණ මහ බැංකු ක‍්‍රමය ඇතුළු වානිජ බැංකු ජනයාගේ ධනය එකතු කරගන්නා ආයතන සේ හදුනාගෙන සිටි ජනාධිපතිවරයා දුප්පතෙකුට අවස්ථාව දෙන්නේ නැති එවැනි බැංකු ණය පවා දුන්නේ පැලැන්තිය හා පසුබිම බලා බව අවධානයට ගෙන සිටියේය. ඔහු කළේ ඒවා වෙනස් කිරීමය. තමන්ට හිතවත් අය පාලනයට සම්බන්ධ කරගන්නා සහ පාක්ෂිකයන්ට සලකන ක‍්‍රම හදුන්වාදුන්නේ ද ජනාධිපති ඇන්ඩෲය. මේවා කරන විට එක පැත්තකින් සාන්තුවරයෙකු වූ හෙතෙම අනෙක් පැත්තෙන් මහා භයානක පුද්ගලයෙකු විය. ඇමරිකාවේ ප‍්‍රාන්ත බලය ගෙන කැඞී වෙන්වෙන්නට සූදානම් වන අවස්ථාවේ හමුදාව යොදා බලහත්කාරයෙන් ඒවා පාලනය කරන බවට තර්ජනය කළ බව සඳහන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන මෘදු පුද්ලයෙකු මෙන්ම තද පාලකයෙකු වශයෙන් ද හැදින්වෙන්නේ එහෙයින්ය.

අද ජාත්‍යන්තරය තුළ ඇන්ඩෲ ජැක්සන් ගැන කතා කරන්නේ පුලූල් අදහසකින්ය. පීඩනයෙන්, අසාධාරණයෙන් කොන් වී සිටි චරිත දේශපාලන පක්ෂ අනුබලයක් හෝ පසුබිමක් නැතිව ධෛර්යයෙන් බලයට එන විට ඇන්ඩෲ ජනාධිපතිවරයාගෙන් ලැබුණ ආභාශයක් ඇතැයි අවධානය යොමු කරන්නේ ද මෙම පැති ගැන අධ්‍යයනය කර ඇති හෙයින් බව සඳහන් කළ යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.